මට රට වෙනුවෙන් කතාකරන්න බැහැ. ඒත් අද මට නම් ශෝක දිනයක්. අද එලිසබෙත් වින්ඩ්සර්ගේ අවමංගල්‍යය සිදු කෙරෙන දවස.

දස ලක්‍ෂයකට වඩා ජනකායක් ලංඩනයට එකතු වේය කියා බලාපොරොත්තු වෙනවා. එය ගාලු මුවදොරට පරගලය වෙනුවෙන් පැමිණි පිරිසට වඩා බෙහෙවින් වැඩි වේවි. එංගලන්තයේ වෙසෙන ඇතැම් සිංහලයන් ද එයට විවිධ කාරණා නිසා එකතු වේවි. ඔවුන්ටත් ශෝකයක් ඇති වේද කියා මා දන්නේ නැහැ.

මා ශෝක වන්නේ අද අප රට නැවත වරක් යටත් විජිතයක් ලෙස ක්‍රියා කිරීම නිසයි. එලිසබෙත් වින්ඩ්සර් නොවෙයි කවුරුන් මිය ගියත් අප සංවේගයට පත් වෙනවා. එහෙත් මා දන්නේ නැහැ රටක් ලෙස අප තරම් මේ කරුණෙහි දී නිවට වූ වෙනත් රටක් තියෙනවා ද කියා.

අද එංගලන්තයේ බැංකු නිවාඩු දවසක්. ඒ ඔවුන්ගේ ප්‍රසිද්ධ නිවාඩු නම් කෙරෙන ආකාරයයි. ඔවුන් තම ජාතික කොඩි අඩ කුඹු කර ඇති. කිහිප දෙනකු එලිසබෙත් වින්ඩ්සර් තම රැජන ලෙස නොපිළිගත්තත් අති විශාල බහුතරය ඇය තම මියගිය රැජන ලෙස පිළිගන්නවා. අර පිරිසක් එලිසබෙත් වින්ඩ්සර් තම රැජන ලෙස නොපිළිගෙන උද්ඝෝෂණයක නිරත වීම නිසා අත්අඩංගුවට අරගෙන. ඒ පිරිස මෙහෙයවීමට කිසිවකු හිටියේ නැහැ. ඔවුන් එලිසබෙත් වින්ඩ්සර් ගෙදර යැවීමට ආ පිරිසක් නො වෙයි. ඔවුන් චාල්ස් වින්ඩ්සර් රජ කරවීම සඳහා පැමිණි පිරිසකුත් නො වෙයි. ඔවුන් මා හිතන්නේ චාල්ස් වින්ඩ්සර්වත් රජු ලෙස පිළිගන්නේ නැහැ.

 

ඔවුන් මෙරට පරගලකාරයන් වගේ නො වෙයි. මෙරට පරගලකාරයන්ට අවශ්‍ය වුණෙ ගෝඨාභය රාජපක්‍ෂ ගෙදර යවන්න කියල කිවුවෙ. ඒත් මහින්දත් ගෙදර යැවුව. එපමණක් නො වෙයි රනිල්වත් ජනාධිපති කළා. ඒ සියල්ල පරගලකාරයන් කරපු වැඩ කියා ඔවුන්වත් කියන එකක් නැහැ. ඒ සියල්ල සැලසුම් කෙරුණෙත් ලංඩනයෙන්. මා කියන්නෙ නැහැ බකිංහම් මාළිගාවෙන් ඒ සියල්ල සැලසුම් කෙරුණා කියා.

රනිල් අද තම යුතුකම හරියට ඉටු කරනවා. මා හිතන්නේ ඔහු තමයි ආසියාවේ ම මැකෝලිගේ ප්‍රධාන දරුවා. ඔහු තම යුතුකම ඉටු කරන්න ලංඩන් ගිහින්. තවත් රාජ්‍ය නායකයන් රාශියක් ලංඩන් ගිහින්. ඒ අය තම රටවල ජාතික කොඩි අඩ කුඹු කෙරෙවුවෙවත් ශෝක දින ප්‍රකාශ කෙරෙවුවෙවත් නිවාඩු දින ප්‍රකාශ කෙරවුවෙවත් නැහැ කියල මා කියන්නෙ නැහැ. එහෙත් ඒ සියල්ල ම කෙරුවෙ රනිල්. කාටද ආඩම්බරේ.

ඇමරිකා එක්සත් ජනපදවලත් අද නිවාඩු දිනයක් නො වෙයි. එක අතකට ලංකාවෙ නිවාඩු දිනයක් කියන එකත් එතරම් ප්‍රශ්නයක් නොවෙයි. හැමදා ම වගේ නිවාඩු දින නිසා. රනිල්ට තිබුණෙ අද වැඩ කරන දිනයක් බවට ප්‍රකාශ කරන්න. ඒ මොකක් වුණත් අද නිල වශයෙන් නිවාඩු දිනයක් කරපු නිසා තෙල් ටිකක් ඉතුරු වේවි. ඒත් සමහරු අර දිර්ඝ සති අන්තය යොදා ගෙන ඊනියා ට්‍රිප් යනව වෙන්නත් පුළුවන්. ඔවුන්ට එලිසබෙත් වින්ඩ්සර් ගැන ශෝකයක් නැද්ද?

එංගලන්තයේ බැංකු නිවාඩු දිනයක් වුණත් පබ් නමින් ප්‍රසිද්ධ සුරාසල් සමහරක් අද විවෘත ව තබන්න පුළුවන් කියා කියනවා. ඒ ඇතැමුන්ට සුරාසලට ඇවිත් තම මියගිය රැජනට වීදුරුව උස්සලා සුබ ගමන් පතන්නට. ලංකාවෙත් සමහරු එසේ කරනව වෙන්න පුළුවන්.

ඊයෙ ජාතික රූපවාහිනියෙ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ අතර මැද අර බ්‍රේකින් නිවුස් එකක් බලාපොරොත්තු වෙන්න කිවුව. ඒ විශේෂ ප්‍රවාත්තිය අර පරගල අලි එකතු කරපු එකතු කරපු එකක් ද දන්නෙ නැහැ. රනිල් පත් වුණෙ ඔවුන්ගෙ පරගලය නිසා නොවැ. විශේෂ ප්‍රවෘත්තියෙන් කියැවුණෙ රනිල් තම මහ රැජනට වෙස්ට්මිනිස්ටර් පල්ලියෙ අවසන් ගෞරව දක්වපු කතාව. ඒක අහල කවුරුන්වත් බ්‍රේක්ඩවුන් වුණා ද කියල රූපවාහිනියෙන් පස්සෙ කියයි ද දන්නෙ නැහැ.

මා පොඩ්ඩක් හොයල බැලුව එංගලන්තෙ ජනමාධ්‍ය රනිල් ගැන වාර්තා කරල ද කියල. ඔවුන් බයිඩන් ගැන ප්‍රංශ හා වෙනත් නායකයන් ගැන නම් කියා තිබුණ. රනිල් ඔවුන්ට වැදගත් වෙලා නැහැ වගෙයි. ඒත් රනිල්ට තමන්ගෙ වැඩ වැදගත්. එලිසබෙත් වින්ඩ්සර් 1952 ඉඳන් 1972 දක්වා අපේ රැජන වෙලා හිටිය කියල තමයි ආණ්ඩුව කියනානෙ. ඒත් අප ඇය රැජන හැටියටවත් රනිල් ජනාධිපති හැටියටවත් පත් කර ගත්තෙ නැහැ. එලිසබෙත් වින්ඩ්සර්ගෙ ආණ්ඩුව නම් රනිල් ජනාධිපති හැටියට ව්‍යවස්ථාවෙන් පත් කර ගන්න ඇති. මොන තරම් වැදගත් පත් කර ගැනීමක් ද?

එංගලන්තය රටවල් තුනකට ආරාධනා කරල නැහැ අවමඟුලට සහභාගි වෙන්න කියා. ඒ රූසියාව බෙලාරුස් නැත්නම් අප බයිලෝරුසියාව කියන රට හා මියන්මා. ඒ රටවලට සම්බාධක පමුණුවල තියෙනව කියනවා. මා දන්නවා දුප්පත් වුණත් මියන්මා අභිමානවත් රටක් කියා. අපිත් දුප්පත්. අපට අභිමානයක් නැහැ. පුහු ආඩම්බරයක් නම් තියෙනවා.

 

@ Nalin de Silva

නවතම ලිපි