රටේ දේවල් සිදුවෙමින් තිබෙන්නේ විකාරරූපී ආකාරයකට ය.

අරගලකරුවන්ගේ කැමැත්ත, අකමැත්ත කුමක් වුවත් අරගලය දේශපාලන අර්ථයෙන් ලබාදී තිබෙන එක් වැදගත් ප්‍රතිඵලයක් මෙසේය; අති විශාල මහජන බලයකින් රටේ රාජ්‍යය බලය හිමිකර ගෙන සිටි රාජ්‍යය පාලනය ගැන අවබෝධයක් නොතිබූ ගෝඨාභය ජනාධිපතිවරයා ඔහුගේ ධූර කාලයෙන් අඩක් සම්පූර්ණ වීමෙන් පසුව ඔහු එම තනතුරෙන් පහ කොට එක ආසනයකට පමණක් හිමිකම තිබූ රාජ්‍ය පාලනය ගැන තියුණු අවබෝධයක් තිබෙන පුද්ගලයෙකු ලෙස සැළකිය හැකි රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්ත ඇතිව ජනාධිපති ධූරයට පත් කළේය.

ඔහු එම තනතුරට පත්වන අවස්ථාව වන විට රාජ්‍යය තිබුනේ දිගින් දිගට කළ යුතු ප්‍රතිසංස්කරණ වලින් වැළකී සිටීම නිසාත් අවසානයේ අරගලකරුවන්ගෙන් එල්ල වන අභියෝගයන් ඉදිරියේ කඩා බිඳ වැටෙන තත්වයකය. සාම්ප්‍රදායික රාජ්‍යය පාලකයින්ට රාජ්‍යය කළමණාකරනය කිරීමට තිබෙන හැකියාව ද විශාල ප්‍රමාණයකට බිඳ වැටී තිබුන අතර අරගලකරුවන් කිසියම් ප්‍රමාණයකට රාජ්‍යයට අණ දිය හැකි බලයක් හිමි කර ගනිමින් තිබුණි. එම තත්වයට ජනාධිපති ගෝඨාභයගේ දුර්වල කළමණාකරන රටාවද බලපා තිබුණි. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත් පළමු පැය 48 ඇතුළත ආරක්ෂක හමුදාවල බලය යොදා ගනිමින් අරගලකරුවන් රාජ්‍යයෙන් උදුරාගෙන තිබුණ එම ශක්තිය නැවත එයට ලබා දෙමින් රාජ්‍ය පාලන විෂයෙහි ගොඩ නැගී තිබුන අරාජිකත්වය කිසියම් විශාල ප්‍රමාණයකට නැති කළේය.

නව ජනාධිපතිවරයාගේ එම ප්‍රතිපත්තිය අරගලකරුවන්ගේ බලවත් කෝපයට හේතුවී ඇතත් දෛවයේ සරදමකට මෙන් අරගල කරුවන්ගේ ප්‍රධාන අභිලාශය ලෙස සැළකිය හැකි "ක්‍රමයේ ගැඹුරු වෙනස"ක් සදහා අවශ්‍ය ව්‍යුහමය ප්‍රතිසංස්කරණ වැඩසටහනකට රාජ්‍යයේ දොරටු විවෘත කරන්නාගේ භූමිකාව ක්‍රියාවට නැගීමට මහජනයා විසින් නොව ඉතිහාසය විසින් තෝරාගත් පුද්ගලයා බවට පත්ව සිටින්නේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ය.

vi4

 

ජරාජීර්ණ වීම

ක්‍රමයේ ගැඹුරු වෙනසක් ඇති කිරීමට හේතුවන ව්‍යුහමය ප්‍රතිසංස්කරණ වැඩසටහනකට රට යොමු නොකරන්නේ නම් විශාල විනාශයකට රට තල්ලු වී යනු ඇති බව මා කියන්නට වූයේ අභ්‍යන්තර යුද්ධයේ අවසානයත් සමග 2010 වසරේ සිටය.

බිහිසුණු හා දැවැන්ත කැරලි දෙකක් ජය ගැනීමට රාජ්‍යය සමත් වී තිබුණද ඉන්පසු රාජ්‍යය තිබුනේ යහපත් තත්වයක නොව එම කැරලි වලින් ඇතිව තිබූ බරපතල තුවාල නිසා බෙලහීන හා අබල, දුබල තත්වයකට පත් තත්වයකය. සිංහළ, දෙමළ කැරලිකරුවන් අතින් සේම කැරලි මර්දනය කල ආරක්ෂක හමුදා අතින් ද විශාල පිරිසකගේ ජීවිත විනාශ වී තිබුන අතර ඊටත් වඩා විශාල පිරිසක් හිංසාවට හා පීඩාවට ලක්ව සිටියේය. කැරලිකරුවන් හා ආරක්ෂක හමුදා තරඟකාරි ස්වරූපයකින් සමාජය මත මුදා හැර තිබුන කෲරත්වය සමාජ මනස විකෘති කිරීමට හා රෝගි කිරීමට හේතුවී තිබුණි. නීතියට ඉහළින් සිටින විධායක ජනාධිපතිවරයෙකු සහිත දේශපාලන ක්‍රමයක් පවත්වාගෙන යාම නිසා විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර තිබිය යුතු සංවරණය හා තුලනය මුළුමනින් බිඳ වැටී තිබුණ අතර දූෂණය පාලනයකින් තොරව සමස්ථ ආයතන ක්‍රමය වෙලාගෙන වේගයෙන් පැතිර යන බිහිසුණු පිළිකාවක් බවට පත්ව තිබුණි.

සමාජ ක්‍රමය තුල තිබිය යුතු සමගිය හා ඒකාග්‍රතාවය ද මුළුමනින් කඩා බිඳවැටෙන තත්වයකට පත්ව තිබුණි. රටේ ආර්ථික කටයුතු සිදුවෙමින් තිබුණේ ද අක්‍රමවත් හා අයාලේ යන තත්වයකය. රට ගැඹුරු ප්‍රතිසංස්කරණ වැඩසටහනකට යොමු නොකළහොත් සමස්ථ ක්‍රමය කඩා බිඳවැටී රට අරාජික තත්වයකට තල්ලූ වී යනු ඇති බව මගේ නිරීක්ෂණය වී තිබුණි. අභ්‍යන්තර යුද්ධය අවසානයේ දී මා එම තත්වය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට පැහැදිලි කිරීමට උත්සාහ කළ ද යුද්ධයේ ජයග්‍රහණයෙන් ඇස් අන්ධ කරගෙන සිටි ජනාධිපතිට එම යථාර්තය තේරුම් ගැනීමට හැකිවූයේ නැත. ඉන්පසු යහපාලන ආණ්ඩුව යටතේ කරන ලද සීමිත ප්‍රතිසංස්කරණ වැඩසටහන ද රටේ තිබුන අර්බුදයේ තරමට ගැලපෙන ප්‍රතිසංස්කරණ වැඩසටහනක් නොවීය.

vi2 

මා හා මංගල සමරවීර අතර නැවත සමීප දේශපාලන මිත්‍රත්වයක් ඇතිවූයේ ඔහුගේ චරිතාපදානය වෙනුවෙන් මාතර පැවති උත්සවයේ දී ලංකාවේ අර්බුදය අලලා මා කරන ලද දේශනය හා ඊට ඔහු දක්වන ලද අවංක ප්‍රතිචාරය නිසාය. අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ නොසළකා ක්‍රියා කිරීම නිසා රටේ අර්බුදය පුපුරන සුලු තත්වයකට වර්ධනය වී ඇති බවත් සමහරවිට මැතිවරණයෙන් පසුව පිපිරෙන තත්වයක් ඇතිවී රට බංකොලොත් තත්වයකට ඇද වැටී අවසානයේ රට අරාජික තත්වයකට තල්ලුවී යනු ඇති බව මම එම දේශනයේ දී කීවෙමි.

ඒ වන විට මංගල රටේ මුදල් ඇමති වූ අතර ඔහු සිය ස්තූති කථාවේදී මගේ විග්‍රහය පිළිගත්තා පමණක් නොව දැන හෝ නොදැන එම අර්බුදයට දායක වීම ගැන ප්‍රසිද්ධියේ සිය කණගාටුව ද පළ කලේය. ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය ජය ගැනීමට හේතුවන ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ගැන අප දෙදෙනා සාකච්ඡා කරන තැනකට ගියේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඒ සදහා මංගල කැඳවන ලද සාකච්ඡා දෙකකට රනිල් වික්‍රමසිංහ ද සහභාගි විය. මේ දෙදෙනාම පරණ දේශපාලකයින් අතර සිටි නවීන අදහස් දැරූ වෙනස්වන නූතන ලෝකය ගැන තියුණු වැටහීමක් තිබුණු දේශපාලකයින් දෙදෙනෙකු ලෙස සැළකිය හැකිය. අප සාකච්ඡාවට ලක් කලේ රාජ්‍යය හා දේශපාලන ක්‍රමයේ ඇතිවී තිබුන බිඳ වැටීම හා ආයතන ක්‍රමය වේලාගෙන පැතිර ගොස් තිබුන දූෂණය ගැන ය.

vi6

එම සාකච්ඡා ඉතාමත් අව්‍යාජ ආකාරයෙන් සිදුවූ සාකච්ඡා ලෙස සැළකිය හැකිය. මා එම කාලයේදී එම පරණ නායකයින් දෙපළ ගැන දරන ලද මතය වූයේ බලයේ සිටින්නේ කවරෙකු වුවද ක්‍රමයේ ගැඹුරු වෙනසක් සඳහා වන ප්‍රතිසංස්කරණ වැඩසටහනකට දොරටු විවෘත කර ගැනීම සඳහා ඔවුන් ලවා පුරෝගාමි කාර්‍ය්භාරයක් ඉටු කර ගැනීමට හැකිවනු ඇතැයි කියාය.

 

ගෝඨාභය හා රනිල්

ආරම්භ වී තිබුන තරුණ අරගලය උත්සන්න වෙමින් තිබෙන අවස්ථාවක මා විසින් හදා ගත් ප්‍රතිසංස්කරණ වැඩසටහනක කෙටුම් පතක් සමග මා ජනාධිපති ගෝඨාභය හමු වන්නට ගියේ ක්‍රමයේ ගැඹුරු වෙනසක් ඇති කිරීමට හේතුවන ප්‍රතිසංස්කරණ වැඩසටහනකට රට යොමු කල හැකි නම් ගෙවුම් ශේෂ අර්බුදයට අතිරේක වශයෙන් සමාජ-දේශපාලන අර්බුදය ද විසදාගැනීමට හේතුවන ලෙස ක්‍රමයේ ගැඹුරු වෙනසක් ඇති කරගනිමින් රටේ ගමන් මග ද හරි මගකට ගත හැකිවනු ඇතැයි කියන විශ්වාසයකින් යුතුවය. ඒ ගැන මා මීට පෙර ලියා තිබෙන බැවින් එක් කරුණක් ගැන පමණක් කතා කරමි. ජනාධිපතිවරයා එම සමස්ථ යෝජනාවලියට එකග වීම මගේ පුදුමයට හේතු විය. යෝජනාවලියේ අවසාන අංගය ලෙස තිබූ එක්සත් ජාතින්ගේ සංවිධානය මෙම වැඩසටහනේ නිරීක්ෂකයෙකු ලෙස සම්බන්ධ කර ගත යුතූයි කියන අදහසට ද ජනාධිපතිවරයා එකඟ වීම ඊටත් වඩා මාගේ පුදුමයට හේතු වූ බව කිව යුතුය.

රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත්වීමෙන් පසුව ජනාධිපතිවරයා මාගේ වැඩසටහන ගැන ඔහු සමග ද සාකච්ඡා කර තිබෙන අතර අගමැතිවරයා ද ඒ ගැන මා සමග සාකච්ඡා කළේය. අගමැතිවරයා ඒ වන විටත් මගේ ප්‍රතිසංස්කරණ අදහස් ගැන දැන සිටි අතර ඔහු සිටියේ ද තිබෙන ක්‍රමයේ යහපත් හා ගැඹුරු වෙනසක් අත්‍යාවශ්‍ය වේයැයි කියන මතයේය. එම සාකච්ඡාවෙන් පසුව මා හා අගමැති අතර කෙරෙන සම්බන්ධීකරණය අගමැතිවරයා විසින් භාරදී තිබුණේ අචාර්‍ය අරුණ කුලතුංගට හා මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය ආර්.‍ යු. හල්වතුර යන දෙදෙනාටය. අගමැතිවරයා ඒ ගැන ඔවුන් සමග කරන ලද සාකච්ඡාවේදී මාගේ ප්‍රතිසංස්කරණ ලියවිල්ල ඉතා කුඩා වුවත් එහි අන්තර්ගතය මහාවැලි යෝජනා ක්‍රමයටත් වඩා විශාල බව අගමැතිවරයා කී බව මට අරුණ කුලතුංග ගෙන් දැන ගන්නට ලැබුණි.

vi7

එහෙත් ඒ මොහොතේ රටේ පැවති කලබලකාරි තත්වය නිසා ඒ අදහස් පැවතුනේ හිස් අවකාශයේ පාවෙන දේවල් ලෙසය. අගමැති ධූරයේ සිටි රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ජූලි 20 වනදා දුරකථනයෙන් මා අමතා කතා කොට ප්‍රතිසංස්කරණ වැඩසටහන ගැන සාකච්ඡා කිරීම සදහා ජූලි 22 වන දින ජනාධිපති ලේකම් කාර්‍යාලයට එන ලෙස මට දැනුම් දුන්නේය. මා එදින එහි ගියේ ඒ වන විට පරිපූර්ණ බලය ලැබී තිබුන තත්වයක් තුළ නව ජනාධිපතිවරයා ප්‍රතිසංස්කරණ වැඩසටහන ගැන කෙසේ කල්පනා කරනු ඇත්ද යන්න ගැන ඇති කරගත් කුතුහලයකින් යුතුවය. එහෙත් ප්‍රතිසංස්කරණ පිළිබදව ඔහු තුළ පැවති ස්ථීරසාර භාවයේ කිසිදු වෙනසක් සිදුවී නැති බව ඔහු සමග කෙරුනු කතා බහේදී මා ඉක්මණින් තෙරුම් ගත්තෙමි.

රටේ යහපතට අවශ්‍ය කරන සියළු මූලික ප්‍රතිසංස්කරණ ඇති කළ යුතු බව ජනාධිපතිවරයා දරන ලද මතය විය. වර්ගය, කුලය, ආගම, ලිංගය හා සංස්කෘතිය යන සාධක ගෝල්ෆේස් තරුණ අරගලයේ ප්‍රධාන සංරචකයන් ලෙස ක්‍රියා කර තිබෙන අකාරය ගැන ද අපි කතා කළෙමු. වැඩ වසම් කුල භේදයට තිබෙන පිළිගැනීම අහෝසි කොට වර්ග, ආගම්, ලිංගික හා සංස්කෘතික සමාජ කණ්ඩායම් වලට සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබා දෙන ප්‍රවේශයක් තුළ ලාංකේය ජාතිය ගොඩනගා ගැනීමේ වැදගත්කම හා එය ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රධානම අංගයක් කර ගැනීමේ අවශ්‍යතාව ගැනද අපි කතා කළෙමු.

මුලදී සාකච්ඡාවට සහභාගි වූ තුන්වැනි පුද්ගලයා වූයේ ජනාධිපතිගේ පුද්ගලික ලේකම් සමන් ආතාවුදහෙට්ටි පමණය. ඉන්පසු ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් සමන් ඒකනායක හා විදේශ උපදේශිකා ශේනුකා සෙනවිරත්න එහි කැඳවා මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහනේ නිරීක්ෂකයකු ලෙස ක්‍රියා කිරීම සදහා ආරාධනා කරන ලිපියක් එක්සත් ජාතින්ගේ සංවිධානයට යවන ලෙස උපදෙස් දුන්නේය. ඉතා බලවත් ජාත්‍යන්තර නිරීක්ෂකයෙකු ද යොදා ගනිමින් ක්‍රමයේ ගැඹුරු යහපත් වෙනසක් ඇති කිරීමට හේතුවන වන ව්‍යුහමය ප්‍රතිසංස්කරණ වැඩසටහනකට දොරටු විවෘත කිරීමට ඒ මගින් ජනාධිපතිවරයා පෙන්නුම් කල අධිෂ්ඨානය මගේ පුදුමයට හේතු වූ බව කිව යුතුය.

vi1

 

ඉරණමේ අසිරිය

රනිල් ජනාධිපති ධූරයට පත්විය යුතුව තිබුණේ 1999 වසරේ අග පැවති ජනාධිපතිවරණයේ දී ය. එහෙත් ටවුන් හෝල් බෝම්බ සිද්ධිය නිසා එම ජයග්‍රහණය වැළකුනේ ය. ඉන් පසු 2005 ජනාධිපතිවරණය ජය ගැනීමේ වැඩි හැකියාවක් තිබුනේ ද රනිල්ටය. එහෙත්, ප්‍රභාකරන් පනවන ලද ඡන්ද තහනම නිසා එම ජයග්‍රහණය ද වැළකුණි. මහින්ද පරාජය කිරීම සදහා පොදු අපේක්ෂකයෙකු අවශ්‍ය යැයි කියන අදහස නිසා 2015 ජනාධිපතිවරණයට තරඟ කොට එය ජය ගැනීමට තිබුන හැකියාව ද අහිමි විය.

ඉන් පසු 2020 පාර්ලිමේන්තු මැතිවරණයත් සමග එළඹෙන කාලය රනිල් වික්‍රමසිංහට දේශපාලන අර්ථයෙන් මුහුණ දෙන්නට සිදු වූ නරකම කාලය විය හැකිය. පාර්ලිමේන්තු මැතිවරණයෙන් එජාපයට එකම ආසනයක්වත් දිනා ගැනීමට නොහැකිවූ අතර රනිල් පාර්ලිමේන්තුවට ආවේ ජාතික ලැයිස්තුවෙනි. ආශ්චර්යජනක සේම බිහිසුණු දේවල් සිදුවන්නේ ඉන්පසුවය. රනිල්ට අගමැතිකම ලැබුනේ ද, ඒ සමග නිවස හා එහි පුස්තකාලය ගිනිබත් වූයේ ද , ඉන් පසුව ගෝඨාභය ජනාධිපතිවරයා රටෙන් පලායාමෙන් පසු වැඩ බලන ජනාධිපති ධූරයට පත්වූයේද, ඉන් පසු පාරිමේන්තුවේ පැවති ඡන්දයකින් ජනාධිපති ධූරයට පත්වූයේද තරුණ අරගලයේ අතුරු ප්‍රතිඵලයන් ලෙස සැළකිය හැකිය. ඔහු පරණ දේශපාලන පරපුර අතර සිටින බුද්ධිමය අර්ථයෙන් විශිෂ්ඨයා ද, දක්ෂතම රාජ්‍ය තාන්ත්‍රිකයා ලෙසද සැළකිය හැකිය. ගෝඨාභය, ජනමාධ්‍යය විසින් පුම්බන ලද චරිතයක් ලෙසද, රනිල්, ජනමාධ්‍යය විසින් සැලසුම් සහගතව විනාශකර දමන ලද චරිතයක් ලෙසද සැළකිය හැකිය.

ගෙවුම් ශේෂ අර්බුදයෙන් ලංකාව මුදා ගැනීම සදහා ක්‍රියා කරන අතර රටේ පවතින දූෂිත, අකාර්යක්ෂම හා අසාධාරණ ක්‍රමයේ සැබෑ යහපත් හා ගැඹුරු විපර්‍යාසයක් ඇති කිරීමට හේතුවන ප්‍රතිසංස්කරණ වැඩසටහනකට රට යොමු කොට ක්‍රමයේ සැබෑ වෙනසක් ඇති කරලීමට සමත් වෙතොත් ලංකාව ගලවා ගත් වීරයා ලෙස ඔහුගේ නාමය ඉතිහාසයට එකතු වනු ඇත.

නවතම ලිපි