කාර්, ජීප්, වැනි පුද්ගලික වාහන යන්න මෙම සටහන තුල පාවිච්චි වන්නේ උදාහරණයක් ලෙසය.

එසේම එය සුවිශේෂී උදාහරණයක් වන්නෙම වාහනයක සිහිනය සියලු දෙනාගේ බලාපොරොත්තුවක් බවට (තම දුවා දරුවන් තුලින් හෝ) පත්ව ඇති බැවින් සහ ඒවාට අදාළ යටිතල පහසුකම් පද්ධතිය පිළිබඳව ප්‍රශ්න හේතුවෙනි. පුද්ගලික වාහනය හැරුණු කොට ඇති අනෙකුත් පාරිභෝගික භාණ්ඩ වලටද මෙම සටහනින් මතු කරන ප්‍රශ්න කිරීම අදාළ වේ. මෙය කියවන කෙනෙකුට පැවසිය හැක්කේ මෙය කල නොහැකි දෙයක් බැවින් (සැමට දැන් ජංගම දුරකථන තිබෙනවාක් වැනි ලෙස) මේ ගැන කතා නොකළ යුතුය යන්නයි. නමුත් එය අර්බුධය මග හැරීමේ වැඩකට නැති තර්කයකි.

අනුරුද්ධ ප්‍රදීප් පවසන පරිදි ඔවුන්ගේ පාලනයක් යටතේ (43වන සේනාංකයේ) සියලු දෙනාට වාහන ලබා දිය හැකි තත්වයක් ඇති කරන අතර පොදු ප්‍රවාහන සේවයද ශක්තිමත් කරනු ඇත. 'රෝද හතරේ වාහනය' අන් සියලු දේට වඩා ප්‍රමුඛව ඊට අදාලව තම ෆැන්ටසි වසන්ගතයන් පෙළ ගැස්සගැනීමේදී එය පුද්ගලයන් තුල සිහිනයක් වී ඇත. නමුත් රෝද හතරේ වාහන සිහිනයට අමතරව තවත් නිමක් නැති බොහෝ දේ ඇත. කියවන්නා විසින් ඒවාද මේ අදහස සමග ආරූඩ කොට ගන්නා මෙන් ඉල්ලා සිටින්නෙමු.

43 3

මේ රටේ මුලින්ම රෝද හතරේ වාහන හිමිකරුවන් වූයේ ඉංග්‍රීසීන් හරහා ව්‍යාපාර කොට පොහොසත් වූ ඉඩම් හිමි ව්‍යාපාරිකයින්ටය. ඉන් පසුව අනුක්‍රමික ලෙස පෙරකදෝරු හාමු, දොස්තර හාමු දක්වා එය විකාශනය විය (ලොව පුරා තත්වයද ඊට වෙනස් නොවේ). එසේ වී වර්තමාන තත්වයට පැමිණීමට බොහෝ කලක් ගත විය. 

සමාජවාදයේ ආරම්භය වූයේ සැමට සමාන ආර්ථික තත්වයක් යන සටන් පාඨය තුලය (මාක්ස් කුමක් අදහස් කලද ලෙනින් ප්‍රමුඛව සිදු වූයේ එයයි). සෝවියට් සමාජවාදය ඇතුළු ඊට අනුයාත අනෙකුත් සමාජවාදී රටවල සියලු දෙනා හට රෝද හතරේ වාහනයක් ලබා දීමට බැරි වී තිබුනද 'සමානාත්මතාවය' රැක ගැනීම වෙනුවෙන් බලහත්කාරයෙන් සියලු දෙනාට සමාන ජීවන තත්වයක් (ආර්ථිකමය) ඇති කිරීමට ඔවුන් උත්සාහ දැරීය. නමුත් සමාජවාදය තුල අත්පත් කොට ගත යුතු එක් මස්තකප්‍රාප්තියක් වූයේ සියලු දෙනාට රෝද හතරේ වාහනයක් යන්නයි. ධනවාදයට විකල්පයක් ලෙස පැමිණි සමාජවාදයේ තත්වය එසේ වන විට ධනවාදයට එරෙහිව පැමිණි අනෙක් මහා විකල්පය වන නාසිවාදයේ ද ස්ථාවරයක් වූයේ ද සැමට කාර් එකක් යන්නයි (වොක්ස්වැගන් කාර් එක නිපදවෙන්නේ ඒ අනුවය).

ධනවාදයට එරෙහිව පැමිණි එම මහා විකල්ප දෙකම මහා ඛේදවාචකයන් තුලින් අවසන් වීමටද පෙර සියලු දෙනාට(අතිශය බහුතරයකට) කාර් සිහිනය සැබෑ කොටගත් ධනවාදී රටවල් පැවතියේය (කාර් පමණක් නොව බොහෝ දේ). ඒ අනුව මේ වන විට ලොව පුරා ධනවාදය විජයග්‍රහණය කර ඇත (එසේ තිබියදී ජවිපෙ, පෙසපෙ වැනි පක්ෂ තවමත් ඔවුන් බලයට පැමිණියහොත් සමාජවාදය යටතේ සැමට හොඳම කාර් එකක් දෙන බව කියමින් සිටී).

43 5

කොටසකට පමණක් කාර් තිබීම, පන්ති ස්වභාවය මත කාර් වල වටිනාකම සහ ගුණාත්මකභාවය තීරණය වීම, (සත්තකින්ම මෙම අර්ථ නිර්මාණය කෙරුනේ වාමාංශික සටන් පාඨ තුලය) 'සමානාත්මතාවය' ගොඩනැගිය නොහැකි වීමේ ප්‍රශ්නයකි. ඔබ දක්ෂ නම් ඔබට ගුණාත්මකභාවයෙන් ඉහල මිල අධික වාහනයක් සතු කොට හැකිය යන ලිබරල් ආප්තයට (ඇත්තටම ප්‍රතිපත්තිය) එරෙහිව වාමාංශික මතය වන්නේ සියලු දෙනාට හොඳම වාහන (හොඳම දේ) යන්නයි. නමුත් එසේ පොරොන්දු දෙන සමාජවාදය දැන් කිසිවෙකුත් විශ්වාස නොකරයි. එය ව්‍යාජයක් බවට පත්ව ඇත්තේ දක්ශ්‍යතාවය මත සමාජයේ තමන්ට හිමි ස්ථානය හිමි කර ගත හැකි ප්‍රජාතන්ත්‍රවාදය ජයගෙන ඇති බැවිනි. ඒ අනුව සංස්ථාපිත තත්වය වන්නේ දක්ෂතාවයේ අනුක්‍රමිකත්වය මත වාහනයේ ගුණාත්මකභාවය (වටිනාකම) තීරණය වන ලිබරල් ධනවාදයයි.

ලංකාව තුල බලයට පැමිණෙන කිසිම ආණ්ඩුවකට එකී නිදහස සහ සමානාත්මතා (සමානාත්මතාවය දක්ෂතාවය මත තීරණය වීම) ප්‍රතිපත්තියට පිටුපෑ නොහැකිය. එනම් වාහනයේ ගුණාත්මකතාවය කෙසේ වෙතත්(සියලු දෙනා හට ගුණාත්මකතාවය පිළිබඳව පැහැදිලි අර්ථයක් නොමැති බැවින්) රෝද හතරේ වාහන සිහිනය සැබෑ කොට දීම යථාර්තයක් වී ඇත. ඒ අනුව ලංකාවේ ජනාධිපති වන කිසිවෙකුටත් එය මගහැරිය නොහැක. ඒ ලිබරල් සහ වාමාංශික සටන් පාඨ ඒ සඳහා ඉලක්ක වී ඇති බැවිනි.

43 1

ඒ අනුව චම්පික රණවකට හෝ වෙන යම් කිසි කෙනකුට මෙතෙක් ආ මාවත භාරනොගෙන රටේ ජනාධිපති විය නොහැකිය. අනුරුද්ධ ප්‍රදීප් පවසන්නේ ඔවුන්ගේ අරමුණ පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම බවය. නමුත් සියලු දෙනාට වාහන සිහිනය සැබෑ කිරීම සඳහා කැප වෙන බවද ඔහු පවසයි. එවිට ප්‍රශ්නය වන්නේ වාහන හිමි සියලු දෙනා (තමන් කැමති ස්ථානයට තමන්ගේම වාහනයේ යාම සියලු දෙනාගේ අපේක්ෂාවයි) පොදු ප්‍රවාහන සේවයට යොමු වන්නේ කෙසේද යන්නයි. එක්කෝ ට්‍රැෆික් ජෑම් නිසා විය යුතුය නැති නම් ඉන්ධන මිල වැඩි නිසා විය යුතුය.

මල කෙලිය වන්නේ ඒ දෙකම නැවතත් ආණ්ඩුවේ වැරද්දක් ලෙස 'ජනතාව' සහ විපක්ෂ කණ්ඩායම් (ද්විපක්ෂ යාන්ත්‍රනය තුල සැමදාම විපක්ෂයක් ඇති අතර ආණ්ඩු පක්ෂයේ අසමත්භාවය සලකුණු කිරීමේ විපක්ෂයේ කාර්ය සැමදා පවතී) දැකීමට යොමු වීම තුලය. අනුරුද්ධ ප්‍රදීප්ගේ කතා තුල හිඩැස් ඇත. ඔහුට එම හිඩැස් වසා තමාගේ පරිකල්පනීයත්වය සම්පූර්ණ කල හැකිද ? එසේම බලය ලබාගත් පසුව මේ තත්වයට පිටුපා ක්‍රියා කල හැකිද?

තවත් බොහෝ ප්‍රශ්න ඇත. සියලු දෙනාට වාහන තිබෙන තත්වයක් තුල සහ පොදු ප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනය, ඉදි කිරීම් යන්ත්‍ර සූත්‍ර (මාර්ග පද්ධතිය දීර්ග කිරීම, පුළුල් කිරීම සහ යාවත්කාලීනව නඩත්තු කිරීම සඳහා මෙවැනි යන්ත්‍ර සූත්‍ර දැනට පවතිනවාට වඩා බොහෝ ගුනාකරයකින් අවශ්‍ය වනු ඇත) වැනි බොහෝ දේ ද ඇතුලත්ව රට තුල ඒවාට හිමි ඉඩ කඩ සලසන්නේ කෙසේද යන්නයි (ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව වැනි විශාල රටවලට එම ප්‍රශ්නය එතරම් නොදැනේ).

එසේම මාර්ග පද්ධතීන් පුළුල් කිරීම සිදු කල යුතුය. එය කරන්නේ කෙසේද යන්න දැවැන්ත ප්‍රශ්නයක් බවට පත් වේ.

43 4

ප්‍රජාතාන්ත්‍රික ලිබරල් සමානාත්මතාවයට අනුව ලංකාවේ මිනිසුන්ට පමණක් නොව ලෝකයේ සියලු දෙනා හට ද රෝද හතරේ වාහනයක් හිමි විය යුතුය. "එහෙම නම් කරන්න බැහැ" යනුවෙන් කෙනෙකු පවසන්නේ නම් එහි ඇත්තේ ජාතිවාදයයි. ඇත්තටම සියලු රාජ්‍යයන් ජාතිවාදීය (නමුත් එය නොපෙනෙනේ දෘෂ්ටිවාදය නිසාය).

උදාහරණයකට ඇමරිකාව ගතහොත්, එම රාජ්‍ය තුල සියලු පුරවැසියන් හට (පන්ති ස්වභාවය පවතිද්දීම) ඇති පාරිභෝජන තත්වයන්, සෞඛ්‍ය සහ ආරක්ෂණ තත්වයන් ඇතුළු අනෙකුත් පහසුකම් සහ සේවා සාපේක්ෂව අනෙකුත් රටවල් වල පුරවැසියන්ට නොමැත. නමුත් ඇමරිකානු රාජ්‍යය සිතනුයේ සැමදාම තම රාජ්‍යය අනෙකුත් රාජ්‍යයන්ට වඩා ඉහලින් සිටිය යුතු බවය (අනෙකුත් රාජ්‍යන් ද සිතනුයේ එසේය). මෙම ප්‍රභූ චින්තනය ලිබරල් ධනවාදයට ගැලපෙන අයුරින් සකස් වී ඇත. (ලංකාවේ පාසල් පද්ධතිය ගොඩ නැගී ඇත්තේද මේ ලිබරල් චින්තනය තුලය. පාසල් අතර ක්‍රීඩා තරඟ විසින් එය උච්ඡාස්තානයකට ගෙන ඒ). එනම් තම රාජ්‍යය එසේ උසස් තැනක පවතින අතර තුර ලෝකයේ අන්කුත් රටවල මිනිසුන්ටද සාමාන අයුරින් පාරිභෝජන අවස්ථා හිමි විය යුතුය යන ලිබරල් ස්ථාවරය පිළිගැනීමයි. එවිට ප්‍රශ්නය වන්නේ දේශා සීමා සහ වීස ක්‍රම පවතින්නේ ඇයිද යන්නයි. එයට ද ඔවුන් සතුව පිළිතුරු ඇත.

ඇත්තටම ඔවුන්ගේ ලිබරල් ස්ථාවරය ඒ පිළිගන්න අයුරුන්ම ක්‍රියාත්මක වුවහොත් ඇති වන ප්‍රශ්න වලට පිළිතුරු සොයන නියමු රාජ්‍යය බවට ද ඇමෙරිකාව පත්ව ඇත (බලශක්ති අර්බුධයට විසඳුම්, පරිසර අර්බුධයට විසඳුම්, දේශගුණ විපර්යාසයන් සඳහා විසඳුම්, උල්කාපතයකින් ලෝකය බේරා ගැනීමේ වගකීම, පිටසක්වල ආක්‍රමණයකින් ලෝකය බේරාගැනීම, ධනවාදය විසින් ඇති කරන ලෙඩ රෝග වලට ප්‍රතිකාර ක්‍රම, ඇතුළුව ඊටත් එහාට ගොස් සඳේ ජනාවාස, අඟහරු වලින් කණිජ සම්පත් ගෙන ඒම සහ ජනාවාසකරණය, පෘතුවිය මිනිස් වාසයට නොසුදුසු තත්වයකට පත්වන විට එය අතහැර වෙනත් ග්‍රහලෝකයක් වාසය කිරීමට සුදුසු ලෙස සකසා ගැනීම, අනාගත 'මිනිසා' විශ්වය තුල සැරිසරන්නෙකු බවට පත් කිරීම වැනි...).

43 3

මේ අර්බුධ වලට විද්‍යාව විසින් අනීවාර්ය විසඳුම් 'සොයාගන්නා' බව අනුරුද්ධ ප්‍රදීප් වැන්නන්ට පැවසිය හැකිය. විද්‍යාව විසින් ප්‍රශ්න හඳුනාගන්නා කාරයත් පිළිතුරු සොයා ගන්න ආකාරයත් දෙකම විකාර සහගතය. උදාහරණයක් ලෙස කාබන් විමෝචනය නමැති විද්‍යාත්මක හඳුනාගැනීම ගත හැකිය. එවිට ලෝකය මුහුණ දී ඇති පාරිසරික අර්බුධයේ ප්‍රධානතම සාදකය කාබන් විමෝචනය ලෙස විද්‍යාව විසින් හඳුනා ගනී. මෙවර ලෝක දේශගුණ සමුළුවේ ප්‍රධානතම තේමාව වූයේ ලෝක කාබන් විමෝචනය පිළිබඳව ප්‍රශ්නයයි.

(ලෝක කාබන් විමෝචනයට අදාළ දත්ත මේ සබැඳියාව තුල ඇති වගුවේ දක්වා ඇත.https://www.worldometers.info/.../co2-emissions-by-country/)

එම දත්ත වලට අනුව ඉහලින්ම සිටිනුයේ 'හොඳ ජීවන තත්වයක් හිමි' රටවල් සහ එකී 'හොඳ ජීවන තත්වයක් හිමි' රටවලට අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය කරන මහා කර්මාන්ත ශාලාව වන චීනයයි. චීනය අංක එකට පැමිණ ඇත්තේද ඒ 'හොඳ ජීවන තත්වයක් හිමි' රටවල්වල 'හොඳ ජීවිත' නිසා බව පැහැදිලිය.

'ලෝක දේශගුණ සමුළුවේ'දී එක්සත් ජාතීන්ගේ සංවිධානය (ධනවාදයේ ලෝක පරිමාන අර්බුධ කළමනාකරණය කිරීම සඳහා පිහිටුවාගත් ආයතනය) විසින් යෝජනා කෙරුනේ 2050 වන විට කාබන් විමෝචනය සම්පූර්ණ වශයෙන් නැවැත්විය යුතුය යන්නයි. එසේම එහි තිබූ ප්‍රධානතම සහ අපූර්ව යෝජනාව වූයේ පූර්ව කාර්මික යුගයේ පැවති උෂ්ණත්වයට වඩා සෙල්ෂියස් අංශක 1.5ක ඉහල උෂ්ණත්ව මට්ටමකට පමණක් උෂ්ණත්වය ඉහල යාමට ඉඩ දිය යුතුය යන්නයි. මීට පෙර සමුළුවලදී එය සෙල්ෂියස් අංශක 2 මට්ටම ලෙස සැලකීය. මෙවර දශම 5ක් අඩු කොට ඇත. ප්‍රශ්නය වන්නේ මේවා මෙසේ තීරණය කල හැකි වන්නේ කෙසේද යන්න සහ නිශ්චිතවම ඒ මට්ටමේ තබා ගත හැක්කේ කෙසේද යන්නයි.

43 2

කාබන් විමෝචනය නැවැත්වීම සඳහා යෝජනා කරනා විසඳුම් වන්නේ, 2030 වන විට මෙම ඉලක්ක කරා ළඟා වීමට රටවල් විසින් ගල් අඟුරු භාවිතයෙන් ඉවත් වීම, පුනර්ජනනීය බලශක්තිය සඳහා ආයෝජනය කිරීම, වන විනාශය සීමා කිරීම සහ විදුලි වාහන භාවිතයට මාරු වීම අවශ්‍ය වේ යන්නය. ඒ දේශගුණ සමුළුවේ විශේෂඥ සහ විද්‍යාඥයින්ගේ මතයයි.

ඉහත යෝජිත කාරණා ක්‍රියාත්මක කරනුයේ නිෂ්පාදනය අද පවතිනවාටත් වඩා ඉහල මට්ටමකට ගෙනයාමේ අරමුණු සහිතවය. සුවිශේෂීම කාරණය වන්නේ ගල් අඟුරු සහ පොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත්වීම සඳහා අවශ්‍ය තත්වය ගොඩනගා ගැනීම සඳහා අවශ්‍ය අමතර අති විශාල නිෂ්පාදනයක් පවතින නිෂ්පාදනයට එකතු වීමටද නියමිත තත්වයක් නිර්මාණය වීමය. ඒවායින් ප්‍රධානතම කිහිපයක් වන්නේ සූර්ය පැනල, ලිතියම් අයන් බැටරි, මෝටර් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, වැනි දේය. ඒ අනුව ඒවා අධික ලෙස නිෂ්පාදනය කල යුතුව ඇත. මෙතෙක් වර්ධනය වෙමින් පැවතී නිෂ්පාදනය වෙත අලුතින් නිෂ්පාදන රැසක නිෂ්පාදනයන් සීග්‍ර වනු ඇත. පැවතී අර්බුධය (කාබන් විමෝචනය වැනි...) අභිබවා ගිය ඊට වඩා විනාශකාරී අර්බුධයක් නිර්මාණය වීමට නියමිත වන්නේ මෙම නව නිෂ්පාදනයන් ඉහල යාම නිසාය. තවද කාබන් විමෝචනය නොමැති වාහන භාවිතය තිබූ වාහන භාවිතයට ද වඩා ඉහල යනු ඇත්තේ ඒවායේ කාබන් විමෝචනයක් නොමැති නිසාය'.

(ඒ පිළිබඳව වැඩි දුර විස්තර සඳහා මෙම සබැඳියාවේ ඇති ලිපිය කියවන්න http://www.spartacus.lk/%e0%b6%b4%e0%b6%bb%e0%b7%92.../2019/ ).

43 4

අර්බුධය හඳුනා ගන්න අකාරය, එනම් ප්‍රශ්නය 'කාබන් විමෝචනය' ලෙස 'බිහිතන් සෙවීම' (extrapolation) විසින් කලින් පැවතියාට වඩා අර්බුධ රාශියක් නිර්මාණය කරනු ඇත. ඒ තත්වය අවබෝධ කොට ගැනීම සඳහා මහේශාඛ්‍ය විශේෂඥයින් සහ විද්යාඥයින් විශේෂඥ නොවී ඇත්තේ ඇයිද යන්න තහවරු කරනුයේ විද්‍යාවේ ඉතිහාසය තුල ඊට අදාළව නිර්මාණය වන අර්බුධ සඳහා විද්‍යාව සහ තාක්ෂනය වෙතින් ගෙන එන සියලු විසඳුම් විසින් ඊට වඩා අර්බුධයක් නිර්මාණය කොට ඇති බැවිනි. එනම් දිගින් දිගටම විකල්ප සහ විසඳුම් ලෙස පැමිණෙන සියල්ල විසින් අර්බුධය උග්‍ර කොට ඇත.

අවශ්‍ය නම් මේ දේවල් ගැන තව තව කරුණු ඉදිරිපත් කරමින් විස්තර කල හැකිය. නමුත් අවශ්‍ය වන්නේ මෙය අවබෝධ කර ගැනීමයි.

43 2

එසේ නම් අප අනුරුද්ධගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් වන්නේ ඔබට ඉහත ලිබරල් ස්ථාවරයන් ප්‍රතික්ෂේප නොකරනවා නම් (ලොවේ සැමා වාහන හිමියන් වේවා යන) අර්බුධයකින් කෙළවර වීමකින් තොරව මේ පාරිභෝජනවාදය පවත්වාගෙන යා හැකි බවට ඔබ විශ්වාස කරන්නේ ද යන්නයි.

මෙම සටහනේ සාකච්ඡා කොට ඇත්තේ අර්බුධයේ එක් අංශයක් පිළිබඳව පමණි. තවත් බොහෝ ඇත. මේ තත්වය තුල ඇති වන සමාජීය අර්බුධ පිළිබඳව කොහෙත්ම මෙහි සඳහන් නොවේ. ඒවා වෙනම කතා කල යුතුය.

අනුරුද්ධ ප්‍රදීප් මේවට මගනොහැර පිළිතුරු දුනහොත් ඔහු 43නේ න්‍යායාචාර්යවරයා නොව සක්‍ර දේවේන්ද්‍රයා වනු ඇත.

 

@Spartacus.lk

නවතම ලිපි