ලංකාවේ වම පරිකල්පනීයව අවසන්වී බොහෝ කල් ය.

එහි අවසානය සනිටුහන් වූයේ ජේආර් ජයවර්ධනගේ විවෘත  ධනේෂ්වර වෙළඳපොලකරණය  තුළින් වූවත් ඒ වෙද්දීත් ලෝක පර්යායයන්හි බලපෑම් මෙන්ම අභ්‍යන්තර දේශපාලන බලපෑම් මධ්‍යයේ එය දියවෙමින් පැවතිනි. එහෙත් ලාංකීය වම ලෙස තම අනන්‍යතාව තහවුරු කරගෙන සිටි රෝහණ විජේවීර නිර්මාණය කළ ජනතා විමුක්ති පෙරමුණ ධනේෂ්වර දේශපාලන පක්ෂ එක පසෙකටත් තම සංවිධානය වාමාංශික තලයේත් රැඳවීමට අනුපමේය උත්සාහයක් ගනු ලැබීය.

ඔවුනගේ එම උත්සාහය අවංක එකක් වූයේ නම් ලාංකීය වම ශක්තිමත් කිරීමට ඉන් ඔවුනට අවස්ථාවක් ලැබෙනු නොඅනුමානය. එහෙත් ලිබරල් වෙළඳපොල උත්කර්ෂයට නැගෙමින් පරිභෝජනවාදී ජීවන රටාව ස්ථාපිත වීමත් සමග එහි බලපෑමෙන් ජවිපෙ ප්‍රමුඛ වමටද ගැලවී යෑමක් නොතිබුනු අතර ඔවුනගේ දේශපාලනයද විජේවීරයන් තැනූ මාවතින් හෝ මතවාදයන් තුළින් වූ දෘස්ඨිවාදයෙන් ගිලිහී ලිබරල් දේශපාලන දෘෂ්ටිවාදයට පොළා පැනීම අනිවාර්යය සාධකයක් බවට පත්විය. අද එම පොළාපැනීම විවෘතව සටහන් කිරීමට උත්සාහ ගන්නා ජවිපෙ අවංක සාමාජිකයා වන්නේ කේඩී ලාල්කාන්තය.

මේ වෙද්දි රටේ සියලු ජනතාව ලිබරල් ආර්ථික මොඩලය විසින් පරිභෝජන වාදය වෙත කැඳවා ඇත. මෙම පරිභෝජනවාදයෙන් ගැලවුනු කිසිවකුත් නැති තරම් ය. මෙම තත්වය තුළ අද දවසේ බොහොමයක් දේශපාලන පක්ෂ හා ප්‍රවාහයන් දිසානත වෙන්නේම මෙන්න මේ කියන ජනතාවගේ පාරිභෝජනවාදී ඉල්ලීම් තව තවත් ඉටු කර දීම හා ඒ වෙත ජනතාව තව තවත් යොමු කිරීම දෙසටය. යම් හෙයකින් යම් දේශපාලන පක්ෂයක් මෙම පරිභෝජනය වෙත ජනතාව යොමුකිරීම නවතා දැමීමට කතා කළහොත් එම පක්ෂයේ දේශපාලනය ඒ මොහොතේම අහෝසි වනු ඇත. මන්ද මේ සිටින ජනතාව කිසි සේත් තම පරිභෝජනවාදය අත් හැරීමට සූදානම් නැති නිසාය. මෙන්න මේ මැද පන්තික ජනතාව යනු පරිභෝජනවාදය තුළ ගෙල වටක් ගිලී සිටින ජන කොටසකි. දැන් ජවිපෙ උත්සාහ කරන්නේ එම මැද පන්තික ජන කොටස දිනා ගැනීමටත් පක්ෂය ඔවුන්ගෙන් පිරවීමටත්ය. එහෙත් ඒ සඳහා හොඳම සහයෝගය අනුර කුමාරට ලබාදෙන්නේ ඔහුගේ හිතවතා වන රනිල් වික්‍රමසිංහ විසිනි. එහෙත් එය හැකිතරම් සගවාගෙන වැඩ කිරීමත් එම ක්‍රියාවලියේම කොටසකි. මන්ද පහල සිටින ජවිපෙ බිම් මට්ටමේ සාමාජිකයින් තවදුරටත් රඳවා තබා ගැනීමට රැවටිය යුතුමය. ඒ රැවටීම තුළ ආණ්ඩු විරෝධය මෙන්ම ප්‍රභූ විරෝධයද අත්‍යවශ්‍යය. අනුර දිසානායක ප්‍රභූ පන්තිය දැනට නියෝජනය කරන්නෙක් බව මොවුන්ට මේ නිසා වැටහෙන්නේද නැත.

අරගලය ගැන බොහෝ ටීකා ටිප්පනි කතාන්දර සහිතව එලිදක්වද්දී නිර්මාල් දේවසිරි ඇතුළු ඔහුගේ පරිවාරයන් එය ලාංකීය පොළොවේ උපන් විමුක්තියේ නැවුම් කුසුමක් ලෙස වර නගන්නට උත්සාහ කළේය. එය විප්ලවීය සන්ධිස්ථානයක් ලෙස හුවා දන්වන්නට උත්සාහ කළේය. එහෙත් ලංකාවේ ඒ මොහොතේ හටගත් අරගලය සම්බන්ධව නිවැරදිම කියවීම සිදුකළේ ස්පාර්ටකස් නමින් පෙනී සිටි සංවිධානයයි.ඔවුන් මෙම අරගලය මේ පවත්නා ක්‍රමය වෙනස් කිරීමේ අරගලයක් නොව පැවතුනු පරිභෝජනවාදය ඒ ලෙසටම හෝ ඊටත් වැඩියෙන් පවත්වාගෙන යායුතු බවට ගෙන ගිය අරගලයක් ලෙස නිර්වචනය කළහ. එය ඒ මොහොතේ ගෝල්ෆේස් අරගලයේ තිබුනු ධනේෂ්වර සෞන්දර්යයට ලොබ බැඳගත් ලාංකීය උගත් බුද්ධිමතුන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ ආකාරයත් එහිදී ස්පාර්ටකස් සංවිධානයට එරෙහිව නිර්මාල් දේවසිරි ඇතුළු පිරිස ක්‍රියාකලා පමණක් නොව ලංකාව අරගලයේ මුවවිටට පැමිණියායැයි ප්‍රහර්ෂයට පත්වූ ආකාරයත් අපි දුටුවෙමු. (එපමණක් නොව ස්පාර්ටකස් සංවිධානයේ සිටි ලාංකීය ඊනියා වමෙන් භෞතීෂ්ම කෙරුනු සාමාජිකයින් ගණනාවක්ම මෙම ප්‍රහර්ෂයෙන් අන්ධකරණයට ලක්ව ස්පාර්ටකස් හැර ගොස් ඇති බවත් ඔවුන් දැන් යන එන මං නැතිව ස්පාර්ටකස් සතුරන් සොයායමින් ඔවුන් හා සම්බන්ධ විය හැකිදැයි රස්තියාදුවේ නිරතව ඇති බවත් ආරංචිමාර්ග සපයන්නේය.)

ස්පාර්ටකස් සාමුහිකය මගින් එදවස ප්‍රකාශයට පත්කළ “උද්ඝෝෂකයින් විසින් ඉල්ලා සිටින්නේ කුමක්ද?” යන ලිපියේ ඒ පිළිබඳව මෙසේ සඳහන් කර තිබුනි.

“2015 වසරේ රාජපක්ෂලා පරාජය වූ පසුව රනිල් වික්‍රමසිංහ ඇතුළු ලිබරල් නඩය උත්සාහ දරනුයේ රාජපක්ෂලා විසින් ලබාදුන් පාරිභෝජන තත්වයට වඩා උසස් පාරිභෝජන තත්වයක් ලබා දීමටය. ඉහත ප්‍රස්තාර තුලින් එය පැහැදිලි වේ. නමුත් 2018 වසරේ සිදු වූ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඇති වූ ආර්ථික පසු බෑම හේතුවෙන් නැවතත් රාජපක්ෂලා බලයට පත්විය. 69 ලක්ෂයක් ඊනියා ජනතාව රාජපක්ෂලා හට බලය ලබා දෙන්නේ තම සිංහල බෞද්ධ ප්‍රමෝදය සොරා ගන්නා (ඔවුනට දැනෙන පරිදි) මුසොල්මානුවා අනෙකා කරගනිමිනි. නමුත් රනිල් වික්‍රමසිංහ විසින් කල්දමා ගත් ණය වාරික ද සහිතව ණය ගෙවීමට ඔවුනට සිදු වී ඇත. එපමණක්ද නොව, රනිල්ගේ පාලන සමයේ විශාල ලෙස එකවර ඉහල ගිය වාහන ආනයනය, එලෙක්ට්‍රොනික සහ එලෙක්ට්‍රිකල් උපකරණ ආනයනය, තුල ඒවාට අදාලව බලශක්ති අවශ්‍යතාවය ඉහල යාම වැනි බොහෝ කාරනා ඉස්මතුව ඇත.

රනිල් වික්‍රමසිංහ, හර්ෂ ද සිල්වා සහ රොහාන් සමරජීව වැනි අය දැන් මහා ආර්ථික විශ්ලේෂකයින් ලෙස පෙනී සිටියද ඔවුන් විසින් 2015 වසරේ සිට සිදු කොට ඇති හරිය ඉහත ප්‍රස්තාර තුලින් බලාගත හැකිය. ඒවා බැසිල් රාජපක්ෂගේ ක්‍රියාවන්ට එහා ගිය ක්‍රියාවන්ය.

 

රනිල්ගේ උත්සාහය වූයේ බලය රැකගැනීමයි (සංවර්ධනයට එරෙහි වෙමින් ඊට හරස්ව සිටියේ සිරිසේනයි). ඒ සඳහා රාජපක්ෂලාට වඩා එහා ගිය පාරිභෝජනවාදයක් ලබා දිය යුතුව තිබූ බව ඔහු දනී. UNP ඡන්ද පොරොන්දුවක් වූයේ සියලු දෙනාට කාර් රථයක් යන්නයි.

 

ඒ අකාරයෙන් බලන කල මේ උද්ගෝෂණය කරනා ඊනියා ජනතාව මේ යථාර්තයෙන් ස්වායත්ත පිරිසක්ද ? ඔවුන් විසින් ඉල්ලා සිටිනුයේ ගොඨාභය ගෙදර යවා මේ පාරිභෝජනය දිය හැකි කෙනෙකි.

 

2005 වසරින් පසුව, විශේෂයෙන්ම යුද්ධය අවසන් වීමෙන් පසුව රාජපක්ෂ ආණ්ඩුව යටතේ විශාල ලෙසම වර්ධනය වූ ක්ෂේස්ත්‍රය වන්නේ ඉදිකිරීම් සහ මහාමාර්ග ක්ෂේස්ත්රයයි. එය රට තුල විශාලතම ආර්ථිකයකි. ඊට අමතරව වර්ධනය වූයේ ආනයනික භාණ්ඩ වෙළඳපොලයි. ඒ තුල අලුතෙන්ම විශාල වශයෙන්ම වර්ධනය වූ ක්ෂේස්ත්‍ර වූ එලෙක්ට්‍රොනික, එලෙක්ට්‍රිකල්, කොස්මටික්, නිමි ඇඳුම්, සපත්තු, වැනි භාණ්ඩ පාරිභෝජනය ඉතාම ඉහල ගිය අතර ඊට අදාළ සමාජීය සාධකද වර්ධනය විය.

 

ඒ අනුව උද්ගෝෂණය කරන ඊනියා ජනතාව යනු ඉහත ක්ෂේස්ත්‍ර තුල අර්බුධයට ගොස් ඇති අයයි"

(http://www.spartacus.lk/%e0%b6%8b%e0%b6%af%e0%b7%8a%e0%b6%9c%e0%b7%9c%e0%b7%82%e0%b6%9a%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%89%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f/2022/)

පසුගිය නොවැම්බර් මස 02 දින යෙදී තිබුනු ජන අරගලයේ දෙවෙනි මෙහෙයුම පුස්සක් බවට පත්වූයේ ඇයි?

විපක්ෂයේ වාමාංශික යැයි කියාගන්නා පක්ෂ සංවිධාන මෙන්ම දක්ෂිනාංශික දේශපාලන පක්ෂ වෘත්තීය සංගම්ද එයට එක් වූයේ කොළඹට මහා ජන ඒකරාශීවීමක් සිදුකළ හැකිවේයැයි දේශපාලන අර්ථයකිනි. මධ්‍යම පන්තිකයින්ගේ වැටුපට එක්කළ බදු, ජීවන වියදම වැඩි වීම ඇතුළුව විශේෂයෙන් මධ්‍යම පන්තිකයින් යැයි කියාගන්නා සියල්ලන්ම කොළඹ ඒකරාශි වී රනිල් ආණ්ඩුව පන්නා දැමීමට කටයුතු කරාවීයැයි මේ ඊනියා වාමාංශිකයින් බලාපොරොත්තු වූවා පමණක් නොව ඒ සඳහා වාමාංශයට තරග කරනා පක්ෂ සංවිධාන එකිනෙකාට එරෙහිව අනවරත තරගයකද නියැළුනහ. එහෙත් මේ මුග්ධ වාමාංහිකයින්ට ඊනියා ජනතාව තේරුම් ගන්නට අවස්ථාවක් නොලැබුනා සේම එකී අරගලය රනිල්ගේ කපටි ඥානය සහ ටිරාන් අලස්ගේ නිහඩ පොලිස් මැදිහත්කිරීම් සම්බන්ධයෙනුත් තේරුම් ගත්තේ ප්‍රමාදවීය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආදරණීය සහයෝගය මෙහිදී අනුර කුමාර දිසානායකට ලැබුණා පමණක් නොව නාමිකව පවත්වාගෙන ආ ඊනියා වමේ සෝදාපාළුව ඇස් පනාපිටම දර්ශනය කරවීමට තරම්ම මෙම නාට්‍යකරණය සුවිශේෂී වීය. ඉතිං රෙදි ගලවාගත් ජවිපෙ සහ පෙසප තවදුරටත් කුමන දේශපාලනයක කොටස් කරුවන්දැයි ඔවුන් හා සම්බන්ධ ඊනියා සාමාජිකයින් දැන්වත් අවබෝධ කරගත යුතුය.

අරගලය නිසා සිදුවූ තවත් සුවිශේෂී සිදුවීමක් වුයේ ලිබරල් වෙළඳපොල යාන්ත්‍රණයට පෙම් බඳිමින් ධනවාදය ශක්තිමත් කරන ප්‍රජාතන්ත්‍රවාදය මහ ඉහලින් පිලිගන්නා ඒ වෙනුවෙන් පෙනී සිටින නිර්මාල් දේවසිරි ඇතුළු පිරිසත් අන්ධමන්ද වී උන්හිටි තැන් නැති තත්ත්වයකට පත්වීමය. ඒ නිසාවෙන් ඔවුන් දැන් එකිනෙකට පරස්පර කතා ගොතමින් විහිළු කාරයින්ගේ භූමිකාව රගදක්වන්නන් බවට පත්වී ඇත.

පසුගියදා අතීතයේදී තම විවේචනයට ලක්වුනු සුනිල් විජේසිරිවර්ධන ඇතුළු ජීව ධරණී ව්‍යාපෘතියට එක්වන්නට නිර්මාල් දේවසිරි, රුවන් බස්නායක, බුද්ධික බණ්ඩාර ඇතුළු නඩයට සිදුවීමම ඉතිහාසයේ සරදමක් වන්නේ එහෙයිනි.

90 දශකයේ සිට ලිබරල් දේශපාලනයක් වෙනුවෙන් ධනවාදය ශක්තිමත් කෙරුනු ජීවන රටාවකට ආශා වෙමින් ඒ තුළ තම දේශපාලනය දිශානත කිරීමට උරදුන් දීප්ති කුමාර ගුණරත්න අරගලය පිළිබඳව ලියා ඇති සටහනක මෙසේ දක්වා ඇත.

අරගලයේ යටිපෙළ කුමක්ද?

1.ආණ්ඩුව වෙනස් කරන්න!

2. ධනපති සමාජ-ක්‍රමය එලෙසම තබාගෙන එය පාලනය කරන පාලකයන් වෙනස් කරමු.

ඔවුන් ඒ අනුව, විරෝධය දක්වන්නේ, SYSTEM එකට නොව SYSTEM එකේ ආකෘතියට ය.[FORM]

‘රාජ්‍යය සහ විප්ලවය’ කෘතියේ පස්වන පරිච්ඡේදයේ දී, ලෙනින් විසින් මාක්ස්ව මෙසේ උපුටා දක්වන ලදි. 

‘ අප හදන්නට යන අලුත් සමාජය ආර්ථික, සදාචාරමය සහ බුද්ධිමය යන සෑම අතින්ම තම මව්කුස වූ පැරණි ධනේශ්වර සමාජයෙන් ගෙන ආ උපන්ලප වල මුද්‍රාව තවමත් දරන්නේ ය. දේශීය උදාහරණයකින් කිවහොත්, තනන්නට හැදූ අලුත් ‘ස්ත්‍රී X සමාජයේ’ සාමාජිකයන්ම සුනිලා සහෝදරියගේ කම්මුලට එල්ෆින්ස්ටන් රඟහලේ දී නිල් වන්නට පහර දුන් සුනිල් විජේසිරිවර්ධනගේ උපන් ලප මුද්‍රාව තවමත් දරන්නේ ය. (මාක්ස්)

දීප්ති තවදුරටත් ප්‍රශ්න කරන්නේ,

අරගලකරුවන් අතරින් කෙනෙකු ජනාධිපති නොවී රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූයේ මන්ද? යන්නය.

(මේ පිළිබඳව සමකාලීන මිතුරන් වූ නිර්මාල් දේවසිරිට පිලිතුරක් තිබෙන්නටද පුළුවන. මන්ද ඔවුන් අදටත් වෙන්ව ජීවත්වූවාට පවතින්නේ එක්ව වීමය.)

දැන් ලාංකීය පොළොව මත තම අවසන් රංගනය දැක්වූ ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය කළයුතුව ඇත්තේ තම විචිකිච්ඡාව පසෙකලා රනිල්ගේ දේශපාලන ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයෑමට දීප්තිලා නිර්මාල්ලා ගිනිගේලා පතිරණලා සමග එක්වීමය. එවිට මේ මහපොළොව තුළ විමුක්ති ව්‍යාපාරයකට අවශ්‍ය ඉඩකඩක් නිර්මාණය වනු ඇත. නොඑසේනම් ඉදිරියේදී ජවිපෙ සහ පෙසප එකිනෙකා මරාගැනීමට පරිසරය සකසා ඒ දෙස රනිල් වික්‍රමසිංහ ධනේෂ්වර දේශපාලනඥයා මද සිනාවෙන් යුතුව බලාසිටිනු ඇත.

@සමාරා පරණවිතාන

නවතම ලිපි