ජෛව සහ මානව විද්‍යා

වර්ෂ 2018 දී මානව පරිණාමය පිළිබඳ පර්යේෂණවල දී අපූරු සොයාගැනීමක් කෙරිණි. ඒ, මානව පරිණාමීය ගමන් මගේ දී බිහි වූ එකිනෙකට වෙනස් මානව වර්ග දෙකක් අතර අන්තරාභිජනනයෙන් හෙවත් එම වෙනස් මානව වර්ග දෙකට අයත් ගැහැනියක සහ පිරිමියෙකු අතර ලිංගික සංසර්ගයෙන් බිහි වූ පළමු පරම්පරාවේ දෙමුහුම් හෙවත් ‘මිශ්‍ර’ දරුවෙකු ( first-generation hybrid hominin ) පිළිබඳව පළමු වරට තොරතුරු අනාවරණය වීමයි. මීට අවුරුදු 40,000කට පෙර වඳ වී ගියා යැ යි සැලකෙන නියැන්ඩර්තාල් නම් මානව විශේෂයේ සහ එම කාලයේ දී ම මිහිතලය මත විසූ ඩෙනීසොවන් (Denisovan) නමැති මානව වර්ගයේ පෙම්වතෙකු සහ පෙම්වතියකගේ දරුවෙකු වූ මෙකී ප්‍රාග් ඓතිහාසික දැරියට නමකුත් පටබැඳිණ. ඒ ‘ඩෙනී’ යන්නයි.

මේ, නූතන මානවයන් වන හෝමෝ සේපියන්ස්වරුන්ට ළඟ ම ඥාති සම්බන්ධයක් තිබේ යැ යි හෙළි වී ඇති නියැන්ඩර්තාල්වරුන් පිළිබඳව කෙරුණු පර්යේෂණ ගණනාවක් අතරින් එකක් පමණි. 2022 වර්ෂයේ ඔක්තෝබරයේ දී පළ වූ තවත් පර්යේෂණ පත්‍රිකාවකින් හෙළි ව ඇත්තේ නියැන්ඩර්තාල් පිරිමින් මෙන් නො ව බොහෝ නියැන්ඩර්තාල් ගැහැනුන් තම කණ්ඩායම අතැරදා ආගන්තුක හෝ පිටස්තර කණ්ඩායම් සොයා ගිය බව ය.

මෙවැනි පර්යේෂණ හරහා මානව පරිණාමය පිළිබඳ වංශ කතාවට දිනෙන් දින එකතු වන දැනුම අපූරු ය. විශේෂයෙන් ම හෝමෝ සේපියන්ස්වරුන් මිහිතලය මුළුමනින් අත්පත් කර ගන්නට කලින් විසූ නියැන්ඩර්තාල්වරුන් මෙන්ම ඔවුන්ටත්, නූතන මානවයන්ටත් යන දෙපිරිසට ම වඩා වෙනස් ලක්ෂණ දරන ඩෙනීසොවන්වරුන් පිළිබඳව තවමත් නො විසඳී ඇති අබිරහස් ගණනාවක් විසඳා ගන්නට මෙවැනි පර්යේෂණ ඉවහල් වේ.

නියැන්ඩර්තාල් මානවයන් යනු කවුද?

හෝමෝ නියැන්ඩර්තාලෙන්සිස් (Homo neanderthalensis) හෙවත් නියැන්ඩර්තාල් මානවයන් යනු අවම වශයෙන් වසර ලක්ෂ දෙකක පමණ කාලයක් තිස්සේ යුරෝපයේ සිට මධ්‍යම ආසියාව දක්වා පැතිරී වාසය කළ බවට සැලකෙන මානව විශේෂයකි. අදින් වසර හතළිස් දහසකට පෙර මිහිමතින් වඳ වී ගිය බවට සැලකේ.

නැෂනල් ජියෝග්‍රැෆික්හි පළ වූ වාර්තාවක සඳහන් දත්තවලට අනුව නියැන්ඩර්තාල් පිරිමියෙකුගේ සාමාන්‍ය උස අඩි 5යි අඟල් 5ක් පමණ ද, ගැහැනියකගේ සාමාන්‍ය උස අඩි 5යි අඟල් 1ක් පමණ ද වන්නට ඇතැ යි සොයාගෙන තිබේ. නූතන මානවයන්ට වඩා ඔවුන්ගේ සිරුර මිටි ය. තර ය. පළල් පපුවක් සහ මාංසපේශි සහිත බාහු ඔවුනට තිබුණි. මෙම කායික ලක්ෂණ අධික ශීතල පරිසරයකදී දේහ උෂ්ණත්වය රැකගැනීමට සිදුවූ අනුවර්තනයක් ලෙස සැලකේ. එමෙන් ම නියැන්ඩර්තාල්වරුන්ට විශාල නාසයක් සහ නාස් කුටීරයක් හිමි ව තිබූ බව සැලකේ. ඔවුන් ජීවත් වූ අධික ශීතල පරිසර තත්ත්වයන්හි දී වියළි, ශීතල වාතය උණුසුම් කොට තෙත් කිරීමට මෙම විශාල නාස් කුටීර උදව්වක් වූ හෙයින් එය ද ශීතල පරිසරයට වූ අනුවර්තනයක් ලෙස සැලකිය හැකි ය.

නූතන මානවයන් තරම් ම විශාල මොළයක් තිබුණු නියැන්ඩර්තාල් මානවයන් දියුණු මෙවලම් පාව්ච්චි කළ බවට සාධක තිබේ. ඇටකටු මගින් මෙවලම් තැනූ මුල් ම මානව විශේෂය බව සැලකේ. ගින්දර මගින් වැඩ ගත් ඔවුහු වාසස්ථානවල විසූ අතර විශාල සතුන් දඩයම් කිරීමේ දක්ෂතා පෙන්නුම් කළ හ. ශාක ආහාර ගත් බවට ද සාක්ෂි ඇත.

ඩෙනීසොවන් වෙන ම මානව විශේෂයක් ද?

දැනට ඩෙනීසොවන්වරුන් වෙන ම මානව විශේෂයක් ලෙස හඳුනාගෙන නැත. නියැන්ඩර්තාල් සහ හෝමෝ සේපියන්ස් යන මානව විශේෂ දෙකට වඩා ජානමය වශයෙන් වෙනස් මෙම මානව ‘කණ්ඩායම’ පිළිබඳව පළමු හෝඩුවාව ලැබෙන්නේ සයිබීරියාවේ අල්තායි කඳු වැටියේ ඩෙනීසොවා ගුහාවෙනි. ඒ 2010 තරම් මෑතක දී ය. මෙම මානවයන් පිලිබඳව දැනට තොරතුරු ලබාගෙන ඇත්තේ මූලිකව ම ෆොසිලවලින් ලබා ගත් ජාන විශ්ලේෂණ හරහා ය.

2019 වසරේ නැෂනල් ජියෝග්‍රැෆික් සඟරාවට මායා වෙයි-හාස් ලියන ලිපියකට අනුව මීට අවුරුදු 400,000- 500,000 අතර කාලයකට ඉහත දී කිසියම් පොදු මානව පූර්වජයෙකුගෙන් නියැන්ඩර්තාල්වරුන් සහ ඩෙනීසොවරුන් වෙන් වී වෙන ම මානව කණ්ඩායම් (හෝ විශේෂ) ලෙස පරිණාමය වීමට පටන්ගෙන ඇතැ යි අනුමාන කළ හැකි ය. නියැන්ඩර්තාල්වරුන් යුරෝපය සහ මැදපෙරදිග කලාපයේ සංක්‍රමණය වෙද්දී ඩෙනීසොවන්වරු ආසියානු කලාපයේ ව්‍යාප්ත වූ හ. ඔවුන් දැන් ආසියාතිකයන් ලෙස හඳුන්වන හෝමෝ සේපියන්ස්වරුන්ගේ ප්‍රාග් ඓතිහාසික මුතුන්මිත්තන් සමග අභිජනනය කරන්නට ඇත. අධ්‍යයනයකට අනුව මෙකී ඩෙනීසොවන්වරුන් හෝමෝ සේපියන්ස්වරුන් සමග සහජීවනයෙන් සහ ඔවුන් සමග මුහුන් වෙමින් අවුරුදු දස දහස් ගණනක් තිස්සේ – මීට අවුරුදු තිස් දහසකට පෙර යුගය දක්වා – ජීවත් වන්නට ඇතැ යි සැලකේ. සමහර විට මීට අවුරුදු 15,000කට පෙර මෑත අතීතයක් දක්වා පවා ඔවුන් මිහිතලය මත විසූ බවට ද අනුමාන කළ හැකි නමුත් එය තවමත් අධ්‍යයන මගින් තහවුරු කර නැත.

මායා වෙයි- හාස්ගේ ලිපියෙහි සඳහන් වන අනෙක් විශේෂ කාරණය වන්නේ ජානමය අතින් එකිනෙකට වෙනස් වූ ඩෙනීසොවන් කණ්ඩායම් තුනක් මිහිතලය මත වාසය කළ බවට සාධක තිබෙන බව ය. නූතන නිව්ගිනි වැසියන්ගේ ජාන පරීක්ෂාවකින් හෙළි වුණේ අල්තායි ඩෙනීසෝවන් කණ්ඩායමට වඩා වෙනස් ජාන ලක්ෂණ දරන තවත් ඩෙනීසෝවන්ලා කණ්ඩායම් දෙකක් එවක වාසය කළ බවයි. මේ කණ්ඩායම් තුන ම නියැන්ඩර්තාල්වරුන් සමගත්, හෝමෝ සේපියන්ස්වරුන් සමගත් අන්තරාභිජනනය කරමින් මුහුන් වන්නට ඇති බවට සාධක තිබේ.

ඩෙනීසොවන් මානව කණ්ඩායමේ කායික පෙනුම ගැන තොරතුරු ඇත්තේ ඉතා අඩුවෙනි. ඊට හේතුව එම මානවයන්ගේ ෆොසිල සාම්පල සොයාගෙන තිබෙන්නේ සුළු ප්‍රමාණයක් වීමයි. ‘ඔස්ට්‍රේලියන් මියුසියම්’ වෙබ් අඩවියෙහි දැක්වෙන තොරතුරුවලට අනුව තවමත් කායික ලක්ෂණ අනුව මෙම මානවයන් ගැන විස්තර කළ නොහැකි මුත් දැනට සොයාගෙන ඇති දත් සහ අස්ථි සාම්පලවලින් ඔවුන් සතු ව තිබෙන්නට ඇතැ යි සිතිය හැකි ලක්ෂණ කිහිපයක් පමණක් මෙසේ සඳහන් කළ හැකි ය.

චාර්වක දත්

■ විශාල ය. නමුත් නියැන්ඩර්තාල් දත්වල දකින්නට ඇති විශේෂ ලක්ෂණ මෙහි නැත.

■ දත් මතුපිට අසාමාන්‍ය නෙරුම් දකින්නට ඇති අතර නූතන මානව චාර්වක දත්වලට සමානකම් නො දක්වයි.

■ නියැන්ඩර්තාල් හෝ නූතන මානවයන් ගෙන් ලැබුණු පොදු රූපවිද්‍යාත්මක ලක්ෂණ නැත. එමගින් යෝජනා කරනු ලබන්නේ ඩෙනීසොවන් මානවයන්ට ඉහත මානව විශේෂ දෙකෙන් ම වෙනස් වූ පරිණාමීය ඉතිහාසයක් තිබෙන බවයි.

හනුව

■ ටිබෙටයෙන් සොයාගත් ඩෙනීසොවන් මානව ෆොසිලයකින් ලැබුණු තොරතුරුවලට අනුව ඩෙනීසොවන්වරුන්ගේ හනුව ශක්තිමත් ය. නියැන්ඩර්තාල් මානවයන්ගේ හනු අස්ථියට වඩා දිගෙන් අඩු ය.

ඩෙනීසොවන්වරුන්ගේ සමාජ සංස්කෘතික ජීවිතය ගැන තවමත් නිශ්චිත තොරතුරු සොයාගෙන නැති මුත් ඔවුන්ට සාපේක්ෂව දියුණු බුද්ධි මට්ටමක් තිබුණු බවත්, ඒ කාලයේ විසූ අනෙකුත් මානව විශේෂවල ජීවන විලාසයට සමාන ජීවිත ගත කළ බවත් අනුමාන කෙරේ.

‘මිශ්‍ර ජාතික’ දැරිය හෙවත් ඩෙනී

අවුරුදු කිහිපයකට පෙර පුරාවිද්‍යාඥයන් පිරිසක් වසර 90,000ක් පැරණි අස්ථි කැබැල්ලක් (තුනී පෙත්තක් වැනි) ඩෙනීසොවා ගුහාවෙන් සොයාගත් අතර බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයයේ පර්යේෂිකාවක වන සමන්තා බ්‍රවුන් එහි සුරැකි ව තිබූ ප්‍රෝටීන විශ්ලේෂණයෙන් එය මානවවංශික අස්ථියක් බව නිගමනය කළා ය. සමන්තා බ්‍රවුන්ගේ පර්යේෂණ කණ්ඩායම මෙම අස්ථිය අයත් මානවයාට ‘ඩෙනී’ යනුවෙන් නමක් ද තැබී ය. එම විශ්ලේෂණයේ දී සහ එම අස්ථියේ ව්‍යුහය අනුව සොයා ගැනීමට හැකි වූයේ මේ ප්‍රාග් ඓතිහාසික මානවයා හෝ මානවිකාවට මිය යද්දී වයස අවුරුදු දහ තුනක් බව ය.

ඉන්පසුව මෙම අස්ථි කැබැල්ලෙන් ලබා ගත් ඩී.එන්.ඒ. (DNA) පරීක්ෂාව සිදු කළේ ජර්මනියේ පරිණාමීය මානවවිද්‍යාව පිළිබඳ මැක්ස් ප්ලන්ක් ආයතනයේ විවියෙන් ස්ලොන් ය. ඇයත් ඇගේ පර්යේෂණ කණ්ඩායමත් කළ පරීක්ෂණවල දී හෙළි වූයේ ඩෙනී ගැහැනියක බවයි. ඇගේ ඩී.එන්.ඒ.වලින් සියයට පනහක් පමණ නියැන්ඩර්තාල් ජාන වන අතර ඉතිරි සියයට පනහ ඩෙනීසොවන් ජාන බව සොයා ගැනීමට ද හැකි විය. ඒ අනුව ඇය මේ වෙනස් මිනිස් විශේෂ/කණ්ඩායම් දෙකක මාපියන්ගේ දියණියක බව තහවුරු කර ගැනීමට හැකි විය.

ඊළඟට සොයා ගැනීමට තිබුණේ ඇගේ මව කුමන මිනිස් වර්ගයකට අයත් ද යන්නයි. මව ගෙන් පමණක් දරුවන්ට උරුම වන ‘ මයිටොකොන්ඩ්‍රීය ඩී.එන්.ඒ’ නම් ප්‍රවේණික ද්‍රව්‍ය ඩෙනීට උරුම වී තිබුණේ නියැන්ඩර්තාල්වරියක ගෙනි. එහෙයින් ඩෙනීගේ මව නියැන්ඩර්තාල් විශේෂයට අයත් සහ පියා ඩෙනීසොවන් මානව වර්ගයට අයත් බව නිගමනය කළ හැකි විය.

එහෙත් මෙයින් කියැවෙන්නේ නියැන්ඩර්තාල් මානවයන් සහ ඩෙනීසොවන්වරුන් නිතර ලිංගික ව හැසිරෙමින් දරුවන් බිහි කළ බව නො වේ. ඔවුන්ගේ ජාන සියල්ල ම පරීක්ෂා කිරීමේ දී හෙළි වන්නේ ඔවුන් දෙපිරිස ම සෑහෙන ප්‍රමාණයකට ව්‍යුහාත්මකව එකිනෙකා ගෙන් වෙනස් කණ්ඩායම් බවයි. ඔවුන් වාසය කළේ හාත්පසින් වෙනස් භූමි ප්‍රදේශවල ය. නියැන්ඩර්තාල්වරුන් යුරෝපයේ සහ ඩෙනීසොවන්වරුන් නැගෙනහිර ආසියාවේ ලෙස ය. එහෙයින් ඔවුන් එකිනෙකා හමු වන්නට ඇත්තේ ඉතා කලාතුරකිනි. එහෙත් යම් හෙයකින් ඔවුන් හමු වූ විට නිදහසේ එකිනෙකා ඇසුරු කරන්නට ඇති බව මැක්ස් ප්ලාන්ක් ආයතනයේ පර්යේෂක ස්වාන්තෙ පේබෝගේ මතයයි.

සයිබීරියාවේ ඩෙනීසොවා ගුහාව ආශ්‍රිත ප්‍රදේශය එදවස ඔවුන් මුණ ගැසුණු එවැනි විශේෂ තැනක් විය හැකි ය. නූතන මානවයන් වන හෝමෝ සේපියන්වරුන් ද අප්‍රිකාවේ සිට යුරෝපයටත් ආසියාවටත් ව්‍යාප්ත වෙද්දී නිතර ම ඒ ප්‍රදේශවල විසූ නියැන්ඩර්තාල්වරුන් මෙන්ම ඩෙනීසොවන්වරුන් සමග ද අභිජනනය කරමින් මුහු වෙන්නට ඇති බව තර්ක කරන පේබෝ කියන්නේ නියැන්ඩර්තාල් සහ ඩෙනීසොවන් මානව විශේෂ/කණ්ඩායම් මිහිතලය මතින් තුරන් වන්නට ඒ මුහු වීම ම හේතු වන්නට ඇති බව ය. ඒ තර්කයට අනුව නියැන්ඩර්තාල්වරුන් හෝ ඩෙනීසොවන්වරුන් කුමක් හෝ දැවැන්ත ආපදාවක් නිසා හෝ අප්‍රිකාවෙන් පිටට සංක්‍රමණය වූ නූතන මානවයන් සමග තරග කිරීමට නොහැකි ව හෝ මිහිතලයෙන් තුරන් වී ගියා විය නොහැකි ය. ඔවුන් දෙපිරිස ම සේපියන්ස්ලා සමග ක්‍රමයෙන් මුහු වීම හරහා ම සාපේක්ෂව ප්‍රමාණයෙන් විශාල හෝමෝ සේපියන්ස් විශේෂය තුළට අවශෝෂණය වී ගියා විය හැකි ය. බොහෝ යුරෝපීය සහ ආසියානු සම්භවයක් සහිත පුද්ගලයන්ගේ ඩී.එන්.ඒ (ප්‍රවේණික ද්‍රව්‍ය) අතරින් සියයට 1-2 අතර ප්‍රමාණයක් නියැන්ඩර්තාල් ජාන බව සොයා ගැනීම හරහා මෙම අනුමානය නිවැරදි යැ යි සිතිය හැකි ය.

නියැන්ඩර්තාල් ස්ත්‍රී නිදහස

නියැන්ඩර්තාල්වරුන්ගේ ෆොසිලවලින් ලබා ගත් ඉපැරණි ඩී.එන්.ඒ විශ්ලේෂණය කිරීමේ දී නියැන්ඩර්තාල් පිරිමින් තමන් උපත ලැබූ කණ්ඩායමෙන් පිටට නො යන මුත් බොහෝ නියැන්ඩර්තාල් ගැහැනුන් තම කණ්ඩායමෙන් පිට වෙනත් කණ්ඩායම් වෙත සංක්‍රමණය වී තිබෙන බව නිව්සයන්ටිස්ට් සඟරාවේ පළ වූ වාර්තාවකින් කියැවෙයි.

සයිබීරියාවේ චාජිර්ස්කායා ගුහාවෙන් සොයා ගත් නියැන්ඩර්තාල් මානවයන් 11 දෙනෙකුගේ අස්ථි සහ දත් සාම්පලවලින් ලැබුණු ඩී.එන්.ඒ තොරතුරුවලට අනුව එම ගුහාව ආශ්‍රිත ව විසූ නියැන්ඩර්තාල් කණ්ඩායම එහි වාසය කර ඇත්තේ වසර 51 000කට පමණ පෙර ය. එම කණ්ඩායම තුළ මිය යන විට වැඩිහිටි අවධියේ සිටි පිරිමි, ගැහැනු, කුඩා ළමයි සහ නව යොවුන් වියේ පසු වූවෝ ද සිටිය හ. එම කණ්ඩායමෙන් ලබා ගත් ඩී.එන්.ඒ තොරතුරුවලට අනුව මව ගෙන් දරුවන්ට උරුම වන ‘ මයිටොකොන්ඩ්‍රීය ඩී.එන්.ඒ’ නම් ප්‍රවේණික ද්‍රව්‍යවල විවිධත්වය, පියා ගෙන් දරුවන්ට උරුම වන Y ක්‍රෝමොසෝම නමැති ප්‍රවේණික ද්‍රව්‍යවල විවිධත්වයට වඩා අධික බව සොයා ගැනීමට ලැබිණි. එමගින් යෝජනා කෙරෙන්නේ නියැන්ඩර්තාල් පිරිමින් තමන් උපන් කණ්ඩායමෙන් පිට නොයා එහි ම රැඳී සිටිද්දී බොහෝ කාන්තාවන් තමන් උපත ලැබූ කණ්ඩායම අතැර විවිධ පිටස්තර කණ්ඩායම් වෙත ගොස් ඇති බව ය. නොඑසේ නම් නියැන්ඩර්තාල් කණ්ඩායම් අතර කාන්තාවන්ගේ සංක්‍රමණ බහුල වූ බවය.

දැනට සිදු වී ඇති පර්යේෂණවලින් හෙළි වූ මේ තොරතුරුවලින් මිහිතලය මතින් වඳ වී ගිය මානව විශේෂ ගැන කුතුහලය දනවන උපකල්පන කළ හැකි ව තිබේ.

නියැන්ඩර්තාල් ගැහැනුන් තම කණ්ඩායම් අතර දා සංක්‍රමණය වීම, පිරිමින් එසේ නො කර හිඳීම වැනි දෙයකින් හැඟවෙන්නේ නූතන මානවයන්ගේ පවුල් තුළද දකින්නට ලැබෙන අන්දමට ගැහැනිය තමන් සහකරු ලෙස තෝරාගත් පිරිමියාගේ ප්‍රජාව සමග වාසයට යාම (patrilocal) වැන්නක්ද? නොඑසේ නම් නිදහස් නියැන්ඩර්තාල් ගැහැනිය තමන්ට අවශ්‍ය සහකරුවා තෝරා ගැනීමට වෙනත් කණ්ඩායම් කරා සංක්‍රමණය වූවාද? ඩෙනී වැනි දෙමුහුන් දරුවන් බිහිවීමෙන් කියැවෙන්නේ නියැන්ඩර්තාල් ස්ත්‍රිය තමන්ගේ වර්ගයට සහමුලින්ම වෙනස් මානව විශේෂ හෝ කණ්ඩායම්වල සහකරුවන් සමග පවා සබඳතා පැවැත්වීම හරහා සිය ලිංගික නිදහස සොයා ගිය බවද?

නියැන්ඩර්තාල්වරුන්ගේ මෙවැනි සංකීර්ණ මානව සම්බන්ධතා පිළිබඳව සම්පූර්ණ චිත්‍රයක් ලබා ගැනීමට නම් තවත් බොහෝ පර්යේෂණ සිදු විය යුතු ය. මානව පරිණාමය පිළිබඳව දැනට අප සතු චිත්‍රය ද වඩාත් සම්පූර්ණ කළ හැක්කේ එවැනි සොයා ගැනීම්වලිනි.

@ කෞමධී කුලතුංග fb page

Photo Credit: Lambert/Ullstein Bild/Getty Images- BBC future

නවතම ලිපි