ගරු නියෝජ්‍ය කථානායකතුමනි,
මෙම සභාවට ඉදිරිපත් කර ඇති මෙම ඉතා වැදගත් ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කථා කිරීමට අවස්ථාව සැලසීම පිළිබඳව ඔබට ස්තුතියි.
 
වැදගත් නොවන වැදගත්කම
 
මම ‘වැදගත්’ යැයි කියන්නේ මෙම පනත් කෙටුම්පතේ වැදගත් අන්තර්ගතයක් තිබෙන නිසා නොවෙයි. මෙම පනත් කෙටුම්පත මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැදගත් ප්‍රතිසංස්කරණයක් ලෙස හුවා දක්වන නිසා. ඒ වගේම මේ සංශෝධනයෙන් ඇත්තටම කරන්න බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියලා රටට කියා සිටීම තමයි අද මගේ අරමුණ.
 
17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරු රැසක් මේ සභාවේ ඉන්නවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වැනි සංශෝධනයට එම මන්ත්‍රීවරුන්ම ඡන්දය දුන්නා. එම මන්ත්‍රීවරුන්ම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දුන් අතර, 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දුන්නා. අද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දීමට එම සියලු දෙනාම සූදානම්!.
 
මංත්‍රීවරු පැද්දෙන්නේ බට්ටො වගේ
මෙය 21 වැනි සංශෝධනය බවට පත් වෙනවා. මෙම මංත්‍රීවරුන් එක් කෙළවරක සිට අනෙක් කෙළවරට ( ඔරලෝසු) දෝලනය වන බට්ටෙක් වගේ.
ගරු සරත් වීරසේකර මංත්‍රීතුමාට මගේ ගෞරවයක් තියෙනවා. ඔහු හරි හෝ වැරදි එක මතයක ඉන්නවා ඔහු එක අන්තයකම ඉන්නවා. ඔහු බට්ටෙක් මෙන් පැද්දෙන්නේ නැහැ.
17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ සභාවේදී සම්මත කරන විට ඊට විරුද්ධව කිසිවකු ඡන්දය ප්‍රකාශ කළේ නැහැ. එක් මන්ත්‍රීවරයකු පමණක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙම සභාවේදී සම්මත වූ අවස්ථාවේදී ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ ගරු සරත් වීරසේකර මන්ත්‍රීවරයා පමණයි. අනිත් හැමෝම එයට ඡන්දය දුන්නා.
 
17 සහ 19 – ජනතා අපේක්ෂාවක්
 
17 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සහ 19 වැනි සංශෝධනයෙන් කිරීමට බලාපොරොත්තු වූ දේ සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පවා රටේ අපේක්‍ෂාවන් පිළිබඳව දැනුවත්ව සිටි ආකාරය ඉන් පෙන්වනවා. 19 වැනි සංශෝධනය මේ සභාවට ඉදිරිපත් කරන විට මම හිතන්නේ ආණ්ඩුවට හිටියේ මන්ත්‍රීවරුන් 48යි. විපක්ෂයට මන්ත්‍රීවරුන් 150කට වැඩියි. එසේ වුවත් එය සම්මත වුනා.
නමුත් ඒ 150 දෙනාගෙන් මා හිතන්නේ මන්ත්‍රීවරුන් 60ක් පමණ පසුව ආ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දුන්නා. ගරු අධිකරණ අමාත්‍ය තුමා, ඔබ ඡන්දය දුන්නේ නැහැ එක්කෝ ඔබ ආවේ නැහැ.
දැන් මෙම 22වන සංශෝධනය ඉදිරිපත් කළ අධිකරණ ඇමැතිවරයා 20 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් තමන් විසින් කළ වරද නිවැරදි කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස අනෙකුත් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියා.
 
වරද නිවරද කරන ජෝකර්ලා
 
මම අවංකවමයි අහන්නේ: මෙම සහස්‍රයේ ආරම්භයේ සිට, 17, 18, 19, 20 සංශෝධන සම්මත කිරීමෙන් එක් එක් අවස්ථාවලදී ඔබ වැරැද්දක් කර ඇති බව පවසමින් සෑම අවස්ථාවකම එය වෙනස් කිරීමට ඔබ ඉල්ලා සිටියා නේද? මේක මොන වගේ පාර්ලිමේන්තුවක්ද? එක කෙළවරක සිට අනෙක් කෙළවරට මේ විදියට පැද්දෙනවා? තමන් වැරැද්දක් කළා කියමින් හැම වෙලාවෙම ඒක නිවැරදි කරන්න ඡන්දය දෙනවා.
 
මේ 225 අයින් කරන්න කියලා රට කියන එක පුදුමයක් නෙවෙයි! අද රටේ ජනයා “225 එළියට විසි කරන්න” කීම පුදුමයක් නොවෙයි. “උඹලා අපිව නොමග යවනවා, අපිව ජෝකර්ලාට ගන්නවා” යැයි ජනතාව කියනවා. රටේ මිනිස්සු විහිළු කාරයෝ නෙවෙයි. ඔවුන්, තමන් ඉල්ලා සිටින දේ දන්නවා.
 
අද මේ 22 වැනි සංශෝධනය එන්නේ ඇයි? 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ පාර්ලිමේන්තුවේදිම ඒක එන්නේ රටේ ජනතාවට මේ රට ප්‍රජාතන්ත්‍රවාදී කරන්න ඕන නිසා පමණයි. ජනතාවට මේ රටේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන නිසා. ඔවුන්ට අවශ්‍ය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අණ්ඩ දැමීම නොවෙයි. ක්‍රමයේ වෙනසක් සිදු කිරීමයි.
 
17තේ ඉඳලම දැම්මේ අණ්ඩ
 
17 සිට යම් යම් අණ්ඩ දැමීම් සිදු වූණා. නමුත් අද අප ඉදිරියේ තියෙන මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දාන අණ්ඩයක්වත් නොවෙයි. එය සම්මත වූ පසු එය සම්මත වුවහොත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයාට හිමි විධායක ජනාධිපති ක්‍රමයේ සියලු බලතල දිගටම එයට හිමි වෙනවා.
මා විවාදයක් සඳහා අභියෝග කර තිබෙනවා මේ සංශේධනය ගැන. සඳුදා රාත්‍රියේ එවැන්නකට මා සහභාගි වුණා. මෙයින් ඇත්තටම ජනාධිපති බලතල අඩු වෙනවා කියලා පෙන්නන්න කාටවත් බැහැ.
ඉතින් මේක රටට කරන වංචාවක් – මේක පරම වංචාවක්. විධායක ජනාධිපති ක්‍රමය නැති සම්පූර්ණ වෙනසක් ජනතාව ඉල්ලනවා. මේ රටේ ජනතාව කඩේ යවන එකද මේ කරන්න යන්නේ?
 
චන්ද්‍රිකාගේ නොපැමිණි මාස හය
 
1994 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය කිව්වා, විධායක ජනාධිපති ක්‍රමය මාස 6ක් ඇතුළත අහෝසි කරන්න කියලා. මාස හයක් ඇතුළත! 1994දි! තවම ඒ මාස හය ඇවිත් නෑ!
දෙවැනි වෙන්න අකමැති අනෙක් සෑම අපේක්ෂකයෙක්ම, අනෙක් සෑම ජනාධිපතිවරණයක දීම ජනතාව ඉදිරියට පැමිණ පැවසුවේ “මම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමි, මට ඡන්දය දෙන්න” කියලා. අවසානයේ 2015 දී මෙහි සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද අපේක්ෂකයා වූ විට කීවේ එයමයි. ඔහු රටට දුන් පළමු පොරොන්දුව තමයි “විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා” යන්න. ඊට පස්සේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොඩි පොඩි වෙනස්කම් කළා: “අපි මුලින්ම කරන්න ඕන දේ කරලා පසුව ජනමත විචාරණයකින් අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.”කිව්වා.
 
විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බවට ප‍්‍රකාශ නොකළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පමණයි. නමුත් එතුමාත් කිව්වා අවුරුද්දක් ඇතුළත අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා. එය පොරොන්දුවක් පමණක් වුණා. 2020 ජනවාරි 03 වැනිදා ඔහු මෙම පාර්ලිමේන්තුව අමතා රාජාසන කතාව කරන විට ඔහු පැවසුවේ “ මේ වසර ඇතුළත නව ව්‍යවස්ථාවක් ගෙන එන” බවයි. තවද ඔහු නව ව්‍යවස්ථාවක් මගින් වෙනස් කළ යුතු කරුණු හතරක් පෙන්වා දුන්නා. ඉන් එකක් තමයි විධායකය.
විධායකය, 2. මැතිවරණ ක්‍රමය, 3. පළාත් සභා සහ 4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් සඳහා අවශ්‍ය කරුණු හතර බව ඔහු ප්‍රකාශ කළා.
 
ගෝටාත් නැග්ග අහෝසි බජව් පාටිය
 
ඔහු සඳහන් කළ ප්‍රථම කාරණය විධායකය. එනයින් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරනවා කියලා හැම ජනාධිපතිවරයෙක්ම මේ රටට පොරොන්දු වෙලා තියෙනවා. ඉන් පසුව ඔහු ධූරයෙන් ඉවත් වීමට පෙර, ජාතිය අමතා අවසන් වරට කළ කතාවෙහිදී, පළමු පියවර ලෙස 20 වැනි සංශෝධනය ඉවත් කරන බවත්, පසුව විධායක ජනාධිපති ක්‍රමය සමඟ අහෝසි කිරීමට කටයුතු කරන බවත් පැවසුවා.
ඉන් දිනකට පසුව, අගමැති ලෙස වැඩ භාරගත් වත්මන් ජනාධිපතිවරයා ජාතිය අමතමින් ඉතා නිශ්චිතවම පැවසුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවයි. ඒ මීට මාස කිහිපයකට පෙර! නමුත් අපට දැන් තියෙන්නේ එයම නොවේද?
 
මා කිව්වා වගේ ඉතිහාසය පෙනෙනවා 1994 ඉඳන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා පොරොන්දු වුන බව. දෙමළ ජාතික ප‍්‍රශ්නයටත් විසඳුමක් දෙන බවට අඛණ්ඩව පොරොන්දු වී තිබෙනවා.
බලය බෙදීමටත් කළේ එම සංගදියමයි
 
 
2011 දී සුප්‍රසිද්ධ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවට තෙවරක්ම ප්‍රකාශ කළේ 13 වැනි සංශෝධනයේ විධිවිධාන සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර ඉන් ඔබ්බට ගොස් බලය බෙදීම අර්ථවත් කරන බවයි. තුන් වරක්! ඒකාබද්ධ ප්‍රකාශ! ඒත් තවම කරපු දෙයක් නැහැ.
 
මේ කිසිම පොරොන්දුවක් කවදාවත් ඉටු කරන්නේ නැහැ. මේ රටේ පුරවැසියන් මූලික වෙනසක් ඉල්ලා සිටින්නේ ඒ නිසායි. ඔවුන් වෙහෙසට පත් වෙලා. මෙය සිදු නොවන බව ඔවුන් දන්නවා. පක්ෂ රැස්වීම්වලදී අප මේ ගැන කතා කරන විට, එය ක්‍රමානුකූලව කරන්නෙමු යැයි අපට පැවසනවා. ක්‍රමානුකූලව හෝ නැතිව හෝ කිසිවක් නොකරන බව මට සහතිකවම කියන්න පුලුවන්.
 
හත, තුන වීම නොහොත් ව්‍යවස්ථා සභාව දේශපාලනීකරණය වීම
 
ඔබ දිගටම පහළට රූටනවා. මා පෙන්වන්නම් කොහොමද කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වැනි සංශෝධනයෙන් ව්‍යවස්ථා සභාවක් පිහිටෙව්වා. මන්ද? මොකද දේශපාලන ඇඟිලි ගැසීම් නොවිය යුතු නිසා. ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමෙදි. ප්‍රධාන වචනය ස්වාධීනත්වය.
දැන් 18 වැනි සංශෝධනයෙන් ඒක නැති කරා. මා මේ සභාවේදී කතා කළා, 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව. දීර්ඝතම කතාව මා මේ සභාවේදී කළේ 2010 සැප්තැම්බර් 8 වැනිදා. ඒ මා පළමු වතාවට මේ උත්තුංග සභාවට ඇවිත් මාස කිහිපයකට පස්සේ. එජාපය පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත්ව සිටි නිසා 18 වැනි සංශෝධනය ගැන කතා කිරීම පවා අපට සහ ජවිපෙට බාර වී තිබුණා. 18 වැනි සංශෝධනයෙන් ව්‍යවස්ථා සභාව නැති කළා.
 
සිරිසේනගේ කයිය
 
එතකොට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය එන කොට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු වුණාට පස්සේ – මම කතා කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගැන – එදා ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කිව්වේ අපි මුලින්ම කරන්න පුළුවන් දේ ජනමත විචාරණයකින් තොරව කරමු කියලා. එතනම පහළට ලිස්සුවා. ඉහළට පියවරක් නැහැ, රූට රූටා පහළට යනවා මිසක්.
 
ඊට පස්සේ 19 වැනි සංශෝධන පනත් කෙටුම්පත සකස් කළා. එය ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණය කරුණු කිහිපයක් ඉවත් කළා. දෙවන වර තවත් පියවරක් පහතට ලිස්සුවා. ඊට පස්සේ සංශෝධනය මේ සභාවට ඉදිරිපත් වූ විට විපක්ෂයේ මන්ත්‍රීවරුන් 150ක් කරුණු කිහිපයකට විරුද්ධ වූණා. ඔවුන්ගේ ජන්ද ලබා ගැනීම සඳහා, තවත් පියවරක් පහළට රූටා ලිස්සුවා.
 
එතකොට තමයි ව්‍යවස්ථා සභා සංයුතිය දේශපාලනීකරණය වුණේ. 7-3 යන්න 3-7 බවට පත් වුණා. ස්වාධීන සාමාජික සාමාජිකාවන් තිදෙනෙක් පමණයි ඉතුරු වුණේ. අනෙක් හත් දෙනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්. නිර්වචනය අනුව ඔවුන් දේශපාලනඥයන් සහ දේශපාලන පක්ෂ සාමාජිකයන්. ඉන් පසු ස්වාධීනත්වය නැති වුණා.
දැන් ගරු අධිකරණ අමාත්‍යතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යළි පිහිටුවන්න කියා කියන්නේ එවැන්නක්; ස්වාධීන නොවන ව්‍යවස්ථා සභාවක්. එතකොට ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කරන්නේ කොහොමද? ඒ පියවරත් පහතට ගියා.
 
අරගලය ඉල්ලුවේ ඇත්ත වෙනසක්
 
20 වෙනි සංශෝධනය සම්මත කරපු ඔබ දැන් කියනවා ඒක නිවැරදි කරන්න කියලා. මොකද උද්ඝෝෂණ කරපු ජනයා වෙනසක් ඉල්ලු නිසයි. ඔවුන්ට අවශ්‍ය විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට. මුලින්ම 20 වැනි සංශෝධනය අයින් කරන්න කියලයි ඔවුන් කිව්වේ.
 
20 වැනි සංශෝධනය අහෝසි කළා නම් අඩුම තරමේ 19 වැනි සංශෝධනයටවත් යන්න වෙනවා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පරිපූර්ණ ව්‍යවස්ථාව සංශෝධනයක් නොවන බව මා නිතරම කියා තිබෙනවා. එය සම්මත කරන අවස්ථාවේ පවා. එය දුර්වල වුණේ ඇති කරගත් සම්මුතීන් කිහිපයක් නිසා. නමුත් අපි එම සම්මුතීන්ට ගියේ ඉන් පසු වහාම මුළු පාර්ලිමේන්තුවම විසින් නිර්මාණය කරන ලද ව්‍යවස්ථාදායක සභාවක් මගින්, නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට ක්‍රියා කිරීම පිණිසයි.
 
රනිල්ගේ 2019 ව්‍යවස්ථා කෙටුම්පත කුණු කූඩයට
 
2019 ජනවාරි මස 16 වැනි දින එවකට අගමැතිවරයා වශයෙන් වත්මන් ජනාධිපතිවරයා විසින් සියලු පක්ෂ අතර සම්මුතියක් ඇති වූ නව ව්‍යවස්ථාවක් පිළිබඳ කෙටුම්පතක් මෙම සභාවට ඉදිරිපත් කළා. මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් අවශ්‍ය විය හැකි ගැලපීම් ස්වල්පයක් තිබූ නමුත් අනෙක් සියල්ලටම එකඟ වුණා. බලය බෙදා ගැනීමේ විධිවිධානයට පවා සම්පූර්ණයෙන්ම එකඟ වුණා. ඒත් එය කවදාවත් දිවා ආලෝකය දැක්කේ නැහැ.
පසුව එම කෙටුම්පත විසි කර 20 වන සංශෝධනයෙන් විධායක ජනාධිපති ක්‍රමය ශක්තිමත් කළා.
දැන් ඔබ ජනතාවට කියනවා, ජනතාවට විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න ඕන නිසා, එය අහෝසි කරන්න ඕනෑ බව. ඒහි පළමු පියවර කියලා ඔබ ජනතාවට බොරු කියනවා, ඇත්තටම විධායක ජනාධිපතිගේ බලතල කිසිවක් උදුරා නොගන්නා සංශෝධනයක් සම්බන්ධයෙන්. ඒක බොරුවක්. ඔබ මේ රටේ ජනතාවට බොරු කියනවා.
විධායක බලය අදත් එහෙමමයි!
 
මේ විධායක නිලය අහෝසි කරනවා කියලා, 22වන සංශෝධනය සම්මත කරමු කියලා කියන එක මහා බොරුවක්. ප්‍රෝඩාවක්. ජනතාවට කියන බොරුවක්. මෙහි, කිසිදු වෙනසක් නැහැ. 20 වෙනි සංශෝධනයේ තියෙන හැම විධායක බලයක්ම ජනපතිට තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙහි පාලනය රජය අතේ තිබෙන බව එය පත් කරන ක්‍රමයෙන් පෙන්නුම් කරනවා.
 
ශ්‍රේෂ්ඨාධිකරණය ද අවාසනාවන්ත ලෙස බට්ටෙක් වගේ දෝලනය වෙමින් තිබෙනවා. 19 වැනි සංශෝධන පනත ඉදිරිපත් වූ අවස්ථාවෙහි එම කෙටුම්පතේ විවිධ ව්‍යවස්ථා වෙනස්කම්වලට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දුන්නා. ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව පැවසූවා. නමුත් දැන් එම වෙනස්වීම් හා සමාන වෙනස්කම් 22 සංශෝධනයට ඇතුළත් වන විට එම ශ්‍රේෂ්ඨාධිකරණය පවසන්නේ ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවයි.
 
ශ්‍රේෂ්ඨාධිකරණයටත් ගෙදර යන්න කියන්න
 
දැන් ජනතාවට අප කිව යුත්තේ මෙයයි, බට්ටෙක් මෙන් දෝලනය වන්නේ පාර්ලිමේන්තුව පමණක් නොවෙයි. ශ්‍රේෂ්ඨාධිකරණය ද දෝලනය වෙනවා! ශ්‍රේෂ්ඨාධිකරණයත් වෙනස් කරන්න. ඔවුන්ටත් ගෙදර යන්න කියන්න.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දුන් තම තීන්දුව එම වචනවලින්ම 22 වන සංශෝධනයේ දී කියවා තේරුම් ගැනීමට ඔවුන්ට නොහැකිද? වසර කිහිපයක් ඇතුළත තීරණය වෙනස් වී එම වගන්ති සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව පවසන්නේ කොහොමද? ඔවුන් උගත් අය කියලයි කියන්නේ. ඒක එහෙමද?
 
පුනරුත්ථාපන පනත ගෙනා අය පුනරුත්ථාපනය වෙන්න
 
ඇත්තෙන්ම අද පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් හොඳ තීරණයක් දී තිබුණා. අපි කිව්වා, එය ඉදිරිපත් කළ අවස්ථාවෙදි, “මෙය ඉල්ලා අස්කර ගන්න” කියා. එම පනත අධිකරණයක වරදකරු බව ඔප්පු වන තුරු පුද්ගලයෙකු නිර්දෝෂී යැයි උපකල්පනය කළ යුතු මූලික මූලධර්මවලට පටහැනි යි. නිකම්ම කුදලා ගෙන ගොස් පුනරුත්ථාපනය කරන්න බැහැ. ඒ වගේම ඇමැතිතුමා ඒ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ඇයි කියලා මට තේරුම් ගන්න බැහැ.
 
මා එම තීන්දුවෙන් පසු අවස්ථාවේදී ප්‍රසිද්ධියේම ප්‍රශ්නයක් ඇහුවා: මේ පනත ඉදිරිපත් කළ කැබිනට් මණ්ඩලය පුනරුත්ථාපනය නොකළ යුතුද කියලා?
දෙවැනි වතාවටයි ශ්‍රේෂ්ඨාධිකරණය මුළු පනතක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි කියලා තීන්දු කළේ. මුල් අවස්ථාව වුණේ විකාශන අධිකාරියේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මීට වසර ගණනාවකට පෙර. මුළු පනතම පටහැණියි!
 
මෙය සකස් කරන්නට ඇත්තේ ඇමතිවරයා නොවන නමුත් අමාත්‍යවරයා එය ඉදිරිපත් කරන විට, අනිවාර්යයෙන්ම පනතේ අන්තර්ගතය කියවිය යුතුයි. ඇයි මේ වගේ භයානක පනතක් ඉදිරිපත් කරන්නේ? අවම වශයෙන් මේ අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය එය බිමටම දමා තිබෙනවා.
 
ඛේදවාචකය!
 
නමුත් 22 වැනි සංශෝධනයේදී ශ්‍රේෂ්ඨාධිකරණය මේ පැත්තට ඒ පැත්තට දෝලනය වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස එකිනෙකට වෙනස් අර්ථකථනයන් කරන විට ජනතාවට විශ්වාසයක් ඇති වන්නේ කෙසේද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්ථකථනය කිරීමේ එකම සහ තනි අයිතිය තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණට. ඔවුන් එම සුරුකීමේ අයිතිය තදින්ම ආරක්ෂා කර ගන්නවා. නමුත් අර්ථ කථනයන් වෙනස් කරන විට එය ද බට්ටෙක් වගේ එක අන්තයක සිට අනෙක් අන්තයට දෝලනය වෙනවා. දැන් මේ නිසා මා ගෞරවයෙන් කියනවා, ජනතාව වෙනසක් ඉල්ලනවා, ඔබ කරන්න හදන්නේ ජනතාවගේ ඇස්වලට වැලි ගහන එක. ඇත්ත වශයෙන්ම ඔබ කිසිදු ප්‍රතිසංස්කරණයක් නොකරමින් යම් ප්‍රතිසංස්කරණ සිදු කරන බව රටට මවා පානවා.
 
අනික මේක භයානකයි. මම කියන්න ඕනේ, මේ 22වන සංශෝධන කෙටුම්පතේ හානිකර ප්‍රතිපාදන නැහැ. නමුත් හානිය නම් ඔබ නැති දෙයක් රටට පෙන්වීමයි. එය හානිකර විය හැක්කේ මෙම ආයතනය, එනම් පාර්ලිමේන්තුව කෙරෙහි ජනතාව තුළ දැනටමත් පලුදු වී ඇති විශ්වාසය, පාර්ලිමේන්තුවද ඔවුන් නොමඟ යවා ඇති බව දැන ගත් විට එනම් ප්‍රතිසංස්කරණයක් නොමැති විට විශාල ප්‍රතිසංස්කරණ කිහිපයක් ඇතැයි සිතීමට පෙලඹවූ බව දැනගත් විට එම විශ්වාසය සම්පූර්ණයෙන්ම විනාශ වන එකයි.
ඔවුන් පාරට බහීවි. නැවත වරක් තමන් රැවටූ සිය නියෝජිතයන් ගැන ඔවුන්ට විශ්වාසයක් නැති වේවි.
 
ඉදිරියට කියමින් පස්සට‍ රූටනවා
 
බලය බෙදීමේදීත් ඒ දේම වුණා. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පනවන විටත් අපි කිව්වා එය අප්‍රමාණවත් බව. අප එය පිළිගත්තේ නැහැ. නමුත් පනවන ලද දේ පවා කිසි විටෙකත් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වුණේ නැහැ. දිගින් දිගටම ඛාදනය වුණා. පහළට සහ පහළට. ඉන්පසු පළාත්වලට ලබා දී තිබූ සියල්ල ද ආපසු ලබා ගත්තා: ප්‍රවාහන අධිකාරිය එකක්. එවැනි විවිධ දේවල්. එහි උච්චතම අවස්ථාව වූණේ “දිවිනැගුම පනත”. පළාත්වලට දුන් බලතල 15ක් අයින් කරලා මධ්‍යම රජයට ගත්තා. ආණ්ඩුව වෙන රටවලට කියනවා 13වන සංශෝධනය වැඩි කරනවා කියලා. නමුත් රට අතුළෙදි අඩු කරනවා.
 
ඔබේ ප්‍රවේශය මෙයට සමානයි. ඔබ ජනතාවට කියන්නේ ඔබ ඉදිරියට යන බවයි. ප්‍රජාතන්ත්‍රවාදීව එය කරන බව. නමුත් ඇත්ත වශයෙන්ම ඔබ ශක්තිමත් කරන්නේ ඒකාධිපතියෙක්.
 
මෙය රටට කරන ඉතා භයානක දෙයක්. මා මේ සභාවේ ගරු මන්ත්‍රීවරුන්ට අවවාද කළ යුතුයි: මවාපෑම නතර කරමු, ජනතාව නොමඟ යැවීම හෝ ජනතාව ගොනාට ඇන්ද වීමට උත්සාහ කිරීම නවත්වමු – ජනතාව කිසි විටෙක රැවටෙන්නේ නැහැ.
 
නව ව්‍යවස්ථාවක් ජනමත විචාරණයකට දාන්න
 
ප්‍රතිසංස්කරණයක් කරන්න ඕන නම් එය සකස් කරලා ජනමත විචාරණයකින් ජනතාව අතරට ගෙන යන්න. ඇයි ඔබ ජනමත විචාරණයකට බයේ මුළු ගැන්වෙන්නේ?
කොහොම වුණත් ජනතාව වෙනසක් ඉල්ලා තියෙනවා. ජනතාව ඉල්ලූ වෙනස ජනතාව අතරට ගෙන යන්න. ඔවුන්ගේ කැමැත්ත ලබා ගන්න. රටක ප්‍රතිසංස්කරණ සිදු කරන්නේ එහෙමයි. මූලික වෙනසක් කරන්න. නව ව්‍යවස්ථාවක් ගේන්න. මවාපෑම් නොකරන්න. ජනතාවට බොරු කියන්න එපා. ජනතාව මෝඩයන් කිරීමට උත්සාහ නොකරන්න.
 
(2022 ඔක්තෝබර් 20 වැනි දින 22 වැනි සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මංත්‍රී එම්.ඒ. සුමන්දිරින් ඉංග්‍රිසි බසින් කළ කතාවෙහි ශ්‍රී ලංකා බ්‍රීෆ් දළ අනුවාදය සේ. පියවර්ධන විසිනි.)
උපුටාගැනීම - @ srilankabrief 

නවතම ලිපි