මාර්තු මාසයේ ආරම්භ වූ ජනතා නැගිටීම දැන් සංකේතාත්මක වශයෙන් අවසන් වී ඇත.

මගේ අදහස වන්නේ මේ ජනතා නැගිටිම ලංකාවේ නූතන ඉතිහාසයේ ප්‍රථම ‘ජනතා නැගිටීම‘ බවයි. මේ ගැන කතා කිරීමට හොඳම ක්‍රමය වන්නේ රනිල් ජනාධිපති වීම ගැන කතා කිරීමයි. එතනින් පටන් ගනිමු.

රනිල් ජනාධිපතිවීම ගැන උගත් බුද්ධිමත් සිංහල-බෞද්ධ ජාතිකවාදීන් ගේ පැහැදිළි කිරීම ඉතා වැදගත්ය. සාමාන්‍යයෙන් මේ ගැන ඔවුන්ගේ පැහැදිළි කිරීමේ ආකෘතිය වන්නේ එය “අරගලයේ“ ප්‍රතිඵලයක් බවයි. එය අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ. මහින්ද රාජපක්ෂ අගමැති කමින් අස්වීමේ මෙන්ම ගෝඨාභය ජනාධිපතිකමින් අස්වීමේ කොන්දේසි නිර්මාණය වූයේ “අරගලය“ නිසාය. ඒ නිසා රනිල් ජනාධිපති වීම “අරගලයේ“ අතුරු ප්‍රතිඵලයකි. එසේම සත්‍යය වන්නේ රනිල් අගමැති කලේ ගෝඨාභය විසින් ය යන්නයි.

සෙසු අය එය භාර නොගත්තේය යන්න මෙහි දී නියාලු හේතු දැක්වීමකි. වැදගත් වන්නේ රනිල් අගමැති වන්නේ මෙන්ම ජනාධිපති වන්නේ ද, විශේෂයෙන්ම ආර්ථිකයට අදාළව, තමන්ගේ ම න්‍යායපත්‍රයක් සහිතව සහ තම න්‍යායපත්‍රය ක්‍රියාවට නැංවිය හැකි තමන්ගේම කණ්ඩායමක් සමඟය. මෙම න්‍යාය පත්‍රය මෙන්ම රනිල් වටේ සිටින කණ්ඩායම ද පසුගිය දශක දෙක තුළ ‘උගත් බුද්ධිමත් සිංහල-බෞද්ධ ජාතිකවාදීන්‘ දේශපාලන විවේචනයේ කේන්ද්‍රීය සාධක වේ. දැන් ප්‍රශ්නය වන්නේ තමන් විසින් ම පත්කරගනු ලැබූ ගෝඨාභය සිය තනතුර ‘උගත් බුද්ධිමත් සිංහල-බෞද්ධ ජාතිකවාදීන්‘ ගේ ව්‍යාපෘතියේ පරම සතුරා අතරට භාර දී ඉවත් වීම පසුව කී පිරිස සතුටින් සමරන්නේ කෙසේ ද යන්නයි. මේ ප්‍රශ්නය වරක් මේ ‘උගත් බුද්ධිමත් සිංහල-බෞද්ධ ජාතිකවාදීන්‘ ගේ කෙනෙක් ඒ කණ්ඩායමේ ම ප්‍රමුඛයෙක් වූ Upali Kohombanගෙන් අසා තිබුණි. ඔහු ඊට දුන් පිළිතුරක් මා දුටුවේ නැත.

‘අරගලයේ‘ දෘෂ්ටි කෝණයෙන් ගත හොත් රනිල් ජනාධිපති වීම පරාජයක් නොවේ. ජනතා නැගිටීම්වල පරාජයන් හෝ ජයග්‍රහණ තීරණය වන්නේ ක්‍රීඩා තරගවල ජයග්‍රහණ හෝ පරාජය තිරණයවන ආකාරයට නොවේ. ක්‍රීඩා තරගයක දී ජය හෝ පරාජය කුමක් ද යන්න කලින් නිර්වචනය වී ඇත. ජනතා නැගිටීම් පිළිබඳ තත්වය එසේ නොවේ.

දිගු කාලීන වශයෙන් ගතහොත් රනිල් යනු තමන්ගේ ම වූ සේනාවක් නැති වටේ සිටින ලුතිනන් වරු කණ්ඩායමක් පමණක් සිටින, තාවකාලිකව උපක්‍රමික හේතු නිසා තමන්ගේ පැත්තට පක්ෂව යුද්ධ කරන සේනාවක් පමණක් සිටින් සෙන්පතියෙක් මෙනි. අරගලයේ දෘෂ්ටි කෝණයෙන් ගත් කළ රනිල් බලයට පත්වීම මගින් කුරුල්ලන් දෙදෙනෙක් බිම වැටිනි. එක් අතකින් රාජපක්ෂ පවුල කේන්ද්‍රකරගෙන තිබූ දේශපාලන බල හවුල කෑලි කෑලි වලට විසිරී ගියේය. දෙවැන්න ජනතාව අතර ඓන්ද්‍රීය අනුමැතියක් නැති සාපේක්ෂ වශයෙන් දුර්වල ජනාධිපතිවරයෙක් පත්විය. මේ සාධක දෙක ලංකාවේ දේශපාලනයේ ඉතා වැදගත් පරිවර්තනයන්ට මං පාදන ඒවාය. ඒ අර්ථයෙන් ගත් කළ මේ ජනතා නැගිටීම ලංකාවේ දේශපාලනයේ සුසමාදර්ශී තැන් මාරුවකි.

පසුගිය දශක තුනහමාර තුළම (විශේෂයෙන් 1983න් පසු) ලංකාවේ දේශපාලනය කේන්ද්‍රගත වී තිබුණේ ‘ජාතිය‘ යන සංකල්පය වටාය. නිව්ටන් ගුණසිංහගේ 1983 පිළිබඳ ප්‍රකට රචනයෙන් ප්‍රකාශ කළේ එයයි. ඔහුගේ අදහස වූයේ මෙය නැවත ‘පංතිය‘ බවට පත් කළ යුතු බවයි. ඒ සඳහා දේමළ ප්‍රශ්නයට විසඳුමක් දිය යුතු යැයි ඔහු කීය. නමුත් සිදු වූයේ වෙනත් දෙයකි. ඇත්ත වශයෙන්ම දෙමළ ප්‍රශ්නයට විසඳුමක් සිංහල ජනයා විසින් ම දෙනු ලැබීය. ඒ නිව්ටන් ගුණසිංහ බලාපොරොත්තු වූ දෙයෙහි පරස්පරයයි. එනම් යුද්ධයෙන් දෙමළ සන්නද්ධ අරගලය පරාජය කිරීමයි. උත්ප්‍රාසය වන්නේ ඒ නිසාම නිව්ටන් ගුණසිංහ අපේක්ෂා කළ දෙයක් සිදු වීමයි. එනම් සිංහල සමාජයේ දේශපාලන තුළ ‘ජාතිය‘ සඳහා ඇති වලංගුතාවය අහෝසි වීමයි. හැබැයි දැන් ඒ වෙනුවට නිව්ටන් ගුණසිංහ අපේක්ෂා කළ ආකාරයෙන් ආදේශ වී ඇත්තේ ‘පංතිය‘ නොවේ. මගේ අදහස වන්නෙ ඒ වෙනුවට ආදේශ වී ඇත්තේ ‘ජනතාව‘ බවයි. ඒ අනුව දැන් ලංකාවේ දේශපාලනය ව්‍යුහගත වී ඇත්තේ ද්‍රේශප්‍රේමීන් හා දේශද්‍රෝහීන් අතර පසමිතුරුභාවය තුළ නොව. සංකේත්තාත්මකව දේශද්‍රෝහී කඳවුරේ කේන්ද්‍රීය නායකත්වය දේශප්‍රේමීන්ගේ නායකයා බවට පත්විය. ඒ මගින් දේශප්‍රේමීත්වය මෙන්ම දේශද්‍රෝහීත්වය ද දිය වී ගොස් ඇත. දැන් දේශපාලන වශයෙන් වලංගු පසමිතුරුභාවය වන්නේ ජනතාව හා ජනතාවගේ විරෝධී බලවේග විසින් හසුරුවනු ලබන රාජ්‍යය අතර පසමිතුරුභාවයයි.

මේ අනුව දැන් දේශපාලන වශයෙන් අප සිටින්නේ කිසිසේත්ම අප්‍රේල් මාසයට පෙර සිටි දේශපාලන ලෝකයේ නොවේ. මේ නව දේශපාලන ලෝකය පිළිබඳ වැඩිපුර අවබෝධයක් අපිට ලැබෙනු ඇත්තේ ඊලඟ පාර්ලිමේන්තු මැතිවරණයේ දීය.

@නිර්මාල් දේවසිරිගේ මුහුණු පොතෙන්.

නවතම ලිපි