ආර්ථිකව දියණු ලෝකය නියෝජනය කරන රටවලට හිමි ධනේෂ්වර ඉතිහාසයෙන් සැලකිය යුතු කොටසක් හෝ දකුණු ආසියානු ජනයාට ද භුක්ති විඳීමට ඉඩ ලබා දීම

මේ ගෙවෙන මොහොතේ කලාපීය ආර්ථික අවශ්‍යතාවක්ව පවතින නමුත්, දකුණු ආසියානු ඉම් පෙදෙස් තුළ ම පවතින පසුගාමී විඥානික ගතිකයන් විසින් එය පමා කරවන සුළු යම් අගතිගාමී බාධක ප‍්‍රමාණයක් තවදුරටත් නඩත්තු කිරීම නිසා දකුණු ආසියාවට නව-ධනවාදය(Neo-Capitalism) කැන්දගෙන ඒමෙහි සුවිශාල අසීරුතා පවතී.

 එනිසා අද දවසේ දකුණු ආසියානු ශ‍්‍රී ලංකාව තුළ සීඝ‍්‍ර නව-ධනේෂ්වර සංවර්ධනයක් අපේක්ෂා කරන කොයි පාර්ශවයටත් මෙම බාධක අධ්‍යයනය කොට අවබෝධ කරගැනීම අනිවාර්ය නිපනුතා  කොන්දේසියක් බවට පත් වී ඇත.

දකුණු ආසියානු කලාපයේ දියුණු ධනේෂ්වරය ක‍්‍රම-පද්ධතියක් ස්ථාපිත කිරීමට බාධා ඇතිකරන අභියෝග ඓතිහාසිකව විමසීමේ දී පළමුවෙන් යොමුගත විය යුත්තේ 20 වන ශත වර්ෂයේ නූතනකරණය (Modernization) වෙතට යි. කාර්මික විප්ලවයේ නවීන විද්‍යාත්මක සොයාගැනීම් විසින් ප‍්‍රතිඵල කෙරුණු නිෂ්පාද උපකරණ (Means of Production) කෙන්ද්‍ර කරගත් නූතන ධනෙෂ්වර ආර්ථිකයක් (Modern Capitalist Economy) දකුණු ආසියානු ඉම් පෙදෙස් මත ජාතික ක‍්‍රම-පද්ධති (National  System) ලෙස සහ කලාපීය ක‍්‍රම-පද්ධතියක් (Regional Systems) ලෙස ස්ථාපිත ගැනීමේ අවැසිතාව සැලකිල්ලට ගැනීමේ දී, අප විශේෂයෙන් අවධානයට ගත යුතු බැහැර නොකළ හැකි ඉතිහාස කාරණාව වන්නේ, කාර්මික විප්ලවයේ විද්‍යාත්මක ඵලදාව බිහිකර දුන් පිහිටි බිම හෙවත් මුළ්ම පොළව වන්නේ එංගලන්තය බව යි.

එහිදී කාර්මික විප්ලවය සිද්ධ වුණු එංගලන්ත රාජ්‍යය විසින්, එම විප්ලවයේ ප‍්‍රතිලාභ මුළු ලොවට ම සමසේ බෙදා දිය යුතුය කියන මානවවාදී ප‍්‍රවේශය ගත්තේ නැත. ඒ වෙනුවට ඔවුන් එම ප‍්‍රතිලාභ තම අධිරාජ්‍යවාදී සහ කොලනිවාදී උවමනාවන් මුදුන් පමුණුවා ගැනීම වෙනුන් යොදා ගැනීමේ ආත්මාර්ථකාමී ප‍්‍රවේශය අනුගමනය කළහ. එහිදී එංගලන්ත පරිපාලනය විසින් ලොවක් ලෙස පොදුවේ සිතීම පසෙක ලා, ආසියාවේ ධන සම්පත් රැස්කර ගැනීම සම්බන්ධයෙන් තම රට සහ අනෙක් ඇමෙරි-යුරෝ ජාතික රාජ්‍යයන් අතර පැවති ආර්ථික තරඟයට වැඩි ක‍්‍රියාකාරී ඉඩක් ලබා දේශපාලානාර්ථික ප‍්‍රතිපත්තියක් නඩත්තු කළේ ය.

මෙහි ප‍්‍රතිඵලයක් ලෙස කාර්මික විප්ලවයේ නූතන විද්‍යාත්මක සොයාගැනීම් කෙරෙන් ව්‍යුත්පන්න වූ ධනේෂ්වර ඵලදාව වන නූතන නිෂ්පාදන උපකරණ (Modern Means of Production) දකුණු ආසියාව වෙත හිමිවන්නේ යටත් විජිතවාදය හෙවත් කොලනිවාදය හරහායි. එක අතකින් අප එංගලන්තයට අසල්වැසි අනෙක් යුරෝ රටවලට වඩා වාසනාවන්ත ය. මන්ද අධිරාජ්‍යයක් බවට පත්වීමේ තරඟකාරීත්ව නිසා එංගලන්ත පරිපාලනය විසින් වසර 50ක් ගෙවෙන තුරු ම කාර්මික විප්ලවයේ ඵලදාව තම අසල්වැසි ඇමරි-යුරෝ රටවලට ලබාදී ම පමා කළත්, යටත්විජිතවාදයේ අතුරුඵලයක් ලෙස එංගලන්තයේ යටත් විජිතයන්ව පැවති අප වැනි දකුණු ආසියානු රටවල්වලට ඒ නූතන නිෂ්පාදන උපකරණවලින් සැලකිය යුතු කොටසක් හෝ කලින් ම හිමිකර ගැනීමේ අවස්ථාව ලබා දුන්නේ ය.  

ඒ නිසා සමස්තයක් ලෙස දකුණු ආසියාවේ පවතින ගෝත‍්‍රික, අර්ධ-වැඩවසම් හෝ වැඩවසම් වූ පසුගාමී පූර්ව-ධනේෂ්වර සමාජ-සැකසුම් (Pre-Capitalists Social formations ) වෙනස් කිරීමේ හැකියාව තිබූ එංගලන්තකයින් හඳුන්වා දුන් නූතන-ධනේෂ්වර-සමාජ-සැකැස්මට (Modern Capitalist Social Formation ) පාක්ෂග‍්‍රාහී යොමුවකින් සලකා බලන විට, මේ ලක් කොදෙව්වේ අවසන් රජු වූ රාජසිංහ රජුට පලා යන්නට පුශ් බයිසිකලයක්වත් නිර්මාණය නොකරගෙන තිබූ තත්වයක්  තුළ, එසේ අපොහොසත් වූ පූර්ව-ධනේෂ්වර රාජාණ්ඩු ක‍්‍රමය අතික‍්‍රමණය කරමින් එංගලන්ත ධනේෂ්වරය ලක් රටට ඇතුළුවීම සංවර්ධනයකි, ප‍්‍රගතිගාමීත්වයකි.

එහෙත්, දකුණු ආසියානු රටවල ධනේෂ්වරයහි සමුච්චිත අතිරික්ත ප‍්‍රාග්ධන ප‍්‍රතිලාභයෙන් (Accumulated Surplus Values ) වැඩිමනත ලංකාව ඇතුළු එම රටවලට හිමි නොවී එංගලන්තයේ ජාතික රාජ්‍යය පෝෂණය සඳහා පමණක් යොදා ගැනීම නිසා සිදුවූයේ පසුකාලීනව ලක් රට ඇතුළු දකූණු ආසියානු රටවල් ඌන-සංවර්ධනයකට (Under-development ) ගොදුරුවීමකි. එහිදී, එංගලන්තය විසින් දකුණු ආසියාව මත සථාපිත කර තිබුණ නැගෙනහිර ඉන්දීය කොම්පැනිය (East Company ) නැමති ආර්ථික මර්මස්ථනයේ බලය දකුණු ආසියාවය තුළ අවමකර දමමින් ලක් රටේ අපව එංගලන්තකයින්ගෙන් විසංධි කළ 1948ට ගෙවුණ මොහොතේ (නිදහස ලැබුණ මොහොතේ) පටන් අපි මුහුණ දෙන මූලික ප‍්‍රශ්නය වන්නේ සාරවත් ආර්ථික ආයොජනයකට අවශ්‍ය මූල-ප‍්‍රාග්ධනය හිඟකම හෝ අවම වීම යි.

ඒත් එංගලන්තකයින් ලක් රටේ අපේ මූල්‍ය පදනම මුළුමනින් ඇද නොවැටෙන පරිදි තරමක හෝ පවුම් ප‍්‍රමාණයක් ලක් රටට ඉතිරි කර ගියා වී නමුත්, එය නිවැරදිව අයෝජනය කරගත හැකි නූතන-ධනේෂ්වර-චින්තනයක් (Modern Capitalist Ideology)  වර්ධනය කරගැනීමේ ප‍්‍රවනතා අතහරිමින් අප ආර්ථික විරෝධී පූර්ව-ධනේෂවර වරිගවාදයට ගොදුරුවී ඒ පවුම් ප‍්‍රමාණය ද ක‍්‍රමයෙන් කාබාසිනියා කරගත්තෙමු.

සිලෝනය නම් වූ ලංකාව දකුණු ආසියාවේ අනෙක් සියළු රටවල් ද අභිබවා 1956යේදී ගෙනා සිංහල ඔන්ලි වරිග පනතෙන් නූතන ධනේෂවර ආර්ථික චින්තනය සහ ඊට අදාළ ඉංග‍්‍රීසි දැනුම පද්ධතීන් අවප‍්‍රමාණ කරගනිමින්, සමාජවාදයේ සැබෑ අරුතින් බැහැරව සමාජවාදයට මුවා වී සුභසාධන රාජ්‍යන් යැයි කියන අටමගල් අටවගෙන, උපයන්නේ නැතිව ජනතාවට පිනට දෙන ආකාරයේ ධනේෂ්වර ආර්ථිකයට ප‍්‍රතිපක්ෂ පිළිවෙත් අනුගමනය කර, උපයාගත යුතුව තිබූ අතිරික්ත-ප‍්‍රාග්ධන-අවස්ථා (Surplus Value Opportunities ) රැසක්  ද ලක් රට අහිමි කරගත්තේ ය. අවසානයේ සිලෝනය යන නාමය ගැලවී නමින් පමණක් ශ‍්‍රී ලංකාව බවට පත් වූ නමුත්, ආර්ථික අතිරික්ත ප‍්‍රාග්ධන සංවර්ධනය කර ගැනීම අතින් අප නොසිරි ලංකාවක් බවට පත්වුණෙමු.

එනයින්, ලක් පොළවේ ශතවර්ෂයකට වඩා පැවති සිලෝනය (Ceylon) නම් වූ එංගලන්ත පරිපාලනයෙන් විසංධිවී 1948න් පසුව කෙමෙන් ශ‍්‍රී ලංකාව ලෙස ඊනියා ”ස්වාධීන වීම” මුළුමනින් ම සාධනීය සංසිසද්ධියක් වූවා ද යන්න තවමත් විවාදයට විවෘත්තව තැබිය යුතු වාද-විෂයකි. ඊට හේතු සාධක සොයාගැනීමට ලක් ජනයා සැබෑ නිදහස් සටනක් කොට ජයගත්තා ද යන්න සොයා බැලිය යුතු අතර, ඒ සඳහා අපිව එංගලන්තයෙන් ගැවීමට සමාන්තර කාලයක දී, භෞතිකවම  ජාතික නිදහස් සටනක් සිදුකළ ඉන්දීය නිදහස් අරගලය හැදෑරීම අපට විෂය කැඩපතක් සපායා දෙනු ඇති.     

මන්ද, වසර 500ක කොලනිවාදයකින් පසු,  එක්කෝ අවසන් යුරෝ-කොලනිවාදීන් වූ එංගලන්තිකයන්  අපට ස්ථාපිත කරදී ගිය පරිපාලන පද්ධතිය අප ඊටත් වඩා හොඳින් පවත්වාගෙන යා යුතුය. නැතිනම්, අපගේ ම වූ නව-පරිපාලන පද්ධතියක් ගොඩනගාගත යුතුය. එසේත් නැති නම්, අප වරිග සළුපිළි උනා දමා නූතන ධනවාදයට යම් කලක් පුහුණු වන තුරු, ලොව ධනවාදයේ මුල් පිහිටි බිම වන එංගලන්තකයින් හට අපගේ පරිපාලනයේ අධීක්ෂණය භාරදිය යුතුව තිබිණි. නමුත් ඒ කිසිවක් සිද්ධ වූයේ නැත. ඒ වෙනුවට සිද්ධ වූයේ 1956දී ධනේෂ්වර ආර්ථිකයට කිසිදු නෛසර්ගික (Organic)  සම්බන්ධයක් නැති  සිංහල පමණයි යන කේන්ද්‍ර සංකල්පය මත පදනම් වූ අනාර්ථික දේශපාලන ව්‍යූහයක් ව්‍යවස්ථානුකූලව ස්ථාපිත කරගෙන, ආර්ථිකය දේශපාලනය හරහා ප‍්‍රශ්න කළ නොහැකි හුදෙකලා ව්‍යුහයක් බවට පත්කර ගැනීමේ සමාජ විද්‍යාත්මක විකෘතිය සිදුවීම යි.

එයින් රටේ පළමු නූතනවාදී ඉංග‍්‍රීසි භාෂිත ඩොමීනියන් දේශපාලන පක්ෂය වූ එජාපය හුදු ආර්ථික පක්ෂයක් බවට වෙන්වී, ශ‍්‍රීලනිපය සිංහල පමණයි නැමති බයිය දේශපාලනයේ නියුතු ධනේෂ්වර ආර්ථික පදනමක් නැති පූර්ව-ධනේෂ්වර දේශපාලන පක්ෂයක් බවට පමණක් පත්වීම සිදු වුණි.

එයින් එජාපයට තම ධනේෂ්වරවාදී ආර්ථික කටයුතු සම්බන්ධයෙන් දේශපාලන කටහඬක් නොමැති වී ගිය අතර, ශ‍්‍රීලනිපයට තමන් කතා කරන වරිග දේශපාලනය හා යාදෙන ධනේෂ්වර ආර්ථික සංවර්ධන ව්‍යුහයක් නොමැති විය. එහිදී ශ‍්‍රිලනිපය කතා කරන දේශපාලනයට අදාළ ආර්ථික ව්‍යූහය වසර 500කටත් අධික යටත්විජිත කාලයකට පෙර අතීතයෙන් සොයාගත යුතු හරස්පද ප‍්‍රහේලිකාවක් බවට පත්විණි.

එහෙත් වසර 500කට කලින් ලක් කොදෙව්ව කෙසේ පැවැතියේ ද යන්න පිළිබඳ නිෂ්චිත පුරාවිද්‍යාත්මක සහ මානව-වංශ-විද්‍යාත්මක ගවේශනයක් සිදු නොවී තිබුණ බැවින්, ශ‍්‍රිලනිප දේශපාලනය සාමාන්‍ය ජනයාගේ ආර්ථික සංවර්ධනයට අදාළ නැති, ඔවුන්ගේ පූර්ව-ධනේෂ්වර වරිගවාදී අගතිගාමීත්වයකට සම්බන්ධ සුළුතරයකගේ් හිස් මොළවල පරිකල්පනයෙන් බිහිවූ විෂය විරෝධී ප‍්‍රබන්ධ දේශපාලනයක් ලෙස වරින් වර බලයට පත්වී ප‍්‍රාග්ධන අතිරික්ත කා දැමුවේ ය.  

ඉදින් එජාපය බලයට පත්වෙන හැම වරකම ආර්ථිකයයේ ප‍්‍රාග්ධන අතිරික්ත ගොඩනැගෙන ධනේෂ්වර ස්වභාවය කරලියට එන අතර, ශ‍්‍රීලනිපය බලයට එන හැම විට ම රටේ සිංහල ඔන්ලි වරිගවාදය සහ ඊට සමාන්තර දෙමල වරිගවාදය කරපින්නාගෙන, එජාපය ඉතුරු කර ගිය ආර්ථික ලාභ ද සුභසාධනයේ නාමයෙන් කාබාසිනියා කිරීම විටින් විට සිද්ධ විය.

(1970-77 කාලයේ පමණක් ශ‍්‍රීලනිප පාක්ෂිකයෙක් නොවන ඉංග‍්‍රීසියෙන් සමාජවාදය ඉගෙන ගත් සමසමාජ පක්ෂයේ එන්. එම්. පෙරේරා මුදල් ඇමති වීම සහ සෝවියට් සංගමය බිඳ නොවැටී තිබීම නැමති තත්වය තුළ මෙයට සමාජවාදයේ නමට මුවාවී ඇඟ බේරා ගත හැකි වුවත්, එම ආර්ථික කොන්දේසි අප‍්‍රායෝගික ලෙස පවත්වාගෙන යාම සහ අවසන් භාගයේ සමසමාජ-කොමියුනිස්ට් පක්ෂ පක්ෂය ශ‍්‍රීලනිපය සමඟ සීතල ගැටුම් උත්සන්න කරගැනීම නිසා ඒ ජාතික රාජ්‍ය පද්ධතිය ද බිඳ වැටිනි).

මෙසේ රටට දීර්ගකාලීනව යාදෙන ධනේෂවර ආර්ථිකවාදී පක්ෂයක් සහ ව්‍යාපෘතියක් නොමැතිවීම(හෙවත් ධනේෂ්වර ප‍්‍රතිපත්තියක් නොමැතිවීම) නිසා ලංකාවේ ඇති වූයේ දෙපැත්තට හෝද හෝද මඬේ දාන වරිග-ධනවාදයකි. එයින් ලාංකීය ආර්ථිකයේ වර්ධනය ලෝකය සමඟ ඉදිරියට නොගිය අතර, හැමවිට ම දීර්ඝ කාලීන ආර්ථික සැලසුමක් නඩත්තු නොකරන සුළු අතිරික්ත ප‍්‍රාග්ධන වර්ධන වේගයක් පමණක් පවත්වාගෙන යන එදාවේල කන ආර්ථිකයක් ලෙස දිගින් දිගට ම එක තැන පල් විය.

රටට දීර්ඝකාලීන ධනේෂ්වර ආර්ථික වර්ධන වේගයක් සහිත සංවර්ධන ව්‍යාපෘති අවශ්‍ය බව දැන සිටි නූතන ධනේෂ්වර පාඥයෙකු (Modern Capitaist Intelectual ) වූ ජේ.ආර්. ජයවර්ධන විසින් ව්‍යවස්ථාව වෙනස් කර විධායක ජනාධිපති ක‍්‍රමය ගෙන ආවේ ය. එයින් 1948න් පසු පළමුවරට දෙවරක් බලයට පත්වීමට එජාපයට හැකිවූ අතර සාපේක්ෂව තිරසාර ධනේෂ්වර සංවර්ධන ව්‍යපෘති රැසක් ආරම්භ කර ගැනීමට හැකි විය.

නමුත් විදේශ සබඳතා පවත්වාගෙන යාමේ දී ඇමරි-යුරෝ කෙන්ද්‍රය පමණක් හිතවත් කරගනිමින් කලාපීය බලවතා වූ ඉන්දියාව සුළු කිරීමේ අත්වැරැද්ද නිසා, ඉන්දියානු මහ ආණ්ඩුව විසින් විසින් සිංහල ඔන්ලි වරිගවාදය අනෙකා කරගත් දෙමල මිලිටරි සංවිධානවලට තමිල්නාඩු ප‍්‍රාන්ත රාජ්‍යය රහසින් රැකවල් දීම සම්බන්ධයෙන් ඉඩහැර නෑසූ කන්ව සිටින එදිරිවාදී ප‍්‍රතිපත්තියක් පවත්වාගෙන ගියේ ය. එයින් සිවිල් යුධ තත්වයක් පැන නැගීම සහ කෙමෙන් වර්ධනය වීම ද හේතුවෙන් එම ධනේෂ්වර සංවර්ධන ව්‍යපෘති වලට තම අවසන් නිෂ්ටාව කරා යාමට නොහැකිවී එජාපය ද අජනප‍්‍රිය වී දකුණු ලක් පෙදෙස් තුළ පවා කැරලිකාර තත්වයක් ඇතිවීම දක්වා තත්වය දුරදිග ගියේ ය.

එයින් එජාපයේ නායකත්වය කෙහෙල්වත්තේ ලූම්පන්වාදී  මිලිටරිකරණයකට ගොදුරු වී, දැවැන්ත මිනිස් සංහාර සිදුවීම ද, එජාපයේ සිටි ලලිත් ඇතුලත්මුලි සහ ගාමිණී දිසානායක වැනි නූතනවාදී ධනේෂ්වර නායකයින් එජාපයෙන් පිටතට විසිවීම සිදුවීම ද නිසා එජාපය තාවකාලිකව බණ්ඩාරණායකවාදී පසුබිමකින් එන ආර්. පේ‍්‍රමදාසගේ සුචරිතයේ ගොදුරක් බවට පත්වී වසර 02ක සුළු කාලයකට පසු මැයි පළමු වැනිදාවක මරාගෙන මැරෙන බෝම්බයකින් ස්වයං-විනාශය ලබා කුඩු සංසාර වී ගියේ ය. එයින් නැවත වරිගවාදී ශ‍්‍රීලනිපය රටට බොරු නහුතයක් කියමින් 1994දී නැවත බලට පත් විය. කෙහෙල්වතු තාත්තගේ ඉවසීමෙන් කළඳක් පවා නොමැති කොහෙද යන්නෙ මල්ලෙ පොල් වූ බොල් නිදන්හාරාම සිංහල බෞද්ධ වූ ගොන්-සුභසාධන පුත්රුවනක්  ද දේශපාලනයට අවජාතක විය.

ශ‍්‍රීලනිපය නැවත රටේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ අධිකාරීන් ප‍්‍රමුඛ රටේ සමස්ත ධනේෂ්වර පරිපාලන ව්‍යුහවල මූල්‍ය සංවර්ධන අක්ෂය කාබාසිනියා කොට බිඳ වැට්ටුවේ ය. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනය විසින් සෘජුව ම අමාත්‍යාංශවලට අත පොවන තත්වයක් ඇතිවී අමාත්‍යවරු කොන්ද පන නැති උදවිය බවට පත් කෙරුණ අතර, රට ලාභ ඉපැයීමෙන් අතිරික්ත(Surplus Value ) සමුච්චකරණය කරන ආර්ථිකය අරමුණු නොමැති වල්වැදුන ගුබ්බෑයමක් බවට රට පත්වීමත්, වරිග යද්ධය සම්බන්ධයෙන් තිරසාර විසඳුමක් නොමැති වීමත් නිසා උතුරේ දමිල වරිගවාදය දකුණේ ආර්ථික මර්මස්ථානවලට බෝම්බ දමා විනාශ කිරීම කරලියට ආවේය.

නොසැලකිලිමත් පරිපාලනයෙන් ජනාධිපති චන්ද්‍රිකාගේ ඇසක් නැතිවන තැනට කටයුතු සිදුවූ අතර, එයින් රටේ වරිගවාදීන් බලා සිටි සිංහල ඔන්ලි වරිගවාදයේ ප‍්‍රචන්ඩ කූටප‍්‍රාප්තිකයා වූ චම්පික රණවකගේ පැරා මිලිටරි සිංහල වරිගවාදයත්, ඊට සමාන්තරව කටයුතු කළ ජවිපෙ ජාතිකවාදයත් මැදිහත්වී මහින්ද රාජපක්ෂ නැමති ගම්මුලාදෑනියාට දේශපාලන බලය ලබාදීම ඉශ්ට සිද්ධ වුණි.

එයින් සිංහල වරිගය යන්න අතීත රජෙකු පතන ධනේෂ්වර විරෝධී ධන මංකොල්ලකාරී කූට ප‍්‍රාප්තියකට පත්විය. ලක් ඉතිහාසය සහ එහි ජනයා, ප‍්‍රභාකරන් පරාද කිරීම නිසා, යුරෝපීයන් ලකට ඒමට පෙර පැවැති රාජාණ්ඩුක‍්‍රමය හදිසියේ මනෝ-මූලිකව පතන විෂය විරෝධී සහ ඉතිහාස විරෝධී උමතුවක් කරා ගිය අතර, රට තුළ වූ ධනේෂ්වර සහ අර්ධ ධනේෂවර පද්ධති නව-නූතන-ධනවාදය (Neo-Modern Capitalism)  අත්පත්කරගන්නවා වෙනුවට නූතන-ධනවාදයවත් (Modern Capitalism) නඩත්තු නොකරන ආර්ථික විරෝධී සහ මාෆියා රාජ්‍ය ආයතනික ජුන්ටාවන් සහිත චන්ඩි-දාමරික-පාතාල-සල්ලාල-තගාවාදී මැදමුලනීය ග‍්‍රාම්‍ය රාජපක්ෂකරණයකට ගොදුරු විය.

ජේ. ආර්. ජයවර්ධන අත්සන් කළ උපායශීලී ඉන්දු-ලංකා ගිවිසුම අනුව ඉන්දියන් හමුදාව ලංකාවට ගෙන්වා, එහි ප‍්‍රතිඵලයක් ලෙස දෙමල වරිගවාදිනියක් අතින් අගමැති රජීව් ගාන්ධි ඉන්දියාවට අහිමි කෙරී, ඒ නැසීගිය අගමැතිගේ බිරිය සෝනියා ගාන්ධි මැතිණිය ප‍්‍රමුඛ උතුරු ඉන්දියාවට පාක්ෂික කොන්ග‍්‍රස් පක්ෂයේ මැදිහත්වීම නිසා දකුණු ඉන්දියානු තමිල්නාඩුවේ මහ ඇමතිගේ සහ ඔහුගේ ද්‍රාවිඩ ප‍්‍රජාවේ දේශපාලන බලපෑම නොසලකා හැරීමට පුළුවන් වීම ද, රනිල් විසින් කරුණා අම්මාන් එල්ටීටියෙන් ගලවා එල්ටීටියේ අභ්‍යන්තර රහස් තොරතුරු අනාවරණය කර ගැනීමෙන් ද, සරත් ෆොන්සේකාට තිබූ සුවිශේෂ දක්ෂතාවයෙන් ද ඉන්දියාවේ මැදිහත්වීමකින් තොරව යුද්ධය අහවර කරගන්නට හැකිවිය. (නමුත් ෆොන්සේකාව අවනීතිකව හිරේ විලංගුවේ දමා මේ යුධ ජයග‍්‍රහණයේ ප‍්‍රතිලාභ සහ කීර්ති නාමය මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ මැදමුලන වරිගවාදී ඥාති පද්ධතිය විසින් කෛරාටික ලෙස කොල්ල කා තම ගිනුමට බැර කරගත්තේ ය). මහින්දට රජෙක් වන්න පුළුවන් වූයේ මෙකී පසුබිම නිසා මිසක ඔහු සැබෑවට ම රජෙක් වූ නිසා නොවේ.

මෙකල මහින්ද චන්දයකින් කෙසේවත් පරාද කළ නොහැකි පුද්ගලයෙකිය යන මතිභ‍්‍රමික(Paranoid)  අදහස රට අරක්ගෙන තිබිණි. නමුත් මහින්දත් පරාජය කළ හැකි ව්‍යාජ රජෙක් බව පළමු වතාවට ජනයාට ඒත්තු ගියේ යහපාලන ආණ්ඩුව බිහිවීමත් සමඟ ය. තම ගැමි සංස්කෘතියෙන් දුරස් නාගරික සංස්කෘතික සත්ත්වයෙකු වූ රනිල් හා බද්ධ වීමට මෛත‍්‍රීපාලගේ හිත් හැරීමෙන් අවිඥානිකව පෙරලා දැමූ ඒ සිංහල ඔන්ලි වරිගවාදයේ මුල්ගල, හරි තැනින් ම කැඞීබිඳී කෙමෙන් සමස්ත රාජපක්ෂවාදී ගොඩනැගිල්ල ම කඩා වැටෙන තත්වයකට පත්වු දේශපාලන කතිකා හැරවුම් ලක්ෂ නිර්මාණය විය. ඒ නිසා ප‍්‍රභාකරන් හට කරුණා අම්මාන් කෙතරම් නම් ද්‍රෝහියෙක් වන්නේ ද, මහින්ද ප‍්‍රමුඛ රාජපක්ෂලාට මෛත‍්‍රීපාල ද එතරම්ම වූ ද්‍රෝහියෙකු වන්නේ ය. කවුරුත් සැලකිල්ලට නොගන්නා සැඟවි කාරණාව නම්, මේ ද්‍රෝහීන් දෙදෙනා ම නිර්මාණය කර වරිග දේශපාලනය විනාශය කරා හැරවූ ප‍්‍රාඥ සටකපටයා රනිල් වික‍්‍රමසිංහ වීම යි.

ඒ විතරක් නොව, ඒ අවිඥානික ද්‍රෝහීන් වූ මෛත‍්‍රීපාල සිරිසේන සහ කරුණා අම්මාන් යන දෙදෙනා ම අද වන විට තමන්ලාව පාවාදීම කෙරෙහි යොමුකළ රනිල් සමඟ නොබැඳී රාජපක්ෂලා හා සම්බන්ධ වරිගවාදීන් සමඟ ම බැඳී සිටීමත්, ඔවුන් දෙදෙනා තමන් විසින් තම වරිගය(මැදමුලන වරිගය සහ ප‍්‍රභාකරන් වරිගය) පාවාදුන් බව පවා නොදැන සිටීමත්, එම පාවාදීමත් සමඟ ඔවුන් දෙදෙනා ම හත්පොලේ ගා ගත් උදවිය බවට පත්වීමත් වැනි කරුණු මෙහිලා සුශේෂි වේ. ඒ නිසා මෛත‍්‍රී තමන් ම ගැනත් සහ කරුණා තමන් ම ගැනත් නොදන්නා යථාව දන්නා ඒ සැඟවි සබද්ධික මිනිසා වූයේ රනිල් වික‍්‍රමසිංහ ය. ඒ නිසා දේශපාලනය තුළ දිගුකාලීන ජයග‍්‍රහණ අත්කරගැනීම චන්ද දිනා බලයට පත්වීම පමණක් නොවන බව රනිල් මුළ සිට ම දැන සිටි තීසිස කාරණාවකි.

එනයින් යමෙක් පාවාදෙන්නෙක් බවට පත් කිරීමත්, පාවා දෙන්නාට තමන් පාවාදෙන බව නොදැනෙන සේ එය සිදු කරවීමත්, ඒ පාවා දෙන්නා හා සබඳතාවෙන් තමන් මිදී ගැලවී සිටීමත් යන සියළු කරණා එක සමනාත්ර රේඛා දෙක තුනක එකවර සිදුකර ගැනීමට තරම් කාලාවකාශ අවබෝධයක් තිබෙන රනිල් සාධකය ලක් දේශපාලනය තුළ කොහෙත් ම අවතක්සේරු කළ නොහැක්කකි. තම තාවකාලික හෝ දිගුකාලීන පරාජයන් අනෙකාව අවිඥාක උගුලකට හසුවෙන පරිදි පාවිච්චි කළ හැකි මෙබඳු ප‍්‍රාඥාකාර කෛරාටික පෞර්ෂයක් නොතකා දේශපාලනය කිරීමට සිතීම පවා අමනෝඥකමක් නොවන්නේ ද අනුර කුමාර සහෝදර.   

නැවත අපි රටේ දේශපාලන අටමගලයෙන් ආර්ථිකය දිහා බලමු. ජවිපයේ වක‍්‍ර උදව්වෙන් ද බිහිකරගත් යහපාලන ආණ්ඩු කාලය මහ දවල් මහ බැංකු හොරාකෑමක් පමණක් සිදු වූ කාලයක් බවට ලඝු කිරීම සමාජ-විද්‍යා විරෝධී ය. අප ලොව පවතින යමක් උවමනාවට වඩා උලූප්පා මතුකර දක්වන විට, එසේ උලූප්පා මතුකර දැක්වීම සඳහා මොනයම් හෝ තවත් වැදගත් කාරණා යට ගැසිය යුතුය. යහපාලන ආණ්ඩු කාලය මහ දවල් මහ බැංකු හොරකමක් බවට පමණක් හංවඩු ගසා දේශපාලන වේදිකාවල මොරදෙන ජවිපය නොදැන හෝ දැන හෝ යට ගසන බොහෝ දේ පවතී.

අවම තරමින් ගෝඨාභය රාජපක්ෂ ජනපති වීමෙන් පසුව දෝනාවක් සේ පහළට කිඳා බැසි ගිය රටේ මූල්‍යාර්ථිකය එසේවීමට පෙර, යහපාලන සමයේ අවම තරමින් ගෝඨාට සාපේක්ෂව හෝ යම් හෝ මූල්‍ය ස්ථාවරත්වයක පැවතියා නෙවිද කියාවත්, එකී ස්ථාවරත්වය පිටුපස යම් හෝ මූල්‍යාර්ථික ක‍්‍රමවේදයක් පැවතිය යුතු නේද කියාවත් එජාපය, රනිල් වික‍්‍රමසිං හෝ රවී කරුනානයක විවේචනය කරන දේශපාලකයින් සොයා නොබලන්නේ, මෙන්න මේ එකක් ඔසවා අනික් සියල්ල යට ගැසීමේ වන් ට‍්‍රැක් දේශපාලනාර්ථික විග‍්‍රහයන් නිසා ය.

ඒ නිසා නව සාධාරණ දේශපාලන සංස්කෘතියක් බිහිකළ යුතුය කියා අනුර කුමාර නැවත නැවත පුනරුච්චාරණය කරද්දී, සංස්කෘතියක් බිහි කරන්නේ භෂාමය හික්මවීමකින් ය කියන කාරණාව ඔහු මුලින් ම දැන හැඳින ගත යුතුය. එනම් අවම තරමින් භාෂාව ශබ්ධ සංකේත සමස්තයක් වන්නේ කෙසේද යන වාග්-විද්‍යාව හෝ ඔහු හදාරා තිබිය යුතුය. එකක් යට ගසා තවෙකක් මතු නොකර සියළු කතිකාවලට සම අවස්ථා ලබාදෙන සංස්කෘතික උපාය හසු කර ගත හැක්කේ එවිට ය. මාවෝ සේතුං දහසක් මල් පිපෙන්න කීවේ මේ පිළිබඳ අනුභූතික ඥානයකිනි(empirical knowledge). මගේ කල්පනාවේ ත රමට නම්, අනුර කුමාර මෙහෙම වාග්-විද්‍යාත්මක දැනුමක් ලොව බිහිව තිබෙනවාද කියාවත් දන්නේ නැත.           

අනෙක් පැත්තෙන් කවුරුත් යහපාලන ආණ්ඩුව කාලෙ ආර්ථික ක‍්‍රියාමාර්ග ගැන කතාකරන්නේ ජාතික රාජ්‍ය කේන්ද්‍ර කරගත් ජාතික ආර්ථිකයක නියාම ධර්ම පරිදි පමණක් ය. ඒත් යහපාලන ආණ්ඩුව කාලයේ ගෝලීය පදනමක් මත පිහිටා ජාතික ආර්ථිකය සම්බන්දයෙන් ගත් ක‍්‍රියාමාර්ග ගැන කවුරුන්වත් කතා කරන්නේ නැත. මන්ද ජාතික ආර්ථිකය උඩදාගෙන කතා කරන බොහෝ දෙනා ගෝලීය ආර්ථික නියාම ධර්මයන් සම්බන්ධයෙන් ගෝටා තරමට හෝ ඊට ආසන්න තරමකට නූගත් ය. ඒ නිසා ගෝඨාගේ කඩාවැටීම ඔවුන්(විශේෂයෙන් ජවිපෙ* දකින්නේ ජාතික ආර්ථික නියාම ධර්ම නිවැරදිව අනුගමනය නොකිරීම නිසා සිදුවූවක් ලෙස පමණි.

එහෙත් සැබෑව නම්, ගෝඨාගේ බිඳ වැටීමේ මූලික හරය පවතින්නේ, ගෝඨා නොදැන ගෝඨා විසින් ම වියත් මග කණ්ඩායමේ කීමට මූලික නව-නූතන ගෝලීය ආර්ථික නියාම ධර්ම කඩා බිඳ දැ≤ම යි.  ගෝඨා නොදන්නා කම නිසා වියත්මගේ කීම පිළිගෙන ඔහු නැවත ලක් රාජ්‍ය පද්ධතිය 1970-1977 යුගයේ වන් මොඩලයක් කරා අතීතය දෙසට අදින්නට ගියේ ය.(මගේ කල්පනාවේ හැටියට නම්, ගෝඨා මේ කල්පිත සහ අප‍්‍රායෝගික වෙනස පැතුවේ, කුමණ්ත‍්‍රණයක් ලෙස නොව අවංකව ම ය. රට ඉදිරියට යාම සම්බන්ධයෙන් මහින්ද, බැසිල්, චමල් සහ ගොං-නාමල් යන අයට වඩා වෙනස් වූ රට හැදීමේ අවංක උවමනාවක් සත්‍ය ලෙස ම ගෝඨාට තිබිණි.* නමුත් ප‍්‍රශ්නය වූයේ ගෝඨාට චන්දය දුන් ඉසෙඞ් පරපුරේ සහ ඇල්ෆා පරපුරෙන් බිහිව ආ ගෝලීය නව-නූතන යුගයට අයත් තරුණ තරුණියන්( Younger Generation of the Neo-Modern Era) හැදී වැඩුණු නව-නූතන ගෝලීය ධනවාදයට අදාළ දේශපාලනාර්ථිකය සම්බන්ධයෙන් ගෝඨාට විෂය දැනුමක් නොතිබීම යි. නමුත් එකී නිෂ්චිත නූගත්කම සම්බන්ධයෙන් ජවිපෙට ඇත්තේ ද ඊට සුළු සාපේක්ෂ වෙනසක් පමණි.

ඒ නිසා නූතන-ධනවාදී රාජය(Modern Capitalist State) සම්බන්ධයෙන් ජවිපෙට ගෝඨාට වඩා යම් උගත්කමක් තිබෙනවා විය හැකි නමුත්, නමුත් නව-නූතන ගෝලීය ධනවාදය (Neo-Modern Global Capitalism) සම්බන්ධයෙන් ජවිපෙට ගෝඨාට වඩා දැනුමක් තිබෙනවා යැයි කිව නොහැකි ය. මන්ද අරගලය යැයි කියන ජන නැගිටීමෙන් පසුව ලාංකීය දේශපාලනය මෙතුවක් දුර ඇවිදින් තිබියදීත්, ගෝඨාගේ කඩා වැටීම ජාතික ආර්ථික නියාම ධර්ම උල්ලංඝනයක් කිරීමක් නිසා සි වූවක් බව කියනවා මිසක, එය ගෝලීය ආර්ථික නියාම ධර්ම උල්ලංඝනය කිරීමක් නිසා සිදුවූවක් ලෙස ජවිපෙ කිසිවිටෙකවත් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කොට නැත.

ඒ නිසා 21 වන ශතවර්ෂය එළිපත්තේ තාක්ෂණික විප්ලවයේ නව-නූතන නිෂ්පාදන උපකරණ(Neo-Modern Means of productions) නිසා බිහිවූ නව-නූතන ධනවාදය තවමත් ජවිපෙට හදාරන්නට තිබෙන විෂය ක්ෂේත‍්‍රයකි. ඒ නිසා ගෝලීය ධනවාදයේ ප‍්‍රාග්ධන තර්කය පිළිබඳව ජවිපෙට ඇත්තේ ගෝඨාට ආසන්න හෝ ඊට සමාන්තර නොදැනුමකි.

ඒ නිසා නව-නූතන ගෝලීය ප‍්‍රාග්ධන තර්කය පිළිබඳ ගැඹුරු හැදෑරීමකට සමාන්තර සංවාද කතිකාවක් තම සංවිධානය තුළ ගොඩනගා ගන්නා තුරු ම, නව-නුතන ගෝලීය ධනවාදයේ හැසිරීම ඉදිරියේ ජවිපෙ ද ගෝඨා තරමට ම ඇණගන්නට බොහෝ් ඉඩකඩ පවතී. මේ ගෙවෙන මොහොතේ ගෝඨාට බලයට ඒමට චන්දය දුන් 69 ලක්ෂය තුළ සිටින බහුතර නූගත් ග‍්‍රාමීය ජනතාවට ජවිපෙ ආමන්ත‍්‍රණය කරමින් සිටින නිසා චන්ද දායකයා සහ චන්දය ඉල්ලන ජවිපෙ යන දෙපාර්ශවය ම මේ නව-නූතන ධනවාදය සම්බන්ධයෙන් නූගත් කම අතහල යුතුය. ඒ නිසා නූතන ජාතික ආර්ථිකයක් මෙහෙයවීම සම්බන්ධ දැනුමින් ජවිපෙ ගෝඨාට වඩා ඉදිරියෙන් සිටිය ද, නව-නූතන ගෝලීය ආර්ථික නියාම ධර්ම ඉදිරියේ ජවිපෙ ද ගෝඨා තරමට ම හෝ ඊටත් වඩා කෙලවාගැනීමේ අවධානමක පසුවෙයි.    

ගෝලීය දේශපාලනාර්ථිකය පිළිබඳ දැනුම අදාළ කරගත යුතුම දැනුමක් වන්නේ, ගොඨාගේ විනාශකාරී පරාජයට ප‍්‍රධාන හේතුව ගෝලීය ආර්ථිකය පිළිබඳ මුල්‍ය න්‍යායම ධර්ම නොසලකා හැරීම මත සිදුවූවක් නිසා ය. එය නාස්තිය සහ දූෂණය නිසා හෝ දේශපාලන සංස්කෘතියක් නොමැතිවීම හෝ මුදල් පිල්ලි ගැහීම හෝ ජවිපෙට එකපාරක්වත් බලය නොදීම වැනි දේ නිසා හෝ සිද්ධ වූ විපතක් නොවේ. නාස්තිය, දූෂණය සහ අවදේශපාලන සංස්කෘතිය යනේවා ධනවාදී දේශපාලනයේ හරය තුළ ම පවතින්නකි. නමුත් රටේ පැවති අවම ධනේෂ්වර පද්ධතියත් කඩාගෙන වැටුණේ යහපාලන ආණුඩවේ සිට ගෝඨාගේ ආණ්ඩුවට මාරුවී ගෝඨා හරහා ගෝලීය ධනේෂ්වර නියාම ධර්ම නියාමනය කිරීම නවතා ඇණ හිටීමත් සමඟ ය.

ඒ නිසා එහි සබෑ තත්වය හෙළිදරව් කරගැනීමට නම් ජඩ දේශපාලනකරණයට ලක්වූ කබ්රාල් නැමති  මූල්‍ය වෘතිීයවේදියා විසින් ගෝඨාව ගෙඟ් යැවීමත්, ඊට කලින් යහපාලන ආණුඩුවේ සිටි මුදල් ඇමතිවරයා වූ රවී කරුණානායක කබ්රාල් ඇතුළු මහ බැංකු පරිපාලනය විසින් මූල්‍යාර්ථිකයේ නියාම ධර්ම කඩා දැමීම විවේචනය කිරීමත් සසඳා බැලිය යුතුය.

අද රටේ දේශපාලන කතිකාව විසින් මගහැර යන ප‍්‍රධාන සාධකයක් වන්නේ, ඩොලර් ප‍්‍රශ්නයක නාමයෙන් ඝෝඨා නම් බොල්පිළිමය සමඟ රටේ ආර්ථිකය බිම පතබෑවෙන්නට පෙරාතුව, යහපාලන සමයේ අග භාගයේ දී ම රවී කරුණානායක විසින් මහ බැංකුව ඇතුළු රටේ මූල්‍ය පද්ධතියේ නිළධාරි තන්ත‍්‍රයේ ක‍්‍රියාකලාපය විවේචනය කිරීම ය. එයින් රවී කරුණායකයන් මේ මූල්‍ය අර්බුදයේ ව්‍යුහාත්මක ආයතනික දෝශයක් පෙරතියා දැක ඇත. එනමුදු ”මහදවල් මහ බැංකු හොරකම” නැමති කුරුසිය ඔහුගේ කරමත පැටවූ ඒ අවනීතික දේශපාලන කතිකාවෙන් නෙත් අන්ධව සිටි ජනයාට රටේ මූල්‍ය පද්ධතිය ගැන රවී කරන අනතුරු ඇඟවීම් පෙනුනේ නැත. මේ වන විට ”මහ දවල් මහ බැංකු මංකොල්ලය” කියන සංකල්පයට අදාළ භාවිතයන් සමඟ රවී කරුණානායකගේ කිසිදු සම්බන්ධයක් නැතිය යන අධිකරණ තීන්දුව ද ලැබී ඇත. ඒ නිසා දැන්වත්, රට මෙසේ මුළුමනින් මූල්‍යමය ලෙස කෙලවා ගැනීමට පෙර රටේ මූල්‍ය ආර්ථික ආයතන සම්බනධයෙන් රවී ගෙනැහර පෑ විවේචනවල වලංගුභාවය දැන්වත් හැදෑරිය යුතුව පවතී. 

1956 සිට පැමිණෙන වසර 67ක ඓතිහාසි ආර්ථික අලකලංචි තත්වයක හිඳිමින් පවා මූල්‍ය නියාම ධර්ම මෙහෙයවීම සම්බන්ධයෙන් රවී කරුනානායක ගෝලීය ආයතනවල සම්මානයට පාත‍්‍රවීම යහපාලන ආණ්ඩු සමයේ කළුවළාවක ඇඳි සිහින් රිදී රේඛාවක් ලෙස සැලකිය හැකිය. එහෙම නැතිනම් ගෝලීය ආයතනයක් විසින් රවී කරුණානායකට ආසියාවේ හොඳම මුදල් ඇමතිවරයා සම්මානය ලබා දුන්නේ ඔවුන්ට තියෙන පිස්සුවකට විය යුතුය. ඒ නිසා ආර්ථිකය ගැන අම්බානක වචන නහුත ගණනන් වාතලයට අතහරින ජවිපෙ, සජබෙ, හර්ශ ද සිල්වා වැනි අය රවීට මෙවන් ගෝලීය පළිගැනීමක් ලබුණේ මොන මූල්‍ය නියාම ධර්ම පිළිපැදීම නිසා ද කියා කිව යුතුයි. එහෙමත් නැතිනම් එය රවී මුදල් ගෙවා ප‍්‍රචාරය කරගත්තක් කියා හෝ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කළ යුතුය.

නමුත් එය බොහා් උදවියට මගහැරෙන හෝ හිතා මතා යටපත් කර දමන සාධකයකි. ගෝලීය ආයතනයක් විසින් රවී ආසියාවේ හොඳම මුදල් ඇමතිවරයා ලෙස ලෝක සම්මාන පිදුවත්, වරිගවාදී ශ‍්‍රිලනිපය ද, ජාතිකවාදී ජවිපෙ ද ඇතුළු බහුතරයක් රවීගේ ප‍්‍රතිරූපයට අදාළ කතිකා ගොඩනගන්නේ ”මහ දවල් මහ බැංකු මංකොල්ලයක්” පාදක කරගනිමින් මිසක ඔහු රටට අත් කරදුන් මේ සා කීර්තියත්, ගෝඨා කඩා දමන තුරු ඔහු නඩත්තු කරමින් පවත්වාගෙන ගිය නව-ධනවාදී මූල්‍යාර්ථික සමබරතාවයත් නොසලකා හරිමිනි.

අනෙක් පැත්තෙන්, අවම තරමින් රවී මෙහෙයවූ මුදල් අමාත්‍යාංශ්‍යයට බැංකුවල බලය ලබා නොදී තිබුණා නෙවිද කියාවත්, ඒ නිසා ම බැංකුවක සිදුවූ මංකොල්ලයකට ඔහු සම්බන්ධවන්නේ කෙසේද කියාවත් ප‍්‍රශ්න කරන්නට තවම කවුරුන්වත් ඉදිරිපත් වී නැත. එය මේ වන විට රටේ ආර්ථිකය පිළිබඳ මතුකරන කාරණා අතර යටපත් කර දමන ප‍්‍රධාන සහ අත්‍යාවශ්‍ය වාද-විෂ-කාරණාවකි.        

ඒ නිසා නිවැරදි සත්‍ය මතුකර ගැනීම සඳහා අපි ගෝඨාගේ කඩා වැටීම පසුබිමෙහි තබා යහපාලන අණ්ඩුව කාලේ රවීගේ මූල්‍යාර්ථික ප‍්‍රතිපත්තිය සහ ඊට ලැබුණ ගෝලීය පිළිගැනීම යළි සීරුවෙන් විමසා බලමු. 

(ඉතිරි කොටස ලබන සතියේ)

@ ජූනියස් රිචර්ඩ්         

නවතම ලිපි