මට හොඳට මතකයි, මගේ අතිජාත මිත්‍රයෙක් වුණ රිචඩ් ද සොයිසා කියන අන්තර්ජාතික පිළිගැනීමට ලක් වූ ජනමාධ්‍යවේදියා 

“පැහැරගෙන ගිහිං” කියල දැනගන්න ලැබුණ ඒ කම්පාසහගත මොහොත.මම බ්‍රිතාන්‍ය කවුන්සිලයේ රඟ-ශාලාවේ තිරගතවන සිනමාපටයක් බලන්න ගිය වෙලාවක, බ්‍රිතාන්‍ය කවුන්සිලියේ ම සංස්කෘතික අංශයේ චිත්‍ර-ශිල්පී රැකියාවක් කරපු අපේ තවත් මිතුරෙක් තමයි මට මේ බව දැනුම් දුන්නේ. ඒ වෙනකොට රිචඩ්ගේ ලයනල් වෙන්ට්ඩ් නාට්‍ය කන්ඩායමේ හිටපු සහ පසුව රිචඩ් වැඩකරපු අයිපීඑස් මාධ්‍ය ආයතනයේ ද නිදහස්-මාධ්‍ය-සේවයේ නියුතුවසිටි මධුර ගනේගොඩ නැමති අපේ මිතුරෙකුත් අතුරුදහන්වෙලයි තිබුණෙ.

මේ මිතුරා නැතිවුණාට පස්සේ, රිචඩ්ට අයිපීඒස් එකේ වගකීමක් වෙනුවෙන් එහි සේවය කළ තවත් අපේ මිතුරෙක් එක්ක ඉන්දියාවට යන්න සිදුවුනා. අප අතරින් එක මිතුරෙක් පැහැරගෙන ගිහිං තිබුණු ඒ වගේ භයානක මිනීමරු වතාවරණයකදී, කපටි ලෙස ආරක්ෂාවීමේ උවමනාවක් තියෙන ඕනෑම කෙනෙක් කරන්නේ, ලංකාවට ආපහු නෑවිත් ඉන්දියාවේ ම නවතින එක.

ඒත් රිචඩ් සහ අපේ අනෙක් මිතුරා “මධුර මැරුණ එකේ අපේ ජීවිත විතරක් ආරක්ෂා කරගෙන මොහොකට ද? ගිහිං කරන්න පුළුවන් දෙයක් කරමු!” කියල අපහු ලංකාවට ආව. එකෙන් තමයි රිචඩ්ට තිරෂ්චීන ලෙස මැරෙන්න සිද්ධ වුණේ. ඉතින් අපි කවුරුත් “රිචඩ් ඉන්දියාවෙ ඉන්නනෙ තිබුණෙ” කියල ඔළුවෙ අතගහගත්ත. ඉතිං දැං සිනමාවේදී සත්‍යජිත් මා ඉටිපේ වගේ තවත් මගේ ඒ කාලෙ සමහර මිතුරෝ තර්ක කෙරුව “රිචඩ්ල ගත්තු තීරණය බුද්ධිමත් එකක් නෙවෙයි, කියල. නමුත් රිචඩ්ලගෙ ඒ භාවිතාව පසුබිමක තිබ්බහම පෙරබිමෙහි සිටින වෙනත් ඊනියා ප්‍රගතීශිලීන්ගේ යටරෙදි සහ හොර කැවුතු අහුවෙනව.

ඒ කාලෙ කොල්ලන්ට කෙල්ලන්ට කැරලිකරුවන්වීමට උසිගන්වන සහ පත්තුකරවනසුළු ගීත ලියල සහ ගයල හම්බකරගෙන, වැඩේ වැරදීගෙන යනව කියල දැනුනහම පැදුරටත් නොකිය ඉන්දියාවට පැනල ගියපු නන්දා මාලිනී-සුනිල් ආරියරත්න ජෝඩුව සහ තවත් සමහර අය රිචඩ් වගේ ආපහු ආවෙ නැහැ.  රටේ අවංක තරුණ තරුණියන් ලක්සයකට ආසන්න ප්‍රමාණයක් කම්මුතුවෙලා ටයර්වල පිච්චිලා මැරිල ඉවර වෙලා ලේ මතින් රට යථා තත්වයට පත්වෙනකම්, ඒ උදවිය ආයෙ ලංකාවට ආවෙ නැහැ. ඇවිල්ල දශක ගාණක් යනකං ජීවත් වුණේ සහ හැසිරුණේ මීට කලින් අරම සිංදු කිව්වෙ නැති අය වගේ.

ඒ ලංකාවට ඇවිත් මිනීමැරුවාය කියන ප්‍රේමදාගේ බිරිඳ හේමා ප්‍රෙමදාස අතින් සම්මානත් ගත්ත නන්දා ෂේප් එකක් දාගන්න. ඒ ජුදාස්වරු සහ ජුදාස්වරියන් වත්මන් අරගල භූමිය ෆුල් බකප් වෙච්ච වෙලාවල්වල විතරක් සුදු සාරිය ඇඳන් සිංහ කොඩි අතේ රුවාගෙන් ඇවිත් යනව මං දැක්ක. මේ අරගලය මුලදිත් මේ කලාකාර හොරු ටික ආව. ඊට පස්සෙ රනිල් අගමැතිවෙලා සංසුන්වෙලා අරගලය වේලෙනකොට මේ අය ආගිය අතක් නැති වුණා. දැන් වැඩේ ආයෙමත් ෆෝම්වෙලා හින්ද මෙයාලත් ආයෙම ඇවිත්.

මරේ මරු!

මෙයාල මේවට මහ ජාතික උවමනාවකින් එනව වගේ පෙනුනට, මෙයාල බහුතරයක් එන්නේ, මෙතෙන්ට ආපු බව අඟවල එක දාගන්න සහ තමන් කලාකාර අයිකන් එකක් විදිහට සංකේතීය ප්‍රාග්ධනයක් අත්කරගෙන, තමන්ගෙ සමාජ මාධ්‍ය ප්‍රොෆයිල් වයිරල් කරගෙන පොරවල් වෙලා, ඊළඟට එන ආණ්ඩුවකින් තනතුරු හෝ වරප්‍රසාද ඩැහැගන්නා කූට අරමුණින්.

ඉතිං මේ අරගලවලදී සාමාන්‍ය මිනිස්සු තුවාල වෙන සහ මැරෙන එක මෙයාලගෙ ප්‍රොෆයිල් අප් වෙන්න හොඳ වාතාවරණයක්. සමාජ මාධ්‍ය තුළ යමෙකුගේ ප්‍රොෆයිල් එක අප් වෙනව කියන්නේ, එයා වෙතට මූල්‍ය ප්‍රාග්ධනය එන චැනල්ස් ඕපන් වෙනව කියන එකයි. ඒ කියන්නේ, අරගලයෙන් පහුගිය දවස්වල කලාකාරයෝ හොඳට අනාගතයට හම්බ කරගත්තා. සමහර වේලි වේලි හිටපු එන්ජීඕකාර බුද්ධිමත්තු අලුත් දේශනාකාර බුද්ධිමත්තු බවට පත්වෙලා අළු ගසා දාල පරණ ඒවම ආයෙ කියවමින් කරලියට ආව.    

ඉතිං ඉදිරියේදී මැරෙන සහ තුවාලවෙන අරගලකරුවො ප්‍රමාණය වැඩිවෙනකොට, අරගලයට සංකේත වැලිව් එක වැඩිවෙනව. අරගලයේ සංකේත වැලිව් එක වැඩිවෙනකොට, ඒක වටේ කාක්කො වගේ කලාකාරයෝ, එන්ජීඕ කාරයෝ හම්පඩ වෙච්ච බුද්ධිමත්තු පිරෙනව සහ පොකුරු ගැහෙනව. මෙයාල මාධ්‍ය ඉදිරියේ සහ සමාජ මාධ්‍ය ඉදිරියේ පොර ටෝක් දෙනව. ඊට පස්සෙ අරගලයෙන් හම්බ කරගෙන කනව. ඒ නිසා දේශපාලනය තුළ තුවාල, මලමිනී විකුණං කනව කියන එක අපිට අලුත් දෙයක් නෙවෙයි. මුළු ලෝකෙටමත් අලුත් දෙයක් නෙවෙයි. දැන හෝ නොදැන කට්ටිය ඉන්නේ ජොබ් එකේ.

නියමයි නේ?

බලන්න, 1959යේ සැප්තැම්බර් 25 වෙනිදා බන්ඩාරනායක උන්නැහේ මරා දාපු එක දිහා. ඒකෙන් බණ්ඩාරනායක මැතිණියට ලෝකයේ පළමුවෙනි අගමැතිනිය වෙන්න තරම් ලොකු සංකේත ප්‍රාග්ධනයක් ගොඩගැහුනා. රටපුරා ජනයා ඇයට බලයට පත්වෙන්න කියලා හැඬූ කඳුලින් සිම්පති වෝට් දෙන්න පටන් ගත්තා. ඇය අම්බානක ලොකු චන්ද ගාණකින් මැතිවරණ දිනුවා. ඇය ලෝක පූජිත වුණා. අපි දන්න තරමින්, ඒ දෙන්න අතර මාර ආදර සම්බන්ධකමක් තිබුණෙ නැහැ. දෙන්න ම වෙන වෙන ලිංගික මාර්ගවල සැරිසරපු උදවිය. ඉතිං සැමියාගේ මරණය නව අගමැතිනියට වෙනම වූ මහා විජිතයක දොර ඇරල දුන්නා.        

රිචඩ් මරාදැමීම කියන දේ, රනිල්ගේ ගේ ඉදිරිපිට සිරස මාධ්‍ය ආවරණකරුවන්ට සිදුවුණ දේට වඩා අතිශය භයානක ගණයේ සිදුවීමක්. රිචඩ්ගේ සිරුර කොරලවැල්ලේ මුහුදුවෙරළේ තිබී හමුවූ නිසා, ඔහු මහුද මැදකට ගෙනගොස් මරාදමන්නට ඇති බවත්, අතැඟිලිවල නියපොතු ගලවා තිබූ අතර, පහරදී අසීමිත වධහිංසාවට පමුණුවන්නට ඇති බවත්, පුටුවක හින්දවා වෙඩි තියන ලද බවත් මරණ පරීක්ෂණයෙන් පසුව අනුමාන කරනු ලැබුවා. වෛද්‍යවරියක් වූ ඔහුගේ මවට රිචඩ්ගේ දේහය හඳුනගන්න පුළුවන් උනේ සිරුරේ තිබුණ කැළැල් විමසලා. ඔහුගේ සිරුරේ තුවාල පිට සහ පෙහළුවල දියපෙවීම සහ අනෙකුත් දේ වූ නිසා අවලස්සන වූයෙන් මිනී පෙට්ටිය පවා ඇරල නෙවෙයි තිබුණෙ. 1990 පෙබරවාරි 18වෙනිදා සිද්ධවෙච්ච මේ සිදුවීම 1992 ආරම්භ කරපු සිරස රටට ජාතක කර දුන් එම්ටීවී මාධ්‍ය හුටප්පර ජාලය නොදැන ඉන්න විදිහක් නැහැ.

ඒත් සමහර අවස්ථාවල මේ වගේ ප්‍රාග්ධන කේන්ද්‍රීය ආයතනය හැසිරෙන්නෙ සහ මාධ්‍ය භාවිතා කරන්නෙ, එහෙම ඒව ගැන දන්නෙ නෑ වගේ. මොකද ඇන ඇන කියන්න කවුරුත් නැති බව ටක්කකෙට ම දන්න නිසා.

බලන්න, මේ මිනීමැරුම සිද්ධ වෙච්ච වෙලාවෙ, රිචඩ්ව මැරුවෙ මෙන්න මේ හමුදා නිළධාරියා හෝ මෙන්න මේ පුද්ගලික හමුදාවෙ මැරයා කියා හෝ, මේ මරන මෙහෙයුම සිදුකළේ සජිත්ගෙ තාත්තා වන හිටපු ජනපති ප්‍රේමදාසගේ අනුදැනුමෙන් කියල හෝ කවුරුහරි පැන පැන කීවද?

නෑ!

මාධ්‍යවල ඉන්න කවුරුවත් කෙළ පිඩක් හෙලුවෙ නැහැ. ඒ සිදුවීම අතිසාමාන්‍ය සිදුවීමක් වාර්තා කරන විදිහට නිකං වාර්තා කළා මිසක, සුළු හෝ ඇබිති ස්වාධීන මත ඉදිරිපත් වුණේ අල්පමය වශයෙන්.

මේ වගේ පුන පුනා කියන මාධ්‍ය පුවත් පැටවුගැසීම ඒ මරණය වටා සිද්ධ වුණේ ම නැහැ.

එහෙම කළා නම් අම්බානක කන්න වෙනව නෙවෙයි, කෙලින්ම මිසිං වෙනව.

කරපු පුද්ගලයාගේ එක සෛලයක්වත් හොයාගන්න බැරිවෙනව.

 sira1

මොකද, ඒ කාලෙ ආණ්ඩු කළේ දැන් ඔය මාර ප්‍රජාතන්ත්‍රවාදී ටොක් දෙන සජිත්ගේ තාත්තා වන ත්‍රාඩා ලුම්පන් සම්භවයක් ඇති රණසිංහ ප්‍රේමදාස ජනාධිපති.

මොකද ඒ වෙලාවෙ ප්‍රේමදාස-රන්ජන් නමැති ආණ්ඩුව හිටියෙ, දැන් ඉන්න ආණ්ඩුව වගේ “වෙඩි තියන්න එපා” කියන උපායමර්ගයේ නෙවෙයි. සජිත්ගෙ තාත්තා වන කෙහෙල්වත්තෙ සුචරිතේ රණසිංහ ප්‍රේමදාසයි, එයත් එක්ක තකට තක හිටපු නියෝජ්‍ය ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්නයි හිටියේ එවැනි පදනමක නෙවෙයි. ඒ වෙලාවෙ ප්‍රේමදාස-රන්ජන් ආණ්ඩුව හිටියෙ, “අතුරුදහන් කරල, වධ දීල මරා දාපල්ල, ඉවරයක් කරපල්ල” කියන උපායමාර්ගයේ.

ඇයි?

සජිත්ගෙ තාත්ත වන ජනපති රණසිංහ ප්‍රේමදාස කියන්නේ, එක පැත්තකින් ජනයාට අවිධිමත් සුභසාධන සපයන්න මාර ට්‍රයි එකක් දුන්නු ලාභ බිහි කළ යුතු ධනවාදය තුළ දන්සැල් කරන්න ගිහින් අසාර්ථක වෙච්ච නායකයෙක්. අනෙක් පැත්තෙන තමන්ට විරුද්ධව එන ඕන ම කෙනෙකුව අතුරුදහන් කරවන්න දෙපාරක් නොහිතන ජාතියේ කෙහෙල්වත්තේ නාගරික ලුම්පන් ජානයකට දාව හැදී වැඩුණු ත්‍රාඩ නායකයෙක්. මේ ගැන දන්නේ ම නැති නම් ජේ.ආර්. සහ රණසිංහ ප්‍රේමදාස යන දෙන්නා එක්කම ලේකම්දූරයේ වැඩකරපු බ්‍රැඩ්මන් වීරකෝන්ගෙන් අහන්න. රටක් පාලනය කරත්දි කොළඹ 07යි කෙහෙල්වත්තයි අතර රාජ්‍යතාන්ත්‍රික භාවිත දෙකක් තිබුණ බව එයා අත්දැකීමෙන් ම කියා දේවි. 

අනෙක් පැත්තෙන් 88-89 යුගය කියන්නේ, ආණ්ඩු විරෝධී කරලිකරුවන් සහ කැරලිකරුවන් කියා සැක කරපු උදවියගේ තරුණ මල සිරුරු විකෘතකර මහපාරවල් පුරා ප්‍රදර්ශනය කරමින් තුන් බිය පතුරුවන, ආණ්ඩුව හෝ ඊට සම්බන්ධ ප්‍රධානීන් හෝ ඒවායේ පාක්ෂිකයින්ව දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නාඳුනන තුවක්කුකරුවන් විසින් මරාදමා ජේවීපී පොඩි-ආණ්ඩුවක ද හයිය පෙන්වන, ත්‍රස්තවාදීන්ගේ හෝ ඔවුන්ගේ යැයි සැක කරන බෝම්බ ප්‍රහාරවලින් ජීවිත සැනකින් දුහුවිලි බවට පත්කරන, මේ කියූ ප්‍රධාන සහ ප්‍රසිද්ධ එදිරිවාදී පාර්ශවයන්ගේ මාරක ක්‍රියා ම දඩමීමා කරගෙන, අප්‍රසිද්ධව පුද්ගලික කෝන්තර ද පිරිමහගැනීමට තමන්ගේ ම පාක්ෂිකයන් පවා හොර රහසේ මරා දමන, සියළු දෙනා සියළු දෙනාට ම විරුද්ධව යුධවදිමින් ජීවත් වීමට සහ මිය යාමට බලකෙරුණ, භීතිය යුක්තිසහගත කළ සහ ප්‍රජාතන්ත්‍රවාදය අසමතුලිත කරවන තර්ජනාත්මක වටපිටාවක් නිර්මාණය වී තිබුණ කාල වකවානුවකට යි.

ඊට පස්සේ 1994දි, කලින් තිබුණ භීෂණ ආණ්ඩුව අයින් කරන්න ඕන කියල, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග බලයට ආව. ඔක්කොම වැරදි හදන්නං කියල ආවට, එයා ඇවිල්ලත් ටික කාලයක් යනකොට එයාගෙ රෙජීමයටත් පිටකොන්ද තියෙන මාධ්‍යවේදීන්ව ඇල්ලුවෙ නැහැ. තමන්ට බලයට එන්න පාර කපමින් ශ්‍රීලනිපය තුළ සහ නාගරික ප්‍රජාව අතරේ තමංගෙ නායකත්ව ප්‍රතිරූපය තාර්කිකව ඉහළට එසවූ ජ්‍යෙෂ්ට මාධ්‍යවේදී වික්ටර් අයිවන් කියල කෙනෙක් හිටියෙ නැති ගාණට අමතක කරල දාල, තමන්ගෙ ආතල් එක වෙච්ච නළු බට්ටා වන සනත් ගුණතිලක මාධ්‍ය උපදේශක තනතුරට පත් කරගත්තා. 

රිචඩ්ගෙ ගෙදර උදේ හවා ආපු ගියපු ආහාර මේසයට පවා එකට හිඳගත්තු සිවරාම් කියන කෘතහස්ත ජනමාධ්‍යවේදියාව චන්ද්‍රිකාගේ පාලන බලය කාලේ, බම්බලපිටියේ පිහිටි සාමාන්‍ය ජනමාධ්‍යවේදීන්, කලාකරුවන් හෝ බුද්ධිමතුන් මධුවිත තොලගාන වලව්ව නැමති කුඩා ස්ථානයෙන් නාඳුනන තුවක්කුකරුවෙකුගේ ග්‍රහණයෙන් පිටතට අරන් ගිහින් තිබුණා. පසුව පාරක් අයිනේ වෙඩි තියල මරල දාල තිබුණ. අදටත් ඒ ගැන පරීක්ෂණයක් ගැන අහන්න නෑ. 

ඒ කාලෙ වෙනකොටත් සිරස තිබුණට, අර කලින් රිචඩ්ගේ සිද්ධියේ තරම් අවධානමක් සමාජයේ නොතිබුණත්, සිරස හෝ වෙන කිසි මාධ්‍යයක් ඔය නිව්ස් එක මේ වගේ රිපීට් කර කර කියවන්න ගියේ නැහැ.

  sira2       

ඊට පස්සෙ රටේ ආණ්ඩුව ඇතුළට ආපු ජවිපෙ, රටේ අගමැති වෙන්න සුදුසු ලක්ෂ්මන් කදිරගාමර් කියන මතය කියාපාන යුගයක, ඊට පසු ව ආපු චම්පික රණවකගේ ජාතිකවාදී-ජාතිවාදී මිශ්‍රණ මතවාදයෙන් භෞතීස්මය අරගෙන ජනාධිපති වෙච්ච කොහෙවත් හිටපු මහින්ද කියන වසලයාගේ සහ ආරක්ෂක ලෙක්ම් වෙච්ච එයාගෙ මල්ලී වන ඝෙෘ්ඨාගේ යුධ පොරවාදී ආතල් එකෙන් ජනයා ඩෝප් වෙලා ඉන්න සමයක, ගවේශණශීලී මාධ්‍යවේදී සම්මානයට පාත්‍ර පෝද්දල ජයන්ත ආණ්ඩුවේ ජාතිවාදයට විරුද්ධව කෑගහපු නිසා ඇඹුල්දෙනියේ දී අල්ලාගෙන, වාහනයක දමාගෙන ගොස් ආණ්ඩුවේ මර්වින් සිල්වාගේ යැයි සැක සිතන තගාලා කට්ටියක් විසින් කකුල් අත් පා ජොයින්ට්වලින් ම ‘කඩා දමලා, ඊට පස්සෙ එයාව බලන්න තානාපතිවරු, රනිල් ඇතුළු විපක්ෂය පවා කොලඹ මහ රෝහලට එත්දීත්, එයා ගැන එක ම නිව්ස් එකක් දිගින් දිගට ම කිසිම මාධ්‍ය ආයතනයක රිපීට් වෙවී ප්‍රචාරය වුණේ නෑ.

එකක්, ඒ කාලෙ රටේ ජනතාව හිටියෙ වෙනිං තත්වෙක. ඒ කියන්නේ දැං අරගලයෙන් ඩෝප් වෙලා ඉන්නව වගේ, ඒ දවස්වල රටේ ජනතාව හිටියෙ යුද්දෙන් සහ මහින්ද රාජපක්ෂ කියන එකාගේ පොල්මුදලාලි ටයිප් උඩු රැවුලට ඩෝප්වෙලා. ඒ හින්ද රටේ කිසිම මාධ්‍යයක් පෝද්දලගෙ පැත්තෙ ඉඳන් කතා කරන්න හෝ පුන පුනා ප්‍රචාරය කරන්න ඉදිරිපත් වුණේ නැහැ. එහෙම කරන්න හිතුනත්, ඒ එක්ක ම සුදුවෑන් එකකකුත් හිතේ මැවෙන තත්වයක් මාධ්‍යවේදී සිත් සතන් තුළ තිබුණ නිසා, කුවරුත් නිකං පැනල දීල අත පුච්චගන්න සූදානම් වුණේ නැහැ. ඒ කාලේ සිරස ඒ පොදු මාද්‍ය භාවිතයට වෙනස්ව මාර රැඩිකල් වුණාය කියල කොහෙවත් සඳහන් වෙන්නෙත් නැහැ.  

තව මෙකී නොකී සීරියස් මාධ්‍ය වධ-හිංසා සහ මිනීමැරුම් කියන්න ගියොත් තොග ගණන් තියෙනව. ඒත් ඒ කිසි එකක් ගැන, එක ම නිව්ස් එක නැවත නැවත රිපීට් කර කර ලිව්වෙත් නැහැ, ටෙලිකාස්ට් වුණෙත් නැහැ.

sira3

එහෙම වුණේ එකී මාධ්‍යවේදීන්ට වෙච්ච ඇබැද්දිය හෑල්ලු කරන්න හිතාගෙන නෙවෙයි. එකක්, ඒ කාලවල තිබුණ රෙජීමයන්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය නිසයි. අනික සාපේක්ෂව හෝ යහපත් ප්‍රජාතන්ත්‍රවායක් ඇති නිදහස සලකන රෙජීමයක් පැවති කාලයකදී වුණත්, බහුතරයක් මාධ්‍යවේදීන්ට නිව්ස් රිපීට් කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය ක්‍රියාපටිපාටියක් තිබුන.

දැනට මම උපායිකව ඒ ප්‍රතිපත්තිමය ක්‍රියාපටිපාටියට අදාළ කාරණා තුනක් විතරක් ගෙනහැර දක්වන්නම්.

■        එකක් නම්, යම් සිද්ධියක් ප්‍රකාශ කරන මොහොතේ, ඒ සිද්ධිය පහුකරමින් ඉන්න යුගයේ බරපතලකම මාධ්‍යවේදියා සැලකිල්ලට ගතයුතු වීම.

■        දෙවැනි එක තමයි, සුවිශේෂී අනතුරක් වලක්වා ගැනීමට මිසක එහෙම දිගින් දිගට එකම නිව්ස් දාන එක, වෘත්තීය මාධ්‍ය විනය නොවීම.

■        තුන්වෙනි එක තමයි, තමන්ගෙ මාධ්‍ය සගයෙකුට අනතුරක් වූ තත්වයකදී වුවත්, වාර්තා කිරීමේ ක්‍රියා පටිපාටිය වෙනස් නොවීම. (පටිපාටිය වෙනස් වන්නට නම් ප්‍රතිපත්තයත් වෙනස් වෙන්න එපැයි.)

ඒ කියන්නේ, සමාජයකට සිදුවීමක් වාර්තා කිරීමේ දී, මාධ්‍ය ආවරණයන් කිරීම, පලකිරීම හෝ විකාශණය කිරීම කළ යුතු වන්නේ, “අනුක්‍රමයෙන් එන තොරතුරක් හෝ පුවතක් හා බැඳුනු ඉදිරි තොරතුරු හෝ පුවත් ලැබෙන පිළිවෙලට සමාජ හිතවාදී වාද-විෂය තත්වයක් වර්ධනය වෙමින් ඉදිරියට යන පරිදි, නව තොරතුරු එකින් එක පෙළගැස්වීමෙනි. සමහර අවස්ථාවලදී ලැබෙන තොරතුරු සත්‍ය වුවත්, ඒ මොහොතේ ජනයාට එළිදරව් කිරීමෙන් සමාජ අනතුරක් සිදුවෙනවා නම්, ඒ පුවත හෝ තොරතුර නොකියා හිඳීමේ වෘත්තීයමය වගකීමක් ද තියෙන බව මෙතනදී සැලකිල්ලට ගත යුතු වෙනව.

ඒ නිසා සමාජයට හෝ එහි දේපලවලට ඕන දෙයක් වෙච්චාවෙ කියල එන එන හැම නිව්ස් එකම ගෙඩිපිටින් ප්‍රචාරය කිරීම හෝ රිපීට් කිරීම මාධ්‍ය වගකීම නෙවෙයි. (මෙතන සිරසෙන් අතින් කෙරුණේ නොකියා හිඳීම නෙවෙයි, එකම දේ වෙන වෙන ආකෘතිවලින් නැවත නැවත කීම සහ කුපිත වූ ජනයාට විනාශය සිදුකළ හැකි ඉලක්කය වෙත යන පාර පවා පෙන්වාදීම.)

මාධ්‍යවේදියා කියන්නේ එන ඕන පුවතක් හෝ තොරතුරක් ඔහේ යාන්ත්‍රිකව ප්‍රචාර කරගෙන යන රොබෝ කෙනෙක් නෙවෙයිනේ. එයා හතරවෙනි පුරවැසියා යන ගෞරවනීය තනතුර භාරගැනීමේ පුහුණුව ලබා එයින් ශික්ෂණය වෙලා සිටිය යුතුයි.

අරගලය මෙහෙයවන අය අතර යමක් හදාරපු බුද්ධිමතුන් උදවිය ඉන්නව නම් එයාලට තේරුම් ගන්නයි මේ කියන්නේ. අරගලයක් ජයගෙන හදන නව-සමාජයක් පවත්වාගෙන යාමට වුවත්, අරගලය සිදුවෙමින් පවතින මොහොතේ සිට ම සමාජයට සාධනීය වූ සමාජ ප්‍රමිතීන් බිඳ දමා එය නොකළ හැකි බව තේරුම් ගන්න. ඔයාලා යන්නේ රාජපක්ෂලා පන්නලා වඳුරන්ගෙ ආණ්ඩුවක් හදන්න නෙවෙයිනේ.

අරගලය ඉදිරියට ගෙන යා යුත්තේ, සමාජය තුළ සිදුවන සියුම් වුවත් තීරණාත්මක අව-ප්‍රමිතීන් නිරන්තරයෙන් පිටුදකිමිනුයි.

නැත්තං ඉතිං ලෙනින්ට අරගලයක් කරන්න ඔච්චර නහුතයක් පොත් ලියන්න කැහිල්ලක් තියෙන්න විදිහක් නැහැනේ. එයත් දැනගෙන හිටිය, අරගලයකට එදිරිවාදී පාර්ශව සේම අරගලයේ නියුතුව සිටින හෝ උදව් කරන පාර්ශවයත් එකසමාන විද්‍යානුකූල විවේචනයකට ලක්කළ යුතු බව. ඒ නිසා “සිරස හරි, ගෙවල් ගිනිතියපු එකත් හරි, රනිල් විතරයි වැරදියි” කියන බොළඳ වාක්‍ය දෙසන කිසි හුජ්ජ කොල්ලකුට හො කෙල්ලකට මින් මතුව රටක මාධ්‍ය හෝ වෙනයම් නියාමන ප්‍රමිතීන් එක්ක පිස්සු කෙලින්න දෙන්න එපා!

අරගලයත් ගෞරවනීය විදිහට කරන්න උගන්වන්න!

තමන්ගේ කේඩර්වරු පදනම් විරහිතව ඇමරිකා එක්සත් ජනපදයට විරුද්ධ වෙනකොට ලෙනින් ඒ ආන්තිකත්වය පිළිගත්තේ නැහැ. එහිදී ඇමරිකා එක්සත් ජනපදයට හොඳ ම පුස්තකාල පද්ධතියක් තියෙන බවත්, රුසියන් කේඩර්වරු ඒ ක්‍රම-පද්ධති උපුටාගෙන ඉගෙන ගතයුතු බවත් ලෙනින් පැවසුවා.          

 

තමන්ගේ ළමයෙකුට ගැහුව එකට හැඟීම්බරවෙලා පොලිසිය ඉස්සරහ එක දිගට සාප දි දී කෑ ගහන අම්ම කෙනෙක්ගෙ තත්වයට පත්වීම සාමාන්‍ය පුරවැසියෙකුගේ විදිහ මිසක් මාධ්‍ය භාවිතා කිරීම පිළිබඳ කිසිදු නිර්ණායකයකට ඒ භාවිතය අදාළ වන්නේ නැහැ. නමුත් මේ නිෂ්චිත සංදර්භයේදී සිරස ද එවන් සාමාන්‍ය හැඟීම්බර පුරවැසියෙකුගේ තත්වයට පත්වුණා. ඉතිං අවම තරමින් කීවොත්, කිසිදු විනයගත මාධ්‍ය සදාචාරයකට හෝ වෘත්තීය වගකීම්සහගත බවකට ඒ මාධ්‍ය භාවිතය අදාළ වන්නේ නැහැ.

රිචඩ් මැරිච්ච වෙලේ වෛද්‍යවරියක් වුණු ඔහුගේ මව වන මනෝරාණි පවා ඔය වගේ හැසිරුනේ නැහැ. ඇය වෛද්‍යවරියක් සහ උසස්-මධ්‍යම පංතික සංස්කෘතියක සාමාජිකාවක ලෙස තිබුණ පසුබිමකින් පැමිණි ගැහැනියක් වන නිසා “ගෝරි දාගන්නේ නැතුව සටන් කරන විදිහ” ගැන අදහසක් තිබුණා. ඒ හින්ද තමයි ඇය මව්වරුන්ගේ සංගමය හදල ප්‍රේමදාස-රන්ජන් ආණ්ඩුවට විරුද්ධව මව්වරුන්ට නායකත්වය දුන්නේ.

සිරස මේව ගැන දන්නෙ නැතිද?

ඒකේ ඉන්නේ මේවා නොතේරෙන Commonersලා ද?

නෑ!

මන් දන්න තරමින් වෙන කෙනෙක් සිරස කළ දේ ම කළා නම්, මාධ්‍ය හසුරුවන්නේ මෙහෙමෙයි කියල විද්වත් සාකච්චා හසුරුවන්න වුණත් පසුබට වෙන්නේ නැති සෘජු මාධ්‍ය ආයතනයක් සිරස.

ඒ නිසා පළමුවෙන් සිරස තම මාධ්‍යවේදීන්ට පහර දීමට අදාළ සාක්ෂි සමගින් නීතිමය ක්‍රියාමාර්ගයකට යා යුතු අතර, එහිදී ඊට අදාළ හමුදා හෝ පොලිසිය තම රාජකාරිය පැහැර හැරල තියෙනව නම්, ඊට විරුද්ධව කලහැකි උපරිමය කර මාධ්‍ය නිදහස වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතුයි. ඒ විතරක් නෙවී, මේ පොලිස් හෝ හමුදා නිළදාරීන්ට සිරසේ මාධ්‍යකරුවන්ට ගහන්න කියල අණ දුන්නේ රනිල් නම්, ඔහුට විරුද්ධව ද නෛතික ක්‍රියාමාර්ග ගත යුතුයි. සියළු මාධ්‍ය සංවිධාන සිරසව තනි නොකර ඒ ශිෂ්ට සංදර්භය තුළ පමණක් ඔවුන්ට සහය දිය යුතුයි.  

නමුත් රනිල් සම්බන්ධයෙන් සිරස ගැන බොහෝ මාධ්‍ය සගයින් කතාබහ කරන ජනයාට අවිඥානික ඇත්ත කතාව වෙනිං ඉතිහාසයක් එක්ක සම්බන්ධයි. ඒකෙන් මේකට සම්පූර්ණ බලපෑමක් නැතත්, දැනට සිරසේ පවතින ආකල්පය සහ ගතිකය, රනිල්ගේ නිවස ඉදිරිපිට මේ සිද්ධිය පිලිබඳ සිරස පුවත් වාර්තාකරණ කරපු රීතිය තුළ යම් හෝ කොටසක් නියෝජනය කෙරෙන බව පේනව.

දැනට කාලාන්තරයකට කලිනුත්, සිරස විසින් තම ආයතනයේ ප්‍රධාන ධනපතියා වූ ආර්. රාජමහෙන්ද්‍රන් සහ රනිල් වික්‍රමසිංහ අතර ඇතිවූවා යැයි පැවසෙන නොනිලව ප්‍රචලිත ප්‍රතිවිරෝධයක් හේතුවෙන් හටගත් කොන්තරයක් නිසා, සිරස ආයතනයේ අයිතිකාර ධනපතියාගේ මැදිහත්වීම මත රනිල්ට “ලජ්ජා නැති නායකයා” යන අනුවර්ත නාමය යොදමින්, ඒ මත පිහිටා රනිල්ගේ දේශපාලන ප්‍රතිරූපයට පහරදෙන මාධ්‍ය ආවරණයක් කරගනෙ ගිය බව මධ්‍යස්ත මාධ්‍යවේදීන් වන අප කවුරුත් දැන සිටි  දෙයක්.

ඒ වෙලාවයි මේ වෙලාවයි නිකං සමාන පද වගේ.

sira5

ඒ වෙලාවෙත් “වාර්තා කිරීමේදී අනුක්‍රමයෙන් එන තොරතුරු පිළවෙලට එකින් එකට වර්ධනාත්මක නව තොරතුරු සමඟින් මාධ්‍ය ආවරණයන් කිරීම” කියන සමාන්‍ය පටිපාටිය ලෙස විය යුතු වෘත්තීමය වගකීම සහිත මාධ්‍ය භාවිතය සිරස අතින් පැහැර හැරුණා. ඒ කාලෙත්, සිරස නිවැරදි භාවිතයෙන් හදිසියේ පිට පැන්න කියල තමයි, මා ඇතුළු මාධ්‍ය විනය සහ එහි නිවැරදි අනුක්‍රමය දත් සියළු මධ්‍යස්ත මාධ්‍යවේදීන්ගේ අදහස වුණේ.

නමුත් පඩියට වැඩ කරනකොට ඕනම මාධ්‍යවේදියෙකුට තම මාධ්‍ය ආයතනය අයිතිකරු හෙවත් ප්‍රාග්ධන හිමිකරු එක්ක ගනු දෙනුවකට යන්න සිද්ධ වෙනව. ආණ්ඩුවේ ආයතනයක් නම් ආණ්ඩුව එක්ක ගණු දෙනුවකට යන්න සිද්ධ වෙනව.

මෙහිදී සමහරු පුද්ගලික මූල්‍යමය ලාභ ප්‍රයෝජනය නිසා, හේතුවිරහිතව අයිතිකාර ධනහිමියා කියන ඕන දෙයක් ලියනව ප්‍රචාර කරනව. සමහරු තම ප්‍රතිපත්තිය වෙනුවෙන් විතරක් සටන් කරනව. තවත් සමහරු අයිතිකරු සමග අතරමැදි තත්වයකට එන්න උත්සහ කරනව. ඒත් සිරසේ “ලජ්ජා නැති නායකයා” කියන ඒකපාර්ශවීයව රනිල් විරෝධී කැම්පේන් එකේදී සිරසේ මාධයවේදීන්ට, රාජාමහෙන්ද්‍රන් කියන දේට නතු වෙන්න සිද්ධවුණා කියන එක තමයි ප්‍රශස්ත මාධ්‍යවේදීන් අතර ඒ කාලේදී සහ අදටත් පවතින අදහස.

ඒත් ලෝකේ කොහෙදි වුණත් ජනමාධයවේදීන් දැනගන්න ඕන එක දෙයක් තියෙනව. ඒ තමයි, ජනමාධ්‍යවේදීන් කියන්නේ, කවුරුහරි කියන දේ කොපිකරල කියන-කරන ක්ලාක් මහත්තුරු හෝ සුළු සේවකයින් නොවන වග. ජනමාධ්‍යවේදීන් කියන්නේ, රටේ හතරවෙයනි පුරවැසියන්. සමහරු මේකට හතරවෙනි ආණ්ඩුව කියලත් කියනව.

ඉතිං හතරවෙනි පුරවැසියාට සාමාන්‍ය පුරවැසියෙක් විදිහට හැඟීම් හෝ ආවේගශීලී ගේම් ගහන්න හෝ කොන්ත්‍රාත් භාරගන්න අයිතියක් නැහැ. විශේෂයෙන් රටක් අනතුරුදායක තත්වයක තිබෙන මොහොතක, එය කළ යුතු ම නැහැ. මාධ්‍ය විසින් හැම පාර්ශවයක ම මානව හිමිකම් රැකෙන පරිදියි ක්‍රියා කළ යුතු වන්නේ.   

ඒත් “ලජ්ජා නැති නායකයා” කියන කියන කැම්පේන් එක ක්‍රියාත්මක වන වෙලාවෙ, රට තුළ උණුසුම් අරගල වාතාවරණයක් හෝ සෘජු යුධ වාතාවරණයක් හෝ ඊට සම්බන්ධ වී නොතිබුණ නිසා, ඒකෙන් ලොකු හානිකර බලපෑමක් වුණේ නැහැ. ටික කලකට රනිල්ගේ ප්‍රතිරූපයට යම් හානියක් සිද්ධ වුනා, එච්චරයි. රනිල් ඒව ගණන් අරන් ඒ පස්සෙ පන්නන්නෙ නැති ජාතියේ පෞර්ෂයක් හින්ද ඒක කොහොමත් දුරදිග ගියේ නැහැ. 

අනික මේ වත්මන් සිද්ධියේ දී පහර කෑ සිරස මාධ්‍යවේදීන් රෝහල්ගත කරන මොහොතේ, සිරසට සම්බන්ධ ප්‍රධානියා ඉස්පිරිතාලෙ ඉදරිපිට ඉඳන් මේකට මානව හිමිකම් ඇක්ෂන් එකක් සහ නීතිමය ඇක්ෂන් එකක් ගන්නව කියල මාධ්‍යවලට ඉංග්‍රීසියෙන් කිව්ව. ඇත්තට ම ඒක තමයි කරන්න තිබුණ හොඳම සහ ශිෂ්ට ම දේ.

ඒක දැකල මට සිරසේ ක්‍රියාකලාපය ගැන යම් ගෞරවයකුත් ඇති වුණා. එහෙම නම් සිරසට ඇත්තට ම කරන්න තිබුණෙ, මේ පහරදීමේ නිව්ස් එක සිරසෙ එක පාරක් දෙපාරක් ප්‍රචාරය කරල, ඊට අදාළ මානව හිමිකම් සහ නීතිමය ක්‍රියාමාර්ග වෙතට පිවිසෙන එක. ඊට පස්සේ, ඒ ආයතනවලින් අදාළ යුක්තියේ තීරණය ආවහම, හොඳ මීඩියා කැම්පේන් එකක් දීල, නෛතික සහ මානව හිමිකම් ආයතතන කියන ඇත්ත සමාජයට හෙළිදරව් කරන්නයි තිබුණේ. ඒහෙම කළානම්, සිරස මාර ම විධිමත් ආයතනයක් විදිහට ලක් ඉතිහාසයට එකතු වෙනව.

නමුත් සිද්ධ වුණේ සිරස සිද්ධිය හත්පොලේ ගාගෙන සමාජ-ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය-ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ඉදිරියේ අවප්‍රමාණ වුණා වගේ වැඩක්.   

සිරස ප්‍රධානියාගේ ඒ කතාව අහලා, සිරසේ ඉතුරු නිව්ස් බලාගෙන යනකොට ඒකෙ තිබුණේ, දැන හෝ නොදැන රනිල්ගේ මානව හිමිකම් උල්ලංඝනය වෙන තැනට මාධ්‍ය භාවිතා කරන වට්ටි අම්ම ටයිප් රිපීට් නිවුස් සෙෂන් එකක්. සාමාන්‍යයෙන් රිපීට් නිවුස් සිද්ධ කරන්නේ, ජනතාව අසීරුවකට අවදානමකට පත්වෙන හෝ පත්විය හැකි සුනාමියක් එන්නට තිබෙන, බෝම්බ ප්‍රහාරයක් සිද්ධ වෙන්නට නියමිතව පවතින සිදුවීමකදි, එයින් ජනයාව බේරාගන්නටයි. එහෙමත් නැත්තං ඉක්මනින් සිදුවෙන්නට යන වෙනත් අනතුරක් නවත්වාගන්නට යි.

මෙතන සිරස මාධ්‍යවේදීන් පහරදීමට ලක්වෙලා ඉස්පිරිතාලෙ අරන් ගිහිනුත් ඉවරයි. 

ඒ නිසා මෙතනදී සිදුවූ රිපීට් නිව්ස් බ්‍රොඩ්කාස්ට් එක පැහැදිලිවම හැඟීම් සහ ආවේග පදනම් කරගත්තු එකක් විතරයි, කියන එක සිරසට පිළිගන්න වෙනවා. අනික, සිරස මේ විදිහට අවධානම ගේන රිපීට් නිව්ස් සෙෂන් එකක් කළේ, ඊට ඉතා මෑත දවසක් වන, එක් අප්‍රේල් 09 වෙනිදාවක මහින්දවාදීන් ගෝල්ෆේස් අරගලයට පරහර දීමට ප්‍රතික්‍රියක වශයෙන් රටපුරා දේශපාලකයින්ගේ නිවෙස්වලට ගිනි තැබූ සහ මරා දැමු අරගල පාක්ෂිකයින්ට හිතවාදීන් සහභාගිවන තවත් උණුසුම් අරගලයක් ජූලි 09වෙනිදා මෙහෙයවෙමින් තිබෙන වෙලාවක කියලත් සිරස හොඳට ම දන්නව.

 

sira7 

තව පැත්තකින්, මේක අරගලය ඇතුළේ අරගලයට විරුද්ධවාදීන් අරගලයේ නම කැත කිරීමට අවස්ථාවක් එනතුරු මගබලන් හිටපු මොහොතක්. ඒ වගේ ම අරගලයේ ප්‍රධාන පාර්ශවකරුවෙක් වෙච්ච රණසිංහ ප්‍රේමදාසගේ පුත් සජිත් සහ ඔහුගේ ආධාරකරුවන් ද ඊට සහභාගීවෙමින් හිටපු මොහොතක්. ඒ කියන්නේ, ඒ අතර සජිත්ට පාක්ෂික කෙහෙල්වත්තේ ලුම්පන් මැර ප්‍රජාවන් අරගලය නියෝජනය කරමින් සිටින්නට ද බොහෝ ඉඩකඩ තිබුණා.

මෙවන් අනතුරකට විවෘත සමාජ දේශපාලනික තත්වයක්, මේ කියූ විදිහටවත් විග්‍රහකරගන්න බැරිනම් සිරසේ ඉන්නේ බබ්බුද? ඉතින් මිනිසුන් රනිල්ගේ ගෙදර වටකරගෙන ඉන්නකොටවත්, “ගෙදරට හානියක් කරන්න එපා” කියන කැම්පේන් එකවත් ගෙනියනවා වෙනුවට, රනිල්ගේ ගෙදර කොතැනද කියා හොය හොයා ඉන්න අයට ඒ දෙසට යන පාර පවා කීවේ මොන මාධ්‍ය වෘත්තීයකත්වයක පිහිටල ද? ඒ මොන මාධ්‍ය සදාචාරයක ඉඳන්ද?

මේක හරියට සහරාන් බෝම්බ තිබ්බ පලියට, සමස්ත මුස්ලිම් ජනයා ඔවුන් ඒකට සම්බන්ධ නැති බව කියා තිබියදීත්, ඔවුන්ට පහර දෙන්න අනුබල දුන්නා වගේ වැඩක්. අඩුම තරමේ ඒ වෙලාවේ කාඩිනල්තුමා මුස්ලිම්වරු වෙනුවෙන් හැසිරිච්ච ශිෂ්ට විදිහ දැක්ක නම්, ඒකෙන්වත් ඉගෙන ගන්න තිබුණා.

ඇත්ත ඒක නෙවෙයි. පුද්ගලයෙක් හෝ ආයතනයක් කා සමඟ හෝ සදාතන කෝන්තරයක් යට තියාගෙන ඉන්න මොහොතක, නාඳුනන කෙනෙක් කරපු වරදක් වුණත්, ඒ වැරැද්ද හොයන්නේ කෝන්තරේ තියෙන කෙනා තුළ යි. එතනදී, මාධ්‍ය මෙහෙයවීමට අදාළ විනයමය චිත්‍රය බොඳවෙලා ගිහින්, අර කෝන්තර හැඟීමට අදාළ බොඳ චිත්‍රය කරලියට එනවා. කොන්තරයක් නොතිබුණත් තමන්ට වෙච්ච අසාධාරණයක් වෙනුවෙන් සාමාන්‍ය පුරවැසියෙකු පවා ගතයුතු ක්‍රියාමාර්ග මීට වඩා සබුද්ධික(ර්එසදබ්ක) විය යුතුයි.

අනික මේ රිපීට් නිව්ස් ටෙලිකාස්ට් මෙහෙයුම සබුද්ධිකව වෘත්තීය ප්‍රමිති අනුකූලව කරපු එකක් නම්, කළ යුතු සාධාරණ දේ වුණේ, රනිල්ගේ ගෙදර ගිනි තබ්බට පස්සෙත් දිගට ම ඒක ම කරගෙන යන එකනේ.

නෑ, ...

රනිල්ගේ ගෙට ගිනි තියපු ගමන් සිරස මේ රිපීට් සෙල්ලම නැවැත්තුව. කිසිම දෙයක් නොදා එකපාරට මේ මහ අරගලයක් අස්සේ ජනතාවට බලන්න බයිස්කෝප් එකක් දැම්ම.

ඒ කියන්නේ, සිරස තම ආවේගයෙන් පියවි සිහියට ආවෙ ගෙට ගිනි තිබ්බට පස්සෙ නිසාද? නැතිනම් සිරස මේ ගේ ගිනිතැබීම වෙනකං තමන්ගෙ වැඩේ කරල, ඊට පස්සේ පසුබැස්සද? එහෙම නැත්තං තමන්ගේම මාධ්‍යවේදීන්ගේ දුක සහ තුවාල සංකේත ප්‍රාග්ධනයක් විදිහට විකුණං කන වැඩක් ද සිරස මේ කළේ? (එහෙම හිතාගෙන කළත් නොකලත් මේ සිදුවීම හරහා සිරසේ රේටිංස් වැඩිවෙන බව ආර්ථික ඇත්තක්.) මේ ඔක්කොම නෙවෙයි නම් නැත්තං මේක සිරිස අතිං වෙච්ච මිස් ෆයර් එකක්ද?

 

ජනතාවට මේවයින් කෝක හිතා ගන්න කියල ද සිරස කියන්නේ?

මේ ලිපිය කියවන ජනතාව තේරුම් ගන්න ඕන, මේ නිෂ්චිත සිදුවීම තුළ සිරසේ භාවිතය මත පිහිටල සිරස මෙතුවක් කරපු සමබර මාධ්‍ය මෙහෙයුම් සියල්ල හෑල්ලුවට ලක් කිරීම නෙවෙයි ලියුම්කරු වන ජනමාධ්‍යවේදියාගේ අරමුණ. අපේ ජනමාධ්‍ය සගයින්ට පහර එල්ලවන විට අපි ඒ වෙනුවෙන් පෙනීසිටිය යුතු අතර, අපේ මාධ්‍ය සගයින් වරදට ඇද වැටෙන තැන්වලදී ද අපි ඒ ලෙසම ඒවා පෙන්වා දිය යුතුයි.  

ඒ හින්ද සිරස පැහැදිලිවම තම වෘත්තීයමය ට්‍රැක් එකෙන් පිට පැනල කටයුතු කරල තියෙනව. ඒක දැනගෙන කරපු එකක් ද ආවේගයට කරපු එකක් ද කියන එක ඉදිරියට හෙලිදරව් වෙන්න තියෙන දෙයක්. ඒත් සිරස දැන හෝ නොදැන මේ ගිනිබත් කිරීමට උඩගෙඩි දී තියෙනව. එයින් රටේ දෙවෙනි පුරවැසියා වෙච්ච අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මානව හිමිකම් උල්ලංඝනය වී තිබෙනව.

ඒ නිසා පළමුවෙන් සිරස සමාව ගතයුතුයි!

අනික් පැත්තෙන් නෛතික රාමුවක් ඇතුළේ මෙවන් මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් තම වගකීම පැහැරහැරීමට අදාළ වන්දිය ද ගෙවිය යුතුයි.

මේ අවාසනාවන්ත සිදුවීම අවසාන වීමත් සමඟ රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා කළ කතාවේදී සිරසට විරුද්ධව ගෙන ආ නිල චෝදනාවලට සංයුක්ත සාක්ෂි සමගින් සිරස උත්තර බැඳිය කළයුතු ම වෙනව. එහෙම නැතුව අරගලකරුවන්ට රනිල් කෙරෙහි තියන විරෝධයට මුවා වෙලා ඒ වෘත්තීය වගකීම මගහැරල යන්න බැහැ. මේ වැරැද්දෙන් ගැලවෙන්න සමස්ත මාධ්‍ය ප්‍රජාව සිරස මාධ්‍යවේදීන්ට පහර දීම සහ රනිල්ගේ ගෙට ගිනි තැබීමට අනුබල දීම කියන ක්‍රියා දෙකට ම සමබරව විරුද්ධ විය යුතු වෙනව.

නැත්තං මේක සමස්ත ලාංකේය මාධ්‍ය ප්‍රජාවට ම වන මහ නවනිංගිරාවක්. විලි ලැජ්ජාවක්! ඒ වගේ ම ශ්‍රී ලංකාව ශිෂ්ට රටක්ය කියාගන්නා අපේ ප්‍රතිරූපයට ද හානියක්.                 

        

බලන්න, රනිල්ගෙ කතාවෙන් අනුසාර කරගත්තු පහත උපුටා දැක්වීම දිහා!                                                                                                                                             

 “මම සමුන්දිරම් මන්ත්‍රීතුමාට කීව, “අලුත් ආණ්ඩුවක් හැදුවහම ඉල්ලා අස්වෙන්නම් කියල. මම කියූ අදහස වැරදියට අර්ථකථනය වෙලා ඒකෙ ට්වීට් පණිවුඩයක් ගිහිං තියෙනව රවුෆ් හකීම් මන්ත්‍රී තුමාගෙන්, මං මේකට විරුද්ධ වුනා කියල. මේ ට්වීට් පණිවුඩය සිරසට ගියා. අනික් මාධ්‍යවලටත් ගියා. පසුව මම එය නිවැරදි කරල හැම මාධ්‍යයකට ම විශේෂ නිවේදනයක් යැව්ව. ඒකෙ කිව්වෙ, සර්ව-පාක්ෂික ආණ්ඩුවකට බලය දෙන්න මම ලෑස්තියි කියල. අනික් හැම මාධ්‍යක් ම ඒක නිවැරදි කරල දැම්ම. ඊට පස්සේ ඒ කතාව එතනින් ඉවර වුණා. ඒත් සිරස මම කියපු එක විකෘති කරල නැවත නැවත නිවේදනය කළා.

මම මේ නිවැරදි කිරීම දෙතුන් වතාවක් සිරසට යැවුව. ඊට පස්සෙ මම දුරකථනයෙන් සිරසෙහි ප්‍රධානියාට තුන් වතාවක් කතා කළා. මම කිව්ව, මේ විකෘති කරපු පුවත නැවත නැවත ප්‍රකාශ කිරීම කරන්න එපා, ඒ නිසා අපේ ගෙවල්වලට ගිනිතියන්න පවා පුළුවන් කියල. ඒත් ඒ එකකටවත් එයා ඇහුම්කන් දුන්නේ නැහැ. ඉතිං ඒක දිගට ම කරගෙන ගියා.

ඊට පස්සෙ නිවස අවට ඉන්න කණ්ඩායමකට පොලිසිය කඳුළු ගෑස් ගහල තියෙනව දෙපාරක්. දෙවෙනි වතාවෙ, සිරස මාධ්‍යවේදියෙකු වැටී තිබුණ, එයාල චෝදනා කළා, ගැහුව කියල. කොහොමහරි අපි ඒ ගැන කනගාටුව ද ප්‍රකාශ කළා. ඒත් ඇත්තට ම පහර දීමේ සිද්ධියක් වුණා නම්, ඒ නිළධාරියාට විරුද්ධව පොලීසියට දැනුම් දීල පරීක්ෂණයක් ඉල්ලන්නයි තිබුණේ. ඒ වෙනුවට සිරස මොකක්ද කළේ. “මෙහාට එන්න, මෙහාට එන්න, මේ ගෙදරට ඇවිල්ල තමයි කරන්න ඕනෙ කියල ගෙදරට එන පාරවලුත් පෙන්නුව.”  

-රනිල් වික්‍රමසිංහ -

sira6

දැන් බලන්න මාධ්‍යවේදීන් හැටියට අපිට සිරසටයි  දැන් හරි පාර කියල දෙන්න සිද්ධවෙලා තියෙන්නේ.

ඔව්, දේශපාලනයේදී රනිල් වික්‍රමසිංහට විරුද්ධව විවේචනාත්මක වියහැකි තැන් සමස්ත ජනතාවටත්, එයින් ම ව්‍යුත්පන්න හතරවෙනි පුරවැසියන් වන මාධ්‍යවේදීන් වන අපි හැමෝටමත් විවිධාකාරයෙන් තියෙන්න පුළුවන්. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. රනිල් වික්‍රමසිංහගේ දේශපාලන මතයට හෝ භාවිතයට විරුද්ධ නම්, එය ප්‍රකාශ කිරීමේ අයිතිය මාධ්‍යවේදීන් වන අපට වගේ ම සමස්ත පුරවැසියන් අතර ඉන්න හැම කෙනෙකකුටමත් තියෙනවා. ඒත් එයාගේ දේපලක් අනතුරට පත්වෙන තැනට අනුබල දෙන්න හෝ ක්‍රියාකරන්න කිසි ම පුරවැසියෙකුට හෝ ආයතකනයකට  අයිතියක් නැහැ.

ඒක මානව හිමිකම් උල්ලංඝනයක්! 

ඒ නිසා මාධ්‍ය භාවිතයේ නිෂ්චිත ක්‍රියාකලාප සමාජය හෝ දේපල විනාශයන් සිදුවෙන තැනක් කරා තල්ලු වී යා හැකි අවධානම් වතාතාවරණයකදී හැසිරෙන අන්දම නොදන්නවා නම්, ඒක ප්‍රවීන මාධ්‍ය ප්‍රජාව විසින් සිරසට දැන්වත් කියා දිය යුතුව තිබෙනව. නැත්තං මාධ්‍ය භාවිතයත් පිටකොටුවෙ අල ලූණු බිස්නස් එක ගානට වැටිල ත්‍රාඩකරණයකට ලක්වෙන එක වලක්වන්න බැහැ.

මාධ්‍ය වාර්තාකරණයේදී තීරණාත්මක පුවතකට අදාළව දෙපාර්ශවය ම තවම නීතිය හමුවේ වරදකාරී වීමට හෝ නොවීමට ඉඩ ඇති තත්වයක් තුළ දී, තමන්ගේ පාර්ශවයට හානියක් වී තිබුන ද, ඊට නෛතික පිළිතුර ලැබෙනතුරු සහ මානව හිම්කම්වලට නිර්දේශිත ආයතනික තීන්දු ලැබෙනතුරු, දෙපාර්ශවයේ ම හෝ පාර්ශව සියල්ලකගේ ම මානව හිමිකම් රැකෙන පරිදි මාධ්‍ය ආවරණය සහ භාවිතා කිරීම මාධ්‍යවේදියෙකුගේ යුතුකම යි.

නැත්තං මාධ්‍යවේදියෙකුට හතරවෙනි පුරවැසියා හෝ හතරවෙනි ආණ්ඩුව කියල කියන එකේ කිසිම තේරුමක් නැහැ. එහෙම නම් ඒක, ඕන වගකීමක් නැති කෙනෙකුටත් ඔහේ කියල දාන්න පුළුවන් වචනයක්.

“අපි හිතුවෙ නැහැ ගෙවල් ගිනි තියයි කියල, අපි කළේ අපේ මාධ්‍ය සගයන්ට වෙච්ච අසාධාරණය ගැන තොරතුරු පලකරන එක විතරයි. අපි ඕකට වගකියන්නෙ නැහැ” වගේ උඩඟු බේබි ටෝක් දාල හරියන්නේ නැහැ, මේ වගේ සීරියස් අවධානම් මොහොතකදී. දැන් අවධානම අනතුරක් බවට පත්වෙලා ඉවරයිනේ කොහොමත්. (ආයෙත් නොවන්නනේ විනය සහ වටපිටාව හදාගන්න ඕන.)

අසීරු අවස්ථාවකදී අනතුරු අවම වන පරිදි කටයුතු කරන විදිහ දන්නේ නැති නම්, වෙන්න යන අනතුරක් පෙරතියා හඳුනාගැනීමේ දැනුම ද නැතිනම්, ඔය මාධ්‍ය වැඩේ නවත්තල බොම්බයි මොටයි වෙළඳාමක් කරගන්න!

sira8

 

දැන් බලන්න රනිල් වික්‍රමසිංහ දිහා.

සිරස මාධ්‍යවේදීන්ට ආරක්ෂක අංශ කර ඇති අනියමාර්ථ පහරදීම තමන්ගේ අනුදැනුම නැතුව සිදුවී තිබුණත්, රනිල් සිරස මාධ්‍යවේදීන්ට සිදුවූ අකරතැබ්බය ගැන තම කනගාටුව ප්‍රකාශ කිරීමෙන් රටේ අගමැතිවරයා හැටියට තම රාජ්‍ය යන්ත්‍රයේ දෝෂය වෙනුවෙන් ශිෂ්ට ප්‍රතිචාරයක් දක්වල තියෙනව. එයාගේ ගෙදර ගිනි තියන්න කලින් ම එයා ඒකක කරල තියෙනව.

ඊට අමතරව මේ වෙනකොට පහරදීමට අණ දුන් අදාළ ආරක්ෂක නිළධාරියාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පවා කටයුතු කරල තියෙනව.

ඒ කියන්නේ සිද්ධිය තුළත් ඉන් පිටතදීත් ශිෂ්ට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් අනගමනය කිරීමට අගමැතිවරයා සමත් වෙලා තියෙනව කියන එකනේ.

එනයින් තමන් අතවූ වැරැද්ද, හෝ අත්වැරැද්ද සම්බන්ධයෙන් සමාවක් ගැනීමට හෝ ඊට අදාළ නීතිමය රාමුවකට යටත්වීමට හෝ සිරස තම අකමැත්ත පළ කරනව නම් හෝ පසුබට වෙනව නම්, එවිට සිරස මේ නිෂ්චිත සිදුවීම් පෙළ සම්බන්ධයෙන් ප්‍රජාතන්තවාදී නොවන සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන හුදු පාරම්බාන මාධ්‍ය ආයතනයක් විතරක් බවට ඉබේ ම පත්වෙන එක වලක්වන්නට බැහැ.

       ඇස් ඉදිරිපිට පේන වැරැද්දට සමාව ඉල්ලනන් බැරි ඕන ම පුද්ගලයෙක් හෝ ආයතනයක් විසින් අනුගමනය කරනු ලබන්නේ, පරණ කොන්තරවාදයක් හෝ උමතු ස්වභාවක් ම බව ලෝකයේ ඕනම ශිෂ්ට මාධ්‍ය සදාචාරයක් තුළ පිළිගන්නා තාර්කික කරුණක්.

ඒ නිසා සිදුවූ වරදට රටේ මාධ්‍යවේදීන් සියළු දෙනාගේ ගරුත්වයේ නාමයෙන් සිරස සමාව ඉල්ලිය යුතු ම යි!

කෝන්තරයක් නිසා රනිල්ගෙන් සමාව ඉල්ලන්න පැකිලීමක් තියෙනව නම්, රටේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් හෝ සමාව ඉල්ලිය යුතුයි.

සිරස එසේ නොකර ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍ය භාවිත ප්‍රවාහයෙන් පිට පැන, සිරස හිමිකාර ධනකුවේරයාගේ ප්‍රාග්ධනයේ හයිය සාක්කුව යට සඟවාගෙන උඩඟුව නිසා සමාව ඉල්ලන්නට ලජ්ජාවන හෝ “අපි සමාව ඉල්න්නේ නෑ!” කියන දඩබ්බර ප්‍රවේශය ගන්නේ නම්, මේ නිෂ්චිත සිදුවීම් පෙළ සම්බන්ධයෙන් මාන්නක්කාර සහ කෝන්තරවාදී වන කුහක අනතුරුදායක මාධ්‍ය ප්‍රතිපත්තියක් සිරස විසින් අනුගමනය කර ඇති බව පවසන්නට මාධ්‍යවේදීන් වශයෙන් අප මැලි නොවිය යුතුය!

සිරස පොදු මාධ්‍ය ප්‍රජාවෙන් සහ ඒ ප්‍රජාවන්වල මාධ්‍ය වෘත්තීක විනය සහ සදාචාර පද්ධතීන්ගෙන් බැහැරව, තනි මාධ්‍ය ප්‍රතිපත්තයකට අවතීර්ණ වන්නට නිෂේධ බලයක් ලබා නොමැත. එසේ නම්, ඒක සමස්ත මාධ්‍ය ප්‍රජාවේ සිටින අවංක මාධ්‍යවේදීන්ට, ඉදිරියට පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍ය රාමුවක් යටතේ වැඩකරන්නට තිබෙන මාධ්‍ය ඉඩකඩ ඇහිරීමකි. ප්‍රාග්ධනයේ බලයට සහ උඬගුවට මාධ්‍ය ප්‍රතිපත්ති සහ විනය යටකරන ප්‍රවේශයක් අනුගමනය කිරීමකි. ඒ බව ඇත්තක් යැයි පිළිගැනීමට අද සමස්ත මාධ්‍ය ප්‍රජාවන්ට ම සිදුවනු ඇත.

ඉතිං සිරස ඉදිරියටත්, “අපි තමයි හරි” ප්‍රතිපත්තියේ ම හිඳ එසේ කරයි නම්, ඉදිරියේදී දිගින් දිගට ම සිරස ගැන අවධානයෙන් ඉන්නත්, ඔවුන් කරන කියන හැම දෙයක් ගැනම සාවධානව කටයුතු කරන්නටත්, වරද්දාගන්නා තැන්වල හරිමඟ පෙන්වන්නත්, පියවි සිහියෙන් කටයුතු කරන මධ්‍යස්ථ මාධ්‍යවේදීන් හැටියට සිරසේ භාවිතය දෙසට නිරීක්ෂනාත්මක ටෝච් එළි ගැසීමත් අපගේ වගකීමක් කරගත යුතුය.

ඒ නිසා ඉදිරියේදී  Working Journalist Association එක ඇතුළු සියළු ජාතික මාධ්‍යවේදී සංවිධාන සහ අන්තර්ජාතික සංවිධාන හරහාත්, දිගින් දිගට ම මෙබඳු අසමබරතාවන් ඉදිරියේ දැනුම්වත් කරමින්, මේ විදිහට හැසිරෙන සිරසට සේ ම අන් අයට ද පාර කියල දෙන පොදු-එකඟතාව නැවත අලුත් කරගන්නට මාධයවේදී අප වගබලා ගත යුතුයි.

එක පැත්තකින් සිරසේ මාධ්‍යවේදීන් ඇතුළු එතෙක් මෙතෙක් සහ ඉදිරියටත් බලවතුන්ගේ අනිසි ප්‍රහාරවලට ලක්වන සියළු මාද්‍යවේදීන්ගේ වෘත්තීය මාධ්‍ය අයිතිය තහවුරුකරගැනීමට එකමුතුව වැඩ කළ යුතු අතර, තනි මාධ්‍යවේදියෙක් හෝ තනි මාධ්‍ය ආයතනයක් පොදු ප්‍රවාහයෙන් මිදී සමාජ-විරොධී මාධ්‍යකරණයේ යෙදෙනව නම්, එයද නිවැරදි කරගැනීමට ද අප කටයුතු කිරීම අපේ වගකීම විය යුතු ය. මේ හුදෙකලා අවහැසිරීම්වලින් අපට පෙන්නුම් කරනුයේ සියළු මාධ්‍ය සංවිධාන එක පොදු එකඟතාවකට පැමිණ එකාවන්ව සංවිධානයවීමේ කාලය දැන් එලඹ ඇති බවයි.

ඒ නිසා සිරස, බැහැපත් වන්න!

බැහැපත් බව ප්‍රකාශ කරන්න!

මාධ්‍යකරුවන් යනු හයිරන්කාරයෝ නොවේ!

මාධ්‍යකරුවන් යනු විනයක් යටතේ සේවය කරන වගකීම්සහගත හතරවෙනි පුරවැසියෝ ය. එහෙම නැතුව, ආයතන පිටුපසින් මහා ප්‍රාග්ධනයක් තිබුණ පලියට කිසිදු මාධ්‍ය ආයතනයකට ලාංකේය මාධ්‍යකරණයේ ලොකු අයියා වීමට හෝ මාධ්‍ය-ප්‍රජාතන්ත්‍රවාදයට, සමාජ-ප්‍රජාතන්ත්‍රවාදයට, මානව-හිමිකම් අයිතීන් සුරකීමට හිතකර පරිසරයක් තනා දෙනවා කියන එකම අධිකාරිය වීමට ද නොහැකිය. එසේ ඉඩ දිය යුතුද නැත. මන්ද තනි අධිකාරියක් නැවත ප්‍රජාතන්ත්‍ර විරෝධී වන නිසා ය.

sira9

ඒ නිසා දේශයේ මාධ්‍ය භාවිත සමස්තය පිළිබඳ භූමි යථාර්තය දන්නේ නැති ලංකාවෙන් පිටත වගකිවයුතු විදෙස් මාධ්‍ය සංවිධානවලට අර්ධ සත්‍ය පවසා, ඔවුන්ට එක පැත්තක් ගැන විතරක් කියා මාධ්‍ය ප්‍රකාශ නිකුත්කරවගෙන, ඒක මුළු රටට ම විකාශණය කළ පමණින් ගෑවිච්ච කහට මැකී යන්නේ නැත.

කා අතින් වුවත් වැරැද්දක් වුණු පසු යටගහන්න බැරිය. ලංකාවේ මාධ්‍යවේදී ප්‍රජාවේ සියළු දෙනා සිරසේ “ඔයාලා විතරයි හරි” කියල විනිෂ්චය කරන්නේ නැහැ. මොකද පියවිසිහිය තියෙන මධ්‍යස්ථ මාධ්‍යවේදීන් බොහෝ දෙනෙක් සිරස ආයතනය සහ රනිල් යන දෙපාර්ශවය ම කරන නිවේදනවලින් ඩෝප් වෙලා නෙවෙයි ඉන්නේ. 

ඔයාලා රටේ වගකිවයුතු මාධ්‍ය ආයතනයක් නම්, සාධාරණ මධ්‍යස්ත අස්ථානයකට පැමිණ, වෙච්ච දේ ගැන සමබරව කටයුතු කළ යුතුව තිබෙනව. රනිල් විසින් සිරසට පහර දුන්නු අයට ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කිරීමට ද කටයුතු කළයුතුව තිබෙනව.

අපි ඔය දෙපාර්ශවය දිහාම සෝදිසිපරීක්ෂාවෙන් බලාගෙනයි ඉන්නේ!   

සංවාදයට විවෘතයි.

 @ප්‍රවීන මාධ්‍යවේදී  - අරවින්ද හෙට්ටිආරච්චි

නවතම ලිපි