"විනාස කාලේන විපරීත බුද්ධිඃ"  කියල සංස්කෘත ශ්ලෝකයක තිබෙනවා. විනාසය ලඟා වෙද්දී බුද්ධියද විපරීත වෙනව කියල තමයි මෙයින් කියැවෙන්නේ.

ලිබරල්වාදීන් ගේ ගති ලක්ෂණ කිහිපයක් ගැන මා මෙයට පෙර ලිව්ව. එමනිසා ලිබරල්වාදයේ දර්ශණය පිලිබඳ යමක් ලියන්න ඕන කියල හිතුව. ඒ අල්ල පනල්ලේ රනිල් නොහොත් පුංචි ඩිකී සිය උටෝපියාවේ සිහින කුමරා කරගත් කෙනෙක්වන චින්තන ධර්මදාස ලිබරල්වාදය පිලිබඳව ලියල තිබුණ.  

ඔහු මෙහෙම ලියනව. "ලිබරල්වාදය යනු පුද්ගල අයිතිය සහ නිදහස පිළිබඳ දර්ශනය විදිහටයි මං කියවලා තියෙන්නෙ. රජය විසින් තමන් පාලනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයාගේ කැමැත්ත සහ සමාන අවස්ථා සමාන පිලිගැනීම් වෙනුවෙන් සටන් කිරීමයි ලිබරල් දේශපාලනය කියල මං දන්නෙ"


ලිබරල්වාදයේ දර්ශණය පිළිබඳව ඉතා වියුක්ත අදහසක් ඉදිරිපත් කරනවා විනා නිදහස හා පුද්ගල අයිතිය කුමක්ද කියා චින්තන ධර්මදාස අර්ථකථනය කරන්නේ නැහැ. වාක්‍ය ඛණ්ඩයකින් වඩා මනබඳින පේළියක් හෝ දෙකක් උපුටා දැක්වීමක් හෝ වියුක්ත අදහසක් ඉදිරිපත් කිරීම තමයි කරන්නේ. මේක තම ෆැන්ටසියට පාඨකයන් අවනත කරගැනීමට ලිබරලුන් කරන්නා වූ එක්තරා සටකපටකමක්.


වහලා සහ නිදහස් මනුෂ්‍යයා

පළමුව අපි පුද්ගල අයිතිය හා නිදහස කියන්නේ මොකක්ද, පුද්ගල අයිතිය හා නිදහස තිබෙන්නේ කාටද කියල යම් විග්‍රහයක් කර ගනිමු.


මුළු පැය විසිහතරම තමන්ගේ ජීවිතය පවත්වා ගැනීම වෙනුවෙන්ම (කෑමබීම, බේත්හේත්, නිවාස, ආරක්ෂාව, ඇඳුම් පැළදුම්)  කාලය ගතකරන්න මනුෂ්‍යයකුට සිදුවෙනවා නම් එතැන නිදහස කියන එක නැහැ. ඒවා ලබාගන්න නම් මුදල් අවශ්‍යයි. මුදල් උපයාගැනීමට ධනපති සමාජය තුළ තිබෙන්නේ එක ක්‍රමයක් පමණයි. ඒ ක්‍රමය තමයි ශ්‍රමය විකිණීම. ශ්‍රමය විකුණා ලැබෙන මුදලින් තමයි මනුෂ්‍යයකුට පුළුවන් වෙන්නේ ජීවත්වීම සඳහා මූලික අවශ්‍යතා ටික ලබා ගන්න.


මෙහිදී කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් මනුෂ්‍යයෙක් කැලෑවකට ගිහින් දැම්මොත් ඔහු නිදහස්ද කියල. ආණ්ඩුවක්, ප්‍රාග්ධන හිමියෙක් ආදී කිසිවක් නැති නිසා. එහෙම වනයක ගිහින් දැම්මත් ඔහු නිදහස් මනුෂ්‍යයෙක් වෙන්නේ නැහැ. මොකද ඔහුට සිදුවෙනවා වන සතුන්ගෙන් ආරක්ෂාවීම, බීමට ජලය, කෑම මේ ආදී දේ වෙනුවෙන් මුළු කාලය තුළ ශ්‍රමය වැය කරන්න.

මේ සරළ උදාහරණ දෙක තුළින් වුවත් අපට මැනවින් ඔප්පුවන කාරණය තමයි මනුෂ්‍යයාට ජීවත්වීම උදෙසා මූලික අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට නම් ශ්‍රමය විකිණිමට සිදුවෙන බව. ජීවත්වීම සඳහා ශ්‍රමය විකිණිය යුතු නම් ඔහු අනිවාර්යෙන්ම මුදලේ වහලෙක් බවට පත්වෙනවා. වහලෙක් කියන්නේ නිදහස් මනුෂ්‍යයෙක් නොවේ. මේ පිරිස මනුෂ්‍ය සමාජයේ සියයට අනූවක් හෝ එයට වැඩියි.

 වහල්කමට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරය නුතන වහල්භාවය හඳුන්වන්නේ  "පුද්ගලික හෝ ව්‍යාපාරික ලාබය තකා වෙනත් අය විසින් සුරාකනු ලැබීම " හැටියටයි. "රැවටීමෙන්, බලපෑමෙන් හෝ බලහත්කාරයෙන් හෝ කළත් එහිදී ඔවුන්ගේ නිදහස අහිමිවේ,"  කියා එම සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.


නමුත් මේ මනුෂ්‍ය සමාජයේම සිටින ඉතිරි සියයට එකේ සිට දහය අතර පිරිස ශ්‍රමය විකුණන්නේ නැහැ. එයාලට තිබෙනවා ඒකරාශී කරගත් ධනයක්. එහෙම නැතිනම් කර්මාන්තශාලා හෝ වෙනත් ප්‍රාග්ධන හිමිකමක්. එමනිසා ඔවුන්ට පෙරකී සියයට අනූවක් පමණ වූ පිරිස මෙන් මූලික අවශ්‍යතා ලබා ගැනීම වෙනුවෙන් මුළු දවස පුරා වෙහෙස මහන්සි වියයුතු නැහැ.


ඔවුන්ට නිදහස තිබෙනවා තමන් කැමති වෙලාවක අවදිවෙන්න. කැමති ක්‍රීඩාවක් කරන්න. ගමනක්  බිමනක් යන්න. එහෙම බැලුවම ඔවුන් අර සියයට අනූව අතරේ නිදහස් මනුෂ්‍යයෝ.

මෙකී නිදහස ඔවුන්ට හිමිවන්නේ ප්‍රාග්ධනයේ ශක්තියෙන්. ඔවුන්ට එලෙස ප්‍රාග්ධනයක් හිමි වුනේ තමා යටතේ වැඩ කරන කම්කරුවන්ගේ ශ්‍රමයට අදාළ මුළු ගෙවීම නොකරන නිසා. මේකට කියනවා ශ්‍රම කොල්ලය නැතිනම් ශ්‍රම සූරාකෑම කියල. දැන් අපට පෙනෙනවා එකම මනුෂ්‍ය සමාජයක් තුළ බහුතරයක් වහලුන් හා සුළුතරයක් වූ නිදහස් මනුෂ්‍යයා බිහිවුනේ කොහොමද කියල.

ලිබරල්වාදයේ දර්ශණවාදීන්


එසේනම් අපි බලමු ලිබරල්වාදීන් පෙනී සිටින පුද්ගල අයිතිය පිළිබඳව. කෙනෙකුට කියන්න පුළුවන් තමන් පදවන වාහනය, ජීවත්වන නිවස තමන්ගේ කියල. නමුත් අපි විමසා බැලුවොත් එම වාහනය අරගෙන තිබෙන්නේ ලීසිං කරලා. නිවස හදල තිබෙන්නේ ණයක් අරගෙන. එතැනදී මේ වාහනය හෝ නිවස පරිහරණය කරන්නාට එහි පුද්ගල අයිතියක් නැහැ.

පුද්ගල අයිතිය රැදෙන්නේ තමාගේ ශ්‍රමයට මේ ධනපති ක්‍රමය තුළ කොතෙක් වටිනාකමක් තිබෙනවද කියන පදනම මත පමණයි. ශ්‍රමය විකුණාගන්න ගන්න බැරිනම්, එකී ශ්‍රමයට වටිනාකමක් දී නොමැති නම් ජීවත්වීමේ මූලික අවශ්‍යතා හෝ නොමැතිව තමයි ජිවත්වන්න සිදුවෙන්නේ. එනයින් බලන කල ඔහු හෝ  ඇය මේ ධනපති සමාජ ක්‍රමය තුළ කිසිඳු පුද්ගල අයිතියක් නොමැති කෙනෙක්.

නමුත් ප්‍රාග්ධන හිමියාට මේ ප්‍රශ්න නැහැ. ඔහුට අවශ්‍යනම් කැමති වාහන තුන හතරක්, මනරම් භූමි ප්‍රදේශයකින් නිවාස කීපයක් ගන්න පුළුවන්. ඒ සියල්ල ඔහුගේ පුද්ගල අයිතිය. මොකද ඒවා ඔහු පරිහරණය කරන්නේ ලාභය නම් වූ සූරා කෑමෙන්. මංකොල්ලයෙන්.


එමනිසා ආත්මීය වශයෙන් මේ ධනපති ක්‍රමය ආරක්ෂා කිරීම හා පවත්වාගෙන යෑම යුක්ති සහගත කරමින්ම, පුද්ගල අයිතිය සහ නිදහස වෙනුවෙනුත් කතා කරන පිරිස් සිටිනවා. ඉතා සිහි බුද්ධියෙන් විමසා බලද්දී ඔවුන් අවසාන වශයෙන් පෙනී සිටින්නේ ප්‍රාග්ධන හිමියන් වෙනුවෙන්ම බව සක්සුදක් සේ පැහැඳිලියි. "ලිබරල්වාදයේ පුද්ගල අයිතිය සහ නිදහස පිලිබඳ දර්ශනය" කියන්නේ මේකට. නැතිනම් වෙන මොකටද?


ලිබරල්වාදයේ මුල් සංකල්පනිකයන් වන්නේ 18 -19 ශතවර්ෂයන්වල ජීවත්වූ මකියවෙලී, ලොක් හා ප්‍රංශයේ එන්සයික්ලොපිඩ්ස්ට්වරුන්.


මාක්ස්ගේ දත්බුරුසුව

තවදුරටත් පුද්ගල අයිතිය පිලිබඳ කාරණාව සාකච්ඡා කරනවා නම්, මා කැමතියි කාල් මාක්ස් කියන සමාජ විද්‍යාඥයා, මහා පඬිවරයා "කොමියුනිස්ට් ප්‍රකාශනය" මගින් පහදා දී ඇති කරුණු කීපයක් ගෙනහැර දක්වන්න.


මෙහිදී මාක්ස් කියනවා අපි පුද්ගල දේපළ අයිතිය අහෝසි කළ යුතුයි කියල. මාක්ස් තර්ක කරන්නේ අපි අහෝසි කළයුත්තේ ධනපතියන් ගේ පුද්ගල දේපළ මිස සිය ශ්‍රමය විකුණා උපයාගත් කම්කරුවන්ගේ දේපළ නොවේ කියල. ලිබරල්වාදීන් හා මාක්ස් විරෝධීන් විසින් සමාජය බිය ගැන්වීම සඳහා පතුරුවා හරින පට්ටපල් බොරුවක් තිබෙනව. මාක්ස්වාදීන් සියලුම දේපළ අයිතිය අහෝසි කරනව. තමන්ට කියල කිසිම දෙයක් නැහැ. අඩුම තරමින් දත් මදින බුරුසුවවත් තමන්ට අයිති නැහැ කියල.


මේ භීතිකාව පතුරුවා හරිමින් තමයි ලිබරල්වාදීන් පුද්ගල අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නේ.

ධනපතියන් ගේ පුද්ගල දේපළ අයිතිය අහෝසි කළ යුතුයැයි මාක්ස් කියන්නේ එකී දේපළවල අයිතිය ඔවුන්ට අයිති නැහැ කියන ස්ථාවරයේ පිහිටල. හේතුව තමයි ඔවුන් විශාල දේපළකට හිමිකම් කියන්නේ යුද්ධයක් කරල කොල්ල කෑමෙන්. එහෙමත් නැතිනම් ශ්‍රමිකයාට නිසි වැටුපක් නොදී සොරකම් කිරීමෙන් හෝ අවසාන වශයෙන් ගත්කල කිසිඳු සදාචාරාත්මක නොවන, යුක්ති සහගත නොවන ක්‍රමයකින්. එය වර්තමානයේ හෝ පාරම්පරිකව වෙන්න පුළුවන්

පොළව උඩ හෝ යට තිබෙන සම්පත් කොහොමද එක පුද්ගලයෙක් හෝ සීමිත පුද්ගලයන් සංඛ්‍යාවක් හෝ සිය බලය යොදා අල්ලාගන්නේ? දෙවැනි කාරණාව වන්නේ වෙනත් කෙනෙකුගේ ශ්‍රමයට අයිති මුළු වටිනාකම නොදී තවත් කෙනෙක් කොහොමද එය මංකොල්ල කන්නේ. එමනිසා මාක්ස්වාදයේ මූලිකම සිද්ධාන්තයක් තමයි ධනපතියන්ගේ පුද්ගල දේපළ අයිතිය අහෝසි කිරීම.


ඒ වගේම ලිබරල්වාදීන් මාක්ස්වාදී න්‍යාය විකෘති කරමින් විවිධ මත ප්‍රචාරය කරනවා. මාක්ස්වාදය කියන්නේ මනුෂ්‍ය වර්ගයාට යහපත් ආර්ථික රටාවක් ගොඬනගා ගන්නෙ කොහොමද කියල කරන්නාවූ මග පෙන්වීමක්.


ධනපති සමාජවාදය


මේකෙදි ලිබරල්වාදීන් මාක්ස් ගේ ප්‍රකාශනයන් තැනින් තැනින් තමන්ට උවමනා පේළි කීපයක් උපුටා ගන්නව. එලෙස මාක්ස්වාදයේ හරය මුළුමනින්ම ඉවත් කරලා, උපුටා ගැනීම් පෙන්වලා කියනවා "අපි නිෂ්පාදකයාට සම්පුර්ණ බලය දෙන්න ඕන. ඒ වගේම ආණ්ඩුව නිෂ්පාදනය සඳහා විවිධ උදව් කරන්න ඕන. ආණ්ඩුව කළ යුත්තේ මිල පාලනය කිරීම පමණයි," කියලා. මේක මුළුමනින්ම වැරදියි.


නිෂ්පාදනයක් නොකර ආණ්ඩුවක් කොහොමද මිල පාලනය කරන්නේ. එහෙම කරන්න ගියොත් එය කෘතීම මිල පාලනයක් වෙනවා. මොකද මිල පාලනය වන්නේම නිෂ්පාදනය තුළින්. ඉල්ලුමට සැපයුම කියන සිද්ධාන්තය මත තමයි මිල තීරණය වෙන්නේ. ඉල්ලුම වැඩිනම්, නිෂ්පාදනය අඩුනම් අනිවාර්යෙන්ම මිල ඉහළ යනව.


නමුත් ආණ්ඩුවට පුළුවන් නිෂ්පාදනය පාලනය කරන්න. නිෂ්පාදනය පාලනය කළොත් ආණ්ඩුවට පුළුවන් මිල පාලනය කරන්න.

ධනපති සංවර්ධන උටෝපියාවක, ෆැන්ටසියක සිටින ලිබරල්වාදීන් කිසිම විටෙක නිෂ්පාදනය පාලනය කළයුතු යැයි කියන්නේ නැහැ. එයට හේතුව තමයි ලිබරල්වාදීන් ප්‍රාග්ධනය හා ශ්‍රමය අතර තිබෙන අනවරත ගැටුමට අත තබන්නේ නැහැ. ඒ පිළිබඳව කතා කරන්නේත් නැහැ.  එහෙම නොකරන්නේ ප්‍රාග්ධනය හා ශ්‍රමය අතර ගැටුමට මැදිහත්වීම පුද්ගල දේපළ අයිතිය නැතිනම් ප්‍රාග්ධනය සමඟ ඝෘජු ගැටුමක් ආරම්භවන නිසා.

එනිසා ඔවුන් කරන්නේ ගැටුම මඟ හැර වෙනත් වෙනත් සුභසාධන හා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටීම. මෙලෙස පෙනී සිටින අය තමයි "ධනපති සමාජවාදීන්" කියල මාක්ස්වාදයේ හඳුන්වන්නේ. මේ මතවාදය ගෙනයන වාහකය තමයි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය.


ධනපති සමාජවාදීන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. ආර්ථික විද්‍යාඥයෝ, මානුෂිකවාදියෝ, විවිධ පදනම් හරහා දුප්පතුන්ට ආධාර උපකාර කරන්නන්, සත්ව හිංසාවලට එරෙහිවන්නන් හා උන්ව රැක බලා ගන්නන් වැනි සමාජ සුභ සාධන කරන්නන්.


අනෙක් කොටස පෙනී ඉන්නේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන්. ජාතීන් ඉල්ලා සිටින අයිතීන් නොවිමසා කුමන හෝ ධනපතියෙක් දෙන විසඳුමක් වෙනුවෙන් පෙනී සිටීම. ජාතියක් ලෙස පිළිනොගනිමින් සම අයිතියක් වෙනුවෙන් පෙනී සිටීම. පරිපාලන ප්‍රශ්නයක් ලෙස ජාතික ප්‍රශ්නය හුවා දැක්වීම. සාමූහික ගිවිසුම් හරහා කම්කරුවන් ප්‍රාග්ධන හිමියාට ගැටගසා දීම වැනි දේ තමයි මොවුන් ගේ සමාජවාදය.


ජවිපෙ දෙවැනි කැරැල්ලේ හිටපු අජිත් පැරකුම් ජයසිංහ "රාජ්‍ය ධනවාදී සමාජවාදය " යනුවෙන් පවසන්නේ මාක්ස්වාදයේ කියන මේ "ධනපති සමාජවාදය" වෙන්න ඕන.


රනිල් වාමාංශිකවීම

මෙවැනි ධනපති සමාජවාදයට සහ ලිබරල්වාදයේ අඳුරු මතවාදයන්ට එරෙහිව මාක්ස් ගේ මානව මතවාදයන් වෙනුවෙන්  "80 දශකයේදී  ජන අරගලකරුවන්" සිටිය. දැන් ඔවුන්ද මාක්ස්වාදය පසෙකලා අළුත් මතවාදයන්ට සංක්‍රමණය වෙලා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (I M F) මානුෂික ආයතනයක්ලු. ගෝලීය ධනවාදය අපිව බලන්න නෑගම් එනවලු. රනිල් වාමාංශිකයෙක්ලු.


ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නව යටත් විජිතවාදයේ ටූල් එකක් ලෙස පට්ට ගසමින් එහි යෝජනාවන්ට විරුද්ධව වැඩ වර්ජන, හර්තාල් ,"80 දශකයේ ජන අරගල" කරපු දේශපාලන නායකයන් තමයි අද මෙහෙම කියන්නේ.


ෆේස්බුක්කාමී, කැමරා මයික් ඇලජි, මාක්ස්වාදී වැකි උච්චාරණය කරන, සුළු ධනේශ්වර, අවස්ථාවාදී ඇතැම් වෘත්තීය සමිති නායකයන්ද මේවාට අලගු තබමින් කෙකරගගා යනව. තාම බිත්තරේ දැම්මේ නැහැ. සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයෙක් නම් බිත්තරේ දැම්ම.


"80 දශකයේ ජන අරගල" නායකයන් මෙලෙස වර්ණනා කරන I M F එකට "මානුෂික මුහුණක්" දෙන්න පුලුවන්ද?


ධනපතියන්ගේ ලාභ රේට්ටු කඩා වැටීම නිසා වෙළඳපොළ පුළුල් කරගන්න තමයි පළමු ලෝක යුද්ධයත්, දෙවැනි ලෝක යුද්ධයත් ආරම්භ වන්නේ. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව එතෙක් ලෝකය සූරා කෑ සුපිරි බලවතුන් පස්දෙනා යටපත් කරමින් ඇමරිකාව ලෝකයේ සුපිරි බලවතා බවට පත්වෙනවා.


I M F ගොඩනගන්නේ තව දුරටත් යුද්ධයෙන් රටවල් යටත් නොකොට ණය දීම මගින් ලෝකයේ අවසංවර්ධිත රටවල්, පරිධියේ රටවල් පෙරටත් වඩා සංවිධිතව සූරා කන්න. ඒ කාලයේ නම් අපේ ගුරුවරුන් මෙය හැඳින්වූවේ "නව යටත්විජිතවාදය" කියල.

පුද්ගලයෙක් ණයක් ගන්නේ තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන්. බැංකු ඒකටත් කොන්දේසි දානවා. ලොකු ණයක් ගන්න නම් ගේදොර උගස් තියන්නත් වෙනවා.  I M F ණය දෙන්නේ ඔවුන්ගේ ආර්ථික මූලධර්ම ඔස්සේ යායුතුයි කියන කොන්දේසි මත. එහෙම බලුවම මේ දෙගොල්ලොම දෙන්නේ ණය ගන්න උදවියට 'පුද්ගල අයිතිය සහ නිදහස' ලබා දෙන්න නෙවෙයි.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව වෙළෙඳ අධිරාජ්‍ය මෙසේ ක්‍රියාත්මක වුවත් 1980 දශකය වනවිට නැවතත් ධනපතියන් ගේ ලාබ රේට්ටු කඩා වැටීමට ලක්වුණා. එවිට බ්‍රිතාන්‍ය අගමැතිනී මාග්‍රට් තැචර් හා ඇමරිකන් ජනාධිපති රොනල්ඩ් රේගන් දෙපළ ධනවාදය ලෝක ව්‍යාප්ත කිරීමේ (ගෝලීයකරණය) සම්මුතියකට එළඹුණා.

  

තැචර් හා රේගන් සම්මුතියේ දෙවැනි ඉලක්කය වූවේ සෝවියට් දේශය කඩා බිඳ දමා නැගෙනහිර යුරෝපයට වෙළඳපොළ ව්‍යාප්ත කිරීම. ගොර්බර්චොෆ් හා බොරිස් යෙල්ට්සින් හරහා ඔවුන් ඉතාමත් සාර්ථක ලෙස සිය දුෂ්ඨ අරමුණ ජය ගත්තා. මැදපෙරදිග, අප්‍රිකාව විනාස කළා.


ලෝකයටම විනාසය ගෙන දුන්නත් ගෝලීයකරණය මුළුමනින් ක්‍රියාත්මක කිරීමෙන් ලංකාව දමා තිබෙන අගාධයෙන් ගොඩගන්න පුළුවන් කියන උටෝපියාවේ තමයි ලිබරල්වාදීන් සිටින්නේ. එකී ෆැන්ටසියේ සිහින කුමරා වූ ජනාධිපති පුංචි ඩිකීට මේ දිනවල විවිධ චරිත සහතික ලැබෙනවා.


පුංචි ඩිකී රූපාන්තරණය වීම


ලංකාවේ සංචාරයක් කරන ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිලිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මෙහෙම කියනවා.


"මම හරිම සතුටට පත්වුණා රට හරිම සාමකාමී තත්ත්වයකට පත්වෙලා තිබීම ගැන. ඒ සම්බන්ධව ඔබතුමාට සුභ පතනවා." ලූ මෙලෙස පුංචි ඩිකීට සහතිකය දෙන්නට පෙර නාමල් රාජපක්ෂ කියනවා "ඉස්සර රනිල් වික්‍රමසිංහ මහත්තයා මානව හිමිකම් ගැන තමයි කතා කෙරුවේ. දැන් එහෙම නෑ අපේ හාමුදුරුවනේ. එයා දැන් මානව හිමිකම් ගැන කතා කරන්නේ නැහැ. ඔය යසට අරගලේ සුද්ධ කළේ ගෝල්ෆේස් එකේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් වෙනස් වෙලා. ඒ නිසා තමයි අපි උදව් කරේ .

මේ කතා දෙක යථාවාදීව බැලීමේදී පෙනී යන්නේ කුමක්ද?  ලිබරලුන් ගේ සිහින කුමරා ෆැසිස්ට්වාදයේ කුරහන් සාටක වලින් තඩලාගෙන ගිහින්.  ලිබරල් පුංචි ඩිකී පොහොට්ටුවන්ගේ ෆැසිස්ට් පන්නයේ ව්‍යවස්ථාපිත රාජ්‍යයේ නායකයා බවට රූපාන්තරණය වෙලා.

රාජ්‍ය නායකයා වන්නට පෙර "අසුවේ ජන අරගලකරුවන්" මුලින්ම රනිල් සමග හාමුවුනේ රාජපක්ෂලාගේ ෆැසිස්ට්වාදය පරාජය කරන්න කියල. ඒ ෆැසිස්ට්වාදයේ ආනුභාවයෙන් රනිල් ජනාධිපති වීම ලිබරල්වාදයේ ජයග්‍රහණයක්ද?  එහෙමත් නැතිනම් ෆැසිස්ට් බලයක් තහවුරු කරමින් ගිය ගෝඨාභය එලවන්නට අරගල කළ'වුන් ෆැසිස්ට් කියා රනිල් කියන කතාව හරිද? මේකට උත්තරයක් උන්නැහේලා තමයි දෙන්න ඕන.


මේ කටුක සත්‍ය ඇස්පනාපිට පෙනී පෙනී තිබියදීත් ශෝකාන්තය වන්නේ "80 දශකයේ ජන අරගලකරුවන් " මහින්දට සාපේක්ෂව රනිල් වාමාංශික යැයි තොලේ කටේ නොගෑවී කරන්නා වූ ප්‍රකාශයයි.

මේවනවිට අන්තරේ ශිෂ්‍ය නායකයන් ත්‍රස්ත පනත් යොදා ගෙන අනීතික ලෙස හිරගෙවල ගාල් කරළ. සෞඛ්‍ය, මානව හිමිකම්, ජීවත්වීමේ නිදහස, කෑමබීම වැනි මනුෂ්‍ය අයිතිවාසිකම් ඉල්ලා පාරට බහින උන්ට ඉස්ම යන්න නෙළනව. සිංහල ධනපති ආණ්ඩුවේ සිංහල පොලිසිය ලවා කොඳු කැඩෙන්න පහර දෙනව.  කඳුළු ගෑස් ගහනව. උසාවි ගෙනියනව. පොලිස් කූඩුවේ දානව.

යහපාලනයේ අගමැති වෙලා රනිල් වික්‍රමසිංහ හිටිය කාලේ යාපනේ විශ්ව විද්‍යාලේ විජයකුමාර් සුලක්ෂන් සහ නඩරාජා ගජන් පොලිසියෙන් වෙඩි තියලා මහපාරේ මරාදාලා දැනට අවුරුදු හයක්. පුංචි ඩිකීගේ කැබිනෙට්ටුවේ වැඩිම බලයක් සහිත පොහොට්ටුවාදීන්ගේ සහ පොලිසියේත්, හමුදාවේත් ඉහලම දායකත්වයෙන් දිගන මුස්ලිම් විරෝධී කැරැල්ලක් දියත් වුනේත් යහපාලන සමයේ. ඒවායේ අපරාධකරුවන් අදත් නිදැල්ලේ.


මේ මොන වාමාංශිකද?  මොන ලිබරල්ද?  මෙවැනි ෆැසිස්ට් පන්නයේ රාජ්‍යයකින්  මොන ප්‍රජාතන්ත්‍රීයකරණයක් කරන්නද?  වඳුරන්ට සැන් පවුඩර් දාල වැඩක් නෑ.  



ඇඩම් ස්මිත් කියන ධනපති ආර්ථික විශේෂඥයා පෙන්වා දෙනව ධනේෂ්වර නිෂ්පාදන රටාව පවතිනේ ප්‍රධාන කුළුණු හතරක් මත කියල. භුමිය, ව්‍යවසාය, ප්‍රාග්ධනය හා ශ්‍රමය. ධනපති ක්‍රමයේ අත්‍යාවශ්‍ය අරමුණ ලාභයම පමණයි. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, සුභ සාධන ඈ සියල්ල පවත්වාගෙන යන්නේ ලාභය ඉපයීම සඳහා වෙළඳපොළ සාමකාමී තත්වයක තිබීම අවශ්‍ය නිසා.


ලාබ රේට්ටුව වැඩිකරගැනීම මූලික අරමුණ නම් පිරිවැය අඩුකරකගන්න ඕන. පිරිවැය අඩු කරගන්නටනම් භුමිය, ව්‍යවසාය ඇතුළු ශ්‍රමය තුට්ටු දෙකට ගන්න ඕන. එයට සමගාමීව යටතල පහසුකම් (අධිවේගී වැනි) තිබෙන්න ඕන.


මේ සියල්ල සම්පුර්ණ වූ පසු නිර්මාණයවන්නා වූ නව වෙළඳපොළෙන් කරන්නා වූ නිෂ්පාදන මිනිසුන්ගේ එදිනෙදා ජිවිතයේ අවශ්‍යතාවයන් බවට හැඟීම් කවන්න ඕන. එසේ හැඟීම් කවන්න නම් මෙතෙක් තිබුනා වූ ව්‍යුහයන් බිඳහෙළා නව ව්‍යුහයන් නිර්මාණය කරන්න ඕන. මේ නව ව්‍යූහකරණයේදී  අළෙවිකරණය, වෙළඳ ප්‍රචාරණය කියන දෙක එකතු වෙලා මහජන සම්බන්ධතා කියන විෂය ගොඩනැඟෙනවා.

චින්තන ධර්මදාස සිය ජීවිතය රැක ගන්නේ මෙන්න මේ කියන ගෝලීයකරණයේ අළෙවිකරණය, වෙළඳ ප්‍රචාරණය දෙක එකතු වෙලා නිර්මාණය වුණු මහජන සම්බන්ධතා කියන විෂයෙන් වෙන්න පුළුවන්. එමනිසා වෙන්න ඕන ධර්මදාස ගෝලීයකරණය වෙනුවෙන් පෙනී සිටින්නේ. මගේ උපකල්පනය නිවැරදිනම් චින්තන ධර්මදාස අවංකයෙක්.

අවංක චින්තන ධර්මදාසලා කරන පොඩි තක්කඩිකමකුත් තිබෙනවා. එය තමයි නව නිෂ්පාදනයක් වෙළඳපොළට එන්නට පෙර ප්‍රාග්ධන හිමියාගේ පිරිවැය අඩු කිරීම වෙනුවෙන් වෙළෙඳ දැන්වීමක් නොදා මාධ්‍යවේදියෙක් හෝ වේදිනියක් ලවා එකී නව නිෂ්පාදනය පිලිබඳ ලිපියක් ලියවීම.

ඉන්පසු තවත් මාධ්‍යයක් මගින් එය විවේචනය කරවමින් පිළිතුරු ලිපියක් ලියවනවා. මේ දෙන්නාටම අතයට මුදලක් ලැබෙනවා. දැන් සමාජ කථිකාවක් හැදෙනවා. මේ සමාජ කතිකාව ඔස්සේ නිසොල්මනේ කිඹුලා ගොදුර කරා ඇදෙන්නාසේ නව නිෂ්පාදනය වෙළඳපොළට මුදා හරිනවා.


"කිඹුලා කෑවත් උහුලන්න පුළුවන්. කොහිල කටු ඇනෙන එක තමයි ඉවසන්න බැරි" කියන්නා සේ චින්තන ධර්මදාසලා, අජිත් පැරකුම්ලා, සුදර්ශන ගුණවර්ධනලා ගෝලීය ධනවාදය වෙනුවෙන් මරාගෙන මැරෙන්නේ ලිබරල්වාදීන් නිසා කියල හිතා ගන්න පුළුවන්.


80 දශකයේ ජන අරගලකරුවන්ට මොකද වුනේ?


නමුත්  "80 දශකයේ ජන අරගලකරුවන් "  I M F වන්දනාවේ යන්නේ කොහොමද කියන එක ඩේසි ආච්චිගේ මැණික් මල්ල වගේ පුදුම උපදවන්නක්.


"ලංකාව කුණු ගොඩක්" කියල ඔවුන් පවසද්දී ඔව් ඒක සම්පුර්ණ ඇත්ත. බ්ලූමැන්ඩල් කුණු කන්දටත් වඩා ලොකුයි. නමුත් මේ කුණු කන්දට යටවෙලා සිටින පිරිස රටේ මුළු ජනගහණයෙන් සියයට හතලිස් අටක්  විතර කියල පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් කරන ලද සමීක්ෂණයකින් හෙලිදරව් වෙලා තිබෙනව.


එවැනි වටපිටාවක I M F එක ගෙනැල්ල බැකෝ දාගෙන කුණු සුද්ධ කරද්දී කුණු ගොඩට යටවුනු වුන්ට අබ සරණයි නේද?   "80 දශකයේ ජන අරගලකරුවනි" කියන්න, ගෝලීය ධනවාදය වඩම්මවල ඔබලා මේකේ කොතැනටද පූට්ටු කරන්නේ කියල?

ලංකා කුණු ගොඩේ ඔඩු දුවපු ගන්දස්කාරකය තමයි මර්දක රාජ්‍යය. ඒ මර්දනයේ නායක කාරකාදීන් අදත් දඬුවම් නොලැබ යහතින් වැජඹෙනවා. බලයේ ඉහලම තැන්වල ඉන්නවා. තානාපති වරප්‍රසාද ලබනවා. ඒ ඇටුවම් බැහැපු ආයතනගත දෝෂය ඉවත් නොකර කුණුගොඩ කියා මේ හදන්නේ ත්‍රස්තවාදීන් -ෆැසිස්ට්වාදීන් කියා රනිල් ලේබල් ගහපු මෙදා අරගලකරුවන් සුද්ද කරන්නද? 

එදා 87- 89 භීෂණ යුගයේ ජාතිවාදී T 56 අරගෙන හඹා එද්දිත් රාජ්‍ය මර්දනයට කර නොදී පීඩිතයන් ආරක්ෂා කිරීමේ සුරක්ත ඉතිහාසයක් තිබෙනව. මේ "අසුවෙ ජනඅරගල කාරයන්" අද වීරිය කරන්නේ ඒ උරුමය IMF ඩොලර් වලට හිලව් කරන්නද?

ජනඝාතක යුද්ධයෙන් පස්සේ උතුරු නැගෙනහිර ඉඩම් අක්කර දාස් ගණනක් අල්ලාගත්තු රජයේ හමුදා ඒවායේ ව්‍යාපාර පවත්වාගෙන යනවා. හමුදා අනුග්‍රහයෙන් ඉන්දීය මාළු මුදලාලිලා හා චීන ව්‍යාපාරිකයන් උතුරු මුහුදුකරේ කරන මහා පරිමාන මාළු කොල්ලයෙන් ජීවිකාව අහිමි වුණු දෙමළ ධීවරයාට ගොඩබිම අරගල කරන්න සිද්ධවෙලා. 

පොදුවේ දෙමළ ජනතාවගේ මූලික අයිතිය හා නිදහස පමණක් නෙවෙයි, නිෂ්පාදනය ක්‍රියාවලියට දායක වීමට තියෙන සීමිත ඉඩකඩත් අහිමි කරළ .
උතුරු නැගෙනහිර දෙමළනිජභූමිය ඒකාබද්ධ කරළ බලය බෙදා රට හදන්න දිවි නොතකා දශක ගණනක් සටන් වැදුණු "අසූවේ ජන අරගලකරුවන්" අද රනිල්ගේ සාටකයේ  'එක රටක් - එක ආර්ථිකයක්' වාරම කියමින් ඔන්චිලි පදින්නයි මේ කැස කවන්නේ.


එනිසා ගෝලීයකරණය ගෙන්නාගෙන රට ගොඩ ගැනීමේ ව්‍යායාමය කියන්නේ රවුම් හිලේ හතරැස් කූඤ්ඤ ගහනවා වගේ වැඩක්. සම්මා වායාම සාර්ථක වීමට නම් සම්මා දිට්ඨිය තිබිය යුතුයි.


"විනාස කාලේන විපරීත බුද්ධිඃ "

@ ඥානසිරි කොත්තිගොඩ

Theleader.lk

නවතම ලිපි