රනිල්ගේ වැල් පාළමේ ගමන ඇරඹී තිබේ. එය අපේක්ෂා කළ හැකි පරිදිම ත්‍රාසජනක ගමනකි. එය එතරම් පහසු එකක් නොවන බව ආරම්භයේදීම සනාථ විය.

පුළුල් දේශපාලන සම්මුතියකට ඇරයුම් කරමින් තම සය වන ධූරකාලය ආරම්භ කළ අග්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේ බහුතර මතය සංවිධානය කිරීමේ හැකියාවක් නොමැති බව පැහැදිලි විය. ඒ, නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත් කර ගැනීමේ ජන්ද විමසීමේදී ය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විසින් පිළිගනු ලබන දේශපාලන නායකත්වය වන්නේ ඔහු නොවන බව මනාව ප්‍රදර්ශනය විය.

ඊට අමතරව සමගි ජන සන්ධානයේ වාචික ප්‍රහාරයන්ටද ඔහු ගොදුරු විය. ඇතැම්විට, ඒ අතුරින් වඩාත්ම කර්කශ ප්‍රහාරය එල්ල වූයේ ඔහුගේ ඉදිරි සන්ධාන උපක්‍රමවලදී ඉතාම වැදගත් වෙතැයි සැලකිය හැකි දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ සුමන්තිරන් වෙතිනි.

නමුත්, රනිල්ගේ දුබලතාව විසින් ආණ්ඩු පක්ෂයේ, සමගි ජන බලවේගයේ හෝ ශ්‍රීලනිපයේ ප්‍රබලතාවක් ප්‍රදර්ශනය කෙරුණේ නැත. ආණ්ඩු පක්ෂ සන්ධානයෙන් දුරස් වී සිටින පක්ෂ නමයේ එකතුව සහ ශ්‍රීලනිපය යළිත් තම බලපෑමේ ක්ෂේත්‍රයට ඇතුල් කරගන්නට බැසිල් රාජපක්ෂගේ අණසක යටතේ පවතින පොහොට්ටු පක්ෂ නායකත්වය සමත් වී නොමැති බව නියෝජ්‍ය කතානායක ජන්ද විමසීමේදී මෙන්ම 21 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මතබේද තුළදීද ප්‍රදර්ශනය විය.

ඒ අතරම නව ආණ්ඩුවේ අමාත්‍ය ධූර වෙන්දේසිය ආරම්භ වූ වහාම සමගි ජන බලවේගයේ සේම ශ්‍රීලනිපයේද අභ්‍යන්තර ඉරිතැලීම් නිර්මාණය වූයේ තම ඉහළ පෙළේ සාමාජිකයින් අතර පවා ඒකාබද්ධතාවක් පවත්වා ගන්නට එම පක්ෂවල නායකත්වයන් කොතරම් අසමත්ව තිබේද යන්න මනාව පසක් කරමිනි.


විපක්ෂයේ කිසිදු කොටසකට ප්‍රබල දෘෂ්ටිවාදී ඒකාග්‍රතාවක් නොමැතිවීම :



සජබ, ශ්‍රිලනිපය සහ පක්ෂ නමයේ සන්ධානය මුහුණ දී සිටින උභතෝකෝටිකය ඉතාම පැහැදිලිය. ඉදිරි මැතිවරණයක් දෙස බලාගෙන උපක්‍රම තෝරන ඔවුන් සියළුම දෙනා වත්මන් ජන අරගල රැල්ලේ විරෝධයට ලක් නොවී සිටින්නට හැකි තාක් දුරට ප්‍රවේසම් වෙයි. හැකිනම්, තමන් ජන අරගලයේ අපේක්ෂා නියෝජනය කරන බව පෙන්නුම් කිරීමට පවා ප්‍රයත්න දරයි. එසේ කිරීමට නම්, රනිල් - රාජපක්ෂ එකඟතාවෙන් කිසියම් දුරක් තබාගෙන සිටීමට ඔවුනට සිදුවේ.



නමුත්, එසේ කරන විට ආසන්න පෞද්ගලික සහ දේශපාලන අරමුණු මගින් පෙළඹවීමට ලක් වන පක්ෂ සාමාජිකයින් තමන්ගෙන් වෙන්ව නව ආණ්ඩු සන්ධානයට එක් වීමේ අනතුරට ඔවුන් නිරාවරණය වේ.

දක්ෂිණාංශික විපක්ෂයේ කිසිදු කොටසකට අද ප්‍රබල දෘෂ්ටිවාදී ඒකාග්‍රතාවක් නොමැති බැවින් ඔවුන් පොදුවේ මෙම දේශපාලන උභතෝකෝටිකයට මුහුණ දෙමින් සිටියි.


මර්දනයේ සහ කැමැත්තේ සංකලනය

aragale4

රනිල්, මධ්‍යම පන්තික සමාජ කොටස් තුළ කිසියම් බලාපොරොත්තුවක් නිර්මාණය කර ගැනීමේ උත්සාහයක



කෙසේ වුවත්, දක්ෂිණාංශික නායකත්වයන්ගේ මේ සියළුම දුර්වලතා පැවතියදීත් තවමත් එයට ගැසිය හැකි ගේම් එකක් තිබේ. එනම්, ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල සහ තමන්ට හිතවත් රටවල සහයෝගය ලබාගෙන ඉදිරි මැතිවරණයකට පෙර කෙසේ හෝ ජනතා විරෝධය කිසියම් දුරකට සමනය කරන්නට ප්‍රයත්න දැරීමයි.

එහිදී රනිල්ගේ ප්‍රවේශය වෙතැයි සිතිය හැක්කේ අතෘප්තියට පත්ව සිටින මධ්‍යම පන්තික සමාජ කොටස්වල මූලික පාරිභෝජන අවශ්‍යතා සැපයීම මගින් තම නායකත්වය කෙරෙහි ඔවුන් අතර කිසියම් බලාපොරොත්තුවක් නිර්මාණය කර ගැනීමයි.

ඒ අතරම අරගලයේ යෙදී සිටින කම්කරු, ගොවි, ශිෂ්‍ය සහ තරුණ බලවේගත් අළුතින් දේශපාලනීකරණය වූ නාගරික මධ්‍යම පන්තික කණ්ඩායමුත් අතර ගොඩ නැගෙමින් පවතින එක්සත්භාවය බිඳ දැමීමයි.

 නාගරික මධ්‍යම පන්තිය පාලනය කිරීම සඳහා දෘෂ්ටිවාදී කැමැත්ත නැමති ආම්පන්නයත් වාමාංශික නායකත්වයන් විසින් සංවිධානය කෙරෙන රැඩිකල් සමාජ කණ්ඩායම් පාලනය කිරීම සඳහා මර්දනකාරීත්වය නමැති ආම්පන්නයත් එකවිට භාවිත කිරීමයි.


පරිණත දක්ෂිණාංශික නායකයා ගාලු මුවදොර අරගලයේ නිරත තරුණයින් හට දේශපාලන නියෝජනයක් ලබා දීමට පොරොන්දු වන අතරම අරගලයේ යෙදෙන ශිෂ්‍යයින් ජල ප්‍රහාරවලට ලක්වීම ප්‍රිය කරන්නේ යැයි පැවසීමෙන් ගම්‍ය වන්නේ එයයි.


ගාලු මුවදොර අරගල බිම හුදෙක් සංස්කෘතික අවකාශයක් ලෙසින් පවතිනු දකින්නටත්, එකී සංස්කෘතික අවකාශය නිර්-දේශපාලනීකරණය දෙසට දිශානත වනු දකින්නටත්, කම්කරු-ගොවි-තරුණ බලවේගවල ආර්ථික සහ සමාජමය යුක්තිය පිළිබඳ ඉල්ලීම් ගෝඨාගෝගමෙහි පරිවාරයට තල්ලු වී යනු දකින්නටත් රනිල් ප්‍රිය කරනු ඇත.


 දැන් අරගලයේ නිරත බලවේග නිරන්තරයෙන්ම තමන්ගෙන්ම විමසිය යුතුව ඇති ප්‍රශ්නය නම් තම දෛනික අරගලයේ තෝරාගැනීම් සහාය වනු ඇත්තේ රනිල් දකින්නට කැමති ගෝඨාගෝගමක් නිර්මාණය කිරීමටද, නොඑසේනම් රනිල්-ගෝඨා සන්ධානයේ වුවමනාකම් සැබවින්ම අභියෝගයට ලක් කරන්නට සමත් ගෝඨාගෝගමක් නිර්මාණය කිරීමටද යන්නයි.



රනිල්ගේ ජාත්‍යන්තර අත්වැල


රනිල්ගේ වැල් පාළමේ එක් අත්වැලක් වන්නේ ස්වදේශික පාලක පන්ති ස්ථර අතර අසීරුවෙන් ගොඩ නගා ගන්නා එකඟතාවක් වන්නේ නම්, එහි අනෙක් අත්වැල වන්නේ ජාත්‍යන්තර මූල්‍ය ආයතනත් ලංකාවට ණය ආධාර සපයන රාජ්‍යයනුත් සමග ඇති කරගන්නා එකඟතාවකි.

පළමු අත්වැල සේම දෙවන අත්වැලද අස්ථාවරය; බොහෝ කොන්දේසි සහ අනිශ්චිත සාධක මත රඳා පවතින්නකි. නමුත්, අනතුරට මුහුණ දීමට තරම් දේශපාලන නිර්භය බවක් ප්‍රකට කළ දක්ෂිණාංශික නායකයා ආරම්භයේදීම තම ජන්දදායකයින් තුළ ඉතාම පහළ අපේක්ෂාවක් (low expectation) පවත්වා ගන්නට තරම් උපක්‍රමිකද විය.


ඔහු නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතිය අමතා කළ පළමු කතාවේදී දිගින් දිගටම අවධාරණය කළේ ඉදිරියේ එළැඹෙන කාල පරිච්ජේදය කොතරම් දුෂ්කර හා අන්ධකාර වූවක්ද යන්නයි. එබැවින්, ඉදිරියේදී මධ්‍යම පන්තිකයින්ගේ පාරිභෝජන අවශ්‍යතා අවම වශයෙන් සැපයීම පවා විශාල ජයග්‍රහණයක් ලෙසින් හුවා දක්වන්නට ඔහුට හැකි වනු ඇත. එසේ නොවූවද, තම ජන්දදායකයින් තුළ ඉතාම ඉහළ අපේක්ෂාවක් (high expectation) රැඳවූ ජනාධිපති ගෝඨාභය මුහුණ දුන් අන්දමේ හාස්‍යජනක ඉරණමකට ලක් වීමේ අනතුර ආරම්භයේදීම වළකා ගන්නට තරම් ඔහු ප්‍රවේසම් වී තිබේ.


රනිල්ගේ වැල් පාළමේ ජාත්‍යන්තර අත්වැල තීන්දු වනු ඇත්තේ ලාංකීය පාලකයින්ගේ පාලනයෙන් පරිබාහිරව පවතින භූ-දේශපාලනික සාධක මගිනි.

විශේෂයෙන්ම ඉන්දු-පැසිෆික් කලාපය තුළ චීන බලයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන 'චතුර්-පාර්ශවීය ආරක්ෂක සංවාදය' (Quad) එකතුවේ අභිලාෂයන් එවන් වැදගත් භූ-දේශපාලනික සාධකයකි.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තීන්දු තීරණ කොතරම් නිර්-දේශපාලනික යැයි පෙන්නුම් කරන්නට උත්සාහ කළද, ඔවුනගේ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ තෝරාගැනීම් යම් යම් භූ-දේශපාලනික තෝරාගැනීම් අනුව සිදු කෙරෙන්නේය යන්න කිසිසේත්ම රහසක් නොවේ.


2018 වසරේ සිට අයි.එම්.එෆ් විසින් ආර්ජන්ටිනාව සම්බන්ධයෙන් අනුගමනය කරන ලද ණය ප්‍රතිපත්තිය හැඩ ගැසී ඇත්තේ ආර්ථිකමය සලකා බැලීම් අනුව වනවාට වඩා භූ-දේශපාලනික සලකා බැලීම් අනුව බවට 2017 සිට 2020 දක්වා අයි.එම්.එෆ්හි උපායමාර්ග, ප්‍රතිපත්ති සහ විමර්ශන පිළිබඳ අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කළ මාර්ටින් ම්යූලීසන් පවා පෙන්වා දී තිබේ.

නැගෙනහිර යුරෝපීය 'සැබවින්ම පැවති සමාජවාදී' රාජ්‍ය පද්ධතිය බිඳ වැටීම පසුබිම් කොටගෙන රුමේනියාව, හංගේරියාව සහ පෝලන්තය වැනි රටවල් සම්බන්ධයෙන්ද, ගල්ෆ් යුද්ධය පසුබිම් කොටගෙන ඊජිප්තුව සම්බන්ධයෙන්ද අයි.එම්.එෆ් විසින් ක්‍රියාත්මක කෙරුණු වැඩ පිළිවෙලවල් මෙවන් තවත් නිදසුන්ය. අයි.එම්.එෆ්හි තීරණ ගැනීමේ ක්‍රියාවලියට සෘජුව බලපානු ලබන එහි අසමාන ජන්ද බලය කොහොමටත් එක්සත් ජනපදයට වාසි සහගත වූවකි.  


මේ අනුව, රනිල්ගේ ජාත්‍යන්තර අත්වැල කෙරෙහි බරපතල ලෙසින් බලපානු ඇත්තේ ගෝලීය සහ කලාපීය බලවතුන් ඉන්දු-පැසිෆික් කලාපය තුළ තම භූ-දේශපාලනික තෝරාගැනීම්වලදී ශ්‍රී ලංකාවට කොතරම් වැදගත් තැනක් ලබා දෙනු ඇත්ද යන සාධකයයි.


චතුර්-පාර්ශවීය සන්ධානයේ ඇතැම් රටවලට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සුවිශේෂී උපායමාර්ගික වුවමනාවන් පවතින බවද මෙහිදී සැලකිල්ලට ගත යුතුය. ඉන්දියාව ගැන අමුතුවෙන් කිව යුතු නැත.


aragale 5

පසුගිය මැයි 26 වනදා හින්දු පුවත්පත වාර්තා කළ පරිදි, ශ්‍රී ලංකාවේ ආර්ථික සහ මානුෂික අර්බුදය විසඳීම සඳහා එක්ව වැඩ කිරීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි සහ ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා අතර සාකච්ජාවක් සිදුව තිබේ.

ශ්‍රී ලංකාවට ආර්ථික ආධාර සපයන රටවල සම්මේලනයක් කැඳවීමේ මූලිකත්වය ගන්නා ලෙසට දැනටමත් රනිල් වික්‍රමසිංහ චතුර්-පාර්ශවීය සන්ධානයට ආරාධනා කර ඇති බවටද වාර්තා වේ.

මේ අනුව, අර්බුදය විසඳීමේ රනිලියානු මාවත සඳහා ගෙවීමට සිදුවන දේශපාලනික මිළ වනු ඇත්තේ කලාපීය භූ-දේශපාලනික තරඟය තුළ එක්සත් ජනපද-ඉන්දීය අක්ෂය සමග කිසියම් දුරකට අනුගත වීමය. නමුත්, එම මිළ ගෙවීම යනු ස්වකීය ස්වදේශික අත්වැල බරපතල ලෙස දුර්වල කරගැනීමක් බව ඔහු නොදන්නවා විය නොහැකිය.

මන්දයත්, එක් අතකින් අයි.එම්.එෆ්හි සුපුරුදු බෙහෙත් වට්ටෝරුව වන ආර්ථිකය සංකෝචනය කිරීම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාවට නැගුවහොත් දැනට පවත්නා සමාජ සහ දේශපාලන විරෝධය දෙතුන් ගුණයකින් ඉහළ යාමක් නිසැකවම අපේක්ෂා කළ යුතුය.


අනෙක් අතින්, මෙරට තුළ වමේ දේශපාලනය අභාවයට ගොස් ඇතැයි දකුණේ පඬිවරුන් විසින් කොතෙක් කියනු ලැබූවද, දේශපාලන දෘෂ්ටිවාදී ක්ෂේත්‍රය තුළ වම කොතරම් බලවත්දැයි රාජ්‍ය සුභසාධනය කප්පාදු කිරීමට ගන්නා ඕනෑම පියවරක් අභියෝගයට ලක් වන ආකාරය දෙස බැලූ විට යමෙකුට පහසුවෙන් වටහාගත හැකිය. ඉදිරි කාලයේදී වමේ පාර්ශවයෙන් නැගෙන විරෝධතා රැල්ලක් සඳහා හොඳින්ම පස සකස්වෙමින් පවතින අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලට එම විරෝධතාව නොසලකා හරින්නට පහසු වනු ඇතැයි සිතිය නොහැක.                                                                                              

රනිල්ගේ රූපාන්තරණවාදය


මෙකී බහුවිධ අභියෝගය හමුවේ ලාංකීය පාලක බල-හවුලේ සියළු කොටස්වලට රනිල් විසින් නව උපායමාර්ගයක් යෝජනා කෙරී ඇති බව පෙනේ. ඔහුගේ දෙවන ජාතිය ඇමතීම එම උපායමාර්ගයේ කටු සටහනක් යැයි සැලකිය හැකිය.

එම උපායමාර්ගය වනුයේ එක් අතකින් පාලක පන්තියේ විවිධ ස්ථර පොදු සම්මුතියක් කරා ඒකරාශී කරගන්නා අතර ජනතා අරගලයේ ඇතැම් පාර්ශව තම ව්‍යාපෘතිය වෙතට අන්තර්ග්‍රහණය (co-opt) කර ගැනීමයි.

මීට සමගාමීව, වඩා රැඩිකල් වාමාංශික විරෝධතාකරුවන් වෙතට මර්දනය මුදා හැරෙනු ඇත. ඔහු යෝජනා කරන පාර්ලිමේන්තු කමිටු පහළොවට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු දේශපාලන පක්ෂ ඇතුළත් කරගන්නට ප්‍රයත්න දැරෙන අතර ගාලු 'මුවදොර අරගලයේ තරුණයන්ටද' එයට සහභාගී වන්නට ඇරයුම් කරයි.


මේ උපායමාර්ගය අපට සිහිපත් කරන්නේ 19 වන සියවසේ අගභාගයේ සිට විසිවන සියවසේ මුල්භාගය දක්වා ඉතාලිය තුළ ක්‍රියාත්මක වූ රූපාන්තරණවාදය (transformism) නමැති දේශපාලන ක්‍රියාවලියයි. එහිදී සිදු වූයේ වඩා ගතානුගතිකවාදී ස්ථාවරයක් දැරූ මාධ්‍යමික පක්ෂය (moderate party) සහ රැඩිකල් ජනරජවාදී ස්ථාවරයක් දැරූ ක්‍රියාකාරී පක්ෂය (action party) අතර වූ සන්ධානයක් මගින් පාලනය ගෙනයාමයි.


ක්‍රියාකාරී පක්ෂය නිතරම පාහේ මෙම සන්ධානයෙහි දෙවන පෙළ සාමාජිකයාගේ තැන තබා ගන්නට ගතානුගතික නායකත්වය සමත් විය. එසේම, ක්‍රියාකාරී පක්ෂයට මෙම සන්ධාන දේශපාලනය තුළ තම ප්‍රතිපත්ති හා ස්ථාවරයන් කැප කරන්නට සිදු විය. ඔවුනගේ ප්‍රමුඛ පෙළේ සාමාජිකයින් පවා මාධ්‍යමික පක්ෂය වෙතට අවශෝෂණය කරගන්නා ලදී.

මෙහි ප්‍රතිපලය වූයේ ක්‍රියාකාරී පක්ෂය ක්‍රම ක්‍රමයෙන් සන්ධාන දේශපාලනය තුළ දියවී ගොස් දේශපාලනිකව අක්‍රීය හා දියාරු තත්ත්වයකට පත්වීමයි. මෙම ක්‍රියාවලියේ පල නෙළූ ප්‍රමුඛතම ඉතාලියානු දක්ෂිණාංශික දේශපාලකයා වූයේ එරට පස්වරක්ම අග්‍රාමාත්‍ය ධූරය හෙබවූ (ඒ කාරණයේදී නම්, රනිල් ඉතාලියානු රූපාන්තරණවාදී නායකයාව ඉක්මවා ගොස් ඇත!) ජියොවන්නි ජියොලිත්ති ය.


මේ විග්‍රහය ඇසුරින් පැහැදිලි විය යුත්තේ රනිල් වඩාගෙන යන දරුවා බොහෝ ජනප්‍රිය ප්‍රකාශකයින් කල්පනා කරන පරිදි රාජපක්ෂ පාලනය හෝ අනාගත රාජපක්ෂ අනුප්‍රාප්තිකයෙකු නොවන බවයි. අඩු තරමින් ඒ ඔහුගේම පක්ෂය පවා නොවේ. ඒ වෙනුවට ඔහු නිරත වී සිටින්නේ මෙරට පවතින ධනවාදී සමාජ ආර්ථික පිළිවෙල ඉතිහාසයේ පෙර අන් කවර කලෙකවත් නොවූ විරූ ආකාරයේ බහුවිධ අර්බුදයක් හමුවේ අගාධයට නොවැටී සුරැකිව රැගෙන යාමේ දුෂ්කර ව්‍යාපෘතියකය.  

@Theleader.lk                               

නවතම ලිපි