ලංකාව මාරම මාරය. තාත්තාගෙන් පුතාට ආපු නායකකම අතීතයේ පටන්ම අපිට තිබේ.

ඉඳහිට තාත්තාව හෝ සහෝදරයාව මරා නායකකම අතට ගත්තු අයද සිටින්නේය. ඒවා අපි රජ කාලයේ ලෙස අතහැර දමමු. දැන් අපි කතා කළ යුත්තේ 1948න් පසුව ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නිම් වළලු පුළුල් වීමත් සමග ලංකාවේ අද අපි සිටින තත්ත්වයයි.

අපිට නිදහස් සටනක් තිබුනායැයි සිතන අය තාමත් සිටිති. ඒ නිසා ඒ ගැන තර්ක කර වැඩක් නැත. එහෙත් ලංකාවට නිදහස ලැබුනේ එක රැයකින් නොවේ. ඉංග්‍රීසින් ලංකාව යටත් කරගත් නිවට නියාලු ආකාරයෙන්ම අපිට නිදහස දෙන්නටත් ඔවුන් කැමති විය. නිදහස ඉක්මනින් ලංකාවට හිමිවන බව ලංකාවේ නායකයෝත් දැන සිටියහ. ඔවුන් අතර තරගය තිබුනේ නිදහස අභිමානයෙන් ලබාගන්නට නොව, පිනට ලැබෙන නිදහස හිමිකරගන්නේ කවුද යන්නයි. එයට ජ්‍යෙෂ්ඨත්වයෙන් හිමිකාරිත්වය තිබුනේ සර් ඩී.බී. ජයතිලකටය.

එහෙත් ඩී.එස්. සේනානායක ඉතාමසූක්‍ෂම ආකාරයට කටයුතු කරමින් ඔහුව ඉන්දියාවේ මහකොමසාරිස් ධූරයට පත්කර යවා පොර පිටියෙන් ඔහු ඉවත් කළේය. ඉන් ලංකාවට නිදහස ලබාදීමේ ව්‍යවස්ථා කෙටුම්පත සකසන්න පැමිණි සොල්බරි සාමිව අල්ලාගත් ඩී.එස්. ඔහුව නිදහස් ලංකාවේ පළමු ආණ්ඩුකාරවරයා බවට පත් කිරීමේ මානසික අල්ලස ලබාදෙන ලදී. පොරොන්දුව ඉටුවිය. එසේම ඩී.එස්.ගේ අභිලාෂයද ඉටුවිය. එහෙත් ඉතාම දරුණු හෘදයාබාධයකින් පෙලුන ඔහු තමාගෙන් පසුව අගමැතිකම ඩඩ්ලිට ලබාදෙන ලෙස සොල්බරි සාමිට දැනුම් දුන්නේය.

ඩී.එස්. ගෙන් පසුව ජ්‍යෙෂ්ඨත්වයෙන් අගමැති ධූරය හිමි විය යුතුව තිබුනේ සර්. ජෝන්ට වුවත් සොල්බරි සාමි එය ලබා දුන්නේ ඩඩ්ලිටය.

ඩඩ්ලි හොඳ මනුස්සයෙකි. ඉතාම ඉක්මනින් හිත උණුවෙන පුද්ගලයෙකි. එහෙත් ඔහු දක්‍ෂ නායකයෙක් නොවේ. එබැවින් ඉතාම ඉක්මනින් ඔහු වැඩේ අල කරගත්තේය. ඔහුට වඩා අවුරුදු 12ක් වයසින් වැඩි ඔහුගේ පෙම්වතිය වූ ෆ්‍රීඩා කොරෙයා මැතිණියද එයට ලුණු ඇඹුල් එකතු කළේය. ඒ සර් ජෝන්ට අගමැතිකම යා යුතුයැයි ඇයද සිතූ හෙයිනි. ඇය එසේ සිතුවේ නිකම් නොවේ. ඇය සර් ජෝන්ගේ අක්කා නිසාය. අන්තිමට ඩඩ්ලි ඉවත් විය. ඩඩ්ලිගේ සොයුරිය වූ නීලා සේනානායක දැඩිව විරුද්ධ විය. එපමණක් නොව, ඇය එයට උල්පන්දම් දුන්නේයැයි ජේ. ආර්. සමග වෛර බැඳ ගත්තාය. ජේ. ආර්. ද අතහැරියේ නැත. ඔහු ඇගේ දරුවන්ගේ දේශපාලන ගමනට වැට බැන්දේය. රුක්මන් සේනානායකට දුර ගමනක් එන්නට බැරි වුනේ ඒ නිසාය.

බණ්ඩාරනායක හා සේනානායකලා අතර ප‍්‍රතිපත්තිමය ගැටළුවක් තිබුනේම නැත. තිබුනේ පංති අතර, පවුල් අතර බලය සම්බන්ධයෙන් ඇති වූ ගැටුමකි.

බණ්ඩාරනායකට අවශ්‍ය වූයේ අගමැති වෙන්නටය. පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨත්ව ධූරාවලියට අනුව තමා ඉන්නේ බෙහෙවින් පසුපස බව ඔහු දැනගත්තේය. ඔහු පක්‍ෂය කඩාගෙන ගියේ ඒ නිසාය. නායකයෙක් වන්නට කිසිදු ගුණාත්මක සාධකයක් ඔහු තුළ නොවීය. තිබුනා නම් තිබුනේ සුළග හමන අතට රුවල බඳින්නට ඔහුට තිබූ නොතිත් හැකියාවයි. ඔහු එය කළේය. සිවුරේ පිහිටෙන් ඔහු අගමැති විය. එසේම සිවුරක් නිසාම ඔහුට දිවංගත වන්නට සිදුවිය.

ඔහුගේ මරණයෙන් පසුව බලයට එන්නට තාර්කික පදනම තිබුනේ සී. පී. ද සිල්වා මහතාටය. නමුත් මහේශාක්‍ය පක්‍ෂයක කොඳු නාරටියට එබඳු අයෙක් පත් කර ගන්නට මැතිණිය ඇතුළු සියලු දෙනාම අකමැති විය. ඒ ඔහු සලාගම කුළයේ අයෙක් නිසාය. මේ නිසා සර් ජෝන් ළගටත්, ආර්. ජී. සේනානායක ළගටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නායකකම යෝජනා කරන ලදී. ඒ ඔවුන් ඉතාම විශිෂ්ට නායකයන් නිසා නොව, ඔවුන්ගේ පංතියේ, පෙළපතේ, කුළයේ සාධනීය ලක්ෂණ හේතුවෙනි. අන්තිමට කුළයෙන් හා පංතියෙන් සුදුසු පුද්ගලයෙක් නාම මාත‍්‍රිකව පත්කරගන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කළේය. ඒ අවිවාහකයෙක් වූද, පවුලේ ආධිපත්‍යය විහිදුවන්නට මුල් නොමැති වූද විජයානන්ද දහනායක අගමැති කරමිනි.

මැතිණිය කරලියට ආවේ බැරිම තැනය. ඒ ඇය සුදුසු නිසා නොව, ඇගේ උරුමය නිසාය. අති සාර්ථක නොවුනත් ඇයට නොදැවී කඩුල්ලේ සිටින්නට හැකියාවක් තිබුනේ වාසනාවටය. ඉන් පසුව ඇය ඉව ඇල්ලුවේ ඔටුන්න අනුරට දෙන්නටය. නමුත් ඊට පෙර චන්ද්‍රිකා එය අභ්‍යන්තර යුද්ධයකින් පසුව ඩැහැගත්තාය.

මේ අතර කාලයේ රකින්නට පරපුරක් නැති බව කියමින් මැතිණියගෙන් පසුව බලයට ආවේ ජේ. ආර්ය. ඇත්තම කතාව වූයේ ඔහුට පරපුරක් නොතිබීම නොවේ....! ඔහුගේ අනුප‍්‍රාප්තිකයා වූ රවීන්ද‍්‍ර ජයවර්ධන හෙවත් රවී ජයවර්ධන ඔහුගේ දේශපාලනය තඹේකට හෝ නොතැකීමයි.

‘‘මම ආසියාවේ කිසිදු දේශපාලකයෙක් ගණන් ගන්නේ නැහැ...’’ ජේ. ආර්. ජනාධිපතිකම් කරන කාලයේදී රවීන්ද්‍ර හෙවත් රවී, සම්මුඛ සාකච්ඡාවකදි කීවේය. සෑම අකීකරු පුත‍්‍රයෙක් සේම ඔහු තාත්තා සමග පොර ඇල්ලුවේය. පිය සෙනෙහසට පිටින් නොගියද දේශපාලනය ඔහුට රිසි නොවීය. ඔහු බොහීමියානු ලක්ෂණ කිසියම් ආකාරයකට පෙන්නුම් කළ නූතනවාදියෙක් වීම එයට හේතුවයි.

ජේ. ආර්. ගෙන් පසුව බලයට ආවේ ප්‍රේමදාසය. එය රස ආකරයක් විය. පේ‍්‍රමදාසට අවශ්‍ය වූයේ දියණිය කරලියට ගෙන ඒමටය. එහෙත් ප්‍රේමදාස මැතිණියගේ තේරීම වූයේ පුතුණුවන් වූ සජිත්ය. මේ කාලයේ පුවත්පත් එය මාතෘකාවක් කරගත් අවස්ථාද විය. අවසානයේ ප්‍රේමදාස අනපේක්‍ෂිත ආකාරයෙන් මිය ගියේය. ප්‍රේමදාස මූලයන්ට ගරු කරමින් ඔහුගේ රුධිරයට ගරු කරන්නට රනිල්ට සිදුවිය. රනිල් ඒ සඳහා අවම ලන්සුව තැබුවේ සජිත් ප්‍රේමදාසව හම්බන්තොටට යවමිනි. සජිත්ට නිර්මාණාත්මක දේශපාලනයක් තිබුනේ නැත. එහෙත් කාලානුරූපී නායකයෙක් වූ තාත්තාගේ අඩිපාරේ ඔහු ගමන් කළේය. දිළිඳු බව පිටුදකින්නට ඔහු ආධාර බෙදුවේය. පෙට්ටි ගෙවල් හැදුවේය. ඊට වැඩි යමක් කරන්නට ඔහුට දැනුමක්, දැක්මක් හෝ අවකාශයක් තිබුනේ නැත.

ප්‍රේමදාස සිරිසේන කුරේ ලංකර ගත්තාක් මෙන් ඔහු දුලිප් වෙදආරච්චිව ලං කරගත්තේය. දෙදෙනා තකට තක පෑහුන ජෝඩුවක් විය.

චන්ද්‍රිකාගෙන් පසුව නායකත්වය අපේක්‍ෂා කළේ අනුරය. ඒ ඔහු සුදුසු නිසා නොව, නායකත්වය පවුලේ උරුමයක් ලෙස ඔවුන් විස්වාස කළ නිසාය. එසේම ලංකාවේ ජහ-මනයාද විස්වාස කළ නිසාය. එහෙත් කොහේදෝ සිය ගෝනිබිල්ලෙක් මෙන් ආ ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් අනුරව දෙවැනි තැනට පත් කරමින් චන්දයෙන් දිනුවේය. ඒ චන්දයේදිම මහින්ද තමාගේ පළමු ස්ථානය රැකගන්නට සමත් විය. ඒ පදනමෙන් ඊළග වතාට අකමැත්තෙන් වුවද ඔහුට ලබාදීමට චන්ද්‍රිකාට සිදුවිය. මහින්ද පැමිණියේ ඉන් පසුවය. එසේම ඔහු පැමිණියේ කාර් එකකින්, මෝටර් සයිකලයකින් නොව, දොර දෙකේ ලේලන්ඩ් බස් එකකිනි. එහි පවුලක්ද, පවුලට සම්බන්ධ පවුල් රාශියක්ද සිටියේය. අවුල වූයේ එතැනය.

සිරිසේන මහතා ආවේ ඒක පරදන්නටය. එසේ නැතිව ඔහු අති දක්‍ෂයෙක් හෝ නායකත්ව ලක්ෂණ පෙන්නුම් කළ අයෙක් නිසා නොවේ. ඔහුගේ භූමිකාව වූයේ ජනාධිපතිට හිමි අසීමිත බලය සීමා කිරීමේ ව්‍යවස්ථානුකූල සංශෝධනයන් කිරීමය. එහෙත් දියණියට බාර් පර්මිට් ලබා දීම, පුතාට ගෙවල් ලබාදීම, බෑනාගේ ව්‍යාපාරවලට සිමෙන්ති ඇනීම වැනි කටයුතු අතරේ ඔහුගේ කාර්යය හරියාකාරව ඉටු වුනේ නැත. මේ නිසා රට අයාලේ ගියේය.

මහ බැංකුව මහ දවාලේ බින්දේත්, පාස්කු බෝම්බ පුපුරා ගියේත් සිරිසේන මර නින්දේ සිටි මොහොතකය. නායකත්ව ගුණ ප‍්‍රකට කළ නායකයෙක් කිසිම ලෙසකින් එසේ කරන්නේ නැත... එය ඉවකින්, තෙවැනි ඇසකින් ඔවුන්ට පෙනේ.

නිදසුනක් ලෙස ඊශ‍්‍රායෙල් අගමැතිණි ගෝල්ඩා මේයර් මැතිණිය 1967දි තම රටට එරෙහිව එක මොහොතකින් දියත් වූ ප‍්‍රාහාරයේදි කටයුතු කළ ආකාරය විමසා බැලීම වටින්නේය.

ඊජිප්තුව, සිරියාව හා ජෝර්දානය පහර දුන් ඒ දවසේ අගමැතිණිය වූ ගෝල්ඩා මේයර්ගේ හිත නොසන්සුන් විය. හේතුව ඇයම නොදත්තාය. මක් නිසාද එය සාමාන්‍ය දවසක්ම වූ නිසාය. එහෙත් නායකත්වයේ තෙවැනි ඇසට එය සාමාන්‍ය දිනයක් නොවීය. එබැවින් තම යුධ සේනාපතියා වූ මෝෂේ දයාන්ව ඇය වහා ගෙන්වා ගත්තාය.

රටවල් තුනක් ඔවුන්ගේ උපරිම බලය යොදමින් කොන්දේසි විරහිතව පහර දෙන මොහොතේ අගමැතිනි ගෝල්ඩා මේයර් තමා ඉදිරියේ හිටගෙන සිටි තම සේනාපතියා දෙස බැලුවාය. එකැස් මිනිසෙක් වූ මෝෂේ දයාන් සැහැල්ලු සිනාවක් මුවට නගාගත්තේය. එහෙත් සියල්ල සැහැල්ලු නොවීය. මෝෂේ දයාන් වහා ක්‍රියාත්මක විය. එක ඇසකින් ලොව දකිමින් රටවල් තුනක් සමග එක මොහොතක යුද්ධයට පිවිසුනේය. ගත වූයේ දින හයකි. මෝෂේ දයාන් ඊශායෙල් යුද ජයග‍්‍රහණය නිල වශයෙන් අගමැතිනි ගෝල්ඩා මේයර් හමුවේ ප‍්‍රකාශ කළේ ඊශ‍්‍රායලයට තිළිණ කළ දැයට තිළිණ කළ අපූරු ත්‍යාගයක් සමගිනි. ඒ වනවිට ගාසා තීරයේ කිලෝ මීටර් දහස් ගණනක බිමක් ඊශ‍්‍රායෙල් ධජයේ සෙවන යටට පැමිණ තිබුනේය. ගෝල්ඩා මේයර් අගමැතිනිය වශයෙන් ඉවෙන් වටහා ගත් අනතුර රටේ ආරක්ෂාවත්, දියුණුවත්, ප‍්‍රතිරූපයත් ආරක්ෂා කළේ එසේය. එහෙත් ගෝලඩා මේයර්ගේ තාත්තා හෝ සැමියා ඇයට පෙර හෝ පසුව රටේ අගමැති කෙනෙක් නොවීය. කොටින්ම ඇයට දේශපාලන පවුල් උරුමයක් තිබුනේ නැත. 1974 ජුනි 3 වැනිදා ඇය මිය ගියේ බොහොම සාමකාමී හා නිහඩ ආකාරයෙනි. ඒ නායකත්වය පිළිබඳ උත්තම ගුණයට කදිම නිදසුනකි.

දැන් නැවතත් අපි අපේ මේ පින් බිමට හැරීම වැදගත්ය. ඒ මාතෘකාව මේ පින්බිම නිසාය.

සිරිසේන මහතාගෙන් පසුව නැවත බලයට ආවේ ගෝඨාභය රාජපක්ෂ මහතාය. ඔහු බලයට ආවේ ඔහුගේ කැමැත්ත නිසාම නොවේ. එය රටේ ජනතාවගේ කැමැත්ත විය. තමා මහතීර් මොහොමඩ් හෝ ලී ක්වාන් යූ යැයි ඔහු කිසි විටෙකත් නොකීවේය. එය කීවේ අනිත් දේශපාලඥයන්ය. විශ්වාස කළේ රටේ ජනතාවය.

දැන් අද... මේ මොහොතේ සජිත් විපක්ෂ නායකයාය. විපක්ෂ නායකයා වන්නට ඔහු කළ කී දේ මොනවැදැයි ඇසුවොත් ඔහුට කියන්නට දෙයක් නැත. කියන්නට ඇත්තේ ‘‘තාත්තා ප්‍රේමදාස ’’ බවය. පොහොට්ටුවේ ඊළග නායකයා කවුදැයි දැන් කවුරුත් විමසිල්ලෙන් පසුවෙති. එක එක නම් අනුමාන කරති. එහෙත් ඒ සියලු අනුමානයන් ගොනුවී ඇත්තේ රාජපක්ෂ පවුල වටාය. ඔවුන් නාමල්, ශෂින්ද්‍ර හෝ බැසිල් විය හැකිය. ඒ ඔවුන් නායකත්ව ගුණ ප‍්‍රකට කළ නිසා නොවේ. ඔවුන් රාජපක්‍ෂවරුන් නිසාය. රාජපක්ෂවරුන් වටා සිටින අනුගාමිකයන් ඔවුන් හොඳයයි කියන නිසාය.

ලංකාව ගත් කළ මෙහි තවත් අන්තයක් දැකිය හැකිය.

රෝහණ විජේවීර යනු මෙරට දේශපාලන ඉතිහාසයේ සුවිශේෂ සළකුණකි. හරි වුවද, වැරදි වුවද ඔහු ලංකාවේ දේශපාලනය පවුරු පදනමින්ම සොලවන්නට සමත් විය. එහෙත් අද විජේවීරගේ උරුමය අතට ගෙන දේශපාලනයට ඉව අල්ලන්නේ උවිඳුය. ඒ නායකත්ව ලක්ෂණ පෙන්නුම් කරන නිසා නොව, විජේවීරගේ පුතා නිසාය. ඒ හැරෙන්නට ඔහු නායකත්වය වෙනුවෙන් ප‍්‍රකට කළ කිසිදු ගුනාංගයක් නැත.

මේ අතරේ එක්සත් ජාතික පක්‍ෂයේ නියකත්වය රුවන් විජේවර්ධන අතට යා යුතු බවට දැන් පක්‍ෂය තුළින්ම දැවැන්ත කතිකාවතක් ගොඩ නැගී තිබේ. රුවන්ට ඇති එකම සුදුසුකම වන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතාට ඇති ඥාති සම්බන්ධය පමණකි. ඒ හැරෙන්නට ඔහු විසින් ප‍්‍රකට කළ කිසිදු නායකත්ව ලක්ෂණයක් නැත. එවන් පසුබිමක ඔහු පක්ෂයේ නායකයා කරන්නට පක්ෂය දත කන්නේ ඔහු රටේ ඊළග නායකයා කරන්නටය. එසේ නම් කවර අපි තවදුරටත් මේ ගැන කතා කළ යුතුද...?

දැන් අපි ඉදිරියේ නායකයන් පෙළක් සිටී. ඒ රුවන්, නාමල්, ශෂින්ද‍්‍ර, උවිඳු, දහම් ආදි වශයෙනි. ඒ අතරේ දැන් පොදු ප‍්‍රශ්නයක් හැමෝම අසති. ඒ ‘‘ගෝටාට යන්න කියන්නේ කාව ගෙන්වා ගන්නද..? මේක බාරගන්නේ කවුද...?’’ යන්නයි. එය දැන් නැවතත් සියලු දෙනා තම තමන්ගෙන් විමසා බැලිය යුතු කරණකි. අපි විමසිය යුත්තේ මෙයයි. අපිට දැනටත් නායකයන් සිටීද.,? සිටින නායකයෝ සැබවින්ම නායකත්ව ගුණ ප‍්‍රකට කරන්නේද.,? නැතහොත් ඔවුන් ගැන අපි විසින්ම මවාගත් භක්තිමත් විශ්වාසයකින් පමණක් අපි කටයුතු කරන්නේද..? මේ එය සිතා බලන්නට අවස්ථාවයි.

අවසාන වශයෙන් කිව යුතු වන්නේ පුටුවේ වාඩි කළ පමණින් කිසියම් අයෙකුට නායකත්ව ගුණ ඉබේ පහළ නොවෙන බවයි. එසේම ජාතිය, ආගම ගලවා ගන්නා දියසේන කුමාරයා ගැන අපි තවදුරටත් විශ්වාස නොකළ යුතු බවයි.

නවතම ලිපි