වර්තමාන ලංකාවේ වමේ දේශපාලනය අවතීර්ණ වී ඇත්තේ කිනම් මාවතකටද?

සියළු වමේ පක්ෂ හුදු වම නැමැති නාමකරණය එල්ලා ගනිමින් දක්ශිනාංශික දේශපාලනය තුළ ලැගුම් ගෙන ඇති අවකාශය තුළ රෝහණ විජේවීර හැදූ ජනතා විමුක්ති පෙරමුණේ ඉරණම අද දිශානත වන්නේ කොහාටද? පහත ලිපියේ අරමුණ සිදුවන්නේ කුමක්ද යන්න සවිඥානික කිරීමකි.

rohana 2

ලංකාවේ වම -

යූඑන්පීය හා ශ්‍රීලනිපෙ තුල තිබුන අඩුපාඩු බොහොමයක් එවකට වමේ පක්ෂ වුන සමසමාජ, කොමියුනිස්ට් වැනි පක්ෂ වලින් හෙලිදරව් කළහ. එම පක්ෂ ධනේශ්වර පක්ෂ ලෙස ලංකාවට මුලින්ම හදුන්වා දුන්නේ මෙම වමේ පක්ෂ විසිනි.

නමුත් සත්‍ය වශයෙන්ම එම වමේ පක්ෂ වල නායකයින්ට ද තිබුනේ සුලු ධනේශ්වර පැවැත්මක් සහ ක්‍රියාකාරිත්වයකි. ඔවුන්ගේ පවුල් පසුබිම සහ අධ්‍යාපනය හැදෑරූ ආකාරය ගත්විට මෙය මනාව පැහැදිලි වේ. ඒ නිසාම ඔවුන්ට බොහෝදුරට මෙන්න මේ ධනපති පක්ෂ සමග එකට වැඩ කරන්නට සිදුවිය. එයට හේතුව වන්නේ ඔවුන්ගේ ආත්මීයත්වය සුළු ධනේශ්වර වීමයි. එම නිසාම ඔවුන් බොහෝ දුරට ධනේශ්වර පක්ෂ සහ ආණ්ඩු සමග සහයෝගයෙන් කටයුතු කලහ.

මෙකී තත්වය තුල ඇත්ත දුක්විඳින ජනතාව වෙනුවෙන් පෙනීසිටින්නට පක්ෂයක් ලංකාවේ නොතිබුනි. එවැනි පසුබිමක් තුලයි රෝහණ විජේවීර දේශපාලනයට අවතීර්ණ වෙන්නේ. විජේවීර දේශපාලනයට අවතීර්ණ වෙද්දීම පැරණි වම හරහා සමාජවාදය ගැන යම් කතිකාවක් ගොඩනැගී තිබූ නමුත් පැරණි වම බොහෝවිට මෙම කතිකාව ගොඩ නැගුවේ නාගරික මැද පංතිය හා කම්කරුවන් සමගය.

Rohana 1

රෝහණ විජේවීරගේ තත්වය ඊට වෙනස් එකකි. ඔහුට දේපල සබඳතා හෝ සුලු ධනේශ්වර පදනමක් නොතිබුනි. ඇත්තෙන්ම ඔහුගේ මෙන්න මේ තත්වය නිසා ඔහු වඩාත් ලංවූයේ නාගරික මැද පංතිය හෝ කම්කරු පංතිය සමග නොව ග්‍රාමීය ජනතාව සමගය.  ජවිපෙ ඇතුලු සමහර දෙනා පවසන්නේ විජේවීරට රටේ ජනතාවගේ හැසිරීම ගැන වඩාත් හොඳ ජන විඥානයක් තිබූ නිසා ගමෙන් දේශපාලනය පටන් ගත් බවකි.

ඇත්තෙන්ම සිදු වුනේ එය නොවේ. නාගරික මැද පංතියට හා කම්කරු පංතියට ආමන්ත්‍රණය කිරීමට ඔහු තුල වූ මැලිකම විසින් ඔහු ගම වෙත නිරායාසයෙන් ඇදී යාමකි.

rohana 3

ගම තුලට ගිය විජේවීරට තමන්ගේ මතය පැවසීමේ විභවය ගම තුල තිබුනා.

  • ඔහු එම ග්‍රාමීය ජනතාවට ගැලපෙන පරිදී ගොවිපොලවල්, හේන් කරමින් ඒ සඳහා ග්‍රාමීය පිරිස් එකතු කරගනිමින් පක්ෂය නිර්මාණය කළේය. එසේම ඒ මොහොත තුල එවැනි ව්‍යවහාරයකට ගම තුල ඉඩක් නිර්මාණය වී තිබුනි.
  • අනෙක් හේතුව වුයේ යූඑන්පී, ශ්‍රීලනිපෙ හෝ පැරණි වමේ නායකයින් ගමට නොගොස් නාගරිකව සිටි නිසා ග්‍රාමීය ජනතාව ගම සමග දේශපාලනය කරන නායකයකු සොයමින් සිටීමයි.

ඉතිං මේ සඳහා වූ සියලු සුදුසුකම් රෝහණ විජේවීර සතුවිය. ඔහු වෛද්‍යවරයෙක් වීමට සුදුස්සෙක් වීම, රුසියාවේ ඉගෙන ගැනීම, ග්‍රාමීය කුඩා පවුලකින් පැවත ඒම, මුට්ට කර ගැසීම, ගොවිපලවල් කිරීම වැනි ග්‍රාමීය ජනතාව සමග බද්ධව වැඩ කිරීමේ හැකියාව වැනි කාරණා මේ සඳහා විශේෂ සුදුසුකමක් ලෙස එක්ව තිබුනි.

 rohana 5

මීළග විශේෂ කාරණය වූයේ එතෙක් කතා නොකල අලුත් දේශපාලනයක් ඔහු කතා කරන්නට වීමයි. ඒ වගේම විජේවීර සතුව ජාතිකවාදයට නැඹුරුකමක් තිබුනි. ඒ ඔහු සිංහල බෞද්ධයකු වූ නිසා සහ බහුතර ජනතාවක් ඒ ආගමික පසුබිම තුළ අදටත් සිටින නිසා එවැනි හැඩයකින් තම මතය ගෙනයාම ඔහුට පහසුවක් විය.

මෙන්න මේ සියලු කරුනු සමග පැහැදිලි වන එක් කරුණක් වන්නේ රෝහණ විජේවීරගේ ජවිපේ මතවාදය සමග ග්‍රාමීය ජනතාව බැඳෙන්නේම “ආත්මීය” ලෙස බවයි. එම ආත්මීයත්වය කොතෙක්ද කිවහොත් ඒ සමග වැඩකරන  බොහෝ දෙනෙක් ඔවුන්ගේ පවුල් පසුබිම් වලින් ගලවා පක්ෂය වෙනුවෙන්ම කැපවූ පූර්ණකාලීන සාමාජිකයින් (ෆුල්ටයයිමස්ලා) කිරීමට විජේවීරට හැකි විය. පක්ෂය වෙනුවෙන් ගොවිපලවල් කිරීමට, පක්ෂයේ වැඩ වලට රෑ දවල් වෙහෙසෙන පිරිසක් හදන්නට, කෙටියෙන්ම කියනවානම් පක්ෂය වෙනුවෙන් ජීවිතය දෙන්නට පවා මේ පිරිස් කැමැත්ත ප්‍රකාශ කලහ.

rohana 9

එපමණ ආත්මීයත්වයක් සහිතව පක්ෂය සමග සම්බන්ධවීමට ජනතාව පෙළඹුනා මෙන්ම එවැනි හැඩයකින් පක්ෂය නිර්මාණය කරන්නට රෝහණ විජේවීරට හැකි විය. සිගරට් අරක්කු නොබොන, දූෂණ වංචා නොකරන, මිනිසුන් බවට ශික්ෂනය කරන්නටද ශික්ෂනය වන්නටද ඔවුන්ට හැකිවිය. මෙය හරියටම ගත්විට ආගමික නිකායක ස්වභාවයකි.

දශක දෙකක් තුල දෙවතාවක් දැවැන්ත ලෙස රාජ්‍ය මර්ධනය එල්ල වුවද එම ආත්මීය බැඳීමට හානියක් කරන්නට කිසිවකුට නොහැකි විය. මෙන්න මේ ආත්මීයත්වය තුල ජවිපෙ සාමාජිකයා පක්ෂය වෙනුවෙන් විශාල කැපකිරීමක් කරන්නෙක් බවට පත් වුහ. සාමාජිකයින් කිහිප දෙනෙකු සිටියද ඔවුන් පක්ෂයෙන් පැවරෙන සියලු වැඩ නොපිරිහෙලා ඉටු කරති. එකවර ලංකාව පුරාම පෝස්ටර් ගැසීමේ සිට එවැනි සියලු ආකාරයේ වැඩ ඔවුන් විසින් කරන්නේ මෙන්න මේ ආත්මීය බැඳීම නිසාවෙනි. එක මැයි රැලියක් ඉවර වූ සැනින් ඊලග මැයි රැලියට යාමට අවශ්‍ය මුදල් කැටයක් තුල දිනෙන් දින එකතු කරන්නට මොවුන් පෙළඹෙන්නේ මේ බැදීම නිසාවෙනි.

rohana 6

එමෙන්ම ජනතාවිමුක්ති පෙරමුණට අදාළ භාශාවෙන්ම කියනවා නම් ගමේ ශ්‍රමදාන වැනි දේවල්, කැන්වසින්, කුඩා රැස්වීම, කොකු ගැහිලි වැනි දේ මගින් ක්‍රමයෙන් පක්ෂය වටා පිරිස එකතු වුහ. 88 - 89 වකවානුවෙන් පසුවත් එම මහා විනාශයෙන් පසුවත් ජවිපෙ නැවතත් සාර්ථක ලෙස වර්ධනය වන්නේ එබැවිනි.

පාර්ලිමේන්තුවාදයේ ගීලි යෑම -

එතැන් පටන් පාර්ලිමේන්තුව තුල තම නියොජිතයින් වැඩි කරගනිමින් 6 , 10, 16 වැනි ප්‍රමාණයන්ගෙන් ආසන ලබාගනිමින් ජවිපෙ වර්ධනය වන්නට විය.

මෙසේ ආසන ප්‍රමාණය වැඩි වූවේ ජවිපෙ සමග ආත්මීයව බැඳුනු සාමාජිකයාගේ කැපවීම නිසාය. ඔවුන්ගේ මැදිහත් වීමෙන් ජන්දය ලැබුනු නිසාය.

එසේ වර්ධනය වෙමින් තිබූ ජවිපෙය ක්‍රමයෙන් පාර්ලිමේන්තුවාදයේ ගිලී ගියේය. අප මෙසේ කිව් පමනින් ජවිපෙ සාමාජිකයින් මෙය පිලි නොගනිති. මන්ද ඔවුන් පවසන්නේම විප්ලවය සඳහා පාර්ලිමේන්තුව පාවිච්චි කල යුතුයි සහ ඔවුන් මේ කරමින් සිටින්නේ එය බවය.

 

rohana 7

මෙයට හේතුව වන්නේම බහු ජන දේශපාලන සමග, වෙනත් පක්ෂ සමග සන්දාන ගත වෙමින් සහ ඇමති ධූර භාරගනිමින් ජවිපයේ අභ්‍යන්තර සංවිධාන ව්‍යූහයට වඩා ඉදිරියට බහුජන ක්‍රියාවලිය පැමිනීමයි.

එතෙක් පැවැති පක්ෂ වැඩ වෙනුවට ගම් බිම් කරා ජනතා විමුක්ති පෙරමුණ  රැගෙන ගියේ පාර්ලිමේන්තුවේ වැඩය, අමාත්‍යාංශයේ වැඩය, රාජතාන්ත්‍රික වැඩය. ඒ වැඩ සඳහා තව දුරටත් පෙර කී ආත්මීයව බැදුනු ජවිපෙ සාමාජිකයා ප්‍රමාණවත් නොවිනි. ඒ සඳහා ප්‍රභූන් අවශ්‍ය විය.

මෙම තත්වය කොතෙක් වර්ධනය වූයේද කියනවානම් ජවිපෙ අභ්‍යන්තර සංවිධාන කැඳවීම පෙර පැවතියේ එම සංවිධානයේම සාමාජිකයකුගේ නිවසකය. එහිදී ඉතා අමාරුවෙන් සකසා ගන්නා ආහාර වේලක් අනුභව කල ඔවුන්ට පසුව එය ප්‍රමාණවත් නොවීය. ඉන් අනතුරුව ගමේ යමක් කමක් තිබෙන ජවිපෙට හිතවත් ප්‍රභූ නිවසක එම සංවිධාන කැඳවන්නට වූහ.

rohana 12

තවද ජවිපෙ විසින් එතෙක් පැවැති ග්‍රාමීය ජනතාව සමග කල දේශපාලනය ක්‍රමයෙන් මැතිවරණ දේශපාලනයක් වෙත ගමන් කළේය. බලය ලබාගැනීම සඳහා මේ වනවිට ඇති එකම ක්‍රමය වන්නේ මැතිවරණ වලින් ජය ලැබීම ය. ඒ නිසාම මැතිවරණ ජයලැබීමට නම් එය කල හැක්කේ ග්‍රාමීය ජනතාවට නොව නාගරික මැද පන්තික ජනතාවටය යන වැටහීම ජවිපෙ තුළට ක්‍රමයෙන් මතවාදයක් ලෙස ඇතුළු විය. ඒ නිසාම ජවිපෙයේ උත්සාහය සහ ගණන් බැලීම වූයේ කෙසේ හෝ බල දේශපාලනය වෙත ඉතා ඉක්මනින් ගමන් කිරීමයි.

මේ සඳහා ඔවුන් විවිධ උපක්‍රම භාවිතා කරන්නට වූහ. ඒ සියලු උපක්‍රම දෙස පසුආවර්තීව බලන්නෙකුට පෙනී යන්නේ ඒවා සියල්ල මේ කියන මධ්‍යම පංතිය දිනාගැනීම සඳහා ගත් උපක්‍රම ලෙසයි. එනම් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය, අනෙකුත් දේශපාලන පක්ෂ සමග සන්දාන ගත වීම, ජාතික ජන බලවේගය වැනි කුමන පෙරමුණක් ගත්තද, කුමන සන්ධානයක් ගත්තද එහි මූලික අරමුණ වූයේ ලංකාවේ මධ්‍යම පංතිය දිනාගැනීම හා බලය සඳහා ඉක්මන් ප්‍රවේශයක් ලබාගැනීමට ගත් උපක්‍රම ලෙසයි.

rohana 10

 

මෙන්න මේ ගමන අවසාන ලෙස මහින්ද රාජපක්ෂ සමග එකතුවීමෙනුත් ඒ තුල ජාතිවාදී ලක්ෂණ ජවිපෙන් පෙනෙන්නට වීමත්, ෆොන්සේකා වැනි ෆැසිස්ට් පන්නයේ නායකයකු බලයට ගෙන ඒමට කටයුතු කිරීමත් සමග තත්වය තවත් බරපතල වීය.

මේ කාරණා මෙසේ තිබියදී පක්ෂ අභ්‍යන්තරය තුළ කාලයක් වර්ධනය වෙමින් තිබුනු නායකත්ව ගැටලුව එක්වර මතුවන්නට විය. එනම්, මෙතෙක් නායකයන්ව සිටින පිරිස තුල ඇති නව දේ සොයා යෑමේ උනන්දුව හා මැදිහත් වීමේ දුර්වල කම විසින් එසේ නව දේ සොයායන කණඩායම ලෙස පක්ෂය තුලම වූ අධ්‍යාපන සංචිත වල සිටි පිරිස් ඉහලට පැමිණිනි.

එනම් පක්ෂය තුල වැඩි හැකියාවක් හා දැනුමක් ඇති, පත පොත පරිශීලනය කරන වෙනම පිරිසක් වර්ධනය වූ අතර එය භාරව කටයුතු කිරීමේ වගකීම කුමාර ගුනරත්නම්ට හිමිවිය. ඒ වගේම මේ වනවිටත් එම කණඩායමේ සමහර පුද්ගලයින් X කණ්ඩායමේ මතය සහ X කණ්ඩායමෙන් කැඩී ගිය සමහර කොටස් සමග රහසින් ගනුදෙනු කරන්නට වීම හා එම නව මතවාදයන් පක්ෂය තුල සාකච්ඡා කිරීමත්, පවතින නායකයින් ඒවා භාර ගැනීමට වූ මැලිකමත් විසින් එතෙක් පක්ෂය තුල වූ හැකියාවන්ගෙන් හා දැනුමින් පොහොසත් පිරිස් තුල සාම්ප්‍රදායික නායකත්වයට එරෙහිව නව නායකත්වයක් සඳහා වූ අරගලකට අවතීර්ණ වූහ. එහි ප්‍රතිඵලය වූයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය නම් පක්ෂය නිර්මාණය වීමයි.

(මෙම පක්ෂය දෙකඩවීමේ හේතුව මීට වඩා පුළුල්ව දැක්විය යුතු වුවත් මෙම ලියමනෙහි උවමනාව එය නොවන බැවින් මෙසේ කෙටියෙන් දක්වන්නට සිදුවිනි).

rohana 13

එම බෙදීමත් සමග පක්ෂය තුළ වූ පූර්ණකාලීන සාමාජිකයින් විශාල පිරිසක් සහ ඒ සමග වූ මැද පෙලේ සහ පහල පෙලේ නායකයින් විශාල ප්‍රමාණයක්ද, සාමාජිකයින් විශාල ප්‍රමාණයක් ද ජවිපෙට අහිමි විය. කෙටියෙන් කියනවානම් සමහර දිස්ත්‍රික්ක වල දිස්ත්‍රික් සංවිධානයම ජවිපෙට අහිමි වීමෙන් එතැනින් එහාට පක්ෂයේ වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වීය. එනම් ජවිපෙ ක්‍රියාකාරී සාමාජිකයින්ගෙන් 2/3ක ප්‍රමාණයක් ජනතා විමුක්ති පෙරමුණට අහිමි විය. එබැවින් එතෙක් ගමේ ජවිපෙ වෙනුවෙන් කටයුතු කල ක්‍රියාවලිය ඉතා මන්දගාමී වීය. ජවිපෙය ඒ මොහොතේ අත් නොහැරියේ කම්කරු සංගමයේ කොටස් පමනි.

මෙන්න මේ කඩා වැටීම තුල එතෙක් අත් හැරෙමින් තිබූ ග්‍රාමීය දේශපාලනය පාර්ලිමේන්තුවට, ප්‍රධාන පෙළේ රැස්වීම් සඳහා, මැතිවරණ වලට, මාධ්‍ය සන්දර්ශනවලට සීමා වීය.  මෙම තත්ත්වය ජනතා විමුක්ති පෙරමුණ නාගරික මධ්‍යම පංතිය වෙත ඇදෙන්නට තවත් බලපෑ කාරණයකි.

rohana 11

මෙහිදී මතු වූ විශේෂතම තත්වය වන්නේ මෙතෙක් පාර්ලිමේන්තු දේශපාලනයට හුරුවූ නායකයින්ගේ මධ්‍යම පාංතික ගති ලක්ෂණ සහ ඒ කරා වූ නැඹුරුව වඩ වඩා ඉහලට පැමිනීමයි. ඒ සඳහා විරුද්ධ සමහර නායකයින්ගේ කටවල් වැසීමට සදාචාරාත්මක ප්‍රශ්න හේතු වූ බැවින් ඔවුන් නිහඩබවට පත්විය.

මෙතැනදි ජවිපෙට උගත් බුද්ධිමත් පුද්ගලයින්ගෙන් සැදුම් ලත් ජාතික ජන බලවේගය වැනි බහුජන සංවිධාන අවශ්‍ය වෙන්නේ මෙන්න මේ උවමනාව මතයි. හරිනිලා වැනි අයව පාර්ලිමේන්තුවට යැවිය යුතු වන්නේත් ඒ නිසාවෙන්මය.

වර්තමාන ජවිපෙය තවදුරටත් විජේවීරගේ පක්ෂය නොවේ -

මේ වනවිට ක්‍රියාත්මක වන ජනතා විමුක්ති පෙරමුණ තව දුරටත් අර විජේවීර හදපු පරණ පක්ෂය නොවේ. පැරණි පක්ෂයේ ආත්මීය වුවමනාව ග්‍රාමීය ජනතාව සමග බද්ධ වුනු දේශපාලනය වුවත් අද ජවිපයේ ආත්මීය උවමනාව වන්නේ නාගරික මැද පංතික ජනතාව සමග බද්ධවූ දේශපාලනය වේ. ඔවුන්ගේ උපාය උපක්‍රම සියල්ල සැකසෙන්නේ ඒ සඳහාය.

ජවිපෙ නායකත්වයේ ආත්මීය වුවමනාව රාජතාන්ත්‍රිකව ජවිපෙය මෙහෙයවමින් නාගරික මැද පාංතික ජනතාව දිනාගැනීම බවට පත්ව ඇත. ඒ සඳහා මේ වනවිටත් ඔවුන් වටා එවැනි උගත් බුද්ධිමත් පිරිස් එකතු කරගනිමින් සිටිති.

රතු කමිසය දැන් නැත.  රතු පැහැය නාගරික මැද පංතියට ගැලපෙන්නේ නැත. ඒ නිසා පසුගිය මැතිවරණ මෙහෙයුමේදී ඒ මෙහෙයුම බාරගත් ප්‍රචාරණ ආයතනය මගින් එය රෝස පැහැයට විතැන් කරන ලදී. කොටින්ම කතා විලාසය පවා වෙනස් කරගැනීමට අද ජවිපෙයට සිදුව ඇත.

rohana 4

ලංකාවේ මැද පන්තික මැතිවරණ විඥානය -

තත්ත්වය මෙසේ වූවත් ප්‍රශ්නය වන්නේ ලංකාවේ මධ්‍යම පන්තික ජනතාවගේ ආත්මීය බැඳීම ජනතා විමුක්ති පෙරමුණ නොවීමය. මෙම මධ්‍යම පන්තිය  හුරුවී ඇත්තේ පක්ෂයකට ආත්මීයව බැඳෙනවා වෙනුවට ජන්දයක් අවස්ථාවකදී කටයුතු කරන්නේ කෙසේද යන්න මතය. එනම් ඔවුන්ට බොහෝදුරට බලන්නේ එම මොහොතේ ජයග්‍රහණය ලැබීමට හැකි කාටද යන්න පමණය. මෙහිදී එවකට පවතින ආණ්ඩුවේ පැවැත්ම ගැටලු සහගත වුවත් එම ආණ්ඩුව පරාජය කිරීමට හැකිවන විපක්ෂයේ පක්ෂයකි. තමන්ට ආණ්ඩුව එපානම් එය පෙරැලීමට හැකි කුමන හෝ පක්ෂයකට ඔවුන් ජන්දය ලබාදී එය බලයට ගෙන එනු ලබයි. මේනිසා විපක්ෂයේ ශක්තිමත් පක්ෂය හෝ කණ්ඩායම ඔවුන්ට අදාල වෙනවා මිස ජවිපෙට කොතෙක් කැමති වුවද එය ඔවුන් අදාල කරගන්නේ නැත.

මේ නිසාම තවමත් ජවිපෙට ජන්දය ලැබෙන්නේ පෙර කී ජවිපෙ සමග ආත්මීයව බැඳුනු සාමාජිකයින්ගේ හා ඔවුන්ගේ පවුල්වල මැදිහත්වීමෙන් පමණි. ඒ සඳහා පසුගිය මැතිවරණ සියල්ල හොදින්ම සාක්ෂි දරනු ලබයි. මේ නිසා ජවිපෙ ජන්දයක් නැති සමයේ විශාල ජයග්‍රහණයක් ලබයි යැයි උපකල්පනය කළද ජන්දයකදී පෙර තිබූ අඩු ජන්ද ප්‍රමාණයම හිමි කරගනිති.

ජවිපෙ 1

මේ මොහොත කියන්නෙම ජවිපෙට ඉතා ගැටළු සහගත තත්වයකි.

එම ගැටළුවට මූලික හේතුව වන්නේම ජවිපෙ ආත්මීයව කැමති නාගරික මැද පංතියට වුවත් ඒ අයට ජවිපේ සමග බැදෙන්නට නම් ජවිපෙට අනෙක් පක්ෂ අභිබවා ජයගත හැකියැයි ඔවුන්ට තහවුරු කළ යුතුය. එවැනි තහවුරුවක් මාධ්‍ය හරහා දීමට ජවිපෙ කෙතරම් උත්සහ ගත්තද මේ මැද පංතික ජනතාව එය තාම විශ්වාස කර නැත. එම නිසා තවමත් ජවිපෙට ලැබෙන්නේ අර තමන් අහිමි කරගනිමින් යන ග්‍රාමීයව ජවිපෙ සමග ආත්මීයව බැදුනු ජනතාවගේ ජන්දයම පමණකි.

ජවිපෙට දෙබිඩි ජිවිතයක් ගත කිරීමට සිදුවීම -

ජවිපෙට මැයි රැලියක් කිරීමට ඒ ජනතාව නැතිව බැරිය.

රැස්වීමකට 5000 ක් ගෙන්වා ගැනීමට සිදුවන්නේ පක්ෂයට ආත්මීයව බැඳුනු ජනතාවගෙනි. උද්ඝෝෂණ, විරෝධතා මේ සියල්ලට පැමිනෙන්නේ මැද පංතිය නොව අන්න අර කියන ග්‍රාමීය ජනතාවයි. එම නිසා දැන් ජවිපෙට සිදුවී ඇත්තේ දෙබිඩි ජීවිතයක් රග දැක්වීමටයි.

එකක් තමන්ගේ ආත්මීය වුවමනාව වුන නාගරික මැද පංතියට අවශ්‍ය ලෙස සහ ඔවුන්ගේ ආකර්ෂණය දිනාගැනීමට අවශ්‍ය ලෙස ජවිපෙය හැදීමත්, අනෙක් අතින් අර පෙර ලෙස ජවිපෙට ආත්මීයව බැදුනු ජවිපේ හැම වැඩකටම සම්බන්ධ වන ග්‍රාමීය ජනතාවට අවශ්‍ය ආකාරයේ ජවිපෙයක් හැදීමත් යන දෙවිදියටම පෙනී සිටීමයි.

නාගරික ජනතාව ආකර්ෂණය කරගැනීම වෙනුවෙන් සියල්ල කරමින් සිටි ජවිපෙට ජන්දයක් මතක් වෙද්දිම ගමෙන් පටන් ගන්නට ඕනේ වෙන්නේ මේ නිසාය. නමුත් මෙය දිගින් දිගටම කල නොහැක. එනම් තම ආත්මීය උවමනාව වෙන එකක්ව තිබියදී හිටි හැටියේ මතක්වී ගමට දිවීම ව්‍යාජ එකක් වීමයි. එම නිසාම ජවිපෙට දැන් තීරණාත්මක මොහොතක් උදාවී ඇත.

 

ජවිපෙ 2

එසේනම් ජනතා විමුක්ති පෙරමුණේ මෙම තත්වය සියුම්ව නිරීක්ෂණය කරන්නෙකුට පැහැදිලි වන්නේ කුමක්ද?

අද වනවිට රටේ සියලු ජනතාව ලිබරල් ආර්ථික මොඩලය විසින් පරිභෝජන වාදය වෙත කැඳවා ඇත. මෙම පරිභෝජනවාදයෙන් ගැලවුනු කිසිවකුත් නැති තරම් ය. මෙම තත්වය තුළ අද දවසේ බොහොමයක් දේශපාලන පක්ෂ හා ප්‍රවාහයන් දිසානත වෙන්නේම මෙන්න මේ කියන ජනතාවගේ පාරිභෝජනවාදී ඉල්ලීම් තව තවත් ඉටු කර දීම හා ඒ වෙත ජනතාව තව තවත් යොමු කිරීම දෙසටය. යම් හෙයකින් යම් දේශපාලන පක්ෂයක් මෙම පරිභෝජනය වෙත ජනතාව යොමුකිරීම නවතා දැමීමට කතා කළහොත් එම පක්ෂයේ දේශපාලනය ඒ මොහොතේම අහෝසි වනු ඇත. මන්ද මේ සිටින ජනතාව කිසි සේත් තම පරිභෝජනවාදය අත් හැරීමට සූදානම් නැති නිසාය. මෙන්න මේ මැද පන්තික ජනතාව යනු පරිභෝජනවාදය තුළ ගෙල වටක් ගිලී සිටින ජන කොටසකි. දැන් ජවිපෙ උත්සාහ කරන්නේ එම මැද පන්තික ජන කොටස දිනා ගැනීමටය. පක්ෂය ඔවුන්ගෙන් පිරවීමටය.

කෙලින්ම පක්ෂය වෙත සම්බන්ධ කර ගැනීමට නොහැකිනම් ඒ අයට එකග විය හැකි ව්‍යූහයක් නිර්මාණය කර එයට හෝ සම්බන්ධ කර ගැනීමටයි. ඒ කියන්නේම ඒ අය සමග එකගව කටයුතු කිරීමට හැකි ලෙස පක්ෂය නිර්මාණය කිරීමටයි.

ඒ අනුව ජවිපෙ මෙම උවමනාව තුලින්ම තව දුරටත් පැරණි විජේවීර නිර්මාණය කල පක්ෂය නොව මේ ලිබරල් දේශපාලනය වඩා හොඳින් කලමනාකරණය කරමින්, සැලසුම් සහගත ලෙස රාජ්‍ය හැසිරවීමට හැකි ජවිපෙයක් බවට දැන් පත්විය යුතුය.

 

ජවිපෙ 3

මේ මොහොත ජනතා විමුක්ති පෙරමුණේ සංක්‍රාන්තික අවදියයි.

එම නිසා එම ආත්මීයත්වය පසෙක ලා ව්‍යාජ ලෙස ජන්දයක් හෝ සෙනග කැඳවීමට අවශ්‍ය තැනදී ගමට දිවීම කිසිම තේරුමක් නැති වැඩකි.

එම නිසාම මේ මොහොතේ ජවිපෙ මෙම සංක්‍රාන්තික අවදියෙන් මිදී ඔවුන්ගේ ඇත්ත ගමන වෙත පිවිසිය යුතුය. එසේ නොමැතිව මේ දෙබිඩි දේශපාලන ක්‍රියාදාමය තුල හෙට දවසේදීත් ජවිපෙ තනියම තරග කරන්නේනම් ඔවුන්ගේ ජන්ද ප්‍රතිශතය අඩු වීම වැලැක්විය නොහැකිය.

ලංකාවේ 'වම' යන්න අළුතින් බිහිවිය යුතු තත්ත්වකි. ඒනිසා ජවිපෙය ව්‍යාජ වාම ලේබලය ගලවා දමා ඒ සඳහා තවදුරටත් පාර අවහිර කිරීමෙන් ඉවත්විය යුතුය.  

 

@සිරිමලී ලියනගම