එදා පළ වූ දැන්වීම

රටක් තුළ උප සංස්කෘතියක් සහිත තවත් රාජ්‍යයක් සේ වු දුම්රිය සේවය වැඩ වර්ජන, ඇද වැටීම්, බිඳ වැටීම් නොතකා ගිරිදුර්ග පසු කරමින් දුෂ්කර ගමනක යෙදී සිටී.   

එකී ගිරි දුර්ගයේ අපූරු ලෙස ගමනේ යෙදෙන උඩරට මැණිකේ විටෙක යකඩ ගැහැනියක සේ යැයි මට සිතේ.   

දශක ගණනාවක එහාට දිවෙන රසබර දුම්රිය මතක අතරේ ඇය කාන්තා නම් ලද දෙසොහොයුරියන්ගෙන් දෙපාර්තමේන්තුවට එක් වූ තුන්වැන්නීය. 

මෙම කතාව ලියන දිනය වනවිට වසර 157ක් සපුරණ දුම්රිය සේවයේ උඩරට මැණිකේට ඇත්තේ අවුරුදු 92ක් පුරා පැමිණි රජ ගමනකි.   

එදා මෙදාතුර කාලයේ දුම්රියට පෙම් බඳින පෙම්වන්තුන්ගේ සිත සොරාගත් ඇය උඩරට ගමනට එක්ව ඇත්තේ. 1956 අප්‍රේල් 23වැනිදාය.   

වර්ෂ 1864 දෙසැම්බර් මස 27 වැනි අඟහරුවාදා දින මෙරට දුම්රිය ඉතිහාසයේ මංගල දුම්රිය ධාවනයට කටයුතු කෙරුණේ ටෙක්නිකල් හන්දියේ පිහිටි වර්තමානයේ දුම්රිය කෞතුකාගාරය බවට පත්ව ඇති කොළඹ පර්යන්ත දුම්රිය ස්ථානයේ සිටය. 

 

උඩරට 7

 ආණ්ඩුකාරවරයා පළමු පස් පිඩැල්ල කපමින් ඇරඹි දුම්රිය මග

 

එසේ ඇරඹි දුම්රිය සේවයේ මගී දුම්රිය ගමන සනිටුහන් වනුයේ වර්ෂ 1865දී කොළඹ සිට අඹේපුස්ස දක්වා වූ ගමනය. 

අද වනවිට මංගල ගමන අරඹා වසර 157ක් ගතවී ඇති ශ්‍රී ලංකා දුම්රිය සේවයේ දිනෙකට උපයන ආදායම මිලියන පහළොවකි. පවත්වන දුම්රිය ගමන්වාර ගණන තුන්සීයකට ආසන්න ය. 

ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ ප්‍රථම කාන්තා නාමය හිමිකරගත් දුම්රිය ලෙස රුහුණු කුමාරි දුම්රිය හඳුනා ගැනෙන විට යාල් දේවිය කාන්තා නම් ලද මද්දුමීය විය. උඩරට මැණිකේ කාන්තා නම් ලද තුන්වැන්නීය වූවාය. 

උඩරට මැණිකේ පිළිබඳ තතු සොයා ඒ පිළිබඳ දැනුමෙන් යුතු විවිධ පුද්ගලයන් හමු වීමු. 

ඒ අනුව අපි මුලින්ම මරදාන නියෝජ්‍ය ගමනාගමන අධිකාරි කාර්යාලයේ දුම්රිය ස්ථානාධිපති නලීන් අබේසිංහ මහතා හා සම්බන්ධ වුවෙමු. 

නම කිවු පමණින් බොහොමයක් දුම්රිය ලෝලීන් හඳුනන දුම්රිය අතීත කතා පිළිබඳව පොත් කිහිපයක් එළි දැක්වූ ඒ මහතා සතු අතීත තොරතුරු සහ සංරක්ෂිත ඡායාරූප දෙස බැලු‍ කල නලින් අබේසිංහ මහතා ද දුම්රිය මතක පිරි ඇවිදින පුස්තකයක් බඳුය. 

ජාතික ලේඛනාරක්ෂක දේපාර්තමේන්තුවේ සංරක්ෂණය කර ඇති ඉපැරණි පුවත් වාර්ථා සහ පොතපත ඔස්සේ ඒ මහතා සොයාගිය තොරතුරුවලට අනුව නම් උඩරට මැණිකේ බිහිව ඇත්තේ මෙසේය. උඩරට මැණිකේ කලඑළි බහින්නේ මංගල දුම්රිය ගමන සිදු වී වසර අනූ දෙකකට පසුවය. 


Ceylon Governmnt Railway නොහොත් ”‍ලංකාණ්ඩුවේ දුම්රිය මාර්ගය ”‍ ලෙසින් ප්‍රචලිතව ජනතාව අතර කුතුහලය දැන වු දුම්රිය ප්‍රවාහන සේවයේ සීග්‍රගාමී මගී දුම්රිය සේවාවන් ආරම්භ කිරීමට අවධානය යොමු වන්නට වුවේය. 

ඒ අනුව 1953 වර්ෂයේ සිදුකළ විවිධ සාකච්ඡාවන්වල ප්‍රතිඵලයක් ලෙස Ruhunu Express Yalpanm  Express Mahanuwera  Express යන නම් ලබා ආනයනය කරනු ලැබූ Class M1 වර්ගයේ ඩීසල් දුම්රිය එන්ජින් මගී ගමනට එක් විය. 


කොළඹ ක්‍රමය යටතේ (Colombo Plan) කැනඩාවෙන් මෙරටට ආධාර ලෙස Class M2 වර්ගයේ දුම්රිය එන්ජින් 05ක් 1954 වර්ෂයේ ලැබීමත් සමග දුම්රියේ ගමන් මග තව තවත් ජවසම්පන්න වන්නට වූවාය. 
වාෂ්ප එන්ජින්වල ඇති බලය අතික්‍රමණයකරමින් ඩිසල් එන්ජිම සීග්‍ර ලෙස මගී ප්‍රවාහන පහසුකම් සපයමින් තරඟකාරී ලෝකය තුළ පෙරළි කරන්නට වූයේය. 

 

උඩරට 4

පැරණි දුම්රිය නැවතුම්පොළ


ආණ්ඩුකාරවරුන්ගේ නම් වලින් ලියැවුන දුම්රිය ඇන්ජින් ඉතිහාස කතාවට රුහුණු කුමාරි යන හැඳින්වීමෙන් යුතු මුල්ම කාන්තා නාමය ලැබූ දුම්රිය එකතු වූවාය. 

දකුණු ලකේ අනන්‍යතාව හැඟවෙන ආකාරයට නම් ලද රුහුණු කුමාරිය 1955 ඔක්තෝබර් 24 වන දින දුම්රිය ගමනට එක්වුවාය. 

නලීන් අබේසිංහ මහතා ඉපැරණි පුවත් ගවේෂණය කර සොයාගත් දුම්රිය තොරතුරු වලට අනුව රුහුණු කුමාරිය යනු ලාංකික අනන්‍යතාව හැඟවෙන ආකාරයට කාන්තා නම් ලද ප්‍රථම දුම්රියයි. 

දුම්රියේ ඉතිහාස තොරතුරුවල එකම දිනයකදී ප්‍රියංකර සොහොයුරියන් තිදෙනෙකුගේ ගමන් ඇරඹීමක් ගැන කතා පැවතුනද මෙය සාවද්‍ය මතයකි. 

එහි සත්‍ය කතාව නම් රුහුණු කුමාරිය යනු කාන්තා නම් ලද ප්‍රථම දුම්රිය ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවේ ධාවනයට එක්වූ ලොකු අක්කාය. 


අගමැති සර් ජෝන් කොතලාවල මහතාගේ සහ ගමනාගමන ඇමති මේජර් මොන්ටේගු ජයවික්‍රම මහතාගේ මැදිහත්වීමෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී රම්පාල මහතාගේ කාලයේ රුහුණූ කුමාරි දුම්රිය ගමනට එක්වූවාය. රුහුණු කුමාරි ඇරඹී මාස 06කට පසු එනම් 1956 අප්‍රේල් මස 23 දා දුම්රිය පවුලේ දෙවැනියා ලෙස කාන්තා නම් ලද මද්දුමී වන ”‍යාල් දේවි සහ තුන්වැන්නිය වන උඩරට මැණිකේ දුම්රිය සේවයට එක් විය. 


උඩරට අනන්‍යතාව හැඟවෙන ආකාරයට උඩරට යන දුම්රිය උඩරට මැණිකේ ලෙසත් වැඩි දමිළ ජනතාවක් වෙසෙන උතුරු දෙසට යනෙන දුම්රිය යාපනයේ කාන්තා අනන්‍යතාව සිහිගන්වමින් යාල් දේවි ලෙසත් නම් තැබු බව ඇතැම් තොරතුරු මතින් හෙළිවන කාරණයකි 

 

උඩටර 2

උඩරට මැණිකේ සඳහා යොදා ගත් 572 British Columbia එන්ජින් කැනඩාවෙන් මෙරටට ගෙන ඒමට සුදානම් කරමින් 

 M2 569 Ontario දුම්රිය එන්ජිම යොදා යාල්දේවි දුම්රිය ඇරඹි අතර උඩරට මැණිකේ දුම්රිය සඳහා රුහුණු කුමාරි ධාවනයට මුල්ම වරට යොදාගත් M2 572 British Columbia දුම්රිය එන්ජිම යොදා ගත් බව අතීත තොරතුරුවල සඳහන්ය. 


ඒ අනුව කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන සීග්‍රගාමී උඩරට දුම්රිය සේවාවක් ද යාල් දේවී යන නමින් හැඳින්වෙන කොළඹ සිට කන්කසන්තුරේ බලා යන සීග්‍රගාමී උතුරු දුම්රිය සේවයක් ද එසේ ඇරඹෙන විට විට 1955 ඔක්තෝබර් 24 දින එනම් මාස 06කට පෙර ඇරඹි මාතර බලා ගමනේ යෙදි සිටි රුහුණු කුමාරී ද නව කාල සටහනකින් සේවාවේ යෙදවීමට එවකට ගමනාගමන ඇමතිවරයා ලෙස සිටි මෛත්‍රීපාල සේනානායක මහතා පියවර ගත්තේය. 


ඒ අනුව පියංකර සොහොයුරියන් තිදෙනෙකු දුම්රිය ගමනට යන මැයෙන් දැන්වීමක් පුවත්පතක පළ වූවාය. 
දැන්වීමක එසේ තිබුණ ද උඩරට මැණිකේ, යාල්දේවි එකට ගමන් ආරම්භ කළ බව ලියැවුනු පුවත් වාර්තාවල රුහුණු කුමාරි මංගල ගමනට එක් වූ බවට ස‍ඳහනක් නැත. 

 

උඩරට 6

උඩරට මැණිකේ කඳුකරයේ තම දුම්රිය ගමන සිදු කරන අතරතුර


උඩරට මැණිකේ සහ යාල්දේවි දුම්රිය දෙකත් රුහුණු කුමාරි දුම්රියත් ආණ්ඩු දෙකක ඇමතිවරුන් දෙදෙනෙකු විසින් ජනතා අයිතියට පත්කළ සේවාවකි. අශ්ව රේල්ලු‍ව, ගෑස් ලාම්පුව, ගැල් කරත්තය, යකඩ යකා, ට්‍රෑම් කාර්, යකඩ පාලම්, ඩක්කුව හා බැඳුණු අපූර්වත්වයෙන් පිරි මඟ සලකුණු පසුකර උඩරට මැණිකේ අද දක්වා පැමිණි ගමනේ යොදාගත් එන්ජින් ගැන රසබර මතකයක් රැගෙන යළි හමුවෙමු. 


විශේෂ ස්තුතිය  - මරදාන නියෝජ්‍ය ගමනාගමන අධිකාරි කාර්යාලයේ දුම්රිය ස්ථානාධිපති නලීන් අබේසිංහ මහතාට, දෙමටගොඩ ජල ශක්තිය ධාවනාගාරයේ ප්‍රධාන අධීක්ෂණ කළමනාකරු සනත් තෙන්නකෝන් මහතාට. 

සටහන/ ඡායාරූප
රේඛා තරංගනී ෆොන්සේකා

Lankadeepa.lk  

නවතම ලිපි