පින්තුරය: René Magritte. The False Mirror. Paris 1929 

සමහර ස්ත්‍රී හිංසකයන්ගේ විශේෂයෙන් විශ්ව විද්‍යාල ආචාර්ය, මහාචාර්යවරු සහ කළා ක්ශේත්‍රයේ පිරිස් පිළිබඳව වත ගොත දැන දැනත් අප ඔවුන්ව නම් නොකරන්නේ මන්දැයි ඇතැමෙක් අසයි. එය පැනයකට වඩා විවේචනයකි. එනම් සාක්ෂි ඇතිව ස්ත්‍රී හිංසකයන් නම් කිරීම සහ එසේ නැතිව නම් නොකිරීම යනු සාක්ෂි තිබීම හෝ නොතිබීම පිළිබඳ කරුණක් නොව, පක්ෂපාතීත්වයේ ප්‍රශ්නයක් බව නැවතත් සංවාදයක සටහන් වී තිබුණි.

මෙම කරුණ නිසාම ස්ත්‍රී හිංසකයන් නම් කිරීම හෝ නොකිරීම ස්වයං සාධාරණීකරණය නැතහොත් ස්වයං ධර්මිෂ්ටභාවයට (Self Righteousness) අදාළ කරුණක් බවද විවේචනයක් ලෙස ගෙන හැර පායි. මෙම විවේචකයන්ටද තමන්ගේ දේශපාලන ව්‍යාපෘති ඇති බවත් එනම් බළලුන් ලවා කොස් ඇට බෑවීමට දරන උත්සාහයන් ඇති බවත් පසෙකලා මෙම විවේචනය බරපතලව භාර ගත යුතු බව අපගේ අදහසය.

 

ස්වයං ධර්මිෂ්ටභාවය යනු

 

 

ස්වයං ධර්මිෂ්ටභාවය යනු තමන්ට පක්ෂපාතීව යමක් විනිශ්චය කිරීමය. උදාහරණයක් ලෙස මම මට අදාළ නොවන පිලක නැතහොත් මට දුරස්ථ අයෙක් හිංසනයක් හෝ හිරිහැරයක් කළහොත් එය නම් කරන නමුත් මා හිතැත්තෙකු එම හිංසනය කරන විට මම මගේ ඇති පක්ෂපාතීත්වය හෝ මගේ ඇති යාලු මිත්‍රකම්, දේශපාලන සන්තෝසම්, පැරණි හෝ ඉදිරි ජීවන බුදලයන්, අනාගත ප්‍රතිලාභ හෝ දැනට ලබමින් සිටින ප්‍රතිලාභ පිළිබඳ සිතමින් ඔහුව හෝ ඇයව නම් නොකර සිටීම මගින් මා කරන්නේ ස්වයං ධර්මිෂ්ටභාවයක් නඩත්තු කිරීමය.

උදාහරණයක් ලෙස මෑතකදී අපගේ සහෝදරියක් වන අරුණි සමරකෝන් විසින් විශ්වවිද්‍යාලය තුල ක්‍රියාත්මක වන ලිංගික හිරිහැර සහ හිංසනයන් මුලික කොට ලියු ලිපියක විශ්‍රාමික මහාචාර්යවරයෙක් විසින් සිදු කරන ලදැයි කියන ලිංගික හිරිහැරයක් පිළිබදව සඳහන් කොට තිබුණි. එහෙත් එම ලිපියේ අදාළ මහාචාර්යවරයාගේ නම හෝ එසේ චෝදනා කරන ස්ත්‍රියගේ නම සඳහන් නොකරයි. කෙසේ වුවත් එම මහාචාර්යවරයා නම් නොකරන්නේ අදාළ ස්ත්‍රියට ඉදිරිපත් කල හැකි සාක්ෂි නැති නිසා නොව ඉදිරි කාලයේ තමන්ට ලැබීමට නියමිත විශ්ව විද්‍යාල තනතුරක් හෝ වෙනත් ලාභ අපේක්ෂාවක් (සමාජයේ පිළිගැනීම, වින්දිතභාවයට ලක් නොවී සිටීමට ඇති කැමැත්ත ආදිය) නිසා බව ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවකදී අපට අසන්නට ලැබුණි. එය අපට ගෙන ආ චෝදනාවක් විය. ඇත්ත වශයෙන්ම එය බරපතලව භාර ගත යුතු කාරණයකි. මන්ද එය බොරුවක් වීමට ඇති ඉඩ කඩ ඉතා අවම නිසාය.

 

ගීතිකා 2

 

අපි අපිට ලැබෙන සන්තෝසම් නිසා බොහෝ දේ දරාගෙන සිටීම බොරුවක් නොවෙයි. ඒ අතර ස්ත්‍රී ලිංගික හිංසනය වඩාත් ප්‍රධානය. රැකියාව නිසා, අපේ ඉහල අපේක්ෂාවන් නිසා මෙසේ නේක හිංසනයන් දරාගෙන සිටීම සාමන්‍යය තත්වයක් බවට පත්ව තිබෙයි. මෙවැනි අවස්තාවක අපිට කල හැකි කාරණා කිහිපයකි.

  • පළමුව අපගේ හෙළි කිරීම්වල වගකීම සහමුලින්ම භාරගැනීමය.
  • දෙවෙනුව අපගේ පක්ෂපාතීකම් හැකි තාක් හෙළි කිරීමට හා හෙළි වීමට ඉඩ දීමය.
  • තෙවෙනුව ඒ සම්බන්ධයෙන් කතිකාව පෝෂණය කර ගැනීමත්, පීඩකයන් සමගද ගනු දෙණු කල හැකි භාෂාවක් ගොඩ නගා ගැනීමත්ය.
  • අවසාන වශයෙන් කිවහොත් ලෝකය පුරාම මී ටු ව්‍යාපාරයට වූ බරපතල චෝදනාවක් වුයේ දන්නා නොදන්නා විශාල පිරිමින් ප්‍රමාණයක් නම් කරමින් ලිංගික හිංසකයන්ගේ නම් ලැයිස්තු ඉදිරිපත් කරන බවය. ඇත්ත වශයෙන්ම එසේ කිරීම මගින් ව්‍යාපාරය විහිළුවක් බවට පිරිහෙලනු ලැබුවේ නැතුව නොවෙයි.

ගීතිකා 4

 

උදාහරණයක් ලෙස ඉන්දියාව විසින් ඉදිරිපත් කරන ලද ලයිස්තුවේ ඉන්දියානු දේශපාලන විද්‍යාඥයෙක් හා මානව විද්‍යාඥයෙක් වන පා(ර්)තා චැටජිගේ (Partha Chatterjee) නම ඇතුලත්ව තිබුණි. ඔහු එම ලැයිස්තුවට අදාළව තමාට ඉදිරිපත් වී ඇති චෝදනා මොනවාදැයි ප්‍රසිද්ධියේ ඇසුවත් ඒවා මොනවාදැයි කිසිවෙකුත් දැන සිටියේ නැත. එය එතරම් යහපත් තත්වයක් නොවෙයි. එහෙත් එමගින් ඔහු තමන්ගේ සාමන්‍යකරණය වූ චර්යාවන් පිළිබඳව නැවතත් සිතන්නට බල කෙරුනා විය හැකිය. එමගින් අත්පත් වූ වාසිය එයයි.

කෙසේ වුවත් අපි විශේෂයෙන් සාක්ෂි නැති කිසිවකුගේ නමක් සඳහන් නොකරන්නේ පුද්ගල ජීවිත සමග සෙල්ලම් කිරීම අප දේශපාලනය නොවන නිසයි. එසේම අදාළ ස්ත්‍රිය සිය වින්දිතභාවය සලකුණු නොකරන තාක් කිසිවෙකුත් එවැනි නම් කිරීම් නොකළ යුතුය. නම් කිරීම හා ඒ හරහා අදාළ පුද්ගලයා අපහසුතාවයට පත් කිරීම මගින් සිදු කරන්නේ හිංසනයට මග කියූ අදාළ බලයේ කොන්දේසි වින්දිතයා වෙතට ඇද ගැනීමය. එහිදී මෙම නම් කිරීමටත් අදාළ වින්දිතයා සිය වින්දිතභාවයෙන් ගැලවීමටත් කාලය අවශ්‍යය. එයට විශාල ශ්‍රමයක් දැරිය යුතු වෙයි. එම තිරයෙන් පිටුපස කතාව බොහෝ දෙනෙක් නොදන්නා සේය. විශේෂයෙන් ඊට විශාල කාලයක් ගන්නේ වින්දිතභාවයෙන් ගැලවීමට ශක්තිය සහ සහාය ඇති බවට විශ්වාසය ඇති කර ගැනීමට කාලය වැය වන නිසා පමණක් නොව එම හෙළි කිරීම විසින් අචාරධර්ම කඩවීම අවම කිරීමට අවශ්‍යය නිසාය. එය සෙල්ලමක් නොවේ.

 

ගීතිකා 5

 

එසේම අපගේ මී ටු ව්‍යාපාරය යනු ඉහත කී වැරදි හදාගත් එකකි. එය ඉන්දියාවේ හෝ ඇමෙරිකාවේ එකක් නොව එය අපේ අරගලයකි. එහි සුරිය මල් ව්‍යාපාරයේ ස්ත්‍රීන්ගේ සිට මහ පාරේ එදිනෙදා ස්ත්‍රී හිංසනයන්ට හා හිරිහැර සමග හැප්පෙන සහ තමන්ට ලිංගික හිරිහැරයක් වූ බව නිර්දයව ප්‍රසිද්ධියේ සමාජ මාධ්‍යවල ප්‍රකාශ කරන ස්ත්‍රීන්ගේ ව්‍යාපාරයකි.

අප මතක තබා ගත යුත්තේ ‘නම් හෙළි කිරීමෙන් පමණක්’ අපට පරම විමුක්තිය ලබා දෙන්නේ නැති බවය. එහෙත් ඒමගින බලයේ කොන්දේසි හා කන්ඩාංක ස්ථතික නොවන බව අපට මතක් කර දෙයි. ඒ සමගින් අපගේ ශ්‍රමය අප යොදවනුයේ එසේ හෙළි කිරීමට සිදු නොවන සමාජයක් ඇති කිරීම වෙනුවෙනි.