ජර්මනියේ චාලිගේ මුරපොළ

තෙවන ලෝක යුද්ධයක් ඇතිවිය හැකිව තිබූ බර්ලින් තාප්පය.

මේ සීතල යුද සමයයි. දිනය හරියටම 1961 අගෝස්තු 15 වෙනිදාය. ස්ථානය ජර්මනියේ බර්ලින් නුවර නැගෙනහිර ජර්මනිය ( GDR - German Democratic Republic) සහ බටහිර ජර්මනිය වෙන් කෙරෙන ස්ථානයයි. සුප්‍රසිද්ධ බර්ලින් තාප්පය ඉදිකරන්නට පටන්ගෙන දින දෙකක් ගත වූවා පමණි. බර්ලිනයේ බටහිර කොටසේ ධනවා‍දි ඇමරිකානුවන් ප්‍රමුඛ මිත්‍ර හමුදා ස්ථාන ගත වී සිටින අතර බර්ලිනයේ නැගෙනහිර කොටසේ සමාජවාදී නැගෙනහිර ජර්මනියේ සෙබලු ස්ථානගත වී ඇත. දෙපාර්ශවයම චෙක් පොයින්ට් චාර්ලි යන ස්ථනය ඇතුළු තැන් වල එකිනෙකා වෙත අවි අමෝරාගෙන සිටිති. සැහැල්ලු අවියේ සිට දැවැන්ත යුද ටැංකි දක්වා වූ අවි එකිනෙකා වෙත යොමු කරගෙන සිටින මේ ස්ථාන තෙවන ලෝක යුද්ධයක් ඇති විය හැකිව තිබෙන එක් මර්මස්ථානයකි.

athula 1

නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය වෙන් කෙරෙන එක් මුර පොලක් අසල අසල නැගෙනහිර සමාජවාදී කොටසේ රාජකාරියේ සිටි සෙබලෙකු එක් සැඟවුණු සිතුවිල්ලක් ඇතිව කල් මරමින් සිටිනු පෙනේ. ඔහු බිත්තියකට හේත්තු වී එකක් පසු පස එකක් වශයෙන් දුම් වැටි උරමින් සිටී. අවසානයේ Hans Konrad Schumann නම් මෙම සෙබලා එකවරම සිය රයිපලය ද අතැතිව දිවගෙන විත් එහි වූ කම්බි රෝල මතින් සමාජවාදී ජර්මනියේ සිට ධනේෂ්වර බටහිර ජර්මනියට පැන්නේය. ඒ මොහොතේ බටහිර ජර්මනිය පැත්තේ සිටි ඡයාරූප ශිල්පී Peter Leibing මේ සිදුවීම ඡයාරූපයට නගන ලදි.

 

Athula 8

 

එකළ මේ උණුසුම් ස්ථානයේ සිදුවීමක් අපේක්ෂාවෙන් ඡායාරූප මාධ්‍යවේදීන් ගැවසීම සුලභ කරුණක් විය. නැගෙනහිර ජර්මනිය පැත්තේ රාජකාරී කරමින් සිටි කිසිවකු බටහිරට පළා එනු ඇතැයි යන පූර්ව උපකල්පනයක් ඡායාරූප ශිල්පියාට තිබුණි. එබැවින් සිය කැමරා කාචය නිවැරදිව කම්බි රෝල මතට නාභිගත කර තබා ගන්නට පීටර් ලෙයිබින්ග් සමත් විය. ඡායාරූප ජනමාධ්‍ය ( Photojournalism) ඉතිහාසයේ විශිෂ්ඨ පුවත් පත් ඡයාරූපයක් වූ Leap into Freedom යන ඡයාරූපය බිහිවන්නේ එසේය. “නිදහස වෙනුවෙන් පිම්ම” හෝ “නිදහසට පළායාම” යන අදහස දෙන මේ ඡායාරූපය ප්‍රකාශ කරන්නේ සමාජවාදයෙන් ධනවාදයට මිනිසුන් පළා ඒම පිළිබඳව උත්ප්‍රාසය දනවන ඓතිහාසික තත්වයයි. සමාජවාදය පිළිබඳව, එහි බිඳ වැටීම ගැන සැබෑ සහ ගැඹුරු හැදෑරීමක් කරන්නට කැමති වාමාංශිකයින් අවධානය යොමු කළ යුතු ඓතිහාසික සංසිද්ධියක් ලෙස ජර්මනියේ බර්ලින් නුවර චෙක්පොයින්ට් චාර්ලි සහ බර්ලින් තාප්පය බිඳ වැටීම පෙන්වා දිය හැකිය.

 

Athula 4

සීතල යුද සමයේ නැගෙනහිර කොමියුනිස්ට් ජර්මනිය සහ බටහිර ධනේෂ්වර ජර්මනිය වෙන් කරමින් ඉදි කෙරුණු බර්ලින් තාප්පය බිඳ වැටී මේ නොවැම්බර් 07 වෙනිදාට වසර 32 ක් සපිරේ. ලෝකයේ නන් දෙසින් ජර්මනියේ බර්ලින් නුවරට එන සංචාරකයෝ මෙම චාර්ලිගේ මුර කුටිය සහ බර්ලින් තාප්පයේ ශේෂ වූ - සංරක්ෂණය කර ඇති කොටස් දැක බලා ගැනීමට අමතක නොකරති.

1945 දෙවන ලෝක යුද්ධ නිමාවෙද්දී නාසිවාදය පරාජය කිරීමට එක්වූ මිත්‍ර රටවල් සහ සෝවියට් දේශය , ‍යල්ටා සහ පොස්ඩෑම් සමුළුවෙන් පසු ජර්මනිය බෙදා පාලනය කිරීමට ගිවිසගත්හ. මිත්‍ර පාක්ෂික ඇමරිකානු, ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය යන හමුදා ජර්මනියේ බටහිර කොටසේ පාලනය ගෙන ගිය අතර නැගෙනහිර පාලනය කළේ රුසියානු - නැගෙනහිර ජර්මන් සමාජවාදී හමුදාවයි. බර්ලිනයේ බටහිර කොටසේ ඇමරිකාව ප්‍රමුඛ හමුදා සිටීම එවක සෝවියට් දේශයේ නායක නිකිතා කෘෂේව් සැලකුවේ “ උගුරේ සිරවූ ඇටයක්” ලෙසය. බර්ලිනයේ බටහිර කොටස තුළ ආහාර හිඟයක් ඇති කොට ඇමරිකානු හමුදා පළවා හැරීමට රුසියානුවන් උත්සහ කළත් බටහිර සිටි ඇමරිකා එක්සත් ජනපදය පුමඛ මිත්‍ර හමුදා කළේ ගුවන් මගින් වසරක් තිස්සෙ බටහිර බර්ලිනයට ආහාර සැපයීමයි. පසුව එම උත්සහය අත්හැර දමන්නට රුසියානුවන්ට සිදුවිය.

 

Athula 10

රුසියානුවන්ගේ උපදෙස් මත නැගෙනහිර කොමියුනිස්ට් පාලකයින් විසින් ඉදි ‍කළ බර්ලින් තාප්පය එවකට ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි හැඳින් වූයේ “තාප්පයක් යනු යුද්ධයකට වඩා හොඳ අපායක් ලෙසය”

1949 නැගෙනහිර සමාජවාදී ජර්මනිය බිහිවූ දා සිට සිදු වූයේ නැගෙනහිර ජර්මන් වැසියන් සමෘද්ධිමත් බටහිර කොටසට සංක්‍රමණය වීමයි. මුල් කාලයේ ‍බටහිර ජර්මනිය ( බටහිර බර්ලින් කොටස) සහ නැගෙනහිර ජර්මනිය වෙන් කෙරෙන තාප්ප වැනි භෞතික බාදක නොතිබුණු අතර තිබුණේ මුර පොලවල් පමණි. මේ නිසා නැගෙනහිර ජර්මන් වැසියන්ට බටහිරට සංක්‍රමණය වීම පහසුවිය. 1949 සිට 1961 දක්වා එසේ බටහිර කොටසට පැමිණි ජර්මන් වැසියන්ගේ සංඛ්‍යාව මිලියන 2.6 කි. සිය පරිවාරක සමාජවාදී රාජ්‍යයේ වැසියන් ලක්ෂ ගණනින් මෙලෙස ධනේෂ්වර පැත්තට සංක්‍රමණය වීම අනතුරක් ලෙස සැලකූ එවකට සෝවියට් දේශයේ පාලකයා වූ නිකිතා කෘෂේව් මේ මහා සංක්‍රමණය වලක්වන ලෙස සෝවියට් පාක්ෂික කොමියුනිස්ට් නැගෙනහිර ජර්මනියට උපදෙස් දුන්නේය. නැගෙනහිර ජර්මනියේ විසූ කොමියුනිස්ට් පාලකයින් කළේ දේශ සීමා වෙන්කරමින් පළමුවෙන්ම කටුකම්බි එලීමය. පසුව දැවැන්ත බර්ලින් තාප්පය ඉදි කරණ ලදි. සෝවියට් සමාජවාදය බටහිරින් ආරක්ෂා කිරීම සඳහා ‍සෝවියට් දේශය ගත් මේ පියවර ඇතුළු දේශපාලනික අගුළු ලෑම යකඩ තීරය ( Iron Curtain) ලෙස ද ප්‍රකට විය. බර්ලින් තාප්පය ඉදිකරමින් නැගෙනහිර කොමියුනිස්ට් පාලකයින් පවසා සිටියේ ‍පිරිහුණු ධනේෂ්වර ක්‍රමයෙන් තම ‍කොමියුනිස්ට් ක්‍රමය බේරා ගන්නට එසේ කළ බවයි. 1961 දී ඉදි කළ ඒ දැවැන්ත බර්ලින් තාප්පය අවුරුදු 28 කට පසුව 1989 නොවැම්බර් 07 වන දින සමාජවාදයත් සමගම කඩා වැටුනේය. ධනේෂ්වර ක‍ොටසේ සිටි ජර්මන් වැසියන් සහ නැගෙනහිර සමාජවාදී කොටසේ සිටි ජර්මන් වැසියෝ එකට එක් වී දශක තුනකට ආසන්න කාලයක් තමන් බලහත්කාරයෙන් වෙන් කර තැබූ ඒ තාප්පය බිඳ දමා සතුට සැමරූහ. බෙදුණු ජර්මනිය නැවත එක් රටක් ලෙස නිළ වශයෙන් එක් වුණේ 1990 ඔක්තෝබර් 05 වන දාය.

 

Athula 9

 

1961 දී කොමියුනිස්ට නැගෙනහිර ජර්මනිය විසින් එක රැයින් බටහිර සහ නැගෙනහිර වෙන් කිරීම නිසා බර්ලිනයේ විසූ එකම පවුල් වල සමාජිකයින් සහ ඥාතීන් දෙපසට වෙන් වූහ. එය සමාන වන්නේ 1945 දී උතුරු කොරියානු කොමියුනිස්ට් රාජ්‍ය බිහි කිරීමත් සමග උතුරු - දකුණු වශයෙන් සමීප ඥාතීන්ගේ වෙන් වීමටය.

බටහිර ජර්මනියේ ඇතැමෙක් රහසිගතව උමං හාරා නැගෙනහිර කොමියුනිස්ට් කොටසේ සිටින ඥාතීන් මුදාගත්හ. ඇතැමුන් බැලූන් මගින් බටහිර කොටසට පැමිණියේය. ඇතැමෙක් උස් තට්ටු නිවාස වලින් යාබද තාප්පය මතට පැන බටහිර කොටසට පැමිණියහ. පිහිනාගෙන පැමිණිය හැකි තැන්වල දී නැගෙහිර කොමියුනිස්ට් කොටසේ මිනිසුන් පිහිනාගෙන පැමිණියහ. ඇතැමුන් කටු කම්බි මතින් දුෂ්කර ලෙස බටහිර කොටසට පැමිණියේය. ඇතැම් පුද්ගලයෝ වාහන වල සූක්ෂම ලෙස සැඟවී බටහිරට කොටසට පැමිණියහ. බර්ලින් තාප්ප ඉදි කළ පසු වසර 28 ක කාලය තුළ නැගෙනහිර කොමියුනිස්ට් ජර්මනියෙන් බටහිරට පළා ආ පුද්ගලයින් සංඛ්‍යාව 5000 කට වඩා වැඩිය. ඒ පිරිස් අතර නැගෙනහිර කොමියුනිස්ට් රාජ්‍යයේ දේශ සීමා මුර කළ සෙබළු ද වූහ.බර්ලින් තාප්පය තරණය කිරීමේ දී සහ මුර පොළවල් වලින් පැන යාමට ගොස් කොමියුනිස්ට් සෙබලුන් අතින් මිය ගිය සඛ්‍යාව 400 කට ආසන්නය.

Athula 6

අදටත් දේශ සීමා විවෘත කරන්නේ නම් උතුරු කොරියානු කොමියුනිස්ට් රාජ්‍යයේ සිට දකුණු ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයට පළා ඒමට මිළියන ගණන් උතුරු කොරියානුවන් සූදානම්ය. එහෙත් එකම පවුලේ සීයා, පුතා සහ මුණුබුරා වශයෙන් දශක හතක - පරම්පරා තුනක කෲර පාලනයක් ගෙන යන කොමියුනිස්ට් කිම් රජ පවුල ඊට ඉඩ දෙන්නේ නැත. එහෙත් දැනටත් මර උගුල් සහ දැවැන්ත කටු කම්බි තාප්ප වලින් පැන මියෙම්වා - රැකෙම්වා කියා දකුණු කොරියාවට පළා එන උතුරු කොරියානුවන් ද සිටී. ලෝක දේශපාලනය තුළ කොමියුනිස්ට් ක්‍රම වලින් පළා ධනේෂ්වරයට පළා යන්නන් මිස ධනේෂ්වර රටවල සිට කොමියුනිස්ට් ක්‍රම වලට පලා යන්නන් ගැන අසන්නට නැත.

බොහෝවිට සමාජවාදය බිඳ වැටීම පිළිබඳ මතුකරණ න්‍යායික සංවාදයේ දී කවුරුත් අසන සරළ ප්‍රශ්නය වන්නේ “ සමාජවාදී ‍රටවල පුරවැසියන් ඒ පරමාදර්ශී රාජ්‍යයන් වල සිට දිවි නොතකා ධනේෂ්වර ක්‍රම වලට පළා යන්නේ ඇයි ද ? යන්නයි. එහිදී බොහෝ විට පෙරළා ලැබෙන පිළිතුරු අතර මේවා ද වෙයි. “ ඒ ඇමරිකානුවන්ගේ ප්‍රචාරකවාදය (American Propaganda), “ ධනේෂ්වර මායාවෙන් ගිණි කණ වැටීම”, “ තනි රටක සමාජවාදය ගොඩ නගන්න බෑ” “ ඒ පැවතියේ නියම සමාජවාදය නොවෙයි” එලෙස සමාජවාදයේ බිඳ වැටීම ගැන පක්ෂ යාන්ත්‍රණය විසින් උගන්වන ලද දේ හේතු ලෙස දක්වන බොහෝ වාමාංශිකයින් සමාජවාදයේ විද්‍යාත්මක ස්වරූපය දේශනා කරනවා හැර එය බිඳ වැටීමේ විද්‍යාව හදාරන්නට නොකැමැත්තෝය. සමාජවාදයෙහි පැවැත්ම පිණිස ප්‍රතිසංස්කරණ යෝජනා පවා බොහෝ වාමාංශිකයියෝ පිළිනොගනිති.

 

Athula 3

 

මිනිස් ශිෂ්ඨාචාරයට ගැලපෙන පරම දේශපාලන ක්‍රම ඇතැයි සිතිය නොහැකිය. එසේ පරම දේශපාලන ක්‍රම තිබුණා නම් ශිෂ්ඨාචාරය එක් තැනක නතරවී බොහෝ කල්ය. ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදය හෝ සමාජවාදය පරම ක්‍රමයන් ලෙස අධිනිෂ්චය කිරීම බලවත් න්‍යායික වැරැද්දකි. පැවැති තත්වයන්ට වඩා ‍ධනේෂ්වර ක්‍රමය හෝ සමාජවාදය ඉදිරිගාමී වුවද එය මනුෂ්‍ය ශිෂ්ඨාචාරය තුළ ලෞකික ආශාවන් සංතෘප්ත කිරීම පිණිස නොසෑහේ. සමාජවාදය තුළ අතිශය මානවවාදී දේශපාලනික භාවිතාවන් ඇති බව සත්‍යයකි. එහෙත් ඒ දෘඩ ක්‍රමය තුළ එක් පැත්තකින් මිනිසාගේ පුද්ගල නිදහස සහ සමාජ නිදහස අහිමිවෙයි. මනුෂ්‍යාගේ නිදහස අන් හැමට වඩා පරම වෙයි. බර්ලිනයේ කටුකම්බි පැන ධනේෂ්වරයට පළා ආ මේ ඡායාරූපයේ සෙබලාත් දශක තුනක් තුළ ජීවිතයත් මරණයත් අතර සටනක් කරමින් නැගෙනහිර කොමියුනිස්ට් ජර්මනියේ සිට බටහිර ජර්මනියට බර්ලින් තාප්පයෙන් පැන ආ මිනිසුන් කියන්නේත් ඒ කතාවයි.

 

@ තවත් ලිපි: සමාජ කතා - Social Conversation