අපි මේ කතාව මාර්ටින් වික්‍රමසිංහගෙන් පටන් ගමු. සිංහල සංස්කෘතියේ පැතිමාන ගැන ඔහුගේ පොතේ වික්‍රමසිංහ මෙහෙම සඳහන් කරනවා:

ඕනෑම ආයතනයක හෝ සම්ප්‍රදායක ජරාජීර්ණ වීමෙන් අදහස් වන්නේ එය වෙනස් වන සමාජය සමඟ වෙනස් වීමට අපොහොසත් වී ඇති බවයි. එසේ ජරාජීර්ණ වීම වෙනස්කම්වලට අනුගත වීම වෙමින් හොඳින් ක්‍රියාත්මක වීමට කිසියම් ආතනයක් අපොහොසත් වීම පිළිබඳ දෘශ්‍යමාන සාක්ෂියක්. (120)


එබඳු අවස්ථාවක දී එවැනි ආයතනයකට කළ හැකි දේ දෙකක් ඔහු යෝජනා කරනවා: එවැනි වෙනස්කම්වලට අනුගත වෙමින් එම ආයතනය වෙනස් වීම හෝ එම ආයතනයට ගැලපෙන ලෙස එය පවතින පරිසරය සකස් කිරීම. මේ දෙවැන්න ටිකක් කරන්න අමාරු දෙයක්. ඒ නිසා ඔහු පෙන්වා දෙනවා පළමුවැන්න තමයි වෙනස්වන යථාර්ථයන් තුළ නොනැසී පැවැත්ම සඳහා කිසියම් ආයතනයකට හෝ සම්ප්‍රදායකට වෙනස්වන පරිසරයට අනුගත වීමයි කළ හැක්කේ කියා. එහෙත් මෙතැනදී ප්‍රශ්නය වන්නේ එම වෙනස් වීම කරන්නේ කෙසේද යන්න. මේ සඳහා ඔහු ඉදිරිපත් කරන උදාහරණයයි අපට අපගේ මාතෘකාවට වඩාත් වැදගත් වන්නේ.

ඔහු ඊට දෙන උදාහරණය වන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව. ඔහු පවසන්නේ ආයුර්වේදය තාර්කික වුනේ වෛදික උපනිෂද්වල එන ගුප්තවද්‍යාත්මක දර්ශනයේ සන්දර්භය තුළ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ජීව විද්‍යාව පිළිබඳව ඉදිරිපත් කරන අදහස තාර්කික වන්නේ එම උපනිෂද් දර්ශය තුළ බව. එහෙත් වර්තමානයේදී ආයුර්වේද වෛද්‍යවරුන් වෙද නලාව සහ ක්විනින් පෙති සිය ප්‍රතිකර්මවල භාවිතා කරනවා. වික්‍රමසිංහ පවසන්නේ එයින් සිදුවිය හැකි දෙය වන්නේ කලක් ගතවන විට ආයුර්වේද විද්‍යාව බටහිර වෛද්‍ය විද්‍යාව විසින් අවශෝෂණය කරගනු ඇති බවයි.


අපි අද දන්නා කාරණාවක් නම්, ආයුර්වේදය එහෙම සම්පූර්ණයෙන්ම බටහිර වෛද්‍ය විදයාවට අවශෝෂණය නොවුනු බව. එහෙත් අපට තවමත් වික්‍රමසිංහ මතු කරන මූලික ගැටලුවට, ඒ කියන්නේ වෙනස්වන සමාජ පරිසරයක් තුළ ආයුර්වේදය වැනි පැරණි විද්‍යාවක් විසින් දරන ස්ථානය කුමක් වනු ඇතිද යන්න පිළිබඳ ප්‍රශ්නය. හුඟක් වෙලාවට අපේ සමාජ උත්සහ කරන්නේ එවැනි ආයතනවල පැරණි වටිනාකම් ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරගන්න. ඒත් වෙනස් වන සමාජ පරිසරයත් සමඟ එහෙම කරන්න බැරි වුනත් ඒවා පුනර්ජීවය කිරීමට උත්සහ කරන අය, ඒවා කිසියම් නොඉඳුල් පිරිසිදු විෂයයන් ලෙස පවත්වා ගැනීමට උත්සහ කරනවා. විශේෂයෙන්ම බටහිර විද්‍යාව හරහාම ගොඩනැගී ඇති විකල්ප වෛද්‍ය ක්‍රම වැනි දේ ගැන ඇති අදහස නිසා, ඒවා විකල්ප ප්‍රතිකාර ක්‍රම හැටියට දිගටම පවතිනවා. එහෙත් ඒ වෙනුවට අපට අද වෙනස් ක්‍රියාවළියක් දකින්නට පුලුවන්. සංස්කෘතික පුනරුදයක් වෙනුවෙන් මුල් කාලයේදී වැඩ කළ අයට සිදුවනවා විශේෂයෙන්ම දේශීය සංස්කෘතික දැනුම් පද්ධතීන් පිළිබඳව කිසියම් රොමෑන්තික චිත්‍රයක් ඇති කිරීමට. ඒ තමන් ප්‍රතිජීවනය කිරීමට උත්සහ කරන ආයතනවල ඊටම සුවිශේෂී වූ වටිනාකමක් ඇති බව තහවුරු කිරීමට.

අවිද්යාව 1


එහෙත් අදවන විට සිදුවෙමින් තිබෙන්නේ වික්‍රමසිංහ පැවසූ ආකාරයට බටහිර වෛද්‍ය ක්‍රම තුළට මෙම දේශීය දැනුම් පද්ධතීන් අවශෝෂණය වීම නෙවෙයි. අපි දන්නවා අද සමාජය විික්‍රමසිංහ ලියූ සමාජයට වඩා බොහෝ වෙනස් බව. විසිවන සියවසේ මුල් භාගයේදී ප්‍රධාන බලය දැරූ දැනුම් පද්ධතිය වුනේ බටහිර තර්ක බුද්ධිය මත පදනම් වූ බුද්ධිවාදය එහෙමත් නැත්තම් ප්‍රබුද්ධත්වයේ අදහස්. වික්‍රමසිංහගේ බොහෝ රචනා ලියවෙන්නේත් මේ බුද්ධිමය නිම්වළලු තුළ.

එහෙත් වර්තමානය වන විට අපට පෙනෙනවා මේ ප්‍රබුද්ධවාදී අදහස් වෙනුවට සමාජ-ආර්ථික වශයෙන් බලවත් ව්‍යුහය ලෙස වෙළඳපොල තර්කනය මතු වී ඇති බව. වෙළඳපොල සිතීමක පදනම වන්නේ ප්‍රාග්ධනය. අපි දන්නවා ධනවාදී ක්‍රමයක පදනම ප්‍රාග්ධනය සහ එය මූර්තිමත් කරන වෙළඳ භාණ්ඩය බව. වික්‍රමසිංහ එදා නොදැකපු විදිහට අද තවත් බොහෝ දේ අතර දැනුමත් හුවමාරු භාණ්ඩයක් බවට පත් වෙලා තිබෙනවා. මේ වෙළඳපොලකරන ප්‍රවාහයට හසුවී ඇත්තේ තාර්කික බුද්ධිය මත පදනම් වූ දැනුම පමණක් නෙවෙයි. අපි අර කලින් කතා කරපු විකල්ප දැනුම් පද්ධතීන් ද මේ ක්‍රමය ඇතුළේ හුවමාරු භාණ්ඩයක් බවට පත් වෙනවා.

 

අවිද්යාව 2

එතැනදී එම දැනුම තර්ක බුද්ධියට අදාළ ද නැද්ද කියන එක එතරම් වැදගත් නැහැ. එය තාර්කික වන්නේ කුමන දාර්ශනික දැනුම් පද්ධතිය කියන එක වැදගත් නැහැ. අපගේ සමාජ ක්‍රමය තුළ හුවමාරු කළ හැකි ඕනැම දෙයක් වෙළඳපොලකරණය කිරීමට පසුබට වෙන්නේ නැහැ. ඒ වෙනුවට, අප ඉහතින් සඳහන් කළ විකල්ප දැනම් පද්ධතීන් ද වෙළඳපොලකරණයට ලක් කරනවා. අපි කොරෝනාවට අදාළ අපි අවිද්‍යාව විදිහට දකින දෙය තේරුම් ගත යුත්තේ මිත්‍යා විශ්වාසයකට වඩා, අතීතයේ පැවති, පිළිගතහැකි ලෙෂ වර්තමාන සිතීමට අනුව වෙනස් වීමට නොහැකි වූ දැනුම් පද්ධතීන් දක්ෂ සහ සූක්ෂම වෙළෙන්දන් අත හුවමාරු භාණ්ඩ බවට පත්වීමක් විදිහටයි. මේ ක්‍රියාවළිය තමයි අපි අද ටිකක් සවිස්තරව විග්‍රහ කිරීමට උත්සහ කරන්නේ.

තාර්කිකත්වය සහ තාර්කික ඇසකින් ගැටලු විග්‍රහ කිරීමේ විධික්‍රම: 

මොකක්ද යමක් තර්ක බුද්ධියට පිළිගත හැකියි කියන්නේ. පළමුවැන්න තමයි කිසියම් සිදුවීමක එහෙමත් නැත්තම් අදහසක හේතුඵලවාදයක් තිබීම. එනම් කිසියම් තත්ත්වයක් ඇතිවී ඇති හේතුව ගැඹුරින් සොයා බලා එම හේතු සහ එහි ඵලය අතර විග්‍රහ කරගැනීමට ඇති හැකියාව. දෙවැන්න තමයි ඉන්ද්‍රිය-ප්‍රත්‍යක්ෂභාවය. එනම් යම්කිසි දෙයක ඇත්ත නැත්ත අපට ඉන්ද්‍රිය-ගෝචර ආකාරයට දැනගත හැකි වීම. මේ ආකාරයට තර්ක බුද්ධියෙන් අපි ප්‍රශ්නයක් දිහා බලද්දි අපට එහි ගැටලු පෙනෙනවා. අපි එම තේරුම් ගැනීම මත පිහිටා ප්‍රශ්නයට විසදුම් වගේම වඩා තාර්කික මානවවාදී පිළිතුරු හොයනවා. බලන්න බුද්ධ පූජාව ගැන අසූව දශකයේ ලියවුනු මෙම ගීතය:


බෝ මැඩ වගරන කිරිකල දහසින්
වැලි මලුවේ කිරි දියර ගලා යයි
ඉන් එක කිරි කඳුලක් පින්වතුනේ
කිරට හඬන මගෙ බිළිදුට දුන මැන


මේ තර්ක බුද්ධිය සහ සියුම් මානීවීයත්වය එක්වුනු තැන නිර්මාණය වුනු ගීතයක්. පූජාසනවල නරක්වෙන කෑම කන්න නැති කෙනෙකුට දෙන්න කියා එහි ඉල්ලා සිටිනවා. දැන් මේක හරිම මානුෂික වගේම තාර්කික ඉල්ලීමක්. මේක තමයි ප්‍රබුද්ධත්වයෙන් ප්‍රභවය වුනු චින්තන ධාරාවන්ගේ ඇති බුද්ධිමය වගේම මානවීමය ගුණය.

ඔබට මතක ඇති රබින්ද්‍රනාත් තාගෝර්ගේ කවියකත් මේ වගේ අදහසක් තිබෙනවා“

පටු අදහස් නම් පවුරින් ලෝකය කැබලිවලට නොබෙදී
ඥානය නිවහල් වී
බියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොහිදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනි
සත්‍යය පතුලින් ගලනා පිරිසිදු වචන කොහිද ඇත්තේ
ගතානුගතිකව පැවතෙන සිරිතේ මරුකතරට වැදිලා
නිර්මල ජල ධාරාව තර්කයේ සිඳී බිඳී නොගියේ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනි

මේ එදා දේශීය සංස්කෘතීන් ආරක්ෂා කරගැනීමට, ඒවායේ පුනර්ජීවනයට මහත් සේවයක් කළ මිනිසුන් ප්‍රාර්ථනා කළ ස්වර්ග රාජ්‍යය.


ඒත් මම හිතන්තේ ඔබ මාත් එක්ක එකඟ වේවි අපි අද ජීවත්වන්නේ බහුතරයක් දෙනා මෙහෙම හිතන සමාජයක නොවන බව. අද තර්ක බුද්ධිය, නිවහල් සිතීම බොහෝ දෙනා සලකන්නේ හරිම පසුගාමී, කරදරකාරී සීයට තුනේ අශුභවාදී චින්තනයේ කොටසක් විදිහට. කොහොමද අපේ සමාජය මේ තත්ත්වයට පත් වුනේ?


අපේ සමාජය මෙතරම් බුද්ධි-විරෝධී ඇයි? මේ බුද්ධි-විරෝධය ස්ත්‍රීන්ට බලපාන්නේ කොහොමද?

අවිද්යාව ගැහැණිය 1


සම්ප්‍රදාය විතරක් නෙවෙයි අවිද්‍යාවත් හුඟක් වෙලාවට ගමන් කරන්නේ ස්ත්‍රීන්ගේ කරපිටින්. ගැහැනුන් අඳින ඇඳුමේ ඉඳලා සෑම දෙයක්ම ඔවුන්ගේ සංස්කෘතියේ සංකේත බවට පත් කරනවා. වෙනස් වෙන්නට, නිවහල් වෙන්නට බැරිවුන සංස්කෘතියක හෙළුව වහගන්න පිරිමින් උත්සහ කරන්නේ ගෑනුන්ට සාරි අන්දලා, එහෙම නැත්තම් ඔවුන්ගේ ඔලුවේ ඉඳලා දෙපතුල වෙනකම් අවරණය කරලා, ඒත් වඩා බරපතල දෙය වන්නේ සංස්කෘතිය තව දුරටත් අහිසක දෙයක් නොවන බව. සමාජ අර්බුද, ආර්ථික අර්බුද මේ හැම දෙයක්ම වහගගන්න උත්සහ කරන්නේ ස්ත්‍රීන්ගේ, විශේෂයෙන් පීඩිත ස්ත්‍රීන්ගේ චර්යාවන් අපහාසයට ලක් කරලා. මිනිස්සු සමාජය ඇතුලේ අසරණ වුනාම ඔවුන්ව මිත්‍යාවන්ගෙන් වැසීමෙන් ඒ සැබෑ සමාජ ප්‍රශ්න යටපත් කරන්න පුලුවන් වෙනවා.


විකල්ප හෝ වෙනස් දැනුම් පද්ධතීන් ගැන අපි සිතිය යුත්තේ කොහොමද?
අපගේ තර්ක බුද්ධියට හෝ ඉන්ද්‍රියගෝචර යථාර්තයට හසු නොවන දෙය මත්‍යාවක් ද? මේක අපි ටිකක් පරිස්සමෙන් හිතන්න ඕනි කාරණයක්.

අවිද්යාව ගැහැණිය 4


කිරි අම්මාවරු දනට වඩිනවා
කිරි සුවඳයි මුළු ගම්මානේ
අම්මා ඇයි ඒ දනට නොයන්නේ නාසන් පුතනුවනේ
මා සිත රිදෙන නිසා

දැන් මේ ගීතයේ කතා කරන්නේ අපේ සම්ප්‍රදාය ඇතුළේ තියන තවත් සම්ප්‍රදායක් ගැන. පත්තිනි ඇදහිල්ලේ කොටසක් වන කිරි අම්මා දානයේදී කිරිමවුවරු එකතු වෙලා පත්තිනි පූජා පවත්වලා දරුවන්ට, විශේෂයෙන් රෝගී දරුවන්ට අපල ඇති දරුවන්ට සෙත් පතනවා. දැන් මේ වගේ විශ්වාසයක් අපිටඅර කලින් කියපු ඉන්ද්‍රය ගෝචර තර්ක බුද්ධියෙන් තේරුම් ගන්න බැහැ. ඒත් ඒ තුළ තිබෙනවා සාමූහික බව. කෙනෙක් මවක් වන්නේ තමන්ගේ දරුවාට පමණක් නෙවෙයි. ඔනෑම දරුවෙකට ඕනෑම මවකට මවක් වන්න පුලුවන්. ඒ වගේම අපේ සමාජය පෝෂණය කරන, ආරක්ෂා කරන ස්ත්‍රිය මූලික කරගත් සාමූහික සම්ප්‍රදායක්. ඒ සාමාන්‍ය සම්ප්‍රදාය තුළ අපි දකින වටිනාකම. එහෙත් මේ ගීතය අපිට ඊටත් එහාට හිතන්නට පොළඹවනවා“මවක් වන්නට දරුවන් වදන්නම, ලේ කිරි කරන්නම ඔිනිද? මේක සිය දහස් කිරිමවුවරු යළිත් අපගේ සමාජය අපගේ දරුවන් ආරක්ෂා කරගැනීමට පත්තිනි සළඹ අතට ගතයුතු කාලයක්.


ඒත් අද මෙම සම්ප්‍රදායන්ගේ තිබූ සාමූහික මානවීය ගුණය අතුරුදහන් වෙලා තිබෙන්නේ ඒ සම්ප්‍රදායන් බිහිවූ සමාජයේ තිබූ හර පද්ධතීන් වෙනස් වෙලා නිසා කියා මම යෝජනා කිරීමට කැමතියි. අප සම්ප්‍රදායයන් ඒවා වෙනුවෙන්ම තියා ගන්නවා වෙනුවට, ඒ සම්ප්‍රදායයන්ට අර්ථය දුන් සමාජ වටිනාකම් තේරුම් ගැනීමට අවශ්‍යයි. කාලි හෝ රාවණා පැණියක් පෙන්වා මාධ්‍යවලින් අපේ ඇස්වලට වැලිගසා අපට අමතක කරවන්නට උත්සහ කරන්නේ, අපි අද ජීවත් වන්නේ නග්න ස්වාර්ථය පමණක්ම ඉලක්ක කරගත්ත සමාජයක හුදෙකලා වෙලා ජීවත් වන බව නොවේද?

සම්ප්‍රදායික දැනුම තුළ ඇති සාමූිකත්වය සහ පරිසරය පිළිබද ඇති දැනුම අපට නොතකා හරින්නට බැහැ. උදාහරණයක් ලෙස අපට බංගලාදේශයේ නයක්‍රීශී ව්‍යාපාරය හඳුනාගන්නට පුලුවන්. එහ සටන් පාඨය වූයේ“සහෝදරියනි, බීජ ඔබ අතේ තබාගන්න” යන්නයි. හරිත විප්ලවයේ ප්‍රධාන වින්දිතයන් වූ ගෙගාවියන්ට ඉහල කෘෂිරසායන ද්‍රව්‍ය යොදා නොගෙන වගාකළහැකි බීජ එම ප්‍රජාවන් අතරම විශේෂයෙන් ස්ත්‍රීන් අත තබා ගැනීමෙන් ගංවතුර හෝ වෙනත් ව්‍යසන කාලවලදී ගොවියන් ආරක්ෂා කරගැනීමට හැකි වූවා.


තවත් උදාහරණයක් වන්නේ 2019 ඔිස්ට්‍රේලියාවේ ඇති වූ ලැව්ගිනි පාලනය කිරීමට එම මහාද්වීපයේ ස්වදේශික ජනයා සතුව තුබූ ලැව්ගිනි පරිපාලනය කරගැනීමට ඇති දැනුම සම්බන්ධ කරගැනීම. ස්වදේශිකයන් පාලනය කරන තත්ත්වයන් යටතේදී ගිනි ඇති කරනවා. එහෙත් එසේ කරන්නේ ඒ ලාපයේ ඇති භෝග, සතුන්ගේ චර්යා සහ පැටවුන් ලබන කාලය යනාදී එකිනෙක හා බැඳුනු පරිසර පද්ධතිය ගැන සියුම් සැලකිල්ලක් දක්වමින්’. බොහෝ ස්වදේශීය සංස්කෘතීන් තුළ පරිසරය සහ සතුන් සළකන්නේ ඥාතීන් විදිහට. තාර්කිකව බැලුවිට අපට එය විහිලුවක් වේවි. එහෙත් පරිසරය සහ සතුන් සමඟ පමනක් නොව සමස්ත පරිසර පද්ධතිය සමඟ ඇති අපගේ ඥාතීත්වය මේ කොරෝනා කාලයේදී ඉතාම පැහැදිලියි. අප අවිද්‍යාව වශයෙන් හඳුනාගත යුත්තේ හුදෙක්ම අපගේ දැනුම් පද්ධතිය තුළ අතාර්කිකවන දෙය නොවෙයි. ඇතැම් විටෙක ඒවා තුළ අප නොදකින වෙනස් දර්ශනයක් ගැඹුරක් තිබිය හැකියි.


අද අපව වෙළා සිටින මිත්‍යාවන් අප තේරුම් ගන්නේ කොහොමද?


දැන් අපි දන්නවා විද්‍යාව සහ අවිද්‍යාව අතර වෙනස ඇඳෙන්නේ අප විද්‍යාත්මක යයි සලකන මිනුම් දඩ මොනවාද කියන එක මත කියලා. එයන් අදහස් වෙනවාද අප සම්පූර්ණයෙන් ඕනෑම අදහසකට, බැලූ බැල්මට අවිද්‍යාත්මක දෙයට නතු විය යුතුයි කියා? ඊට වඩා වෙනස්, සබුද්ධික මාවතක අපට යා හැකිද?


පළමුවෙන්ම අප කළ යුත්තේ කිසියම් විශ්වාසයක් මතු වන්නේ කුමන දැනුම් පද්ධතියක් මත පිහිටුවාද යන්න සොයා දැන ගැනීමයි. එම දැනුම් පද්ධතිය අදටත් වලංගුද? කාලි/රාවණ පැණිය සහ ස්වදේශික ජනයාගේ පරිසරය පිළිබඳ දැනුම, සාමූහිකත්වය පිළිබඳ දැනුම් පද්ධතීන් කැටිකළ සම්ප්‍රදායයන් අතර වෙනසක් තිබේද?

 

අවිද්යාව ගැහැණිය 3

පැහැදිලි වෙනසක් ඇත. පළමුවැන්න එක් දැනුම් පද්ධතියකින් ගලවා ගත් අදහසක් වෙළඳපොල තර්කයක් මත ක්‍රියාත්මක වී විශ්වාසය හුවමාරු භාණ්ඩයක් බවට පත් කරයි. දෙවැන්න පරිසරය සහ මනුෂ්‍යයා අතර සම්බන්ධය පිළිබඳ සාකල්‍යවාදී දර්ශනයක් ඉදිරිපත් කරයි. දෙවනුව අප කළ යුත්තේ අප මේ විශ්වාස වෙළඳපොලට හසු වන්නේ අප මෝඩයන් නිසාද යන ප්‍රශ්නය ඇසීමයි. එක් අතෙකින් කෙළවරක් නොපෙනෙන අසරණකමත්, අනෙක් අතින් විශ්වාස කිරීමට කිසිවක්ම අහිමි වී ගිය සමාජයක මිනිසුන් පිදුරු ගහක එල්ලෙමින් සිටිනවාද? නැතිනම් අප මනුෂ්‍ය ප්‍රගමනයේ පසුපසට යමින් සිටිනවාද? වෙළඳපොල විසින් නග්න ස්වාර්ථය පමණක් ඉතිරි කළ අප බොහෝ දෙනා බෙලහීන කරන ආර්ථික ක්‍රමයක සහ සාමූහික එකඟතා බිඳ දමන සුලු සමාජ දේශපාලන පද්ධතියක ජීවත්වන මිනිසුන් විශ්වාස වෙළඳපොලෙහි පාරිභෝගිකයන් බවට පත්වීමක් ලෙයසි මා එය දකින්නේ. පීඩිතභාවයෙන් මිරිකුණු මිනිසුන් හිස් තිර පිටුපස දෙවියන් සොයමින් සිටින්නේ ඒ නිසා ය. දෙවියන් ඇදහීමට තිබූ සියලු කොන්දේසි අහිමි වී ගිය පසු අපට ඉතිරිවන්නේ දාහේ කොලේකට විභාග පාස්කරන තුට්ටු දෙකේ දෙවිවරු ය. අද යුගයේ විද්‍යාව වන්නේ මේ විශ්වාස වෙළඳපොලේ තර්කය දැකීමයි. වෙළඳපොලකරනය කළ නොහැකි විශ්වාස, දෙවියන් සදිසි මිනිසුන් ගොඩනැගීමයි.


පැණි බොමු ද? ඒ හුදෙකලා මාර්ගයේ ගමන් කරමුද? තාගෝර්ගේ ගීතයකින් මෙම ලිපිය අවසන් කරමු.

අවිද්යාව ගැහැණිය 5

කිසිවෙකු ඔබගේ හඬට සවන් නොදේ නම්
හුදෙකලාව ඉදිරියටම ගමන් කරන්න
තනිව ගමන් කරන්න

සැවොම නිහඬ වුවහොත්,
මා අවාසනාවන්ත මිතුර,
හඬ නැගීමට නිර්භය එක් අයෙකුවත් නොසිටියහොත්,
සැවොම බියෙන් ඉවත බලන්නේ නම්
විවෘත හදවතකින්
හැකි තරම් හඬ නගා තනිවම නිදහස්ව කතා කරන්න

සැවොම බියෙන් ඉවත හැරී යන්නේ නම්
මගේ අවාසනාවන්ත මිතුර
සියලු දෙනා පළා යන්නේ නම්
දුෂ්කර මාවතේ ගමන් කරනා විට
කිසිවෙකු හැරී ඔබ හා නොඑන්නේ නම්
මඟ රැඳුනු කටු නොතකා
ලේ වැකුණු දෙපයින් ඒවා බිඳලමින් ඉදිරියටම ගමන් කරන්න

කිසිවෙකු එළියක් නොදල්වන්නේ නම්
අවාසනාව දරා උපන් මිතුර
කුණාටු රැයක සියලු දෙනා ඔබට දොර වසන්නේ නම්
අකුණු සැරයෙන් සිරුර දල්වා
තනිව මඟ ආලෝකවත් කරන්න

තාගෝර්

 

තමා කිසිදිනෙක සෙවණ නොලබන ගස් සිටුවන මිනිසා ජීවිතය තේරුම් ගැනීමට ආරම්භ කර ඇත.

 

ප්‍රභා මනුරත්න

නවතම ලිපි