ප්‍රජාතන්ත්‍රවාදය යනු ආශාව පිළිබඳව ප්‍රශ්නයේ ක්‍රියාකාරීත්වයක් ලෙස සලකනුයේ

ලකානියානු මනොවිශ්ලේෂණය පමණි (මාක්ස්වාදී දේශපාලන කතිකාව). එනම් එම දේශපාලන ආත්මීයත්වයේ (ඉල්ලීම් සහ ඓතිවාසිකම් ඉල්ලන, පරිකල්පනීය විකල්ප යෝජනා කරන සමාජ ගොඩනැංවීම්වාදය) ආකාරය යනු ආශාව පිළිබඳව ප්‍රශ්නයේ ක්‍රියාකාරීත්වයකි.

ප්‍රජාතන්ත්‍රවාදය අර්ථ දැක්වීමේදී ඒ පිළිබඳව නහුතයක් අදහස් දක්වන උගතුන් කටපාඩමින් මෙන් උච්ඡාරණය කරනා ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ මූලධර්ම කිහිපයක් තිබේ. ඒ අතර නිදහස් මැතිවරණ, සමානාත්මතාවය, භාෂණයේ නිදහස, ජන මාධ්‍ය නිදහස, විරෝධතා දැක්වීමේ අයිතිය වැනි මූලධර්ම ප්‍රධාන කොට සැලකේ.

ඔවුනගේ ප්‍රජාතන්ත්‍රවාදය  පිළිබඳව අර්ථකතනීය සීමාව එයයි. ප්‍රජාතන්ත්‍රවාදය ස්වභාවික වී ඇති තත්වයක් තුල එය ආශාව පිළිබඳව ප්‍රශ්නයේ ව්‍යුහගත වීමක් සහ ක්‍රියාකාරීත්වයක් ලෙස සලකනුයේ ලකානියානු මනොවිශ්ලේෂණය පමණි. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව මේ ලිපි පෙළ ලකානියානු ස්ථාවරයේ සිට කෙරෙන විශ්ලේෂණයකි.

ස්පාර්ටකස්5

ලංකාව තුල අපට මතක ඇති කාලයේ සිටම සියලු දේශපාලනඥයින් වෙතින් රැව් පිළිරැව් දුන් වදන වූයේ ප්‍රජාතන්ත්‍රවාදයයි. ඒ අතරින් වැඩි පුරම ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කල පුද්ගලයෙකු වූයේ ජේ. ආර්. ජයවර්ධනය. ජේ. ආර්. ට එරෙහි විපක්ෂ කණ්ඩායම් වල ප්‍රධාන චෝදනාව වූයේ ඔහුගේ පාලනය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය දිගින් දිගටම උල්ලංඝනය වන බවය. එවිට ඔහුගේ පිළිතුර වූයේ ලංකාව තුල එන්න එන්නම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන්නේ තම පාලනය යටතේ බවත්, තමන් උත්සාහ දරනුයේ සමාජයේ සියලුම දෙනා හට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අත්පත් කොට දීමට බවත්ය. ඔහු විසින් නිදහස්- විවෘත ආර්ථිකය ඇති කරන ලද්දේ ඒ සඳහා බවත්ය.

කාලයක් ලංකාවේ තිබූ ප්‍රධාන ප්‍රශ්නයක් වූයේ නිදහස් හා සාධාරණ මැතිවරණ නොමැති වීම පිළිබඳව ප්‍රශ්නයයි. ඒ අනුව ජනතා කැමැත්ත නිසි ලෙස මූර්තිමත් නොවන බව ප්‍රජාතන්ත්‍රවාදී චෝදනාව විය. නමුත් මේ වන විට එම ප්‍රශ්නය සහමුලින්ම පාහේ විසඳි ඇත. ඒ අනුව දැන් පවතින්නේ ජනතා කැමැත්තෙන් නිසි ලෙස පත් වූ ආණ්ඩු වන අතර පැරණි චෝදනාව ඒ ආකාරයෙන් කිසිවෙකුටත් ප්‍රකාශ කල නොහැකිය. එසේ නම් දැන් එවිට ප්‍රශ්නය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම මූලධර්මයක් වන නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම තුල එසේ නොමැති කාලයේ තිබුනාට වඩා වෙනස් ආණ්ඩු පත්ව ඇත්ද යන්නයි (මෙය ලෝක පරිමානයෙන්ද මෙසේය). ඉන් පෙනී යන්නේ අදාළ සටන් පාඨය ව්‍යාජ සටන් පාඨයක් බවයි. නමුත් කෙනෙකුට පැවසිය හැක්කේ එය ඉදිරි පිම්මක් බවත්, මේ වන විට නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වෙන තත්වයක් යටතේ අවංක, රටට, ජාතියට හිතැති වංචා දූෂණ සොරකම් නොකරන දේශමාමක උගත් බලවේගයකට ආණ්ඩු බලය ලබා ගැනීමට හැකියාව ඇති බවත්, ඉදිරියේදී එසේ සිදු වී "වඩා යහපත් සමාජයක්" උදා කර ගත හැකි බවත්ය. නමුත් ප්‍රශ්න විසඳි ඇති ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් මෙදියත පවතීද ?

ඉන් පසුව ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සටන් පාඨ වී ඇත්තේ රට තුල නීතිය සහ පිළිවෙල නිසි ලෙස සංස්ථාපනය නොවීම සම්බන්ධයෙන්ය. ඒ සම්බන්ධයෙන් පෙරමුණ ගත් බොහෝ වාමාංශික සහ ලිබරල් බුද්ධිමතුන් ඒ සඳහා විශ්වාසය තැබූයේ ජේ. ආර්ගේ බෑනා වන රනිල් වික්‍රමසිංහ වෙතය. ලංකාව වෙතට ප්‍රජාතන්ත්‍රවාදයේ නිම් වළලු පුළුල් කරන නියෝජිතයා ඔහු බවට පත්ව තිබුණි. ප්‍රජාතන්ත්රවාදයේ ප්‍රතිමූර්තිය ඔහු බවට පත්ව තිබුණි. නමුත් ඔහුට ජනතා කැමැත්ත හිමි නොවුනි. දැන් ඔහු රටේ ජනාධිපතිවරයා බවට පත්ව ඇත.

මෝ ඩිමෝක්රසි3

රනිල් වික්‍රමසිංහ අගමැති සහ ජනාධිපති වීමට පෙර අරගලකරුවන්, අරගල උපදේශකයින් සහ සහායකයින් යන සියලු දෙනා චෝදනා කරනු ලැබූයේ රාජපක්ෂවරුන් විසින් ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරමින් අරගලය මැඩපැවැත්වීමට උත්සාහ දරන බවය. රනිල් ජනාධිපතිවරයා බවට පත්වන්නේ මේ වසර මුල සිට දිග හැරුණු අරගලයේ ප්‍රතිපලයක් ලෙසය. ඔහු දිගින් දිගටම සෑම විටම ඉතාමත්ම අවධාරණයෙන් කියා සිටි දෙය වූයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කොට ගත යුතු බවය. ඔහුට අනුව ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවතිය යුතු උද්ඝෝෂණ වන්නේ රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව මුලින්ම පැවත් වූ උද්ඝෝෂණ මාදිලියේ ඒවාය (උදා: කොළඹ මධ්‍යම පාන්තිකයින් විසින් ඉටිපන්දම් අල්ලාගෙන පාර දෙස බලා ගෙන සිටීම, ජනාධිපති ලේකම් කාර්යාලය ආලෝක දහරාවන්ගෙන් නැහැවීම වැනි...). එසේ නොමැතිව අට්ටාල ඉදි කොට ගෙන සිටීම වැනි ක්‍රියාවන් පවා රනිල් විසින් සලකනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට බාදාවක් ලෙසය (රනිල් පමණක් නොව ලොවට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව උපදෙස් දෙන ඇමරිකාව ඇතුළු බටහිර සහ යුරෝපා රටවල් වල ද ස්ථාවරය එයයි). නමුත් රනිල්ට ජනාධිපති විය හැකි වූයේ මැයි නම වෙනි දින ඇති වූ දැවැන්ත ප්‍රහාරය, ඉන් පසුව මන්දිර අල්ලා ගැනීම, රූපවාහිනිය වැනි ආයතන වලට කඩා පැනීම වැනි ක්‍රියා නිසාය. එසේ නොකොට රනිල් පිළිගන්නා, එනම් ලිබරල්, වැදගත් ගෝල්ෆේස් පන්නයේ උද්ඝෝෂණ පමණක් තිබුනේ නම් රාජපක්ෂවරුන් කිසි ලෙසකින් පසු බැස නොයනු ඇත.

ඩිමෝ3

රනිල් විධායක ජනාධිපතිවරයා බවට පත් වී පැය විසි හතරක් යන්නට ද මත්තෙන් යුධ හමුදාව සහ පොලීසිය යොදා අරගල කරුවන්ට රාත්‍රීයේදී එල්ල කල ප්‍රහාරයෙන් දුන් පණිවිඩය වූයේ අරගල මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය ඕනෑම ක්‍රියායාමාර්ගයක් ගන්නා බවය. එනම් අරගල කිරීමට ඉඩ නොදෙන බවය. ප්‍රජාතන්ත්‍රවාදයට අනුව ඕනෑම අරගලයක් මැඩපැවැත්වීමේ ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සතුය. එසේම ඊට පිටතින් පාවිච්චි කරනා උපක්‍රම ද කිසි සේත්ම නීති විරෝධීයයි ඔප්පු කල නොහැක. ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් වී ඇත්තේ අදාළ ප්‍රතිපාදන සහිතවය. එවැනි උපරිම ප්‍රතිපාදන සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇත්තේ "ලොව උතුම්ම රට" ලෙස සැලකෙන ඇමරිකාවේය.

ඒ අනුව බලන කල සැබෑ ප්‍රජාතන්ත්රවාදියා රනිල්ය. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම මූලධර්මය වන ප්‍රභූ තන්ත්‍රයේ පැවැත්ම අර්බුධයට ගිය හොත් මුළු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයම අර්බුධයට යන බව ඔහු දිගින් දිගටම නැවත නැවත අවධාරණය කල කාරණයයි. ඔහු එය පක්ෂ විපක්ෂ අනෙකුත් දේශපාලනඥයින් වෙත මෙන්ම රටේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරික ප්‍රජාවටද අවධාරණ කොට ඇති බව පෙනේ. රට තුල දේශපාලනය කිරීමට ප්‍රභූ තන්ත්‍රය වෙත ඇතුල් වීම සඳහා උපරිම නිදහසක් ඇති කිරීම සෞඛ්‍ය සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ලක්ෂණය බව ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ප්‍රතිමානයකි. ජේ.ආර්. මෙන්ම රනිල් ද ඒ බව පිලිගනී. රනිල් විසින් මර්ධනය සහ බිය ගැන්වීම දියත් කරන ලද්දේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහාය. නමුත් එය වාමාංශික කොටස් පිළිනොගනී. එසේම ලිබරල්වාදීන් ද ඒ ගැන කතා කිරීමට කොහෙත්ම කැමති නැත.

අරගලයෙන් දකුණ ජයගනී මාතලන්

තත්වය එසේ නම් කිසිවෙකුටත් සංයුක්තව පෙන්වා දිය නොහැකි, එහෙත් සියලු දෙනා භාරගෙන ඇති සහ ඉතාමත්ම අභිමානයෙන් උච්ඡාරණය කරනා මේ ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්ද?

ප්‍රජාතන්ත්‍රවාදයේ අනීවාර්ය අවශ්‍යතාවයක් වන්නේ එම ව්‍යුහයට අදාළ බහිෂ්කරණයක් පවත්වා ගැනීමයි. එනම් ප්‍රජාතන්ත්‍රවාදය තුල ප්‍රතීඝතාවය (antagonism) මුණගැසෙන්නේ, පැමිණෙන්නේ, බහිෂ්කරණයේ ප්‍රශ්නයක් ලෙසය. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුලින් බහිෂ්කරණය කරන්නේ කුමක්ද යන්න, එනම් පුද්ගලාරෝපනයක් ලෙස වන ව්‍යතිරේකය සහ ඊට අදාළ පුද්ගල ව්‍යුහය අතර සම්බන්ධය අනන්‍යතාවන් දෙකක් ලෙස විභේධනය වීම තුලය. එම බහිෂ්කරණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයේ අනීවර්යතාවයක් සහ එය ඊට ඔබ්බවන ලද වේ. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය යන්න අනාගතයට අදාලව විකසිත වන දෙයක් බවටත්, ඇත්තටම නොපවතින දෙයක් බවටත් පත්ව ඇත. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය පැවතිය හැක්කේ පුද්ගලත්වාරෝපනයක් ලෙස පමණි. එනම් ප්‍රජාතන්ත්‍රවාදය සැමවිටම මූර්තිමත් වන්නේ පුද්ගලයෙක් තුලිනි (දූරාවලීන්ට අදාලව). එවිට එම ව්‍යතිරේකයට ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අදාළ නොවේ. එම පුද්ගලරෝපනයට නීති කැඩිය හැකිය. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නේ එම නීති කැඩීම තුලිනි.

විසි වැනි සියවසේ ඇති වූ ලෝක යුද්ධ දෙකමත්, සීතල යුද්ධය සේම ඉරාක යුද්ධය වැනි මෑත කාලින යුද්ධත් මූලික වශයෙන්ම ස්ථානගත කෙරුනේ ප්‍රජාතන්ත්‍රවාදී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී යන සහ සම්බන්ධ ප්‍රතිපක්ෂය (binary opposition) මතය. මෙහිදී එක් පාර්ශවයක් ප්‍රජාතන්ත්‍රවාදී වන අතර අනෙක් පාර්ශ්වය ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස පිහිට වේ. මෙම සහ සම්බන්ධ ප්‍රතිපක්ෂය මත දී  ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය කරනා පාර්ශවයට ලැබෙනා වාසිය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, එහි නාමයෙන් එය උල්ලංඝනය කිරීමට හැකි වීම, ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ මූලධර්ම තුල සහ ඒවාට අදාළ ප්‍රතිමාන මගින් එම උල්ලඝනය කිරීම සාධාරණීකරණය කල හැකි වීම (දෙවන ලෝක යුද්ධයේදී අක්ෂ බලවතුන්ගේ හමුදාව තරම්ම සාහසිකත්වයක් මිත්‍ර පාර්ශවය වෙතින්ද ප්‍රදර්ශනය විය), සහ රටක් තුල වාමාංශික කැරැල්ලක් වැනි තත්වයක් උච්චතම අවස්තාවන්හිදී සියලු ප්‍රභූන් (ප්‍රභූන් නොමැතිව ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක විය නොහැකිය) එක් පාර්ශවයක් ලෙස ගොනු වීම වැනි දෑය. එනම්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එය උල්ලංඝනය කල හැකි වීම සාමාන්‍ය තත්වයක් බවට පත් වේ. මෙවැනි විශේෂිත අවස්ථාවල දී පැහැදිලිවම මතු වී පෙනෙනා මේ ලක්ෂණය ප්‍රජාතන්ත්‍රවාදයේ නෛසර්ගික ගුණයකි. එනම්, ප්‍රජාතන්ත්‍රවාදය හැම විටම ක්‍රියාත්මක වෙන්නේ "ප්‍රජාතන්ත්‍රවාදී" සහ "ප්‍රජාතන්ත්‍රවාදී නොවන" යන සහසම්බන්ධ ප්‍රතිපක්ෂය මත සහ එබැවින් ඕනෑම අවස්ථාවක එය උල්ලංඝනය වීමට නියමිතය. ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සඳහා එය උල්ලංඝනය කිරීම අවශ්‍ය සහ නියත තත්වයක් වී තිබීම ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මේ ආකාරයයි. ලෝකේ ඕනෑම, ඊනියා දියුණු යයි සම්මත ප්‍රජාතන්ත්‍රවාදයන් පවා ක්‍රියාත්මක වෙන්නේ එම පදනම මතයි. “ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට ලක් වන ඕනෑම වෙලාවක” එය ආරක්ෂා කර ගැනීම සඳහා එය උල්ලංඝනය කල හැකිය.

ඩිමෝ4

 

ප්‍රජාතන්ත්‍රවාදයේ මෙම අතිමූලික නොහැකියාව (fundamental impossibility) මෙසේ න්‍යාය ගත කරන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදය නමැති ශුද්ධ ආකෘතිය මත වැටුණු පැල්ලම ලෙස හැඳින්විය හැකිය. වෙනත් ආකාරයකට පවසන්නේ නම් එම තත්වය යනු ප්‍රජාතන්ත්‍රවාදයේ අතිරික්තයයි. එම අතිරික්තය නිෂ්පාදනය කරනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදය විසින්මය. අනෙක් අතට ප්‍රජාතන්ත්‍රවාදය පවතින්නේ මේ අතිරික්තය මත පදනම් වීමෙනි. ප්‍රජාතන්ත්‍රවාදය තුළ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට අදාළව බහිෂ්කරණයක් පවත්වා ගැනීම අනිවාර්ය අවශ්‍යතාවක් වන නිසාය. ඒ බහිශ්කරණය පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදය තුළට ඔබ්බවනු ලැබූ (embedded) දෙයක් ලෙසය. ඒ අනුව එය පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ ව්‍යතිරේඛය ලෙසයි. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා හැම විටම පුද්ගලත්වාරෝපණයක් අවශ්‍ය කෙරෙන්නේ එබැවිනි. ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා එය උල්ලංඝනය කිරීමේ ව්‍යවස්ථාමය, නීතිමය වරපත්‍රය හිමි වෙන්නේ මෙන්න මේ ප්‍රජාතන්ත්‍රවාදය මූර්තිමත් කරනා පුද්ගලයාට හෝ එවැනි දූරාවලියකටය.   

ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක තලයේ දී සෑම විටම පවතින්නේ පැමිණීමට නියමිත, උදා වීමට නියමිත තත්වයක් ලෙස මිස සම්පුර්න කෙරුණු ව්‍යාපෘතියක් ලෙස නොවේ. මූලධර්මවාදයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවේ අවධාරණය කෙරෙන එහි මූලධර්ම පවතිනුයේ සාපේක්ෂව යම් යම් මාත්‍රාවන්ගෙන් ක්‍රියාත්මක බව පෙන්විය හැකි වුවද, පරිපූර්ණ වශයෙන් සාක්ෂාත් කොට ගත නොහැකි, ඉටු කළ නොහැකි, සෑම විටම කල් දැමෙන, සදාකාලිකවම අනාගතය තුළ ස්ථානගත කෙරුණු, ඉදිරියේ දී ලබාගැනීමට නියමිත, පරමාදර්ශ ලෙසයි. මේ අනුව ගත් විට ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන්නේ, නිදහස, සමානාත්මතාවය, භාෂණයේ නිදහස, වැනි මූලිකාංග මෙන්ම රැස්වීමේ නිදහස, ඇසුරු කිරීමේ නිදහස, දේපළ අයිතිවාසිකම්, ආගමික හා කතා කිරීමේ නිදහස, සමාජයේ ඕනෑම තත්වයක් කරා ඇතුළත් වීමේ නිදහස, පුරවැසිභාවය, පාලිතයන්ගේ තේරීම, ඡන්ද අයිතිය, ජීවත්වීමට සහ නිදහසට ඇති අයිතිය සහ සුළුතර අයිතිවාසිකම්, සහභාගිත්වය, සවිචාරය (deliberation) වැනි තවත් මූලිකාංග රාශියක් සහ ඒවාට තවත් අපරිමිත ලෙස එකතු කල හැකි අංගයන් ද සහිතවය (උදා: LGBTIQ+ වැනි). ඒවා එසේ පවතින්නේ, එම ඉතාම සිත් ගන්නාසුළු සංකල්පවල අභව්‍යතාව, එසේ නොමැති නම් විය නොහැකිභාවය තුළ, ඒවායේ අප්‍රාප්තිය තුළ මිස ඒවා පැවතීම හෝ අත්පත් කරගැනීම තුළ නොවේ. ඒ අනුව ප්‍රජතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන්නේ ඉහත සඳහන් කල මූලධර්ම සහ එසේ නොමැති ප්‍රතිමානයන් අනවරතව අතපසු කිරීම තුළයි. ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කිරීම, වැඩි වැඩියෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනාගැනීම (“more democracy”), වැනි සටන්පාඨ ඉදිරිපත් කරන දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදයේ මේ ආවේණික ස්වභාවයත් සමග ඉතාම හොඳින් ගැළපේ. එබැවින් “වඩා ප්‍රජාතන්ත්‍රවාදය” (“more democracy”) සඳහා කරන දේශපාලනය යනු ප්‍රජාතන්ත්‍රවාදී උගුලේම කොටසකි. එම ගොහොරුවේම එරී සිටීමකි. ඒ ආකාරයෙන් බැලූ කල ප්‍රජාතන්ත්‍රවාදයේ ධනාත්මක අංගයක් ලෙසින් බොහෝ දෙනා (බුද්ධිමතුන්) ඉස්මතු කරන, එය නිම නොවූ ව්‍යපෘතියක් වී තිබීම එහි ඇති වඩාත්ම ප්‍රෝඩාකාරී, රැවටිලි සහගතම අංගය වේ.

 මෝ jpg

 

ප්‍රජාතන්ත්‍රවාදය වැදගත් යයි කියන බොහෝ දෙනා ඒ පිළිබඳව සඳහන් කරනා ප්‍රධාන කාරනාව වන්නේ හඬක් නැති අයට හඬක් සඳහා වේදිකාවක් තනා දෙන බවයි. ප්‍රයෝගික තලයේ එසේ අදහස් ප්‍රකාශ කිරීමේ අවස්තාව තිබුනද ඒ සමගම ඉතාම පැහැදිලි ලෙස ප්‍රජාතන්ත්‍රවාදය සංකල්පයක් ලෙස ලකානියානු අර්ථයෙන් එය ව්‍යාජයකි. ලකානියානු දෘෂ්ටිකෝණයෙන් බලන කල එක්  ප්‍රධාන ප්‍රශ්නයක් වනුයේ ආත්මීයත්වයට අදාලව ගත්කල ප්‍රජාතන්ත්‍රවාදය අපගේ ප්‍රශ්න වෙත සහ ඉන් ගැලවීම සඳහා කෙතරම් දායකත්වයක් ලබා දෙන්නේද යන්නයි ( ප්‍රජාතන්ත්‍රවාදය බොහෝ ආත්මීය විවිධත්වයන් පිළිගනී ).

ඉහත සඳහන් කල ප්‍රජාතන්ත්‍රවාදයේ එම ප්‍රෝඩාකාරී ලක්ෂණය පිළිබඳව ලිබරල්වාදීන් මෙන්ම වාමාංශිකයින්ද දකිනුයේ අරගල කොට තව වැඩි වැඩියෙන් ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් දිනාගැනීමට ඇති හොඳ අවකාශයක් ලෙසය. එසේම ප්‍රජාතන්ත්‍රවාදයේ මහඟුම ගුණාංගය ලෙසය. නමුත් සත්තකින්ම ඉන් සිදුවන්නේ සර්වාධිකාරවාදයක්, මූලධර්මවාදයක් ලෙසට ක්‍රියාත්මක වීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ සැලසීමයි. ප්‍රජාතන්ත්‍රවාදය යනු "මනුෂ්‍යත්වයට" ලැබිය යුතු සියල්ල ඒ තුල තිබෙන, එබැවින් කිසි ලෙසකින් එරෙහි විය නොයුතු, මේ මොහොත තුල මේ දැන් නැතත් ඉදිරි අනාගතයේ දී ලැබෙන්නට තිබෙන හෝ දිනා ගත යුතු තත්වයක් ලෙස ඉන් හැඟවේ. ඒ අනුව දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදය තුළ සිර කෙරේ. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය අභිබවන, ඉන් ඔබ්බට යන, දේශපාලන ප්‍රවණතා ඇති වීම ඉන් වලකා ලයි. සියලු දෙනාගේ අදහස වී ඇත්තේ සිදු විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සහ එය තවදුරටත් පුළුල් කොට ගැනීම කල යුතු බවයි. එහි ඇති උත්ප්‍රාසාසාත්මක දේ වන්නේ සර්වාධිකාරවාදයක්, මූලධර්මවාදයක් ලෙස ක්‍රියාත්මක වීමට ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ සලසා දෙන ගුණයම එහි යහපත්ම ලක්ෂණය ලෙස ඉස්මතු වී තිබීම සහ එය එසේ යයි පිළිගැනීමට ලක්වීමයි (එසේ කියනා ප්‍රබලම පිරිස උගතුන්ය). එනම් ප්‍රජාතන්ත්‍රවාදය යන්න ගැලවිය නොහැකි සිරවීමක ආකාරයේ සර්වාධිකාරවාදයක්, මූලධර්මවාදයක් ලෙස අප විසින් අවබෝධ කොට ගත යුතුව ඇත. ඒ අනුව සැබවින්ම ප්‍රජාතන්ත්‍රවාදය යනු ආවෘත මූලධර්මවාදයකි. එසේ නොමැති නම් එය ආවෘත සර්වාධිකාරයක් ලෙස ද හැඳින්විය හැකිය. එනම් සර්වාධිකාරවාදයක් නොවන ලෙස ක්‍රියාත්මක වන සර්වාධිකාරවාදයකි... මූලධර්මවාදයක් නොවන සේ ක්‍රියාත්මක වන මූලධර්මවාදයකි.

 

ඩිමෝ5

 

ඒ අනුව මෙම ක්‍රමය පවත්වාගෙන යන ප්‍රධාන දෘෂ්ටිවාදී ෆැන්ටසිය හෙළිදරව් කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය විසින් කිසිඳු දායකත්වයක් ලබා නොදේ. ප්‍රජාතන්ත්‍රවාදය වෙත ඇති ලකානියානු විවේචනය ආරම්භ වන්නේ අපගේ අත්මීයත්වය සමග ඇති නොගැලපීම පිළිබඳව වන කාරණය මගින්ය. එසේ වීම සඳහා එක් හේතුවක් වන්නේ අපි කවුද යන්න අපි විසින්ම සිතීම සහ අප ඇත්තටම විය යුතු වන්නේ කවුද යන්නද ප්‍රජාතන්ත්රවාදය සේම අපරිමිත වීමයි. ආරම්භක යහපත යනුවෙන් දෙයක් නොමැත. එනම් ප්‍රජාතන්ත්‍රවාදය යහපත වෙනුවෙන් පෙනී සිටින විට එහි ඔරිජිනල් යහපතක් පෙන්විය නොහැක. සමාජයක් දෙස ලකානියානු අර්ථයෙන් බලන්නේ නම් සිදුවන්නේ එම සමාජය සතු බහිෂ්කාරකයන් පිළිබඳව විමසා බැලීමය. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපෘතිය හැම විටම වෘතයක ගමන් කරන අතර එම වෘතයේ මාධ්‍ය හිස්ය. එය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව හිස් මාධ්‍යයකි (නමුත් මානවවාදී ලිබරල්වාදීන්ගේ ආරම්භය වූයේ තාර්කික මනුෂ්‍යත්වය නම් සාරාමය මාධ්‍යක් ඇති යන්න සහ එය කේන්ද්‍රකරගනිමින්ය). 

ඩාවින්වාදය හා සමාජ සංවර්ධනය අවිඥානික වීම තුල ප්‍රජාතන්ත්‍රවාදය යනු  සරල අඩු අයිතිවාසිකම් සහිත තත්ත්වයක සිට ක්‍රමයෙන් සංකීර්ණ වැඩි අයිතිවාසිකම් සහිත තත්වයක් දක්වා ගමන් කරනා නොනිමි ව්‍යාපෘතියක්ය යන්න තුල සියලු දෙනා ක්‍රියාත්මක වේ. ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම්වල ඓතිහාසික විකාශනය පෙන්වමින් වර්තමානයේ දී ප්‍රජාතන්ත්‍රවාදය අතීතයට වඩා පුළුල් බව පෙන්වන සංසන්දනයන් පවතින්නේ එම දෘෂ්ටිවාදය තුලයි. නැවත වරක් මෙය ව්‍යාජයක් වෙන්නේ  ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඕනෑම අවස්ථාවක මේ ඕනෑම අයිතිවාසිකමක් උල්ලංඝනය වීමට ඉඩ කඩ පවතින බැවිනි.

 

ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේම පරිකල්පිත පුද්ගලයෙක් වෙනුවෙනි. මේ පරිකල්පිත පුද්ගලයා යනු ස්වයං- සවිඥානික, එනම් තමන් කියන, කරන, සියලු දේ දැනුවත්ව කරන (ස්වයං- සවිඥානික), පුද්ගලයෙකි. එවැනි පුද්ගලයෙක් මෙදියත නොපවතින අතර එය හුදු ව්‍යුක්තනයක් පමණි. එනම් ප්‍රජාතන්ත්‍රවාදයේ පුරවැසියා මිහි පිට සත්තකින්ම නොමැති පරිකල්පනීය ව්‍යුක්ත පුද්ගලයෙකි. ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සියල්ල ක්‍රියාත්මක වන්නේ, ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් හිමි වන්නේ, මේ වියුක්ත, පරිකල්පිත, ස්වයං-සවිඥානික, පුද්ගලයාටය. පුරවැසියා (citizen) යනු මෙන්න මේ වියුක්ත පුද්ගලයාය.

298325150 409955187869746 9159454206172858068 n

 

ඒ අනුව පුරවැසියා යනු තාර්කික, ස්වයං- සවිඥානික මිනිසාය. ළමුන් හට ඡන්ද බලය හිමි නොවනුයේ ද මේ ප්‍රජාතන්ත්‍රවාදය විසින් උපකල්පනය කරනු ලබන වියුක්ත, ස්වයං-සවිඥානික පුද්ගලයා සමග ළමුන් සමක නොවනා බැවින් බව ප්‍රජාතන්ත්‍රවාදයේ ස්ථාවරයයි (ඊට අනුව එසේ ස්වයං-සවිඥානික පරිපූර්ණතත්වය මනුෂ්‍ය ජීවියා හට ලැබෙනුයේ වයස අවුරුදු 18ක් සම්පූර්ණ වූ පසුවය). උන්මත්තකයෙක් සාමාන්‍ය නීතිය යටතේ වැරදි කරුවෙකු නොවෙන්නේ ද ඔහු එකී තාර්කික, ස්වයං-සවිඥානික පුද්ගලයා සමග සමක නොවන බැවිනි.

දැන් මෙහි ඇති ප්‍රශ්නය වන්නේ මේ ආකාරයෙන් ප්‍රජාතන්ත්‍රවාදය විසින් පරිකල්පනය කරනු ලබන වියුක්ත පුද්ගලයා සහ සත්‍ය ලෙසම සිටින මනුෂ්‍යයා අතර තිබෙන පරතරයයි. සමාජයේ සිටිනා සැබෑ මනුෂ්‍යයා යනු පරිපූර්ණ ලෙස තාර්කික (සැම විටම), සෑම විටම දැනුවත්ව ක්‍රියා කරන මනුෂ්‍යයෙකු නොවේ. එවැනි මිනිසුන් මෙදියත නොමැත. ලකානියානු මනෝවිශ්ලේෂණය පෙන්වා දෙන්නේ අපගේ සෑම සවිඥානික ක්‍රියාවක් පිටුපසම අවිඥානය ඇති බවය. ලැකාන් පෙන්වා දෙන්නේ ෆ්‍රොයිඩ්ගේ අවිඥානය පිළිබඳව ඉදිරිපත් කිරීම බටහිර දර්ශනය (අවම වශයෙන් ඩෙකාර්ට්ස්ගේ සිට) ඊගොව වෙත සම්ප්‍රදායිකව පවරන ලද කේන්ද්‍රීය ස්ථානයෙන් එය ඉවත් කළ බවයි. ඒ අනුව තමන්ගේ සෑම ක්‍රියාවක්ම සඳහා තමන් වගකිව යුතු බව අවධාරණය කරන ලිබරල් මානවවාදය වෙත මනෝවිශ්ලේෂණය එරෙහි වේ.

එය තවත් පැහැදිලිව පවසන්නේ නම් අපගේ සෑම අවිඥානික ක්‍රියාවක්ම අපිට සවිඥානික නොවේ. එනම් පාරේ ඇවිදින, වාහන එලවන, මනුෂ්‍යයා යනු ව්‍යවස්ථාවේ අර්ථයෙන් එහි පුරවැසියාට අදාළ නීති රීතීන් මෙන්ම ප්‍රතිමානයන් කිසි ලෙසකින් පරිපූර්ණ ලෙස සපුරන්නේ නැත. ඒ අර්ථයෙන් “සියලුම මනුෂ්‍යයන් නිදහස් සහ සමානය” යන්න අදාළ නොවේ. එනම් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක සමාජයේ එකී වියුක්ත පුද්ගලයා නොමැත. නමුත් අමතක නොකළ යුතුම කාරණය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මේ පරිකල්පිත පුද්ගලයා පවතිනුයේ සැබවින්ම සමාජයේ සිටිනා පුද්ගලයා නිසාය යන්නයි.

marx

මෙතැනදී මතක් කල යුතු වන්නේ ෆොයාබක් පිළිබඳව මාක්ස්ගේ පස්වන තිසීසයයි. ඊට අනුව 'ශුද්ධ වූ පවුලේ' රහස මිහිපිට සැබවින්ම පවතින අශුද්ධ පවුල බව ෆොයාබාක් තේරුම් නොගනී. එනම් පරිකල්පනීයව ව්‍යුක්ත 'ශුද්ධ වූ පවුල'  ගොඩනගනුයේ සැබෑවට පවතිනා පවුලේ අශුද්ධ පාපී ක්‍රියාවන්ට එරෙහිවයි. එවිට එම සියලු පාපී ක්‍රියාවන් නොකරන 'ශුද්ධ වූ පවුල' යනු පරිකල්පනීය ව්‍යක්තනයක් පමණි. එසේම මේ “ශුද්ධ වූ”තාර්කික ස්වයං-සවිඥානික වියුක්ත පුරවැසියාගේ රහස වන්නේ අතාර්කික, සැම විටම දැනුවත්ව ක්‍රියා කල නොහැකි, අවිඥානයක් සහිත මිහිපිට සැබෑ මිනිසාය. "ශුද්ධ වූ පවුලේ රහස ලෞකික පවුල බව සොයා ගෙන ඇති විට ලෞකික පවුල එය විසින්ම විවේචනයට ලක්විය විය යුත්තේ න්‍යාය තුළ වන අතර විප්ලවීය විය යුත්තේ ව්‍යවහාරය තුළය” යනුවෙන් මාක්ස් විසින් පවසයි. අපට ප්‍රජාතන්ත්‍රවාදයට අදාළව මාක්ස්ගේ තිසිසය වෙනස් කොට මෙසේ පැවසිය හැකිය. එනම් “ප්‍රජාතන්ත්‍රවාදය විසින් පරිකල්පිත ශුද්ධ වූ තාර්කික, දැනුවත්ව පමණක් ක්‍රියා කරන, ස්වයං-සවිඥානික පුද්ගලයාගේ රහස අතාර්කික, සැමවිටම දැනුවත්ව ක්‍රියා කල නොහැකි, අවිඥානයක් සහිත සැබෑවටම පවතින ආත්මය බව සොයා ගෙන ඇති විට ආත්මය එය විසින්ම විවේනයට ලක් විය යුත්තේ න්‍යාය තුළ වන අතර විප්ලවීය විය යුත්තේ ව්‍යවහාරය තුළය” යන්නයි. “ශුද්ධ වූ පවුලට” අනුව මිහිපිට පවුල ගොඩනැගීමට උත්සාහ දැරීම ආගමික වනවා සේම ප්‍රජාතන්ත්‍රවාදය විසින් පරිකල්පිත වියුක්ත පුදගලයාට අනුව මිහිපිට සැබෑ පුද්ගලයා ගොඩනැගීමට යාමත් ආගමික මූලධර්මවාදයකි. එය එම ආකාරයෙන් කිසිදා සාක්ෂාත් කොට ගත නොහැකි ෆැන්ටසියකි. එවිට ප්‍රජාතන්ත්‍රවාදී යථාර්තය දරා සිටිනුයේ එම ෆැන්ටසිය විසින්ය.

 

@ Spartacus.lk

නවතම ලිපි