ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉතිරි ධූර කාලය සදහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත් කිරීම සහ

එම ජනාධිපති විසින් ඉදිරිපත් කළ හදිසි අවස්ථාව සම්මත කිරීම සදහා සිදුවූ පාර්ලිමේන්තු ක්‍රියාදාමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් “ජනතාව පරමාධිපත්‍යය” විකාර රූපී තත්වයට පත් කර තිබෙන බව සදහන් කළ යුතුය.

2019 දී ඡන්දදායකයන් හැට නව ලක්ෂයක් ලබා ජනවරම මගින් ජනාධිපති බලය හිමි කර ගත් ගෝටබය රාජපක්ෂගේ ධූරය දැන් හිමිව තිබෙන්නේ ජනතාව පසුගිය මැතිවරණයේදී සිය ඡන්දයෙන් තීරණාත්මකව ප්‍රතික්ෂේප කළ පරාජිතයකුටය. ඔහුගේ පක්ෂය ඔහු තරග කළ ඡන්ද කොට්ඨාශයේ ඡන්දවලින් සියයට පහකට අඩුවෙන් ලබා ගත් නිසා ඔහුට ලැබුන මනාප ගණන් කිරීම පවා සිදු කළේ නැති බව බොහෝ දෙනකුට මතක නැත. ඔහු ජාතික ලැයිස්තුවට වසර දෙකකට පසුව පත්වූ මන්ත්‍රී ධූරය සදහා එම පක්ෂයට එදා ලැබී තිබුනේ ඡන්ද 249435 කි. මේ අන්දමට 2019 දී ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයා ලැබූ ඡන්දවලින් සියයට තුනක් පමණ වන ඡන්ද ප්‍රමාණවක් ලබා ගත් පක්ෂයක එකම මන්ත්‍රී අද ජනාධිපතිය.

 

එබදු පරාජිතයකු ජනතාවගේ පරමාධිපත්‍යයට අයත් විධායක බලය හිමි කර ගැනීම නිසා මෙම ව්‍යවස්ථාවේ සදහන් ජනතාව මත පිහිටා ඇතැයි කියන රාජ්‍ය පරමාධිපත්‍යය විහිලුවක් බවට පත් කරන්නේ නැද්ද?

මෙයට වඩා බරපතල කාරණය වන්නේ ජනතා පරමාධිපත්‍යයට අයත් යයි කියන ඡන්ද බලය සහ මූලික අයිතිවාසිකම් භුක්ති විදීම සීමා කළ හැකි හදිසි අවස්ථා බලය ක්‍රියාවට නැගීමේ පරම අයිතිය එම ජනාධිපති සතුවීමය. ජනතාවගේ අධිකරණ බලය සහ ව්‍යවස්ථාදායක බලය පවරා තිබෙන ආයතනවලට බලපෑම් කිරීමේ හැකියාව ද එයට ලැබී තිබීමය. කුප්‍රකට 20 වන සංශෝධනය දැන් භුක්ති විදින්නේ ඔහුය.

මේ ජනාධිපතිවරයා පත් කර ගැනීම සිදුකළ අවස්ථාවේ සහ හදිසි අවස්ථාව සම්මත කළ අවස්ථාවේ ඡන්ද බෙදී ගිය ආකාරය අනුව පෙනී යන්නේ එම පත් කිරීම එදා සිදුකොට තිබෙන්නේ මන්ත්‍රීවරු බරපතල ඡන්ද මෙහෙයුමකට ලක් කිරීමෙන් බවය. හදිසි අවස්ථාව සදහා ජනාධිපතිවරයාට සහය දෙන්නට ඔහුට චන්දය දුන් මන්ත්‍රීවරු 12 දෙනෙක් ඉදිරිපත් නොවීමෙන් පෙන්වන්නේ රහස් ඡන්දයේ දී ඔහු ලැබූ ඡන්ද ප්‍රමාණයක් තවදුරටත් සැගවී සිටින බවය.

තවත් පෙනීයන දෙයක් වන්නේ ජනතාව විසින් තීරණාත්මකව ප්‍රතික්ෂේප කළ පුද්ගලයකු මගින් තමන්ට ආරක්ෂාව සපයා ගැනීමට ගත් මෙම පියවර නිසා තමන්ට ලැබුන ජනවරම තවදුරටත් අවලංගු කර ගැනීම පාර්ලිමේන්තු බහූතරය විසින් සිදුකර තිබීමය. මහජනතාව ඔවුන්ගේ වලංගුතාවය දිගටම ප්‍රශ්ණ කරනු ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පැහැදිලි ජනවරමක් රහිත මන්ත්‍රීවරයකු මේ අන්දමට ජනාධිපති වශයෙන් පත් කර ගැනීමෙන් සිදුවී තිබෙන්නේ යුක්ති සහගත බලයක් හෙවත් සුජාත බලයක් නැති විධායකයක් ඇතිවීමය. ව්‍යවස්ථාදායකය තවදුරටත් අවලංගුවී යාමය.

රට ආර්ථික වශයෙන් බංකොලොත් යයි ප්‍රකාශයට පත්ව තිබෙන අර්බූදයකට මුහුණ දී තිබෙන මොහොතක ජනතාවගේ සහය ලබා ගන්නට අවශ්‍ය සුජාතභාවයක් රහිත ආන්ඩුවක් තිබීම පුරවැසියන්ගේ ජීවිත තවදුරටත් ආගාධයට ගෙන යන බව කිවයුතුය. මන්ද 1950 දශකයේ සිටම මෙරට දේශපාලන යුක්තිය තහවුරු කිරීමට අවහිර කළ හදිසි අවස්ථා බලය අඩු නැතිව පාවිච්චි කරන්නට ජනාධිපති සහ පාර්ලිමේන්තුව තීරණය කර තිබෙන නිසාය.

හොදින් ආසන්නවී පරීක්ෂා කළහොත්1972 ව්‍යවස්ථාව සහ 1978 ව්‍යවස්ථාව ගෙන ඒමට සමිමාදම් වූ සියලු පක්ෂ දේශපාලන බිමෙන් අතු ගා දැමුනේ හදිසි අවස්ථා බලතල යොදා ගෙන අපේ රටේ ජනතාවට “දේශපාලන යුක්තිය” political justice අහිමි කළ නිසා බව ඕනෑම කෙනකුට පෙනෙනු ඇත.

මේ පැහැදිලි කිරීමෙන් පෙන්වන්නෙ ජනාධිපතිවරයකු පුරප්පාඩු කරන ඉතිරි කාලය මාස හයකට වැඩි නම් නව ජනාධිපතිවරණයක් පැවත්විය යුතු බවට සහ හදිසි අවස්ථාව සම්මතවීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමතිය අවශ්‍ය කරන බවට ව්‍යවස්ථා ප්‍රතිපාදන අලුතිනි අවශ්‍ය වෙන බවයි. අද හිතන්න තියෙන්නෙ මේවා ඇතුල් කරන ජනතා පරමාධිපත්‍යය සහ අයිතිවාසිකම් හදිසි අවස්ථාවකදී ආරක්ෂා කරන්නට යොමුවන ව්‍යවස්ථා සංශෝධනයක් ගැන බව සදහන් කළ යුතුය.

එහෙම නොවන්නේ නම් විධායක ජනාධිපති ධූරය අහෝසි කර දමා සාමාන්‍ය කැබිනට් ක්‍රමයකට යා හැකි පරිදි නව ව්‍යවස්ථාවක් පැනවිය යුතුය. අපට අවශ්‍යවන්නේ පාලකයා රජකු කිරීමට නොව ව්‍යවස්ථාව රජු බවට පත් කරන්නටය.

නවතම ලිපි