යාල ජාතික වනෝද්‍යානය තුළ වෙසෙන අලි පැටවුන් කුසගින්නේ මියයන බවත් පසුගිය පහළොස් වසර පුරාම මෙම අනුවේදනීය තත්ත්වය පැවතුනු බවත් පරිසරවේදීහු පවසති.

ඔවුන් පවසන පරිදි, මීට හේතුව වී ඇත්තේ "අවට සිටි අලි රංචු පිටින් යාල තුළට පන්නා කොටුකර වැටවල් ගැසීම" ය.

2004 වසරේ දී ගැසූ වැටක් නිසා අලි පැටවුන් විශාල ප්‍රමාණයක් මේ වන විට නිසි පෝෂණයක් නොමැතිව මිය ගොස් ඇති බවට පරිසරවේදීන් නිර්ණය කර තිබේ.

මෙම වැට ඉදි කළ දා පටන් යාල තුළ කොටු වී සිටින අලි ගහනයට අත්වී ඇති ඉරණම පැහැදිලි කරමින් පාරිසරික හා සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානයේ කළමනාකාර අධ්‍යක්ෂ, පරිසරවේදී සුජීව ජාසිංහ කියා සිටියේ ජීවත් වීමේ වාසනාව ලද අලි පැටවුන් ද මන්දපෝෂණයෙන් පෙලෙන බවය.

"යාල 'බ්ලොක් වන්' එකට අලි ටික එලෙව්වා. ඒක ඇතුළේ ගහන ධාරිතාවට සරිලන ප්‍රමාණයට වඩා වැඩි අලි ප්‍රමාණයක් කොටු වුණා. එතකොට ඉතින් අනිවාර්යයෙන් ම අලින්ට ආහාර සහ ජලය මදි වෙනවා. අලින්ගේ පාරම්පරික සංචරණ රටාවත් උන්ට අහිමි වුණා."

"ඊට පස්සේ අපිට දකින්න ලැබුණු දෙයක් තමයි අලි එන්න එන්නම කෘෂ වීම. පැටවුන්ට කිරි දෙන අම්මලා කෙට්ටුවෙලා. මේ අලින් බොහෝ දෙනෙකුගේ ඉල ඇට කූඩුව පේනවා. පළවෙනි අවුරුදු දෙක තුන තුළ පැටියා කොහොම හරි කිරි බීල ජීවත් වෙනවා. කිරි බොන කාලේ පහු කළාම පැටවුන්ට කන්න ආහාර ඒ ප්‍රදේශය තුළ මදි වෙනවා." ඔහු පැවසීය.

 

Ali 3

 

යාල ජාතික උද්‍යානය තුළ උපදින අලි පැටවුන්ගෙන් "52%කට වැඩි ප්‍රතිශතයක්, නිසි පෝෂණ තත්ත්වයක් නොමැති කම නිසා" මිය යන බව ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු ගේ පර්යේෂණ වාර්තාවලින් සනාථ වී ඇතැයි පරිසරවේදී සුජීව ජාසිංහ තවදුරටත් පැවසීය.

මේ පිළිබඳව වැඩිදුර කරුණු සොයා බැලීම සඳහා සංරක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ සභාපති, ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු ඇමතුවෙමි. ඔහු ශ්‍රී ලංකාවේ අලි ඇතුන් පිළිබඳව දශක කීපයක් තිස්සේ පර්යේෂණවල නිරත වෙමින් සිටින විද්‍යාඥයෙකි . ඔහු තවත් පරිසරවේදීන් සමඟ එක්වී අලින්ගේ සංචරණ රටාවන් දෙස විමසිල්ලෙන් සිටී.

ඉපනැල්ල සොයා

"යාල බ්ලොක් 1 (1 කොටස) කියන කලාපයට අලලා කිරින්දේ සිට වැඩිහිටිකන්ද දක්වා විහිදෙන බිම් තීරුවක් තියෙනවා. වර්ග කිලෝ මීටර 150ක විතර මේ බිම් තීරුව අයිති, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. වියලි කාලයේදී යාල සිටින අලි තමන්ගේ ආහාර හොයා ගෙන ගියේ මේ බිම් තීරුවට." ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු තම නිරීක්‍ෂණ සැකෙවින් විස්තර කළේය.

"වැසි කාලයේදී මේ ප්‍රදේශයේ හේන් ගොවිතැන් කරලා වියලි කාලයේදී ඉපනැල්ල ඉතිරි වෙනවා. ඒක අලින්ට හොඳ ආහාරයක්. නැවතත් වැසි කාලය එනකොට මේ අලි යාල දෙසට සංක්‍රමණය වෙනවා. මේ විදියට තමයි කාලාන්තරයක් තිස්සේ අලින්ගේ ජීවන රටාව පැවතුනේ."

"නමුත් 2004න් පස්සේ අවට සිටි අලි යාලට පන්නල විදුලි වැටක් ගැහුවා. ඒ නිසා මේ අලින්ට නැවතත් එම ප්‍රදේශයට යන්න බැරි තත්ත්වයක් උදා වුණා." අචාර්ය පෘථිවිරාජ් පවසන පරිදි එවක් පටන් යාල කොටු වූ අලින්ට වියලි කාලයේ දී ඉපනැල්ල අහිමි විය.

මේ අලින්ගේ ඉරණම වෙනස් වන්නට පටන් ගෙන ඇත්තේ එතැන් පටන් ය. පහළොස් වසරක් පුරා මෙම අලි ගහනය තුළ සිදුවෙමින් පැවති වෙනස් කම් පරිසරවේදීන්ට හොඳින් පෙනී ගියේය. ඒ පිළිබඳව වාර්තා සකස් කළෝය.

"අලි සංහතියටම අගතියක්"

2004 දී විදුලි වැට ඉදි කිරීමෙන් අනතුරුව යාලට කොටුවූ අලින්ගේ ශරීර සෞඛ්‍යය පිරිහෙන්නට පටන් ගත් බවත් අලි පැටවුන් මිය යාම වැඩි වශයෙන් දක්නට ලැබුණු බවත් අචාර්ය පෘථිවිරාජ් ප්‍රකාශ කළේය.

මිනිසා විසින් නිර්ණය කරනු ලබන මායිම් හා සීමාවන්ට අනුකූලව තමන්ගේ ජීවන හා සංචරණ රටාවන් වෙනස් කර ගැනීමට වන සතුන් එකඟ විය යුතුද? මිනිසා පනවන නීති වලට වන සතුන් අවනත වේවිද?

පරිසරවේදී සුජීව ජාසිංහ පවසන්නේ සංක්‍රමණික චර්යාවන් සහජයෙන්ම උරුම කරගත් වන අලින් කිසිවිටෙකත් මිනිසාගේ නීතියට අවනත කර ගැනීමට උත්සාහ නොකළ යුතු බවය. බලහත්කාරයෙන් සිදුකෙරෙන සියලු ක්‍රියාකාරකම්වලින් අලි සංහතියටම සිදුවන්නේ අගතියක් මිස යහපතක් නොවන බව ඔහු අවධාරණය කරයි.

"අලි දන්නේ එක මායිමක් විතරයි. ඒක තමයි ජෛව විද්‍යාත්මක මායිම. ඒ අනුව තමයි අලි තමන්ගේ කෑම හොයාගන්න යන්නේ. අලින්ට වෙන කිසිම මායිමක් අදාළ නැහැ."

"අවට කැලෑ සහ යාල වෙන්කරලා වැටවල් ගැහුවට පස්සේ අලින්ට කෑම හොයාගන්න කැලේට යන්න විදියක් නැති වුණා. යාලට කොටු වෙලා ඉන්න අලින්ට ආහාර මදි වුණා. බලධාරීන් කළේ ජෛව විද්‍යාත්මක මායිම අමතක කරලා පරිපාලන මායිමක් හදල වැටක් ගහපු එක." සුජීව ජාසිංහ පැහැදිලි කළේය.

මෙසේ අලින් කොටුවූ දා පටන් යාල අලි ගහනය එන්න එන්නම අඩුවෙමින් පවතින බව පරිසරවේදීහු පවසති. ඊට ප්‍රධාන හේතුව ලෙස ඔවුන් දක්වන්නේ ඊළඟ පරම්පරාව පවත්වාගෙන යාම සඳහා උපදින අලි පැටවුන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ආහාර හිඟකම නිසා මිය යාමය. ජීවත්වන පැටවුන්ගේ ද ශරීර සෞඛ්‍යය දුර්වල වීමය.

"හොඳ පැටියෙක් හදා ගන්න නම් හොඳ අලි රංචුවක් ඉන්න ඕනා. අලි රංචුව දුර්වල වෙලානම් පැටව් අනිවාර්යයෙන්ම දුර්වල වෙනවා." පරිසරවේදී සුජීව ජාසිංහ සිය නිරීක්ෂණ විස්තර කළේය.

"මේ වෙනකොට මිනිස්සු යාල යන්නේ කොටි බලන්න. මීට අවුරුදු විස්සකට තිහකට ඉස්සර අපි යාල ගියේ අලි බලන්න. ඒ කලේ කවුඩුල්ල, මින්නේරිය වගේ ජාතික උද්‍යාන අපිට තිබුණෙ නැහැනෙ. ඒ වෙනකොට අලි 350ක් විතර යාල ඇතුළේ හිටියා. ඒ නිසා යාල ගිය කෙනෙකුට සාමාන්‍යයෙන් අලි 75ක් වත් නිරන්තරයෙන් බලන්න පුළුවන් කම තිබුණා. දැන් කොටි බලන්න යන්නේ අලි නැති නිසා." ඔහු ප්‍රකාශ කළේය.

 

Ali 4

අලි පැටවුන් මිය යාම පිළිබඳව ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු ගේ නිරීක්ෂණ වාර්තාවල සඳහන් කර තිබේ. අලින් යාල තුළට පන්නා කොටු කිරීම හේතුවෙන් අසරණ වී ඇත්තේ පිටින් පැමිණි අලි රංචු පමණක් නොවන බව ඔහු පවසයි.

'ගැමුණු රංචුව'

යාල තුළ පමණක් සැරිසරමින් සිටි අලි රංචු අසරණ වුයේ ඔවුන්ගේ පරිභෝජනය සඳහා ප්‍රමාණවත් වූ ආහාර පිටින් පැමිණි අලි රංචු නිසා ඔවුනට අහිමිවී යාම හේතුවෙනි. දැන් දෙපිරිසම කුස ගින්නේය.

"පිටින් ඇතුළට පැන්නූ අලින්ට අමතරව යාල ප්‍රදේශයේ පමණක් සැරිසරන අලි රංචු ඉන්නවා. ඉන් එක රංචුවක් අපි නම් කරලා තියෙනවා 'ගැමුණු රංචුව' කියල. ඒ ගැමුණු කියන ඇතාගේ රංචුව. අපි 1993 ඉඳල මේ රංචුව නිරීක්ෂණය කරලා වාර්තා සකස් කරලා තියෙනවා. මේ රංචුව කවදාවත් යාලෙන් පිටත ගියේ නැහැ. ඒ අලින්ට වියලි කාලයේ දී යාල ඇතුළේ පවතින ආහාර ප්‍රමාණය ප්‍රමාණවත් වුණා." සංරක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ සභාපති, අචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු ව්ස්තර කළේය.

"නමුත් 2004න් පස්සේ යාල උද්‍යානයෙන් පිටත ඉන්න අලිත් ඇතුළට පන්නල වැට ගැහුවා. ඊට පස්සේ යාල අලි ගහනය වැඩි වුණා. වියලි කාලෙට ආහාර මදි වුණා."

 

එතැන් පටන් අපි නිරීක්ෂණය කරලා තියෙනවා අලින්ගේ ශරීර සෞඛ්‍යය හීන වීමත්, පැටවුන් මිය යාමත්. 2004 සිට මේ වනතෙක් වසර 15ක් ම මේ තත්ත්වය මත පැටව් මැරෙනවා. 2020 වසරේදී පමණක් අපි නිරීක්ෂණය කළා ගැමුණුගේ රංචුවේ පමණක් පැටව් තුන් දෙනෙක් මැරුණා. ඒ අනුව අපිට නිර්ණය කරන්න පුළුවන් 2004 සිට මේ ගැමුණු රංචුවට පමණක් උපන් අලි පැටවුන්ගෙන් 50%ක් පමණ මරණයට පත්වෙලා තියෙනවා කියල." ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු සිට නිරීක්ෂණ වාර්තා ගෙනහැර දක්වමින් පැවසීය.

අලි මිනිස් ගැටුම නිරාකරණය කිරීම සඳහා බලධාරීහු විවිධ විසඳුම් කරා යොමු වෙති. දශක කීපයක් අවෑමෙන් ආපසු හැරී බලද්දී ඒ ගැටුම අවසන්වී නොමැත. ගැටුමේ අඩුවක් හෝ දක්නට නැත. තවමත් අලි මෙන්ම මිනිසුන් ද ඊට ගොදුරු වී මිය යති.

තනි අලියා

 

Ali 5

එසේනම් වරද කොතැනද? එම ප්‍රශ්නය ඉදිරිපත් කළේ මහාචාර්ය පෘථිවිරාජ්ට ය.

"දැන් ඇයි මේ අලි පන්නලා කොටු කරන්නේ. අලි මිනිස් ගැටුම විසඳන්න. නමුත් අලි මිනිස් ගැටුමට හේතු වෙන්නේ මේ කන්න නැතුව මරණයට පත්වෙන අලි රංචු නොවෙයි. ඒකට හේතු වෙන්නේ තනි අලියා. ඒ කියන්නේ තනිවම ජීවත් වන වැඩිමල් පිරිමි සත්වයා. මේ යාල ප්‍රදේශයට අලි රංචු පිටින් පන්නලා වැට ගැහුවට ඒ අලි පන්නපු ප්‍රදේශයේ අදටත් අලි මිනිස් ගැටුම තියෙනවා. ඉතින් ප්‍රශ්නෙට විසඳුමක් ලැබිලත් නැහැ. අලි සංරක්ෂණයටත් විශාල හානියක් කර ගන්නවා." ඔහු පැහැදිලි කළේය.

"ඕනෑම වනාන්තරයක තියෙනවා ඉසිලුම් ධාරිතාව කියල දෙයක්. එකෙන් තමයි තීරණය වෙන්නේ ඒ කැලය තුළ සතුන් කීදෙනෙකුට පෝෂණය වෙන්න පුලුවන්ද කියන එක."

ඒ අනුව එක් ප්‍රදේශයකට අලි විශාල ප්‍රමාණයක් පන්නා කොටු කිරීම මගින් එම ප්‍රදේශය තුළ පවතින ආහාර හිඟයක් ඇතිවීම වැළක්විය නොහැකි බව අචාර්ය පෘථිවිරාජ් පවසයි. මෙම තත්ත්වය නිසා යාල ප්‍රදේශයේ කොටුවී සිටින අලින් ඉමහත් දුෂ්කරතාවකට පත්වන්නේ වියලි කාලයේදී ය.

"මේ ප්‍රශ්නයට වසර 15ක් ගතවෙලත් තාමත් විසඳුමක් ලැබිල නැහැ. මේ පැටව් මිය යාමෙන් වෙන්නේ අලි පරම්පරා ගණනාවක් අහිමි වීම. මේකෙන් ඔප්පු වෙලා තියෙනවා මේ ක්‍රමය අලි සංරක්ෂණයට විශාල හානියක් සිදු කරනවා කියල." ඔහු තවදුරටත් පැවසීය.

පහළොස් වසරක් යනු සුළුපටු කාලයක් නොවේ. වරද නිවැරදි කර ගැනීමට ඒසා කාලයක් ගතවීම හේතුවෙන් පරම්පරා කීපයකට අයත් අලි පැටවුන් මෙලොව හැරගොස් හමාර බව පරිසරවේදීහු පවසති.

මේ පිළිබඳව ප්‍රතිචාරයක් ලබා ගැනීම සඳහා අවස්ථා ගණනක් උත්සාහ දැරීමෙන් අනතුරුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සුරියබණ්ඩාර දුකථනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට බීබීසී සිංහල සේවයට හැකි විය. එහෙත් පසුව මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන බව ඔහු පැවසුව ද මෙම ලිපිය පළවන අවස්ථාව වනතෙක් ඔහුගේ ප්‍රතිචාරය නොලැබිණි.

තවදුරටත් ඒ සම්බන්ධයෙන් උත්සාහ දැරූ බීබීසී සිංහල සේවය වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්‍ෂිත වැඩපිළිවෙල හා කැලෑ නැවත වගාකිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ද ඇමතීය. අසනීප තත්ත්වයක සිටින බැවින් කතා කළ නොහැකි බව ඒ අවස්ථාවේදී ඔහු කියා සිටියේය.

Ali 6

මෙම අනුවේදනීය තත්ත්වය නිමා කිරීම සඳහා නොපමාව කටයුතු නොකළහොත් තවත් අලි පරම්පරාවක් රටට අහිමි වනු ඇති බව පාරිසරික හා සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානයේ කළමනාකාර අධ්‍යක්ෂ සුජීව ජාසිංහ පවසයි.

"මේ හැම දෙයකටම ප්‍රධාන හේතුව තමයි අර බලධාරීන් ගහපු වැට. යාල හිටපු අලින්ගේ සංක්‍රමණ චර්යාව වෙලා තිබුණේ අවට තියෙන කැලෑවලට ගිහින් කෑම හොයාගෙන කාල, ආරක්‍ෂිත නිවස්නයක් ලෙස යාලට ඇවිත් ඉන්න එක."

"පස්සේ කාලෙක යාල කළමනාකරණ සැලසුම් යටතේ මායිම් දෙකක් ඇති වුණා. එකක් වන සංරක්ෂණ මායිම; අනිත් එක තමයි වන ජීවී මායිම." ඔහු ප්‍රකාශ කළේය.

ඇඟිල්ලක් දිගු කිරීමට

කෙසේ නමුත් මේ පිළිබඳව කිසිවෙකුට ඇඟිල්ල දිගු කිරීමෙන් පලක් නොවන බව පරිසරවේදී, අචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දුගේ අදහසයි.

"ඇත්තටම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගත් පියවර නිසා තමයි මේ ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේ. නමුත් මේ පිළිබඳව කාටවත් ඇඟිලි දික්කරල වැඩක් නැහැ. මොකද ඒ අයත් මේ තීරණය ගත්තේ අලින්ට මෙහෙම හානියක් කරන්න හිතාගෙන නෙවෙයිනේ. අලි මිනිස් ගැටුම විසඳන්නනේ. නමුත් මේක පසු විපරම් කළාම අපිට පේනවා මේකෙන් ප්‍රශ්නේ විසඳෙන්නෙත් නැහැ; අලි සංරක්ෂණය වෙන්නෙත් නැහැ කියල. අපි ඒකෙන් පාඩමක් ඉගෙන ගන්න ඕන." ඔහු පැවසීය.

කෙසේ නමුත් මින් ඉදිරියට නම් ඇඟිල්ලක් දිගු කිරීමට සිදුවනු ඇති බව ඔහු අවධාරණය කළේය.

"දැන් අපි දන්නවා අලි පන්නලා කොටු කළාම වෙන්නේ මොකක්ද කියල. එහෙම තියෙද්දිත් තව තවත් ප්‍රදේශවල මේ දේම දිගටම කරන්න යාම තමයි තියෙන ලොකුම ප්‍රශ්නය. එතැනදී නම් අපට ඇඟිල්ලක් දික් කරන්න වෙනවා."

"අලින් තව තවත් දරුණු වී..."

 සිය නිරීක්ෂණ සහ පර්යේෂණවලින් සොයා ගන්නා ලද තවත් සාධකයක් ඉදිරිපත් කරමින් අචාර්ය පෘථිවිරාජ් මෙම තත්ත්වය තවදුරටත් පැහැදිලි කළේ මෙසේය.

"දැන් අපි හිතනවා අලි වෙනත් ප්‍රදේශයකට පන්නලා කොටු කළාම ඒ අලි ඒ ප්‍රදේශය පුරාම සැරිසරමින් කලින් වගේම නිදහසේ ජීවත් වෙයි කියල. අලුත් තැනක් හොයා ගනීවි කියල. අලියා කියන්නේ එහෙම සතෙක් නොවෙයි. මේ වගේ අලින්ට 'GPS කොලර්' දාල සංචරණය නිරීක්ෂණය කරන විට පෙනී ගියා ඔවුන් හැමදාම ගමන් කරන්නේ අර කලින් ජීවත් වුනු ප්‍රදේශය දෙසටමයි. උන් උත්සාහ කරනවා දිගින් දිගටම ආපහු ඒ වන ලැහැබටම යන්න. අලුත් ප්‍රදේශයේ විශාල කැලයක් තිබුණත් ඒක ඇතුළට යන්නේ නැහැ. මේකට විකල්ප විසඳුමක් නැහැ." ඔහු ප්‍රකාශ කළේය.

එමෙන්ම, මේ ආකාරයට අලි වෙනත් ප්‍රදේශවලට පන්නා කොටු කිරීම මගින් රංචුවෙන් මගහැරී තනිවන අලින් මෙන්ම වෙනත් ප්‍රදේශවල කොටුවන අලින් ද තව තවත් දරුණු වී ප්‍රචණ්ඩ වන බව ආචාර්ය පෘථිවිරාජ් අවධාරණය කළේය.

එසේනම් මීට විසඳුම කුමක්ද? විකල්ප ක්‍රියාමාර්ග කරා යොමු විය නොහැකිද? වසර 15කට පෙර ඉදිකළ විදුලි වැට ගලවා ඉවත් කිරීම හැර වෙනත් විකල්පයක් නොවන බව පරිසරවේදී ජාසිංහගේ අදහසයි.

"දැන් ඕකට තියෙන විසඳුම තමයි, අර වැට ගලවලා අලින්ට ආහාර සොයාගෙන අවට කැලෑ වලට යෑමට ඉඩ සලසන එක. හැබැයි ඉතින් දැන් ඔය කියන වනබද පෙදෙස්වල අනවසර සංචාරක ඉදිකිරීම් තියෙනවා. වගාවන් තියෙනවා. ඒවා ඉවත් කරන්න බැරිනම් ඒවා අලින්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා ඒ වගාවන් සහ ඉදිකිරීම් වට කරලා වැටවල් ගහන්න පුළුවන්නේ." ඔහු ඊට පිළියමක් ද යෝජනා කළේය.

'මගේ දරුවා මැරුණේ කන්න නැතිව'

Ali cover

"මේ සම්බන්ධයෙන් බලධාරීන් සමඟ වසර කීපයක් තිස්සේ අපි තාමත් සාකච්ඡා කරනවා. මේ අලි පැටව් දිහා බැලුවම අපිට පැහැදිලිවම පේනවා ඔවුන්ට නිසි පෝෂණයක් ලැබිල නැහැ කියල. තවත් බලාගෙන හිටියොත් උන් ටිකත් අකාලයේ මැරිලා යාවි. අලි අම්මලට කතා කරන්න පුලුවන්නම් ලතෝනි තියාවි 'මගේ දරුවා මැරුණේ කන්න නැතිව' කියල." පාරිසරික හා සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානයේ කළමනාකාර අධ්‍යක්ෂ, පරිසරවේදී සුජීව ජාසිංහ ප්‍රකාශ කළේය.

නමුත් පවතින වැටවල් ගලවා දැමීම එතරම් පහසු නොවන බව අචාර්ය පෘථිවිරාජ් පවසයි. ඊට එරෙහි වන්නේ ද මිනිසාම ය. අලියාට අයිතිව තිබූ වාසස්ථාන ආක්‍රමණය කර ඇත්තේ ද මිනිසාම ය.

"පස්සේ කාලෙක මේ මායිම් වෙනස් කරලා ප්‍රශ්නේ විසඳන්න බලධාරීන් තැත් කළා. ඒත් ඒ පලාත්වල ඉන්න මිනිස්සු ඒකට විරුද්ධ වුණා. ඒ අය හිතනවා එහෙම වුනොත්, ඊට පස්සේ හේන් කරන්න ලැබෙන එකක් නැහැ කියල." ආචාර්ය පෘථිවිරාජ් පැවසීය.

එය එසේ වී නමුදු, වෙනත් විකල්පයක් ද නොමැති බව ඔහු ද පිළිගනී.

"එකම විසඳුම තමයි කලින් තිබුණු තත්ත්වයටම යන එක. ඒ සඳහා මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගත හැකි කෙනෙක් ඉදිරිපත් විය යුතුයි. ඒ පලාත්වල ඉන්න මිනිස්සුන්ව දැනුවත් කරන්න වෙනවා. අලියව දැනුවත් කරන්න බැහැනේ. අපිනේ අලියාගේ වාසභූමි ආක්‍රමණය කරලා තියෙන්නේ. එහෙම නැතිව අලි පන්න පන්න කොටු කරන්න ගියොත් අහිංසක අලි පැටව් ටික මැරිලා යනවා." සංරක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ සභාපති, විද්‍යාඥ, ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

Ali 7

මුලාශ්‍රය: පාරිසරික හා සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානය

 

ඡායාරූප මූලාශ්‍රය,PHOTO CREDIT: DR PRITHIVIRAJ FERNANDO

අරවින්ද තිසර රතුවිතාන

BBC

නවතම ලිපි