"ඒ කාලෙ ඔය ගල් මෙලෙක් කරන්න පවා බේත් තිබිලා තියනවා.
ඒවා යොදාගෙන ගල් මෙලෙක් කරලා තමයි ඔය ගල් වඩුවො පිළිම නෙලලා තියෙන්නේ" ඒ විදියට බැලුවොතින් පිලිම නෙලලා නෙවෙයි අඹලා යි තියෙන්නෙ. මොකෝ අර බේත ගෑවා, මෙලෙක් වෙනකල් හිටියා මැටි තලිය වගේ උනාම ඒකෙන් ඇඹුවා. සිම්පල්.
 
විද්‍යාත්මකව ගත්තොත් ගලක් කියන්නෙ ක්‍රිස්ටල් එකක් මම දන්න විදියට. එහෙම ක්‍රිස්ටල් එකක් වියෝජනය කරන්න පුලුවන් කුමන හෝ ආකාරයකට. නමුත් ක්‍රිස්ටල් එකක් මෙලෙක් කරනව කියන කතාව විද්‍යාත්මකව නම් කරන්න පුලුවන් කියලා මම හිතන්නෙ නෑ. ඔය ගල් මෙලෙක් කරලා පිලිම අඹන කතාව ඒ කාලේ උන්නු ගල් වඩ්ඩෙක්ට ඇහුනොත් කණ පැලෙන්න දෙකක් දෙයි ඒක කියපු එකාට. කටුවෙන් මිටියෙන් දවසගාණේ දාඩිය පොල්ල දාගෙන පුදුම මහන්සියක් කැපවීමක් එක්ක ඒකට තමන්ගෙ ශිල්පීය දක්ෂතාවය සහ කලාත්මක භාවය මුසු කරලා අසමසම නිර්මාණ කරපු ඒ ශිල්පීන්ට ඔය කතාවට එහා යන අවඥාවක්, අවනම්බුවක් තවත් නැතිව ඇති.
 
ගල් 3
 
ඔය ගල් මෙලෙක් කෙරිල්ල ගැන මතවාදය බිඳ දමන්න හොඳම නිදර්ශකය දකින්න ලැබෙන්නෙ තන්තිරිමලේ ශෛලමය නිර්මාණ වලින්. කුමන හෝ ආක්‍රමණයක් නිසා වැඩබිම අතෑරලා පසුබසින්න සිද්ධවුනු තන්තිරිමලේ නටබුන් අතරින් ඔය කාරණාවට අවශ්‍ය සාධක උවමනාවටත් වැඩියෙන් හොයාගන්න පුළුවන්. තන්තිරිමලේ විහාරයේ ශෛලමය ප්‍රතිමාඝරයේ හොඳින් නිමැවූ බුදු පිළිමය වටා තිබෙන අඩක් නිමකෙරෙමින් පැවතුනු සහ මූලික හැඩය මතුකෙරුනු කොටස් වලින් ඔය සම්බන්ධ කාරණාව දැකබලාගන්න පුළුවන්. ඒ අඩක් නිම කෙරුණු සහ මූලිකය හැඩය මතුකෙරෙමින් පැවතුනු කොටස් වල ඉතා අපූරුවට රළු කටු පාරවල් දකින්න ලැබෙනවා. Tharindu Sri Lokugamage ගෙ පරණ ෆොටෝවක් ඇති ඕක හොඳටම පෙනෙන. ඒ වගේම මට මතකයි ලොකු ගල් තලාවෙන් බැහැගෙන ඔතැනට යාම සඳහා ස්වභාවික ගලමත කොටා නිර්මාණය කෙරුණු පඩි පෙලේ අඩක් නිම කෙරුනු පඩියකින් වැඩ නැවතිලා තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. Kithma Wasana Dahanayake ගත්තු තන්තිරිමලේ ෆොටෝ වගේකුත් මේකට එල්ලලා දාන්නම්.
 
 
ගල්4
 
තන්තිරිමලේ චන්දරතන හිමියන් විසින් රචිත "තන්තිරිමලේ" කෘතිය ඇසුරෙන් තන්තිරිමලේ ඉතිහාසය සම්බන්ධව ලියවිලි අන්තර්ජාලයේ දකින්න පුලුවන්. ඒ අනුසාරයෙන් ගත්කල විජයාගමනයෙන් අනතුරුව ඔහුගේ උපතිස්ස නම් ඇමතිවරයා මල්වතු ඔය සහ මහකනදරා ඔය හමුවන ස්ථානයේ ඔහු විසින් ගොඩනගන ලද "උපතිස්සගාමය" වර්තමාන තන්තිරිමලේ ලෙසින් හඳුන්වන බවද, දෙවනපෑතිස් යුගයේ තිවක්ක නම් බමුණා "තිවක්ක බමුණුගම" ලෙසින් මේ ආශ්‍රිතව ජීවත් වූ බවද, අභිනවයෙන් රෝපණය කල අනුරාධපුර ශ්‍රීමහා බෝධියේ පළමුව හටගත් ගෙඩි අටෙන් එකක් අනුසාරයෙන් පැළවූ "අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේනමක්" මිහිඳු හිමි විසින් තිවක්ක බමුණාට ලබාදීමෙන් අනතුරුව ඔහු විසින් මෙම ගල්තලාව මත බෝධිඝරයක් සාදවා එය තුළ එය රෝපණය කල බවද සඳහන්.
ගල් 2
තන්තිරිමලේ ගැන කතා කරත්දී ආදිවාසී වැදි ජනතාව අපට අමතක කරන්න බෑ. වැදි ජනයාගේ ගුහා චිත්‍ර අදටත් තන්තිරිමලේදි දැකගන්න පුළුවන්. ඒ ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ නෑ සහ දන්නෙත් නෑ සමහරු. විජයාගමනය සිදුවන්නට පෙර ඉඳන්ම ඔය ප්‍රදේශය ආශ්‍රිතව වැදි ජනයා ජීවත්වූ බවට සාධක බොහෝමයක් තිබෙනවා. එහෙම බැලුවම ඒක වෙනමම රාජධානියක්. විජය ඉන්දියාවෙන් පන්නලා ඔය ඒරියා එකේම වෙරළට ප්‍රදේශයට ගොඩ ගහලා හෝන්දු මාන්දු වෙලා ඉත්දි බල්ලෙක් දැකලා ඒකා පස්සෙන් ගිහිං කුවේණිව මුලිච්චි උනා කියන්නෙත් ඔය පලාතෙදිම තමයි. කුවේණි ඉන්නෙ කපු කටිමින්. ඒ කියන්නෙ නූල් හදමින්, ඇඳුම් වියන්න. එහෙම බැලුවම ඒ සංස්කෘතිය දියුණු එකක්. ආදිවාසීන් ගොඩනගපු ජනාවාසයක් ආක්‍රමණය කිරීමක් එතන වෙන්න ඇත්තේ. කුවේණි කසාද බැඳගෙන ඊට පොඩ්ඩක් එහායින් මුල් බැහැගෙන ඉඳලා කුවේණිගේ උදව්වෙන් ස්ථාවර භාවයක් ගොඩනගාගෙන ටික කාලයක් යත්දි අරූට කුවේණි "පොෂ් මදි" ගතියක් දැනෙනවා. තැන තැන රස්තියාදු ගගහා රාජධානියටත් පිළිලයක් වෙලා හිටපු විජය සහ උගේ ගැංසිය කොණ්ඩෙ භාගයක් තට්ටෙ ගාලා රටෙනුත් පැන්නුවට පස්සෙ මෙහාට තොලොංචි වෙලා පොඩ්ඩක් ස්ටේබල් උනාට පස්සෙ ඉන්දියාවෙ මහ එකාලා හිතනවා "මූ දැන් හැදිලා" කියලා. ඊට පස්සෙ උට අලුත් ගෑණියෙකුත් සමග විදේශාධාරත් ලැබෙනවා. ඊට පස්සෙ කුවේණි පන්නලා මූ මෙහේ ෆුල් ස්ටේබල් වෙනවා. ඕකයි කතාව කෙටියෙන් ගත්තොත්.
 
කුවේණිගේ පරම්පරාව සමූලඝාතනය කල බවත් , ජීවහත්ථ සහ දිසාලා වනගත වූ බවත්, ඔවුන් දෙදෙනාගෙන් නූතන වැදි පරම්පරාව ආරම්භවූ බවත් ඉතිහාසයේ සඳහන්. ම්ම්හු. පිළිගන්න අමාරුයි.ලංකාව පුරා තැන් තැන් වල විසිරුණු රාජධානි තිබුනා. මේ අපි කතා කරන්නෙ බුදුන්ගේ ජීවමාන කාලසීමාව අවට අවුරුදු සියයක් විතර ඇතුළත. ඒ කාලයේත් , මහියංගනය, නාගදීපය, කැළණිය අවට රාජධානි ගැනත් කියවෙනවා. ගිරිහඩු සෑය ගැනත් කියවෙනවා. ඔය සියල්ල ජනප්‍රවාද හෝ වේවා ඒ සියළුම ප්‍රදේශ වල නම කියවෙන්න වත් රාජධානි , මිනිස් ක්‍රියාකාරකම් , ජනාවාස තිබියයුතුයි. එහෙම බැලුවම අපට පිළිගන්න පුළුවන්ද විජයට ලංකාවේ මුල් වැසියන් සියල්ල සමූල ඝාතනය කරන්න පුළුවන් වුනා කියා? දැන් ඉන්න වැද්දෝ ජීවහත්ථ, දිසාලාගෙන් පැවතුනු අය විතරක් කියා?
 
ආපසු තන්තිරිමලේට. තන්තිරිමලේ කියන්නෙ තනිකරම වෙනමම රාජධානියක්. ලොකු ඒරියා එකක්. දුරට විහිදෙන ඉතා විශාල වපසරියක්. තන්තිරිමලේ ගැන කතා කරත්දි වසන්ත අයියව Wasantha Siri Watagoda අමතක කරන්ඩ බෑ. ඒ අහල පහල ඉන්න මාලුවෙක් කොටාගෙන අඩියක් ගහගෙන කවියක් ලියාගෙන ලෝයර් ජොබ් එකත් කරගෙන ඉන්න මනුස්සයා. වසන්ත අයියගේ තන්තිරිමලේ ගැන ලියවුනු ලියවිලි ඇත්තෙන්ම මා විශ්මයට පත් කලා. වෙනම ඇහැකින් ඒ දිහා බලලා ලියපු ලියවිලි අතිශය තර්කානුකූලයි.
 
ඔය ඒරියා එකේ එදා ඉඳන් ජීවත් වුනු මුල් පදිංචිකාරයො තරම් දුක් ගැහැට පීඩා විඳපු මිනිස්සු තවත් නැතිව ඇති. අදටත් එහෙමයි. තන්තිරිමලේ ඒරියා එක කියන්නෙ අදටත් බොහෝම නොදියුණු පළාතක්. විජයලා එනවා, ඉන්න මිනිස්සු පන්නනවා පදිංචි වෙනවා, දෙවනිපෑතිස් කාලේ මිහිඳු හාමුදුරුවෝ ආගමික ආක්‍රමණයක් සිදු කරනවා ඒ ආනුභාවයෙන් ආපහු වැද්දො ටික පන්නලා අලුතින් ආගම මූලික කරගෙන ජනාවාස හැදෙනවා. Invade, retreat , strike back . ඔය ප්‍රදේශයේ ජීවත්වුනු වැද්දන්ට හැමදාම මූණදෙන්න උනේ ඔය කාරණා තුනට. තන්තිරිමලේ ජනාවාස බිඳවැටෙන්න හේතුවූ උපකල්පිත කරුණු පහක් වටගොඩ සූරීන් පෙන්වා දෙනවා.
 
1. සත්‍ය වශයෙන්ම ද්‍රවිඩ ආක්‍රමණ හේතුවෙන්.
 
2.සිංහල කිරුල වෙනුවෙන් ඇතිවූ අරගල නිසාවෙන් සාලිය කුමරුගේ රාජධානිය , ජනාවාසය තන්තිරිමලේ වීම හේතුවෙන්. (සාලිය කුමරුන්ගේ දරුවන් සහ අනුප්‍රාප්තිකයන් ගැන කිසිදු තැනක සඳහනක් නැති වීම)
 
3. තන්තිරිමලේ මහායානික පුදබිමක් වීම, පසුකාලීනව ථේරවාදය ඉස්මතුවීම නිසාවෙන් සිදුවූ ආගමික ආක්‍රමණය. මේ කතාවත් පට්ට තාර්කිකයි. මොන රජා හිටියත් කවුරු පාලනය කලත් රාජ්‍යයට ආගමෙන් ගැලවීමක් නෑ. අද වගේම තමයි. එදා ඊට බෝම දරුණුයි. වංශකතා වලදී පවා උත්කර්ශයට නංවන්නේ ආගමට සලකපු රජවරුන් බව අමතක කරන්න හොඳ නෑ. කොටිම්ම හාමුදුරුවන්ට මිරිස් හොද්දක් වත් නොදී රජාට කාලා දිරවගන්න බැරි නිසයි ගැමුණු රජු මිරිසවැටිය හැදුවේ. ආගමික බලපෑම ඒ තරමට දරුණුයි. ශ්‍රද්ධාවට එහා ගිය තගක් ඒක. අපිට පොඩි කාලේ වළගම්බා කතාව උගන්නත්දි ගිරි නම් නිඝණ්ඨයා ගැනත් කියනවා. ජෛන ආගම කියන්නෙ ලෝකයේ අවිහිංසාවාදීම ආගමක්. "ගිරි" වලගම්බා පැනලා යත්දි කෝ අරූ කොහෙටද ගියේ කියලා ආක්‍රමණිකයා අහත්දි බයට "අන්නෙ අරෙහෙට ගියා" කියන ඔත්තුව දුන්න වරදට රජ උනාට පස්සෙ උගෙ පැල් කොටේ කඩලා එතන අභය ගිරිය හදපු කතාව අපි දන්නවා. රජාට මල පැන්න එක සහ ඒකට ගේම දුන්න එක වෙනම කතාවක්. රජවරු එහෙමයි. නමුත් අපිට මහානාම හාමුදුරුවෝ ඒක රසකරලා කියපු එක තාම මතකයි. "මහා කළුසිංහලයා පළා යනවෝ"..... ඒ නිසා ආගමික ආක්‍රමණය කියන කාරණාව සෙල්ලං නෑ.
 
4. රුවන්වැලි සෑය සෑදීමට ඒ අවට ගාඩි වංශිකයින් සංහාරය කල අයුරෙන් අශෝකමාලාවගේ චණ්ඩාල පරම්පරාවද මෙමෙ භූමියේ සංහාරයට ලක් කලා වන්නටද ඇත. රුවන්වැලි සෑයේ ගාඩි සංහාරය ගැන කාරණාව ඇත්තටම මම දැනුවත් නෑ, වටගොඩ සර් මේ ගැන පැහැදිලි කරනවා නම් ඉතා කැමතියි. මොකද මේ හාදයා මෙව්වා ආවට ගියාට කියන්නෙ නෑ. මම දන්නෙ එතන ගහ කපන්න චාටු කියවලා ස්වර්ණමාලි දේවතාව ගහෙන් බස්සපු එක ගැන විතරයි.
 
5. ආදිවාසීන්ගේ ආරක්ෂිත පුදබිමක් බලහත්කාරයෙන් අත්පත් කරගැනීම නිසා නිරන්තරයෙන් මතුවූ ඔවුනගේ ප්‍රති ප්‍රහාර හමුවේ පුදබිම අත් හැර දැමීමට බොදුනුවන්ට සිදුවූවා වන්නට ඇත සහ රාජ්‍යත්වය ප්‍රබල වූ සමයක එකී වැද්දන් සමූලඝාතනය කරන්නට හෝ පළවා හරින්නට ඇත. වටගොඩ සූරීන්ගේ මේ කාරණාවේ වැද්දන්ගේ strike back strategy එකට තමයි මම ආසාම.
 
මේ කොයි ආකාරයෙන් හෝ වේවා තන්තිරිමලේ ජනාවාසය වල් බිහිවී යන්නට ඇති. ආගමික ඇස මූලික කරගෙන පුරා විද්‍යා සොයාගැනීම් කරන්නෙ නැතිව ඒවා ස්වාධීනව සිද්ධ වෙනව නම් පුද්ගලිකව මම ඉතා කැමතියි. යටි හිතේ ආගම කියන කාරණාව තියාගෙන අතීතය සෙවීම නිසා සැඟවුනු කාරණා බොහෝමයක් යටපත්වී තිබෙන බවයි මගේ නම් අදහස. තමුන්ගේ කියලා රාජධානි හදාගෙන ඒරියා එකක් පාලනය කරගෙන සියවස් ගණනක් තිස්සෙ තමුන්ගේ මුතුන්මිත්තෝ ඇඳපු චිත්‍ර පවා රැකගෙන දියුණු මට්ටමේ ශිෂ්ඨාචාරයක් නඩත්තු කරපු අර වැදි මිනිස්සු සම්බන්ධයෙන් මගේ හිතේ මැවෙන්නෙ බොහොම දෝමනස්ස සිතුවිල්ලක්. තමන්ගෙ සහෝදරීව අඹුවට ගත්තු, එයිනුත් ඉපදුනු රටේ තියාගන්න වත් බැරි තරමේ එපා කරපු , නැවක දාලා පා කරලා ඇරපු එකාගෙන් අපේ රටේ මිනිස්සු පැවතගෙන එනවා කියලා කියනවට වඩා , අර තන්තිරිමලේ ගල් ගුහා වල චිත්‍ර ඇදපු , තමන් ආක්‍රමණය කරපු එවුන්ට පෙරළා පහර දෙන්නට තරම් එඩිතර වුනු ඒ වැදි මිනිස්සුන්ගෙන් පැවතගෙන එනවා කියලා හිතන්න මම නම් බෝම කැමතියි.
 

නවතම ලිපි