නිදහස කියන්නේ මොකක්ද? එයට ජාති බේදයක් තිබෙනවාද? කුල බේදයක්? සුවඳක්? එහෙමත් නැතිනම් පාටක්? ඒත් නැතිනම් ස්ත්‍රී පුරුෂ බේදයක් තිබෙනවාද? නැහැ.

නිදහස කියන්නේ හැම කෙනෙකුටම එකසේ විඳිය හැකි සහ  හැම කෙනෙක්ම එකසේ විඳිය යුතු දෙයක්. ඒ නිදහස කියන හැඟීමට කිසිකෙනෙකුට බාධා කරන්න අයිතියක් නැහැ. එහෙම කරනවා නම් ඒක වැරැද්දක්.

නිදහස කියන්නේ පුරවැසියෙකු වීම නිසාම කෙනෙකුට එරට නීතියෙන්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් හා සමාජයෙන් ලැබෙන ආරක්ෂාව හේතුවෙන් ඇති වන ආත්ම විශ්වාසයට කියලා මම කිව්වොත්??? ඔබ මොකද හිතන්නේ??

මම මේ ලියන්න සූදානම් වෙන්නේ කියවන ඔබ අහන්න තියා දකින්නවත් අකමැති මාතෘකාවක් විය හැකියි. ඔව්.. සමහර විට ඔබ මේ ලියමනට අකමැති වෙන්න පුළුවන්. ඒත් මම විශ්වාස කරනවා ඔබ අඩුම තරමින් මේ ලිවිල්ල ඉවසීමෙන් කියවයි කියලා. හැබැයි, උඩින් පල්ලෙන් නෙවෙයි… අවසන් වනතුරුම…

 

2

 

ඒ් 2018 වසරයි. මානව ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් සටහන් කරන පෙරළියක් ඒ් වසරේදී සිදු වුණා.

ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය සමරිසි සබඳතාවය අපරාධ වරදක් නොවන බවට ‍‍ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නා.

කවුද මේ “සමරිසි”  පුද්ගලයන්? ඔවුන්ව LGBTIQ ප්‍රජාව යන කෙටි නමින් හඳුන්වනවා. මේ අකුරුවලින් කියවෙන්නේ මොනවාද කියලා දැන් ඔබට දැන ගන්න අවශ්‍ය ඇති. ඔව්, එහෙම නම් කරන්න තියෙන්නෙ මෙච්චරයි. මේ අකුරු කිහිපය කොපි පේස්ට් කරලා ගූගල් කරන්න. මේ සම්බන්ධයෙන් ඔබට බොහෝ තොරතුරු දැන ගන්න පුළුවන් වේවි. හරි, මම ආපහු මාතෘකාවට එනවා.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් මේ අභියෝගාත්මක තීන්දුව ආසියානු නීති ක්ෂේත්‍රයටම ඓතිහාසික නඩු තීන්දුවක් වනවා. ඒ අනුව ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයේ 377 වගන්තිය ඉවත් කෙරෙනවා. මුලින් ම අපි බලමු මොකක්ද මේ 377 වගන්තිය කියන්නේ කියලා.

 

                                                                                     377: අස්වාභාවික වැරදි.

“යම් තැනැත්තෙකු ස්වභාව ධර්මයේ අනුපිළිවෙලට විරුද්ධව යම් පුරුෂයෙකු, ස්ත්‍රියක හෝ සත්වයෙකු සමඟ ස්වේච්ඡාවෙන් ම ලිංගික සංසර්ගයේ යෙදෙන්නේ නම් එකී තැනැත්තාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම හෝ වසර 10ක් දක්වා දීර්ඝ කළ හැකි සිර දඬුවමක් හෝ දඩයක් නියම කළ යුතුය.”

 

 

377 ට එරෙහි පෙත්සම් 35 ක්

ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 377 වගන්තියට එරෙහිව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 35ක් ලැබෙනවා. ඒ LGBTIQ  ප්‍රජාව නියෝජනය කරන්නන්, රාජ්‍ය නොවන සංවිධාන, සමාජ ක්‍රියාකාරිකයන්, විශ්ව විද්‍යාල සිසුන් ආදී විවිධ කාණ්ඩ නියෝජනය කරමිනුයි. මේ පිරිස මෙම පෙත්සම් මගින් 377 වගන්තියේ තිබෙන අඩුලුහුඬුකම් පෙන්වා දෙනවා. මේ අය අතර විශේෂ පුද්ගලයින් කිහිප දෙනෙක් ම ඉන්නවා.

 

Nawujet singh Johar      

නවුජිත් සිං ජොහාර් - නර්තන ශිල්පි

 

Warun Ayiyar

වරුන් අයියර් 

Akkayi Padmashali

අක්කායි පද්මශාලි

aman nath

අමන් නාත් - ලේඛක / ඉතිහාසඥ

 

Ayesha Kapoor

අයේෂා කපූර්

 

මේ සඳහන් කළේ කිහිප දෙනෙක් පමණයි. මේ හැම කෙනෙක් ම LGBTIQ ප්‍රජාව නියෝජනය කරන අය වගේම ඒ බව ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කරන අය වීම විශේෂත්වයක්. කොහොම වුණත් මේ පෙත්සම වෙනුවෙන් නීතිඥ කණ්ඩායමක් ම පෙනී සිටිනවා. ඒ අතර සිටින එකම කාන්තා නියෝජනය ආචාර්ය “මේනකා ගුරුස්වාමි”… 


Menaka 2

377 වගන්තියට එරෙහිව සටන් වැදුණු කණ්ඩායමේ සිටි එකම කාන්තා නියෝජනය වන මේනකා ගුරුස්වාමි වෘත්තියෙන් නීතිඥවරියක්, සමාජ ක්‍රියාකාරිනියක් විදියට කටයුතු කරනවා. ඇයගේ කෙස් පැළෙන තර්ක ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය උඩු යටිකුරු කිරීමට සමත් වෙනවා. අධිකරණය ඉදිරියේ නඩු විභාගයට පෙර ඇය සිය ට්විටර් ගිණුමේ මේ විදියට අදහස් පළ කර තිබුණා.

Twitter Menaka

විශ්ව විද්‍යාල සිසුන් හා උපාධි අපේක්ෂිත LGBTIQ සිසුන් වෙනුවෙන් දේශනයක් සිදු කරමින් ඇය සිය මතය වඩාත් තහවුරු කරමින් කරුණු පැහැදිලි කළා. කුමාරස්වාමි ගේ තර්කය වුණේ ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයේ 377 වගන්තිය මගින් එරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14, 15, 19 සහ 21 ව්‍යවස්ථා උල්ලංඝනය වන බවයි. ඇයගේ තර්ක කෙතරම් බලවත් වුණාද කියනවා නම් 377 වගන්තිය මගින් දැඩි ලෙස උල්ලංඝනය වන මානුෂික හැඟීම් සම්බන්ධයෙන් සියල්ලන්ගේ අවධානය යොමු වෙන්න පටන් ගත්තා. එය මේ නඩුකරයට පමණක් නොවෙයි යුක්තිය සාධාරණය පිළිබඳව බලාපොරොත්තු තබාගෙන සිටි හැම හදවතකටම ආලෝකයක් වුණා කිව්වොත් නිවැරදියි.

 

”  377 වන වගන්තිය යටතේ අපි වරදකරුවන් නොවන බව අප දැන සිටිය යුතුය. ස්වාමිනි, මෙය නිකන්ම නිකම් ලිංගික ක්‍රියාවලියක් නොවේ. මෙය ව්‍යවස්ථාව මගින් පිළිගැනීමක් ලබා දිය යුතු ආදරණීය හැඟීමකි.”

 

මේනකා ගුරුස්වාමිගේ මේ වදන් අදාළ කාරණාව පිළිබඳව සැළකිය හැකි යම් බරකින් යුක්ත එකක් බව පෙනී යනවා. නීතිය සියල්ලට ඉහළින් පැවතිය යුත්තක් වුවත් සොබාදහම වෙනස් කිරීමට හෝ එය අභිබවා යාමට නීතියට කිසිදු හැකියාවක් නොමැති බව පිළිගත යුතු කරුණක්. නමුත් එයට සම්ප්‍රදායයන් , සමාජ සම්මතයන් හරස් විය හැකි අවස්ථා අනන්තයි අප්‍රමාණයි.

ගුරුස්වාමි ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් සිවිල් නීතිය හැදෑරූ අතර නිව්යෝර්ක් හි  නීති ආයතනයකද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් උපදේශකවරියක ලෙස ද  කටයුතු කළා. ඇයගේ සුවිශේෂී බව වෙන්නේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ රෝහ්ඩ්ස් හවුස් හි මිල්නර්  ශාලාවේ සිතුවම් අතර සිටින එකම ඉන්දීය ජාතික කාන්තාව වීමයි. 

Oxforrd Menaka

වරක් ඇය රොහ්ඩ්ස් හවුස් හි සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මෙහෙම කියනවා.

 

”  ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව මට දැඩි විශ්වාසයක් තිබුණා. ඒ විශ්වාසය කිසිදා නොබිඳෙන්නක්. මම මේ කාරණය වෙනුවෙන් පුන පුනා කතා කළේ සහ ඒ වෙනුවෙන් සටන් කළේ අන්න ඒ විශ්වාසය නිසායි.” 

 

Oxford menaka 2

ඇය මෙහෙමත්  කියනවා.

“ආණ්ඩුක්‍රම ව්‍යස්ථා නීතිය කියන්නේ මගේ හදවත. විශේෂයෙන් ම ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය…මගේ වෘත්තීය ජීවිතය තුළ මම වඩාත් සැළකිලිමත්  වෙන දෙයක් තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අයිතීන් කියන්නේ.”

මේ ලැබූ ජයග්‍රහණයත් සමඟ අද වෙද්දි තමන්ගේ වෘත්තීය ජීවිතයේ වඩාත්ම කැමති කොටස මොකක්ද කියන ප්‍රශ්ණයටත් මේනකා ගුරුස්වාමි අපූරු පිළිතුරක් දෙනවා.

” යුක්තියේ කොටසක් වීම තමයි මගේ රැකියාවේ මම වඩාත්ම කැමති කොටස. එය කිසිසේත් ප්‍රතික්ෂේප කළ නොහැකි දෙයක්. ඒ මොහොත බොහොම කෙටි වෙලාවක් විය හැකියි. මම හිතනවා අපි අමතක නොකළ යුතු දෙයක් තමයි එය සෑම විටම සෑම තැනකම සෑම මොහොතකම සිදු විය යුත්තක් බව. ඒ කියන්නේ යුක්තිය සාධාරණත්වයේ කොටසක් වීම..”

 

1

ඉන්දියාවේ කුරිරු අත්දැකීම්වලට මුහුණ දුන් සම රිසි ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි පුරුෂ හමුදාවේ  එකම කාන්තා සෙබළිය ලෙස මේනකා  ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වීම කැපී පෙනෙන කරුණක් බවට පත් වුණා.

” LGBT ඉන්දියානුවන් ඔවුන්ගේ අධිකරණයෙන්, ඔවුන්ගේ ව්‍යවස්ථාවෙන් වගේ ම ඔවුන්ගේ මව්බිමේ  ඔවුන්ට හිමි ආරක්ෂාව දිනා ගත්තා. “

මේ මේනකාගේ වචන.  ඇය එතනින් නොනැවතී ඉන්දියානු අධිකරණවල සිටින කාන්තාවන් ගැන මෙහෙම කියනවා.

 

” නීතිඥවරියක විදියට මම හිතනවා ඉන්දියාවේ කාන්තාවන් විදියට ඔබ ඔබේ හදවතට නිරන්තරයෙන් ම ඇහුම්කන් දිය යුතුයි. ඒ වගේ ම ඔබ ඔබේ හදවතට පැවසිය යුතුයි ,”මේ දේ වෙනුවෙන් නැගී සිටින්න”..”මේ දේ වෙනුවෙන් කතා කරන්න”.. කියලා. මොකද ඔබ වටේ සිටින හැම කෙනෙක් ම ඔබට පුළුවන් කියනවාට වඩා ඔබට බැහැ කියාවි. නමුත් කාලය වෙනස් වෙනවා. අප වටා ඇති බොහෝ දේ වෙනස් වෙනවා. ඒ විතරක් නෙවෙයි බහුතරයක් තරුණ නීතිඥවරියන් සිටිනවා උසාවිය ඇතුළේ තමන්ගේ කොටස විතරක් කරලා පිටත්ව යන. “

මේනකා ගුරුස්වාමි “සමරිසි අයිතීන් දිනා දීමේ සටනේ රණශූරිය ” ඇගේ ම හදවතට සවන් දෙමින් ඉන්දීය ඉතිහාසය වෙනස් කරන පරපුරේ සාඩම්බරකාර සාමාජිකාව වන්නට වරම් ලබා ගත්තා. ඇයගේ මේ විවේචනාත්මක විග්‍රහයන් මිනිස් අයිතීන්, මානව නිදහස, විමුක්තිය, සාමානාත්මතාවය, මේ සියල්ල තවමත් අපට ඉතිරිව ඇති බව ඉන්දියානුවන් ට දනවන්නට සමත් වුණා.

Last Pic

ඉන්දියානු සමරිසි ප්‍රජාව තවදුරටත් සමාජයේ සැඟව සිටින පිරිසක් නොවෙයි. රැකියා ස්ථානයේදී, පාසලේදී, පොදු ස්ථානයකදී කිසිදු වෙනස්කමකට, විශේෂ කිරීමකට ඔවුන් භාජනය නොවේවි. ඒ සටනේ මහා මොළකරුවන් අතර මේනකා ගුරුස්වාමි නම් ගැහැණිය LGBT බල කණුව දරා සිටීම ආසියානු සමාජයේ “අනවශ්‍යය” සම්ප්‍රදායයන්ට එල්ල කල මරු පහරක්. ඒ වගේම එයට සම්මාදම් වූ අනෙකුත් නීතිඥයන් හා විනිසුරන් ද ඒ බල කණුවේ සම අයිතිකරුවන්.

Judges

නිතරම සිතන සිතිවිල්ලකින් මේ ලියවිල්ල හමාර කරන්නට මට අවසර..

” ආදරය” නමැති හැඟීමට කිසිදු ආකාරයක ලිංග බේදයක් තිබිය නොහැකියි. ආදරය හැමවිටම ආදරයම විය යුතුයි. එය ස්ත්‍රිය හා පුරුෂයා ලෙස වෙන්වන තාක් සම්ප්‍රදාය කරපින්නා ගත් බමුණු මත නිසා ආදරය සදාකාලික පවතින්නක් බවට පත් නොවේවි. එය විවාහය තෙක් පැමිණ එතැනින් අවසන් වේවි”.

 භාග්‍යා  වීරකෝන්

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

 

 

නවතම ලිපි