අවුරුදු 40කට පසුව සිංහල චිත්‍රපටියක් යළිත් සිනමා ශාලාවලට පැමිණ ඇත. චිත්‍රපටයේ නම ‘හංස විලකි’.

‘හංස විලක්’ චිත්‍රපටය 80 දී තිරගත වන විටම චිත්‍රපට කලාව කර්මාන්තයක් ලෙස මිය ගොස් තිබුණි. ඒ වන විටත්, විජය කුමාරණතුංග වසරේ ජනප්‍රිය නළුවා බවට පත්වීම පුරුද්දකට මෙන් සිදු විය. ප්‍රස්තුතයට අදාළ කාරණය වන්නේ, කර්මාන්තයක් ලෙස මිය ගිය ප්‍රපංචයක් රිදී තිරය මත ජීවමාන වන්නේ කෙසේ ද යන්න ය.

මේ තත්ත්වය වටහා ගැනීමට අපි විජය කුමාරණතුංග ප්‍රපංචය විශ්ලේෂණය කරමු. 80 දශකය මුල වන විට, ගෝලීය ධනවාදය සූත්‍රගත කිරීම ඉදිරිපිට වම සහමුලින්ම අතාර්කික විය. පසුගිය කාලයේ පරණ ශ්‍රී ලංකාකාරයන් පොහොට්ටුවේ සරණ ගිය සේ ලංකාවේ පැරණි වම ද 80 වැඩ වර්ජන පරාජයට පසුව විජය කුමාරණතුංග සාධකය දෙසට චලනය විය. මෙහි හාස්‍යජනක පැත්ත වූයේ, ඔවුන් විජයගේ වැරදි කොණ අල්ලා ගැනීම ය. වම විජයව භෞතීෂ්ම කරනු ලැබුවේ, ‘මානවවාදියෙක්’ ලෙස ය. ජාතිවාදයට ඔහුගේ පැවති විරෝධය මෙහි මූලික සාධකය විය. නමුත් සිනමා ක්ෂේත්‍රය සහ සිනමා කර්මාන්තය තුළ වැඩ කළ අය දන්නා පරිදි මෙය වැරදි වටහා ගැනීමකි.

vijaya 3

විජය තම කර්මාන්තය තුළ දී ස්ත්‍රීන්ව සලකන ලද්දේ, දෙවැනි මට්ටමේ පුරවැසියන් පරිදි ය. සිනමාවට පැමිණි නිළියන් වූ චන්දි රසිකා, මැණික් කුරුකුලසූරිය, විශාඛා සිරිවර්ධන, මාලීනි ෆොන්සේකා සහ ඊට බාහිර චන්ද්‍රිකා බණ්ඩාරනායක (සමහර විටෙක සබීතා පෙරේරා) වැනි ස්ත්‍රීන් සමඟ දීර්ඝ සාකච්ඡාවකට ගියහොත් ඔවුන් විජය ගැන කියන්නේ ඔහුගේ මානව විරෝධී වැඩ ගැන ය. 

නමුත් වාමාංශිකයන් අතරින් සමහරු තවමත් විජයගේ මානවවාදය ගැන කතා කරති. මේ විරුද්ධාභාසය අප වටහා ගන්නේ කෙසේ ද?

ෆැන්ටසියට හිමි දේශපාලන මානය වටහා ගැනීම දුෂ්කර කාර්යයකි. මුළු මහත් ‘සමාජ-යථාර්ථය’ යනුම ක්ෂතිමය අත්දැකීමකින් පළා යාමට අප තනා ගන්නා ප්‍රබන්ධයකි. නමුත් මෙම ප්‍රබන්ධය තුළම කහ පැල්ලමක් ලෙස අර කී ක්ෂතිය සටහන් වී ඇත. යම් කිසි මොහොතක එය අප වෙතට කඩා වදින්නේ කුරිරු ස්වරූපයකිනි. ජවිපෙ අනුදත් කණ්ඩායමක් විසින් විජයට මුහුණ විකෘති වන ආකාරයට වෙඩි තැබීම දෛනික ජීවිතය තුළ අප වෙතට ‘යථ’ යළි පැමිණීමකි.

83 කලු ජුලියට පසුව ජවිපෙ විසින් දේශප්‍රේමය වැළඳ ගන්නේ, උතුරේ අරගලය ඉදිරියේ ‘දේශප්‍රේමයට’ සමාජය සංවිධානය කිරීමේ ෆැන්ටසි ශක්‍යතාවයක් පැවති නිසා ය. මේ හේතුව නිසා එවකට පැවති ප්‍රජාතාන්ත්‍රික සිංහල සමාජයට විකල්ප දෙකක් බිහි විය.

(1) ආර්. ප්‍රේමදාස.

(2) විජය කුමාරණතුංග. මේ විකල්ප දෙකම දේශප්‍රේමයේ අධිනිශ්චය සමඟ හටගත් ව්‍යාජ ප්‍රපංචයන් ය.

PRESIDENT PREMADASA

ප්‍රතිවිරෝධයන් දේශපාලන ව්‍යාපාරයකට අවශ්‍ය අයුරින් කළමනාකරණය කිරීම දුෂ්කරය. ඡන්දයට පෙර විජයව ඉවර කිරීම සහ U.N.Pයේ ලිබරල් කොටස් විනාශ කිරීම අවශ්‍ය වූයේ, ප්‍රේමදාසට ය. නමුත් එම කර්තවය ඉෂ්ට කර තම දෑත්වල මඩ තවරා ගත්තේ, ජවිපෙ ය. අවසන් සටනින් ජය ගත්තේ, ප්‍රේමදාස ය.

vijaya 2

පැරණි වම තමන්ගේ ඇඟේ තවරාගත් විජයගේ මානවවාදයෙන් අන්තිමට වැඩක් ගත්තේ, ප්‍රේමදාස ය. එම මානවවාදය බොල් බව පැරණි වමට වඩා හොඳින් දැන සිටියේ ප්‍රේමදාස ය. ඒ ප්‍රේමදාසගේ ජනප්‍රියවාදී ඉව නිසා ය. තේරුම් ගැනීමට අදටත් අපහසු කාරණය වන්නේ, ‘විජයගේ ඝාතනය’ දේශපාලනිකව ජවිපෙට අනවශ්‍ය දෙයක් වීත්, ඔවුන් අනුන්ගේ කොන්ත්‍රාත්තුවක් භාර ගත්තේ මන්ද යන කාරණයන් ය.

චිත්‍රපට කර්මාන්තය ජනප්‍රිය සංස්කෘතියට අයිති නිසා ජවිපෙ සැබැවින්ම විජයගේ ‘බොල් මානවවාදය’ අදහස් මතින් විසංයෝජනය කිරීමේ යතුර නො දැන සිටියේ ය. යම් දෘෂ්ටිවාදයක් සහ එය දරා සිටින්නා අතර පරතරයක් ඇත. විජය සම්බන්ධයෙන් පැවති මෙම ‘පරතරය’ විජේවීර න්‍යායිකව දැන සිටියේ නැත. ඒ නිසා, විජේවීරට ‘විජයගේ මානවවාදය’ 87 ඉන්දු-ලංකා ගිවිසුමට පසුව ප්‍රායෝගික කරදරයක් විය. විජය ඝාතනයට ජවිපෙ වක්‍රව සම්බන්ධ වන්නේ මෙතැනිනි. ඔවුන් මාඕගේ ප්‍රතිවිරෝධතා න්‍යාය හොඳින් අධ්‍යයනය කර සිටියා නම් අහක යන නයින් තමන්ගේ ඔඩොක්කුවට දාගන්නට යන්නේ නැත. යම් කිසි කර්මාන්තයක් මිය ගිය විට, ඊට අදාළ ප්‍රාග්ධනය එතැනින් ඉවතට පියඹා යයි. අධෝව්‍යුහයකින් තොරව සිනමාවට අදාළ උපරි-ච්‍යුහය පමණක් ශේෂ විය. යථාර්ථය අතහැර එහි ආධාරකය වූ ‘මායාව’ පමණක් අප වැළඳගෙන ඇත.

වසර 40කට පසුව ‘හංස විලක්’ නරඹන අලුත් ජීව විද්‍යාත්මක පරම්පරාව එහි දකින සුවිශේෂය කුමක්ද? චිත්‍රපට වියමන තුළ දකින්නට ලැබෙන සුවිශේෂය වන්නේ, විවාහයට සහ විකල්ප සම්බන්ධයට චිත්‍රපට අන්තර්ගතය තුළ පවතින තදාත්මික ආවේශය යි. ඔවුන් විවාහයටත්, විකල්පයටත් තදින් අනන්‍ය වී ඇත. මෙතැන දී සමකාලීනයෙකුට නිතැතින් නැගෙන ප්‍රශ්නය වන්නේ, ඇයි ඒ කාලයේ මේ තරම් මිනිස් සබඳතා වලට හැඟීම් ආයෝජනය කරන්නේ? මේ අපි වගේ සැහැල්ලුවෙන් ඉන්න බැරි ඇයි? ඉස්සර කාලේ ජෝඩු කියන්නේ මෝඩ මිනිස්සු ටිකක්. නමුත් මේ සමකාලීන පිරිස චිත්‍රපටයේ අවසානය කෙරෙහි දක්වන්නේ දැඩි නොසැලකිල්ලකි.

vijaya 1

කිසලොවිස්කිගේ ‘BLIND CHANCE’ චිත්‍රපටය මෙන්ම ‘හංස විලක්’ යනු ද නිශ්ශංක නම් පිරිමියාගේ ෆැන්ටසියකි. ඔහුගේ පළමු ෆැන්ටසිය වන්නේ, ඒකාකාරී දෛනික ජීවිතයෙන් පළා යාමට තනාගත් විකල්ප ලිංගික රහස්‍ය සතුටයි. සමාජයට හොරෙන් ලබන සතුට අතිරික්තයක් ජනනය කරන බව පමණක් ඔහු දනියි. පොලීසිය කාමරයට හදිසියේ කඩා වැදුනේ නැත්නම් ඔහුට මිරැන්ඩාව විවාහ කර ගැනීමට අවශ්‍ය නො වීය. 

නමුත් චිත්‍රපටයේ ආඛ්‍යානය වන්නේ, තමන්ගේ ‘විකල්පය’ විවාහයක් කරගතහොත් බිහිවන විපාකය යි. යම් පුද්ගලයෙකු විකල්ප සම්බන්ධයකට තමන්ගේ ලුබ්ධි ශක්තිය අවංකව ආයෝජනය කරන විට ඔහුට නව පසමිතුරුභාවයක් හමු වෙයි. එනම්, ‘විවාහය’ ඊට වඩා අව්‍යාජ සහ ගැටුම් අඩු තැනක් බවයි. මේ නිසා, නිශ්ශංකගේ දෙවැනි ෆැන්ටසිය අපට නව ඥාණ-විභාගයක් හඳුන්වා දෙයි.

‘හංස විලක්’ චිත්‍රපටයේ අවසාන භාගයේ දී හුදු ෆැන්ටසිය තුළින් පමණක් අනෙකා දෙස නරඹන්නට අපව පොළඹවයි. ‘හංස විලක්’ දෙවන ෆැන්ටසිය විසින් විවාහයේත්, විකල්ප සම්බන්ධයේත් සැර බාල කරන නැතහොත් ඒවායේ අඩංගු විෂ කොටස, නැතහොත් යථමය පැත්ත ඉවත් කිරීමට යෝජනා කරයි. එවිට, ‘විවාහයත්-විකල්පයත්’ අතර නව දයලෙක්තික සුසංයෝගයක් යෝජනා කරයි. තමන්ගේ බිරිඳ සමඟ රමණයේ යෙදෙන පිරිමියාට ඇඳ මත එලා තිබෙන විකල්ප පෙම්වතියගේ පෑන්ටිය පෙනෙයි. එය, ඔහුට විවාහයේ අපුලෙන් ගැලවෙන්නට ඇති අර්චනයකි. අනෙක් පසින්, විවාහයේ විඩාව නිවන විකල්පය මේ විවාහ රමණයට පසුව පටන් ගත හැකි ‘සංඥාව’ ඇඳ පත්ත මත එලා ඇත.

‘හංස විලක්’ අවසාන පැය භාගය යනු, 80 දශකය නොව මේ දැන් අප ජීවත්වන සමකාලීන සමාජ ජීවිතය යි. එනම්, ගැටුමකින් තොරව විවාහයත් විකල්පයත් එකට ගළපාගෙන ජීවත් වීමයි. එය, ඒ කාලයේ ෆැන්ටසියකි. නමුත් දැන් එය යථාර්ථයකි. අප සියලු දෙනාගේ සමාජ ජීවිතයට මෙම දෙමුහුන් විනෝදය එන්නත් වී ඇත. අප අවට ඇති පීඩාකාරී, ජාතිවාදී, ලිබරල් සමාජ පරිසරය දෛනිකව පවත්වාගෙන යාමට අපට පුද්ගලික ජීවිතයේ දී දෙමුහුම්-විනෝද-ආර්ථිකයක් නඩත්තු කිරීමට සිදු වී ඇත.

අප ‘හංස විලක්’ චිත්‍රපටයෙන් දේශපාලන ජීවිතයට එන්නේ නම් ‘හංස විලක්’ අපට උගන්වන්නේ කුමක්ද? FACEBOOK මඟින් දෛනික ජීවිතය සාමාන්‍යකරණය කරන යුගයක දී ‘විවාහයත්-විකල්පයත්’ එකට මුට්ටු වී ඇත. විවාහය තුළම එය ද්විගුණ වී, විකල්ප සම්බන්ධය ද විවාහයේ ම උදාහරණයක් වී ඇත. දැන් විවාහය සහ විකල්පයට එක්සත්ව, සුසංවාදීව පැවතිය හැකි ය. නමුත් ‘හංස විලක්’ යනු, චිත්‍රපට ප්‍රබන්ධයක් පරිදිම ‘විවාහය-විකල්පය’ ද ප්‍රබන්ධයකි. ඊට යථෙහි මානය ආපසු ඒම වැළැක්විමට නො හැකි ය. මෙම සංකලනය කළ හැක්කේ, මැද පන්තියට පමණි. ඉන් පහළ අය මෙම පර්යේෂණය අත්හදා බලන්නට ගිය විට බෙල්ල අහිමි වෙයි. සැබෑ ජීවිතයක් ගත කරන්නෙකුට විවාහය සහ විකල්පය ෆැන්ටාස්මැතිකව හැර දෙමුහුම් කිරීමට නො හැකි ය. ‘හංස විලක්’ අපට ලබා දෙන දේශපාලන උපදේශය එය යි.


80 දශකයේ දී විජය කුමාරණතුංග ඕපපාතිකව වාමාංශික මානවවාදියෙක් විය. ඔහු නිසා සිදු වූ එකම දෙය වූයේ, විකල්ප දේශපාලන සංවිධානයක බල රටාව සහමුලින් විනාශ වී යාමයි. ප්‍රේමදාසගේ රාජකාරියක් ඉතිහාසය විජේවීරට පැට වූ අතර එය අවසන් වූයේ, විජේවීරගේ හිසට මූනිස්සමක් ඇතුල් වීමෙනි. අද වන විට, ස්ත්‍රීවාදයක් හෝ සැබෑ මානවවාදයක් නැත. පවතින්නේ නරුමවාදය පමණි. අනුන් කළ යුතු රාජකාරි අපට පවරා ගැනීමේ සූදානමක් අපට නැත. පරම්පරාවක් සටන් කළේ ලංකාවේ ධනේශ්වරයේ ඒජන්තයා වූ ‘එක්සත් ජාතික පක්ෂය’ සමඟ ය. අසුරු සැණකින් එය විනාශ විය. මේ ‘විනාශ වීමේ’ ප්‍රවේශය ගැන අපි දැඩි අවධානයකින් පසු වන්නෙමු.

දීප්ති කුමාර ගුණරත්න
ත්‍රිමාණ වෙබ් අඩවියෙන් උපුටා ගැනුනි.

නවතම ලිපි