අද බොහෝ දෙනෙක් ඉන්නවා තමන්ගේ ලිබරල් උටෝපියාවේ සිහින කුමාරයා ලෙස ජනාධිපති රනිල් පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කරන,

එලෙස ලියන කියන, පෙනී ඉන්න පිරිස් මේ සියල්ල කරන්නේ නිස්සරණාධ්‍යාශයෙන්, නැතිනම් කිසිදු ලාබ ප්‍රයෝජන නොලබා මහින්ද රාජපක්ෂ කීවාසේ  "රට වෙනුවෙන්ම" ලු.  මේ අය අතරින් සිය අපේක්ෂාව  නිසිලෙස සූත්‍රගතකොට කැපී පෙනෙන අරගලයක් කරන්නේ ජවිපෙ හිටපු ක්‍රියාකාරිකයෙක් වූ අජිත් පැරකුම් ජයසිංහ.

ඔහු එක් තැනකදී මෙහෙම ලියනව. "මේ වෙලාවේ ධනේශ්වර ප්‍රතිසංස්කරණ සඳහා අවස්ථාව ලැබෙන්නෙ රනිල් රාජපක්ෂ නිසාම නෙමෙයි. සංවර්ධනයේ මේ මොහොත විසින් ක්‍රම වෙනසක් ඉල්ලා සිටින නිසා. ඒක සමාජවාදී ප්‍රතිසංස්කරණයක් නෙමෙයි. ධනේශ්වර ප්‍රතිසංස්කරණයක්. ඒ කියන්නෙ රාජ්ය ධනවාදී සමාජවාදයේ නශ්ටාවශේෂ සුද්ද කරලා කරන ලිබරල් ධනවාදී ශෝධනයක්. ඒක කොයිතරම් දුරට රනිල් රාජපක්ෂ ලවා කරවාගන්න පුළුවන්ද කියලායි අපි බලන්නෙ."


අජිත් පැරකුම් ජයසිංහගෙන් මා ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙහි ඇති අපැහැදිළි කරුණු කීපයක් වඩා සංයුක්ත ලෙස පැහැදිළි කිරීමක් කර දෙන්න කියල.


(1) සංවර්ධනය යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?  

(2) මේ මොහොත විසින් ඉල්ලා සිටින ක්‍රම වෙනස කෙවැනිද?

(3) සමාජවාදී  ප්‍රතිසංස්කරණ යනු මොනවාද?  

( 4) රාජ්‍ය ධනවාදී සමාජවාදය යන්න නිර්වචනය කරන්න.


සමාජවාදයේ පරම හතුරෙක් වූ ජේආර් ජයවර්ධන නොහොත් යැංකි ඩිකී කරන ලද කතාවක් සිය ගමනට කිහිළි කරුවක් කරගන්නා අජිත් පැරකුම් විස්සෝප වන්නේ, යැංකි ඩිකී ඇතුළු කිසිඳු ධනපති පාලකයෙක් ලංකාවේ ගෝලීයකරණය ඔහුට අවශ්‍ය පමණට තවමත් කළේ නැතැයි අවලාද නගමිනි.  


"මා තෝරා දෙන්න යන වචනය සමාජවාදයයි. හුඟක් දෙනෙක් අහනවා තමුන්නාන්සේලා සමාජවාදය කියන්නේ එක්සත් ජාතික පක්ෂය සමාජවාදී පක්ෂයක් ද කියලා. ඔව්, අපි සමාජවාදී පක්ෂයක්.  මේ රටේ සීයට හැටක් බඩු නිපදවන මාර්ග, බඩු බෙදන මාර්ග, මුදල් හුවමාරු කරන ක්‍රම රජයට හෝ මහජනයාට අයිතියි. සමාජවාදය කියන්නේ ඒකයි."  ( 1979 මාර්තු 23දා හොරණ ශ්‍රීපාලි සෞන්දර්ය විශ්වවිද්‍යාල පීඨය විවෘත කිරීමේ උත්සවයේදී ජේආර් ජයවර්ධන)


ජේආර් පවා "සමාජවාදියෙක්" වීම නිසා ප්‍රපාතයට වැටුණු රට බේරා ගන්න තිබෙන "අවසාන අවස්ථාවට" අජිත් පැරකුම් කරන මේ යෝජනාව බලමු.

"ඒ නිසා තමයි අපි 100%ක් ධනේශ්වර ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී ඉන්නෙ. ඒ වගේම ආර්ථික ජාතිවාදය වෙනුවට ගෝලීයකරණය තමයි අපි යෝජනා කරන්නෙ. මෙතන සමාජවාදී කතාවක් නැහැ. අපි මෙතනදි ඉන්නෙ රනිල්ට වඩා ඉදිරියෙන්. අපි රනිල්-රාජපක්ෂ එක්ක වැඩ කරන්නෙ උන්ට වඩා ඉදිරියෙන් මේක විග්‍රහ කරගෙන."


ගමරාළගේ වංගෙඩිය මෙන් අජිත් පැරකුම් නිතර පාවිච්චි කරන ජනසතු, හා සමාජවාදය යන්නෙහිත්, ඔහු දොර මුල්ලට දමා තිබෙන ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වරූපය හා එහි සැබෑ අරුත කුමක්දැයි පළමුවෙන්ම අපි කෙටියෙන් හෝ අවධාරණයක් දමා ගන්න ඕන.


ලංකාවේ අද පවතින ධනපති ප්‍රජාතන්ත්‍රවාදය නැතිනම් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ ජනයා වෙනම ඉන්නව, ආණ්ඩුව වෙනම ක්‍රියාත්මක වෙනවා. ආණ්ඩුව පත් කරන්නේ ජනයාගේ ඡන්දයෙන් වුවත් ජනතාවට අවශ්‍ය දේ ආණ්ඩුවෙන් සිද්ධ වෙන්නේ නෑ. සරළ උදාහරණයක් කිව්වොත් ;  ගමක ඉන්න ජනතාවට කිලෝ මිටර් 10 ක් 15ක් දුර ගෙවල ගිහින් තමයි පානීය ජල අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න වෙන්නේ. ඒ නිසා ගමේ සියලු දෙනා එකතුවෙලා තමන්ගේ පාර්ලිමේන්තු නියෝජිතයාගෙන් ඉල්ලීමක් කරනව ප්‍රදේශයට නළ ජලය ලබා දෙන්න කියල. ඒ ඉල්ලීම ඉටුවෙනවද?  නෑ .

තමන්ගේ ඉල්ලීම් ඉටු නොකළා කියල ඒ නියෝජිතය වසර පහක් ගතවන තෙක් ආපසු කැඳවීමක් කිරීමේ බලයක් ප්‍රදේශයේ ජනයාට තිබෙනවද?  නෑ . නමුත් ජල සම්පාදන මණ්‌ඩලය තිබෙන්නේ ආණ්ඩුව යටතේ. නැතිනම් "ජනසතු" කරළ.

අරාබියේ රජ පවුල තමයි ආණ්ඩුව. තෙල් සමාගම් ඔක්කොම තිබෙන්නේ ආණ්ඩුවේ නැතිනම් රජ පවුල යටතේ. එහෙම තිබුන කියල තෙල් සමාගම් වලින් ලැබෙන ආදායම වැය කරන්නේ කුමක් සඳහාද යන්න තීරණය කිරීමේ බලයක් අරාබි පුරවැසියන්ට නෑ . සියල්ල තීරණය කිරීමේ බලය තිබෙන්නේ රජාට. ඒ නිසා ආණ්ඩුවට පවරා ගැනීම කියන්නේ, ආණ්ඩුවේ පාලනය යටතේ තිබෙනවා කියන්නේ ජනසතු කිරීමක් හෝ සමාජවාදයක් නෙමේ.

එයට හේතුව තමයි ධනපති ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඡන්දය දෙන්න සිදුවෙලා තිබෙන්නේ පක්ෂයකින් හෝ කණ්ඩායමකින් හෝ ඉදිරිපත් කරන අපේක්ෂකයෙක්ට. ඒ අය අතරින් ඉදිරි වසර කීපයේදී තමන්ව පාලනය කරන්නේ කවුද කියල කෙනෙක් තෝරා ගැනීමේ අයිතිය මිස ඉදිරි වසර කිහිපය රට පාලනය විය යුත්තේ කෙසේද, තමන්ගේ ප්‍රදේශයට සිදුවිය යුතු වෙනස කුමක්ද කියල තීන්දු ගැනීමේ බලයක් ඡන්දදායකයාට නැහැ. අඩුම තරමින් ඡන්දයේදී දෙනු ලබන පොරොන්දු ඉටු කරවා ගැනීමේ යාන්ත්‍රණයක් හෝ නැහැ.

සියලු තීන්දු තීරණ ගන්නේ ඒ ඒ පක්ෂ විසින්. එම තීන්දු තීරණ සැකසෙන්නේ ජාතික හා ජාත්‍යන්තර කොම්පැණිකරුවන්ගේ, සල්ලිකාරයන්ගේ අවශ්‍යතාව මත. මොකද බලය ලබා ගැනීම සඳහා අවශ්‍ය මත නිර්මාණය කරන මතධාරීන්ට, ඒවා ප්‍රචාරය කිරීම් ආදී සියල්ලට වැඩි ජනබලයක් තිබෙන පක්ෂවලට මුදල් වැය කරන්නේ ඔවුන් නිසා.

 

එමනිසා මොන පක්ෂයක් ජයග්‍රහණය කලත් රට පාලනය වන්නේ කොම්පැණිකරුවන්ගේ, සල්ලිකාරයන් ගේ න්‍යාය පත්‍රය අනුව. ඒ අතරේ කොල්ලු තම්බලා වතුර අශ්වයන්ටයි, විසිකරන රොඩ්ඩ බර අදින බූරුවන්ටයි දෙනව වගේ දුගියන්ටත් ඉදහිට කක්කුස්සි කටක්, ජනසවිය, ටකරන් කොල වගේ රොඩු ටිකක් ලැබෙනව.

සමාජවාදී රාජ්‍යයක බලය තිබෙන්නේ වැඩපලේ , ෆැක්ටරියේ , ගමේ, ගොවි බිමේ, නගරයේ පුරවැසියාගෙන් සැදුම්ලත් සභාවන්ට. ඒ සභාවන් විසින් තමයි තමන්ගේ ප්‍රදේශයට හෝ ආයතනයට අවශ්‍ය මොනවාද යන්න තීන්දු තීරණ ගන්නේ.

මහ ආණ්ඩුවට නියෝජිතයන් පත්කරන්නේ ඒ සභාවේ ගන්න තීරණ ක්‍රියාත්මක කරන්න වගේම එහිදී තේරී පත්වන්නේ වඩාත්ම දේශපාලනිකව දියුණු හා පුරවැසියන්ගේ ප්‍රශ්න පිලිබඳ වඩාත්ම සංවේදී පුද්ගලයා. එකී නියෝජිතයා විසින් සභාවේ ගන්නා ලද තීන්දු වෙනුවෙන් මහ ආණ්ඩුව තුළ පෙනී නොසිටින්නේ නම් වසර පහක් බලා නොසිට නැවත ඔහු කැඳවීමේ බලයක්ද එම සභාවන්ට තිබෙනවා. සමාජවාදී රාජ්‍යයක රාජ්‍ය ව්‍යූහය සැකසෙන ආකාරය තමයි මේ ඉතා කෙටියෙන් කිව්වෙ.


එනිසා අජිත් පැරකුම් කියා තිබෙන යැංකි ඩිකීගේ හෝ පුංචි ඩිකීගේ ආණ්ඩු සමාජවාදී රාජ්‍යයන් නම් නෙවේ. පුද්ගල කොම්පැණි රජයට පවරා ගැනීම, ජනසතු කිරීම සමාජවාදීනම් ඇමරිකාවත් සමාජවාදී රාජ්‍යක් වෙන්නේ ඕන.

1917 සිට 1923 දක්වා වී.අයි. ලෙනින්ගේ නායකත්වයෙන් සෝවියට් දේශයේ සමාජවාදී රාජ්‍යක් ගෙඩනැගෙමින් තිබුනා. 1923 ලෙනින් ගේ මරණයෙන් පසුව එය දියකර හරිමින් නිලධාරී තන්ත්‍රයක් රුසියාවේ මතුවුණා. එදා මෙදා තුර ලොවේවත්, ලොවි ගහේවත්, ගහ මුලවත් සමාජවාදී රාජ්‍යක් බිහිවෙලා නැහැ.

එහෙනම් කුරිරු ධනපතියන් හා අජිත් පැරකුම්ලා වැනි ලිබරල්වාදීන් සමාජවාදී රාජ්‍යයන් හෝ පක්ෂ කියල උපහාසයෙන්, අපහාසයෙන් පෙන්වන්නේ මොනවාද?  දෑකැති - මිටි, රතු ධජ තිබෙන, නමුත් මාක්ස්, ලෙනින්, ට්‍රොට්ස්කි ගේ භාවිතාවන් නැති විකෘති රාජ්‍යයන් හා පක්ෂ. ඒක කබරයා තලගොයා කරගැනීමක්.

නමුත් අජිත් පැරකුම්ලාගේ ලිබරල්වාදීන් කළ යුත්තේ කුමක්ද?  අනෙකාගේ කිරිපල්ල අතගාන්න යන්නේ නැතිව එයාල විශ්වාස කරන විවෘත ආර්ථිකයෙන්, ගෝලීයකරණයෙන් මනුෂ්‍ය වර්ගයා අවම මිනිස් අයිතිවාසිකම් හෝ සමානව භුක්ති විඳින රටවල් කිහිපයක් පෙන්වන්න.

 

විවෘත ආර්ථිකයේ පියා ලෙස සැලකෙන ඇමරිකාවේ අද තත්වය විමසා බැලුවොත් අති විශාල ජනතාවක් කුලී ගෙවාගන්න බැරිව නිවාස නැතිව ජිවත් වන්නේ. උමං දුම්රිය පොළවල. මහපාරේ සංඥා එළි අසල වාහන වලින් මුදල් ඉල්ලන යාචකයෝ. බෙහෙත් මිල දරා ගන්න බැහැ. ජීවත්වීම සඳහා රැකියා දෙකක් විතර කරන්නන් බොහෝවිට නිදා ගන්නේ සිය වාහනය තුළ. පාසල් තුළ සිටින සිසුන් පවා වෙඩි තබා මරා දමන තත්වයේ විකෘති ම්ලේච්ඡ මනසක් ඇතිවුන් පිරී ඉතිරී ගිහින්.

ඒ අතරේ ඉලාන් මස්ක්, මාර්ක් සකර්බර්ග්, බිල්ගේට්ස් වැනි කෝටි ප්‍රකෝටිපතියොත් බිහිවෙලා. මේ සියලු දරිද්‍රතාවයන්, මිලේච්ඡ විකෘති මිනිසුන්, ඇති නැති පරතරය ඇමරිකාවට උත්පත්තිය ලබා දුන්නේ නව ලිබරල් විවෘත ආර්ථිකය හා ගෝලීයකරණය. ලංකාව සෞභාග්‍යමත් රටක් කිරීමට අජිත් පැරකුම්ලා දත කන්නේ මෙහෙව් නව ලිබරල් විවෘත ආර්ථිකය හා ගෝලීයකරණය තුළින් නොවේද?

  

අජිත් පැරකුම්, චින්තන ධර්මදාස, සුදර්ශන ගුණවර්ධන ඇතුළු ලිබරල්වාදීන් ගෙනෙන තවත් ජනප්‍රිය තර්කයක් තමයි රාජ්‍ය ආයතන වංචා දුෂණයෙන් පිරිලා, අකාර්යක්ෂමයි, පාඩු ලබනවා, රටට බරක්. ඒ නිසා පුද්ගලීකරණය කරන්න ඕන කියල. එහෙම බලනවානම් ශ්‍රී ලංකා පොලිසිය කියන ආයතනය සාන්තුවරුන් ගේ ආයතනයක්ද?  වැඩිම දුෂණයට, වංචාවට ගොදුරු වුනු තැනක්. එවගේම බන්ධනාගාරය. එසේනම් ඇයි මේ ආයතන පුද්ගලීකරණය කරන්න කියන්නේ නැත්තේ?



පාර්ලිමේන්තුව මොන තරම් දූෂිත ආයතයක්ද. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අදවන විට මුළු රටටම බරක් වෙලා තිබෙන්නේ. ඒත් ඇයි මේ ලිබරල්ලු නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයම තොරම්බල් කරමින් තව දුරටත් පවත්වා ගෙන යෑම සඳහා මරාගෙන මැරෙන සටනකට බැහැල තියෙන්නේ. අපි බලන්න ඕන අන්න ඒකයි. සත්‍ය තිබෙන්නේ ඔවුන් කියන දේ තුළ නොවෙයි , නොකියන දේ තුළ. යටි පෙළයි කියවගන්න ඕන.

 

ලිබරල්වාදීන් හැම විටම ක්‍රියාත්මක වන්නේ තමන් ගේ අපේක්ෂාවක් මුල් කරගත් උටෝපියාවක. තමන්ගේ එම අපේක්ෂාව ජය ගැනීම වෙනුවෙන් ඔවුන් රනිල්ද , මහින්දද, හිට්ලර්ද , මුසෝලිනිද, සජිත්ද, අනුරද මේ ඕනෑම කෙනෙක් එක්ක එකතුවෙනවා.

පාසැල් දරුවන්ට නිවාඩු කාලයේ රැකියා දීම, පාර්ලිමේන්තු නියෝජිතයන් ගේ වැටුප් වැඩි කිරීම, බදුබර වැඩි කිරීම, මේවාට එරෙහිවන්නන් දඬුවමට ලක් කිරීම, අරගලකරුවන් ගාල් කිරීමට ගෙනෙන "පුනරුත්ථාපන කාර්යාංශ පනත" වැනි රජය ගන්නා ජනතා ද්‍රෝහී, මානව හිමිකම් උල්ලංඝනය වන ඕනෑම තීන්දුවක්, තීරණයක් යුක්ති සහගත කිරීම සාධාරණියකරණය කිරීම තමයි ලිබරල්වාදීන් ගේ පිළිවෙත.

එයින් සමාජයට, ගහ කොළට, සතා සීපාවට සිදුවන වින්නැහිය ඔවුන්ට පෙනෙන්නේ නැහැ. එලෙස නොපෙනෙන්නේ තම උටෝපියාව සාක්ෂාත් කරගැනීම පමණක්ම එකම අපේක්ෂාව වී ඇති නිසා. පාලකයන් ගන්නා ඕනෑම තින්දුවක ඔවුන් දකින්නේ ලැබෙන සමාජ ලාභයම පමණයි.


කිසා ගෝතමී මළ දරුවාට ජීවය දෙන්න නොමළ ගෙයකින් අබැටක් සොයා ගියා. ලිබරල්වාදීන්ද ලෝකයට හෙණ ගැහුවත් සිය අපේක්ෂාවට ජීවය දෙන්න එය තුරුළු කරගෙන අවකල් සිහියෙන් රෙදි ඇඳගෙන නිරුවතින් සැරිසරණව. මෙය ලිබරල්වාදීන් ගේ හිට්ලර් කාලයටත් එහා සිට පැවැතෙන ජානමය ලක්ෂණයක්.


මේ ලක්ෂණ ආගම්වාදී, ජාතිවාදී මහින්ද රාජපක්ෂගේ ඊනියා දූපත් දේශප්‍රේමයේ ගෝලීය පිටපත. වර්ගවාදී ජනඝාතක යුද්ධයට ඔවුන් නම් තැබුවේ "මානුෂික මෙහෙයුම" කියල. රටේ ඉන්නේ දේශප්‍රේමීන් හා දේශ ද්‍රෝහීන් කියල දෙකට බෙදුව.

ලිබරල්ලුත් දැන් කියන්නේ මේ වෙලාව අරගල කරන, සටන් කරන වෙලාවක් නෙමේ. කවුරුත් එකතුවෙලා පළමුව "රට ගොඩගන්න" ඕන. ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව රනිල්ට සහයෝගය දෙන්න ඕන කියල. එනිසා මේ ලිබරල්ලුද රනිල්ට සහයෝගය නොදෙන්නන්ට, ආණ්ඩුවට එරෙහිව අරගල කරන්නන්ට අන්තවාදී, කඩාකප්පල්කාරී වැනි ලාඩම් එල්ලීම වැඩි ඈතක නම් නොවේ.


අජිත් පැරකුම් පවසද්දී  "අපි මෙතනදි ඉන්නෙ රනිල්ට වඩා ඉදිරියෙන්. අපි රනිල්-රාජපක්ෂ එක්ක වැඩ කරන්නෙ උන්ට වඩා ඉදිරියෙන් මේක විග්රහ කරගෙන" කියල ඒක සම්පුර්ණ ඇත්ත. හැමවිටම පෙරහැරේ ඉදිරියෙන්ම යන්නේ කස කාරයෝ තමයි. යුද්දේ වෙලාවේ ඒක කළේ පෙරටුගාමීන්ද නියෝජනය වුනු ජවිපෙ. හෙළ උරුමය, ගණින්නාන්සේලා එකතුවෙලා.


යුද්දේ අවසානයේ ශේෂ පත්‍රය බලද්දී සිංහල බෞද්ධ උටෝපියාව වෙනුවට, ඇ.ඩො. බිලියන 200 ක් ලෝකෙට ණය වෙලා. අවි ආයුධ, මුදල් දුන් ගිජු ළිහිණින්ගේ පාරාදියක් වෙලා, ගෝලීය බලවතුන් හා බැඳුණු චෞර රාජපක්ෂ රාජ්‍යක් බිහිවෙලා.

ඉන්පසු කිරි පොවා හැදූ වැඩූ රාජපක්ෂලා එළවමු කියමින් " කපා කපා කෑලි කපා, ලේ හැලුනත් පාර දිගේ අපේ ගමන අපි යනවා"  කදුළු ගෑස් කකා, බැටන් පහරවලට අතපය කඩාගෙන, හිරගෙවල දුක් විඳිනවා.  

එලෙසින්ම මේ වෙලාවේ තමන් ගේ උටෝපියාව වෙනුවෙන් ලිබරල්වාදීන් තමයි මතවාද සමාජගත කරළ පාලකයන්ට අවශ්‍ය මඟ එළිපෙහෙළි කරළ දෙන්නේ. හිට්ලර්ට මඟ එළිපෙහෙළි කරළ දුන්නෙත් ගොබෙල්ස් තමයි. මෙහි ඛේදවාචකය නම් පාලකයා ලවා තමන්ගේ උටෝපියාව යතාර්ථයක් කරගන්න බැහැ කියල මේ ලිබරල්වාදීන්ගේ තර්ක ඥානයට හසුනොවීම. අළුයට තිබෙන ගිණි පුපුරු සේ සැඟව තිබෙන ෆැසිස්ට් පන්නයේ රාජ්‍යය නොදැකීම.
 


එයට හේතු රාශියක් තිබෙනවා. ලිබරල්ලු හැම විටම කිසියම් ප්‍රපංචයක් විග්‍රහ කරගැනීමට යොදා ගන්නේ තමන්ගේ උටෝපියාව, මනෝරාජික අපේක්ෂාව, ෆැන්ටසියම පමණයි. සපත්තු කීපයක් දමා කකුළට ගැලපෙන සපත්තුව තෝරා ගැනීම නොව ඔවුන් හැම විටම කරන්නේ තමා ලඟ තිබෙන සපත්තුවට ගැලපෙන ලෙස කකුළ කපා ගැනීම.


ලිබරලුන්ගේ මේ උටෝපියාවට ගැලපෙන පරිද්දෙන් පුංචි ඩිකී ඉතා ප්‍රයෝගකාරී ලෙස ව්‍යවස්ථාපිත ෆැසිස්ට් පන්නයේ රාජ්‍යය නොපෙනෙන සේ හොඳින් තීන්ත ආලේපනය කරළ තිබෙන්නේ.  

කාන්තා අයිතිය, ගණිකා වෘත්තීය නීතිගත කිරීම, ගංජා නීතිගත කිරීම, (ඩයනා මන්ත්‍රීවරිය තමයි හොඳටම කරන්නේ) සමරිසි අයිතිය පිළිගැනීම, ජාතීන් ගේ අයිතිය පිළිගැනීම වැනි තීන්ත තමයි දැනට ආලේපනයට අරගෙන තිබෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන අයිසින් වලින් හැඩ වැඩ කරළ තිබෙනවා.

තව දුරටත් විපරම් කර බැලුවොත් රාජපක්ෂලාගේ කාලයේ මෙන් ඉතාමත් ග්‍රාමීය, අශිෂ්ඨ, අසංවිධිත ලෙස ලුම්පන්ලා ලවා එළිපිට පහර දීම් හෝ සුදු වෑන් වලින් පැහැර ගැනීම්, අතුරුදහන් කරවීම් වැනි දේ කරන්නේ කරන්නේ නැහැ. රතුපස්වල, කටුනායක වගේ හමුදාව ලවා ජීව උණ්ඩ දමා වෙඩි තබන්නේ නැහැ.

ඒ වෙනුවට ශිෂ්ඨ සම්පන්න, පවතින නීති රාමුව තුළ සිට ක්‍රියාත්මක වෙනවා යැයි එළියට පෙනෙන සංවිධිත වූ ෆැසිස්ට්වාදයක් තමයි ක්‍රියාත්මක කරන්නේ. පොලිසිය විසින් අරගලකරුවන් අල්ලා අධිකරණයට ඉදිරිපත් කරමින්, විවිධ චෝදනා ගොණු කරමින් බන්ධනාගාරගත කරනව.

මෙන්න මේ සියල්ල නාගරික ලිබරල්වාදීන් ගේ සිත් ඇඳ බැඳ ගන්නා, ආකර්ශනය දිනා ගන්නා ක්‍රමවේදයක්. ඔවුන්ගේ උටෝපියාව තුළ සිට බලද්දී දකින්නේ  "ෂා..හ් දැන් නියමයි. අන්න එහෙම තමයි වෙන්න ඕන. දැන් ලංකාවත් නිව්යෝක්, ලන්ඩන්, පැරිස් වගේ."  

නමුත් හිරගෙදරදී නොයෙක් වධ හිංසාවන්ට ලක් කරමින්, දීර්ඝ කලක් රැඳවුම් භාරයේ තබා ගනිමින් මානසික පීඩනයන් එල්ල කරනව. ඒක ලිබරල්ලුන්ට පෙනෙන්නේ නැහැ. රංගන ශිල්පිණී දමිතා අබේරත්නගේ කතාව මෙයට කදිම උදාහරණයක්.


උප්පරවැට්ටිවලින් ලිබරල්ලු මෙසේ ගිනි කණා වැටුනත් පුංචි ඩිකීට දීර්ඝ කාලයක් මේ තත්වය පවත්වාගෙන යන්න බැහැ. මේක අපායේ ඉන්ටර්වල් එක වගේ ඩිකී වඩාත් ශක්තිමත් වෙනතුරු, තහවුරු වෙනතුරු පමණයි. ඉදිරියේදී ආර්ථික, සමාජ අර්බුධය උග්‍ර වෙලා පාරට බහිද්දී කාට කාටත් දෙයියෝ, බුදුන් සිහිවෙන්න තමයි සබ්බුව ලැබෙන්නේ. එවිට බොහෝ ලිබරල්වාදීන් ඇස් ඇර බලද්දී ආලේපන සේදී , අයිසින් දියවී රනිල් ගේ ෆැසිස්ට් පන්නයේ රාජ්‍යයේ සැබෑ මුහුණුවර අභිමුඛ වේවි. නමුත් ප්‍රමාද වැඩියි. කෝච්චිය ගිහින්.


පෙරමුණේ සිටි සටන්කාමී බොහෝ නායකයන් එවිට වසර ගණනාවකට "පුනරුත්ථාපන කඳවුරුවල". ජර්මනියේ නිමොලර් පියතුමාට මෙන් තෝරා ගැනීමට ඉතිරි වන්නේ පුනරුත්ථාපාන කඳවුරකට යෑම හෝ තව දුරටත් වර්ණනා කරමින් ෆැසිස්ට් පෙරහැරේම ගමන් කිරීම පමණයි. එම අනාගතය වෙනුවෙන් තමයි ජනාධිපති රනිල් කල්වේලා ඇතිව "පුනරුත්ථාපන කාර්යාංශ පනත" සම්මත කරගන්නේ.

 

ජනාධිපති පුංචි ඩිකී භාවිතාවට දමන්නේ "මකියාවෙල්ලි කුමාරයා", "නැපෝලියන් බොනපාට්" හෝ "හිට්ලර්" වැනි එවුන් ගේ න්‍යාය. එනමුත් උදේ හවා උපුටා දක්වන්නේ ධම්මපදය, මහා වංසය හෝ සූත්‍ර පිටකය. මේකත් ෆැසිස්ට් පන්නයේ නායකයන් ගේ ඉතිහාසය පුරා පැවතගෙන එන්නා වූ ලක්ෂණයක්. හක්කේ බුදුරැස්, බොක්කේ දඩමස් කියන්නේ මේවාට තමයි.

 

එවගේම ලිබරලුන්ගේ තවත් ලක්ෂණයක් තමයි  (දැනට)  රාජපක්ෂලාගේ " වියත් මඟ"  මෙන් සුදුළුනු ගෙඩියෙන්, සිනි ටිකෙන් මාටියා නොගැසීම. ඔවුන් ගැට ගැසී ඉන්නේ මානව හිමිකම් සංවිධාන එක්ක. ලංකාවේ බොහෝ මානව හිමිකම් සංවිධාන යනු මානව හිමිකම් වලට වින කටින වෘක මධ්‍යස්ථාන වගේම පුංචි බිල්ගේට්ස්ලා. ඔවුන්ට තිබෙන්නේ මානව හිමිකම් ප්‍රශ්න නොව පුද්ගල බද්ධ ප්‍රශ්නයි.

මෙවර ජිනීවා පැවති මානව හිමිකම් සැසිවාරයේදී රනිල් - රාජපක්ෂ ආණ්ඩුවේ මානව හිමිකම් කඩ කිරීමේ චෝදනාවන්ට එරෙහිව ආණ්ඩුව ආරක්ෂා කරමින් පෙනී සිට ඇත්තේ ලංකාවේ මානව හිමිකම් පිලිබඳ සුප්‍රකට නිමල්කා ප්‍රනාන්දු නෝනා. එහෙම වුනේ ඇයි ?

"පුනරුත්ථාපන කාර්යාංශ පනත"  මානව හිමිකම් කඩකරන අනීතික පනතක් බවද ප්‍රනාන්දු නෝනා දුටුවේ නැත. එසේ වුවත් මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක් වූ, මේවන විට බැඳියාවන් අතර ගැටුම නිමා වී ඇති අම්බිකා සත්කුනනාදාන් මෙහි අනිතිකභාවය පෙන්වා දී තිබෙනව.


"මෙම නීතිය අදාළ වන පුද්ගලයින් විස්තර කිරීමට භාවිතා කරන කිසිදු යෙදුමක් ශ්‍රී ලංකාව තුළ නීත්‍යානුකූලව අර්ථ දක්වා නොමැත. නිදසුනක් වශයෙන්, ‘අතිශයින්ම හෝ විනාශකාරී ක්‍රියාවන්හි යෙදී සිටින’ පුද්ගලයෙකු නිර්වචනය කිරීමට භාවිතා කරනු ලබන විෂයමූල නිර්ණායක මොනවාද?"

නමුත් ලිබරල් වාදීන්ටද, මානව හිමිකම් පිලිබඳ පෙනී සිටින ලිබරල් නෝනා මහත්තරුන්ටද එවන් වූ කිසිඳු ගැටළුවක් පැන නැගුනේ නැත. මන්ද,  පුංචි ඩිකීත්, ඩිකී මෙහෙයවන ලංකාවේ පාලනයේ නොපෙනෙන හස්තයවන සමන්තා පවර් නෝනාගේ පවර් එක හා බැඳියාවන් අතර ගැටුමයි. පුංචි ඩිකී සිය උටෝපියාවේ සිහින කුමරා වූ නිසාමය. දැන් සැපද?


මෙහි උත්ප්‍රාසයනම් රනිල්- රාජපක්ෂ ආණ්ඩුවට ජිනීවාහිදී මානව හිමිකම් කඩකිරීමේ චෝදනා එල්ල වෙද්දී ආණ්ඩුව බේරාගැනීමට ඉදිරිපත් වී ඇත්තේ චීනය, රුසියාව , වියට්නාමය, උතුරු කොරියාව වැනි ලිබරල්වාදීන්ගේ අවඥාවට ලක්වෙන "සමාජවාදී රාජ්‍යයන්" ය.  


පසුගිය කාලයේ ඇතැම් ලිබරල්වාදීන් මේවා හැඳින්වූවේ "පොල්පොට් සමාජවාදී රාජ්‍යයන්" කියල. නමුත් අද රනිල් - රාජපක්ෂ  ආණ්ඩුව වෙනුවෙන් "පොල්පොට් සමාජවාදී රාජ්‍යයන්" පෙනී සිටින නිසා නොකවුට් වන්නේ නාමකරණයද?  ලිබරල්වාදීන්ද ? නොදන්නෙමි.


ප.ලි. :
මේ ලිපිය ලියා හමාර කිරීමට මත්තෙන් වාර්තා වුනේ රනිල් - රාජපක්ෂගේ ව්‍යවස්ථාපිත ෆැසිස්ට් පන්නයේ රාජ්‍ය ශක්තිමත් කිරීම පසුගිය 08 වෙනිදා කළුතරින් ආරම්භ කර ඇති බවයි. අජිත් පැරකුම් ජයසිංහගේ පස්දුන් කෝරළයෙන්ම ෆැසිස්ට් පෙරහැර පෙළ ගැස්සවීම දෛවයේ මොන සරදමක්ද?


@ඥානසිරි කොත්තිගොඩ
BBC සිංහල සේවයේ හිටපු මාධ්‍යවේදී
(නිදහස් ලේඛක)

නවතම ලිපි