ජාතිය සහ ජාතිකවාදය

අද දවසේ ලෝක ධනවාදය ක්‍රියාත්මක වීමේදී රාජ්‍යයන් තුල ජාතිකවාදය සහ ඊට විසඳුම ලෙස පැමිණෙන ප්‍රජාතන්ත්‍රවාදය අතර නිරන්තර සීරුමාරු වීමක් දැකිය හැකිය.

නූතන රාජ්‍ය පිළබඳ අදහස තුල පරස්පර විරෝධී මූලිකාංගයක් තිබේ. එය පහත පරිදි විස්තර කල හැකිය. එය එහි සාම්ප්‍රදායික ආකාරයන් අත්හැරදමා ඇති සමාජයකි. එසේ අත්හැර දමා ඇත්තේ විශේෂයෙන්ම බහු විවාහය, කුලවාදය, වැනි මුග්ධ දෑ එම සාම්ප්‍රදායික විධීන් පිටුපස ඇතියි යන්න සලකාය.

සාම්ප්‍රධායික සමාජය ජාතික රාජ්‍ය මගින් ප්‍රතිස්ථාපනය වී තිබේ. එහි සාමාජිකයින් හඳුන්වනු ලබන්නේ පුරවැසියන් (citizens) ලෙසය. එම මිනිසුන් පරමාදර්ශීය ලෙස සංකල්ප ගතව ඇත්තේ ගෝලීය ප්‍රජාව තුල එක හා සමාන තවත් ජාතියක් තුල අහිමිකළ නොහැකි අයිතිවාසිකම් සහිත ව්‍යුක්ත තනි පුද්ගලයන් ලෙසය.

කෙසේ නමුත් ජාතිය යන්න එවිටම අර්ථකතනය වන්නේ මිනිසුන් හවුලේ බුක්ති විඳින භාෂාව, ලේ උරුමය, සහ පීතෘ භූමිය හෝ මවුබිම වැනි පොදු මූලයන් පිලිබඳ අදහස මගිනි. විවිධ ජාතීන් තුලට මිශ්‍ර නොවූ සුවිශේෂී ජාතික රාජ්‍යයක් ලෙස අනන්‍යතාවය රඳවා ගැනීම සඳහා ජාතියක් විසින් අනීවාර්යයෙන්ම සංයුක්ත, එහි අසම සම ගුණයන් විස්තර කෙරෙනා ස්වයං ආවෘත සාරයන් වෙතට ආයාචනා කල යුතුමය. ජාතිකවාදයේ නැගීසිටීම සිදුවන්නේ මෙසේය.

 

අපට අනුව ජාතිය නිර්වචනය කල හැකි ප්‍රධාන ආකාරයක් වන්නේ ප්‍රමෝදය (jouissance) පිළිබඳ අදහස මාර්ගයෙනි. ජාතියකට සුවිශේෂී දෙය වන්නේ එම ජාතිය විශේෂයෙන් භුක්ති විඳිනා දේවල් සමඟ ඔවුන්ට සිදුකිරීමට ඇති දෙය කුමක්ද යන්න විස්තර කිරීමයි. එය අපට අදාලව යොදන්නේ නම්, එම දේවල් වන්නේ අපගේ ආහාර, සුවඳවල්, සංගීතය, භූ දර්ශනය, ගෘහ නිර්මාණය, සහ ඇඳුම් පැළඳුම් ආදී ලෙසය. ඒ අනුව අප සිතනුයේ වෙනත් ජනයා හට අපගේ ප්‍රමෝදයේ සුවිශේෂී ආකාරයන් තේරුම් ගැනීමට නොහැකිය යන්නයි. නරකම තත්වයේදී එම වෙනත් වාර්ගික ජන කොටසක් උත්සාහ දරනුයේ එක්කෝ අපගේ ප්‍රමෝදය සොරකම් කිරීමට හෝ මර්ධනය කිරීමටය. මෙම දැක්ම තුල ජාතිය විසින් මූර්තිමත් කරනුයේ අපට පමණක්ම බුක්තිවිඳිය හැකි සහ තේරුම්ගත හැකි සාරයකි. ජීවිතයේ අපගේ විධිය වන්නේ එයයි. අපගේ සංතෘෂ්ටිය සංවිධානයවීමේ ආකාරයද එයයි. වෙනත් වචන වලින් ප්‍රකාශ කරන්නේ නම් එය සාමුහික ෆැන්ටසියකි.    

m1

එහි හොඳම තත්වයේදී ජාතිකවාදය ක්‍රියාකරනුයේ එය ඉහල දැමීමට සහ එය නැතිවේයයි හෝ අසාධාරණ ආකාරයකින් එය පැහැරගැනීමකට ලක්විය හැකි වීම වෙතින් සංරක්ෂණය කිරීම සඳහාය. එහි නරකම තත්වයේදී ජාතිකවාදය ව්‍යාජ ලෙස පෙනිසිටිමින් සමස්ත සමාජයක් වෙනුවෙන් කතා කිරීමට පටන්ගන්නේ එම සමාජය සඳහා වන පරම සුසංවාදයක දැක්මක් සඳහා අයිතිවාසිකම් කියා පාමිනි. නමුත් එම සුසංවාදය පදනම්වන්නේ එම සමාජය ඇතුලතම කණ්ඩායමකගේ හෝ ඉන් පිටත ප්‍රචණ්ඩ මර්ධනය මතය. මේ සඳහා හොඳ උදාහරණයක් වන්නේ නාසි දෘෂ්ටිවාදයයි. යුදෙව්වන් මරා දැමීම සිදු වූයේ යුදෙව්වන් විසින් බාධා කරන ලද කාරනා නොවන්නට ඊට අදාළ සැබෑ සමාජ සුසංවාදය අත්කොටගත හැකියාව තිබුණිය යන විශ්වාසයක ප්‍රතිපලයක් ලෙසය. එවැනි දෘෂ්ටිවාදයක් තුල කේන්ද්‍රීය කණ්ඩායම එයම විසින් නිර්වචනය කරනුයේ මූලිකව ඒ පිළිබඳව සාරයක් සන්ධානකරණය මගිනි. එහිදී එය පවතින්නේ ස්වාමීත්වයක සහ එමගින් එය අනෙක් සියල්ල බහිශ්කරණය කරනුයේ නොසැලකිල්ලෙන් සහ යම් අවස්ථා වලදී ප්‍රචන්ඩමය විලාසිතාවක් තුලය.

ලංකාව තුල පසුගිය කාලයේ ජාතිකවාදය උත්කර්ෂයට නැගුනේ රාජපක්ෂ දේශපාලනය තුලය. විශේෂයෙන්ම යුධ ජයග්‍රහණයෙන් පසුව ඇති වූ තත්වය “සිංහල බෞද්ධ ජාතිකවාදයේ” උච්ඡතම කාල වකවානුව ලෙස සැලකිය හැකිය. ඒ සිංහල බෞද්ධයාගේ ප්‍රමෝදය (jouissance) සොරා ගන්නා දෙමළා පරාජයෙන් පසුව ඇරඹි සංවර්ධන යුගයයි. රටේ සංවර්ධනයට සමගාමීව වාහන ආනයනය, අලුත් නිවාස ඉදි කිරීම, එලෙක්ට්‍රොනික සහ එලෙක්ට්‍රිකල් භාණ්ඩ ඇතුළු විවිධ ගෘහස්ත පාරිභෝජන භාණ්ඩ, රූපලාවන්‍යාගාර, නගර අලංකරණය, ඇතුළු භාණ්ඩ හා සේවා යන ක්ෂේත්‍ර දෙකම පුළුල්ව වර්ධනය වීම ඇරඹෙනුයේ 2009න් පසුවය.

ඒ අනුව එහි හොඳම තත්වයේදී සිදු වූයේ එම පාරිභෝජන සහ සේවාවන් ඉහල දැමීමට සියලු ආකාරයෙන් කටයුතු කිරීම සහ එය නැතිවේයයි හෝ අසාධාරණ ආකාරයකින් එය පැහැරගැනීමකට ලක්විය හැකි වීම වෙතින් සංරක්ෂණය කිරීම සඳහාය. මුසොල්මානු විරෝධය පැමිණෙන්නේ මෙකල්හිය. “සිංහල බෞද්ධයාගේ” ප්‍රමෝදය (jouissance) පැහැර ගැනීමට කැසකවනා, කුමන්ත්‍රණ සිදු කරනා, තම ජාතිය වැඩි වැඩියෙන් ව්‍යාප්ත කොට සිංහල ජාතිය පරාජය කිරීමට උත්සාහ දරනා, සතුරෙකු මුණ ගැසේ (මෙය සිංහල පාර්ශවයෙන් පමණක් ක්‍රියාත්මක වන තත්වයක් නොවේ, සැම විටම එහි අනෙක් පාර්ශවයද ඊට අදාළ දයලෙක්තික භාවිතාවක පිහිටයි). ඒ අනුව සංරක්ෂණ යුගය එසේ ක්‍රියාත්මක වී, එය උච්ඡ වී 2017 වසරේ “වැගන් ආර් වසන්තය” පැමිණීමෙන් පසුව ආර්ථික අර්බුධ උග්‍ර වීම ඇරඹේ. ඒ, සියල්ල සිදු කොට ඇත්තේ ණය ලබා ගැනීම තුලින් වීම නිසාය. 

m3

2019 වර්ෂයේ ගෝඨාභය ජයග්‍රහණයෙන් පසුව තුනෙන් දෙකක තනි සිංහල ආණ්ඩුවක් පිහිටුවා ගන්නේ පාස්කු දින ප්‍රහාරයේ බලපෑමත් සමගය. ඒ අනුව දෙමලාට සහ මුසොල්මානුවාට වරදාන දෙන බවක් තවදුරටත් එම ආණ්ඩුව තුලින් පෙන්නුම් නොකෙරුණි. නමුත් ආර්ථික අර්බුධය එන්න එන්නම උග්‍රවෙමින්, පෙර නොවූ විරූ ලෙස සෑම කෙෂ්ත්‍රයක්ම අර්බුධයට යමින් තිබෙන තත්වයක් ඇති වේ. කලක් තිස්සේ ජවිපෙ විසින් ගොඩනගන ලද, රාජපක්ෂලා ඇතුළු බහුතර දේශපාලනඥයින් සොරුන්ය යන දෘෂ්ටිවාදය කරලියට පැමිණෙන්නේ මේ තත්වය තුලය.

ඒ අනුව සකල විධ අර්බුධයේ හේතුව රාජපක්ෂලා ඇතුළු දේශපාලනඥයින් විසින් ජාතික ධනය සොරකම් කිරීම බව අතිමහත් බහුතරයක පිළිගැනීමයි (රාජපක්ෂලා ඇතළු දේශපාලනඥයින් සොරකම් කොට ඇත. නමුත් සමස්ත අර්බුධය එය නොවේ). ඒ අනුව තනි සිංහල ආණ්ඩුවක් සාදා, තාප්ප වල චිත්‍ර ඇඳ, සිංහල බෞද්ධ ෆැන්ටසියක පසු වූ සියලු දෙනා හට එම ජාතිකවාදයේ නරකම අර්බුධකාරීත්ව යුගයකට ප්‍රවේශ වීමට සිදු වේ. රාජපක්ෂලා ඇතුළු දේශපාලනඥයින් ඊට අදාළ සතුරන් බවට පත්වන්නේ මේ තත්වය තුලය. ජවිපෙ විසින් ගොඩ නගන වංචා, දූෂණ, සොරකම් දෘෂ්ටිවාදය ඒ තත්වයට කදිමට ගැලපුණි.

දරාගත නොහැකි මට්ටමේ සකල විධ අර්බුධයන් තුල, අර්බුධය සමාජය තුල ස්ථාපිත වූ අකාරයට අදාළ පැහැදිලි සමාජ කොටස් දෙකක් බෙදා වෙන් කල හැකිය.

1.පොසිල ඉන්ධන හිඟතාවය, විදුලි කප්පාදුව, ආනයනික ආහාර පාන ඇතුළු අනෙකුත් ආනයන නවතා දැමීමේ ප්‍රශ්නය හේතුවෙන් අර්බුධයට ගොස් ඇති මධ්‍යම පාන්තික, ඉහල මධ්‍යම පාන්තික සහ ඉහල පාන්තික මිනිසුන්ගේ ජීවිත අර්බුධයට යාම නිසා ඇති වී ඇති තත්වය තුල උද්ඝෝෂණය සඳහා පෙළඹීම. මුලදී නොතිබුණද ඖෂධ හිඟය මේ වන විට ඔවුනටද බලපා ඇත. ඔවුන්ගේ මූලික අවශ්‍යතා අර්බුධයට ගොස් ඇත්තේ මූලික වශයෙන්ම විදුලිය කප්පාදුව සහ ඉන්ධන හිඟය හේතුවෙන් මිස මිල ඉහල යාම මධ්‍යම පන්තියෙන් ඉහල අයට එතරම් අදාළ නැත.

2.පොසිල ඉන්ධන හිඟතාවය, විදුලි කප්පාදුව, අධික ලෙස පොසිල ඉන්ධන සහ උද්ධමනය ඉහල යාම හේතුවෙන් මූලික අවශ්‍යතා සපුරා ගැනීම අර්බුධයට යාම නිසා වියරු වැටුන පහල සමාජ පාන්තික මිනිසුන්ගේ උද්ඝෝෂණ. එසේම ධනවාදය විසින් ඇති කරන ලද රෝග වලට ඖෂධ නොමැති වීම, මිල අධික වීම ද ඔවුනට අදාළ තවත් ප්‍රධාන ප්‍රශ්නයකි.

m4

මෙහි පළමු කොට්ටාශය ඍජුවම නියෝජනය වනුයේ ගෝල්ෆේස් උද්ඝෝෂනයෙනි. එහි බලපෑම දෙවන කොට්ඨාශයට නැතුවාද නොවේ. එනම් “කපුටු කාක් කාක්” , “ගොඨා ගෝ හෝම්” වැනි මධ්‍යම පාන්තික වැදගත්, ළමා සටන් පාඨ පහල සමාජ කොටස් වල මිනිසුන්ද අනුගමනය කිරීම වැනි දේවල්ය. රට තුල මෙසේ වන්නේ ඉතිහාසයේ පළමු වතාවටය. මීට පෙර පහල සමාජ පාන්තික කොටස් වලට සටන් පාඨ ඉහල පාන්තික කොටස් වෙතින් ලැබී නැත. නමුත් පහල සමාජ පාන්තික උද්ඝෝෂණ වල ඇති රෞද්‍රභාවය හෝ කුණුහරුප කීම, ගිනි ගොඩවල් ගැසීම, පාරවල් හරස් කිරීම වැනි ක්‍රියාවන්ට ඉන් බලපෑමක් සිදුව නොතිබුණි.

ඒ අනුව රාජපක්ෂලා ඇතුළු දේශපාලනඥයින් කෙරෙහි කැකෑරෙමින් තිබූ වෛරය පුපුරා යාමට හේතුව වන්නේ මැයි 9වන දින ගෝල්ෆේස් අරගල කරුවන්ට සිදු කල පහර දීමයි. නමුත් එය එසේ ආසන්න හේතුව වුවද ගෝල්ෆෙස්හි පැවතී අරගලය සහ රට පුරා ඇති වූ ප්‍රචණ්ඩත්වයන් යනු පැහැදිලිවම පන්තිමය සහ අරගලයීය වශයෙන් තත්වයන් දෙකකි.

m6

එය අතීත සාදෘශ්‍යක් තුලින් මෙසේ පැහැදිලි කල හැකිය. 1983 කළු ජූලිය ඇති වීමට හේතු වූයේ හමුදා සෙබළුන් 13 දෙනෙකු යාපනයේදී ඝාතනයට ලක්වීමයි. ඒ අවස්ථාවේ විශේෂයෙන් කොළඹ වැල්ලවත්තේ, චැතම් විදියේ කඩ සාප්පු, හෙට්ටි වීදියේ පිහිටි රත්‍රන් භාණ්ඩ කඩ, කුන්ඩම්මාල්ස්, හයිඩ්රාමනි, මහාරාජා වැනි ඉහලම දමිල ව්‍යාපාර ඇතුළු අනෙකුත් දමිල ව්‍යාපාරික ස්ථාන වලට, දෙමළ නිවාස වලට, සහ රට පුරා දෙමළ කඩ සහ නිවාස වලට ප්‍රහාර එල්ල කොට ම්ලේච්ඡ ඝාතනයන් රැසක් සිදු කෙරුණි. ඒ සඳහා තත්වය සකස්වීමට බලපෑ ජාතිවාදය කලක් තිස්සේ ගොඩනැගෙමින් තිබුණි. මාදුළුවාවේ සෝභිත, ජේ. ආර්.ගේ ප්‍රධාන සගයෙකු වූ කලුවාදේවගේ සිරිල් මැතිව් වැනි අයගේ ක්‍රියාකාරකම් සහ ප්‍රකාශ ඒ තත්වය තහවුරු කළේය. 1983 කළු ජූලියේ ප්‍රහාරකයින් වූයේ දරිද්‍රතාවයෙන් පෙළුණු පහල සමාජ පාන්තික කොටස්ය.

ඒ අනුව මැයි 9 වන දා ඇති වූ තත්වයට පාදක වූ ගෝල්ෆේස් පිටියට පහර දීම සහ 1983 ජූලි මාසයේ හමුදා සෙබළුන් 13 මිය යාම ප්‍රහාර සඳහා පාදක වුවද ඒවා සිදු වූයේ එම ප්‍රහාර සඳහා අවශ්‍ය තත්වය නිර්මාණය වී තිබුන හෙයිනි. එසේ නමැතිව හමුදා සෙබළුන් 13 ඝාතනය වීමේ සිද්ධියට පලිගැනීමක් ලෙස එය දැකිය නොහැකිය.

m12

m11

1983 කළු ජූලිය ඇති වීමට අවශ්‍ය දෘෂ්ටිවාදය ගොඩනැගී තිබුනාක් මෙන්ම මැයි 9 දා සිදුවීමට අදාළ තත්වය නිර්මාණය වීමට අවශ්‍ය දෘෂ්ටිවාදය ද කලක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ගොඩනගමින් තිබුණි. එය ආර්ථික අර්බුධය තුල හොදින් වර්ධනය කෙරී තිබුණි. ජ.වි.පෙ. ෆයිල් සංදර්ශනය එහි උච්ඡතම අවස්ථාවයි.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය

ඒ සියල්ල සිදු වීමෙන් පසුව ඇති වී තිබෙන තත්වය තුල ඊට විසඳුම ලෙස ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ස්ථාපිත කල යුතුය යන්න දැන් කරලියට පැමිණ තිබේ. ව්‍යවස්ථා සංශෝධන, ස්වාධීන කොමිෂන් සභා වැනි යෝජනා නැවත ඉදිරිපත් වන්නේ ඒ අනුවය.

ජාතිකවාදය පිළිබඳව ගතහොත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුල ඌනිත ජාතිකවාදයේ ප්‍රශ්නය වෙතට ඇති එකම විසඳුම වන්නේ සුවිශේෂී ජන කණ්ඩායමකගේ අවශ්‍යතා සහ ආශාවන් මූර්තිමත් නොකරන පරාරෝපිත (“alienated”) රාජ්‍ය ස්ථාපිත කරන්නට වීමය. එනම් ආගම සහ රාජ්‍ය අතර වෙන්වීම, නීතිය ඉදිරිපිට සියලු දෙනාගේ ව්‍යුක්ත සමානාත්මතාවය, හෝ යම් ක්‍රමවත් කාල ප්‍රාන්ත්‍රණයන්හිදී සිදුවන නායකත්වයෙහි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිස්ථාපනය වැනි දෑය. එහිදී ඊළඟ අපේක්ෂකයා වන්නේ කවුරුන්ද යන්න අභිරහසකි. කවුරුන් තේරීපත්වුවද එය කලකට පමණක් සහ එය එසේ වන්නේ ස්වයංසිද්ධ නායකත්වයක් ප්‍රධානය කරන සහජ සාරයක ස්වාමීත්වය කරණකොට ගෙන නොවේ. මැතිවරණයන් විසින් නියෝජනය කරනුයේ දේශපාලන අධිකාරියේ කාල අවර්තක දියවීමයි. ඒ තුල ස්ථිර අඩන්ගුවකින් තොර හිස් ස්ථානයක් ලෙස නායකත්වයේ ස්ථානය අනීවාර්යෙන්ම දැකිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවහාරයේ මූලිකම කොන්දේසියක් වන්නේ එයයි. එසේම ප්‍රභූ තන්ත්‍රය යනු සාමාන්‍ය ජනතාවගෙන් දුරස්ථ, ඔවුනට අත නොතැබිය හැකි, සාමාන්‍ය ජනයා වෙත බිය-සැක උපදවන තත්වයක් ලෙස පවත්වා ගත යුතු වීමද ප්‍රජාතන්ත්‍රවාදයේ අනෙක් මූලික කොන්දේසියයි.

ඒ අනුව එවැනි සමාජයක් යනු “ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකි” එහිදී ‘ආත්මය‘ (subject) යනු ප්‍රජාතන්ත්‍රවාදයේ පුරවැසියාය. ප්‍රජාතන්ත්‍රවාදයේ සියලු පුරවැසියන් අතර සමානාත්මතාවය පැවතිය යුතුය යන්න ප්‍රජාතන්ත්‍රවාදයේ අදහසය (මෙය මනොවිශ්ලේෂණයේ හිස් හෝ බෙදී ඇති ආත්මය පිළිබඳ මූලික සංකල්පය පැහැදිලි කිරීමේ ආකාරය සහ මනෝ විශ්ලේෂණය සහ දේශපාලනය අතර සම්බන්ධය අවධාරණය කිරීමේ මූලිකම ස්ථානයයි). ප්‍රශ්නය වන්නේ, සමාජ සමස්තය තුල පුද්ගලයින් සහ කණ්ඩායම් අතර පැහැදිලි විෂමතාවයන් ඇති විට සියලු පුරවැසි ආත්මයන් සමක වන බව අපට කිව හැක්කේ කිනම් ආකාරයටද යන්නයි.

බොහෝ බුද්ධිමතුන්ට අනුව ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කොට රට ගොඩනැගීම සඳහා හතරවන වරටත් රනිල් වික්‍රමසිංහ හට අවස්තාව උදා වී ඇත (මීට පෙර රනිල් බලයට පැමිණි සෑම අවස්ථාවකම ඔහුගේ පරාජය තුලින් ජාතිකවාදය වඩාත් හොඳින් තහවුරු වීම සිදුවිය).

රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත්වීමට සූදානම් වූයේ මාර්තු මාසයේ මැද භාගයේ සිටය. නමුත් ප්‍රශ්නය වූයේ ඊට අවශ්‍ය මන්ත්‍රීධූර සංඛ්‍යාව සහ පසුබිම සකස් කොට ගන්නේ කෙසේද යන්නයි. එනම් රාජපක්ෂලා වෙතින් මටසිලිටු ආකාරයට බල හුවමාරුවක් සිදු කොට ගැනීමට, එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පමණක් හිමි UNPය ට ආණ්ඩුවක් පිහිටුවිය හැකි පසු බිමක් සකස් කොට ගැනීම මෙන්ම රාජපක්ෂවරුන් හට ගෞරවනීය පිටව යාමක් සහ දේශපාලනයේ රැඳී සිටීමට අවශ්‍ය පසුබිමද යන කාරනා තෘප්ත වන පරිදි සියල්ල සකස්කොට ගත යුතුව තිබුණි.

m8

රාජපක්ෂ පවුලේ ගෝඩ්ෆාදර් වන මහින්දට තීරණාත්මකව අනුගමනය කල හැකි ක්‍රියාමාර්ග දෙකක් ඉතුරුව තිබුණි. ඉන් පළමු වැන්න නම් ඔවුනට විශ්වාසනීයම පුද්ගලයා වන රනිල්ට (අන් කවර කෙනෙකුට වඩා රාජපක්ෂවරුන් හට විශ්වාසනීයම පුද්ගලයා වන්නේ රනිල්ය. ඊට හේතුව නම් ප්‍රභූවරුන් ආරක්ෂා කොටගත යුතුය යන න්‍යායික ස්ථාවරයේ රනිල් පිහිටා සිටීමය. රනිල්ට අනුව අනුර කුමාර වුවද දැන් ප්‍රභූ වරයෙකි) රට භාරදී විපක්ෂයට යාම සහ විපක්ෂ නායකවරයා වීමය. දෙවැනි ක්‍රියාමාර්ගය නම් බලය ආරක්ෂා කරගනිමින් බලයේ රැඳී සිටීමය. ඔහු සැලකිය යුතු කාලයක් මේ දෙක අතර දෝලනය වෙමින් ක්‍රියාත්මක විය. ඒ අතරතුර අර්බුධය එන්න එන්නම උග්‍ර වීම සිදු වෙමින් පැවතුනි.

මහින්ද ඇතුළු ආණ්ඩු පක්ෂයට බලයේ රැඳී සිටීමට අවශ්‍ය නම් මුලින්ම කල යුතු කාර්ය වූයේ ඔවුන්ගේ බලය පෙන්වීමයි. විදේශ ආදාර ලබා ගැනීම, ණය ලබා ගැනීම, ඉඩම් හෝ චීනයට දී චීනයෙන් උපකාර ඉල්ලා සිටීම වැනි ක්‍රියාමාර්ග වලට යා හැක්කේ ඉන් පසුවය. අඩු තරමින් තිබූ අස්ථාවරත්වය තුල ලාභයට රුසියාවෙන් ලබා දෙන බවට ප්‍රකාශ කල ඉන්ධන සහ ගෑස් මිලදී ගෙන ඒවා අඩු මිලකට අලෙවිකොට සහනදායි තත්වයක් උදා කොට ගැනීමේ තීරණය හෝ ගැනීමට හැකි ස්ථාවරත්වයක් ආණ්ඩුව සතුව නොතිබුණි. එයට තවත් එක් හේතුවක් වූයේ එසේ කලේ නම් ඇමරිකාව එම තීරණයට සපුරා එරෙහි වන බැවිනි (යහපාලනය පරාජය කොට රාජපක්ෂ ආණ්ඩුව පත්කොට ගැනීම පිටුපස ලංකාව වෙත දැඩි අවධානයක් යොමු කොට ඇති ස්ථාවරයක ඇමරිකාව සිටියේය. ඒ ඉන්දියාවේ ද සහාය ඇතිවය. ඇමරිකාව ලංකාව කෙරෙහි මෙවැනි දැඩි අවධානයක් යොමු කොට ඇත්තේ චීනය විසින් ක්‍රියාත්මක කොට ඇති “One Belt, One Road, One Currency” ව්‍යාපෘතිය හේතුවෙනි. ලංකාව යනු චීන ව්‍යාපෘතියේ ප්‍රධාන මර්මස්තානයකි).

රාජපක්ෂලාගේ ගෞරවය ආරක්ෂා කරමින්, අනාගත දේශපාලනයද සුරක්ෂිත කොට, රනිල් වෙත බලය ලබා ගැනීමට නම් අනීවාර්යෙන්ම පොහොට්ටු මන්ත්‍රීන්ගේ සහ ස.ජ.බේ. යම් මන්ත්‍රී පිරිසකගේද සහාය ද අවශ්‍ය විය. නමුත් පැවති පසුබිම තුල ඒ සඳහා තත්වය සකසා ගැනීම දිනෙන් දින කල් යමින් තිබුණි.

ගත යුතු ක්‍රියාමාර්ග දෙකක් අතර දෝලනය වෙමින් සිටි මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ සහචර අමාත්‍යවරුන් විසින් තම ඡන්ද පදනමේ තීරනාත්මකම කොටස වන ප්‍රාදේශිය සභා සභාපතිවරුන්ගේ බලය පෙන්වා උද්ඝෝෂණය යටපත්කොට ගත හැකිය යන තීරණයට එළැඹෙන්නේ මේ අතරතුරය. මහින්ද යනු ඉතාම පළපුරුදු අත්දැකීම් ඇති හොඳින් තෙම්පරාදු වූ දේශපාලනඥයෙකි. එහෙත් ඔහු ප්‍රාදේශීය සභා සහාපතිවරුන්ගේ බලය ගැන අධි තක්සේරුවක සිටියේ බැසිල් ගැන විශ්වාසය තබමින් විය යුතුය. එසේම පොහොට්ටු ප්‍රභූන්ගේ සහ උසස් පොලිස් නිලධාරීන්ගේ ගෙවල් වට කිරීම වැනි ක්‍රියා වලට ඉඩ නොතබන ලෙස රනිල් විසින් දිගින් දිගටම සිදු කල අවධාරණයන් සහ රනිල් සහ රාජපක්ෂවරුන් අතර අභ්‍යන්තර සාකච්ඡා වලදී ප්‍රභූ දේශපාලනය කෙරෙහු වන එහි ඍනාත්මක බලපෑම කෙරෙහි රනිල්ගේ ලිබරල් න්‍යායික පැහැදිලි කිරීම ද සිදුකළා විය හැකිය. නමුත් “ගෝටා ගෝ හෝම්” ගමට පහර දිය යුතු බවක් රනිල් නොකියනු ඇත. “ගෝටා ගෝ හෝම්” ගමට පහර දුනහොත් තමන් කිසි ලෙසකින් මින් ඉදිරියට රාජපක්ෂවරුන් සමග එකට කටයුතු නොකරන බව රනිල්ගේ කටින් එලියට පනිනුයේ එබැවිනි. නමුත් රනිල්ගේ බලපෑම විසින් මහින්ද තුල ඇති වූ ව්‍යාකූලත්වය එම පහර දීම සැලසුම් කිරීමට හේතු වේ. නමුත් එසේ කියූ රනිල් “ගෝටා ගෝ හෝම්” ගමට පහරදුන් සැනින් අගමැති ධූරයේ දිව්රුම් දීම සඳහා සූදානම් විය.

ප්‍රාදේශීය සභා සභාපතිවරුන් කැඳවා “ගෝටා ගෝ හෝම්” ගමට පහර දීම කරන විට ගම් වල සිටි සභාපතිවරුනට පක්ෂපාත පිරිස් පවා උදාසීන වී අවසන්ය. එසේම ගල්, වැලි, පස්. ලී, මැටි, බොරළු, ආර්ථිකය ඇතුළු ඔවුන්ගේ අනුග්‍රහය ලැබූ ජඩ ව්‍යාපාර සියල්ල ඒ වන විට සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබුණි. ඒ අනුව තවත් ටික කලක් ගොස් නව වෙනිදා රට පුරා පුපුරා ගිය ආකාරයටත් වඩා දරුණු ලෙස පුපුරා යාමට නියමිතව කැකෑරෙමින් තිබූ ජන වෛරය “ගොඨා ගෝ හෝම්” ගමට පහර දීම පාදක කොටගෙන ඇවිලී ගියේය.

m9

මහින්දට තිබූ අනෙක් විසඳුම වූයේ පොහොට්ටුව විපක්ෂය බවට පත්වී විපක්ෂ නායකයා වීමය. ඔහු එය ක්‍රියාත්මක කලේ නම් රාජපක්ෂ දේශපාලනය ආරක්ෂා කොට ගැනීමේ විභවයක් ඔහුට ඉතිරි වනු ඇත. ඊට හේතුව නම් ඉදිරියේදී බලයට පත්වන කිසිඳු අයෙකුට හෝ පක්ෂයකට මිනිසුන් බලාපොරොත්තු වන ආකාරයෙන්, බලාපොරොත්තු සහගත කාලයක් තුල ගෝඨාභය ජනාධිපති වීමට පෙර තිබූ තත්වය උදා කල නොහැකි බැවිනි.

රටෙහි මහත් කලබැගෑනියක් ඇති වූ තත්වය තුල උදේ ඉවත් වීම ප්‍රතික්ෂේප කල මහින්දට හවස ඉවත්වීමට සිදු වූ අතර මාස තුනක් පමණ තිස්සේ අගමැති වීමට පෙරුම්පුරාගෙන සිටි රනිල් හට අගමැති ධූරය මේ වන විට හිමිව ඇත. මාස තුනක් පමණ තිස්සේ, ඇති වී ඇති අර්බුධය සම්බන්ධයෙන් රාජපක්ෂලාට උපදෙස් දෙමින් ආණ්ඩුව කඩා වැටීමට නොදී රැකගත්තේ ඔහුය. එම තත්වය තුල උච්ඡතම අවස්තාව වූයේ සියඹලාපිටිය නාඩගමය.

කා හටත් ප්‍රශ්නය වී තිබුනේ රාජපක්ෂවරුන් බලය අත්හැර නොයන්නේ ඇයිද යන්න පිළිබඳවය. ඔවුන් බලය අත්හරිනුයේ ඔවුන්ගේ ආරක්ෂාව සහ අනාගතයද ආරක්ෂා වන පරිදි සුහද බල හුවමාරුවකට අවශ්‍ය ප්‍රභූ තන්ත්‍රයක් නිර්මාණය වීම තුල පමණි. එසේ නොමැතිව ඔවුනට බලය අත්හැරීමට නොහැකිවා සේම අනෙකුත් බොහෝ ප්‍රභූන් ද ඔවුන් එසේ කරනවාට අකමැතිය.

එනම් රාජපක්ෂවරුන් අවසන් කාලයේ බලය අල්ලාගෙන සිටියේ සියලු ප්‍රභූ දේශපාලනඥයින්ගේ මහා පොදු එකඟතාවයකිනි. සියඹලාපිටිය නාඩගම රඟදැක්වුන සන්ධර්භය එයයි. නියෝජ්‍ය කතා නායකවරයා පත්කොට ගැනීමේදී ස.ජ.බ. මන්ත්‍රීවරුන්ගේ සහය ලබා දීම පිටුපස සිටියේ රනිල්ය. ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගය ව්‍යර්ථ කොට දැමීම සඳහා තිරු නඩේසන් හරහා ක්‍රියාත්මක වූයේ ද රනිල්ය. ඒවා හෙලිදරව් කරන ලද්දේ රාසමානික්කම් මන්ත්‍රීවරයා විසිනි.

m13

රනිල් වික්‍රමසිංහගේ ප්‍රභූ උරුමය

අර්බුධය ඔඩු දුවමින් ජන විරෝධයන් උග්‍ර වී මිරිහානේ ගෝඨාභයගේ නිවසට පහර දුන් අවස්ථාවේ සහ තවත් මන්ත්‍රී නිවාස, ඇතුළු ඉහල පොලිස් නිලධාරියෙකුගේ නිවාස වට කල අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ විසින් කිහිප විටක්ම පුන පුනා අවධාරණය කරන ප්‍රමුඛතම කාරණය වූයේ ප්‍රභූවරයාට ඇති ජනතා භය-පක්ෂපාතීත්වය නැති වී යාමේ අවධානම පිලිබඳවය. එසේම පොලීසිය-හමුදාව කෙරෙහි ඇති භය-පක්ෂපාතීත්වය ද එවැනි ලෙසම අර්බුධයට යමින් තිබීමේ භයානකත්වය ගැන ඔහු බෙහෙවින් කම්පනයට පත්ව තිබුණි. එවැනි තත්වයක් සමාජය තුල අධ්‍යාහාර වීම ප්‍රභූ දේශපාලනය (ප්‍රජාතන්ත්‍රවාදී සමාජය) අර්බුධයට යවන්නක් බව රනිල් දනී.
ඔහු දිගින් දිගටම විමසා සිටියේ මේ තත්වය මෙසේ වුවහොත් ඉදිරියට එන ආණ්ඩු පාලනයක් හෝ පවත්වා ගන්නේ කෙසේද යන්නයි. එනම් ඔහු කියා සිටියේ ප්‍රභූ දේශපාලනඥයා එවැනි තත්වයකට පත් වුවහොත් ලිබරල් දේශපාලනය පත්වන අර්බුධය පිලිබඳවය.

m14

රාජපක්ෂලා සමග දිගින් දිගටම කටයුතු කරමින් රාජපක්ෂලා ද ආරක්ෂා කරගනිමින් සුමට බල හුවමාරුවක් සඳහා  රනිල් විසින් සිදු කල උත්සාහය තුල ජාතික එකඟතා ආණ්ඩුවක් නිර්මාණය කරගත යුතු බව සියලු දෙනාට අවධාරණය කරමින් සිටියේය. රනිල්ගේ මැදිහත් වීම කොතරම් තීරනාත්මකද යන්න පැහැදිලිව පෙනෙන්නට තිබුනේ 9 වෙනිදා සිද්ධිය සහ ඉන් අනතුරුව තත්වය තුල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැසුරුන ආකාරය තුලිනි.

රනිල් හට අගමැති කම ගෙන ආණ්ඩුවක් පිහිටුවිය හැකිය යන විශ්වාසය උපරිමයෙන් තහවුරු වන්නේ පසුගිය නව වෙනිදා රට පුරා ඇවිලීගිය ප්‍රචණ්ඩ පහරදීම් මාලාව මැඩපැවැත්වීම සඳහා වෙඩි තබන ලෙස නියෝග ලබා දීම සිදු වූ සන්ධර්භය තුලය. එසේ කිරීම සඳහා ගෝඨා ට උපදෙස් ලබා දුන්නේ අනීවාර්ය ලෙසම රනිල් විය යුතුය (ඇති වී තිබූ තත්වය තුල රනිල්ගේ මැදිහත් වීම නොවන්නට ඒ වන විට එවැනි තීන්දුවක් ගැනීමේ ශක්තියක් ගෝඨාට හෝ වෙනත් කිසිඳු රාජපක්ෂවරයෙකු සතු නොවීය). එවැනි තත්වයකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාම පාහේ ඊට අනුකූලතාවයක් දක්වා නිහඬව සිටීම පිටුපස තිබූ මෙහෙයුම ක්‍රියාත්මක වූයේ රනිල් වෙතින් බව පෙනී යන්නේ ඔහු දිගින් දිගටම පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් සිදු කල ප්‍රකාශයන් දෙස බැලීමේදීය.

ජවිපෙ මන්ත්‍රීවරුන්ගේ පවා කටවල් වැසීමට රනිල් සමත්ව තිබුණි. අනුර කුමාරලා රනිල් වෙත අනුකූලතාවයක් දක්වන අවිඥානය වන්නේ රනිල් විසින් අනුරලා ද ප්‍රභූන් ලෙස සැලකීමයි. තඹුත්තේගම මැනුම් කම්කරු පියෙකුගේ පුතෙකු ලෙස පැමිණ ජ.වි.පෙ. නායකයා බවට පත් වීම තුල තමන් ප්‍රභූවරයෙකු ලෙස තමන්ට දැනෙනුයේ රනිල් විසින් එම මුද්‍රා සහතිකය ඔහුට ලබා දෙන බැවිනි. රනිල් ඊට හොඳම සුදුස්සාය. ඊට හේතුව නම් ලාංකීය දේශපාලන ප්‍රභූත්වයේ නියම උරුමක්කරුවා ඔහු බැවිනි.

m15

1948න් පසුව ලාංකීය සමාජය මේ ආකාරයට සකස්වීමේදී ප්‍රධානතම සහ තීරණාත්මකම පවුල වූයේ විජේවර්ධන පවුලයි. UNP යනු ඔවුන්ගේ උරුමයයි. එම උරුමයේ ආධිතමයා ජේ.ආර්.ය. UNP දෙකඩ කොට එහි බලය හීන කල බණ්ඩාරනායක ඝාතනය කල යුතුය යන තීරණය පැමිණෙන්නේද විජේවර්ධන පවුල තුලිනි. එහි මූලික සැලසුම්කාරිය වූයේ රනිල්ගේ පුංචි අම්මා වන විමලා විජේවර්ධනය (ඇය එම කුමන්ත්‍රණය සිදු කරනුයේ එකල ඇයට අයත්ව තිබූ හපුතලේ පිහිටි ඇඩිශම් බංගලාවේ අකුලන වටමේසයක විස්කි බොමින් සාකච්ඡා කරමිනි).

ඒ අනුව UNPය යනු ඥාතීන්ගේ පක්ෂයකි. UNP ආරක්ෂා කරනුයේ එම සම්ප්‍රදායයි. එය කලකට කඩා වැටෙනුයේ එය තුලට ආගන්තුක වූ ප්‍රේමදාස හේතුවෙනි. රනිල් විසින් වර්තමාන UNPයේ පරම උරුමක්කරුවා ලෙස රුවන් විජේවර්ධන භෞතීස්ම කොට ඇත. ඔහුගේ පියා ජේ.ආර්. ගේ මස්සිනා කෙනෙකි. ඔහු රනිල්ගේ මස්සිනාය. එසේම “ජාතියේ පියාගේ” මුනුපුරෙකි.

යම් යම් ප්‍රතිවිරෝධතා තිබුනද රනිල් අගමැතිවරයා විය යුතු බව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් අනුමත කරනු ලබනුයේ ඉහත විස්තර කල රනිල්ගේ උරුමය ඒ සියලු දෙනා හට අවිඥානික බැවිනි. ඒ අනුව ප්‍රභූන් සියලු දෙනාගේ ආරක්ෂකයා සහ ගැලවුම්කරුවා බවට ඔහු නිතරඟයෙන්ම පත් වේ.
ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමේදී පැවතිය යුතු ප්‍රභූ තන්ත්‍රයේ ලාංකීය ස්වභාවයේ නියම සංකේතය රනිල් වික්‍රමසිංහ බවට පත්ව ඇත්තේ එබැවිනි (ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය යන්න පරරෝපිතයක් වුවද ශුද්ධ ලෙසම එය කිසි විටකත් එසේ නොවේ). 

ප්‍රචණ්ඩ ක්‍රියා ක්‍රියාත්මක වන තත්වය තුල ජවිපෙ විසින් වහාම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඔවුන් තම සියලු වෘත්තීය සමිති ක්‍රියා මාර්ග හකුලා ගන්නා බවය. ඉන් දෙනු ලබන හැඟවුම වූයේ මහින්දගේ ඉල්ලා අස්වීම තුල දැන් ප්‍රශ්නය සමථයකට පත්ව ඇති බවත්, සන්සුන්ව සිටිය යුතු බවත්ය. ඊට අමතරව ජවිපෙ මධ්‍යම පාන්තික සාමාජිකයින් ලවා සමාජ මාධ්‍ය පුරා ප්‍රචාරය කරනු ලැබූයේ ගිනි නිවන ලෙසත්, ගිනි ඇවිලවීම පිටුපස සිටිනුයේ ආණ්ඩුවම බවත්ය. ප්‍රචණ්ඩ ක්‍රියා දුර්වල කොට දැමීම සඳහා හොඳම උපක්‍රමය වූයේ ප්‍රචණ්ඩ ක්‍රියා ආණ්ඩුව විසින් සිදු කරන බව ප්‍රචාරය කිරීමය.

රනිල් යනු පවුල් උරුමක්කාර ප්‍රභූ සම්ප්‍රදාය පවත්වා ගන්නා ගමන් (UNP නායකයින් රෝයල් කොලීජියේ අය විය යුතු බවක් ද සිතන්නෙකි) සමාජයේ පහල සිට ඉහලට එන “දක්ෂයා” හටද තැන දෙන, එවැන්නෙක් ප්‍රභූවරයෙකු බවට පත්ව ඇත්නම් ඔහුටද සමාන ආකාරයෙන් සැලකිය යුතු බව පිළිගන්නා චරිතයකි (“නිදහස් අධ්‍යාපනය” පිළිබඳව පනත සම්මත කොට ගැනීමේ ප්‍රමුඛයින් වූයේ කන්නගර, බණ්ඩාරනායක සහ ජේ.ආර් ය). අනුර කුමාර පවා ඔහුට අවනත වන ස්ථානය එයයි.

m16

ව්‍යවස්ථා තර්කයක් ගෙන එමින්, වෙඩි තැබීමට දුන් නියෝගය වැරදි බව ප්‍රකාශ කොට සිටි එකම මන්ත්‍රීවරයා වූයේ සුමන්තිරන් පමණි. ඊට අමතරව ගිනි තැබීම් පහර දීම් පිළිබඳව ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූයේ අතුරලියේ රතන හිමි පමණි.

කොතරම් පරාජයට පත් වූවද රනිල් UNPයේ නායකයා ලෙස වසර 28ක් නොසැලී කටයුතු කරනුයේ මෙරට ප්‍රධාන පෙලේ තීරණාත්මක වසල ව්‍යාපාරික ප්‍රජාවගේ බලයෙනි. පැවති තත්වය තුල එම ව්‍යාපාරික ප්‍රජාව කෙතරම් රාජපක්ෂවරුන් දෙසට යොමු වුවද රාජපක්ෂවාදය අවසන් වන විට රටේ බලය ලබා ගැනීමට හෝ ඒ සඳහා නියම ලිබරල් අනුප්‍රාප්තිකත්වයක් ගොඩනගා දීමේ වගකීම ඔවුන් විසින් පවරා ඇත්තේ රනිල් වෙතය.

ඒ අනුව රනිල් හට පෙනී ගියේ සියලු දෙනා තමන්ගේ අදහස් පිළිගන්නා, තමන් ජ්‍යෙෂ්ටයා සහ විශිෂ්ටයා ලෙස සලකන බවක්ය. ඔහු වහාම අගමැති ධූරයේ දිව්රුම් දෙන්නේ එබැවිනි. ඒ සඳහා විශාලතම තල්ලුව ලැබී ඇත්තේ ව්‍යාපාරික ප්‍රජාව වෙතිනි. රටේ සිටිනා සියලුම ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයින් එක්සත්ව, එක්සිත්ව, රනිල් වෙත බලපෑම් කොට ඇත්තේ අගමැති ධූරය ලබාගන්නා ලෙසය. ඔවුන් දැඩිව අවධාරණය කොට ඇත්තේ සියලු ව්‍යාපාර කඩා වැටී ඇති බවත්, තවත් කල් ගත වුවහොත් බොහෝ ව්‍යාපාර නැවත ගොඩගත නොහැකි පරිදි බිඳ වැටෙනු ඇතැයි යන්නයි. මේ තත්වය තුල ඔවුන් එපමණකින් නොනවතිනු ඇත. ආණ්ඩුවක් පිහිටවීමේදී අවශ්‍ය මන්ත්‍රීධූර බිලී බා ගැනීම සඳහා අවශ්‍ය මුදල් ද අනීවාර්ය ලෙස ලබා දෙනු ඇත. ඒ අනුව රනිල් ඉතසිතින්, දැඩි විශ්වාසයකින් යුතුව අගමැතිධූරයේ දිවුරුම් දෙන්නේ එම විශ්වාසය තුලය.

m17

“ගෝටා ගෝ හෝම් ගම” පවත්වාගෙන යාම සඳහා සියලු ආධාර, උපකාර, සිදු කරන ලද්දේ මෙරට ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයින් සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරිකයින් විසිනි. “ගෝටා ගෝ හෝම් ගම” සහයද රනිල් වෙත ලබා ගත හැකි බව එම ව්‍යාපාරිකයින් විසින් සහතික වී ඇතුවාට සැක නැත. ඒ අනුව “ගෝටා ගෝ හෝම් ගම” අරගල ප්‍රධානීන් වන යූටියුබ් කරුවන් ඇතුළු පිරිස් තමන් වෙත නතු කොට ගත හැකි බව එම ව්‍යාපාරික ප්‍රජාව රනිල් වෙත සහතික වන්නට ඇත. “ගෝටා ගෝ හෝම් ගම” අරගලය නියෝජනය කරමින් රැට්ටා නමැති අරගල ප්‍රධානියා පාර්ලිමේන්තු යැවීමට යෝජනා වී ඇත්තේ එම තත්වය තුලය. ඒ හරහා රනිල් උත්සාහ දරනුයේ සමස්ත අරගලයම තමන් වෙත දිනා ගැනීමටය.

රනිල් කැමති අරගල මාදිලීන් වන්නේ ගෝල්ෆේස් අරගලය (“ගෝටා ගෝ හෝම් ගම”) වැනි අරගල මාදිලීන්ය. ඊට එහා ගිය තත්වයන්ට රනිල් කෙසේවත් කැමැත්තක් නොමැත. එබැවින් එවැනි අරගල දිගටම පැවතුනද රනිල්ට එය එතරම් ප්‍රශ්නයක් නොවනු ඇත. නමුත් ඔහුට මුහුණ දීමට සිදු වන තත්වය ඊට වඩා බරපතල වීමට නියමිතය. ඒ ඉදිරි මාස දෙක තුල රටේ ආර්ථික තත්වය මීට වඩා දරුණු වනු ඇති බැවිනි. එනම් තත්වය උග්‍ර වන්නේ රනිල් යටතේය. එසේම රනිල් සමාජය වෙත පෙනී යනු ඇත්තේ පොහොට්ටු ආණ්ඩුවේ නව නායකයා ලෙසය (රනිල්ගේ ආණ්ඩුව පොහොට්ටු මන්ත්‍රීන්ගෙන් සමන්විත සුළුතර ආණ්ඩුවක් වීමට නියමිත බැවින්). SLFP ඇතුළු විපක්ෂ කණ්ඩායම් ඔහුට පක්ෂව ඡන්දය පාවිච්චි නොකලද කලක් යන තෙක් ඔහුට විරුද්ධ නොවනු ඇත. නමුත් විවේචන එල්ල කරනු ඇත. ඒ අනුව අර්බුධය උග්‍ර අතට හැරෙන විට ජන විරෝධයක් ඇති වීම නොවැලැක්විය හැකි වනු ඇත.

තත්වය හරියාකාරව කළමනාකරණය කල හැකි දේශපාලන ව්‍යාපෘතියකට පොහොට්ටුව සමග UNPය ද දේශපාලන භූමියෙන් අතුගා දැමීමේ හැකියාවක් උදාවනු ඇත. මෙය ඒ සඳහා හොඳම අවස්ථාවය. මින් පෙර කිසිඳු දිනක මේ අවස්තාව උදා වී නැත. නමුත් එවැනි දේශපාලන උවමනාවක් සහ දැක්මක් කිසිම කණ්ඩායමක් සතුව නොමැත.  

m18

ඒ කෙසේ වෙතත් රනිල්ගේ බලාපොරොත්තුව වන්නේ පවතින අර්බුධය සමනය කිරීම සඳහා IMF, ලෝක බැංකු සහාය මෙන්ම MCC වැනි ගිවිසුම් කරා යන මාවතක් විවර කර ගැනීමය. එය ජාතික එකඟතා ආණ්ඩුවක් තුල එතරම් පහසු කටයුත්තක් නොවන බැවින් ඔහුට ලැබෙන කාලය තුල බලය ලබා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කොට ගැනීමට ඔහු උත්සුක වනු ඇත. ඒ සඳහා වන කතිකාව නිර්මාණය කිරීම සඳහා මේ වන විට සංවිධාන කිහිපයක් ක්‍රියාත්මක වේ. ඒවායේ සංයුතිය සමන්විත වන්නේ ආර්ථික විද්‍යා විද්වතුන්ගෙනි. ආර්ථික විද්‍යා විද්වතුන් දන්නේ හා පිළිගන්නේ ආර්ථිකය වර්ධනය කොට රැකියා සුලබ කල හැක්කේ කෙසේද යන්න වැනි කාරණා පිළිබඳව පමණි. ඔවුන් ඉතාම මාන්නක්කාර ලෙස එය පවසමින් සිටී. වෙන කිසිවක් ඔවුනට අදාළ නැත. ඔවුන් මිනිස් සමාජය සහ සමස්ත ලෝකය දෙසම බලනුයේ ඔවුන් දන්නා ආර්ථික විද්‍යා දෘෂ්ටිකෝණයෙනි. දේශගුණික, ස්වභාවික ව්‍යසන ඇතුළු ඕනෑම අර්බුධයක් යනු ඔවුනට අනුව ආර්ථිකයට සිදු වන බලපෑමක් තුලින් පමණක් විමසිය යුත්තකි. ඔවුනට අනුව ප්‍රධාන දේ ආර්ථිකයයි. ඒ අනුව අවශ්‍ය වන්නේ කොයියම්ම ආකාරයකින් හෝ ආර්ථිකය වර්ධනය  කරන්නේ කෙසේද යන්න සොයා බැලීමය.

ධනවාදී ආර්ථිකයේ අනුල්ලන්ඝනීය කොන්දේසිය වන්නේ ආර්ථික වර්ධනය පවත්වා ගැනීමය. එය අඩාල වීමට ඉඩ දුනහොත් ධනවාදය තුල සමස්තය බිඳ වැටේ. ඒ අනුව සකල විධ අර්බුධ යන්න ධනවාදයට ආවේනික ලක්ෂණයකි. ආර්ථික වර්ධනය සහ විද්‍යාවේ වර්ධනය සිදුවන්නේ එම අර්බුධ තුලිනි. ධනවාදය තුල දියණුව සහ සංවර්ධනය යනු අර්බුධවල දියුණුව සහ සංවර්ධනයයි. එය විද්‍යාව පිළිගන්නා ප්‍රජාතන්ත්‍රවාදී මිනිසාගේ ප්‍රමෝදයයි (jouissance). ඔහු ඒ තුල අතිරික්ත ප්‍රමෝදය (surplus jouissance) වෙනුවෙන් තවදුරටත් වෙහෙසෙයි.

ඒ අනුව රනිල් කෙසේ හෝ ඔහුගේ ව්‍යාපෘතිය ජයග්‍රහණය කරා ගෙන ගියහොත් සිදුවන්නේ ලංකාව කර්මාන්ත පුරවරයක් බවට පත් වීම බව පෙනෙන්නට තිබේ.

වර්තමාන විනාශය ආරම්භ කරන ලද්දේ ජේ, ආර්, විසිනි. ඒ 1948 වසරේ සිට ය. ජේ. ආර්. ව්‍යාපෘතියේ නියම අනුප්‍රාප්තිකයා වන්නේ ඔහුගේ බෑනා වන රනිල් ය. 2015 වසරේ පත් වූ යහපාලන ආණ්ඩුව තුල ජේ. ආර්. ව්‍යාපෘතිය ඉදිරිය ට ගෙන යාම ට නොහැකි වූයේ සිරිසේන හේතුවෙනි. තකතීරු වාමාංශිකන් සහ ලිබරල්වාදීන් වී සිටින තකතීරු වාමාංශික කොටස් ඇතුළු ශුද්ධ ලිබරල්වාදීන් ඒ පිළිබඳව චෝදනා කලේ සිරිසේන ට ය.

m19

රනිල්ට අවශ්‍ය විධියට වැඩ කිරීමට නොහැකි තත්වයක් යටතේ රාජපක්ෂලා හිරගෙවල් වල යවා SLFP යට බලය හිමි කොට දීම ට රනිල් අකමැති විය (ප්‍රභූන්ට දඬුවම් දීමට කොහෙත්ම රනිල්ගේ කැමැත්තක් නොමැත). එබැවින් රනිල්ගේ ව්‍යාපෘතිය රනිල් ට අවශ්‍යම විදියට නැතත්, අඩුපාඩු සහිතව හෝ කරගෙන යා හැකි රාජපක්ෂලා හටම රට භාර දීමට රනිල් තීරණය කරන ලදී. රනිල් ඊට අදාලව දීර්ගකාලීන උගුලක් ඇටවූයේ ගෙවීමට ඇති ණය වාරික අවුරුදු 5කින් කල් දමාගැනීමෙනි. රාජපක්ෂලාගේ මූලිකම අරමුණ වූයේ නඩු හබ වලින් නිදහස් වීම ය. ඔවුනට තිබූ පළමු සහ ප්‍රමුඛ කාර්යය එය විය. දැන් එය සම්පූර්ණ වී ඇත. දැන් ඔවුනගේ ඊළඟ කාර්යය වන්නේ උපක්‍රමිකව පසු බැස යාම යි. ඒ සඳහා මෙවර ද ඔවුනට පිහිට වන්නේ රනිල් ය. යහපාලන සමයේදී දිගින් දිගටම රාජපක්ෂලා බේරාගැනීම සිදු කරන ලද්දේ රනිල් විසිනි. සිරිසේන අවසානයේ රාජපක්ෂලා හටම පාලනය භාරදෙන්නේ එය ඉවසා ගත නොහැකි තැන ය. එසේම SLFP යේ බහුතරය වෙතින් එල්ල වූ පීඩනය නිසාවෙනි.

රනිල් විසින් සිදු කිරීමට නියමිත අති ප්‍රමුඛ කාර්ය වන්නේ මැයි නව වන දා ප්‍රභූන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කල අය අත්අඩංගුවට ගෙන දඬුවම් දීමය. සියලු ප්‍රභූන් එයට අනුකූලතාවයක් දක්වා නිහඬව සිටිනු ඇත. එසේ නොකළහොත් ඉදිරියේදී කිසිදු ආණ්ඩුවකට රාජ්‍ය දේපලක් විකුණා ගැනීම, කැලෑ කැපීම, කැලෑ ඉඩම් විකිණීම, දූපත් විකුණා දැමීම, ඇතුළු සංවර්ධන කටයුතු සහ ආර්ථික සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය පියවර ගැනීම් සිදු කිරීමට නොහැකි වන බව රනිල් දනී. ඔහු මේ සැරසෙන්නේ ප්‍රභූන් වෙත ඇති භය පක්ෂපාතීත්වය නැවත නගා සිටුවීමටය. ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීම සඳහා අත්‍යවශ්‍යම සාධකය එයයි.

වර්තමාන ගෝලීය ධනවාදය පිළිබඳව සැලකුව ද තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදය (ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ නිශ්චිත සමුද්දේශ රාමුවක් තුල වන අතර එම සමුද්දේශ රාමුවට ඉහලින් ප්‍රභූ තන්ත්‍රයක පැවැත්මක් අනීවාර්ය වේ) නමැති ධනවාදී ක්‍රියාවලිය තුල ඊට අදාළ ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනය සමඟ එය ඒකාබද්ධ කළ නොහැක. අද දවසේ ලොව පුරා නිදහස උදෙසා ව්‍යාපාර වල සහ බොහෝ අරගල ධාවනය වන සාමාන්‍ය ව්‍යවහාරය වන්නේ ප්‍රාදේශීය, කලාපීය සහ ගෝලීය මට්ටම් වලදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඇති ආශාවයි. සියලු දෙනා අවසාන වශයෙන් පිළිගන්නා තත්වය ලිබරල් ධනවාදය බවට පත්ව ඇත. ඒ අනුව සමාජවාදය හෝ කොම්ම්යුනිස්ට්වාදය වැනි “මනෝරාජික සිහිනයක්” වෙනුවෙන් පෙනී සිටිනවාට වඩා, ප්‍රජාතන්ත්‍රවාදය යනු අපේ දවසේ කරදරකාරී ප්‍රශ්නවලට ඇති එකම පිළිතුර බවට පත්ව ඇත. අපගේ සදාකාලික ගැටුම් සහ යුද්ධයෙන් මිදීමට ඇති එකම මාර්ගය බවට ද එය පත්ව ඇත. එබැවින් සියලු දෙනා  ප්‍රජාතන්ත්‍රවාදය යන්න පුනරුච්ඡාරණය කරමින් සිටී. නමුත් ඒ කිසිවකින් මිදීමට හැකිව තිබේද ?

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සහ දක්ෂිණාංශික ජාතිකවාදී ජනතාවාදය අතර මහා අරගලයක් සේ පෙනුන දෙය මේ වන විට ආශ්චර්යමත් ලෙස සාමකාමී සහජීවනයක් බවට පත් කර ඇත. සාරධර්ම අතර ආරවුලක් ලෙස දේශපාලනය අත්හැරීම ඔවුන්ට කල නොහැකි මිල අධික කාර්යයකි.

@spartcus.lk

නවතම ලිපි