එක් දහස් නවසිය හැත්තෑවේ මහ මැතිවරණයේ මුල් ප්‍රතිඵල කිහිපය නිරීක්ෂණය කළ අගමැති ඩඩ්ලි සේනානායක, පාලක එජාපයට බලය අහිමි වන බව තේරුම් ගත්තේය.

ඔහු වහා ඉල්ලා අස්විමේ ලිපිය සකසා මහ පාන්දරින්ම ජනාධිපති විලියම් ගොපල්ලව වෙත යැවීය. අගමැති වරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලද සැනින් ජනාධිපති විලියම් ගොපල්ලව පෙරළා අගමැති ඩඩ්ලි සේනානායකට දුරකතනයෙන් කතා කළේය.

‘‘මොකද මේ කලබලෙන්... මං ඔබතුමාගේ ඉල්ලා අස්වීම බාර ගන්නේ නෑ. කතා කළේ ජනාධිපති විලියම් ගොපල්ලවය.

‘‘අපි පරදිනවානේ. ඩඩ්ලි ඒ සමග සිනාසෙමින් කීය.

‘‘වෙන්න පුලුවන් ඔබතුමා ඒත් පවත්නා නීතිය අනුව ඔබතුමා තවමත් රටේ අගමැති. මට මේ අස්වීම බාර ගන්න අවසර තියෙන්නේ අවසාන මැතිවරණ ප්‍රතිපලයත් නිකුත් වීමෙන් පසුවයි. . යම් ගැටලුවක් වේනම් නාමික ජනාධිපති ලෙස මට උපදෙස් ලබාදීමේ වගකිම තවමත්  ඔබට පැවරී තිබෙනවා.“ එසේ කී විලියම් ගොපල්ලව දුර කත සංවාදය නිම කළේය.

එදා රටේ වලංගුව පැවතියේ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවය. මෙයින් වසර 52කට පෙර ලංකාව එහෙමය. කාලය යනු  මුහුකුරායාමකි. හෝ ගතවීමකි. ඒ මුහුකුරායාම, ගතවීම හැමවිටෙකම ඉතිරි කළේ වටිනාකමකි. දියුණුවකි ප්‍රබෝධයකි. 

ආසන්න දසක හතරක කාලයක් තිස්සේ ලංකාවේ දේශපාලනය මිනිස් වටිනාකම්  දිනෙන් දින පහළ යමින් අවභාවිතා වෙමින් පවතී. ඒ ඩොලරයට සාපේක්ෂව රුපියල බාල්දු වෙන්නා වාගේය. මැයි 9 වෙනිදා සිදුවුණේත් ලෝකය පිළිකුලෙන් දුටු එවැනි බලය අවභාවිතාවකි.

විස්සයි විසිදෙකේ මැයි 9  සදුදා උදේ වරුවෙත් රටේ විනයක් පාලනයක් තිබිණ. විරුද්ධවාදියා එරෙහි මත කෙරෙහි ගෞරවයක් පැවතිණ. ඒ විනය ශික්ෂණය පාලනය පවත්වා ගෙන ගියේ පාලකයන් නොවේ. රටේ ජනතාවය.

ඇල්පෙනෙත්තක්වත් සගවා නොගෙන හරියටම ලිත් මාසයක් මේ රටේ ජනතාව විධායක ජනාධිපතිට ගෙදර පලයන් කීවේ ලෝක ප්‍රජාව මවිත කරවමිනි.

දියවන්නා පාරේ ඇටවූ ස්ථීර බාධක වලට ඔවුන් විරෝධය පළ කළේ ඔලු පලාගෙන මිනි මරා ගෙන නොවේ. සංඛේතාත්මක විරෝධයක් නිර්මාණය කරමිනි. එහෙත්  9 වෙනිදා දහවල් වනවිට සිද්ධ වුණේ කුමක්ද?

රටක ජනතාව පලයන් කීවේ තව පිරිසකට බලය ලබාදිමට නොවේ. ක්‍රමය කෙරෙහි පැවති නොසතුට අතෘප්තිය හේතුවෙනි. එය තේරුම් ගත්තා නම් කළ යුතුව තිබුණේ ඊට ඉඩ සැලසීමය.

එහෙත් පාලකයන්ගේ ප්‍රතික්‍රියාව අමානුෂික විය. මේ පාලකයන්   දිගටම බලයේ රැදී සිටීමට උත්සාහ කරති.  රටේ පාලන බලය අත මිට මොළවා ගත්  ඒ කුප්‍රකට පවුල තම වාසියට හොරකම් කර මිනී මරා පුරුදු ගමකට වැද්ද නොගත යුතු තක්කඩි පිරිසකි.

එපමණක් නොවේ. අධිකරණය විසින් වරදකරුවන් කොට නියම කළ දඩුවම් වලින් මුදවා රටේ තනතුරු පිරිනමමින් සදාචාරය කෙළෙසමින් තම අසික්කිත පැවැත්ම සහතික කළ තක්කඩින් වෙති. ඔවුන් 9 වෙනිදා තිරිසනුන් ලෙස හැසිරුණේ තමන් තුළ පැවති පරාණ බය නිසාය.

එදා විලියම් ගොපල්ලව කීවේ කුමක්ද? අන්තිම ප්‍රතිපලය ලැබෙන තෙක් මට ඔබේ ඉල්ලා අස්වීම භාරගත නොහැකි බවය. ජනතාව තමන්ට අකමැති බව දැනුන සැනින් ඩඩ්ලි බලය අතහැරියේ බලකිරිමකින් නොවේ. හිතට එකගවය. ඒත් මේබ කාලකන්නි පවුල ඊට වෙනස් විය.

රටේ ප්‍රමුඛ තනතුර හොබවන අර කාලකන්නි පවුලේ සාමාජිකයා රටට ඇහෙන්න කීවේ කුමක්ද? නීතිය මමයි කියාය. මේ පාලක පවුලේ සහචරයන් මහජන විරෝධය හමුවේ හැසිරුණේ තිරිසනුන් මෙන්ය.  

එක කාක්කෙක් මරා කපුටු තට්ටක් පෙනෙන්නට එල්ලූ විට සියල්ල අවසන් බව ඔවුන් විශ්වාස කරති. එහෙත් කපුටු මස් නොකෑමේ වාසියත් අරගල කරුවන්ගේ හික්මීමත් මත ඔවුනට වාසියක් විය.

එහෙත් කැළබුණ රටේ ජනතා වෛරය මොවුන් පසුපස හඹා එමින් පවතී.

කිව යුත්තේ තවමත් කිසිවක් අවසන්ව නැති බවය. අවසන් වන්නේද නැත. මහින්ද රාජපක්ෂ 9 වෙනිදා කළ තකතීරු අත්හදා බැලීමෙන් විනාස වුණේ රටේ ධනය මිස උන්ගේ බූදලය නොවේ.

ජනතාව විවිධාකාරයෙන් සිය විරෝධය, පිළිකුල ප්‍රකාශ කර අවසානය. අරගලයේ සමාප්තිය සනිටුහන් කළ යුත්තේ ජනතාව පත් කළ පාර්ලිමේන්තුවේ 225 දෙනා විසිනි. එහෙත් රාපක්ෂලා වෙනුවෙන් පෙනි සිටින පාර්ලිමේන්තු බහුතරය හැසිරෙන්නේද රාජපක්ෂලාගේ මානසිකත්වයෙනි.

පොහොර ගෑස් කිරිපිටි ආහාර හිගය රට කළඹා ඇත. වාර්තාවන ආකාරයට හැම දේශපාලනඥයාගේ ගෙදරකම ගමකට මාස ගණනකට සෑහෙන ද්‍රව්‍ය ගබඩා කළ බව හෙළි විය. පාර්ලිමේන්තුව‍ෙ දෙසිය විසි ගණනෙන් අඩකට අවශ්‍ය රාජපක්ෂලාගෙන් ගිළහෙන පාලනය අල්ලා තමන්ගේ සාක්කුවට දමා ගැනීමය. විපක්ෂය දැල්වෙන රවුලෙන් සුරුට්ටු පත්තු කිරිමට තැත් කරති.

විපක්ෂයේ කිසිදු කණ්ඩායමකට අන්තර් කාලීන ආණ්ඩු පිහිටුවා ගැනිමට පාර්ලිමේන්තු සම්පුදායට අනුව අවශ්‍ය බහුතරය ලැබෙන්නේ නැත. හේතුව එකිනෙකා කෙරෙහි පවත්නා අවිශ්වාසය සහ මමත්වයයි. අන්තර් කාලීන පාලනය සාර්ථකව රටේ ගැටලු විසදයි නම් තමන්ට බලය ඇල්ලීමට ඇති අවකාශය ඇහිරෙතැයි ඔවුන් තුළ බියක් පවතී.

හේතුව පළමුවත් දෙවනුවත් තෙවනුවත් තමන් රට වෙනුවෙන් කියා 9 වෙනිදා භීෂණය මුදා හළ රාජපක්ෂලාට වඩා ආකල්ප වෙනසක් මොවුන් තුළින් විද්‍යමාන නොවේ.

ආත්මාර්ථකාමි දේශපාලනඥයන්නේ නැහැදිච්චකමට ජාතක කළ මව් පියන්ගේ සොහොන් කොත්වලින් පවා ජනතාව පළි ගනිමින් සිටිති. අපකීර්තිමත් තම දෙමාපියන්ගේ සොහොන් කොත් සොරා කෑ මහජන මුදල්වලින් ඉදි කළ අධිකරණයේදී පිළිගෙන ඒ මුදල් ආපසු ගෙවූ  රටේ වර්තමාන විධායකයා නීතිය මමයි කියමින් තවම බලයේ එල්ලී සිටීමට විකාර කරමින් සිටියි.

ගෝඨා සජිත් කුමන්ත්‍රණය පරාජය කළ යුතුවේ යනුවෙන් 7 වෙනි ඉරිදා මා නමින් සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කළ ලිපිය සදුදා ගෝල්පේස් පිටියේදී සජිත් ප්‍රේමදාස පහර කෑමට හේතුව වුණා යයි ලංකාවේ සිට සමහරු මට චෝදනා කළහ. නිර්දේශපාලනික හා පුද්ගලවාදි නොවූ ඒ ජන අරගල භූමියට සජිත් නොගියා නම් ඒ ටික සිද්ධ වෙන්නේ නැති බව හැර වෙන විත්තිවාචකයක් මට ඇත්තේ නැත.

එහෙත් සැබෑ අරගලයේ නිරත සටන්කාමින් කිසිවකු පොලු මුගුරු අතින් ගෙන සිටියේ නැති බව සජිත් තේරුම් ගත යුතුවේ. වාසිය දුටු විට දෑස් අන්ධව පන්සල යයි සිතා වැලිකිළිවලට රිංගීමෙන් පොට පරද්දා ගැනීමට  ප්‍රේමදාසලාට අලුත් දෙයක් නෙවේ.

සජිත්  කඩිමුඩියේ නම දමා ගැනීමට දිවගියේ මහින්ද මුදාහල පොලු කාරයන් වෙත මිස ගෝඨාගම තරුණයන් වෙත නොවේ.

අනිද්දා පුවත්පතින් 2020 වසරේ සිට මා විපක්ෂයේ සක්‍රිය පක්ෂ සහ පුද්ගලයන් ඍජුව විවේචනය කළේ රාජපක්ෂලාගේ වාසියට බව නිතර නැගුණ චෝදනාවකි.  බලයට පත් කිසිදු දේශපාලනඥයෙකු විධායක බලය අත් හැරියේ නැත යන්න හතළිස් පස් වසරක අත්දැකීමකි.

එකී ඓතිහාසික සත්‍ය මත රෝපනයවූ ජන විඥානය විසින් හසුරුවනු ලැබූ සිවිල් සමාජය අනාගතයේ විධායක ජනාධිපතිකමට කෙළ හලන සියල්ලන් ප්‍රතික්ෂේප කළ යුතුය යන ආස්ථානය දරා සිටියහ. පවන්තා ක්‍රමය වෙනස් කිරීම සදහා පමණක් කැපවූ මතවාදි පෙළ ගැස්මක් මිස, කිසිදු පුද්ගලයෙකුට වේදිකා ඉදි කෙරෙන බලවේගයක් ශක්තිමත් නොකළ යුතුය යන යථාර්ථය නායකයෙක් නැති මතවාදය ඛවන්ධයක් ලෙස මහාචාර්ය විජේසුරිය හැදින්වීය.

මැයි 1 වෙනිදා අනිද්දාට මා ලියු මැරිච්ච මංගල සහ ජීවමාන ඩලස් යන ලිපිය සමග පළවු චරිත අනවශ්‍යයි ක්‍රමයක් අවශ්‍යයි යනුවෙන් ප්‍රකාශිත පුවරුව අතැති යුවතිය සාරාංශ කළේ මා ගොඩ නැගූ ඒ මතවාදය නොවේද? වචන හතරකට සාරාංශ කළ එ සරල යථාර්ථය, තිරිසන් ප්‍රහාරයෙන් සමතලා කළ ගෝඨාගෝගම එක් පැයක් තුළ දෙපයින් ඇවිද්දවීමට ශක්තිමත් නොවීද?  

ගඩාපිගේ ඉරණම සිහිපත් කරමින්, මැයි 9 වෙනිදා ලංකාවට ගෙවී ගියේ විධානයකින් තොර නිමේෂයකි. අරලියගහ මැදුරට පැමිණි රථවාහනවල අංක දිවයින පුරා යවා තිබිණ. තැන තැන රැක සිටියේ සමහර විට, රොබින්හුඩ් ප්‍රබන්ධයේ කියැවෙන හිස වැසූ මිනිසා හෝ අර කවන්ධය විය හැකිය.

සියඹලාපිටිය සිද්ධිය පිළිබද මගේ කියැවීම ගෝඨා සජිත් කුමන්ත්‍රණය පරාජය කළ යුතුවේ යන ලිපියෙහි දැක්වේ.

මැයි 9 වෙනිදා අරලියගහ මන්දිරයට පැමිණි මහින්දගේ සැලැස්ම වුණේ කෙළ වුණොත් සජිත්ට රට භාරදී 80ක් සමග විපක්ෂයට යාමය. සාධාරණය මුල් බැස ගත් සටන් බිම කිළිටි කීරීමට අසමත්වූ මහින්දලාට උන්හිටි තැන් අහිමි විය.  

දියවන්නාවේ සිට, ගමේ සමෘධි මට්ටම තෙක් ද, හදපාන්ගොඩ, කහදගම ආදී සියලු කාලකන්නි බලවේග එක් නිමේෂයකින් ඇද වැටී සුන්නද්දූලි විය. එය මැක්කන් සමග බලු කුණ වැළලී යාමක් මිස, කාගේවත් මැදිහත් වීමක් නොවේ.

ශ්‍රී ලංකා නිතිඥ සංගමය, බලු පොරයක් වෙමින් පැවති පාර්ලිමේන්තුව ජන අරගලය අතර පාලමක් වෙමින් සිදු කරන කැපවීම අප්‍රමාණ ගෞරවයට පාත්‍ර විය යුතුවේ. නීතිඥ සංගමයේ යෝජනා පාර්ලිමේන්තු කණ්ඩායම් මෙන්ම, ජනාධිපති වරයාගේද ධනාත්මක අවධානයට ලක් වෙමින් පවතී.

නව ආණ්ඩුක්‍රමයක් නිර්මානය කිරිමේදී ජනතා අපේක්ෂා මිස, දේශපාලන වාසි තකා වැඩේ  කොහු කළ පෙර වැරදි සහිත මිනිසුන්ගෙන් ප්‍රවේශම් විය යුතුවේ.

උදාහරණ ලෙස 19 වෙනි ව්‍යවස්ථා කෙටුම්පතෙහි දැක්වුණ ද්විත්ව පුරවැසියන් පිළිබද විධිවිධානය අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන් පාර්ලිමේන්තු නියෝජනයට සිමා කිරීමට රනිල් වික්‍රමසිංහත්, විධායක ජනාධිපතිගේ සමහර බලතල එසේම තබා ගැනිමට පාඨලී රතන දෙදෙනාත් පෙනී සිටීම දැක්විය හැකිය.

මෙසේ 19 ඉවත්වූ සාධනීය කරුණු යළි ස්ථාපිත කිරිම නව ව්‍යවස්ථා සංශෝධනයේදි වැදගත්වේ. අලුත් ව්‍යවස්ථා නීතියක් නව මැතිවරණ ක්‍රමයක් අනුමත කිරිමෙන් තොරව මැතිවරණයකට යාම නොකළ යුතුවේ. මේ අත්දැකීම් නිසාම අන්තර් කාලීන පාලනයේ ප්‍රධානියා තම වගකිම ඉටු කර සක්‍රිය දේශපාලනයෙන් ඉවත්ව ගෙදර යා යුතුවේ.

මෙය ලියමින් සිටින අද බදාදා රාජපක්ෂලා පළා යමින් සිටිති.

දේශබන්ධු තෙන්නකෝන්ට පහර දිම ප්‍රේමදාස උඩුගම්පලගේ මවිපියන් ඝාතනය කිරිම වර්ගයේ අණ්ඩපාල සැලැස්මකි. කිසිවෙකු එකී පහරදිම හරහා ආරක්ෂක අංශ නිරායුධ සටන්කාමින්ට එරෙහිව උසුගැන්වීමක් අපේක්ෂා කරන හැටියකි.

9 වෙනිදා සිද්ධිය අතීතයට සිමාකොට පෙළ ගැසුණ ශුද්ධවූ අපේක්ෂාවන් වෙනුවෙන් පමණක් පෙළ ගැසිමෙන් මිස අරමුණ කරා යාම උගහට වේ. හෙවත් ආවේගයන් යටපත් කොට, හිසෙන් වැඩ කළ යුතුවේ. එසේ නොවුණහොත් රටම මංකොල්ලයක් වී යළි රාජපක්ෂ පන්නයේ අලි බබාලා සහ හොරු  පැමිණෙනවාමය.

අපකීර්තිමත් එකෙකු පළා ගියාට, නීතිය මමයි කී සිහිවිකල් චරිතය නන්නත්තාරවී සිටීම සුලුවෙන් සැලකිය යුතු නැත.

මේ සියල්ල අතර, රටම අපේක්ෂා කරන අන්තර් පාලනය සදහා නායකයෙකු නොවන භාරකාරයෙකු කණ්ඩායම් නායකයෙකු වෙත වගකීම් පැවරිය යුතුවේ.

පවත්නා දේශපාලන අස්ථාවර භාවය සමබර කිරිමට ජාත්‍යන්තර විශ්වාසය දිනා ගැනිමට නිර්දේශපාලන චරිතයක් අවශ්‍ය බවට විවාදයක් නැත. එසේ නොවුන හොත් රාජපක්ෂලා අන්තර් පාලන කණ්ඩයම් අතර ආරවුල් නිර්මානය කරනු නියතය.

2018 දී රාජපක්ෂ කුමන්ත්‍රණය ව්‍යර්ථ කීරිමට පාර්ලිමේන්තුව තුළ 78 හැවිරිදි කරු ජයසුරිය ක්‍රියා කළ ආකාරය ප්‍රජාන්ත්‍රවාදි සමාජයකට ආශ්වාදයකි.

 මේ උදාව ඇත්තේ කුප්‍රකට රාජපක්ෂලා සන්සුන් ජන ජීවිතය ප්‍රජාතන්ත්‍රවාදි වටපිටාව විනාශ කරන නිමේෂයකි.

 2020 තෙක් සක්‍රිය දේශපාලනයෙහි නියුක්ත කරු ජයසුරිය දේශපාලනයෙන් සමු ගත්තේ කළකිරිමෙනි. එහෙත් ඔහු තමන් කලක් කැපවූ සාධාරණ සමාජයක් කරා ව්‍යාපාරයට නායකත්වය දෙමින් යහ පාලන චින්තනය විසින් නම මගකට යොමුවූ රටේ දේශපාලන චලනය දෙස සුපරික්ෂාකාරිව සිටියේය. 2015දීත් පොදු අපේක්ෂකත්වය සඳහා නම් කෙරුණ කරු ජයසුරිය කතානායක වගකීම හැසිරවිම තුළ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජය ලද ජයග්‍රහණ අනන්තය.

ලිපිය ආරම්භයේ සිහිපත් කරන ඒආශ්වාදජනක සිද්ධිය විධායක ක්‍රමයක් නිසා ආර්ථික සාමාජික දේශපාලනිකව බිද වැටුණ රටේ අනාගත වැඩ සටහන සැකසීමේදී පුද්ගල විශ්වාසවන්ත භාවය පිළිබද  විශිෂ්ඨ පූර්වාදර්ශයකි.  

විධායකය සහ ව්‍යවස්ථායකය එවැනි විශිෂ්ඨ ආකල්ප සහිත මිනිසුන් බිහි කළේ ආණ්ඩුක්‍රමය තුළ පවැති අනම්‍ය එමෙස්ම ගෞරවනීය හැඩය හේතුවෙනි. අප නැවත යා යුත්තේ එවැනි සමාජ රටාවක් වෙතය. එය අපහසු නැත.

සෝල්බරි ව්‍යවස්ථා නිර්මාතෘත්ට අවශ්‍ය වුණේ ගෞරවනීය දේශයක් සදහා අභීමානනිය ව්‍යාකරණයක් සැකසීමය. ඒ විශිෂ්ඨ අත්දැකීම අප ජන රජයක සිහින වෙනුවෙන් පුලුස්සා දැමීය. මේ උදාවී ඇත්තේ අලුමතින් යළි ඉපිද නිදහසින් ජීවත්වීමට දරන නිර්දේශපාලනික සාමුහික උත්සාහයකි.

 

@Theleader.lk

නවතම ලිපි