“මහ විරුවෝ වූහ මා පුත්තු, මා කුසින් බිහි වුනු, නිකංම නිකං පුගුලන් නොව, ජීවිතයෙන් උදාර පුතුන් වූහ උන්...”

මේ ට්‍රෝජන් කාන්තාවො තම දේශයේ පුතුන් වෙනුවෙන් ගයන වීර කාව්‍යයයි.

“අපේ දුක ආණ්ඩුව දන්නවද දන්නැද්ද කියලවත් අපි දන්නේ නෑ- උතුරේ දේවානි අම්මා” මේ අපේ රටේ මව්වරු තම පුතුන් වෙනුවෙන් යදින යාගින්නයි.

හක්කෙ බුදු රැස් බොක්කෙ දඩ මස් ජනතාවක් සිටින රටක අපි, තිස් අවුරුදු යුද්ධය නිසා ජීවිත අහිමිවූ රණවිරුවන් සමරන දිනය අද.

මිනිස් ජීවිත පළිහක් කරගනිමින් මිනිස් ජීවිත බිලිගන්නා ත්‍රස්තවාදය අපි කොන්දේසි විරහිතවම ප්‍රතික්ෂේප කරන්නෙමු. තමා උපන් රටේ නිදහසේ ජීවත් වීමට, තමා කැමති ආගමක් ඇදැහීමට, තමාගේ සංස්කෘතික සම්ප්‍රධායන් අගයන්නට, තමාගේ කැමති ලිංගිකත්වයන් නියෝජනය කරන්නට, සෑම පුරවැසියෙකුටම ජාති ආගම් වර්ග භාෂා භේදයකින් තොරව අයිතිවාසිකමක් ඇත. එසේම තම රට එක්ව එක්සේසත්ව නොබෙදුනු, නොබිඳුනු ජන කොටසක් ලෙස රකින්නට වගකීමක්ද ඇත. එහිදී මහ ජාතියය, සුළු ජාතියය කියා වෙනසක් නැත. සියල්ලෝම එකම රටක පුරවැසියන්ය. සියල්ලෝ ලාංකිකයෝය. ශ්‍රී ලාංකීය ජාතියය. සියල්ලෝ මනුෂ්‍යයෝය.

වර්ෂය 2016, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට එක් වූවෝ මෙරට සුවිශේෂී ගැටළුවකට මුහුණදුන් උතුරේත් දකුණේත් වැන්දඹුවෝය. එකම යුද්ධයක, සමාන සංසිද්ධියක මානුෂීය පීඩනයකට පත් කාන්තාවෝය.  මෙම සටහන ලියන මාහට එම හමුව දැකබලා ගැනීමට අවස්ථාව සැලැස්වූයේ උපුලාංගනී  මා හිතවත් මිතුරියයි. වැඩසටහන ගෙනගියේ භාෂා පරිවර්තකයින්ගේ සහයෝගය මධ්‍යයේය.

widowe 2

උතුරේ බිරිඳත්, දකුණේ බිරිඳත් තම සැමියා අහිමිවීම නිසා දරුවන් වයෝවෘද්ධ දෙමාපියන් සමග ජීවිතයට උරදුන් තම අත්දැකීම් හුවමාරු කරගන්නට වූවාය. දෙපාර්ශ්වයේ අත්දැකීම් භාශා පරිවර්තකයින් විසින් දෙපාර්ශ්වයටම තේරුම් කර දුන්නෝය. එහි අත්දැකීම් සමාන වූවත් ජීවන අරගලයට උරදීමේ කාන්තා සවිය සමානවූවත් එහි තිබුණේ ගූඪ වූ අසමානතාවයකි.

දකුණේ බිරිඳව සහ දරුවන්ව රාජ්‍යයෙන් රැකබලා ගත්තෝය. මළගමට, දානයට තනි නොකළෝය. මාසිකව රජයෙන් යැපුම් ලද්දෝය. ඔවුනට තම ප්‍රියයා වෙන්වීම දරාගැනීමට අවශ්‍ය ශක්තිය පමණි අවශ්‍ය වූයේ.

widowe 3

උතුරේ බිරිඳව රාජ්‍යයට වගකීමක් නොවූවාය. ඇය තනිවම මළගම, මළබත සරිකර ගත්තාය. යැපෙන්නට හෝ දරුවන් රකින්නට, අව්වේ වැස්සේ පින්නේ, ලිප් අස්සේ කරවෙමින්, පෙගෙමින් එදා වේල සරිකරගන්නට වෙහෙස වූවාය. අහිමි වූ, විනාශවූ සිය නිවෙස් තහඩු මැද තැනුවාය. ඒ අතර අසල්වැසියන්ට උපකාර කළ හැකි හැම විටෙකම ඒවාද ඉටු කළාය.

මේ ගැන බොහෝ අයට පිළිතුරු නම් එමට ඇත. එහෙත් තම සිත තුළ නළියන, මනස කළඹවන මහජාතියේ හීනක්කාර දෝංකාරයෙන් මිදී මනුශ්‍යයින් ලෙස මේ පටලැවිල්ල දෙස බැලිය හැකි නම් අපි කොතෙක් නම් විලි ලැජ්ජාවක් නැති මිනිසුන්ද? රටවැසියන්ද? කියා සිතෙනු ඇත. තවමත් ඔවුන් ජීවන අරගලයේ මැසිවිල්ලක් නැතිව නියැලෙන්නේ අපේ රටේ මහ මොළකරුවන්ගේ හක්කෙ බුදු රැස් බොක්කෙ දඩ මස් ගැන හාංකවිසියක් නොදැනය. නොබලමිනි.

වැන්දඹු 2

ඒ නිසාම උතුරේ දේවානි අම්මලාගේ පපු කැනැත්තෙ තියෙන මේ වේදනාවවත් නුඹලාට අද දවසේ ඇහෙනවා නම් මනුස්සකමේ බිඳුවක් හෝ ඉතිරිව ඇතැයි සිහින් බලාපොරොත්තුවක් දැල්විය හැකි නොවේද?

මේ ද ලීඩර් වෙබ් අඩවියෙහි පළ වූ දේවානි අම්මාගේ කතාවයි.

 අපේ දුක 'ආණ්ඩුව දන්නවද දන්නැද්ද කියලවත් අපි දන්නේ නෑ' - උතුරේ දේවානි

උතුරේ අම්මා

ඇගේ පුතනුවන් අතුරුදහන් වූයේ දොළොස් අවුරුද්දකට ඉහතදීය.

ඒ යුද හමුදාව විශ්වාස කොට වට්ටුවාහල් පාලම උඩදී දරුවා බාර දුන්නයින් පසුවය.

“එදත් මේ ආණ්ඩුව - අදත් මේ ආණ්ඩුව. ආණ්ඩුවට අල්ලාගෙන යන්න පුලුවන්නම් ඉන්න තැන කියන්න බැරිද?” කාටත් තේරෙන සිංහලෙන් එසේ අසන්නේ දේවානි අම්මාය.

පුතාගේ අතුරුදහන්වීමෙන්ද, සැමියාගේ මරණයෙන්ද පසු සුදාහරන් දේවානි මාතාවගේ තනියට ගෙදර ඉන්නේ විශේෂ  අවශ්‍යතා සහිත දුව පමණකි. ඊසානදිග මුහුදු වෙරල තීරයේ කුලී වැඩ කරමින් දියණියද ජීවත් කරවන්නට වීරිය දරන ඕ වියපත්ය, දුක්පත්ය. සකල ජීවන පීඩා මැද්දේ වුවද එදා සිට අද දක්වාම සටන් වැද සිටින ඇය තම පුත්‍ර රත්නය ඉන්නා තැනක් සොයා ගත හැකිවේය යන මහත්වූ අධිෂ්ඨානය අතහැර නැත.

  

“අපේ ළමයි හිටිය නම්, මොනවා හරි එකක් කරලා අපිට කන්න දෙයි. ඒ නිසා අපි විඳින දුක ආණ්ඩුව දන්නවද, දන්නැද්ද කියලවත් අපි දන්නේ නෑ.”

එහෙත් ආණ්ඩුව සහ හමුදාව කියන්නේ ඔවුන් ඉන්නා තැනක් දන්නේ නැති බවය. එදා මෙන් අදත් දේවානි අම්මා එය පිළිගන්නේ නැත. රජය නිසියාකාර විමර්ශන පවත්වා නැති බව ඇය පෙන්වා දෙන්නේ ඉතා තාර්කික අයුරිනි.

“ආමි කට්ටියට දන්නේ නැද්ද, කොයි කොමාන්ඩර් ද අරගෙන ගියේ කියලා? ඒ කොමාන්ඩර් කොහෙද ගියේ? එයාගෙන් ගන්න පුළුවන් නේද?”

යුද මාරයාගේ ගොදුරු බවට පත්වූ දෙමළ ජනතාව සිය ප්‍රියාදරයන්ගේ ලෙයින් බත්වුනු මුල්ලිවයික්කාල් වැලි තලාවේදී පුෂ්පයෙන්, ධූපයෙන්, දීපයෙන් දොළොස් වැනි අවුරුද්දේත් පිංපෙත් පමුණුවන්නට ගන්නා ලද ව්‍යායාමයට උසාවිය හරස් කරන්නට බැරිවූ තැන බලධාරීන්ගේ උදව්වට පැමිණ ඇත්තේ අලුත් මාරයෙකි.

වසරක් පාසා දෙමළ ජනතාව නොකඩවා කළ පරිද්දෙන් සිය මළවුන් සැමරීම මේ අවුරුද්දේ වලක්වන්නට පොලිසිය අමෝරාගත් තහනම් නියෝග ආපසු හරවන්නට සංවිධායකයෝ සමත් වූහ. ඉන් දොළොස් පැයක් ගෙවී යාමට මත්තෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ ආරක්ෂක බලධාරීන් හිටි අඩියේ ප්‍රකාශයට පත් කළේ පලාත බරපතල වසංගත අවදානමකට මුහුණ පා සිටින බවයි.

පලාතම හුදෙකලා කෙරිණි. පලාතට සන්නද්ධ හමුදා යෙදවිණි. මුල්ලිවයික්කාල් අනුස්මරණ භූමියට තහංචි පැනවිණි.

තම පුත්‍රයා ඇතුළු දස දහස් සංඛ්‍යාත ජන සමුහයකට අත්කළ ඉරණම ගැන දොළොස් අවුරුද්දක් තිස්සේ හාංකවිසියක් නැතිව සිටි ආණ්ඩුවට වසංගතය අලුත් උත්තරයක් ගෙන එතැයි දේවානි අම්මාට දැන් ඇත්තේවෙන කවරදාකවත්  නොතිබූ බියකි.

“අනික් සැරේ කියන්න යනවද කොරෝනාවෙන් මැරුණා ඔක්කොම කියලා. එහෙමත් කියයි මං හිතන්නේ. එහෙම මැරෙයි කියලා මයේ හිතේ.”

 

නවතම ලිපි