සමාජය වෙත ඇති බුද්ධිමය මැදිහත්වීම සම්බන්ධයෙන් නැවත නැවත සාකච්ඡා කල යුතුව ඇත.

"විශාල ජනහිතකාමී බුද්ධිමය දායකත්වයකට හිමි කම් කියූ නිර්මාණි ලියනගේ හදිසියේ දැයෙන් සමුගැනීම" පිළිබඳව Nirmal Dewasiriගේ සටහන තුලින් කියවෙන දේ නිර්මාල් දේවසිරි පවසනවාට වඩා විවෘත ලෙස, පැහැදිලිව, නිරවුල්ව සහ කුහකත්වයෙන් නොයුතුව ඩෙස්මන්ඩ් නැමැත්තෙකු විසින් පවසා තිබේ (screen shot එක පහතින් දක්වා ඇත).

 පංති අරගලය 1

ඩෙස්මන්ඩ්ට අනුව සොබාදහම, ස්වභාවික විද්‍යාව, ගෝලීයකරණය, වෙළඳාම සහ ධනවාදය පිළිබඳව නිසි දැනුම නොමැති වීම අර්බුධයට හේතුවයි. "ගොඩයමු" කල්ලියට අනුව ද එය එසේය. එවිට නිතර බුද්ධිමය දායකත්වය (දැනුම) ගැන පවසන නිර්මාල්ගේ මෙහෙයුමෙන් යුතු බුද්ධිමය කල්ලි විසින් පවසන්නේ මීට වෙනස් දෙයක් ද ? නැත. ඔවුනට අනුව ද ප්‍රශ්නය සොබාදහම, ස්වභාවික විද්‍යාව, ගෝලීයකරණය, වෙළඳාම සහ ධනවාදය පිළිබඳව නිසි දැනුම නොමැති වීමයි. නමුත් දෙපාර්ශවය අතර වෙනස (ලිබරල්වාදීන් සහ වාමාංශිකන් ලෙස වන වෙනස) වන්නේ ඉහත දැනුම බෙදා දෙන, ව්‍යවහාර කරන, සහ යොදා ගන්නා ආකෘතිය සම්බන්ධයෙන් ඇති වෙනස පමණි.

නමුත් මෙම කල්ලි අතරද යම් බුද්ධිමය ප්‍රභේධයන් පවතී. උදාහරණයකට "බටහිර ඉවුරේ දර්ශනය" වැනි විකාරයක් සහ Sunil Wijesiriwardena වැනි සංශයවාදයන් අතර ඇති වෙනස වන්නේ අනුගමනය කල යුතු ප්‍රතිපදාවන් අතර වෙනසක් සලකුණු කිරීමයි. එනම්, "බටහිර ඉවුරේ දර්ශනය" වැනි බටහිර දාර්ශනික විකාරයක් ඍජුවම බටහිර නූතනත්වය කොන්දේසි විරහිතව පිළිගෙන බටහිර ශිෂ්ටත්වය සංස්ථාපනය විය යුතු බව පවසන විට සුනිල් විජේසිරිවර්ධන වැනි සංශයවාදයක අදහස වන්නේ මධ්‍යම ප්‍රතිපදාමය ආස්ථානයක් සහ ඒ තුලින් වන සන්විචාරණීය මිනිසුන්ය. එවිට සුපහන් සමාජයක් උදා වනු ඇත යන්න එම කල්ලියේ පැතුමයි.

මේ සම්බන්ධයෙන් අපගේ ස්ථාවරය කෙටියෙන් මෙසේය.

පංති අරගලය 2

ශිෂැක් විසින් පෙරෙයිදා පැවති දේශනයකදී මෙසේ පැවසීය.

"අද, නවතම ජෛව ප්‍රවේණික සංවර්ධනයන් සමඟ, අපි නව අවධියකට පිවිසෙමින් සිටින්නෙමු. එම තත්වය විසින් විසින් හුදෙක් ස්වභාවයම (nature) වාතයට දිය කර හරී. එනම් ජෛව ජාන විද්‍යාවේ විද්‍යාත්මක ජයග්‍රහණවල ප්‍රධාන ප්‍රතිවිපාකය වන්නේ ස්වභාවයේ අවසානයයි. එහි සංස්කරණ නීතීන් දැනගත් පසුව, ස්වභාවික ජීවීන්, ශාක සහ අනෙකුත් දෑ හැසිරවීමට හැකි වස්තු බවට රූපාන්තරණය වේ. මේ අනුව, ස්වභාවය (මනුෂ්‍ය සහ මනුෂ්‍ය නොවන), "සාරහරණය" කර, එහි විනිවිදිය නොහැකි, ඝනීබූත සංයුක්තභාවය, එනම්, නොබිඳිය හැකි (අපාරගම්‍ය) ඝනත්වය, අහිමි කර ඇත. ෆ්‍රොයිඩ් විසින් ගෙනහැර දැක් වූ සංස්කෘතිය තුළ අසහනය, අතෘප්තිය, යන්න මේ වන විට නවතම වර්ධනයන් සමඟ සංස්කෘතිය වෙතින් ස්වභාවය වෙතට මාරු වේ. එනම්, ස්වභාවය තවදුරටත් "ස්වාභාවික" නොවේ. අපගේ ජීවිත වල විශ්වාසදායක "ඝන" සංයුක්ත පසුබිම මේ වන විට බිඳෙනසුලු යාන්ත්‍රනයක් ලෙස පෙනී සිටී. එය ඕනෑම අවස්ථාවක, දැඩි ව්‍යසනකාරී දිශාවකට පුපුරා යා හැකිය."

ෆ්‍රොයිඩ් විසින් ලියන ලද "ශිෂ්ටාචාරය සහ එහි අසහනය" කෘතියේ සාකච්චා කරනුයේ බුද්ධිමය මැදිහත් වීම මගින් ගොඩනගන ලද සංස්කෘතික අසහනය පිළිබඳව නම් දැන් එම තත්වය සංස්කෘතිය තුල පමණක් නොව ස්වභාවය තුලට ද අවතීරණ වී ඇත. ඒ ස්වභාවය වෙතට වන බුද්ධිමය මැදිහත් වීම තුලය. මෙය අතීතයේ කිසිදා නොවූ විරූ තත්වයකි. 14 වන සියවසේ නූතන විද්‍යාව ආරම්භ වීමෙන් පසුව, කාර්මික ධනවාදය සමගින් ඇති වූ වුර්ධීන් පසු කරමින් අද පවතින තත්වයට පැමිණ ඇත.

ඒ අනුව අප විසින් සපුරා ප්‍රතික්ෂේප කරනුයේ සහ එරෙහි වනුයේ සංස්කෘතිය වෙතට මෙන්ම ස්වභාවය වෙතට කරනා බුද්ධිමය (දැනුම) මැදිහත් වීමටයි.

දැන් කෙනෙකුට විමසිය හැක්කේ මේ ආකාරයේ අපගේ මැදිහත් වීම බුද්ධිමය මැදිහත් වීමක් නොවන්නේද යන්නයි (මෙම ප්‍රශ්නයට කොතෙකුත් පිළිතුරු දී ඇතත් එයම නැවත නැවත අසනු ලැබේ). අපගේ මැදිහත් වීම බුද්ධිමය වන ආකාරය එසේ අසන අය විසින් පෙන්වා දුන් පසුව අප එයට නැවත පිළිතුරු ලබා දෙන්නෙමු.

එබැවින් මේ තත්වයෙන් මිදීම සඳහා මාවත වැටී ඇත්තේ දෘෂ්ටිවාදය විචාරය සහ පන්ති අරගලය තුලිනි. ඒ අනුව නව නිර්ධනීකරණයක් අවශ්‍යව ඇත. ඒ විඳවීම (සංස්කෘතිය සහ ස්වභාවය තුල අසහනය, අතෘප්තිය, ඉවසිය නොහැකි බව) පිළිගන්නා පිරිස සහ එය නොපිළිගන්නා පිරිස ලෙස නව නිර්ධනයා නිර්මාණය කල යුතුය. එය ආර්ථිකමය පන්තීන් (මාක්ස්ගේ සමයේ මෙන් නොව දැන් ඕනෑම අයෙකුට තම පන්තිය මාරු කර ගැනීම පිළිබඳව අපේක්ෂාව තබා ගත හැකිය. මාක්ස්ගේ සමයේ සිටි නිර්ධනයා හට එවැනි අපේක්ෂාවක් හෝ නොවීය.) වෙතට එරෙහි වීම මෙන්ම තම ජීවිතය සම්බන්ධයෙන්, කොටින්ම තමන් ජීවත් වන ලෝකය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත හැකි අනුක්‍රමික අධිකාරීත්වයක් පැවතීම (දැනුමට අදාළ පන්ති ස්වභාවය) වෙතට ද එරෙහි පන්ති අරගලයක් විය යුතුය.

ගෝල්ෆේස් විශ්ව විද්‍යාලය විසින් පැවැත් වූ දේශනයක් සම්බන්ධයෙන් අප ලියූ ලිපියේ සබැඳියාව:

http://www.spartacus.lk/%e0%b6%ba%e0%b7%9d%e0%b6%b0.../2022/

@ ස්පාටකස් ලිපි

නවතම ලිපි