මනෝවිශ්ලේෂණය පුද්ගලයා යථාර්ථයට අනුගත වීම පිළිබඳ සාකච්ඡා කරන මෙවලමක් නො ව පුද්ගලයා ගොඩ නගන යථාර්ථය ප්‍රශ්න කරන භාවිතාවකි.

පුද්ගලයින් දැඩි ව හා අනුරාගික ව යථාර්ථයට බැඳී සිටින මෙවැනි වකවානුවක මනෝවිශ්ලේෂණය පිළිබඳ අවධානය වැඩි වශයෙන් යොමු විය යුතු ව ඇතත් එය එතරම් ගණනකට ගන්නා බවක් නො පෙනෙන්නේ සිදු වෙමින් පවතින ඛේදවාචකවල ස්වභාවය දෙස බැලීමේ දී ය. මනෝවිශ්ලේෂණයට අනුව ආත්මමූලිකත්වය පවතින්නේ හැඟවුම්කරණය සලකුණු කරන වාක්‍ය වින්‍යාසය තුළ ම ය. එබැවින් ආත්මමූලිකත්වය වටහා ගැනීමට අප යොමු විය යුත්තේ භාෂාව හා ඉදිරිපත් කිරීම් දෙසට ය. එමෙන් ම ආත්මය අවරෝධනය කළ දේ තම වර්තමානය තුළ සිහින, රෝග ලක්ෂණ හා රඟදැක්වීමේ (ප්‍රකාශනාත්මක) ක්‍රියා (ACTING OUT) ආකාරයෙන් පැමිණීමට උත්සාහ දරයි. අප දකින සිහින අර්ථකථනය කිරීමට හැකි බවත් සිහිනය හා සිහින දකින්නිය අතර සම්බන්ධතාවයක් පවතින බවත් (සිහිනය ස්වයං දැනුමට හා අතීතයට ඇති සම්බන්ධය) හෙළිදරව් වූයේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගෙන් පසුව ය. එ මඟින් අප අප ගැන දැන ගැනීමට අකමැති බොහෝ දේ හෙළිදරව් විය. වෙළෙඳපොළ මඟින් මෙහෙයවෙන සමාජයක සතුට හඹායාම, ධනය එක්රැස් කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු වී ඇති විට ඒවා සම්බන්ධ ආශාව, ස්වයං විනාශය, නො මේරූ ළදරු බව යනාදිය පිළිබඳ අවබෝධය ලබා ගැනීමේ දී මනෝවිශ්ලේෂණයට අදාළ සිහින විශ්ලේෂණය වැදගත් වේ. මෙවැනි හඹායෑම් පීලි පන්නන ස්වයං බාධා තේරුම් ගත හැකි වන්නේ එවිට ය.

අවශ්‍යතා (NEEDS), ප්‍රාර්ථනා (WISH) හා ආශාව (DESIRE) අතර වෙනස මෙහි දී පැහැදිලි කර ගත යුතු ය. අවශ්‍යතා නිශ්චිතව වස්තුවක් කෙරෙහි යොමු වී පවතින අතර ඒවා එ මඟින් තෘප්ත වේ. තෘප්තිමත් වීම පිළිබඳ පෙර අත්දැකීම් පිළිබඳ සංඥා මඟින් අවිඥානක ප්‍රාර්ථනා සමන්විත වන අතර මනෝවිශ්ලේෂණයට අනුව සිහිනය යනු ප්‍රාර්ථනා පූරණය කර ගැනීමේ මාවතකි. ඉල්ලීම් (DEMANDS) අනෙකා කෙරෙහි යොමු වී පවතින අතර එය බොහෝ විට ආදරය ඉල්ලා සිටීමට සම්බන්ධ වේ. අවශ්‍යතා හා ඉල්ලීම් අතර හිදැස මඟින් ආශාව මතු වේ. එය ආත්මයෙන් පරිබාහිර සැබෑ වස්තුවකට සම්බන්ධ නො වන අතර එය සම්බන්ධ වන්නේ ෆැන්ටසියකට ය. ජැක්ස් ලැකාන්ට අනුව ආශාව තෘප්තිය සඳහා වූ අභිරුචියක් නො දක්වන අතර ආදරය පිළිබඳ ඉල්ලීමක් ද නො වේ. ඉල්ලීමෙන් තෘප්තිය අඩු කළ විට ලැබෙන වෙනස යනු ආශාවයි. එමෙන් ම අප වටහා ගත යුතු වන්නේ අපගේ ආශාව යනු වෙනත් දෙයක් සඳහා වන ආශාවක් බව ය. සෑම විට ම අඛණ්ඩ විතැන් වීමක් හා ප්‍රමාද කිරීමක් සිදු වන නිසා ආශාව ලැකානියානු අර්ථයෙන් METONYMY එකක් ලෙස ද හැඳින්විය හැකි ය.

 ප්‍රාර්ථනාව හා ආශාව එකට පැටලී පවතින අතර ආශාව තේරුම් ගැනීමේ දී අප අවධානය යොමු කළ යුතු වන්නේ අර්ථ අපැහැදිලි හා තේරුමක් නො මැති දේ කෙරෙහි ය. නව ලිබරල් අදහස් තුළ පවතින සතුට හඹායාම සමඟ බැඳුණු සිහින හා බලාපොරොත්තු තුළ අන්තර්ගත අනතුරුදායක පණිවිඩය අපට අවබෝධ කර ගත හැකි වන්නේ එවිට ය. එය අවබෝධ කර ගැනීමේ දී පුද්ගලයාගේ පණිවිඩයට වඩා පණිවිඩය ප්‍රකාශ කරන ආකාරය (ආකෘතිය) කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් ය. නො ගැලපෙන දේ හෝ කණ්ඩායම් එකට සන්ධානගත වී පවතින්නේ ඇයි ද යන්න අපට වටහා ගත හැකි වන්නේ එවිට ය. යථාර්ථය මෙතරම් ප්‍රචණ්ඩකාරී හා විකෘති වී ඇත්තේ ඇයි ද යන්න ද එ මඟින් අවබෝධ කර ගත හැකි ය. මනෝවිශ්ලේෂණයට අනුව එවැනි දේ අර්ථ විරහිත දේට වඩා අර්ථ නිරූපනය සඳහා ඉඩ ලබා දෙන ඒවා ලෙස හඳුනා ගත හැකි ය. එනම්, බැලූබැල්මට එවැනි දේ අර්ථයට වඩා අර්ථ බාධකයට සමීප වුවත් මනෝවිශ්ලේෂණය අපට අර්ථය සඳහා වන ප්‍රවේශයක් ලබා දෙයි. සිහින මෙන් ම ප්‍රකාශනාත්මක ක්‍රියා (ACTING OUT) ද අර්ථකථනය සඳහා ඉඩ ලබා දී ඇති බව මෙහි දී අප අවබෝධ කර ගත යුතු ය.

 මෙවැනි දේහි මතුපිටින් ගොඩනැගී ඇති සුසමාදර්ශී සමස්තය යනු හුදු මායාවකි. යථාර්ථය ප්‍රබන්ධයක් නම් එම ප්‍රබන්ධය සංගත බවකින් දකින විට අපට මග හැරෙන්නේ ආශාව ය. ආශාව හඳුනාගැනීම සඳහා සුසමාදර්ශී සමස්තය වෙනුවට ඒ තුළ පවතින පරස්පරතා, විකාර සහගත තත්ත්වය විශ්ලේෂණය කළ යුතු ව ඇත. එනම්, සවිඥානකව ඒ තුළට ඇතුළත් කර ඇති දේට වඩා ඒ තුළ පවතින අතිරික්තය කෙරෙහි අවධානය යොමු කළ යුතු ය. එමෙන් ම සවිඥානක ප්‍රාර්ථනා හා අවිඥානක ආශාව අතර මිනිසා දෝලනය වන විට ඇති වන ආතතිය මඟින් බොහෝ විට අපහසුවක් ජනනය කරන අතර සැබැවින් ම යමක් සිදු කිරීම වැළැක්වීමට ද එය බලපායි.

 අපගේ අත්දැකීම් අනුව සිහිනයේ කෙළවර යනු බොහෝ විට නින්දෙන් අවදි වීම ය. බැලූ බැල්මට සිහිනයේ කෙළවර යනු වඩාත් ආශා කරන තැන ලෙස අප සිතුවත් සිහිනයේ කෙළවරට යෑම අපට යම් බියක් දනවයි. අප නින්දෙන් අවදි වන්නේ එ නිසා ය. එනම්, ආශාව තෘප්ත කිරීම යම් බියක් දනවන සුළු ය. ඒ අනුව ආශාව යනු බියට තුල්‍ය යමක් විය නො හැකි ද? ආශාව යනු තමන්ට ම ගුප්ත ප්‍රහේලිකා ම ය දෙයක් බව ද අප අමතක නො කළ යුතු ය. අප සිහිනයේ කෙළවරට නො යා නින්දෙන් අවදි වන්නේ (එනම්, සිහිනයේ වඩා සැබෑ කොටසින් පළා යන්නේ) ඊටත් වඩා සිහින ම ය යථාර්ථයකට ය. සිහිනයේ කෙළවරට යෑම (අපගේ ආශාව කුමක්දැයි දැන ගැනීම) වෙනුවට යථාර්ථය අපට දරා ගත හැකි ය. මෙම තතු යටතේ වාඩි ලා හිඳීමේ ව්‍යාපාර හා උද්ඝෝෂණ මනෝවිශ්ලේෂණය ඇසුරින් අප පැහැදිලි කර ගන්නේ කෙසේ ද? මෙහි දී සවිඥානක ප්‍රාර්ථනා සහ අවිඥානක ආශාව අතර ආතතිය විමසීමට ලක් කෙරේ.

 පාර්ලිමේන්තුව, විධායකය හා ඡන්දදායකයා අතර නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධය බිඳ වැටුණු විට ජනප්‍රිය ආකාරයේ උද්ඝෝෂණ ඇති වේ. තම නියෝජිතයින් සමඟ පැවති ලුබ්ධි ම ය බැඳීම නැති වූ විට ඉච්ඡාභංගත්වය, කේන්තිය හා සාංකාව මේ ආකාරයට ප්‍රකාශයට පත් වේ. සවිඥානක තලයේ දී ඒවා බොහෝ විට පොදු අපේක්ෂාව බිඳ වැටීමක් ලෙස අර්ථ ගැන්වුණ ද අවිඥානක තලයේ දී ඒ තුළ පවතින්නේ ඒකවාචී (SINGULAR) පීඩාවන් හා වේදනාවන් එකතු වී සැදුණු සාමූහික බවකි. සාමූහිකත්වය නමැති ක්‍රියාවට එක් වීමට පෙර අප අපෙන් ම විමසිය යුතු වන්නේ තනි පුද්ගලයන් ලෙස අප අවංකව රාජ්‍යය වෙනුවෙන් කැප වී කටයුතු කළා ද යන්න ය. වාඩි ලා සිටීමේ ක්‍රියාවක සවිඥානක අරමුණු හා එමඟින් දේශපාලන බල තුලනයට කෙතරම් බලපෑමක් ඇති කරන්නේ ද යන සාධකය මනෝවිශ්ලේෂණයට අනුව ද්විතියික වන අතර වෙළෙඳපොළ මඟින් මෙහෙයවන සමාජයක මැද පංතික දෘෂ්ටිවාදය සෑම විට ම තෘප්තිය හඹා යන බව පෙන්නුම් කළ ද එය යොමු වී ඇත්තේ වළකාලීමක් (INHIBITION) සහ අතෘප්තිය දෙසට බව පසුගිය කාලයේ දී ගනු ලැබූ මැතිවරණ තීන්දු හා විවිධ දේශපාලන ගැටලුවල දී පෙන්නුම් කර ඇත. ලාංකේය දේශපාලන ආත්මය නව දිශාවකට හැරවීමේ දී ඛණ්ඩනය කළ යුතු මුලික සාධකයක් වන්නේ ද එය යි.

 ආර්ථික අර්බුදයට සමගාමී ව ඇති ව තිබෙන දේශපාලන අර්බුදය සෘජුව සම්බන්ධ වී පවතින්නේ විධායකයට නො ව පාර්ලිමේන්තුවට ය. බලයට පැමිණීම සඳහා කෙටි මාර්ග භාවිතා කරමින් පක්ෂ අතර ඇතිව තිබෙන තරගය මාධ්‍ය මඟින් නිරූපණය කරවන ආකාරය එම අර්බුදයේ ම කොටසකි. එම මාධ්‍ය අවකාශයේ මැදිහත්වීම තුළ ජනතාව හා දේශපාලන නායකයින් අතර ගොඩ නැගෙන්නේ විපරීත සම්බන්ධතාවයකි. වෙනත් ආකාරයකට සඳහන් කරන්නේ නම් ජනතා නියෝජිතයින් මාධ්‍ය තුළ නිරූපණය වන ආකාරය යනු (පාර්ලිමේන්තුවේ සිට විවිධ රැස්වීම්වල දර්ශන) සංස්කරණය කර ඔවුන් නිරූපණය කරවන ආකාරය යි. ජනතාව හා ඔවුන්ගේ නියෝජිතයින් අතර පවතින නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී අදහස් ඛණ්ඩනය වන්නේ ජනතාවගේ, ජනතා නියෝජිතයින්ගේ හා මාධ්‍යවල මෙම නව ලිබරල් භාවිතාව නිසා ය. ඉහත සඳහන් කළ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධයේ බිඳ වැටීම මනෝවිශ්ලේෂණයට අදාළ කළ විට එය තිරෝහරණයේ බිඳ වැටීමක් ලෙසත් අරගලය නමින් හඳුන්වන දේ යමක් රඟදැක්වීමේ (ප්‍රකාශනාත්මක) ක්‍රියාවක් (ACTING OUT) බවට පත් කිරීමක් ලෙසත් හඳුනා ගත හැකි ය. මනෝවිශ්ලේෂණයට අනුව රඟදැක්වීමේ (ප්‍රකාශනාත්මක) ක්‍රියාවක් යනු කුමක් ද?

 මෙම රඟදැක්වීමේ (ප්‍රකාශනාත්මක) ක්‍රියාව (ACTING OUT) මූලිකව ම විශ්ලේෂණය (ANALYSIS) තුළ දී සිදු වන අතර එය විශ්ලේෂිතයාගේ රෝග ලක්ෂණයෙන් (SYMPTOM) වෙනස් ය. විශ්ලේෂිතයාගේ ආශාව හා බැඳුණු රෝග ලක්ෂණය කිසි විටෙක අනෙකාට කරනු ලබන ආමන්ත්‍රණයක් නො වන අතර එය අර්ථකථනයක් ද ඉල්ලා නො සිටියි. රෝග ලක්ෂණය ආත්මය සවි වී ඇති විනෝදයට සම්බන්ධ වන අතර එම විනෝදය සෘජු ව ආශාව නො පෙන්වන අතර ඒ වෙනුවට ආදේශකයක් ඉදිරිපත් කරයි. මනෝවිශ්ලේෂණ ක්‍රියාවේ අරමුණ ආදේශකය වෙනුවට එම ආශාව හඳුනා ගැනීම ය. සායනිකව මනෝවිශ්ලේෂණ ක්‍රියාවලිය නිසියාකාරයෙන් සිදු වීමට නම් මනෝවිශ්ලේෂකයා (ANALYST) හා විශ්ලේෂිතයා (ANALYSAND) අතර සම්බන්ධතාවය හෙවත් තිරෝහරණය (TRANSFERENCE) නිසි පරිදි සිදු විය යුතු ය. විශ්ලේෂණ ක්‍රියාවේ දී එය ඉතා වැදගත් ලෙස සලකන්නේ විශ්ලේෂිතයාගේ ෆැන්ටාස්මතික වස්තුව විශ්ලේෂකයාට නිවැරදිව හඳුනා ගැනීමට ලැබෙන්නේ මෙම තිරෝහරණය හරි ආකාරයෙන් සිදු වන විට පමණි. වෙනත් ආකාරයකින් සඳහන් කරන්නේ නම් විශ්ලේෂකයා සමඟ සම්බන්ධතාවයේ දී අවරෝධිත දේ මතු වීමට නම් තිරෝහරණ ක්‍රියාව නිසි පරිදි සිදු විය යුතු ය. එය නිවැරදි ව හඳුනා ගැනීමේ ක්‍රියාවලිය අඩපණ වූ විට විශ්ලේෂිතයා තිරෝහරණයෙන් මිදී යම් ප්‍රකාශනාත්මක ක්‍රියාවකට පෙළඹේ. එ මඟින් විශ්ලේෂණ ක්‍රියාව පීලි පන්නයි. ආත්මය අතීතයේ තමන්ට අමතක වූ හා තමන් අවරෝධනය කළ දේ මතකයක් ලෙස ගෙන හැර නො දක්වා ක්‍රියාවක් ලෙස ඉදිරිපත් කිරීම මෙහි දී සිදු වේ. එහි දී ඔහු තමා තුළ යමක් පුනරාවර්තනය වන බව නො දනියි. මෙහි දී ආත්මයට තමන්ගේ වාචික පණිවිඩයේ හෝ තමන්ගේ ක්‍රියාවේ අන්තර්ගත පණිවිඩය කුමක්දැයි සවිඥානක නැත. එය යම් ආකාරයකින් මායා වී තත්ත්වයකට සමාන ය. උදාහරණයකට ලැකාන්ට අනුව ක්‍රිස් නම් මනෝවිශ්ලේෂකයාට “නැවුම් මොළ කෑමට ප්‍රිය කරන” තම විශ්ලේෂිතයා සමඟ විශ්ලේෂණය නිසි ආකාරයෙන් සිදු කිරීමට නො හැකි වූයේ ක්‍රිස්, විශ්ලේෂිතයාගේ ෆැන්ටාස්මතික වස්තුව සමඟ ගනුදෙනු කිරීම වෙනුවට වාච්‍යාර්ථ කෙරෙහි අවධානයක් යොමු කර යථාර්ථය තුළ ඔහුගේ ආශාව ස්ථාන ගත කිරීමට උත්සාහ කිරීම නිසා ය. එම විශ්ලේෂිතයා දෛනික සැසිය අවසන් වූ පසු තමන් අවන්හලකට ගොස් නැවුම් මොළ කෑමට ප්‍රිය කරන බව පැවසීම රඟදැක්වීමේ (ප්‍රකාශනාත්මක) ක්‍රියාවක් (ACTING OUT) ලෙස ලැකාන් පෙන්වා දෙයි. මෙවැනි ප්‍රකාශනාත්මක ක්‍රියා විශ්ලේෂිතයාගේ චර්යාවට සෘජු ව සම්බන්ධ වන අතර ඒවා අනෙකාට ආමන්ත්‍රණය කරනු ලබන ප්‍රදර්ශන ක්‍රියා බවට ද පත් වේ. එය එක්තරා ආකාරයකට සන්නිවේදන ආකෘතියක් ලෙස ද නම් කළ හැකි ය.

මෙහි දී විශ්ලේෂකයා සම්බන්ධයෙන් ද අප යමක් වටහා ගත යුතු ය. විශ්ලේශිතයා විසින් විශ්ලේෂකයා ස්ථාන ගත කරවන්නේ තමා පිළිබඳ යමක් දන්නේ ය (SUBJECT SUPPOSED TO KNOW) යන ආස්ථානයේ ය. නමුත් ලැකාන් පවසන ආකාරයට නිසැකව ම කිව හැකි වන්නේ ඔහු සැබැවින් ම කිසිවක් නො දන්නා බව ය. එය විශ්ලේෂිතයා අමතක කරයි. එමෙන් ම ඔහු සඳහන් කරන්නේ විශ්ලේෂිතයා පැමිණ “මා මගේ ජීවිතය ඔබට පවරමි” යැයි ප්‍රකාශ කරන විට ඔහු සැබැවින් ම පවරන්නේ අසූචි ගොඩක් බව ය. කිසිඳු දෙයක් සුවිශේෂ කොට සැලකීමෙන් තොර ව, කිසිවක් නො කියා සිටීමෙන් තොර ව ආත්මයට මෙහි දී තමන්ට සිතෙන හා හැඟෙන දේ නිදහසේ ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබෙන අතර එම ක්‍රියාවේ දී ඇතැම් විට තමන් ගැන ම පිළිකුලක් ද ඇති විය හැකි ය. මෙහි දී විශ්ලේෂකයා අවධානය යොමු කළ යුතු වන්නේ විශ්ලේෂිතයා ඉල්ලා සිටින්නේ කුමක් ද යන්න කෙරෙහි ය. එය ගිලිහී ගිය විට විශ්ලේෂණය අතරමග නවතා දැමීමට සිදු වේ.

 ඒ අනුව වාඩි ලා සිටීමේ ක්‍රියාවක් මනෝවිශ්ලේෂණ අර්ථයෙන් අරගලයක් ලෙස නම් කළ හැකි ද යන ගැටලුව මතු වේ. ඒ තුළ පවතින්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධය බිඳ වැටුණ හෝ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස නො කරන ප්‍රකාශනාත්මක ක්‍රියාවකි. ධනවාදය තුළ ආර්ථික අර්බුදයක මූලයට යෑමේ දී එහි පීතෘත්වයේ කොටසක් තමන්ට ද (අපගේ ආශාව නමැති ආත්මීය සාධකයට) අයිතිය යන්න හෙළිදරව් වීම ක්ෂති ම ය අත්දැකීමකි. අප සරලමතික ව්‍යාජ විවේචක ආස්ථානවලින් ඉවත් විය යුතු වන්නේ ඒ නිසා ය.

ප්‍රකාශනාත්මක ක්‍රියාවක දී තමන් මෙතරම් අසරණ හා බලාපොරොත්තු විරහිතභාවයට පත් වූයේ කෙසේ ද යන්න තමන්ගේ මතකයට නො පැමිණෙන අතර එය ක්‍රියාවක් ලෙස ප්‍රකාශයට පත් වේ. එබැවින් මෙම ක්‍රියාව එක්තරා ආකාරයක අවිඥානක ප්‍රාර්ථනා සහ ෆැන්ටසිවල ග්‍රහණයට ලක් ව සිටින ආත්මය ඒවායේ මූලය හා පුනරාවර්තන ස්වභාවය හඳුනා ගැනීම වළක්වන හදිසි හා උද්වේගකර ක්‍රියාවකි. එමෙන් ම අනෙකාට එරෙහි ආක්‍රමණකාරී චර්යාවක් ලෙස ද මෙම ක්‍රියාව නම් කළ හැකි ය. එනම්, මෙය අනෙකාට සිතා ගත නො හැකි ආකාරයට තමන්ගේ සාමාන්‍ය චර්යාවෙන් රැඩිකල් ලෙස වෙනස් වීමකි. අනෙකා තමන්ට සවන් නො දෙන්නේ යැයි හැඟෙන විට මෙය සිදු වේ. මෙහි දී අනෙකාට යමක් ප්‍රකාශ කිරීමකට වඩා රඟදැක්වීමේ (ප්‍රකාශනාත්මක) ක්‍රියාවක් සිදු වේ. එනම්, මෙය තිරෝහරණ ක්‍රියාව ප්‍රතික්ෂේප කිරීම අනෙකාට ඒත්තු ගැන්වීමේ ක්‍රියාවකි. ජනප්‍රියවාදී ප්‍රකාශනාත්මක ක්‍රියා තුළ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාව ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා සිටින ස්වාමියෙකු (MASTER) ට පහර දී (ඔහු කිසිවකට සවන් නො දෙන්නෙකු ලෙස සලකා) සැබෑ ස්වාමියෙකු සොයයි. ඊලොන් මස්ක්ගේ සිට ANONYMOUS දක්වා ශ්‍රී ලංකාව බේරා ගන්නා ලෙස කරනු ලබන ආයාචන මනෝවිශ්ලේෂණයට අනුව සරල ව බැහැර කළ නො හැක්කේ මේ නිසා ය. ඓතිහාසිකව පීතෘ නාමකරණය හා කප්පාදුව පිළිබඳ ගැටලුව අප විසඳා ගෙන ඇති ද යන ගැටලුව මෙහි දී මතු කළ හැකි ය.

2019 ජනාධිපතිවරණයේ දී හා 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී මූලික තේමා වූයේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම හා සිංගප්පූරු සිහිනය යි. මෙහි දී පාලකයින් ඇතුළු බොහෝ දෙනා බහුතර ජනවරමට අනුව ජාතික ආරක්ෂාව මූලික යැයි අදහස් කළ බවක් පෙනෙන්නට තිබිණ. නමුත් මනෝවිශ්ලේෂණයට අනුව අප අමතක නො කළ යුතු වන්නේ දෘෂ්ටිවාදයේ සමරූපය යනු එයට අදාළ සත්‍යය නො වන බව යි. සමරූපය හා සත්‍යය අතර පෑස්සිය නො හැකි පරතරයක් පවතින අතර එය පෑස්සිය හැකි යැයි අපට පෙන්වා දෙනු ලබන්නේ විනෝදය මඟිනි. ජාතික ආරක්ෂාව යනු ආදේශකය වන විට විශ්ලේෂකයා හඳුනා ගත යුතු ව ඇත්තේ ආත්මයේ සැබෑ ආශාව කුමක් ද යන්න ය. එබැවින් 2019 හා 2020 මැතිවරණවලින් බලයට පත් වූ පාලකයන් ජාතික ආරක්ෂාව තහවුරු කළ බව පෙන්වා සිටිය ද ආත්මය ඉන් සෑහීමකට පත් නො වී ප්‍රකාශනාත්මක ක්‍රියාවන්ට අවතීර්ණ වූයේ තම සැබෑ ආශාව හඳුනා ගැනීමට තිබූ අවකාශය බිඳ වැටීම නිසා ය. එසේ නම් ඔවුන්ගේ සැබෑ ආශාව කුමක් ද?

 පසු ගිය වකවානුවේ දී බොහෝ දෙනෙකු මේ පිළිබඳ සුපරීක්ෂාකාරී අවබෝධයකින් පසු වූ බවක් දක්නට නො ලැබිණ. මේ ගැන අවබෝධය ලබන්නට අප මොහොතකට SARS COV-2 වෛරසය මෙරට ව්‍යාප්ත වූ කාලය සිහියට නගා ගනිමු. එම කාලය තුළ අතිරික්ත මූල්‍ය සංචිත නො මැති රට මුළුමනින් වසා දැමීමට වඩා කලාප වශයෙන් වසා දැමීම හෝ සංචරණ සීමා තදින් ක්‍රියාත්මක කිරීම වඩා උචිත බව ඇතැම් ආර්ථික විශේෂඥයන් පෙන්වා සිටිය ද රාජ්‍යයට වඩා මාධ්‍ය හා සමාජ මාධ්‍ය විශ්වාස කළ මෙරට ඇතැම් මධ්‍යම පංතික හා පහළ මධ්‍යම පංතික ආස්ථානය වූයේ රට මුළුමනින් ම වසා දැමීම වඩා යෝග්‍ය වන බව ය. “ආර්ථිකය ගොඩනගන්න නම් මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕනෑ.” එකල ආදර්ශ පාඨය විය. පරිභෝජනය මූලික කර ගත් විට ඉදිරියේ දී රටේ ඇති වීමට නියමිත ආර්ථික අර්බුදය ගැන මෙහි දී නො සිතන බවක් දක්නට ලැබිණ. නමුත් අප වසංගතයට මුහුණ දිය යුතු ව තිබුණේ ජීවිතයෙන් පළා යමින් නො ව ජීවිතයට මුහුණ දෙමිනි. ආත්මය (ලැකානියානු ධනවාදී කතිකාවට සාපේක්ෂව ආත්මයට වඩා සුදුසු පදය අස්මිතාවය – SELF ය.) භාෂාවට හා හැඟවුම්කරණයට වඩා ප්‍රාථමික ය යන විශ්වාසය හා එම ආත්මය සෘජුව විනෝදය හා බැඳී පැවතීම මෙහි විශේෂත්වය ය. මෙහි දී පොදු බව වෙනුවට මූලික වන්නේ පුද්ගලයා ය. එහි දී විනෝදය සෘජු ව ආත්මයට උකහා ගත හැකි ය යන පදනම කිසිසේත් අමතක නො කළ යුතු ය. (විනෝදය – JOUISSANCE යනුවෙන් අදහස් වන්නේ කුමක්දැයි පසුව සාකච්ඡා කරමු.) ඒ අනුව ඉහත සඳහන් කළ රට වසා දැමීම නමැති මැද පංතික ඉල්ලීම යනු පොදුවේ ශ්‍රී ලංකාවෙන් SARS COV-2 වෛරසය තුරන් කිරීම යන පොදු පාඨය වුවත් එහි සැබෑ වුවමනාව තමන් එම රෝගයෙන් බේරී සිටීමේ පුද්ගලික ක්‍රියාවක් ලෙස හඳුනා ගත හැකි ය. එය තනි අපේක්ෂාවන් ඒකරාශි වූ සාමූහිකත්වයක් මිස පොදු බවක් හෝ වීශ්වීය අරමුණු කේන්ද්‍ර කර ගත් කොන්දේසි විරහිත සහයෝගිතාවයක් නො වේ. එම අවස්ථාවේ දී මැද පංතික ආශාව හා ආදේශකය රාජ්‍යය වටහා ගත් බැවින් තිරෝහරණයට බලපෑමක් සිදු නො විණ. මෙම දෘෂ්ටිවාදයෙන් දෛනික ආදායම්ලාභීන් බැහැර කෙරුණ ද පාලකයින් හා ඡන්දදායකයින් අතර නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධය (ව්‍යතිරේකයක් ලෙස – EXCEPTION) තහවුරු වූ බවක් බැලූ බැල්මට දක්නට ලැබිණ. එනම්, එහි දී රාජ්‍ය දෘෂ්ටිවාදය සහ මැද පංතික දෘෂ්ටිවාදය තුල්‍ය විය.

 නමුත් ආර්ථික අර්බුදයක් අභිමුවේ උකටලී වූ විට පාලකයින්ට සැබෑ ආශාව හඳුනා ගත්තේ වුව ද එය අර්ථකථනය කිරීම අසීරු ය. පාලක දෘෂ්ටිවාදය නඩත්තු කිරීමට අතිරික්තයක් අවශ්‍ය ය. එබැවින් අද වන විට සිදු ව ඇත්තේ ඡන්දදායකයා හෝ ධනවාදයට යටත්වැසියන් හා පාලකයන් අතර තිබූ තිරෝහරණ සම්බන්ධතාවය අඩපණ වීම ය. මෙම විරෝධය දැක්වීමේ ක්‍රියාව තමන් බැහැර කර පාලකයින් පමණක් භෞතික සම්පත් විඳින බව හැඟෙන නිසා තමන්ගේ විඳීම සීමා නො කරන ලෙස ඉල්ලා සිටීමේ ක්‍රියාවක් ලෙස ද නම් කළ හැකි ය. එය ඡන්දදායකයාගේ පැත්තෙන් ප්‍රකාශනාත්මක ක්‍රියාවකි. මනෝවිශ්ලේෂණයට අනුව ඡන්දදායකයාගේ මෙම ආමන්ත්‍රණය අර්ථකථනයක් ඉල්ලා සිටියි. මෙවැනි ජනප්‍රිය ආකෘතියේ ප්‍රකාශනාත්මක ක්‍රියා කතිකා ම ය ස්වරූපයක් දරන අතර එහි දී ජනතාව හා අනෙකා යන දෙබෙදුම ගොඩ නැංවේ. වාම ජනප්‍රිය කතිකාව තුළ ජනතාව යනු අන්ත:කරණයන් (INCLUSION) සහිත පුළුල් සංකල්පයක් ලෙස ගොඩනැගෙන අතර අනෙකා යනු සුළුතර බලාධිකාරීන් ලෙස අර්ථ ගැන් වේ. දක්ෂිණාංශික ජනප්‍රියතාවය තුළ ජනතාව සුළුතර සංකල්පයක් වන විට අනෙකා රහස් සන්ධානගත බහුතර සංකල්පයක් ලෙස ගොඩ නැගේ. මෙහි දී බැලූ බැල්මට වාම ජනප්‍රියතාවයක් ලෙස මෙම ප්‍රකාශනාත්මක ක්‍රියාව පෙන්නුම් කළ ද ඒ තුළ මීට කලකට පෙර සිට ම දැඩි ආර්ථික ගැටලුවලින් පීඩාවට පත් ව සිටින රටේ ශ්‍රම බලකායෙන් 60%ක් වන දෛනික ආදායම්ලාභීන් අන්ත:කරණය කර ඇත්තේ ද යන්න ගැටලුවකි. එබැවින් මෙම ක්‍රියාව අර්බුදය චිරස්ථායි කිරීම සඳහා කරනු ලබන කොන්දේසි විරහිත කැප කිරීමක් ද, සහයෝගීතාවයක් ද, ආදරය සහිත (මනෝවිශ්ලේෂණ) ක්‍රියාවක් ද? යන්න විමසිය යුතු ය. අර්බුදයක් සැබෑ පංති පසමිතුරුතාවය සඟවන දෘෂ්ටිවාද (පරිභෝජනය, මාධ්‍ය, කුමන්ත්‍රණ න්‍යාය, ජාතිවාදය, ආගම්වාදය) හා බැඳුණු විට කොන්දේසි විරහිත සහයෝගීතාවයක් ගොඩ නඟන්නේ කෙසේ ද යන්න අද ලොව පුරා පවතින සැබෑ දේශපාලන අර්බුදය යි. 

 ධනවාදය පුද්ගලයන් අතර වෙනස්කම් නිර්මාණය කරන අතර ම එම වෙනස්කම් මෙවැනි සාමූහිකත්වයක් තුළට ගොනු කිරීමට ද සමත් වේ. එම නිසා එය ලිබරල් අදහස් ප්‍රවර්ධනය කිරීමේ වාහකයා වන්නා සේ ම සැබෑ දේශපාලන ක්‍රියා නිෂ්ක්‍රීය කරන්නා ද වේ. නව ලිබරල් දෘෂ්ටිවාදය කොන්දේසි විරහිත සහයෝගීතාවය වියහැකියාවක් (POSSIBILITY) මත ගොඩ නැඟුවත් සැබෑ දේශපාලන අර්ථයෙන් එය පදනම් වන්නේ වියනොහැකියාව (IMPOSSIBILITY) මත ය. ලිබරල් දෘෂ්ටිවාදයට අනුව වියහැකියාව නො නැසී පැවතීම (SURVIVAL) මත පදනම් වී ඇත. එක් අතකින් මෙම ප්‍රකාශනාත්මක ක්‍රියාව සබන් මිල ඉහළ යනු ඇතැයි සමපේක්ෂණය කරමින් සුපිරි වෙළඳසැල්වලින් සබන් විශාල ලෙස මිල දී ගැනීම වැනි ඕනෑම අර්බුදයක දී නො නැසී පැවත සිටින්නන් (SURVIVAL OF THE FITTEST) අර්බුදයට යෑම ප්‍රකාශමාන කරවන්නකි. එබැවින් මෙම ප්‍රකාශනාත්මක ක්‍රියාව නො නැසී පැවතීම හා පිළිගැනීම උදෙසා සිදු වන ක්‍රියාවක් ලෙසත් පාලකයින් විසින් ජනතාවගේ ආශාව (DESIRE) වරදවා වටහා ගැනීම නිසා නිර්මාණය වීමක් ලෙසත් නම් කළ හැකි ය.

 එක් අතකින් රාජ්‍යය යනු සියලු ජනතාවගේ එකමුතුභාවය සහිත ජාතිය නිර්මාණය වී ඇති බව නිරූපණය වීම ය. එම අදහසට අනුව ශ්‍රී ලංකා රාජ්‍යය යනු ශ්‍රී ලාංකික ජාතිය නිර්මාණය වීමේ පිළිබිඹුවක් විය යුතු ය. නමුත් රාජ්‍යය පිළිබඳ විශ්වාසය බිඳ වැටීම යනු ශ්‍රී ලාංකික ජාතිය නිර්මාණය වී නො මැති බවට වන පිළිබිඹුව යි. ජනතාව කුඩා ප්‍රජා ලෙස ගොඩනැගීමට මේ වන විට දේශපාලනය හා ව්‍යවස්ථාවට වඩා බලපා ඇත්තේ ප්‍රේක්ෂාව (SPECTACLE), විනෝදය හා මාධ්‍ය යි. ඒ අනුව වර්තමානයේ දී බොහෝ ක්‍රියා ප්‍රේක්ෂාව සමුච්චනය කිරීමේ නිරූපන බවට පත් වී ඇත. මෙහි දී ප්‍රේක්ෂාව යනු හුදු රූප නො වන අතර රූප මඟින් මැදිහත් වූ මිනිසුන් අතර සම්බන්ධතා ය. එනම්, පරිකල්පනය මඟින් මැදිහත් වූ සම්බන්ධතා ය. සයිබර් අවකාශයේ සිටින ප්‍රේක්ෂාව සමුච්චනය කරන දේශපාලන අදහස් දක්වන්නන් පිරිසක් ද මේ කටයුතුවලට පැමිණ ඇත. සයිබර් අවකාශයේ දේශපාලනය යනු තිරයක් (SCREEN) මඟින් මැදිහත් වූ කැඩපත් රූපයක් (MIRROR IMAGE) වන අතර ඔවුන්ගේ දේශපාලන සවිඥානකත්වය ද අද රාජ්‍යය ඉදිරියේ පරීක්ෂාවට ලක් වෙමින් තිබේ. සැබෑ දේශපාලන ක්‍රියාව මව් කුසයේ උණුසුමට ගුලි වීමක් නො වන අතර පසමිතුරුතා සහිත පියාගේ (අර්ථය අරමුණු කර ගත් භාෂා ලෝකයට) ලෝකයට පිවිසීම ය.

 ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පක්ෂ ද තමන් විපක්ෂයේ කටයුතු කරන විට නිරූපණය කරන්නේ තමන් සිටින්නේ රාජ්‍යයෙන් පිටත බව යි. මාධ්‍ය මඟින් පාර්ලිමේන්තුව යනු විනෝද ආකෘතියක් බව පෙන්නුම් කර ඇති අතර දේශපාලකයා ප්‍රතිපත්ති සම්පාදකයාගේ සිට විනෝදය සපයන්නෙක් (ජාතිවාදය, බඩු මිල අඩු කරන්නෙක්) බවට පරිවර්තනය කර ඇත. එනම්, දේශපාලකයා මාධ්‍යයේ හෙවත් අනෙකාගේ දැක්මේ පාර්ශ්වීය වස්තුවක් බවට පරිවර්තනය වී ඇත. මනෝවිශ්ලේෂණයට අනුව භාෂාව මඟින් රාජ්‍යය ගොඩ නැගෙන විට විනෝදය නිසා ඇතුළතක් හා පිටතක් නිර්මාණය වේ. නමුත් මේ පිටත ද බහිසංසේචිත (EXTIMATE) පිටතක් බව මනෝවිශ්ලේෂණය අපට පෙන්වා දෙයි. විනෝදය යනු කුමක්දැයි මීළඟට විමසා බලමු.

 විනෝදය හට ගන්නේ අප බලහත්කාරී ලෙස භාෂාව හා හැඟවුම්කරණ ක්ෂේත්‍රයට ඇතුළු වීම හරහා ය. එහි දී පරිකල්පිත විනෝදය අපගේ ශරීරයට විඳ ගැනීමට නො හැකි වේ. ඒ ආකාරයට භාෂාවට ඇතුළු වීම නිසා එතෙක් පැවැති පරම ශාරීරික විනෝදයක් කඩා බිඳ දැමෙන බව සඳහන් කිරීම සදොස් ය. නමුත් විනෝදය යනු කිසිම දෙයකින් මැදිහත් නො වූ ශාරීරික විනෝදය නමැති අවිඥානක ෆැන්ටසිය මඟින් දරා සිටින පරිකල්පිත විනෝදයේ බිඳවැටීම ලෙස නම් කළ හැකි ය. (විනෝදය අවිඥානයට වඩා ශරීරයට සමීප ව ඇතැයි සඳහන් වන්නේ මේ නිසා ය.) ඒ අනුව විනෝදය එක විට අඩුවට හා අතිරික්තයට ද සම්බන්ධ ය. විනෝදය පිළිබඳ මූලික කියවීමේ දී ශුද්ධ වූ හා අඩුපාඩු රහිත විනෝදයක් පිළිබඳ අදහස හඳුනා ගත හැකි ය. එයට අනුව භාෂාවට ඇතුළත් වීමේ දී කැප කළා යැයි සිතන්නේ මෙම ශුද්ධ වූ විනෝදය යි. එය මූලිකව සම්බන්ධ වන්නේ ශරීරයට නිසා මෙම මුල් විනෝදය අනෙකා රඳවා ගෙන තිබෙන දෙයක් ලෙස සැලකේ. යාබද නිවසේ ගුවන්විදුලියේ හඬ වැඩි වූ විට එම නිවසට ගල් ගසන්නේ මේ නිසා ය.

 මෙහි දී අප වටහා ගත යුත්තේ භාෂාව විසින් අපට කරුණු දෙකක් කියා දෙන බව යි. පළමුවැන්න නම්, භාෂාවෙන් පිටතට යා නො හැකි බව කියා දෙන්නේ භාෂාව මඟින් ය. දෙවැන්න නම්, භාෂාවෙන් පිටතට (භාෂාවට පූර්වයෙන් වූ තත්ත්වයට) යා හැකි ය යන මායා ම ය බව කියා දෙන්නේ ද භාෂාව ය. එනම්, මෙහි සීමාව ගොඩ නගන්නේ භාෂාව මඟිනි. ඉහත සඳහන් කළ මායාව අපට පැහැදිලි වන්නේ අති මූලික අඩුව බාධාවක් ලෙස දක්වන විට ය. එනම්, එම බාධාව නො මැති නම් අපට පරිපූර්ණ විය හැකි බව පෙන්වා දෙයි. බාධාව නො මැති නම් අපට පරිපූර්ණ විය හැකි ය යන සහතිකය ඉන් ලබා දෙයි. එවිට විනෝදය ද හැඟවුම්කාරකයක් වටා ගොනු වී ඇති බව වටහා ගත හැකි ය. එ මඟින් විනෝදය බිඳ වැටීමට හේතුවක් සම්පාදනය කරයි. විනෝදය සම්බන්ධ එම හැඟවුම්කාරකයෙන් නිරූපණය කරන්නේ නැති වූ යමක් හෙවත් අඩුව ය.

 ඉහත සඳහන් කළ බාධකය මඟින් ම අතිරික්ත විනෝදය නමැති අදහස ද පැහැදිලි කරවයි. (එනම්, අප නො විඳින යමක් කිසිවෙකු විඳියි.). එහි දී විනෝදය සහිත භෞතික බාධකයක් ආත්මයට මුණ ගැසී ඇති නිසා තමන්ට අහිමි වූයේ යැයි පරිකල්පනය කරන ශුද්ධ වූ විනෝදය විවිධ වූ ක්‍රියා මඟින් නැවත ලබාගත හැකි ය නමැති ෆැන්ටසිය ක්‍රියාකාරී වේ. එනම්, විනෝදය නොමැති වීම ජනප්‍රිය තලයේ නැඟී සිටීම් වැනි අතිරික්තමය ප්‍රතිචාරයන්ට පාර කපයි. නමුත් එම විනෝදය යනු බැරියාවකි. නො පවතින යමක් වන එයට අපට කිසි විටෙක පිවිසිය නො හැක. විනෝදයේ අතිරික්තය ඉවත් කළ විට අපට අහිමි වන්නේ විනෝදය ම මිස වෙනත් කිසිවක් නො වේ. වෙනත් ආකාරයකින් සඳහන් කරන්නේ නම් විනෝදය යනු භාෂාවේ නිර්මිතයක් නිසා අතිරික්ත විනෝදයට පෙර විනෝදය යනුවෙන් කිසිවක් නො පවතියි. මෙම විනෝදය ආචාරධාර්මික වන අතර එය බොහෝ විට යථාර්ථවාදී ගණනය කිරීම් මඟ හරියි. එවැනි ව්‍යාධවේදී ම ය ආත්මයක් ඉතා ඉස්තරම් වස්තුවක් තමා ඉදිරියේ ඇති විට එම වස්තුව පරිභෝජනය කිරීමෙන් පසු අත්විඳිය හැකි අනිටුදායක ප්‍රතිඵල නො වැදගත් ලෙස සලකන බව මනෝවිශ්ලේෂණය පෙන්වා දෙයි. ඒ අනුව අරගලයක දී මරණය මර්දනය නිසා සිදු විය හැකි අතර රඟදැක්වීමේ (ප්‍රකාශනාත්මක) ක්‍රියාවක දී මරණය තමන්ගේ අධිපරිභෝජනය නිසා සිදු වන තමන් විසින් ම තෝරා ගත් මරණයක් ද විය හැකි ය.

එමෙන් ම අතිරික්ත විනෝදය හා එයට සම්බන්ධ මායාව නිසා තමා බලාපොරොත්තු වූ විනෝදය (සමරූපය) හා තමා ලබාගත් විනෝදය ලෙස විනෝදය දෙපළු වේ. විනෝදය හා ආත්මය අතර මෙම සබඳතාවය අපට තවත් ලැකානියානු උදාහරණයකින් වටහා ගත හැකි ය. මංකොල්ලකරුවෙකු මහාමාර්ගයක දී පිහියක් දිගු කර “ඔබේ මුදල් හෝ ඔබේ ජීවිතය” යනුවෙන් පවසන්නේ ඇයි අපි සිතමු. බැලූ බැල්මට ඒ තුළ තෝරා ගැනීමක් ඇති බව පෙනුණ ද සැබැවින් ම ඒ තුළ තෝරා ගැනීමක් නො පවතියි. මන්ද යත් අප මුදල් තෝරා ගත්තොත් අපට නිසැක ව ම ජීවිතය හා මුදල් යන දෙක ම අහිමි වේ. ජීවිතය තෝරා ගත් විට මුදල් නැති ජීවිතයක් ලැබේ. මෙම අවස්ථා දෙකේ දී ම අප ව මුදල්වලින් වෙන් කරයි. එම නිසා ඒ තුළ තෝරා ගැනීමක් නොමැත. මෙම උදාහරණය විනෝදයට අදාළ කළ විට අපට මෙසේ ලිවිය හැකි ය. “ඔබේ විනෝදය හෝ ඔබේ ජීවිතය”. අප විනෝදය තෝරා ගත් විට අපට ජීවිතය මෙන් ම බලාපොරොත්තුවෙන් සිටි විනෝදය ද අහිමි වන අතර ජීවිතය තෝරා ගත් විට විනෝදය අහිමි වේ. මෙහි දී විනෝදය තෝරා ගත් විට ජීවිතය අහිමි වන්නේ කෙසේ ද? මෙය පැහැදිලි කිරීම සඳහා ලැකාන් කාන්ටියානු උදාහරණයක් උපයෝගී කර ගනියි.

 යම් පුද්ගලයෙක් තමන් දන්නා කාන්තාවක් සමඟ ලිංගික ක්‍රියාවේ යෙදීමට කල් යල් බලමින් සිටින්නේ යැයි සිතමු. ඇගෙන් එක් වර ම ඒ සඳහා ආරාධනයක් ලැබුණේ යැයි සිතමු. එහෙත් ලිංගික ක්‍රියාව අවසානයේ මෙම පුද්ගලයා එල්ලා මරා දැමීමට නියමිත ය. අප සාමාන්‍යයෙන් සිතන්නේ ඒ මිනිසා තමන් එල්ලා මරා දැමීමට නියමිත නිසා සිහින ම ය ස්ත්‍රිය සමඟ ලිංගික ක්‍රියාවකට නො යනු ඇති බව ය. එහෙත් මනෝවිශ්ලේෂණයට අනුව තමන් එල්ලා මරා දැමීමට නියමිත බව දැන දැනත් එසේ ක්‍රියා කරන මිනිසුන් (ව්‍යධවේදී ආත්ම) සිටියි. එහි දී බලපාන්නේ” විනෝද සාධකය” යි. එහෙත් මෙහි දී ලැකාන් මතු කරන ගැටලුව වන්නේ එම මිනිසා ලිංගික ක්‍රියාවෙන් අපේක්ෂිත විනෝදය හා ලබාගත් විනෝදය අතර පරතරයක් පවතින බව ය. අපේක්ෂිත විනෝදය යනු මායා ම ය, දෙය (THE THING) ට සම්බන්ධ පූර්ණ තෘප්තියක් වන අතර ලබාගත් විනෝදය මෙම පරිපූර්ණත්වයට අඩුවෙන් පවතින යමකි. එවිට ඔහුගේ ලිංගික ක්‍රියාව උත්කර්ෂවත්භාවයෙන් පිළිකුල් සහගත, දහඩිය දමන ක්‍රියාවක් බවට පත් වේ. විනෝදය පරම ය කර ගත් සුඛපරමවාදියකු මුහුණ දෙන යථාර්ථය එය යි.

 2019 හා 2020 මැතිවරණවල දී ඡන්දය ප්‍රකාශ කරමින් හා SARS COV-2 වෛරසය ව්‍යාප්ත වූ අවධියේ රට වසා දැමීමට ඉල්ලා සිටිමින් මෙරට මැද පාංතිකයින් අපේක්ෂා කළ විනෝදය හා ලබාගත් විනෝදය අතර පවතින්නේ ද එවැනි පරතරයක් බව අප අවබෝධ කර ගත යුතු ව ඇත. ලිබරල් දෘෂ්ටිවාදය මඟින් එන්නත් කරන පරිභෝජනය වැළඳ ගැනීමට අවශ්‍ය නම් මූලික වන්නේ ජාතික ආරක්ෂාව හෝ රට වසා දැමීමට වඩා අතිරික්තය සහිත ආර්ථිකයක් බව ඔවුන්ට අමතක විය. එවිට දැන් පැන නැඟී ඇති ආර්ථික අර්බුදය යනු පාලකයින්ගේ පමණක් නො ව ඔවුන්ගේ එම තීරණවල ද අනිවාර්යතාවයකි. එනම්, අප විනෝදය තෝරා ගත් විට ජීවිතය පමණක් නො ව විනෝදය ද අපට අහිමි වේ. එවැන්නෙකුගෙන් ප්‍රකාශ වනු ඇත්තේ “ජීවිතය පරදුවට තබා මා අපේක්ෂා කළේ මෙය නො වේ. මෙතරම් කෙටි සතුටක් වෙනුවෙන් මා ජීවිතය කැප කළේ මන් ද?” යනුවෙනි. එබැවින් අප වටහා ගත යුත්තේ මෙම පරිභෝජනය පිළිබඳ ලිබරල් දෘෂ්ටිවාදය හා බලහත්කාරී තෝරාගැනීම් යනු රැවටිලිකාරී උගුලක් බව යි. එවිට ජීවිතය යම් පිළිවෙලක් සහිත ආකෘතියක තබා ගැනීමට නම් අප භාෂාව හරහා අප ව ප්‍රකාශයට පත් වීමට ඉඩ දිය යුතු ය. එමඟින් අපගේ සහජාශයන් කැපකර අර්ථය දෙසට අපට ප්‍රවිෂ්ට විය හැකි ය. (ලැකාන් ට අනුව අවිඥානය මෙන් ම සහජාශය ද ව්‍යුහ ගත වී ඇත. අවිඥානය භාෂාවක් මෙන් ව්‍යුහගත වී ඇති ආකාරයට සහජාශය ද ශරීරය තුළ ව්‍යුහගත වී පවතියි.) අර්ථ සම්පාදනය සඳහා ප්‍රශ්නයක් නිවැරදිව වහරන උගතුන්, නිසි ප්‍රතිපත්ති සම්පාදකයින් හා ඒ පිළිබඳ මැදිහත් මාධ්‍ය පැවතිය යුතු ය.

 එමෙන් ම රට පුරා දක්නට ලැබෙන ප්‍රකාශනාත්මක ක්‍රියා ආකෘතිය තුළ දැක ගන්නට තිබෙන මූලික ම ලක්ෂණයක් වන්නේ පවත්නා නීතියට යටත් ව උල්ලංඝනයන්ගෙන් තොර ව ඒවා සිදු කිරීම ය. එබැවින් එය මනෝවිශ්ලේෂණ අර්ථයෙන් විනෝදයට සම්බන්ධ කළ හැකි ද? ලැකාන් පෙන්වා දෙන පරිදි විනෝදය සම්බන්ධ වන්නේ පුනරාවර්තනයට (REPETITION) ය. පුනරාවර්තනය යනු හුදු චක්‍රිය ක්‍රියාකාරීත්වයකට වඩා පවත්නා ජීවිතයෙන් වෙන් ව අචේතනික (INANIMATE) තැනකට නැවත ගමන් කිරීමට දරණු ලබන උත්සාහයකි. එය පරම ශූන්‍ය නිර්ජීවී තත්ත්වයකට ලඟා වීමකි. මරණාශය (DEATH DRIVE) යනු එයයි. මෙහි දී පුනරාවර්තනය වන්නේ විනෝදයට මඟ පෙන්වන එක් හැඟවුම්කාරකයකි. එම හැඟවුම්කාරකය යම් සලකුණක් ස්ථාපිත කරයි. ඒ අනුව විනෝදය යනු සංකේතනය හෝ හැඟවුම්කාරකය ඉක්මවා යන උල්ලංඝනයක් නො වේ.

 මෙහි දී විනෝදය ආපතික හා ආකස්මික ව (BY CHANCE) සිදු වන යමක් ලෙස පැමිණීම ද විශේෂිත ය. ප්‍රහර්ෂ මූලධර්මයට ආගන්තුක අතිරික්තයක් වන මෙම විනෝදය සඳහා බලපාන්නේ හැඟවුම්කාරකයට පරිපූර්ණ වීමට නො හැකි වීම යි. ආත්මය එක් හැඟවුම්කාරකයක් වෙනුවට වෙනත් හැඟවුම්කාරකයකින් නියෝජනය වනවා යනු හැඟවුම්කාරකයට ආත්මය පරිපූර්ණව නිරූපණය කළ නො හැකි වීම යි. කුඩා වස්තුව (OBJET-A) යනු හැඟවුම්කාරකය එම නො හැකියාව පිරවීමට යාමේ දී ගොඩනැගෙන අතිරික්තය හෙවත් කසල ගොඩ යි. ඒ අනුව විනෝදය යනු කසල ගොඩක් යනුවෙන් නම් වන විට එය වැඩකට නොමැති අතිරික්තයක් ලෙස අර්ථ දැක්විය හැකි ය. එනම්, කිසිදු අරමුණකට එය සේවය නො කරයි. මෙහි දී යමක් පවතින නමුත් එය වැඩකට නැත. ඒ අනුව මෙම විනෝදය යනු එක්තරා ආකාරයකට ඵලදායි වැඩක් කිරීමට නො ලැබෙන ශක්තියකි. ලැකාන් මෙය පැහැදිලි කිරීමට උදාහරණයක් උපයෝගී කර ගනියි. කිලෝ ග්‍රෑම් 80ක බරක් උසුලා ගෙන මීටර් 500ක කන්දක් බැස නැවත එම බර උසුලා ගෙන එම කන්ද නගින පුද්ගලයෙකු දහඩිය වගුරවමින් එම ක්‍රියාවේ යෙදෙන විට තමන් බරපතළ කාර්යයක් සිදු කළ බවට හැඟීමක් ජනිත වේ. නමුත් මෙම ක්‍රියාව ශක්ති විද්‍යාව ඇසුරෙන් විශ්ලේෂණය කරන විට කිසිදු කාර්යයක් සිදු වී නොමැති අතර සිද්ධ කළ කාර්යය බින්දුවට (0) සමාන වේ. මෙය අපතේ යාමක්, කසල ගොඩක් හා අතිරික්තයක් ලෙස ලැකාන් නම් කරයි. එනම්, යම් ක්‍රියාවක් සිදු කළ පමණින් එය කාර්යයක් නො වන බවත් එ මඟින් සම්පාදනය වී ඇත්තේ විනෝදයක් පමණක් බවත් අප වටහා ගත යුතු ය.

 සුපිරි අහමේ නියෝගය අනුව විනෝදවීම හා සමානව ම විනෝදය හා පොරොන්දුව අතර සම්බන්ධතාවයක් ද පවතියි. “වඩා මහන්සි වන්න, තව ඉවසන්න, එවිට ඔබට අරමුණ ඉටු කර ගත හැකි ය” යන අදහස ඉන් ලබා දෙයි. අද වන විට සකසුරුවම කරා යොමු වූ දුරදිග බලා තීරණ ගන්නන් වෙනුවට නවෝත්පාදක හා අවදානම දරන්නන් ජනප්‍රිය වී ඇත්තේ ද ඔවුන්ගේ එම උත්සාහයට සුබදායී ප්‍රතිඵලයක් ලැබීමට නියමිත බවට ලැබෙන ඉඟිය නිසා ය. පීතෘ නාමකරණය හීන වන විට ආත්මයට තම අනන්‍යතාවය (මෙහි අනන්‍යතාවය ද සම්පතක් ලෙස ක්‍රියා කරයි.) හා විනෝදය කළමනාකරණය කරනු ලබන නවෝත්පාදනවලට යොමු වීමට සිදු වේ. මෙය සෘජු ව ධනවාදී කතිකාව හා තුල්‍ය වේ. ධනවාදයට ක්‍රියාකාරී වීමට නම් මෙම විනෝදය එනම්, පෙර සඳහන් කළ ආකාරයේ වැදගත්කමක් නො මැති ක්‍රියා හා යමක් සිදු කළ හැකි ය යන පොරොන්දු යනාදිය බරපතල ආකාරයෙන් සලකා ඒවාට වටිනාකම් ලබා දිය යුතු ව ඇත. එවිට මෙහි දී ශ්‍රමය හා කසල යන ප්‍රපංච දෙක ම වටිනාකමක් ලබා දෙන භාණ්ඩ හා වස්තු බවට ධනවාදය තුළ පත් වේ.

මේ ආකාරයට විනෝදයේ කතිකා ම ය මානය හඳුනා ගැනීම යනු ලැකාන් ට අනුව මනෝවිශ්ලේෂණයේ දේශපාලන මානය හඳුනා ගැනීම ය. විනෝදයේ කතිකා ම ය මානය හඳුනා ගත් විට “ආර්ථික අර්බුදය” හා “සොරා” යන අදහස් සතුට සොයා යාම නමැති දෘෂ්ටිවාදාත්මක තලයේ දී වෙනස් ආකෘතියක් බවට පත් ව ඇති බව හඳුනා ගැනීම පහසු ය. ඒවා සතුට කරා යන ගමනේ බාධක ලෙස කටයුතු කරන බව එ මඟින් පෙන්වා දෙයි. එය වළක්වාලීමට නම් පුද්ගලිකව කැප කිරීම් (කාර්යයන් නො වන ක්‍රියා) කළ යුතු ව ඇතැයි හැඟේ. එ මඟින් ආර්ථික අර්බුදය නමැති භෞතික කරුණ හා එය විසඳීමෙහිලා කළ යුතු ව තිබෙන සැබෑ කැප කිරීම් වළක්වයි. සිහින විශ්ලේෂණයේ දී පෙන්වා දුන් පරිදි “ආර්ථික අර්බුදය” නමැති බියකරු සිහිනයට වඩා “සොරා” නමැති සිහින ම ය යථාර්ථය අපට සහනයක් ගෙන දෙයි.

 විනෝදය සෑම විටම බාධාවක් හා සම්බන්ධ වී පවතින බවත් බාධාවකින් තොර ව විනෝද විය නො හැකි බවත් අපි මීට පෙර සාකච්ඡා කළෙමු. නමුත් ධනවාදය මඟින් එසේ විනෝද විය හැකි ආකාරයක් පෙන්වා දෙයි. එහි දී බැලූ බැල්මට බාධාවෙන් තොර විනෝදයක් නමැති ආප්තය අභිමුඛ වන අතර එය අපට විනෝදය නො මැති විනෝදයක් (විනෝද නො වී විනෝදවීම, අහිංසක විනෝදයක්) ලෙස නැවත ලිවිය හැකි ය. අද අපට වෙළෙඳ පොළේ දී දක්නට ලැබෙන සීනි රහිත රසකැවිලි, ඇල්කොහොල් නොමැති බියර්, කැෆේන් රහිත කෝපි හා ආචාරධාර්මික උල්ලංඝනයන්ගෙන් තොර අරගල මඟින් පෙන්නුම් කරන්නේ මෙය නො වේ ද? ඒවා එක්තරා අයුරකින් අතිරික්ත විනෝදයේ අනුකරණ ලෙස ද නම් කළ හැකි ය. එහි දී ජීවන විලාසිතාව ම විනෝද ආකෘතියක් ලෙස නැවත අපට ඉදිරිපත් කර ඇත.

 තව ද ඔබට මුදල් ඉතිරි කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා වියදම් කළ යුතු ව ඇතැයි කියා දෙන්නේ ද ධනවාදය හා බැඳුණු විනෝදය යි. ඔබට රුපියල් දාහක් ඉතිරි කිරීමට නම් එකම කාර්යය කළ හැකි භාණ්ඩ දෙකකින් අනෙකට වඩා රුපියල් දාහක් මිල අඩු භාණ්ඩය ඔබ මිළ දී ගත යුතු ය. නිදසුනකට පසුගිය දිනවල දී සිමෙන්ති රුපියල් 2400ත්, 3000ත් අතර මිලකට අලෙවි වන විට රුපියල් 2400ක මිලට සිමෙන්ති මිල දී ගත් පුද්ගලයෙකු පැවසුවේ තමන් රුපියල් 600ක් ඉතිරි කළ බව ය. ධනවාදී තර්කනයට අනුව කිසිවක් මිල දී නො ගෙන මුදල් ළඟ තබා ගැනීමෙන් ඉතිරි කළ නො හැක. මෙවැනි ආකාරයේ විනෝද ආකාරයන් සාරයකින් තොර හිස් බවක් ලෙස වටහා ගැනීම සදොස් ය. අප වටහා ගත යුතු වන්නේ විනෝදය පරිපූර්ණ හා සාරයක් සහිත ය යන්න ම ෆැන්ටසියක් බව ය. මෙහි දී සැබැවින් ම ඉවත් කෙරෙන්නේ අප ප්‍රථමයෙන් කතා කළ විනෝදය හා සම්බන්ධ මරණාශය ය. එවිට ධනවාදය මඟින් අනතුරු රහිත විනෝදයක් අපට පෙන්වා දෙයි. එහි දී විනෝදය යනු අර්ථ විරහිත යමක් යන්න වෙනුවට වටිනාකමක් සහිත දෙයක් බවට පත් කරයි. මෙම අනතුරු රහිත විනෝදය මඟින් විනෝදයට සම්බන්ධ බාධාකාරී සංඝටක ඉවත් ව ඇති ය යන්න අදහස් නො වන අතර එය වෙනත් වේශයකින් අතිරික්තය හා බැඳී පවතියි. ඒ අනුව “විනෝදවන්න” නමැති නියෝගය “ප්‍රවේශමෙන්” නමැති අනතුරු හැඟවීමක් ද සහිතව නැවත පැමිණ ඇත.

එමෙන් ම මනෝවිශ්ලේෂණයට අනුව අප අවබෝධ කර ගත යුත්තේ සමාජය සංවිධානය කිරීම සඳහා මූලිකව ම බලපාන පීතෘ හැඟවුම්කාරකය හා ස්වාමියා (MASTER) වෙනුවට අද සිටින්නේ ජනප්‍රිය ආකාරයේ නායකයන් (LEADERS) බව ය. එම නායකයන් අනවරත විනෝදයේ සංකේත ලෙස පෙන්නුම් කරන අතර සියලු ලුබ්ධි ආයෝජනයන් තමන් වෙත ඇද ගන්නට ඔවුහු සමත්කම් දක්වති. ප්‍රජාව විසින් නිෂ්පාදනය කරනු ලබන දේ නිෂ්පාදනයට දායක නො වෙමින් ම ඒවා තමන් වෙත ඇද ගැනීමට ඔහුට හැකියාවක් පවතියි. මෙවැනි අවස්ථාවල තමන් අතිරික්ත විනෝදයේ සමරූපයක් ලෙස ප්‍රකාශ කිරීමට හැකි නම් එතැනට විශාල පිරිසක් ආකර්ෂණය කර ගැනීමේ හැකියාව ද පවතියි. මෙම නායකයන් ඕපපාතික වුවත් ඓන්ද්‍රීය බවක් ගොඩනගා ගැනීමේ හැකියාවෙන් ද යුක්ත ය. එවිට ප්‍රජාවක් ගොඩනැගෙන්නේ අතිරික්ත විනෝදයකට වඩා නායකයාගේ විනෝදය (LEADER’S ENJOYMENT) වටා යැයි කිව හැකි ය. එවැනි නායකයන් විවේචනය කිරීම ඔවුන් ශක්තිමත් කිරීමක් බව මනෝවිශ්ලේෂණය පෙන්වා දෙයි. එයට හේතුව වන්නේ මෙවැනි නායකයින් අර්බුදයක දී තමන් එයට ඓන්ද්‍රීය බව හා අහිංසක වීරත්වයක් සහිත ලෙස තම කණ්ඩායමට තමන් ව මූර්තිමත් කර වන නිසා ය. නමුත් අප වටහා ගත යුත්තේ එවැන්නන් ක්‍රමයේ ම කොටසක් මිස ක්‍රමයේ ප්‍රධානියෙක් නො වන බව ය. මෙම යුගයේ දී ආශාව කුළුගන්වන වස්තුව වන්නේ සමුච්චනය කරන ලද ලුබ්ධි ප්‍රාග්ධනය යි. මෙම නායකයන් සමුච්චිත දැනුමක් හා ධනයක් ඇති බව පෙන්නුම් කළත් සමාජයීය වශයෙන් ගත් විට වටිනාකමක් නො මැති පුද්ගලයන් ය. ක්‍රමයේ අතිරික්ත විනෝදය මූර්තිමත් කළ ද එවැන්නක් නො මැති ලෙස දෘශ්‍යමානය මෙහෙයවීමේ හැකියාවෙන් ද ඔවුන් සමත් ය. මෙම නායකයින් ළදරු ලක්ෂණවලින් ද යුක්ත ය. එයට හේතු වන්නේ කුමක් ද?

 ධනවාදී කතිකාව පිළිබඳ ලැකානියානු න්‍යායේ මූලය සම්බන්ධ වන්නේ අපගේ ළදරු අවධියට ය. එනම්, ආරම්භයේ දී එකතු වූ උච්ච ලුබ්ධි ආර්ථිකයක ගිලී සිටින ළදරුවා ස්නායු ක්‍රියාකාරීත්වය සමායෝජනය වී නොමැති නිසා තමන් අපේක්ෂා කරන පූර්ණ විනෝදය ලැබීමට තරම් පරිණත නොමැත. එහි දී ඔහු බෙලහීන පියෙකු සමඟ අනන්‍ය වේ. එබැවින් ධනවාදය තුළ ගොඩනැගෙන නායකයන් ළදරු ආශාවක් සහිත ළදරු ගති පවතින (CHILDISH – ළමාරූපී) නායකයන් වන අතර අර්ථ නිෂ්පාදනය කරන ස්වාමි හා පීතෘ ලක්ෂණවලින් තොර ය. ස්වාමියා විනෝදයෙන් තොර අයෙක් වන අතර මෙම ළමාරූපී නායකයින් අතීතයේ විසූ සියලු විනෝදය සහිත පියාගෙන් ද වෙනස් වේ. ඔහු අතිරික්ත විනෝදයක් වන අතර ම අතිරික්ත විනෝදය අර පරිස්සමින් පාවිච්චි කරන්නෙකි. මොවුන් බොහෝ විට ජනප්‍රිය සටන් පාඨ හා මැද පංතික ආශාව මත පරායත්ත පුද්ගලයන් ය. ඔවුහු බලය වෙනුවට තර්ක හා ප්‍රලාප මත රඳා පවතින්නෝ ය. එමෙන් ම සැබෑ දේශපාලන කටයුත්තක නියැලීමේ අසමත්භාවයෙන් පෙළෙන, දේශපාලන පංතියකින් තොර ව මූලික අවශ්‍යතා හා ආශාවන් මූලික කර ගෙන ශාරීරික සත්වයින් ලෙස කටයුතු කිරීම ද මෙහි දී දක්නට ලැබේ.

 මෙම ධනවාදී කතිකාවට සේවය කරන්නේ විශ්වවිද්‍යාලයීය කතිකාව ය. විශ්වවිද්‍යාලයීය කතිකාවේ විශේෂත්වය වන්නේ දැනුම මඟින් අතිරික්ත විනෝදය මෙහෙයවීමට හැකි වීම ය. විශ්වවිද්‍යාලයීය කතිකාවේ දී දැනුමට සම්බන්ධ වී පවතින “දන්නා බව” (KNOWING) ධනවාදී කතිකාවේ දී “අත් කර ගත් බවක්” (HAVING) ලෙස නම් කළ හැකි ය. මෙහි දැනුම යනු සෑම දෙයක් පිළිබඳ දැනුම නො ව සියල්ල දන්නා බව ය. සැබෑ ස්වාමියා දැනුම ලබා ගැනීමට ආශා නො කරන අතර ඔහු ආශා කරන්නේ දේවල් සිදු කිරීමට ය. මනෝවිශ්ලේෂණයට අනුව දැනුමේ හිමිකරු හා දේපල හිමිකරු අතර වෙනසක් නො පවතියි. ඔවුන් දෙදෙනා ම කටයුතු කරන්නේ සමුච්චනය වෙනුවෙන් මිස යමක් වෙනස් කිරීමේ අරමුණින් නො වේ. එය ඔවුන්ගේ ගැටලුවකට වඩා ඔවුන් සම්බන්ධ කතිකාවේ ගැටලුවකි. ලැකානියානු මනෝවිශ්ලේෂණයට අනුව කතිකාවට අනුව ආත්මය කතා නො කරන අතර කතිකාව විසින් ඔහු ව කතා කරවන බව අප අවබෝධ කර ගත යුතු ය. මෙම විශ්වවිද්‍යාලයීය කතිකාවේ සංස්ථාපනය වී ඇති ව්‍යාජය වන්නේ බලය මත පදනම් වූ දේශපාලන තීන්දු කරුණු ම ය දේවල් පමණක් ලෙස නම් කිරීම ය. විවේචනයට ලක් වෙමින් තිබෙන නිලධාරිවාදය යනු ද විශ්වවිද්‍යාලයීය කතිකාව නියෝජනයකි. මෙයට පෙර බලය හා ස්වාමීත්වය සමඟ බැඳුණු දේශපාලකයින් ද මෙම කතිකාවේ දී නිලධාරිවාදය අනුව කටයුතු කරන්නන් වන අතර ඔවුන් සේවය කරන්නේ ප්‍රාග්ධනය වෙනුවෙනි.

 ලැකානියානු අර්ථයෙන් ධනවාදියා යනු ප්‍රාග්ධනයේ ලුබ්ධිය සමඟ බැඳී සිටින්නා ය. එබැවින් මනෝවිශ්ලේෂණයට අනුව ධනවාදය තුළ දී සූරා කැවෙන්නේ ශ්‍රමයට වඩා අපගේ ආශාව ය. ධනවාදී කතිකාවේ චක්‍රීය ආකෘතිය තුළ ආත්මෝපකාරී බව (SELF-HELP – තමන්ට තමන් ම උදව් කර ගැනීම) නව සම්මතය බවට පත් ව ඇත. ආත්මෝපකාරී සංස්කෘතිය පංති ම ය හා සංවිධානාත්මක පදනම් වලින් තොර වන අතර අන්‍යෝන්‍ය උපකාරී කණ්ඩායම් වල එකතුවක් ලෙස සඳහන් කළ හැකි ය. පංති පසමිතුරුතාවය සංස්කෘතිමය වෙනස්කම්, හැකියාවේ වෙනස්කම් සහිත දෘෂ්ටිවාදයක් තුළ ට වඩා සම්බන්ධ වී ඇත. එහි දී ප්‍රජාවේ ම එක් පුද්ගලයෙකු ව්‍යතිරේකයක් ලෙස ගෙන ඔහු නව සම්මතයට අනුකූල කෙනෙකු (IDOL) ලෙස එම ප්‍රජාවට ම පෙන්වයි. පවුල යනු ජීවත්වීමේ විවිධ ආකාරයන් බවට පත් වී ඇති විට – තමාගේ වීරයා තමන් ම මිස වෙන අයකු නො වේ; ඔබට සුපිරි මිනිසෙකු හා ගැහැනියක බවට පත් විය හැක; සිදු වන දේවල්වල නිර්මාතෘ ඔබ ම ය; දේවල් සිදු වන්නේ ඔබට අනුව ය – වැනි දේ මෙම සංස්කෘතියේ උද්‍යෝග පාඨ බවට පත් වී තිබේ. එමෙන් ම ධනවාදී කතිකාවේ මූලික ලක්ෂණය වන්නේ හැඟවුම්කාරකයට යටත් නො මැති නිසා ආත්මයට හිමි දෙබෙදුම (DIVISION) මූර්තිමත් නො කිරීම ය. මෙහි දී ආත්මය හැඟවුම්කාරකයට ඉහළින් පිහිටන බව මූර්තිමත් වේ.

 අර්බුදයක් යනු සාමාන්‍ය ජන ජීවිතය හදිසියේ බිඳ වැටීමක් ලෙස නම් කළ හැකි ය. ගිනි පෙට්ටියේ සිට රත්තරන් දක්වා සෑම භාණ්ඩයක ම මිල ඉහළ යාම තැන් තැන්හි වාඩිලා සිටින පහළ මධ්‍යම පන්තියට පමණක් නො ව 60%ක් වන දෛනික ආදායම් ලබන ජන කොටසට ද බලපා ඇත. මෙවැනි අර්බුදයක දී ලැබෙන ප්‍රඥාව යනු බලාපොරොත්තු විරහිතභාවය මඟින් හා දැඩි විරෝධය මත පදනම් වන එකකි. නමුත් ධනවාදී දෘෂ්ටිවාදය පෙන්වා දෙනු ලබන පරිභෝජනය තර්ජනයට ලක් වීම නිසා මධ්‍යම පංතික ආයතනගත ජීවිතය තුළ ඇති වන අර්බුදයට ප්‍රතිචාර දැක්වීමෙන් මෙම ප්‍රඥාව දෘෂ්ටිවාදාත්මක තලයකට විතැන් කරවයි. එනම්, මේ මොහොතේ රටට අවශ්‍යව ඇත්තේ ඉන්ධන හා ගෑස් පෝලිම් රහිත බඩු මිල අඩු කිරීමට යෝජනා කරන කළමනාකරුවන් නො ව රාජ්‍ය අර්බුදයට සැබෑ විසඳුම් යෝජනා කරන්නන් ය. කළමනාකරු දෘෂ්ටිවාද මඟින් සෑම විට ම අර්බුදය කල් දැමීමක් හා කළමනාකරණය කිරීමක් පමණක් යෝජනා කරයි. එ මඟින් අර්බුදයට පෙර පැවතියේ යැයි හඟිනු ලබන තත්ත්වයකට ළඟා විය හැකි බවක් ද පෙන්වා දෙයි. නමුත් මනෝවිශ්ලේෂණයට අනුව එවැනි තත්ත්වයක් යනු අප සිතන තරමේ ශුද්ධ වූ පරම තත්ත්වයක් නො වේ. එය අර්බුදය මඟින් ම අපට පෙන්වා දෙන මායා ම ය තත්ත්වයකි. එය සාක්ෂ්‍යාත් කර ගැනීමට යෑමේ දී සිදු වන්නේ විනාශයක් ය.

@3mana.lk

නවතම ලිපි