ජේ ආර් ජයවර්ධන 1977 දී බලයට පැමිණියේ මෙර මධ්‍යම පාංතික ආකල්ප හේතුකොටගෙන.

ඔහු ඊනියා විවෘත ආර්ථිකයක් ඇති කළා. ඒ දිනවල රොනී ද මැල් මුදල් ඇමති ලෙස අද මෙන් ම පොලී අනුපාතය වැඩි කළා. ඔවුන්ට වුවමනා වූයේ නිෂ්පාදනය වෙනුවට ආනයන වැඩි කිරීමට. ලලිත් ඇතුළත්මුදලිගේ තර්කය වුණේ භාණ්ඩයක් මෙරට නිෂ්පාදනය කිරීිමට යන මුදලට වඩා අඩු මුදලකට ආනයනය කරන්න පුළුවන් නම් එය ආනයනය කළ යුතු බවයි. අප තවමත් නිෂ්පාදන අපනයන ආර්ථිකයක් ගැන තබා මෙරටට අවශ්‍ය ආහාර රටේ ම නිෂ්පාදනය කිරීම ගැනවත් හිතන්නේ නැහැ.

ජේ ආර් රට විවෘත කෙළේ ආර්ථිකයට පමණක් නො වෙයි. ඔහු රට සංස්කෘතිකවත් විවෘත කළා. ඒ බව අප බොහෝ කලකට පෙරත් කියා ඇති. මෙය ඉතාමත් බරපතළ දෙයක්. විවිධ පෞද්ගලික ගුවන් විදුලි ආයතන රුපවාහිනී නාළිකා බිහිවන්න පටන් ගත්තේ ඉන් පසුවයි. විශ්වවිද්‍යාලවල ඇති ඊනියා උපසංස්කෘතීන් ගැනත් ලියන කියන පඬි නැට්ටන්ට සිංහල බෞද්ධ සංස්කෘතිය තේරෙන්නේ නැහැ.

බොහෝ කලකට පෙර රජයේ ගුවන් විදුලිය පමණක් තිබුණු දවස්වල ස්වදේශීය සේවය හා වෙළෙඳ සේවය යනුවෙන් සේවා දෙකක් තිබුණා. ස්වදේශීය සේවය යම් ආකාරයක අධීක්‍ෂණයකට ලක්වුණා. වෙළෙඳ සේවය තරමක් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළා. එය වෙළෙඳ දැන්වීම් මගින් ද යම් ආදායමක් ලබා ගත්තා. වෙළෙඳ දැන්වීම් වුණත් යම් අධික්‍ෂණයකට ලක් වූ බවයි මගේ හැඟීම. අප ගුවන් විදුලි යන්ත්‍රයක් මිල දී ගත්තේ පනස්තුනේ හරි හතරේ හරි වෙන්න ඕන. ඒ අප නිවසට විදුලිය නැත්තන් ලයිට් ගත්තට පස්සෙ. තාත්තා අපට සවන් දීමට ඉඩ දුන්නේ ස්වදේශීය අංශයට.

රටක සමාජයක සංස්කෘතිය කියන්නෙ හැදිච්චකම නැත්නම් හැදියාව. ඒ හැදියාවත් චින්තනයක් මත සංස්කරණය වන්නක්. අප යමක් ශිෂ්ඨ ද අශිෂ්ඨ ද කියා තීරණය කරන්නෙ හැදියාව මත පදනම් ව. සමහර විට ඇතැම් හැසිරීම් නීතිය මගිනුත් පාලනය වෙනවා. නීතියත් චින්තනයක සංස්කරණය වෙන්නෙ. ශිෂ්ඨත්වය කියා වාස්තවික අමුර්ත දෙයක් නැහැ. එය සංස්කෘතියට සාපේක්‍ෂයි. කිසිම රටක සජාතීය (සමජාතීය) සංස්කෘතියක් නැහැ. එහෙත් යම් ජාතියක ජනකොටසක පොදු සංස්කෘතිකාංග තියෙනවා. සිංහල බෞද්ධ සංස්කෘතියෙත් එහෙමයි.

මෙරට සංස්කෘතිය යම් ආකාරයකට භික්‍ෂුන් වහන්සේගේ මග පෙන්වීම උඩ සකස් කෙරුණෙ.  අවුරුදු හාරසීයකට ආසන්න යටත්විජිතවාදයකින් පසුවත් දහනවැනි සියවසේ අගභාගය වෙන තෙක් තත්වයේ එතරම් වෙනසක් වුණේ නැහැ. ඕල්කට්තුමා ආයතනවල නායකත්වයෙන් භික්‍ෂූන් වහන්සේ ඉවත් කෙරුවත් 1923 දි විශ්වවිද්‍යාල ආයතනය පිහිටුවන තුරු ගිහියන් ඊනියා බෞද්ධ උගතුන් වුණෙ නැහැ. පංච මහා වාදවල නායකත්වය ගත්තෙ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් ප්‍රධාන භික්‍ෂූන් වහන්සේ. ගිහියන් කෙළේ දායකත්වය සැපයීම පමණයි.

එහෙත් විසිවැනි සියවසේ මුල මේ තත්වය පළමුව ඉහළ ප්‍රභූවරුන් අතරත් දෙවනුව මධ්‍යම පංතියේත් වෙනස් වෙන්න පටන් ගත්තා. ආනන්ද විදුහලට විදුහල්පති ස්වාමීන් වහන්සේ කෙනකු පත් කෙරුණේ නැහැ. ආනන්දෙ මුල් විදුහල්පතිතුමා එංගලන්තයෙන් ආනයනය කෙරුණා. ඔහු පසුච  ඕස්ත්‍රේලියාවේ සිඩ්නි නුවර  ක්‍රිස්තියානි පූජකවරයෙක් වුණා. මධ්‍යම පංතියේ ශිෂ්ඨත්වයේ මධ්‍යස්ථානය ලංඩනය බවට ක්‍රමයෙන් පත් වෙන්න පටන් ගත්තා, සංස්කෘතික ත්‍රිකෝණය ලංඩන් නිච්යෝක් පැරිස් බවට ක්‍රමයෙන් පත් වෙන්න පටන් ගත්තා.

ජේ ආර් බිහිවුණෙත් හැදුනෙත් ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියක. ඔහු පසුව බෞද්ධයකු වුණු බව සැබෑව. එහෙත් ඒ අයට ඩොනමෝර් බෞද්ධයන් කියාත් කිචුච. ඒ ඩොනමෝර් නිරදේශ කළ සර්වජන ඡන්දය නිසා හැදුණු නමක්. මාර්ටින් වික්‍රමසිංහ නිර්මල බෞද්ධ සංස්කෘතියක් ගැන ලිවුවත් ලෝකයේ කිසිම රටක සමාජයක නිර්මල සංස්කෘතීන් නැහැ. ඕනෑම සංස්කෘතියක් වෙනත් සංස්කෘතීන්ට විවෘත වෙනවා. ඒ විවෘත වීමේ දී ඇතැම් දේ අවශෝෂණය කෙරෙනවා අනුකරණය කෙරෙනවා. ඇතැම් දේ බැහැර කෙරෙනවා.

ලංකාවෙ තියෙන්නෙ සිංහල බෙද්ධ සංස්කෘතියක්. එය අවුරුදු දෙදහස් හාරසීයක් පමණ පැරණියි. ඒ සංස්කෘතිය මෙරට තිබූ යක්‍ෂ නාග දේව සංස්කෘතීන්වලට බෞද්ධ සංස්කෘතියක් අවශෝෂණය වීමක්. අප දෙවියන්ට පින් දෙනවා පමණක් නො වෙයි. මළවුන් සිහි කරනවා පමණක් නො වෙයි. අප කර ඇත්තේ අපේ දේව මණ්ඩලයක සිරසේ බුුදුහාමුදුරුවන් තැබීමයි. යළි ඉපදීම නතර කිරීමට කටයුතු කිරීමයි. අප බෝධි වන්දනාව කරනවා. මියන්මාහි කරන්නේ නැහැ. ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ නම් බෝධි වන්දනාව කරනවා.

මිහිඳු මහා රහතන් වහන්සේ වැඩම කිරීමට පෙරත් මෙරට බෞද්ධයන් ඉඳලා තියෙනවා. ඔවුන් යක්‍ෂ නාග දේච ජනවර්ගවලට අයත් වුවන්. මෙරට ඊශ්වර දෙවියන්ගේ  සිද්ධස්ථාන තිබූ බව පැහැදිලියි. ඊශ්වර දේවාල අදත් තියෙනවා. මහාවංශය යක්‍ෂයන් රාක්‍ෂසයන් ගැන නොකියන නිසා ඒ දේවාල දෙමළ හින්දු භක්තිකයන්ට ගිහින් තියෙනවා. තව විස්තර පසුවට. ඉසුරුමුණිය ඊශ්වර දේවාලයක් වෙන්න ඕන. ඉසුරුමුණිය ගැන කියන විට ඉස්සර සමණ කියනවා. මෙහි ඊශ්වර  ශ්‍රමණ සම්ප්‍රදායක් තියෙන්න ඇති. වෙස්සගිරියත් සිහි කරන්නෙ වෛශ්‍රවණ රාක්‍ෂස වෙන්න ඕන. මා කියන්නේ සිිංහල බෞද්ධ සංස්කෘතිය ඒ යක්‍ෂ රාක්‍ෂස සංස්කෘතියට බුදුදහම අවශෝෂණය වීමෙන් සංස්කරණය කර ගත් එකක් කියල. ඒ කාරණය මිහිඳු හිමියන් දත් නිසා තමයි ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව මෙරටට වැඩම කිරීමට මූලික වෙන්න ඇත්තෙ. ඔය දේවාල හින්දු බලපෑමෙන් ඇති වූ සිද්ධස්ථාන නො වෙයි. කතරගම මහසෙන් දෙවියන්ට කියන්න ගැමුණු රජ්ජුරුවො ගියෙ පෞරාණික ඉතිහාසයට අනුව. හින්දු සංස්කෘතියක් ඇති වුණෙ හයවැනි සියවසේ සංකරාචාර්යයන්ගෙන් පසුව.

එකී සිංහල බෞද්ධ සංස්කෘතියෙ ශිෂ්ඨත්වය තමයි විසිවැනි සියවස මුල දි මධ්‍යම පාංතිකයන් අතර වෙනස් වෙන්න පටන් ගත්තෙ. මධ්‍යම පංතියෙ  ශිෂ්ඨත්වය මහා විහාරයෙන් අනුරාධපුරයෙන් මාගමින් නොව ඔක්ස්ෆඩ් කේම්බ්‍රිජ් හා ලංඩනයෙන් තීරණය වෙන්න පටන් ගත්තෙ. ඉතිරිය පසුවට. 

@Nalin De Silva

http://www1.kalaya.org/                                               

නවතම ලිපි