ප්‍රජාතන්ත්‍රවාදය: (2 කොටස)

මෙම ලිපි මාලාවේ පළමු ලිපිය කියවා තිබූ බොහෝ දෙනෙකුගේ චෝදනාව වූයේ ලිපියේ ආරම්භක ඡේද කිහිපය නොතේරෙන බවය. ඊට හේතුව වන්නේ මෙම ලිපි මාලාවේ සමස්තය එම මුල් ඡේද කිහිපයේ සංක්ෂිප්ත කොට තිබීමයි. එවිට කල යුතු දෙය වන්නේ එම ඡේද පසුවට තේරුම් ගැනීමට තබා ලිපි පෙළ කියවාගෙන යාමය. ලිපි මාලාව කියවා අවසන් වූ පසුව මුල් ඡේද අර්ථවත් වනු ඇත. 

අනෙක් චෝදනාව වන්නේ සමහර වචන සහ යෙදුම් නොතේරෙන බවය. එසේ නොතේරේ නම් ඒවාද මගහරින්න. සියලු ලිපි ලියා ඇත්තේ ඒවාද මගහැර කියවිය හැකි පරිදිය.

බොහෝ දෙනෙකු ප්‍රකාශ කලේ පළමු ලිපියේ පහත සඳහන් ඡේදය අපැහැදිලි බවය. එබැවින් මේ ඒ සඳහා පැහැදිලි කිරීමිකි.

“ප්‍රජාතන්ත්‍රවාදයේ අනීවාර්ය අවශ්‍යතාවයක් වන්නේ එම ව්‍යුහයට අදාළ බහිෂ්කරණයක් පවත්වා ගැනීමයි. එනම් ප්‍රජාතන්ත්‍රවාදය තුල ප්‍රතීඝතාවය (antagonism) මුණගැසෙන්නේ, පැමිණෙන්නේ, බහිෂ්කරණයේ ප්‍රශ්නයක් ලෙසය. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුලින් බහිෂ්කරණය කරන්නේ කුමක්ද යන්න තීරණය වනුයේ පුද්ගලාරෝපනයක් ලෙස වන ව්‍යතිරේකය සහ ඊට අදාළ පුද්ගල ව්‍යුහය අතර සම්බන්ධය අනන්‍යතාවන් දෙකක් ලෙස විභේධනය වීම තුලය. එම බහිෂ්කරණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයේ අනීවර්යතාවයක් සහ එය ඊට ඔබ්බවන ලද වේ. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය යන්න අනාගතයට අදාලව විකසිත වන දෙයක් බවටත්, ඇත්තටම නොපවතින දෙයක් බවටත් පත්ව ඇත. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය පැවතිය හැක්කේ පුද්ගලත්වාරෝපනයක් ලෙස පමණි. එනම් ප්‍රජාතන්ත්‍රවාදය සැමවිටම මූර්තිමත් වන්නේ පුද්ගලයෙක් තුලිනි (දූරාවලීන්ට අදාලව). එවිට එම ව්‍යතිරේකයට ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අදාළ නොවේ. එම පුද්ගලරෝපනයට නීති කැඩිය හැකිය. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නේ එම නීති කැඩීම තුලිනි.”

 ඩිමො 3

 

මෙහි පුද්ගලාරෝපිත ව්‍යතිරේඛ වලට උදාහරණ ලෙස ජනාධිපති, අගමැති, නීතිපති, පොලිස්පති, හමුදාපති, අධිකරණ විනිසුරන් වැනි පුද්ගලාරෝපනයන් සැලකිය හැකිය. එවිට එම ප්‍රජාතන්ත්‍රවාදී පුද්ගලාරෝපිත නිල ව්‍යුක්තන ව්‍යුහය තුලින් ඒවා දරා සිටින පුද්ගල ව්‍යුහය අර්ථකතනීයව බහිශ්කරණය කෙරේ (උදාහරණයකට පොලිස්පතිවරයා යන නිල තනතුර සහ එය දරා සිටින පුද්ගලයා ලෙස ඔහුගේ පුද්ගලභාවය සහ ඊට අදාළ කරානා පොලිස්පතිවරයා යන තනතුරට අදාළ නොවන බව සලකන්නට වීම). එසේම ‘පුරවැසියා’ සැලකූ විටද එය එසේමය. ප්‍රජාතන්ත්‍රවාදී නිල දූරාවලිය තුල පුද්ගලාරෝපිත ව්‍යතිරේඛ පරිපූර්ණ ලෙස නොපවතිනවා සේම පුරවැසියා යන්නද සත්‍ය වශයෙන්ම මිහිපිට පරිපූර්ණ ලෙස නොපවතී (එය ලිපියේ පළමු කොටසේ අවසන් ඡේද කිහිපයෙහි පැහැදිලි කොට ඇත). එවිට පුරවැසියා යන්න ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ ප්‍රධානතම ව්‍යතිරේකි ව්‍යක්තනය වන විට සැබෑවට සිටිනුයේ පුරවැසියා ලෙස අර්ථකථනය වූ මිහි පිට සැබෑ මිනිසාය. 

ප්‍රතීඝතාවය (antagonism) පිළිබඳව අදහස මනෝවිශ්ලේෂණ දේශපාලන ව්‍යාපෘතියේ මධ්‍ය වේ. ප්‍රතීඝතාවය යනු ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතීන් තුළ බහිෂ්කරණය කිරීම (මේ තත්වය ඉතාම සංකීර්ණ ලෙස අධ්‍යතන ධනවාදය තුල ක්‍රියාත්මක වේ. එම තත්වය කාර්මික ධනවාදය ආරම්භයේදී, එනම් මාක්ස් සිටි යුගයේදී පැවති තත්වයට වඩා ඉතාම සංකීර්ණතා වලින් යුක්ත වේ) පිළිබඳව ගැටලුව හෝ බහිෂ්කරණය කරන ලද පන්තියක්, ජාතියක්, ආගමක් ආදිය සඳහා ඇති ප්‍රවණතාවයයි. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටාවටම ඔබ්බවන ලද වී තිබීම සහ ව්‍යුහාත්මක අවශ්‍යතාවයක් වන තරමට වෙනත් විය යුතුය (එකක් අනෙකෙන් හෝ කිහිපයක් අතර වෙනස පැහැදිලිව තිබීම). එනම් ප්‍රජාතන්ත්‍රවාදී සමාජය යනු පුද්ගලයෙකු හෝ සමාජ කණ්ඩායම් (පන්තිමය හෝ වෙනත් ඕනෑම ආකාරයක) ලෙසම තමාට, කණ්ඩායමට හෝ එම පන්තිමය තත්වයන්ට සහජයෙන්ම වෙනස් ආකාරයෙන් සැලකීම සහ තමන් තමාටම ආගන්තුක ලෙස දැකීම හෝ සැලකීම ව්‍යුහාත්මකවම පිළිගෙන තිබෙන සමාජයකි. ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ ව්‍යුහාත්මක අත්‍යවශ්‍ය අංගයක් ලෙස මෙම බහිෂ්කරණය කිරීමේ ස්වරූපය එක විටම ප්‍රජාතන්ත්‍රවාදය සමෘද්ධිමත්ව වැජඹීමට ඉඩ සලසනවා සේම ප්‍රජාතන්ත්‍රවාදයම සඳහා හුදු පුද්ගලාරෝපනයක් ලෙස මිස සත්‍යය ලෙසම නොපවතියි. එනම් “පුද්ගල ස්වභාවයක්” හෝ මානුෂීය ලක්ෂණ, මනුෂ්‍ය නොවන දෙයකට ආරෝපණය කිරීම හෝ මිනිස් ස්වරූපයෙන් වියුක්ත ගුණාංගයක් නිරූපණය කිරීම ලෙස ක්‍රියාත්මක වේ. මේ සඳහා උදාහරණ ලෙස වර්තමාන තත්වය තුල උපරිමය නාසා විද්‍යාඥයා, ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා, වැනි ආකාර වන විට අවමය වැසිකිලි සෝදන කසල ශෝධකයෙකු ලෙස සැලකිය හැකිය. එනම් එක් අතකින් නාසා විද්‍යාඥයා, ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා ලෙස අප දකිනුයේ පුද්ගල ස්වභාවයන් හෝ මානුෂීය ලක්ෂණ මනුෂ්‍ය නොවන තත්වයන් තුල පිළිබිඹු වීමකි (උදා: දැනුම, විද්‍යාව, විද්‍යාත්මක පරීක්ෂණ, ඊට අදාළ නිෂ්පාදන වැනි දේ, සමාජයට විශාල ලෙස බලපෑම් කල හැකි ආයතන, නිෂ්පාදන, මිල මුදල්, යාන වාහන ඇතුළු අනෙකුත් සියලු වටිනාකම්…)  

 

ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය නමැති එම තත්වයට, ‘ප්‍රජාතන්ත්‍රවාදය‘ අත්‍යවශ්‍ය වන්නේ තමන් කවුද යන්න සහ තමන් කවුරුන් විය යුතුද යන්න නිදහස්ව තීරණය වන සමාජයක්ය යන්න තුල ඕනෑම අයෙකුට ඕනෑම තත්වයකට යා හැකිය යන නිදහස රැක ගැනීමට සහ එය එසේම හඬක් නැති, ‘නමක් නැති‘,අයට කතා කිරීමට වේදිකාවක් සහ මයික්‍රෆෝනයක් ලබා දෙන බැවිනි.

ප්‍රජාතන්ත්‍රවාදය තුල ආත්මීයත්වයේම (subjectivity) අවහිරතාවය (ප්‍රතික්ෂේප වන දෙය) ආත්මීයත්වය විසින්ම විශාල කරගනිමින් සමකාලිකව බහුගුන කරගනී. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය දේශපාලන සංකල්පයක් ලෙස ලැකානියානු පර්යාලෝකනයකින් න්‍යායික මැදිහත්වීම් ගණනාවකට විවෘතය. ලැකානියානු කතිකාව තුල එහි හරයේ ඇති එක් කේන්ද්‍රීය ප්‍රශ්නයක් නම්, ප්‍රජාතන්ත්‍රවාදය ගලවා ගත යුත්තේ, පුළුල් කල යුත්තේ කොතෙක් දුරට ද යන්න පිළිබඳව ප්‍රශ්නය (ප්‍රජාතන්ත්‍රවාදය තුල එහි නොතිත් ගැටලුව), එනම් වඩාත් නිවැරදිව කිවහොත්, පද්ධතිය (ප්‍රජාතන්ත්‍රවාදය තුල) තිරසාරව පවත්වා ගන්නා මූලික දෘෂ්ටිවාදී ෆැන්ටසිය හෙළිදරව් කළ යුත්තේ කුමන ආකාරයෙන්ද යන්නයි. මෙම අපරිමිතිය හේතුවෙන් ‘මුල් යහපතක්‘ නොමැත. එනම් ප්‍රජාතන්ත්‍රවාදය තුල බුද්ධිමය සංවාදයන් වෙතින් මතුවන “වඩා යහපත් තත්වයක්” (විවිධ ආත්මීයත්වයන්ගේ අවහිරතාවයන් දිගින් දිගටම ඉවත් කරන, බහු ගුණ වීමට ඉඩ දෙන සහ ඉඩ ප්‍රස්තාව පුළුල් කරන) වෙනුවෙන් පෙනී ඉඳීම සහ වැඩ කිරීම යනු මුල් යහපතක් පිළිබඳව අදහස (ආරම්භක යහපතක්) තුල දිගින් දිගටම ක්‍රියාත්මක වීමකි. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය තුල එයම අපරිමිතය.  

ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ලැකානියානු විවේචනය ආරම්භ වන්නේ ආත්මීයත්වයේම මෙම ප්‍රතික්ෂේපය මධ්‍යය කොට ගනිමිනි. අප සත්‍ය වශයෙන්ම වීමට අපේක්ෂා කරන ‘දේ‘ (එනම් “පුද්ගල ස්වභාවයක්” හෝ මානුෂීය ලක්ෂණ, මනුෂ්‍ය නොවන දෙයකට ආරෝපණය කිරීම හෝ මිනිස් ස්වරූපයෙන් වියුක්ත ගුණාංගයක් නිරූපණය කිරීම ලෙස. එනම්, අප බලාපොරොත්තු වන්නේ කවුරුන් වීමට ද යන්න) සහ අපි සත්‍ය ලෙසම කවුරුන් ද යන මූලික විසන්ධිවීම හේතුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම අප සැබවින්ම වීමට බලාපොරොත්තු වන ආත්මීය තත්වයන් අනන්තය. එනම් ප්‍රජාතන්ත්‍රවාදයේ කොන්දේසීන් (පන්ති ස්වභාවයන්, ආත්මීයත්වයේ ස්වරූපයන්, දැඩි සමාජ සංකීර්ණත්වය තුල අහඹු සිදු වීම් තුලින් ඇති වන තත්වයන් වැනි ලෙස…) තුල අප ඓතිහාසික වී ඇති (ඉපදුන දා සිට) තත්වය තුල, එනම් ධනවාදය තුල, අපගේ ‘ඉරණම‘ විසින් අපගේ කැමැත්තවල් රැස තීරණය කරන අතර ඊට අදාළ සමුද්ධේශ රාමුවක් තුල අපට අදාළ තේරීම් තිබෙනු ඇත. ඒවා පන්තිමය, ආගමික සහ සමාජීය, ලිංගිකත්වය වැනි ලෙස ඒ, ඒ, ඒවාට අදාළ ඉතාම සංකීර්ණ බහු ගුණ වීම් ඇති වී තව තවත් වර්ධනය වෙමින් පවතී. ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව උත්සාහ දරමින් සිටිනුයේ ඒ සියල්ල පද්ධතිය තුල සමෝධානය කරනුයේ කෙසේද යන්න සම්බන්ධයෙනි. එවිට ඊට පෙර පැවති ‘යහපත් තත්වය’ ප්‍රතික්ෂේප වී නව යහපතක් උදා කරගනී (දිගින් දිගටම ව්‍යවස්ථා සංශෝධන සහ නීති කෙටුම්පත් කිරීම්, නීති ප්‍රතිසංස්කරණ, නව නීති සම්පාදනය වීම වැනි දේවල් කෙළවරක් නොමැතිව පවතින්නේ එබැවිනි. එසේම ඉල්ලීම්, අයිතිවාසිකම්, වල කෙළවරක් නොමැත්තේ ද එබැවිනි).

demo2

සමාජයක් පිළිබඳව ලැකානියානු ප්‍රවේශය වන්නේ එහි සුවිශේෂී ප්‍රවනතාවයේ හදවතේ ඇත්තේ කුමක්ද යන්න විමසා බැලීමය. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී සමාජය පිළිබඳව විමසා බලන්නේ නම්, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපෘතිය සැමවිටම ප්‍රජාතන්ත්‍රවාදයේ හිස් කේන්ද්‍රය වටා පමණක් කැරකෙන බැවින්, එහි ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ පුද්ගලාරෝපණය පමණි.

ශුද්ධ සබුද්ධිකත්ව ලිබරල් අදහස විසින් ෆැන්ටසිය පුරවා දමන්නේ කුමන අවස්ථාවේදී ද යන්න ශිෂැක්ට අනුව මෙසේය.

ෆැන්ටසිය අයත් වන්නේ වාස්තවික වශයෙන් ආත්මීයත්වය වෙතටය. එය සම්බන්ධිත වන්නේ යථාර්ථය පිළිබඳ අපගේ හැඟීමටය. ෆැන්ටාස්මැටික දේශපාලන පොරොන්දුව වන්නේ අහිමි ලෝකය සාක්ෂාත් කොට දීමයි. මෙහිදී අපට ඇත්තේ මානව ෆැන්ටසියේ යුතෝපියානු ව්‍යුහයක් වන අතර එය සමාජය වෙත ප්‍රක්ෂේපණය කරන විට අහිමි ලෝකය පිළිබඳ මෙම ප්‍රක්ෂේපණයෙන් තොරව, එය නොමැතිව, දේශපාලන අනන්‍යතාවයක් සඳහා ඇති ආශාවක් ඉස්මතු නොවේ. සමස්තයක් ලෙස වර්තමාන දේශපාලනය ක්‍රියාත්මක වන්නේ එසේය.

එය වඩාත් පැහැදිලි කර ගැනීම සඳහා හොඳම උදාහරණය වන්නේ ගෝල්ෆේස් අරගල භූමිය ප්‍රමුඛ වත්මන් ශ්‍රී ලාංකීය අරගල තත්වයයි. දක්ෂිනාංශික බලවේග මෙන්ම වාමාංශික බලවේග ද එහිදී එක ලෙස සටන් වැදුනේ අහිමි ලෝකයක් අත්පත්කොට ගැනීම වෙනුවෙනි. වෙනස් කම් තිබුනේ එම අහිමි ලෝකය සාක්ෂාත් කොට ගන්නා ආකාර වල මිස ඊට අදාළ ෆැන්ටසීන්ගේ නොවේ (බ්‍රෙඩ් ටෝක්, මැක්ඩොනල්ඩ්ස්, කේ.ෆ්.සී. වැනි අවන්හල් වලින් ආහාර ගෙන අයි ෆෝන් හෝ ගැලැක්සි ෆෝන් භාවිතා කරමින්, හවසට අඩියක් ගසා ඌබර් එකෙන් ගෙදර යාමට හැකි සමාජයකි).

demo3

demo4

 

අනුව දේශපාලන අනන්‍යතාවයන් (ආත්මීය) හටගන්නේ අප අත්විඳින සකලාකාර අර්බුධ සඳහා විසඳුම් ඉල්ලමිනි. එනම්, අප අත්විඳින සකලාකාර අර්බුධ විසඳීම වෙනුවෙන් හෝ කළමනාකරණය වෙනුවෙන් පැමිණෙන සියලු විසඳුම්, උත්සාහයන් සහ මැදිහත් වීම් ප්‍රකාශිතව සුසන්ධිකරණය වී ඇත්තේ ප්‍රමෝදය මුනගැසීමේ පොරොන්දුවක් මත පදනම් වූ ෆැන්ටසි රාමුවක් වටාය (තවදුරටත් විස්තර කරන්නේ නම්, විද්‍යාව මූලික වූ, දේශපාලනමය, ආර්ථිකමය, සමාජීය සහ පාරිසරික ඇතුළු සියලු විසඳුම් හෝ කළමනාකරණය කිරීම්).

ඒ කෙසේ වෙතත් “පූර්ව-සංකේතාත්මක යථක” සත්‍යරූපී (සාධාරණ හෝ විය හැකි බව පෙනෙන) ප්‍රතිමූර්තියක් නොමැත. සංකේතනය කිරීමට දරන අපගේ අසාර්ථක උත්සාහයන් තුළ අප අප්‍රතිහතව ක්‍රියා කරන හේතුව වන්නේ එම සියලු උත්සාහයන් ප්‍රකාශිතව සුසන්ධිකරණය වී ඇත්තේ ප්‍රමෝදය මුනගැසීමේ පොරොන්දුවක් මත පදනම් වූ ෆැන්ටසි රාමුවක් වටා නිසාය.

ආර්ථික විද්‍යාවට අනුව සියලු දේට වඩා ප්‍රමුඛ ආර්ථිකයයි. ආර්ථික වර්ධන වේගය කොහොමටවත් අඩාල කරගත නොහැකිය යන්න ආර්ථික විද්‍යාවේ මූලික කොන්දේසියයි. සොබාවික විපතක්, උපද්‍රවයක් දෙස වුවද බලනුයේ ආර්ථිකයට සිදු වූ හානිය හෝ ඊට අදාළව ඇති වී ඇති ප්‍රශ්න මොනවා ද යන ස්ථානයන්ගෙනි. එනම් ඒ දෙස බලනුයේ ‘ආර්ථික විද්‍යා’ දෘෂ්ටිකෝණයකිනි. පරිසරය, මිනිස් ජීවිත, මිනිස් හැඟීම් ඇතුළු අනෙකුත් සියල්ල අදාළ වන්නේ ආර්ථිකයටය. ඒ දේවල් අර්බුධයට යාම හැම විටම විමසන්නේ ආර්ථිකයේ තැනකිනි. ඒ එසේ නොවුවහොත් ප්‍රමෝදය මුණ ගැසීමේ පොරොන්දුව කඩ වන බැවිනි.

එසේම සමස්ත ක්‍රම වෙනසක් බලාපොරොත්තු වන සමාජවාදය, ජාතිකවාදය වැනි පරිකල්පනීය විකල්ප ඉන් කිසිසේත්ම වෙනස් නොවේ.

ඩිමො4

 

අහිමි සහ දක්නට නොමැති වස්තුව ෆැන්ටසියෙන් නිර්මාණය කිරීමට දරන සෑම උත්සාහයක්ම සත්‍ය ලෙස පෙනේ නම් (පවතින යථාර්තය එවැනි ගොඩ නැංවීමකි), ලැකානියානු මනෝවිශ්ලේෂණය ද එවැනි “සමාජ ගොඩනැංවීම්වාදයක්” (නිර්මාණාත්මකවාදයක් (social constructivism)” හෝ ගොඩනැගීමේ තවත් උත්සාහයක් ද යන ප්‍රශ්නය පැන නගී. “සමාජ ගොඩනැංවීම්වාදී” දැක්ම තුළ යථාර්ථය සැමවිටම ‘කතිකාවේ‘ ප්‍රතිඵලයක් වන අතර අර්ථය ජනනය වන තැන එතනයි. එනම් කතිකාව විසින් ගොඩනගන අර්ථයන් තුල යථාර්ථය සෑම විටම සුසංවාදී සහ සුසංයෝගී සමස්තයක් ලෙස ගොඩනැගිය යුතු බැවින්, සමාජ යථාර්ථයක් වඩාත් පරම සුඛදායි වන තරමට, එම යථාර්ථය දයලෙක්තිකයක් මෙන් ක්‍රියා කරන ෆැන්ටසි/රෝග ලක්ෂණ අක්ෂයක් මත රඳා පවතී (ප්‍රජාතන්ත්‍රවාදය තුල දිගින් දිගටම සිදු වන්නේ එයයි). රෝග ලක්ෂණය වන්නේ පුනරාගමනීය ප්‍රමෝදයකි (ප්‍රමෝදයේ සැබෑ මදය). එය කිසි විටෙකත් අප මත ආරෝපණය කිරීම නතර නොකරයි. උදාහරණයක් ලෙස වර්තමානයේ ලෝක පරිමාන, නැවත සංස්කරණය කිරීමට අපහසු ප්‍රථිපල ජනිතකොට ඇති පාරිසරික අර්බුධය ගතහොත්, ඒ සඳහා පැමිණෙන විද්‍යාත්මක විසඳුම් (සමාජ-දේශපාලනික, ආර්ථිකමය, තලයන් ද ඇතුලත්ව) යනු ෆැන්ටසි/රෝග ලක්ෂණ අක්ෂය  දයලෙක්තික ආකාරයෙන් ක්‍රියාත්මක වීමයි. එවිට විසඳුම සැමවිටම පැමිණෙන්නේ ප්‍රමෝදය (රෝග ලක්ෂණය) නැවත සහතික වීම හෝ වඩාත් වර්ධනීය ලෙස සහතික වීම තුලයි. එය තවත් පැහැදිලි කරන්නේ නම්, පොසිල ඉන්ධන දහනය වෙනුවට පැමිණෙන විසඳුම් සියල්ල ක්‍රියාත්මක වන්නේ වඩා වැඩි ප්‍රමෝදයක් සහතික කරමිනි. එනම් දුම් නොමැති පරිසර දූෂණය “හැකි පමණින් අවම කිරීම” තුල තිබුනාට ද වඩා වැඩි වාහන සහ උපකරණ භාවිතයක් මෙන්ම ඒ තුලින් සිදු වන ආර්ථික වර්ධනය තුල නිර්මාණය වන ලෝකයට අදාළ ෆැන්ටසීන් තුලින් නැවතත් ප්‍රමෝදය පුනරාගමනය වේ.

ෆැන්ටසිය යනු යථාර්ථයට අප ලබා දෙන සහයෝගය (වාරුව) නම්, ෆැන්ටසිය විසින් කතිකාවට එහි සංස්ථායිත්වය ලබා දෙන්නේ එය රෝග ලක්ෂණයට විරුද්ධ වන බැවිනි (රෝග නිවාරණ පොරොන්දුව ඒ තුල ඇති බැවින්). ඒ අනුව ෆැන්ටසි මගින් සමාජ ක්ෂේත්‍රය තරණය කරන සාමාන්‍යකරණය වූ අඩුවේ නිෂේධනයක් මත රඳා පවතින පද්ධතිය තුළට සුසංවාදයක් පිහිටුවයි. ෆැන්ටසිය මත මෙම පරායත්තතාවය හෙළිදරව් වූ විට, ප්‍රජාතන්ත්‍රවාදයේ කාර්යය සත්‍ය වශයෙන්ම ආරම්භ විය හැකිය. ලැකාන්ට අනුව, යථාර්ථය යනු යථාර්ථය විනාශ කරන දෙයයි. එනම් යථාර්ථය අඩුව පෙන්වන්නේ එයයි.ඒ අනුව සංකේතනයහිම අසාර්ථකත්වය තුළ එය මෙසේ හෙළිදරව් වේ. එනම් යථාර්තය වෙනස් කරමින් දරා සිටිනුයේ ෆැන්ටසිය මගිනි.

ඒ අනුව “සංවිචාරණීය සමාජය” වැනි කතන්දර ඇතුළු “බුද්ධිමය සංවාද” අවශ්‍ය වන්නේ අදාළ බුද්ධිමතුන්ගේ සමාජය සඳහා මැදිහත් වීමේ ප්‍රජාතාන්ත්‍රික පිළිගැනීම තහවුරු කරමින්, පවතින යථාර්තය වෙනස් කිරීමේ කතිකාව ගොඩනැගීම සඳහාය. එය මතුවන්නේද යථාර්තය තුලින්මය. ඒ එහි අඩුව පෙන්වා දෙමිනි. ඒ අනුව බුද්ධිමතුන්ගේ ආමන්ත්‍රණය සමාජය තුල පිළිගැනීමට ලක්වීමට නම් ෆැන්ටසියට එරෙහිව නොයා එය විසින් වඩාත් හොඳින් ප්‍රමෝදය සහතික කරන බව තහවුරු කල යුතුය. විද්‍යාඥයින් සහ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයින් තුලින් ගොඩනැගෙන කතිකාවන් සමාජය තුල වඩාත් තහවුරු වන්නේ එබැවිනි. සමාජ-දේශපාලන සහ ආර්ථික කතිකාවන් ගොඩනැගෙනුයේ ඒවාට යටත්වය. නමුත් ඒ සියල්ල පවතින්නේ ‘ධනවාදී කතිකාව‘ (capitalist discourse) තුලයි. යථාර්තය වෙනස් කිරීම සඳහා මැදිහත් විය හැකි පුද්ගලවාදය ප්‍රජාතන්ත්‍රවාදයට අනුව අනීවාර්ය තත්වයකි. 

15 1024x666

 

ප්‍රජාතන්ත්‍රවාදය පදනම් වන්නේ බලයේ ස්ථානය ව්‍යුහාත්මකව හිස් බවත්, මහජන ඡන්දයෙන් බලය නීත්‍යානුකූල වන බවත්, එනම් මෙම බලය තාවකාලික බවත්, ඡන්දයෙන් තේරී පත් වූ නිලධාරීන් නාමිකව පමණක් බවත්, ඔවුන් සැමවිටම මතක තබා ගත යුතුය යන අදහස මතය. එසේම ඔවුන් තාවකාලිකව බලය අල්ලාගෙන සිටින ස්ථානය සමඟ ඔවුන්ව අනන්‍ය කොට නොගෙන, තාවකාලික වශයෙන් පාලනය කරන ජනතාවගේ සේවය සඳහා විය යුතුය යන්නයි.

ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපෘතිය සැමවිටම ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යුහාත්මකව හිස් කේන්ද්‍රය වටා පමණක් කැරකෙන විට එහි ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ පුද්ගලාරෝපණය පමණි. ඒ අනුව මීට පෙර සඳහන් කල ලෙසම ශුද්ධ සබුද්ධිකත්ව ලිබරල් අදහස විසින් ෆැන්ටසිය පුරවා දමන්නේ (ෆැන්ටසිය අයත් වන්නේ වාස්තවික වශයෙන් ආත්මීයත්වය වෙතටය) සහ ෆැන්ටසිය යථාර්තය වෙත සම්බන්ධිත වන්නේ අප විසින් යථාර්ථය ස්වභාවික (ප්‍රජාතන්ත්‍රවාදය) ලෙස භාරගෙන ඇති බැවිනි. එවිට සියලු දෙනාගේ අපේක්ෂාව වන්නේ අහිමි ලෝකය සාක්ෂාත් කොට දෙන ෆැන්ටාස්මැටික දේශපාලන පොරොන්දුව ගොඩනගන බුද්ධිමය සංවාදයන්ගේ මැදිහත්වීමයි. මෙහිදී අවධාරණය කල යුතු වැදගත්ම කාරණය වන්නේ ලිබරල් නොවන වාමාංශික යැයි පවසන කොටස් සත්තකින්ම දරා සිටිනා ස්ථාවරය ලිබරල් ස්ථාවරයෙන් වෙනස් නොවීම පිළිබඳවයි. ඔවුන්ගේ ද ස්ථාවරය වන්නේද ශුද්ධ සබුද්ධිකත්වයේ මැදිහත් වීම විසින් ගොඩනගන සමාජයකි.

ඒ අනුව යමෙකුට පැවසිය හැක්කේ ලැකානියානු ස්ථාවරයද එවැනි  “සමාජ ගොඩනැංවීම්වාදයක්” ලෙසය. නමුත් එය ගොඩනැංවීම්වාදයක් නොවේ. ගොඩනැංවීම්වාදයන් වෙතින් එහි පැහැදිලි වෙනසක් ඇත. ලකාන්ට අනුව “සමාජ ගොඩනැංවීම්වාදය” අර්ථවත් කළ හැකි වන්නේ ‘යථ’ (The REAL) වෙතට ඇති සම්බන්ධය නියෝජනය කිරීමේ ක්ෂේත්‍රය ඇතුලත එහි ප්‍රතිවිපාක දැනෙන්නට වීම තුල පමණි. නමුත් ලැකානියානු “සමාජ ගොඩනැංවීම” අර්ථවත් කළ හැක්කේ එහි ප්‍රතිවිපාක නියෝජන ක්ෂේත්‍රය ඇතුලත දැනෙන ‘යථක්’ සම්බන්ධයෙන් පමණි. එබැවින් ලැකාන් තුළ වෙනස් ‘ස්වභාවයන්’ (nature) දෙකක් හඳුනා ගත හැකිය. ඒ ‘ස්වභාවය’ (nature) යථාර්ථය ලෙස, එනම් සමාජ ගොඩනැංවීමක් (social construction) ලෙස සහ සෑම විටම සමාජ ගොඩනැගීමේ ක්ෂේත්‍රයෙන් පිටත ‘ස්වභාවය’ ‘යථ’ (The REAL) ලෙස පිහිටුවීමයි. 

 

ලකානියානු ස්ථාවරයට අනුව සමාජ ප්‍රතීඝතාවය බොහෝ විට අර්ථවත් වන්නේ එය ප්‍රතිවිරුද්ධ අනුපූරක යුගලයක් ලෙස අර්ථ නිරූපණය කිරීමෙනි යන්න නොපිලිගනී. එසේ වූ විට එය අනීවාර්ය දෘෂ්ටිවාදී ගූඩකරණයක් බවට පත් වේ. ලකානියානු ස්ථාවරයට අනුව යථාර්තය සංස්ථාපනය වී ඇත්තේ සංකේතනය මගින් සහ සංකේතනය යනු සත්‍යයේ වේශයෙන් ප්‍රභන්ධය භාරගන්නා ස්ථානයයි. එවිට ඇත්ත වශයෙන්ම දෘෂ්ටිවාදී නොවන ස්ථානය පවතින්නේ යථ තුල පමණි. එනම් ප්‍රතීඝතාවයහි යථය (the Real of the antagonism). නමුත් මෙය සැබවින්ම අපට නිමග්න වීමට හැකි ස්ථානයක් නොවේ. නමුත් එය අනෙක් අතට අපගේ අව්‍යවහිත (immediate) අත්දැකීමේ අඩංගුව “දෘෂ්ටිවාදාත්මක” යයි ප්‍රතික්ෂේප කිරීමට අපට බලය පවරන අතිරේක-දෘෂ්ටිවාදාත්මක සමුද්දේශයේ ස්ථානයයි. වෙනත් වචන වලින් කියන්නේ නම් යථෙහි ප්‍රතීඝතාවය (antagonism of the Real) යනු සමාජ යථාර්ථයේ (සංකේත රටාව) දෙනලද පැවැත්ම විසින් භාරගත යුතු නියතයකි. මෙම ප්‍රතීඝතාවය යථෙහි අංගයක් (Part of the REAL) බැවින් එය දෘෂ්ටිවාදී ගූඩකරණයකට යටත් නොවේ. නමුත් අනෙක් අතට දෘෂ්ටිවාදාත්මක ගූඩකරණය තුල එහි බලපෑම දැකිය හැකිය. අප එක්තරා සුවිශේෂී දෘෂ්ටිවාදී විශ්ලේෂණයක් මත එකඟ වන්නේද නැද්ද යන්න පිළිබඳව නොසලකා, එහෙයින් පවතින බවට පූර්වකල්පනය කල යුතුම දෙය වන්නේ දෘෂ්ටිවාදයේම ආකෘතියයි.

 ඉන් පෙනී යන්නේ දේවල්හි “වාස්තවික සත්‍ය” (“objective” truth) වෙත කිසියම් වූ ප්‍රවේශයක් ලබාගත නොහැකි මුත් යථාර්තය ව්‍යුහගතව ඇත්තේ සංස්ථාපිත ප්‍රතීඝතාවයක් මතය යන්න අප අනුමත කරන්නේ නම් ඊට අදාළ දෘෂ්ටිවාදය පවතින බව භාරගත යුතුමය යන්නයි. එසේම, දෘෂ්ටිවාදය පවතින්නේ නම් අප හට හැකි විය යුතුම වන්නේ එය විවේචනයට යටත් කිරීමටය.

ඩිමො5


සංකේත නිෂ්පාදිතයන් තුල ස්ථානගත විය නොහැකි දෙය යනු මූලිකම ප්‍රතීඝතාවයකි. අවතාරමය ඌනපූරණයක වේශයෙන් යථාර්තය හොල්මන් කරන්නට නැවත පැමිණෙන යථෙහි අංගය මෙයයි. ලැකානියානු “සමාජ ගොඩනැංවීම” අර්ථවත් කළ හැක්කේ එහි ප්‍රතිවිපාක නියෝජන ක්ෂේත්‍රය ඇතුලත දැනෙන යථක් සම්බන්ධයෙන් පමණක් වන්නේ එබැවිනි.

ඒ අනුව අපට තත්‍ය දේශපාලනයේ නිමග්න විය හැකි ස්ථානය පවතින්නේ එතනය. එය කිසිසේත්ම පවතින යථාර්තයේ සිට ඊට පරිකල්පනීය විකල්ප යෝජනා කරනා (ශුද්ධ සබුද්ධිකත්වයේ මැදිහත් වීම) හෝ ඒවා ක්‍රියාවෙහි යොදනා (සාමුහික යයි පෙන්වන අධිකාරීත්ව ක්‍රියාකාරීත්වය) දේශපාලන ව්‍යාපෘතියක් නොවේ.

එබැවින් අපට මෙසේ කිව හැකිය. අපව ආරක්ෂා කරන්නේ අපගේ විශ්වීය අයිතිවාසිකම් විසින් නොව ආරක්ෂාව ඉල්ලා සිටින්නේ අපගේ විශ්වීයත්වය විසින් බවයි. එවිට දේශපාලනිකය පවතින්නේ විශ්වීය ස්වභාවය ඇතුලතය. නමුත් ඒ ස්වාධිපත්‍ය වෙතින් එහි ආරක්ෂාව ලෙසයි. ආත්මය (subject) සමස්තය සමඟ තුල්‍ය වන අතර, එය සමාජ ලෝකයට මෙන්ම පුද්ගලයාට ද බෙදීමක් හඳුන්වා දෙන ආත්මය වේ.

එයම වෙනත් ආකාරයකින් ප්‍රකාශ කරන්නේ නම්, ප්‍රජාතන්ත්‍රවාදයට අනුව අපව ආරක්ෂා කරනුයේ විශ්වීය ඓතිවාසිකම් විසිනි (ජාතියක් හෝ පුද්ගලයෙකු වීම තුල අහිමි කල නොහැකි ඓතිවාසිකම්). නමුත් ලකානියානු අර්ථයෙන් එය එසේ නොවේ. සත්තකින්ම ආරක්ෂාව ඉල්ලා සිටිනුයේ අපගේ විශ්වීයත්වය විසිනි. එනම් ධනවාදය තුල හිස්ටීරික ආත්මයයි. එවිට දේශපාලනය ක්‍රියාත්මක වන්නේ මිනිස් විශ්වීය ස්වභාවයේ පදනම මතය (මිනිසුන් පීඩාවට පත්වන්නේ එම පොදුතාවය තුලය). ප්‍රජාතන්ත්‍රවාදය තුල පුද්ගල ආත්මීය ස්වාධිපත්‍ය විසින් එසේ ආරක්ෂාව ඉල්ලා සිටින විට ඊට අදාලව ස්වාමියා හිස්ව පැවතීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයයි.

 

ඩිමො7

 

ලංකාව තුල ඇති වී තිබෙන තත්වයම උදාහරණයට ගතහොත්, මිනිසුන් මූලික වශයෙන්ම පීඩාවට පත්ව තිබුනේ ඉන්ධන සහ ගෑස් හිඟය තුලය. මධ්‍යම පන්තිය ඇතුළු ඊට ඉහල පන්තිවල ප්‍රශ්නය වූයේ ඒවායේ හිඟ කම මිස මිල වැඩි වීම නොවේ. නමුත් ඊට පහල පන්තීන් වලට මිල ඉහල යාමද විවිධ මට්ටම් වලින් බලපෑවේය. එසේ වීම තුල මිනිසුන්ගේ ජීවිත වලට විවිධාකාර බලපෑම් එල්ල විය. ගැලවී ගත නොහැකි, ජීවිත වලින් පවා වන්දි ගෙවීමට සිදු වන තත්වයන් උදා වූයේ අධ්‍යතන ධනවාදය තුල ගොඩ නැගී ඇති සංකීර්ණතාවය තුලය. එවිට ඉල්ලීම් ඉල්ලන මිනිසුන්ට දැනෙන පීඩාව සහ පීඩාවට භාජනය වීමේ (ශාරීරික සහ මානසික) ස්වභාවය විශ්වීය වේ (එනම් ඕනෑම සමාජයක මනුෂ්‍යත්වයට අදාලව). එනම් ඕනෑම මනුෂ්‍යයෙකුට පොදු තත්වයකි. නමුත් ඉල්ලීම් පැමිණෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ විශ්වීය ඓතිවාසිකම් තුලය. ඒ තුල කෙනෙකුට පැවසිය හැක්කේ මේ අර්බුධය හේතුවෙන් හෙලිකොප්ටරයකින් ගමන් බිමන් ගිය තමන්ට දැන් එසේ කල නොහැකි වීමෙන් පීඩාවට පත්ව ඇති බවය. එවැනි තවත් විවිධාකාර බොහෝ තත්වයන් (ඉන්ධන නොමැති වීම නිසා තමන් ගත කල ෆන් ජීවිතය අහිමි වීම නිසා මානසික ව්‍යාකූලතා, හර්ධයාබාධ වැළඳුන සහ සිය දිවි නසාගත් අයද සිටී) මෙන්ම එහි අනෙක් අන්තය වන්නේ මූලික අවශ්‍යතා නොමැති වීම නිසා පීඩාවට පත්වන්නන්ය. නමුත් සියලු දෙනාට අදාළ පීඩාවේ ස්වභාවය විශ්වීය (ශාරීරික-මානසික) වුව ද ඉල්ලීම් (ඓතිවාසිකම්) පැමිණෙන්නේ විවිධාකාර ඉල්ලීම් බහුල්‍යක් සහ තවත් දෑ නිර්මාණය කරමිනි. එසේ බලන විට දාර්ශනික උනන්දුව පිළිබඳව ඉතිරිව ඇති දෙය වන්නේ ‘අනෙකා තුළ අඩුවයි’ (‘lack in the Other’). එනම් දර්ශනය ස්ථාන ගතවන්නේ අනෙකාගේ කතිකාවේ අඩුව තුලය (ඓතිවාසිකම් සහ නොතිත් විවිධත්වය තුල ඇති වන ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් වන දාර්ශනික-බුද්ධිමය සංවාදය. එසේ නොමැති නම් ආගමේම ලෞකික ස්වරූපය). එනම්, අත්දැකීම්වල වාස්තවික පැත්ත තුළ බෙදීමයි.

මා හට (ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙලක ආත්මයක් ලෙස) යමක් සමග අනන්‍ය වීමට අවශ්‍ය කරන්නේ නම්, එයට හේතුව සමාජ සමස්ථයක් සමඟ අනන්‍ය වීමට මගේ උත්සාහයේ අඩුවක් ඇති බවයි. නමුත් ඊට අමතරව, සම්පූර්ණ අනෙකෙකු සමඟ අනන්‍ය වීමට මගේ උත්සාහය ද කළ නොහැක්කකි. මට විද්යාඥයයෙකු වීමට, නවීන පන්නයේ නිවසක්, කාර් රථයක්, වැනි දේ අවශ්‍ය වන්නේ (ඊට එහා ගිය ආශාවන් පිළිබඳව තත්වයද එයයි), පාරිභෝජනයවාදය තුල කිමිදෙන්නේ, එය සමග අනන්‍ය වන්නේ ඊට ඇති ප්‍රජාතාන්ත්‍රික අයිතිය පිළිගැනීම තුල සමාජ සමස්ථයක් සමඟ අනන්‍ය වීමේ අඩුවක් මා තුල ඇති බැවිනි. එය අවසන් නොවන පුනරාවර්තනීයත්වයකි. පුනරාවර්තනීයත්වය තුල විවිධාකාර පාරිභෝජන භාණ්ඩ මෙන්ම විවිධාකාර මිනිස් වටිනාකම් (නාසා විද්යාඥයාගේ සිට කසල ශෝධකයා දක්වා) නැවත නැවත අලුත් කෙරේ.

ලකානියානු මනොවිශ්ලේෂණයට අනුව කථනය ආරම්භ වන්නේ ඊගොවෙන් නොවේ. ආත්මයෙන් පවා නොවේ. කථනය ආරම්භ වන්නේ අනෙකාගෙන් (Other) බව තර්ක කිරීමේදී ලැකාන් අවධාරණය කරන්නේ කථනය සහ භාෂාව කෙනෙකුගේ සවිඥානික පාලනයෙන් ඔබ්බෙහි බවය. ඒවා පැමිණෙන්නේ වෙනත් ස්ථානයක සිට, සවිඥානිකත්වයෙන් පිටත, සහ එබැවින් ‘අවිඥානය යනු අනෙකාගේ කතිකාවයි’ (ඒ අනුව ආශාව සැම විටම අනෙකාගේ ආශාවය). නමුත් තමන්ගේ අවිඥානය සකස් කරනා අනෙකා තුල සැමවිටම ඇත්තේ අසම්පූර්ණත්වයකි. එනම් අනෙකා විසින් සංස්ථාපනය කරන ලද හැඟවුම්කාරක භාණ්ඩාගාරය වෙතින් සැමවිටම හැඟවුම්කාරකයක් අතුරුදන්ව තිබීමයි. එය අපේක්ෂිත ස්ථානයේ නොමැති නිසා සොයාගත නොහැක. ඒ අනුව මිථ්‍යා මතික (පුරාණෝක්ති) පරිපූර්ණ අනෙකා නොපවතියි (දර්ශනය මැදිහත්වන්නේ මෙතනටය).

 

ඩිමෝ 8

 

අවිඥානික සමාජ ෆැන්ටසියේ භූමිකාව වන්නේ අනෙකාට ආත්මයෙහි අනන්‍යතාවය සහතික කළ නොහැකි බව වසන් කිරීමයි. ශිෂැක් විසින් එය විස්තර කරනුයේ, අනෙකාගේ අසංගතභාවය ලෙසත්, මහා අනෙකා (big Other) නොපැවතීම සහ අනෙකා තුළ අඩුව ලෙසත්ය (දර්ශනයේ ක්‍රියාකාරීත්වය ඇත්තේ මෙතනය). ප්‍රජාතන්ත්‍රවාදී සමාජ පර්යායට එහි පරමාදර්ශ විසින් නියම කරන දේ සැපයිය හැකි බවට කිසිදු සහතිකයක් නොමැති වීම වසන් කරනා ඉදිරි සමාජ මූලාරම්භ ෆැන්ටසියක් තුල ඓතිහාසික අවශ්‍යතාවයක් ලෙස සමාජ ෆැන්ටසිය විසින් මෙම ආචරණය සාක්ෂාත් කොට ගනු ලබන්නේ දේශපාලන ආපතිකතාවය (contingency) පිළිබඳ එහි පාරක්‍රියා ආඛ්‍යානය මගිනි (උදා: සමානාත්මතාවය, නිදහස, සහයෝගීතාව). එනම් එහි මූලධර්මයක් වන ‘සමානාත්මතාවය’ යන්න සැලකුවහොත් ප්‍රජාතන්ත්‍රවාදය තුල කිසි සේත්ම සමානාත්මතාවය යන්න සාක්ශාත්කොට ගත නොහැකිය. නැවතත් ලිපියේ ඉහත උදාහරණය වූ උපරිමය නාසා විද්‍යාඥයා වන විට අවමය කසල ශෝධකයා ලෙස ගතහොත් එම උපරිම අවම ආත්මීයත්වයන් කිසි ලෙසකින් සමාන නැත. නිදහස සහ සහයෝගිතාවය සම්බන්ධ තත්වයද එසේය. ඒ අනුව සැම විටම ප්‍රජාතන්ත්‍රවාදය තුල මේ ප්‍රශ්නය විසඳීමට උත්සාහ දරනුයේ සියලු දෙනාගේ ක්‍රය ශක්තිය ඉහල දැමීම, මධ්‍යම පන්තිය විශාල කිරීම, සදාචාර සමාජයක් ගොඩනැගීම සහ ඊට අදාළ අචාරධර්ම සඳහා අවශ්‍ය බුද්ධිමය සංවාදය නඩත්තු කිරීම වැනි තවත් බොහෝ කටයුතු තුලය. නමුත් ඒ සියල්ල ක්‍රියාත්මක කිරීමට යාමේදී ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකාංගම උල්ලංඝනය වෙමින් අර්බුධය උග්‍ර වේ (කාලෙන් කාලයට ද්වි පක්ෂ යාන්ත්‍රනය වෙනස් වන්නේ සහ අරගල ඇති වන්නේ එබැවිනි). ඒ සෑම විටකම සමාජ ෆැන්ටසිය විසින් එම ප්‍රතිපලයන් සාක්ෂාත් කොට ගනු ලබන්නේ දේශපාලන ආපතිකතාවය (contingency) පිළිබඳව කතාන්දරය, එනම් සාක්ශාත් කොට ගත හැකි නමුත් නිශ්චිතව එසේ වේ යයි කිව නොහැකි අනාගත දේශපාලන තත්වය ගැන සමානාත්මතාවය, නිදහස, සහයෝගීතාව වැනි ප්‍රජාතන්ත්‍රවාදයට කිසිදාක සහතික කල නොහැකි මූලිකාංග පිලිබඳ කතා කිරීම තුලයි.

අඩුව යනු ‘ප්‍රමෝදයේ’ අඩුවකි. මක්නිසාද යත් ලැකානියානු ස්ථාවරයට අනුව ආත්මය සංකේතාත්මක ක්ෂේත්‍රය තුළ සිදු වන තමාගේම වඩාත්ම සමීපතම කොටස යැයි විශ්වාස කරන දේ අහිමි කරගෙන ඇති බැවිනි. ආශාව සැමවිටම ව්‍යුහගත වී ඇත්තේ මෙම අතුරුදහන් වූ ප්‍රමෝදය වටා සහ නීතියේ ආශක්‍ය තහනමක් වටාය. නීතිය මගින් ආශක්‍ය ප්‍රමෝදය නැවත අත්පත් කොට ගැනීමට ආශාවක් නිර්මාණය කරයි. ඒ අනුව ‘ආශාව’ සැමවිටම ඉදිරිපත් වී ඇත්තේ ‘ප්‍රමෝදයට’ ඇති අධිෂ්ඨානයක් ලෙසය. අඩුව විසින් අහිමි වස්තුව සමඟ පරිපූර්ණත්වය සහ ඒකාග්‍රතාවය පිළිබඳ අදහස හඳුන්වා දෙන අතර ඒ ප්‍රතිලෝම වශයෙන් නොවේ. බැහැර කොට ඇති දෙයට අප ආරෝපණය වන්නේ බහිෂ්කරණ ක්‍රියාවක් හරහාය. යථෙහි (the REAL) සහ සංකේතනයේ (symbolic) අන්තර්ඡේදනය හිදී අඩුව හඳුන්වා දෙනු ලබන අතර එබැවින් එය ඉස්මතුවන්නේ යථ සංකේතිකරණය තුලිනි.

 

ඩිමෝ 9

 

ආශාව හරියටම අල්ලාගත නොහැකි වන්නේ එය සැමවිටම වෙනත් තැනක පවතින බැවිනි. අලුත් දේ සඳහා අපගේ ආශාව පොළඹවනු ලබන්නේ ෆැන්ටසිය විසිනි. ෆැන්ටසිය යනු ප්‍රමෝදය අහිමි වීමෙන් නිර්මාණය කරන ලද අනෙකා තුල අඩුව, හිඟකම, ආවරණය කිරීමට පොළඹවන සහ පොරොන්දු වන ව්‍යුහයකි. ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන පුනරාවර්තනීය ව්‍යුහය මෙයයි.

ලකාන්ට අනුව මෙයට ද කප්පාදුවේ (castration) බලපෑමක් ඇති බැවින් එය කප්පාදුවට ද එරෙහිව ආරක්ෂණයකි. ෆැන්ටසිය සේවය කරනුයේ සංකේතනයේ අනෙකා තුල අඩුව සඳහා හිස් තැන පිරවීමේ සහයක් ලෙසය. ෆැන්ටසියේ මායාකාරී ස්වභාවය සේවය කරනුයේ ආශාව සඳහා සහයක් ලෙසය. ආශාව පවත්වා ගැනීම සඳහා වස්තුවේ කාර්යභාරය වන්නේ… එනම්, අනෙකා විසින් හිඟව පවත්වා ගන්නා දෙය සපයා දීමට පොරොන්දු වන සහ ඒ අනුව ආත්මයන් ලෙස අපව එක්සත් කරන, ප්‍රමෝදයේ වඩාත්ම මිත්‍යාදෘෂ්ටික ආත්මයේ ඉතිරිය ලෙස වස්තුව පෙනී සිටීම ලෙසය. ආත්මය මෙසේ වීමට හේතුව ඇති කරනුයේ මිත්‍යාදෘෂ්ටික වස්තුව මගිනි. මිත්‍යාදෘෂ්ටික ආත්මය හෝ යම් කිසි දෙය ප්‍රමෝදයේ පැනවීම ඉදිරිපිට ඉස්මතුවීම යනු ලකාන් විසින් ප්‍රමෝදයේ ආත්මය යනුවෙන් පවසන දෙයයි.

ක්‍රියාකාරී පරිපූර්ණත්වයක් පොරොන්දු වීම සහ ෆැන්ටසි ධනාත්මකකරණයේ අඩුව මගින් අනෙකා තුල අඩුව දැරිය හැකි බවට පත්කරනුයේ ෆැන්ටසිය නිසාය (දියුණුව සහ සංවර්ධනය තුල අදට වඩා ඉදිරිය වඩාත් යහපත් වනු ඇත යන අපේක්ෂාව). ඒ අනුව සංකේතනය සහ අඛණ්ඩ යථෙහි අන්තර් ඡේදනයේදී අනියම් ඉස්මතුවීම වෙතට පිළිතුරක් ලෙස පරිකල්පනීය පොරොන්දුවක් එය විසින් හඳුන්වා දේ. එතැන් සිට ෆැන්ටසියේ වස්තුව සතුව දෙයාකාර තත්වයක් ඇත. එනම් එය ආත්මය තුල හිඟ කරගනිමින් ඇති වස්තුව වනවා සේම හිඟය පුරවන වස්තුව එයයි.

දේශපාලන යථාර්ථය මුලින්ම සංකේතාත්මක තලයේ සංස්ථාපනය වන අතර එයට තහවුරුව ලබා දෙන්නේ ෆැන්ටසිය මගින් සේම, දේශපාලනිකය යථෙහි බලපෑම අඩංගු කොට ගන්නේ ඒ නිසාමය. සංස්කෘතිය, ආගම සහ විද්‍යාව, යන සියල්ලම සලකා බැලිය යුත්තේ යථට ඇති සංකේතනයේ අසමත් වීම වෙතට තිබෙන සම්බන්ධය තුලය. වර්තමාන තත්වය තුල “අපට කිසි විටකත් නිශ්චිත වශයෙන් දේශපාලනික වීම පිළිබඳව කතා කල නොහැක්කේ සමාජීය කඩාකප්පල් කිරීම සහ විස්ථාපනය නිසාවෙනි” (ප්‍රජාතාන්ත්‍රික ඉල්ලීම් ,ඓතිවාසිකම් ඇතුළු පාරිභෝජනවාදයේ ඉල්ලෙම්, අධ්‍යාපන ඉල්ලීම් වැනි අරගල තුල). ඒ අනුව දේශපාලනික වීම ස්ථාන ගත වන්නේ නව තත්වයක් සඳහා වන එක් සමාජ-දේශපාලනික අනන්‍යතාවයක් (ප්‍රජාතන්ත්‍රවාදය) සහ ආශාවේ නිර්මාණය අතර අන්තරාලය තුලය.

ඩිමො6

 

මනෝවිශ්ලේෂණ ක්‍රියාවලියේ අදියර දෙකක් ඇති අතර, ඒ අනුව සමාජයක ප්‍රජාතන්ත්‍රවාදී සෞඛ්‍යය තක්සේරු කිරීම:

1. රෝග ලක්ෂණ අර්ථ නිරූපණය (ප්‍රජාතන්ත්‍රවාදයේ රෝග ලක්ෂණ පිළිබඳ විවේචනාත්මක තක්සේරුවක්).

2. ෆැන්ටසිය හරහා වැඩ කිරීම – හරහා යාමෙන් අප පෙන්විය යුත්තේම එය හුදෙක් කිසිදා සපුරා ගත නොහැකි වස්තුවක් වටා රවුම් ගසන ෆැන්ටසිය සාරභූත නොවේ යන්නයි (ප්‍රජාතන්ත්‍රවාදයේ කාර්යය – ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවට නැංවීම, විරෝධතා දැක්වීම, උද්ඝෝෂණ කිරීම සහ දේශපාලන බලමුලු ගැන්වීම).

‘සින්තොම්’ (sinthome) හෝ “ප්‍රමෝදය දරා ගැනීමේ හැඟවුම්කාරකය” භාවිතයෙන් රෝග ලක්ෂණයක නොනැසී පැවතීමෙන් ඔබ්බට යන්නේ කෙසේද යන ගැටලුවට ලැකාන් පිළිතුරු දුන්නේය. ‘සින්තෝමය’ යනු ආත්මයන් ලෙස අපි උමතුභාවයෙන් වැළකී සිටින මාර්ගයයි. එය අපගේ ප්‍රමෝදය හැඟවුම්කරණීය දාමයකට බැඳ තබන ආකාරය හෝ ලෝකය තුල අපගේ සත්තාවට නිශ්චිත සංගතතාවයක් සතු කරනා සංකේතීය ක්‍රියාකාරීත්වයකි.

සියලුම මනෝවිශ්ලේෂණ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ කාර්යයේදී රෝග ලක්ෂණය දැනටමත් ඇති ස්ථානය සමඟ ඔබම හඳුනා ගත යුතුය… මෙම අරගලය තුළ අනෙකුත් අරගලවල සදාකාලික පුනරාවර්තනය ඔබ දැකිය යුතුය… මුස්ලිම් විරෝධී සහ ඉස්ලාම් භීතිකා අරගලවල, සිවිල් අයිතිවාසිකම් අරගලය සහ සමලිංගික හා සමලිංගික අයිතිවාසිකම් විරෝධී අරගල. ප්‍රතීඝතා (antagonisms) අනුභූතිකව වෙනස් වුවද, රෝග ලක්ෂණ නොනැසී පවතින අතර ඒවා දරා සිටිනා ෆැන්ටසීන් සමාන ආකාරවලින් පරික්‍රමනය කරයි.

 

මතු සම්බන්ධයි…

නවතම ලිපි