මේ වෙනකොට රටේ පහලව ඇත්තේ ආර්ථිකයේ ප්‍රශ්නයක් නොව, ගැටළුවක් ද නොව, අර්බුදයකුත් නොවන, අර්බුදය ද පසුකර ව්‍යසනයක් වෙතට යොමුව ඇති තත්වයකි.

ව්‍යසනයක් වර්ධනය වීමත් සමඟ හමුවන අවසන් ලක්ෂය වන “පොයින්ට් ඔෆ් නෝ රිටර්න්” කියන සීමාව පසුකළහොත් තව යන්නට ඇත්තේ සමාජ තර්කයක් නැති “ආපසු හැරිය නොහැකි ඉමක්” දිසාවට පමණි. 

අප මේ ගෙවමින් සිටින්නේ, ඒ අවසන් සීමාව පසුකරන්නට ළඟාවීමේ ඛේදාන්තමය අත්දැකීම ස්පර්ශ කරන්නට ආසන්නව ම තිබියදී, රනිල් ජනපති ලෙස පැමිණීම නිසා ඒක සුළු අඩියක් පමණක් පසුපසට අරගෙන නූලෙන් බේරී නමුත්, තවමත් එහෙටත් නැති මෙහෙටත් නැති ආර්ථික සුළං-කෝඩයකට හසුවූ අස්ථාවර යුග තත්වයකි. 

මෙතෙක් ජනයාට නිරාවරණය වූ ආර්ථික දත්ත සහ තොරතුරු විමසා බැලූවිට. ඉන් සමීකරණය වී ලැබෙන කනගාටුදායක පෙරබිම්-චිත්‍රය(Foreground Picture) මෙය යි. එහි පසුබිමෙහි(Background) ඇත්තේ විද්‍යාත්මක යොමුවකින් පමණක් විසඳාගත හැකි අන්ත වියවුල් මූල්‍යාර්ථිකයකි (Finance Economy). ඒ නිසා තවදුරටත් ජාතිකවාදී සහ වරිගවාදී මිත්‍යා කතාන්දරයන් හෝ ආගමික ආයතනයන් යන කිසිවකට දේශපාලනය තුළට කඩාවැදීමට සුළු ඉඩක්වත් ඉතිරිව පවතින්නේ නැත. ඒ දෘෂ්ටිවාදී ප්‍රවනාතාවයන් දෙකට ඒවාට අදාළ නැති දේශපාලනාර්ථික විෂය-ක්ෂේත්‍රයට ඇඟිලි ගසන්නට තවදුරටත් ඉඩ දුනහොත්, ආපසු තවත් වසර 50කට 60කට විසඳාගත නොහැකි පරිදි රටේ දේශපාලනාර්ථික චිත්‍රය බොඳවී, සංයුක්ත තර්කයක් ද නොමැතිවී, රට අරාජිකව ගොස්, අපගේ මූල්‍ය භාවිතය ඉන්දියාවේ පරිපාලන ව්‍යුහයට මුළුමනින් ම ගොදුරුවනවා ඇත.

ආර්ථිකයක ඇද වැටී ම එහි “ආපසු හැරිය නොහැකි ලක්ෂය” (Point of No-return) ද පහුකර යනවා යනු කුමක්ද ? 

මිනිස් ජීවිත රෝගී වීම, මිය යාම පමණක් නොව ප්‍රචන්ඩත්වයේ හිස එසවී අසංකෘතික වීමේ හෝ අශිෂ්ට වීමේ සහ කුලල් කාගැනීමේ තර්ජනයට පවා මිනිස් සමාජය ගොදුරු කරවන වඩා අසීරු සහ අවදානම් සමාජ-තත්වයක් (Social Condition) ප්‍රකාශයට පත්වීමකි. ඒ හරහා ජාතික-රාජ්‍ය-පද්ධතියේ පරිපාලන බලය ද අර්බුදයට ගොස් කෙමෙන් බිඳවැටීමට නියමිත ය. 

අනෙක් පැත්තෙන්, මෙය ගෝලීය ව්‍යවස්ථාව තුළ ජාතික ව්‍යවස්ථාවට ඇති බලය අසාමාන්‍ය ලෙස හීනවීම නිසා රටෙන් භාහිර ආර්ථික න්‍යාය පත්‍රයක් සමඟ කේවල් කරන්නට සිරිලකේ රාජ්‍ය පරිපාලන ව්‍යුහයට තියෙන නිදහසෙන් විශාල සියයට ප්‍රමාණයක් අවම වී යාමකි. එනම්, පිටරට්ටු කියන ඕන ම දේකට එකඟවන්නට සිදුවන ආකාරයට ජාතික “මූල්‍ය ස්වාධීනත්වය” (Financial Independancy) අවරෝහණය වීමේ තර්ජනයට ලක්වීමකි. 

දුර්වල ජාතික රාජ්‍යන් තවදුරටත් දියාරු කරවා, ඒවායේ නිපුන ශ්‍රමිකයන් සහ වෘත්තිකයින් ගෝලීය ධනේෂ්වර පද්ධතියට අයත් කේන්ද්‍රයේ සංවර්ධිත රටවල් තුළට අවශෝෂණය කරගෙන, පරිවාර රටවල් පො දු-ලාබ-ශ්‍රම-කඳවුරක් පමණක් බවට පත් කරගැනීමේ පාර-ජාතික සමාගම්වල(Trans-National Companies) ගෝලීය ආර්ථික න්‍යාය පත්‍රයට අනුව නම් එය අපේක්ෂිත ප්‍රතිඵලයකි. නමුත් නව-නූතන ගෝලීය ධනාවාදයේ ක්‍රියාකාරීත්වය උත්සන්න වන ඉදිරි කාලයක දී, මූල්‍ය තීරණ ගැනීමේ කසිදු බලයක් නැති ප්‍රජාවක් බවට පත්වී, ප්‍රාග්ධන කෙන්ද්‍රයට මුළුමනින් යටහත් වූ ශ්‍රමිකභාවයට සහ පීඩනයට ම විතරක් ගොදුරුවනවා වෙනුවට, පෙරතියා කේන්ද්‍රයේ ප්‍රාග්ධනයෙන් කොටසක් අත්කරගැනීමේ අභියෝගය තම යොමුව බවට පත්කරගත් පරිවාර දේශපාලනාර්ථික උපායමාර්යට අනුව නම් මෙය පරාජයකි. 

චීනය යනු මෙකී පරිවාර උපායමාර්ගයක් හරහා මේ වන විටත් කේන්ද්‍රයේ ප්‍රාග්ධනයෙන් කොටසක් අත්කරගෙන ඇති ගෝලීය-ජාතික දෙබිඩි රටකි. (ඒ නිසා ම චීනයට ගෝලීය මුදල් ඒකකයක් සේ ම ජාතික මුදල් ඒකකයක් ද ඇත.) ඉන්දියාව මේ වන විට ඒ තත්වය අත්කරගන්නා ක්‍රියාවලියට අතුළුවී ගෝලීය ධනවාදය තුළ සැලකිය යුතු දුරක් පැමිණ කේන්ද්‍රයෙන් ප්‍රාග්ධනයක් ද වෙන් කරගනිමින් පවතී. රුසියාව මේ නව-නූතනවාදී (Neo-Modern)සිස්ටම් එකට එරෙහිව ඉතිහාසයේ පසුපසට ගොස් නූතනවාදී(Modern) යුද්ධ අත්හදා බලන්නට පටන්ගෙන ඇත. ඒ නිසා චීනය, ඉන්දියාව සහ රුසියාව අතර පෘථිවියේ ඇමෙරි-යුරෝ ප්‍රාග්ධන කේන්ද්‍රයට ලංවීම සම්බන්ධයෙන් සීතල බල තරඟකාරීත්වයක් පවතී.

ලක් රටට කේන්ද්‍රයේ ප්‍රාග්ධනයෙන් කොටසක් අත්කරගැනීම කෙසේ වෙතත්, පවතින ජාතිකවාදී, වරිගවාදී සහ ආගම්වාදී වන අනූතන(Non-Modern) න්‍යාය පත්‍රය අතහැර, “නව-නූතන ගෝලීය ආර්ථික පද්ධතිය” (Neo-modern Global Economic System) පිළිබඳ ලෝක දැනුමවත් රට තුළ කතිකාවක් ලෙස ව්‍යාප්ත කොට ස්ථාපිත කරගැනීමට නොහැකිවී ඇත. ගෝලීය ප්‍රාග්ධන තර්කය සහිත පෘථිවි මූල්‍යාර්ථික නයාම ධර්ම සම්න්ධයෙන් ලකේ බහුතරය නූගත්කම සමරන අගතිගාමීත්වයක ගිලෙමින්. හැදෑරීම වෙනුවට රාජපක්ෂලාට කුණුහරුපෙන් බැනීම පමණක් තෝරාගෙන සිටී. මෙයින් මිදීමට නොහැකිව මේ තත්වය දිගට ම පැවතීම නිසාවෙන් “ජාතික බල ප්‍රදේශයට අයත් සමාජ ක්‍රම--පද්ධතිය” (System within the National Premises) තව දශක ගණනක් ඉදිරියට දිගෑදෙන දීර්ඝ කාලකණ්නිකමකට ගොදුරුවීමේ අවදානමට මුහුණ පා සිටී.

යටකී නූගත්කම නිසා අපගේ දේශපාලන මතවාද තවමත් පවතින ජාතිකවාදී, වරිගවාදී සහ ආගම්වාදී න්‍යාය පත්‍රයක රැඳී සිටිමින් සුනංගු වෙන නමුත්, රටේ ආර්ථික ව්‍යසනයේ භෞතික තත්වය ( Material Condition) විසින් රටේ ජාතික සිස්ටම් එක තුළ ආර්ථිකයට අදාළ සියළු වාද-විෂයන් සහ ඓන්ද්‍රීයත්වයන් ප්‍රධාන වී අධිනිෂ්චය (Over-determination) වෙමින් පවතී. ඉතිං මොන දේ කරන්නට ගියත් ආර්ථිකය ගැන මුලින් කතාබහ කර මිස  කිසිදු ක්‍රියාකාරකමකට ඇතුළුවිය නොහැකි තත්වයක් මේ වන විට උදාවී ඇත. එලෙසම එය තවදුර ඉදිරියටත් වර්ධනය වෙමින් පවතී. 

වගකීමක් සහිත හැමෝගේම සිත් සතන් තුළ එතරම් ම වූ යොමුවකින් ආර්ථිකය ප්‍රධාන වී පවතී. මෙසේ රටේ “මූල්‍යාර්ථික ව්‍යසනය” (Financial-Economic-Dissaster) මේ කොදෙව්වේ මිනිස් සිතිවිලි හදන කතිකා තුළ ප්‍රධාන වෙමින්, ලොකු වෙමින් සහ විස්තාරණය වෙමින් පවතී. ඒත් මේ මූල්‍යාර්ථික ව්‍යසනයට විසඳුම් සෙවිය හැකි ගෝලීය ආර්ථික න්‍යාය ධර්මයන් සහ භාවිත අත්දැකීම් හැදෑරීම සහ සංවාදයට ගැනීම සිදුනොවන තරම් ය. ඒ නිසා ආර්ථිකයට මුල් තැනක් දිය යුතුයි කියන සාමාන්‍ය බහුතර ජනයා පවා සිටින්නේ ඊට අදාළ ගෝලීය දැනුමින් දුප්පත් වූ නූගත් තත්වයක ය. (එය ඔවුන්ව චන්දයකදී රවටා ගන්නෙකුට වාසි සහගත තත්වයක් පමණි.)

එනයින් මේවන විට යටකී ජාතිකවාදී, වරිගවාදී සහ ආගම්වාදී කතිකා වපුරන බලවේග එක පැත්තකිනුත්, ඊට එරෙහි ආර්ථිකවාදී දැක්මකින් සිතිවිලි මෙහෙයවන ප්‍රවනතා තව පැත්තකිනුත් මුහුණට මුහුණ අවිධිමත් ද්වන්ධ කතිකා යුද්ධයකට ඇතුළුවෙමින් පවතී.

මේක හරියට ගැලපෙන්නේ නැති ආයුධ දෙකකින් සටන් කරගන්න යනවා වැනි නිරර්ථක වලියක් බවට පත්ව ඇත. වලිය විධිමත් සටනක් බවට පත්වෙන්නට නම් ගෝලීය “දැනුම නැමති ප්‍රාග්ධනය”(Knowledge as Capital) අත්පත් කරගත යුතුව ඇත. 

කෙසේ වෙතත් පොදු ජනතාවට සහ දේශපාලකයින්ට මේ වන විට මේ දෙපැත්තෙන් එකක් තෝරාගන්නට බලකෙරන “වාස්තවික තත්වය”(Objective Situation) නම් ඇතිවී හමාරය. 

ජාතික-වරිග-ආගම්වාදීන්ගේ මතය 1956 සිටම අභ්‍යාස කරන ලද්දක් නිසා ඊට අදාළාව අමුතුවෙන් හැදෑරීම් කිරීම අවැසි නොවේ. එය එහි ආර්ථික-විරෝධී පථය (Anti-economic track) තුළ ම තවදුරටත් ඉදිරියට යනු ඇත. ඒත් ඊට එරෙහි ආර්ථිකවාදී මතයට අදාළ දත්ත සහ තොරතුරු සුළු වෘත්තීකයින් පිරිසක් තුළ පමණක් යටපත්ව තිබී වසර 66කට පසුව ගෝල්ෆේස් අරගලයත් සමඟ සමානා්‍ය ජනයාගේ සිතිවිලි ලෝකයට නැවත කෙමෙන් කාන්දු වෙමින් පවතී. 

නැතිනම් මීට පෙර සාමාන්‍ය ජනයා ද ඒ ගැන සිතීම වෘත්තීකයන්ට පමණක් භාර කර, වසර 66 තිස්සේ තම ජීවිතයට සාපේක්ෂ ආර්ථික දත්ත සහ තොරතුරු අදාළ නොකරගනිමින්, මූල්‍යාර්ථිකය පිළිබඳ සංවාදයෙන් නිවාඩු ගොස්, ප්‍රධාන ප්‍රවාහයේ ආර්ථික-විරෝධී දේශපාලන සංවාදයක පමණක් නියලීමට කටයුතු කර ඇත.

  

ඒත් අදවන විට ආර්ථිකය නොවන වෙනත් සෑම විෂය ක්ෂේත්‍රයක ම පවා පළමුව මූල්‍යාර්ථික කෝණයකින් විමසා මිස කිසිදු කටයුත්තක් ක්‍රියාවට නැංවීම ඵලදායී නොවන බව වැටහාගෙන ඇත. ඒ නිසා එක්කෝ දේශපාලකයින් තම ජාතිකවාදී, වරිගවාදී සහ ආගම්වාදී දෘෂ්ටිය අතහැර ගෝලීය ධනවාදී මූල්‍ය දෘෂ්ටිය හදාරා එය භූමියට ගැලපෙන පරිදි යොදාගෙන ව්‍යසනය විසඳිය යුතු ය. 

එසේ නොකළහොත් මොහොතක් තුළ දත්ත මිලියන ගණනක් විශ්ලේෂනය කරගෙන ගෝලීය කේන්ද්‍රයේ සිට දේශපාලනාර්ථික තීන්දු තීරණ ගන්නා අකාබනික ඇල්ගෝ-රිදමයන් (Inorganic Algo Rhythms) විසින් ගෝලීය ධනවාදී දැනුම පිළිගන්නා බලවේගයකට දේශපාලන බලය හිමිකර දීම උදෙසා ගෝලීය කේන්ද්‍රයේ සිට ප්‍රාග්ධනය පොම්ප කරන්නටත්, රහස් දත්ත සහ තෙරතුරු සම්පාදනය කර දෙන්නටත් ඉදිරිපත් වනු ඇත. ඒ නිසා එළඹෙන මැතිවරණවල කවුරුත් නොසිතූ බලවේගයකට රටේ බලප්‍රදේශයේ ගෝලීය නියෝජිතභාවය සහිත දේශපාලන බලය අත්වීමේ විශාල ඉඩක් ද පවතී.   

එය තීරණය වන්නේ පවතින ජාතික දේශපාලන පක්ෂ ගෝලීය ආර්ථික මාර්ගයෙන් පිට පනින ප්‍රමාණය අනුව ය.

මේ පවතින තත්වය ලකේ ධනේෂවර ආර්ථික ක්‍රමය අර්බුධයට යෑම නිසා ඇති වූ තත්වයක් නොවේ. එය ගෝලීය ධනේෂ්වර නියාම ධර්ම නොපිළිපැදීම නිසා සිදුවූවකි. මන්ද ධනේෂ්වර ආර්ථික ක්‍රමය දැන් පවතින්නේ “නූතනවාදී ජාතික ව්‍යවස්ථා සීමාවන්ට“ (Modern National Constitutional Limits) යටත් වී නොවෙයි. මේ වන විට ධනේෂ්වර ආර්ථික ක්‍රමය පවතින්නේ, ජාතික සීමා ඉක්මවා යමින් පෘථිවිය හාත්පස අතු ඉති විහිදමින් පවතින ගෝලීය ප්‍රාග්ධන බලවේගයක් විදිහට ය. 

මේ නව-නූතන ගෝලීය ධනේෂ්වර ක්‍රමය අර්බුදයට යාම සිදුවෙනවා නම්, එය සිදුවන්නේ, ප්‍රාග්ධන කේන්ද්‍රයේ රටවල් වන ඇමෙරි-යුරෝ රටවල් සහ ඉන්දියාව ද, ඊට ප්‍රතිපක්ෂ චීනය සහ රුසියාව ද තුළ පවතින දේශපාලනාර්ථික (Political Economy ) සහ අනෙකුත් රාජ්‍ය ආයතන පද්ධතීන් මුළුමනින් පාර-ජාතික සමාගම් (Trans-National Companies )වල ආධිපත්‍යය තුළට දියවී යාමෙන් පසුව, කේන්ද්‍රයේ රටවලත් පරිවාරයේ රටවල්වලත් ශ්‍රමික ප්‍රජාවන් අතර අන්තර්සම්බන්ධයන් ඇතිවී, කලාපාන්තර-වෘත්තීය-සමිති-සහයෝගීතා-ව්‍යාපාර බිහිවී, ඊට පක්ෂපාතව ගොඩනගාගන්නා  නව-ඇල්ගෝ-රිදමයන් විසින් කේන්ද්‍රයේ ඇල්ගෝ-රිදමයන්ට එරෙහිව නව-නූතන අරගල සිදුකිරීම ආරම්භ කළහොත් පමණි. ඒ නිසා ඉදිරියට ඇතිවෙනවානම් ඇති වන්නේ, නව-නූතණ තාක්ෂණික කරැල්ලකි. 

එහෙමත් නැතිනම් පවතින “නව-නූතන නිෂ්පාදන උපකරණවලටත්”(Neo-Modern Means of production) වඩා දියුණු නිෂ්පාදන උපකරණ බිහිවී, නව-නූතන ගෝලීය ධනවාදී සිස්ටම් එකටත් එහා ගිය දේශපාලනාර්ථික තත්වයක් බිහිකරන අලුත් ම අලුත් ම ක්‍රම-පද්ධතියක් මතුවිය යුතු ය. 

මේ කිසිවක් පේන තෙක් මානෙක නැත.

පවතින්නේ දත්ත සහ තොරතුරු නැමති ප්‍රාග්ධනය වැඩියෙන් දිනා ගැනීම සඳහා යොමුවූ අනවරත සයිබර් යුද්ධයකි. (දැනට ඒ යුද්ධයේ සොල්දාදුවන් වන්නේ මිනිස් සිත හැක් කරන නීතියානුකූල ගෝලීය හැකර්ලා ය. ඒ යුද්ධයේ කැරලිකරුවන් වන්නේ අයාලකාමී සහ අරාජිකවාදී අයිටී පරිඝනක අපරාධකරුවන් හෙවත් අයිටී ක්‍රිමිනල්ස්ලා ය. (සංවිධානාත්මක වාමාංශික අයිටී කැරලි සිදුකරන අයිටී කේඩර්වරු සහිත කලාපීය හෝ fාග්ලීය සමාජවාදී ව්‍යාපාරයක් ලොවෙත් නැත.)

ඒ නිසා අපට දක්නට ලැබෙන්නේ, දත්ත සහ තොරතුරුවලින් දුප්පත් රාජ්‍යයන් කිහිපයක ජාතික සීමාව තුළ පවතින නූතනවාදී හුදෙකලා අරගල අසාර්ථකවී. ඒවා නැවත නව-නූතන කේන්ද්‍රයට ම සේවය කරන තත්වයට ගොදුරුවීම යි. 19වන ශතවර්ෂයේ පන්නයේ දේශපාලනාර්ථික අරගල 21වන ශතවර්ෂය තුළ මුළුමනින් අසාර්ථක වී අකමැත්තෙන් හෝ පවතින ක්‍රමයට අනුගතවන තත්වයක් උදාවී ඇත.

බලන්න, ....

ගෝලීයකරණය සිදුකරන නව-නූතන නිෂ්පාදන උපකරණ ලෝක ගෝලය පුරා මුළුමනින් ව්‍යාප්ත වීම පවා තවම අහවර වී නැත. අනෙක් අතින් ගෝලීය සහයෝගීතා-ශ්‍රමික-අරගල නැති. කලාපීය සහයෝගීතා අරගල ද තවම පවතින්නේ සංවිධානයවීමේ කළල අවස්ථාවන් වල ය. (උදාහරණයක් ලෙස ගොල්ෆේස් අරගලගය ඉන්දියාවේ ප්‍රගිතශීලී බහුජන ව්‍යාපාර කරා වයාප්ත වන සහයෝගීතා සැකැස්මක් නොතිබුණා වුණත්, අරගලය පාදක කරගෙන ඉන්දියානු රජය සහ ලක් රජය අතර දේශපාලනාර්ථික රාජ්‍යතාන්ත්‍රික සහයෝගීතා නම් ඇති වුණේ ය. එයින් පැහැදිලි වන්නේ, “කලාපීය සිස්ටම් එක පවතිනවා නමුත් කලාපීය අරගලය තවම නැත” යන්නයි. අ රගල තවම ජාතචික රාජ්‍යය ඇතුළේ ය.) ඒ නිසා මේ ගෝලීය ධනවාදය තම ස්ථාවරත්වය බිඳ නොගෙන තව දශක කිහිපයක් ම ඉදිරියට යාමට නියමිත බව මගේ කල්පනාව යි. 

   

මේ හේතුවෙන් ගෝලීයකරණයට යා දෙන දියුණු ආර්ථිකවාදී ධනේෂ්වර දේශපාලන පක්ෂ බිහිකරගන්නට ඉක්මන් වන කුමන රාජයයක් වුණත්, අනාගත ගෝලීය රාජ්‍යය තුළ ධනේෂ්වරකරණයට අදාළ සස්‍රීක භූමික ඉම් පෙදෙසක් ලෙස තම අස්ථානය තහවුරු කරගන්නවා ඇත. එසේ නොවන රාජ්‍යයන් තම පුරවැසියන්ගෙන් බහුතරය අනාගත ගෝලීය රාජ්‍යයේ අවශේෂ ශ්‍රමිකයින් බවට හෝ අසීමිත රැකියා වියුක්තකයින් බවට පත්කරගන්නවා ඇත. 

ඒ නිසා ලක් කොදෙව්ව වැනි පරිවාර රටක වුවත්, ප්‍රාග්ධනය ගෝලීයකරණයට යා දෙන ආර්ථිකවාදී ධනේෂ්වර පක්ෂයක් ගොඩනගා ගන්නට ඉක්මන් වුණොත්, ඔවුන්ට දේශපාලනය කරන්නට හැකි පුළුල් ඉඩක් නොසිතූ ඉක්මනින් පහළ වෙනවා ඇත. පාර-ජාතික සමාගම්වල ප්‍රාග්ධන ආයෝජන පිරිනැමීම සහ ගොලීය කේන්ද්‍රයේ තොරතුරු සහ දත්ත විසින් ඒ අවස්ථාව ඔවුන්ට විවර කර දෙනවා ඇත. 

ජාතිකවාදී හෝ වරිගවාදී දේශපාලන පක්ෂ ද, ඒකී දේශපාලන පක්ෂ සමඟ සම්මුති වන දේශපාලන පක්ෂ හෝ සංවිධාන ද ප්‍රධාන ධාරාවෙන් පිටතට විසිවී යනු ඇත. එය සිදුවී අහවර වීම ඉදිරි දශක 1-2ක කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි. 

මන්ද අපි මේ පසුකරමින් සිටින්නේ, ලෝක ආර්ථිකය තුළ ජාතික සමාගම් බහුතරයක් අහෝසි වී සහ අවම වී ගියපසු, 1990 සහ 2000 දශකයන් පසුවන තුරුත් ආර්ථිකය තුළ විවිධ ජාතිකත්වයන් “පොදු-ආර්ථික-එකඟතා සාමූහිකයන්”( Common Economic Agreement Collectives) විදිහට එකමුතු කළා වූ “බහුජාතික සමාගම්”(Mulrinational- Comapanies) වල සිට, ආර්ථිකය තුළ විවිධ ජාතිකත්වයන් අහෝසිකොට ජාතිකවාදී අනන්‍යතා මකා දැමීම වගකීම කරගත් “පාර-ජාතික සමාගම්” (Trans-lnational Companies) කරා, ගෝලීය ආයෝජන සිදුකිරීමේ බලය (හෙවත් ගෝලීය ධනේෂ්වර ප්‍රාග්ධන තර්කය මෙහෙයවීමේ බලය) මාරුවෙමින් පවතින නව-නූතන යුග කාල වකවානුවක් ය. 

එනයින් ලංකාව තුළ තවමත් මුළුමනින් නොනැසී පවතින, ලංකාවේ පළමුවන ඩොමීනියන් නූතන-ධනේෂ්වර-පක්ෂය (Modern Capitalist Party) වන යූඇන්පිය හෙවත් එජාපය විසින් ජාතිකවාදය, වරිගවාදය, ආගම්වාදය සහ නූතනවාදය පසුකර ඊළඟ නව-නූතන-ධනේෂ්වර-පක්ෂය (Neo-Modern Capitalist Party) බවට ප්‍රතිව්‍යූගත වුවහොත්, ගෝලීය පාර-ජාතික සමාගම්වල ප්‍රාග්ධන ආයෝජන විසින් ඔවුන්ව තව දශක කිහිපයක් ඉදිරියට යන තුරු ම දේශපලන බලයේ රඳවාගනු ඇත.

නමුත් එජාපයේ වත්මන් පක්ෂ-ව්‍යුහය (Party Structure) දෙසින් ලෝකයට කියාපාන දේශපාලනාර්ථික කතන්දරයෙන් ඒ බල ජයග්‍රහනය එජාපය වෙතට දිනාගන්නවාද යන්න තවමත් විවාදිත ය. 

මෙහිදී එජාපය අන්කවරදාකටත් වඩා තම දේශපාලන අනාගතය සම්බන්ධයෙන් අවදානමක සිටින බවත්, ඊට මුහුණ දීමට අදාළ රටින් බැහැර ගෝලීය සබඳතා පැත්තෙන් යම් සාර්ථකත්වයක් රනිල් හරහා අත්කරගනිමින් සිටින නමුත්, ගෝලීයකරණයේ දේශපාලනාර්ථික මතය රටතුළ බිම් මට්ටමින් සංවිධානය කිරීම යන ප්‍රධාන අසීරු කාර්යය සම්බන්ධයෙන් කිසිදු ව්‍යාපෘතියක් හෝ වැඩපිළිවෙලක් නොමැතිව එාපය සුනංගුවෙමින් හැම අතින් ම ගරාවැටෙන තත්වයක් පෙන්නුම් කරමින් පවතී.

ජවිපෙ දේශපාලන උපායමාර්ගික දෘෂ්ටිකෝණයෙන් බැලුවොත්, එජාපය දියාරුවී යනවාට වඩා ශ්‍රීලනිපය ප්‍රමුඛ පොහොට්ටුවට අයත් සංවිධාන කුඩුකර දැමීම ජවිපෙට වාසි සහගතය. එය වක්‍රව සහ දීර්ඝකාලීනව එජාපයටද වාසිසහගත ය. නමුත් පොහොට්ටුව එජාපයේ එල්ලී තම ජාතිවාදී, වරිගවාදී, ආගම්වාදී සහ අනූතන(Non-modern) නූල්සූත්තර අදිමින් තවමත් රාජපක්ෂ පරපුරේ අන්තිමයා වන නාමල් රාජපක්ෂට ද දේශපාලන අවකාශයක් ලබාදීම සඳහා යටි උගුල් අටවමින් සිටී.     

රටේ දේශපාලන සිතියම මෙතරම් සංකීර්ණ වුනත්, එජාපය සිටින්නේ, මෙසේ නූතන පක්ෂ ව්‍යුහයක(Modern Party Structure) සිට නව-නූතන පක්ෂ ව්‍යුයක් (Neo-Modern Party Structure)  දක්වා සියුම් සංවර්ධිත පියවරක් ඉදිරියට තබනවා වෙනුවට, තම නූතන පක්ෂයවත් ස්වාධීන ව්‍යුහයක් විදිහට ගොඩනගා ගැනීමට සහ පවත්වාගෙන යාමට අසමත්ව ඇති අඩියක ය. ඊට හේතුවී ඇති ප්‍රධාන අසමත්කම් සහ අගතීන් කිහිපයක් පවතී. ඒවා නම්,

1. වසර 30කට අධික කාලයක් එජාපයේ නායකත්වය හොබවමින් සිටින රනිල් වික්‍රමසිංහ ගෝලීය ධනේෂවර ආයතනවලින් ආර්ථිකවාදී සහ මූල්‍යවාදී පෞර්ෂයක් විදිහට ඓතිහාසික පිලිගැනීමක් අත්කරගෙන තිබෙනවා වුවත්, එජාපය ජාතික තලය තුළ බිම් මට්ටමින් සංවිධානය කිරීමේ දී නූතනවාදී ජේ.ආර්. ජයවර්ධනටත් වඩා ප්‍රායෝගිකව අසමත් සහ දුර්වල නායකත්ව ලක්ෂණ ම පෙන්නුම් කරමින් සිටීම. 

ඒ නිසා එජාපයේ පක්ෂ ව්‍යූහය නව-නූතන තලයකට ඔසවා තැබීම වැනි යුගයේ අවශ්‍යතාවක් තනි රනිල්ගෙන් අපට බලාපොරොත්තු විය නොහැකිය. (නමුත් රනිල්ට, මේ තත්වය අවබෝධ කොටගෙන ඊට අදාළ ආදේශක පෞර්ෂයක් මෙම සංවිධාන කටයුත්ත සඳහා යෙදවිය හැකි ඉඩක් තවම පවතී.)

2. නිල වශයෙන් රනිල්ගේ දෙවෙනි පෙළ නියෝජනය කරන සාගල රත්නායක, අකිල විරාජ්, රුවන් විජයවර්ධන, රංගෙ බණ්ඩාර සහ වජිර අබේවර්ධන යන ජ්‍යෙශ්ට සාමාජිකයින් රනිල්ට ඇති ගෝලීය ප්‍රතිරූපය සහ ගෝලීය පිළිගැනීම සමතික්‍රමණය කළහැකි චරිත බව මෙතෙක් ක්‍රියාවෙන් ඔප්පු කොට නැත. 

ඒ අතර, පක්ෂ ව්‍යූහය සංවර්ධිත එකක් බවට පත්කර ගැනීමේදී නූතන පක්ෂයක් නව-නූතන පක්ෂයක් බවට පත්කර ගැනීම සම්බන්ධයෙන් කිසිදු හැදෑරීමක් නොකර ඇති නිසා ඒ සම්බන්ධයෙන් නූගත්(Ignorant) උදවිය ලෙස ඔවුන් කල්මරමින් සිටිති. මන්ද දේශපාලනය තුළ අනාගතය සම්බන්ධයෙන් දැනට ඔවුන් නඩත්තු කරන්නේ රනිල්ගේ දැනුම මත පමණක් යැපෙන ස්ථාවරයක් ය. ඒ නිසා රනිල් නැති දාක ඔවුන්ට දෙවියන්ගේ ම පිහිට ය.    

3. රනිල් ජනාධිපති වී ඇත්තේ රටේ ශ්‍රීලනිපයේ “සිංහල ඔන්ලි ප්‍රතිපත්තියේ” අන්තවාදී ම ප්‍රකාශනයක් වූ ජාතිවාදී, වරිගවාදී සහ ආගම්වාදී වන අනූතන (Non-modern) පොහොට්ටු මන්ත්‍රී බහුතරයකගේ පාර්ලිමේන්තු චන්දයෙන් වන නිසා, ඔවුන් සතුටු කිරීමට රනිල් ගන්නා තාවකාලික දේශපාලන තීන්දුවලින් එජාපය යනු වරිග-විරෝධී සහ ජාතිවාද-විරෝධී සහ ධනේෂ්වරවාදී පක්ෂයක්ය ලෙස මෙතෙක් එයට තිබූ “නූතනවාදී ප්‍රතිරූපයට” ද( Modern Image) හානි සිදුකරගනිමින් පවතී. ඉතින් නව-නූතන ප්‍රතිරූපයක් ගැන කුමන නම් කතාද?

4. පැවති ජන අරගලය තාවකාලිකව මැඩපවත්වා, ඉන්පසු එය පයිසෙකටවත් ගණන් නොගෙන ස්වයංව විනාශයට පත්වෙන්නට කටයුතු සලසන මුහුකුරා ගිය ධනේෂ්වර තීන්දුව ප්‍රකාශ කරනවා වෙනුවට, රනිල් දිගටම අනවශ්‍ය පරිදි අරගලකරුවන් මැඩපැවැත්වීම කරගෙන යාම නිසා, එතෙක් දුර්වලව වෙමින් පැවති එජාපයෙන් කැඩී ගිය සමගි ජනබලවේගය, නැවත වරක් අරගලයේ ප්‍රතිරූපයෙන් කොටසක් තම සංවිධානය වෙතට ද ඈඳා ගනිමින්, නැවත අළුගසා හිස ඔසවමින් පවතී.  මෙයින් සජබෙ දියකර එජාපයට දිනාගත හැකිවූ පුද්ගල සංඛ්‍යාව සියයට ප්‍රමාණයෙන් අති සුළුතරයක් බවට පත්වී එජාපයේ අනාගත දේශපාලනය තුළ බලය අවප්‍රමාණ වීමට හේතුවක් වනවා ඇත.   

5. පවතින ආර්ථික අහේනියට එරෙහිව විකල්ප සංවිධානයක් දේශපාලනිකව බලවත් වන්නට නියමිත දේශපාලනාර්ථික සංදර්භයක් ලක් රට තුළ ගොඩනැගෙමින් පවතින අතර, ඊට සුදුස්සා ලෙස දකුණු ආසියානු ගෝලීය නියෝජිතයා වන ඉන්දියාවේ සහය ජවිපෙට හිමිවීමේ ඉඩක් මතුවෙමින් පවතී. ජවිපෙ බලවත්වුවහොත් එළඹෙන ජනාධිපතිවරණයේ දී කිසිදු අපේක්ෂකයෙකුට නිර්දේශිත චන්ද ප්‍රතිශතය කරා ළඟාවීමට නොහැකි තත්වයක් උදාවීමෙන් ව්‍යවස්ථා අර්බුදයක් පැන නැගී එජාපය දේශපාලන බිමෙන් අතුගෑවී යන අවදානමක සංඥා ද පහළ වී ඇත.   

ඇදවැටී ඇති එජාපයට අනාගත දේශපාලන බල ජයග්‍රහණයක් අත්කරගැනීමේ අපේක්ෂාව අඩමාන වී ගොස් ඇති මෙබඳු ඉරණම්කාරී තත්වයක් තුළ, අපි නැවතත් ලක් ප්‍රාග්ධනයේ භෞතික තත්වය (Material Condition) විමසා බැලුවොත්, ජාතික ආර්ථික සිස්ටම් එක ව්‍යසනයක් දෙසට තල්ලු කරවමින් සියළු වාද-විෂයන් ආර්ථිකයට මූලික්ත්වය දී කතාබහ කරන  තත්වයක් උදාවීම හරහා කොදෙව්වේ මිනිස් සිතිවිලි හදන කතිකා තුළ ආර්ථිකය ප්‍රධාන වෙමින්, ලොකු වෙමින් සහ විස්තාරණය වෙමින් පවතී. 

මෙය තේරුම් ගන්නට උත්සහ කළොත් අපිට හමුවන්නේ කුමක්ද? 

එක අතකින් මෙයින් 1956යේ සිංහල ඔන්ලි ප්‍රතිපත්තිය ව්‍යස්ථාපිත කිරීමේ ප්‍රතිපලයක් විදිහට   මෙතෙක් වසර 66ක් පුරා පොදු ජනතාව කෙරෙන් අවනිෂ්චය වී සහ  අවිඥානික වී කොසලකාහැරීමට ලක්ව තිබූ ආර්ථික දත්ත සහ තොරතුරු පිළිබඳ සිහිය අවදිවීමක් දෙසට ජනතාව තල්ලු කරවයි. එය සාධනීය පැත්තකි. 

අනෙක් පැත්තෙන් මේ අවුල්සහගත තත්වය ගෝලීය ප්‍රාග්ධන තර්කය බලාත්මක කරන මූල්‍ය ඒකකයක් වන ඩොලර්වලට අදාළ සංචිත මත පදනම් වූ වියවුලක් වන නිසා, එය ජාතික ආයතන සහ ව්‍යවස්ථාව තුළින් පමණක් විසඳාගත නොහැක්කක් බවට පත්ව තිබේ. එයින්, ගෝලීය ආයතන සහ සමාගම් ප්‍රධාන ගෝලීය මූල්‍ය පද්ධතිය ඉල්ලා සිටින පරිදි ම වගකියන්නට වෙන තත්වයකට අප පසුබා ඇත. එය ජාතික යෙමුවකින් පමණක් සැලකූ කළ නිෂේධනාත්මක තත්වයකි.

යටකී සාධනීය පැත්ත ක්‍රියාන්විත වීමට ගෝලීය මූල්‍ය බලයක් නැති අතර, නිෂේධනීය මෙකී තත්වය එදිනෙදා සාමාන්‍ය ජන ජීවිතය වෙතට පවා කඩාවදිමින් එය පාලනයට නතු කරගන්නා වාතාවරණයක් බිහිවී ඇත. 

ඉතින් ආපසු ජාතික රාජ්‍යය වෙතට හැරෙන්නයි කියන නූතනවාදී (Modern) හෝ අනූතනවාදී(Non-Modern) මතයන්, පවතින මූළික ආර්ථික න්‍යාය ධර්මයන් තුළ පවා අතාර්කික වී ඇත. ඒ හරහා ආර්ථික ප්‍රවර්ධනය සඳහා ගෝලීය පද්ධතියේ න්‍යාය පත්‍රය වෙතට “යූ ටර්න්” එකක් ගැසිය යුතුයි කියන වක්‍ර අණදීමක පණවිඩයක් ගෝලීය කේන්ද්‍රය දෙසින් අපේ මූල්‍ය පරිපාලන ව්‍යූහ වෙතට ඇසෙමින් පවතී. ඒ නිසා මින් ඉදිරියට ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තිය අනුව “මූලය තීන්දු ගැනීමේබලය පාර්ලිමේන්තුවට හිමිය” කියන වගන්තියේ අරුත ජාතික සංදර්භයක සිට ගෝලීය සංදර්භයක් තුළ ට පොලා පනිමින් පවතී.

යටකී මූල්‍යමය අණදීම අප වෙත එවන්නේ,  කාබනික මනුෂ්‍යයින් නොවන අකාබනික වූ අමනුස්ස ඇල්ගෝ-රිදමයන් කෙරෙනුයි. ඇල්ගෝ-රිදමයන් මෙය සිදුකරන්නේ, අප දත් නොදත් දත්ත සහ තොරතුරු මිලියන ගණනක් ඉතා සුළු කාලයක් තුළ එකවර විශ්ලේෂණය කරගැනීමෙන් අනතුරුව යි. විශ්ලේෂනයෙන් අනතුරුව මේ ගෝලීය ඇල්ගෝ-රිදමයන්ගේ දකුණු ආසියානු නියෝජිතයා වන ඉන්දියාව හරහා ඒ නව-නූතන (Neo-Modern) පණිවිඩය අපේ සිත් සතන් වෙතට මුදාහරිනු ලබයි.  

උදාහරණයක් වශයෙන් මිනිසුන්ගේ අති-මූලික අවශ්‍යතා වන කෑම බීම, ඇඳුම්-පැළඳුම් නිවාස හැරුණුකොට වෙනත් ද්වීතීක අවශ්‍යතා වන සිනමාපටයක් නිෂ්පාදනය කිරීම වගේ දෙයක් ගත්තත්, ගෝලීය ආර්ථිකයේ චලනයන් දෙස බලා මිස එය නිෂ්පාදනය කරනවාද නැති ද කියා තීරණ ගන්නා තත්වයක් පවතී. එයින් ලකේ සමස්ත ජාතික සිස්ටම් එක අතිවිශාල ලෙස ගෝලීය සිස්ටම් එක ඉදිරියේ අවිඥානිකව දණ ගසා ඇත. 

අකාබනික ගෝලීය ඇල්ගෝ-රිදමයන් විසින් කරනු ලබන ජීව-දත්ත සහතික විශ්ලේෂණයට අනුව තෝරාගත් රනිල් වික්‍රමසිංහ නැමති ගෝලීයවාදී ජාතික නායකයා ජනාධිපතිවීමත් සමඟ මේ ආර්ථිකය ව්‍යසනය කෙමෙන් ඉතා සුළු වශයෙන් “ව්‍යසනයක” සිට “අර්බුදයක්” දෙසට නැවත පසුබසිමින් සුළු වශයෙන් අවරෝහණය වුව ද, ඉදිරි දශකය ගෙවෙන තුරුම මේ තත්වය අර්බුදයෙන් මෙහාට “ගැටළුක්” දක්වා නම් අවරෝහණය වන්නේ නැත. 

ඒ නිසා දේශපාලන පක්ෂ තුළ නව නායකයින් බිහිවීම ද ආර්ථික විෂය කෙන්ද්‍රීයව සිදු කෙරෙන්නට විශාල වාස්තවික ඉඩකඩක් ලක් කොදෙව් රට පුරා පවතීවි. මන්ද තවදුරටත් ජනයාගේ මතය හෙවත් ජනමතයෙන් සියයට වැඩි ප්‍රමාණයක් තීන්දුකරන්නේ ජනතාවගේ ස්වීයත්ය විසින් නොවන නිසා ය. ගෝලීයකරණය තුළ බුහුතර ජනතාව යනු සමාජ මාධ්‍ය හරහා ගෙවෙන මොහොතට අනුව වේශනිරූපනය වෙමින් දිවිගෙවන ජීවී කොට්ඨාශයක් පමණි. එහිදී දේශපාලන ප්‍රතිපත්ති වැනි දේවල් පක්ෂ, සංවිධාන සහ කණ්ඩායම් මෙහෙයවන සමාජික සුළුතරයක් තුළ නිතර හුදෙකලා වීමට නියමිත දෘෂ්ටි ප්‍රපංචයන් ය. 

ඒ නිසා මේ අසීරු තත්වයේදී තවමත් ගෝලීය කේන්ද්‍රය වන ඇමෙරි-යුරෝ කලාපයෙන් එන පණිවුඩය හා ගණුදෙනුවකට නොගොස් හෝ නොසලකා හැරීමෙන් සිදු වන්නේ, ඉතා ආසන්න ඉතිහාසයේ එසේ නොසලකා හැරිය වියත්මගේ මතයට ගොදුරුවූ ගෝටාභය රාපක්ෂට අත්වූ ඉරණම ය.  

එහිදී කලාපීය සහ ගෝලීය ආර්ථික නියාම-ධර්ම නොතකන නායකත්ව පෞර්ශයන් දේශපාලන වේදිකාවෙන් බිමට වැටී විසිවී යාම අනිවාර්ය වෙමින් පවතී. මේ අනුව මේ ගෙවන ආර්ථික මොහොතේ හෙජමොනිය හෙවත් මතවාදී ආධිපත්‍යය යනු කලාපීය-ගෝලීයවාදී කතිකා අධිනිෂ්චය කරවා (Over-determination) ඊට දේශපාලන ආධිපත්‍යයක් ලබාදීම ය. එහි ප්‍රතිඵලයක් ලෙස ජාතිකවාදී, නගර-විරෝධී සහ ග්‍රාමවාදී කතිකා කෑගසා මහන්සියට පත්වී මහජන චන්දයකින් අවනිෂ්චයවී(under-determination) වී දේශපාලන ආධිපත්‍යය ගිලිහී අහසේ පාවෙන සිතුම්-පද්ධති(Thought systems) බවට පත්වන්නට නියමිත ය. (වමට ආදරේ උදවිය මාක්ස්ගේ ෆෙයබා තීසිසය ගෝලීයකරණ සංදර්භයෙහි තබා කියවා බලන්න.)

එනයින් පැහැදිලිව ම ජවිපෙ විසින් ගෝලීය දත්ත සහ තොරතුරු විශ්ලේෂණ හදාරා ඒ අනුව තම දේශපාලනාර්ථික න්‍යාය පත්‍රය යලි-සකසා නොගෙන ජාතික දත්ත සහ තොරතුරු ම පමණක් ඉදිරියටත් පුනර්කතනය කරමින් ඉන්නට ගියහොත්, ඔවුන්ව ප්‍රධාන ගෝලීය දේශාපලනාර්ථික කතිකාවෙන් ගැලවී හැලී බහැරට විසිවී, සයිබර් කැඳවීමකින් නැගී ආ අරගලය යැයි කියූ ඒ ජනබල රැල්ලෙන්වත් ජන්ද පදනමක් ගොඩනගා ගැනීමට නොහැකිවී, තම ග්‍රාම්‍ය කතිකාව සමඟින් අවනිෂ්චය වී තනිවී යාම නිසා ම තිබෙන දේශපාලන බලය ද අහිමිකරගන්නා අනාගතයකට හසුවීමට නියමිත ය. දැනටමත් ඉන්දියාfවී හිතවන්ත බැල්ම ලැබී ඇති හෙයින්, ජවිපෙට තවමත් වෙනස්වී නිවැරදිවන්නට කාලය තිබෙන අතර, මේ වසර අහවරවීමත් සමඟ ඒ චාන්ස් එක ද නැතිවී යන බව ලකේ මූල්‍යාර්ථිකය “කඩා වැටීම” සහ “කාලය” විමසන ප්‍රස්ථාරයෙන් පෙනී යයි..

එහිදී රටේ  පළමු ආර්ථිකවාදී ඩොමීනියන් පක්ෂය වන එජාපය තුළත් ආර්ථිකය පළිබඳ ලෝකාභාෂිත (Cosmopolitan) වැඩකාරයෙකු හැර වෙනත් විෂය ක්ෂේත්‍රයක කෙනෙකකු හෝ වෙනත් ජාතිකවාදී, නගර-විරෝධී සහ ග්‍රාම්‍යවාදී කෙනෙකු හෝ කරලියට ආවහොත් “අතට ලැබුණ මිදි ගෙඩිය කටට දා ගන්න බැරි වුණා” වගේ වැඩක් එජාපයට සිදුවෙනවා ඇත. 

රනිල්ගේ අතීත දේශාපාලනාර්ථික භාවිතය ලෝකාභාෂිත තත්වයේ පැවති නිසා ඔහුට ජනාධිපති වීමට ඉඩ ලැබුණත්, ඔහු වුවත් තමන් තුළ යටකී ජාතිකවාදී, නගර-විරෝධී සහ ග්‍රාමවාදී අනූතන කතිකා ලොකු කරගත්තෝතින් හෝ ඒවාට අබනුභල දුන්නෝතින්, ඉදිරි චන්දවල දී නියත ලෙස ම තම දේශපාලන බලය අහිමි කරගන්නා අනාගතයකට හිමිකම් කියන්නට සිද්ධ වෙනවා ඇත. 

ගෝලීයකරණය ඉල්ලා සිටින්නේ ජාති, වරිග ආගම් වලට හෝ වෙනත් අනදාළ විෂය ක්ෂේත්‍රයන්ට වග නොකියන ගෝලීය ප්‍රාග්ධන තර්කයට පමණක් පවතින ව්‍යූහයන් පමණි. 

එනිසා මේ ගෙවෙන මොහොතේ පොහොට්ටු බහුතරය මත යැපෙන රනිල් තම න්‍යාය පත්‍රය එම බහුතරයේ න්‍යාය පත්‍රයට කිසිදු ප්‍රතිපක්ෂවීමක් නැතිව ඊට මුළුමනින් සමාන්තර කරගතහොත්, ගෝලීය ඇල්ගෝ-රිදමයන් විසින් තම පාර-ජාතික(Trans-National) කාර්ය ඉටුකර ගැනීම සඳහා රනිල් වෙනුවට වෙන අයෙකු තෝරගන්නවා ඇත. 

ඉදින් රනිල් ප්‍රමුඛ එජාපය ගෝලීය දේශපාලනාර්ථිකය සම්බන්ධයෙන් “ගෝලීය ප්‍රාග්ධන තර්කයට” (the logic of Global Capital) එරෙහි යොමුවකින් දේශපාලන අත්හදාබැලීම් කරන්නට හිතුවක්කාර වුණොත්, ඊළඟ ලාංකේය ජනාධිපතිවරයා වීමේ වාසනාව එජාපයෙන් සහ පොහොට්ටුවෙන් පිටස්තර බලවේගයක් වෙතට හිමිවන එක නොවැලැක්විය හැකි ය.

ඒ නිසා ඉක්මනින් සහ ක්‍රමානුකූලව පොහොට්ටු ප්‍රවනතාවට ප්‍රතිපක්ෂව කෙලින් තීන්දුවක් ගන්නට රනිල්ට සිදුවෙනවා ම ය. මන්ද 69ලක්ෂය යන්න තවදුරටත් භාෂා සංකල්පයක් බවට දියවී ගිය යමක් මිසක, ලක් දේශපාලනය තුළ බහුතරයගේ චන්ද පදනමක් වූ භෞතික යථාව නියෝජනය නොකරයි. ඒය විවිධ මත නහුතයකට කැඩී බිඳී ගිය කැබලි-රෙත්තකි (Catterism). ඒ සම්න්ධයෙන් නවැරදි වීමට රනිල්ට තවමත් කාලය තිබේ. නුමත් මේ 2022 වසර අවසාන වෙත්දී ඒ චාන්ස් එකත් ඔහුගෙන් ගිලිහීයාම ඇරඹෙනවා ඇත.

ඒ නිසා ජවිපෙ සේ ම එජාපය ද අද පවතින්නේ ඉදිරි දේශපාලන බලය අහිමිවීමේ අවදානමක ය.

මේ පක්ෂ දෙක ගෝලීය යථාර්තය ඉදිරියේ පිස්සු කෙලින තරමට රටේ මූල්‍යාර්ථික සහ දේශපාලනාර්ථික අස්ථාවරභාවය ද වැඩිවෙනවා ඇත.

එහිදී අනුර කුමාර නැති ලෝකයක ඒ අස්ථානය අත්කරගැනීමට මාන බලන සමාන්තර පෞර්ෂ කිහිපයක් ම ජවිපෙන් පිටත පවතී. රනිල් ඒ පෞර්ෂ අතරට වැටෙන්නේ නැත. ඒ අතරට වැටෙන්නේ සජිත්, චම්පික, ජෙනරාල් සරත්, ඩලස් සහ නාමල් ය. අනුර විසින් රනිල් වික්‍රමසිංහ තමන් හිතාමතා බැහැර කරන අයෙකු ලෙස සමාජයට හුවා දක්වන්නට හැදුව ද, සැබෑව ඊට වෙනස් ය. රනිල් යනු අනුරගේ ජීවිතයට කිසිදා අත්පත්කරගැනීමට හෝ හසුකරගැනීමට නොහැකි, ඒ සඳහා අනුරට තිබිය යුතු ඇතුළාන්තමය සිතුම එන්.එම්ට සහ විජේවීරට තිබූ තරම්වත් නිපුනතාවක් නැති බව දන්නා, ඉංග්‍රීසියෙන් පොත් කියවමින් අනුරට යටිසිතින් හිනාවෙන බුද්ධිමතෙකි. අනුරට මුළුමනින් ම වාගේ නොතේරෙන පෞර්ෂයකි. ඒ නිසා රනිල් යනු තවමත් අනුර තුළ මුළුමනින් විසඳාගෙන නැති උභතෝකෝටිකි. 

අනුර යනු ඔහුගේ පක්ෂ භාවිතය සහ බිම් මට්ටමේ අත්දැකීම රනිල්ගේ ජීවිතයට කිසිදා අතපත්කරගත නොහැකි බවත්, ඒ සඳහා වන ඇතුළාන්තමය සිතුම ජේ.ආර්ට, ඇතුලත්මුදලිට, ගාමිණීට සහ ප්‍රේමදාසට තරම් නිපුනතාවකින්වත් රනිල් තුළ නොපවතින බවත් දන්නා අතර, එජාපයට නැති ජවිපෙට ඇති තම පක්ෂ ව්‍යූහයේ ඉසියුම් බව නිසා රනිල්ට උඩුහිතින් ම හිනාවෙන පෞර්ෂයකි.

ගෝලීය ධනවාදය නැමති අතිදැවැන්ත ව්‍යූහ පද්ධතියට මුහුණ දීම සඳහා මේ දෙදෙනා ම එකවර රටට අවශ්‍ය බව කවුරුත් පිළිනොගන්නේ කැපුවත් කොල, කැපුවත් නිල් සහ කැපුවත් රතු කියන ආගමික දේශපාලන පකුහක සිතිවිලිවලින් සිත් හොරෙන් පුරවාගෙන සිටින උන් වැඩි නිසා ය. නොඒසේ නම් රනිල් ආණ්ඩු කරනවිට අනුර විපක්ෂ නායක වී සිටිය යුතු ය. අනුර ආණ්ඩු කරන කලෙක රනිල් විපක්ෂ නායක වී සිටිය යුතුය. මින් ඉදිරියට දැවැන්ත ගෝලීය ආර්ථිකයකට මුහුණදිය හැකි ජාතික සමබරතාවය ගොඩනගා ගත හැක්කේ ආණ්ඩුව සහ විපක්ෂය අතර සහසම්බන්ධයකින් මිස කුලල් කා ගැනීමෙන් නොවේ. ඒ නිසා දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුත්තේ ගෝලීය වාස්තවික තත්වය ඉදිරියේ අපේ ව්‍යසනයේ ප්‍රමාණය දසලකා බලා ය.

ජේ. ආර් ජයවර්ධන මේ “අනෙකාවාදී”(otherism) සහසම්බන්ධ ප්‍රතිපක්ෂ දේශපාලනය සවිඥානික කරගෙන සිටි අයෙකි. 1977තේ මහ චන්දයට චන්ද පලකර ඉවර වන රාත්‍රියේ ජේ.ආර්. චන්ද ප්‍රතිඵල අසන්නට අවදිව සිටියේ නැත. ඔහු සාමාන්‍ය දිනයක දී සේ එදත් නිදාගත්තේ ය. ප්‍රතිඵල විමසා බැලුවේ පසුවදා උදේ වෙන අයෙකුගෙනි. ඒසේ විමසද්දී කොල්වින් සහ ඇන්. ඇම්. ජයගෙන සිටියාද කියා උනන්දුවෙන් සොයා බලා ඒ දෙන්නා ම පරාදවී ඇති බව අසා කම්පාවී පවසා ඇත්තේ, “කා එක්කද ඉතිං මම රට පාලනය කරන්නේ” කියා ය. ඒන්. ඒම්. කොල්වින් දෙදෙනා විපක්ෂයේ සිටීම මගින් දේශපාලන තත්ව සමබරකරණය කිරීමට ජේ.ආර්ට පහුසවන වන බවත්, විරුද්ධවාදී පෞර්ෂයන් සිටීම ආණ්ඩුවකට අත්‍යාවශ්‍ය බවත් ඔහු දැන සිටියේ ය.

උදාහරණයක් ලෙස රනිල් ගන්නා දේශපාලන තීන්දු අනුර දැනගන්නේ අදාල තීරණය ගත් පසුවයි. ඊට කලින් ඒ ගැන පෙර-වාක්‍යයක් කියන්නට තරම් අනුර ඉහළ පංතික ප්‍රජා අතර සංස්කෘතිකව චලනය වී නොමැත. නමුත් භාෂා කිහිපයක් දැන සිටි සහ කොළඹ ඉහළ මධ්‍යම පංතිය ඇසුරකර තිබූ විජේවීරට ජේ.ආර්. සම්බන්ධයෙන් මෙබඳු උභතෝකෝටිකය තිබුණේ නැත. විජේවීරට ජේ.ආර්ගේ වියමනේ (text) යටිපෙල කියවීමට පවා හැකියාව තිබුණි.

රටේ කිසි කෙනෙක් රනිල් යූඑන්පී දේශපාලනයේ නායකයෙක් වේවි යැයි නොසිතූ සහ කොදෙව් වැසියන්ගේ සිත් තුළ රණසිංහ ප්‍රේමදාස-ගාමිණී දිසානායක-ලලිත් ඇතුළත්මුදලි ප්‍රධාන වී තිබූ යුගයක, ජේ. ආර් විසින් දේශපාලන වේදිකාවකට නැග රනිල් ගැන කියූ නොසලකාහැරිය යුතු තරමේ අවශේෂ වාක්‍යයක් අල්වාගත් විජේවීර “ජේ.ආර්ගේ අරමුණ තම ඥාති පුතා වූ රනිල්ව රටේ ඊළඟ නායකයා කරන්නයි” කියා අනාගත වාක්‍ය කීවේ ය. එය පූර්ණ ඇත්තක් වූයේ විජේවීර මිය ගොසිනුත් කලකට පසුව ය. (මන් මේ කියන දේවල් අනුර ද්වේශයෙන් තොරව බලා හසුකරගන්නට සහ විශ්ලේෂනය කරගන්නට උත්සහ කළොත්, ඒ හරහා චන්ද සීයට 03 පසුකර රටේ නායකත්වයට ඉව අල්ලන්නට යොමුවක් හැදf්වි. එහෙම නැතුව සුපුරුදු වචන සෙට් එකෙන්ම ගහල එවලෙට ස්වංවින්දනාත්මකව සුදන වුණොත්, ඒ සුළු අවකාශයත් නැතිවෙලා යාවි.) 

අනුර ගන්නා දේශපාලන තීන්දු රනිල් දැනගන්නේත් අදාල තීරණය ගත් පසුවයි. ඊට කලින් ඒ ගැන පෙර-වාක්‍යයක් කියන්නට තරම් රනිල් බිම් මට්ටමේ ප්‍රජා අතර සංස්කෘතිකව චලනය වී නොමැත. සමාන්‍ය ජනයාගේ ඓන්ද්‍රීය අත්දැකීම ස්පර්ශ කිරීමේ හැකියාවෙන් රනිල් හීනය.

අනුර කොහෙත් ම නොතකා ඉන්නා සේ පෙන්වුව ද කුමාර් ගුණරත්නම් යනු අනුර කුමාරගේ සදාකාලික ඔළුව කැක්කුම යි. රනිල් තනි මන්ත්‍රීකමක් තියාගෙන සජිත්ට දුන්නා වැනි ගේමක් අනුර කුමාරට විසින් කුමාර් ගුණතරත්නට දෙන්නට බැරි ය. අනුර ඊට දක්වන්නේ පැස්බරා න්‍යාය යි. 

ඉදින් රනිල් නැති ලෝකයක යූ ඇන්පියේ  ඊළඟ නායකත්වය ගන්නේ කවුරුන්ද කියන එක ගැන සමහරක් දත කට පූට්ටුවී සිටිය ද, ඊට දිය යුතු භෞතික පිළිතුර කුමක් දැයි ඉතා පැහැදිලි ය. මේ පිළිතුර එජාපයට සේම ජවිපෙට ද එක සේ වැදගත් බව රනිල් සහ අනුර දෙබෑයන් ම පිළිගන්නවා ඇති.           

එක්සත් ජාතික පක්ෂයේ ඊළඟ නායකත්ව පරප්පාඩුව කෙබඳු නම් එකක්ද?

පළමුව එම නායකත්ව පුරප්පාඩුව එජාපයේ පුරප්පාඩුවක් ලෙස පමණක් සලකා ගෝත්‍රවාදී හෝ කල්ලිවාදී වන ආත්මාර්තකාමී යොමුවකින් අර්ථකතනය කර ගැනීම වගකීමෙන් තොර බව තේරුම්ගත යුතුව ඇත. එජාපයේ ඊළඟ නායකත්ව පුරප්පාඩුව අර්ථකතනය කරගත යුත්තේ රටේ දැවෙන මූල්‍යාර්ථික අර්බුදය පාදක කරගෙන මතුවී ඇති ගෝලීය ධනේෂ්වර දේශපාලනාර්ථික වාද-විෂයන්(issues) සැලකිල්ලට ගැනීමෙනි.  

ඒ අනුව මෙවන් අසීරු තත්වයක දී පක්ෂයක ඊළඟ නායක්තව පුරප්පාඩුවක් හෙවත් දෙවෙනි නායකායා තනතුර පිරවිය යුත්තේ සම්ප්‍රදායික ලෙස පෝලිමේ කලින් හිටිය කෙනාව හෝ, තමන්ට ඥාතී සම්බන්ධයක් තිබුණ කෙනාව හෝ, තමන්ට ගජමිතුරු සම්බන්ධයක් තිබෙන කෙනාව හෝ, වැඩි වසර ගාණක් පක්ෂයේ හිටිය කෙනාව හෝ, වැඩියෙන් කියන දේ අහන කොනාව හෝ වැඩියෙන්ම කැමති කෙනාව හෝ, වැඩියෙන්ම ඩීල් ගහල දෙන්නට පුළුවන් කෙනාව හෝ පුටුවේ වාඩිකරවීමෙන් නොවේ.

මෙවන් අසීරු තත්වයකදී පක්ෂයේ ඊළඟ නායකයා කරවිය යුත්තේ පවතින අභියෝගාත්මක වාස්තවික තත්වයන්ට මුහුණ දීමේ නිපුනතා ඉතිහාසයක් ඇති සාපේක්ෂ පුද්ගල පෞර්ෂයකි. එහිදී පළමුවෙන් පවතින දේශපාලනාර්ථික චිත්‍රය තුළ එජාපයේ අනාගත ජයග්‍රහණය අසීරු වී ඇත්තේ කෙසේද කියා ජාතික සහ ගෝලීය දෙපදනමින් ම සලකා බැලිය යුතුව ඇත.

අර්බුදයක පමණක් තිබූ රටේ ආර්ථිකය, එනම් අර්බුදයක සිට ගැටළුවක් දක්වා පසුපසට අවරෝහණය කරගැනීමට තිබූ රටේ ආර්ථිකය, එසේ නොවී ව්‍යසනයක් වෙත ඉක්මනින් පොලා පැන්නේ ඝෝටා-බැසිල්-කබ්රාල් ආණ්ඩුව ගණකාධිකාරී විෂය තුළ නොකෙලිය යුතු පිස්සුවක් කෙලපු නිසාය. වරලත් ගණකාධිකාරී වෘත්තීය (Profession of chartered Accountancy) යනු මූල්‍යමය ව්‍යාපාර මෙහෙයවීම පිළිබඳව අන්තර්ජාතිකව පිළිගත් “මූල්‍යමය විනය”( Financial Decipline) හා සම්බන්ධ විෂය ක්ෂේත්‍රයකි. රටේ මේ විෂය දන්නා වෘත්තිකයින් කොතෙක් සිටියත් ඔවුන්ට කබ්රාල් බිම දමා රට බේරාගන්නට නොහැකි වූයේ කබ්රාල්ට තිබූ දේශපාලන හයිය නිසා ය.  

කබ්රාල්ගේ මුල්‍ය පරිපාලනයට එරෙහි අරගල කළ එක් වරලත් ගණකාධිකාරයෙක් හෝ දේශපාලන අත්දැකීමෙන්ද පොහොසත්ව සිටියේ නම්, මේ අලකලංචිය පෙරතියාම ආපසු හරහා යවන්න පුළුවන්කම තිබුණි. රනිල් නොසිටියේ වී නම්, දේශපාලන-විද්‍යාව පමණක් හදාරා ඇති රුවන් විජේවර්ධනට හෝ කෘෂිකර්මවේදියෙක් වූ සාගලට හෝ නීතිවේදියෙකු වූ අකිල විරාජ්ට හෝ වෘත්තිය කුමක්දැයි හොයාගන්නවත් නැති වජිර අබේවර්ධනට හෝ පොලිස් නිළදාරියෙක්ව සිටි රංගේ බණ්ඩාරට හෝ සිද්ධ වෙන්නේ කබ්රාල් විසින් මූල්‍ය අර්බුදය ව්‍යසනයක දක්වා පහළට ඇද දමනකම් වහලේ උළු ගණන් කරන්නට ය. 

ඉදින් මේ ගෙවෙන මොහොතේ රටේ ආර්ථික වාද-විෂයන් ප්‍රධාන වෙමින්, ලොකු වෙමින් සහ විස්තාරණය වෙත්දී රුවන්-සාලග-අකිල-වජිර-රංගේ යන මේ කිසිවෙක් මේ දක්වා ම ගෝලීය ධනවාදී දෘෂ්ටිය හදාරා භූමියට ගැලපෙන සේ ක්‍රියාත්මක කිරීමේ හෝ, ගෝලීයකරණයට යා දෙන දියුණු ආර්ථිකවාදී ධනේෂ්වර පක්ෂයක් බිහිකරගන්නට ඉක්මන් වන හෝ, ජාතිකවාදය, වරිගවාදය, ආගම්වාදය සහ නූතනවාදය පසුකර ඊළඟ නව-නූතන-ධනේෂ්වර-පක්ෂය ( Neo-Modern Capitalist Party) ප්‍රතිව්‍යුගත කරගන්නට අවශ්‍ය විෂය දැනුම හදාරා හෝ, සජබෙ නැවත එජාපය වෙතට දියකර කරගත හැකි උපාායමාර්ග යෙදවීමේ හෝ නිපුනතාවක් දක්වා නැති අතර, වරලත් ගණකාධිකාර විෂය දැනුමෙහි හෝ, ගෝලීය ආර්ථික සහ මූල්‍යායතනයන්ගේ පිලිගැනීමට ලක් වීමේ හෝ, එජාපය බිම් මට්ටමින් නව-නූතන පක්ෂයක් බවට සංවිධානය කරන්නට අවශ්‍ය වේගවත් සංවිධාන යන්ත්‍රයක් ගොඩනගාගැනීමෙහි සමත්කමක් පෙන්වා නොමැත. මං දන්නා තරමින් මේ මොනව කියනවාදැයි කියා ඔවුන් දන්නේ ද නැත.

ඒ නිසා මේ සියළු සුදුසුකම්, නිපුනතා සහ ප්‍රායෝගික අත්දැකීම් සම්බන්ධයෙන් සාපේක්ෂ වටිනාකමක් ඇති එකම ඔප්ෂන් එක වන රවි කරුණානායක දෙසට හැරෙන්නට රනිල්ට සිදුවෙනවා ම  ය. නිස්සරණද්‍යාශයෙන් ඔහුව ඊළඟ එජාප නායකයා ලෙස පුහුණු කරවීමට සහ මඟ පෙන්වීමට තරම් රනිල් නිහතමානී සහ බැහැපත් අස්ථානයක් ගතයුතුව ඇත.

එලෙසම තමන්ට පක්ෂයෙන් යම් අසාධාරණයක් සිදුවුණේ වී නම්, එය ම ගණන් බල බලා ඉන්නටවාට වඩා වැඩිහිටියෙක් ලෙසත්, විෂය සහ ප්‍රායෝගික අභ්‍යාසකරුවෙක් ලෙසත් තමන්ගේ ධනේෂ්වර නිපුනතාවන් ජනතාව සඳහා යෙදවීමට රවී ද රනිල් හා අත්වැල් බැඳගන්නට තරම් පරිණත බැහැපත් බවක් පෙන්විය යතුය.

රටක් වශයෙන් ගෝලීය ප්‍රාග්ධන තර්කයට මුහණදීම නැමති මහා අභියෝගය ජයගැනීමේදී ඔය දෙදෙනාගේ අතීත ඉතිහාසයන් හෝ කළු පැල්ලම් ජනතාවට වැඩක් වන්නේ නැත. අනුර කුමාර වැනි අවංක විරුද්ධ පාක්ෂිකයින් පවා එකතු කරගත යුතු මෙවන් මොහොතක රනිල්-රවි දෙන්නා දෙපැත්තට වී “හියිඩ් ඇන්ඩ් සීක්” හෙවත් දෙපැත්තට හැංගිමුත්තං කෙලින්නේ නැතුව රටේ නව-නූතන ධනවාදයට ජාතික න්‍යාය පත්‍රයක් ගොඩනගා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් එකතුවෙන්න. පක්ෂ යන්ත්‍රය නව-නූතන තලයකින් ප්‍රතිසංවිධානය කරන්නේ කෙසේද කියන සාකච්චා වලට ඉක්මනින් ඇතුළු වන්න.

ඔය දෙන්නා මේ මොහොත කර හැරියොත්, රටේ පළමු ආර්ථිකවාදී ඩොමීනියන් පක්ෂය වන එජාපයට ඊළඟ ආර්ථිකවාදී ලෝකාභාෂිත (Cosmopolitan) ප්‍රායෝගික නායකත්වයක් ගොඩනගා ගැනීමට කපටි වීමට නොහැකි වීම නිසා, අතට ලැබුණ මිදි ගෙඩිය කටට දමා ගන්නට එජාපයට බැරි වුණවා ඇත. 

 

@ සටහන - ජූනියස් රිචඩ් විසිනි

නවතම ලිපි