ජාතියක අනාගතය හා සංවර්ධනය පිලිබඳ සැලකීමේදී අධ්‍යාපනය යන විෂයට ලැබෙනුයේ අතිශය ප්‍රමුඛ ස්ථානයකි. ශ්‍රී ලංකාවේ අතීතයේදී හා වර්තමානයේදී අධ්‍යාපනය අශ්‍රිතව

සිදුවන අනේකවිධ ක්‍රියාවලින් පිළිබඳව සලකා බැලීමේදී අධ්‍යාපනය සිදුවන ආකාරය පිළිබඳව සමස්ත වශයෙන් සතුටුදායක විය හැකිද යන්න ගැටලුවකි. මේ ගැන විමර්ශනය කිරීමේදී අප විසින් සලකා බැලිය යුතු කරුණු රාශියකි.

අධ්‍යාපනය යනු කුමක්ද ?

පොදුවේ අධ්‍යාපනය යනු යම් පරම්පරාවක් සතු සංස්කෘතිය ඊළඟ පරම්පරාවක් වෙත පවරා දීමේ ක්‍රියාවලිය ලෙස හැඳින්විය හැක.



යම් සමාජයක පැවැත්ම හා ප්‍රගමනය සඳහා අවශ්‍ය කරනු ලබන පුද්ගලයින් සකස් කිරීම සඳහා අවශ්‍ය කරනු ලබන දැනුම, කුසලතා හා ආකල්ප සංවර්ධනය කිරීමේ විධිමත් වුත්, අවිධිමත් වුත් , නොවිධිමත් වුත් ක්‍රියාවලින් අධ්‍යාපනය ලෙස හැඳින්විය හැක.

අද ක්‍රියාත්මක වන අධ්‍යාපනය පිලිබඳ සැලකීමේදී කෘෂිකාර්මික සමාජයක් පැවති “ දිසාපාමොක්” ආකෘතිය මෙන්ම කාර්මික යුගයේදී හඳුන්වා දුන් “ පාසල” නම්වූ “ෆැක්ටරි” මොඩලය මෙන්ම වර්තමාන තොරතුරු යුගයක ක්‍රියාත්මක වන “ ඉලෙක්ට්‍රොනික ඉගෙනුම” ආකෘතිය ආදී වූ බහු ස්වරූප ව්‍යුහයක් ලෙස දැකිය හැක.



අද අපට ඇත්තේ කුමන අධ්‍යාපනයක්ද ?



ශ්‍රේෂ්ඨ ඉතිහාසයකට හා ශිෂ්ටාචාරයකට උරුම කම් කියන ලද ශ්‍රී ලාංකිකයින්ට අපටම ආවේනිකවූ , සුවිශේෂ වූ සාර්ථක අධ්‍යාපනයක් තුබුණු බව ඉතා පැහැදිලිය. එහෙත් වර්තමාන අධ්‍යාපනය පිලිබඳ සැලකීමේදී අප සතුව ඇත්තේ අධිරාජ්‍යවාදීන් විසින් විශේෂයෙන් බ්‍රිතාන්‍ය විසින් “ හිරු නොබසින අධිරාජ්‍යයේ”පැවැත්ම සඳහා, රැජිනගේ පැවැත්ම සඳහා අවශ්‍ය “කොලනියක්” ලෙස අප රට පාලනය කිරීම සඳහා අවශ්‍ය පිරිස් මානසික හා ශාරීරිකව සකස් කිරීම සඳහා හඳුන්වා දුන් , ඔවුන් රට පාලනය කිරීමට “ ජනතාව බෙදා ඔවුන් අතර ගැටුම් ඇතිකිරීම තුලින් පහසුවෙන් පාලනය” කිරීමේ න්‍යායට අවශ්‍ය පරිසරය නිර්මාණය කල, ඔවුන්ට විචාර බුද්ධියකින් තොරව අවනතවී “ දීන” ලෙස කටයුතු කරන ලෙස පරපුරක් නිර්මාණය කල, එහෙත් නිදහසින් පසුව මෙම “ අධිරාජ්‍යවාදී” මොඩලයේ හිරවී, එය වෙනස් කිරීමට ගොස් එම මොඩලයේ තවදුරටත් පැටලී, හිරවී සිටින අසාර්ථක අච්චාරුවකි, කොත්ත රොටියකි.

අධ්‍යාපනය තුලින් අප අපගේ සංස්කෘතිය ඊ ළඟ පරම්පරාවට පවරා දිය යුතුය. ඒ සඳහා අප අපගේ සංස්කෘතිය නිවැරදිව හඳුනා ගත යුතුය. අපගේ සැබෑ සංස්කෘතිය කුමක්ද යන්න නිර්වචනය කිරීමට හා එය කුමක්ද යන්න පවාහඳුනා ගනිඉමට අපොහොසත් ජාතියක් මේ වන විට අප නිර්මාණය කොට ගෙන ඇත, ඇත්තෙන්ම එය අප නිර්මාණය කර ගත නොව අපට බලෙන් පැටවූ එහෙත් අප නොදැනුවත්ව අපගේ කරගත් ජාතික උරුමයයි. අපගේ ඉතිහාසය ඉගෙන ගැනීම අප විසින්ම අපට වාරණය කොට ඇත. විජාතිකයෝ හා “උප ජන කොටස්” මේ රටේ ශිෂ්ටාචාරය බිහිකළ “ප්‍රධාන ජන කොටස” කුලප්පු කරමින් සැබෑ ඉතිහාසය විකෘති කරමින් පැරණි ඉතිහාසය අලුතින් ලිවීමට තරම් වූ සංස්කෘතික අගාදයකට අප අද ඇද වැටී ඇත.

අධ්‍යාපනය තුලින් නිර්මාණශීලීව දැනුම නිර්මාණය කල හැකියාව ඇත්තවුන් කල යුතුය. එහෙත් අද අප පාසල තුලින් බිහිවන්නේ දැනුමේ ඉහල ඵලය වූ “ දැනුම නිර්මාණය” කල හැකි බුද්ධිමතුන් නොව , දැනුමේ ප්‍රථමික ඵලය වන “මතක තබාගැනීමේ” හැකියාව ඇති හුදෙක් විභාග පමණක් සමත් වන පිරිසකි. විභාග සමත් වන සමස්ත පිරිසේ ප්‍රතිශතයද ගැටලුවකි.



අධ්‍යාපනයේදී දැනුම පමණක් තිබුණහොත් නිර්මාණශීලී , සාර්ථක , සමබර පුරවැසියකු බිහි කල නොහැක . ඒ සමග දැනුම හා සමබරව ආකල්ප හා කුසලතා ද සමාන්තරව හා ඒකාබද්ධව සංවර්ධනය කල යුතුය. අපගේ පාසල් අධ්‍යාපනය තුල මේ පිළිබඳව සැබෑ උනන්දුවක් නොගනී.



කුසලතා පිලිබඳ සැලකීමේදී විවිධ ශක්තීන් වලින් පිරිපුන් දක්ෂ පුරවැසියන් නිර්මාණය කිරීමට අප අපොහොසත් වී ඇත. මෙහිදීද කුසලතා වල අග්‍ර ඵලයක් ලෙස සැලකෙන යම් විෂයක් තුල ශුරත්වය ඇති මාස්ටර්ලා බිහි කර ගැනීමට අපොහොසත් වූ පාසල අද හුදෙක් යම් කුසලතාවයක් “ අනුකරණය “ කිරීම නම් වූ කුසලතා පිලිබඳ ප්‍රථමික ඵලයවත් දරුවන්ට නිවැරදිව දීමට අපොහොසත් වී ඇත.

ආකල්ප හෝ වටිනාකම් පිළිබඳව සැලකීමේදී හුදෙක් බාහිර ලෝකයට පෙනෙන්නට වටිනාකම් අගයන සමාජයක් මිස සිය ජීවිත වලට මෙම සමාජ වටිනාකම් ජීර්ණය වූ “ හර පද්ධතියක්” සහිත මිනිසුන් සහ ගැහැනුන් ගෙන් සමන්විත සමාජයක් නිර්මාණය කිරීමට පාසල අපොහොසත් වී ඇත

එහෙත් අපට අතිශය සාර්ථක අධ්‍යාපනයක් ඇති බවත්, අපට ඉතා ඉහල සාක්ෂරතාවයක් ඇති බවටත් විශ්වාශ කරන අප සියලු දෙන ස්වයං වින්දනයක් ලබමින් සිටිමු. ඒ ස්වයං වින්දනයේ යෙදෙන අප කිසිවකු මෙම අධ්‍යාපනයෙන් අපගේ රට ජාතිය දියුනු කල හැකි ශුර , වීර ධීර පුරවැසියන් බිහි නොවන බව තේරුම් නොගැනීම හා එය වෙනස් කිරීමට කටයුතු නොකිරීම ජාතියේම අවාසනාවකි. අපගේ “ බුද්ධිමතුන්” යැයි කියා ගනු ලබන බොහෝ දෙනෙකු“අධ්‍යාපනය සුරැකීම” වෙනුවෙන් පෙනී සිට , විරෝධතා සිදු කරමින් සිදු කරනුයේ මෙම “ස්වයං වින්දනයට තම කණ්ඩායම් වලට අවශ්‍ය වරප්‍රසාද” ලබා ගැනීමට අධ්‍යාපනයේ නාමයෙන් “ශිෂ්‍ය පරම්පරාව උකස් තැබීම” පමණි.


අප “නිදහස් අධ්‍යාපනය” යන්න “නොමිලේ ලබා දෙන අධ්‍යාපනයෙන් “ පටලවා ගෙන ඇත. “පොදුඅධ්‍යාපනය”යන්න “ පෞද්ගලික අධ්‍යාපනය “ යන්නෙන් පටලවා ගෙන ඇත.


අද විභාග වලට මුහුණ දෙන දරුවන්ගෙන් විශාල ප්‍රතිශතයක් මෙම අසාර්ථක විභාග ක්‍රම වලින් අසමත් වෙන් බව අප දිගින් දිගටම දකිමු. මෙසේ සිදු වන්නේ කුමක් නිසාද ? අපට අලංකාර ගොඩනැගිලි සහිත අධ්‍යාපන අමාත්‍යංශයක් ඇත. එකක් නොව සැම පළාතකම වෙනම අධ්‍යාපන අමාත්‍යාංශ ඇත. ඒ අසල අලංකාර ගොඩනැගිලි සහිත විභාග දෙපාර්තමේන්තුවක් ඇත. ලෝකයේ ඇති හොඳම පරිගණක පද්ධති අප සතුව ඇත. එහෙත් අවශ්‍ය වෙලාවට තොරතුරු නැත. වේගයෙන් ධාවනය කල හැකි හා හොඳම පහසුකම් ඇති මෝටර් රථ ඇමති වරුන්ට පමණක් නොව ඉහල නිලධාරීන්ට ද ඇත. එහෙත් එම වේගයෙන් අධ්‍යාපනය දුවන්නේ නැත.

 

ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකු දශක කිහිපයක් තිස්සේ “ අලුත් ලේබල් අලවමින්” “ පැරණි වයින්” වලින් අධ්‍යාපනය “ මත්” කරමින් සිටී. අධ්‍යාපනයේ සැබෑ අරුත කෙසේ වෙතත් මෙම බැංකු හා සමහරුන් පමණක් සංවර්ධනය වෙමින් පවතී.



ලෝකයේ හොඳම පාසල් ගොඩනැගිලි අප සතුව ඇත. පාසල පිහිනුම් තටාක පවා ඇත. එහෙත් පාසලින් “අධ්‍යාපනය” අතුරුදහන් වෙමින් පවතී. “ පාසල” තුල “ඉගැන්වීම” සිදු වුවද “ ඉගෙන ගැනීම” සිදු වේද යන්න නිසි අයුරින් සිදු වන්නේද යන්න සොයා බැලිය යුතුය.

පවතින අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම සදොස් බව අප නොකියමි.

School 3

එහෙත් සමස්ත අධ්‍යාපනයම ආපදාවක් වෙමින් පවතින බවත්, එම අර්බුදය තේරුම් ගැනීමට පවා අප අපොහොසත් වී ඇති බවත් අප අවධාරණය කල යුතුය “ සමස්ත රාජ්‍ය අධ්‍යාපනය” නඩත්තු කරන්නේ “මහජන අරමුදල්” වලිනි. අද“ මෙම මහජන අරමුදල්” වලට සිදු වන්නේ කුමක්ද? මෙම අරමුදල් වලින් නඩත්තු වන අධ්‍යාපනය නිසි අයුරින් සිදු වන්නේ නම් දෙමාපියන්ට මුදල් ගෙවා සාමාන්‍ය පන්ති කාමරයක සිටිය යුතු “ ළමුන් සංඛ්‍යාව” නම් වූ ප්‍රමිතිය ඉක්මවා ළමුන් දහස් ගණන් කොටුවී ඉගෙන ගනු ලබන “ ප්‍රසිද්ධ දේශන ශාලා” වල සිදු වන “පෞද්ගලික පන්ති” වලට දරුවන්ව ඔවුන්ගේ ළමා කාලය විනාශ කරමින් යැවීමට සිදු වී ඇත්තේ ඇයි ? අද පාසල අධ්‍යාපනය නාමයෙන් දෙමාපියන්ට දෙවරක් බදු ගෙවන්නට, වියදම් කරන්නට සිදු වීම ගැන අප බුද්ධිමත්ව කලපනා කල යුතුය. ඒ සමඟ ඇති වන සමාජ අර්බුදයන්ද අපගේ අවධානයට යොමු විය යුතුය.

1948 දී අප රටේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 90 ඉක්මවද්දී සිංගප්පුරුවේ එම අගය මෙම ප්‍රමාණයට වඩා අඩු විය. 1998 දී පමණ මෙම අගය ඩොලර් 1000 ඉක්මවද්දී අපගේ පාලකයෝ පටි දමමින් සිය ජයග්‍රහණ ගැන ජනතාවට උදම් අනන්නට පුරුදු කලෝය. ස්වභාවිකව අපේ රටේ මේ අගය වැඩි වෙද්දී සිංගප්පුරුවේ මෙම අගය ඩොලර් 25,000 දක්වා වැඩි කර ගන්නට එහි පාලකයෝ කර්යශූර විය. මෙම යථාර්තය සංසන්දනාත්මකව ඉදිරිපත් නොකිරීමට පාලකයෝ කපටි වුවද තමන්ට සිය රටේදී අවුරුදු 25 කදී මහන්සි වී උපයන දේ අවුරුද්දකින් සිංගප්පුරු තරුණයකු ට අවස්ථාව ලබා දෙමින් “ තාරුණ්‍යට අදක්” එම පාලකයින් ලබා දෙන බව අපේ තරුණයෝ තේරුම් ගත්හ. මෙම තරුණ අසහනය 1971-1989 අර්බුධ වලට මෙන්ම ජනවාර්ගික අර්බුධ වලටත් , ඒ ආශ්‍රිත ත්‍රස්තවාදයටත් පදනමක් වූ බවද අප සැලකිය යුතුය. හෙට ඇමරිකාවට හෝ යුරෝපයට හෝ වෙන ඉහල ආදායමක් ඇති රටකට විසා ලැබෙන්නේ නම අපගේ තරුණ ජනගහනයෙන් 90% කට වඩා රට හැර යන්නට කැමති බව මෑතකදී අප කල සමීක්ෂණ වලින් හෙලිදරුව් වුනි. ඔවුන් රට හැර යන්නේ රටට වෛර කරන නිසා නොවන බව ඉතාම පැහැදිලිය. එමෙන්ම රටට ආදරය කරන පුරවැසියකු බිහි කිරීමට අපේ අධ්‍යාපනය අපොහොසත් වී ඇති බවද ඉතාම පැහැදිලිය.

 


නිදහස ලබා ගතවූ මුල් දශක දෙක තුල අපගේ පාසල් ගුරුවරු විදේශ රටවල අධ්‍යාපනය නැංවීමට විදේශ ගත වූ අපට මතකය. එමෙන්ම පසුගිය ශතක හය තුල අපගේ අධ්‍යාපනයට විශාල ආයෝජනයක් කර 90% ඉහල සාක්ෂරතාවක් ලබා ගත බවද අපි දනිමු. එහෙත්

 


අපගේ ශ්‍රම බලකාය වූ මිලියන 10 කට අඩු ප්‍රමාණයෙන් 10 % වැඩි ප්‍රමාණයක් එනම් මිලියනයකට වැඩි ප්‍රමාණයක් මැද පෙරදිග “ගෘහ සේවකයින්” ලෙස ජාතියම “බාල්දු කොට” “වහල් සේවයට” යැවීම එකම විකල්පය ලෙස 1977 සිට අද දක්වා සිදු කිරීමට පාලකයින්ට සිදු වීම ඔවුන්ගේ නොහැකියාව මිස අන් කිසිවක් නොවේ. “ රට විරු” ලේබල් ඇලවීමෙන් මෙම ජාතික ව්‍යසනයට “ සළු පිලි “ ඇන්දවිය නොහැකි බව අප සැම තේරුම් ගත යුතුය. නිදහසින් පසු අධ්‍යාපනයෙන් අපව දවා ලූ තවත් කඩුල්ලක් ලෙස මෙය දැක්විය හැක.

අප පසුගිය කාලය තුල කල සමීක්ෂණයකින් හෙළිදරුව් වුයේ ශ්‍රී ලංකාවේ ඉංගිසි අධ්‍යාපනයද වල පල්ලටම ගොස් ඇති බවය. සාමාන්‍යයෙන් උසස් පෙළ අවසන් කරන දරුවෙක් හොඳට දන්නේ ඉංග්‍රීසි වචන 200 කි. 90% වැඩි පිරිසකට වසර 13 ක ඉංග්‍රීසි හැදෑරීමෙන් පසු ඉංග්‍රීසියෙන් කතා කල නොහැකි බව යථාර්තයකි. මේ වන විට දරුවන් සිය කාලයෙන් දින 4000 ක් මේ වන විට ගත කර ඇත. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ ළමුන් දින 20 ක් තුල ඵලදායක ලෙස ඉගෙන ගන්නේ වචන එකකි. මෙවැනි තත්ත්ව වලට වගවීමක් නොමැත.

1977 දී විවෘත ආර්ථිකය හඳුන්වා දීමේදී ආර්ථිකයේ සියලු අංශ වෙනස් කොට ක්‍රියාත්මක කලද අධ්‍යාපනය කෙරෙහි වන බලපෑම ගැන හෝ අධ්‍යාපනය කෙසේ වෙනස් විය යුතුද යන්න ගැන ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක කතිකාවතක් නිර්මාණය කර ගැනීමට හා ඒ අනුව අපට ගැලපෙන අධ්‍යාපන ව්‍යුහයක් නිර්මාණය කර ගැනීමට “දේශප්‍රේමී ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්” සකසා ගැනීමට අපට නොහැකි විය. ඒ තුල දෙමාපියන් නැති දරුවන් සේ විවිධ ස්වරූප වලින් යුත් පාලනයක්, කලාවක් නැති අධ්‍යාපන උප ව්‍යුහයන් හා සංස්කෘතීන් මේ රට තුල බුහි විය. වෙමින් පවතී. ජාත්‍යන්තර පාසල් පිළිබඳව අප ඉතා ගැඹුරින් සිතා බැලිය යුතුය.

 

ප්‍රමිතියකින් තොරව හතු පිපෙන්නාක් මෙන් බිහි වන ජාත්‍යන්තර පාසල හුදෙක් විවෘත ආර්ථිකයේ ඉල්ලුම හා සැපයුම තුල දොලනය වීමට ඉඩ සැලසීම අතිශය භයානක කරුණකි. රජයේ පාසල වත් නිසි ලෙස කළමනාකරණය කිරීමට හැකියාවක් නොමැති අධ්‍යාපන අමාත්යංශය මේ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද?

මෙම පාසල් වල මුදල්ගෙවා සේවය ලබා ගන්නා පාරිභෝගිකයින්ගේ සුබසාධනය පිලිබඳ නීති මොනවද? යන්න අප ප්‍රශ්න කල යුතුය.

edu 1

“ටියුෂන්” යනු අධ්‍යාපනය තුල ඇති හොඳ සංකල්පයකි. “ටියුෂන්” යනු ඉගෙනුමට දුෂ්කර කම් ඇති අයට පෞද්ගලිකව අවධානය ලබාදෙන උපකාරක පන්තියකි, එය කාර්මිකකරනය නිසා බිහිවූ ෆැක්ටරි මොඩලයේ අර්බුධ නිසා බිහි වූ අවශ්‍යතාවයකි. එහෙත් ශ්‍රී ලංකාවේ විවෘත ආර්ථිකය තුල “ටියුෂන්” යන්න අධ්‍යාපනයට විකල්පයක් ලෙස බිහිවී ඇත. එය ශ්‍රී ලාංකීය අධ්‍යාපන අර්බුදය නිසා සමාජය තුල හා විශේෂයෙන් රාජ්‍යයේ නොහැකියාව තුල වූ අතවරයන් නිසා බිහි වූ “ පිලිකාවකි”. ටියුෂන් නිසාම නොව නිසි අධ්‍යාපනයක් නොමැති නිසා ජනතාව , එම නිසා පාලකයෝද “ ටියුෂන් යනු අධ්‍යාපනයයි , අධ්‍යාපනය යනු “ඉගැන්වීමයි” ලෙස ලඝු කොට සිතන්නට පටන් ගෙන ඇත. ඒ තුල

 

වර්තමානයේ “ඊනියා අධ්‍යාපනයෙන්” “අධ්‍යාපනය” අමනාප වී ඉවත්ව ගොස් ඇත. ඉතා දක්ෂ ටියුෂන් මාස්ටර්ලාට අධ්‍යාපනය බාර දීමට පාලකයින්ට සිතෙන්නට තරම් අධ්‍යාපනය ටියුෂන්ගත වී ඇත. එය නිදහසින් පසු හොඳම විසඳුම ලෙස දකින්නට තරම් ජනතාව “ මන්දබුද්ධික” වී ඇත.

 

“ ඉගැන්වීම යනු අධ්‍යාපනය ලෙස ලඝු කරනවා සේම ගුරුවරයා යනු අධ්‍යාපන ලෙස ලඝු කරන්නට සමාජය පුරුදු වීම මෙම අධ්‍යාපන අර්බුදයේම කොටසකි. එය වඩාත්ම හොඳම විසදුම ලෙස ජනතාවට තේරෙන තරමට මෙම පිළිකාව සමස්ත සමාජ දේහය තුලම පැතිරී ඇත. පෞද්ගලික අවධානයට නිර්මාණය වූ ටියුෂන් ශ්‍රී ලංකාව තුල “ පෞද්ගලික පන්ති “ නොව “ ප්‍රසිද්ධ දේශනා ශාලා” බවට පත් වී ඇත. මෙම අධ්‍යාපනයේ “පිළිකාවෙන්” සුවවන්නට අපේ මහජනතාව ටියුෂන් නම් වූ දේවාලයට ගොස් සිය ටියුෂන් මාස්ටර් “ඉෂ්ට දේවතාව” ලෙස සලකා මිත්‍යා දෘෂ්ඨිකව “ සෙත් කවි” කියද්දී , දක්ෂම ටියුෂන් මාස්ටර්ලා “අධ්‍යාපනයේ සක්විති දෙවිදු” යැයි සිතා පාලකයෝ නටන මේ “ දෙවොල් මඩුවෙන්” රටට මෙම පිළිකාව “ වස් කවියක්” වී ඇති බව තේරුම් ගැනීමට තරමටවත් විචාරශීලී නොවීම ජාතියේම අවාසනාවකි.

පාසල නාමික ප්‍රපංචයක් පමණක් වෙමින් පවතී.පාසල යාම හුදු සමාජ අවශ්‍යතාවයක් පමණක් වී ඇති අතර “අධ්‍යාපනය “ ලැබීමට “ටියුෂන්” පන්ති යා යුතු බව අත්‍යවශ්‍යතාවයක් බවට පත් වී ඇත. “නිදහස්” පාසල් අධ්‍යාපනය නොහොත් නොමිලේ ලබාදෙන අධ්‍යාපනය වෙනුවට ප්‍රසිද්ධ දේශනා පවත්වන පෞද්ගලික පන්ති නිර්මාණය වී ඇත, රජයේ පාසල් හැරයන 90% ඉංග්‍රීසි බස නොහැකි මෙන්ම ජාත්‍යන්තර පාසල් යන 90% කට සිය මව බස නොහැකිය. මේ තුල නිර්මාණය වන සමාජ පරතරයන් සමාජ සංවර්ධනය සඳහා හිතකර නොවන සමාජ ගැටුම් හා අර්බුධ නිර්මාණයට තෝ තැන්නකි.

අධ්‍යාපනය සකස් විය යුත්තේ අනාගතය දෙස බලමින්ය. එහෙත් ලංකාවේ සිදු වී ඇත්තේ හැමවිටම අතීත අවශ්‍යතා වලට පිළිතුරු සපයන පසුගාමී වෙනස්කම් සහිත අධ්‍යාපන මුලාරම්භයන්ය. අද අපට අවශ්‍යව ඇත්තේ ශ්‍රී ලංකාව දශක කිහිපයකින් ඉදිරියට ඔසවා තැබිය හැකි අධ්‍යාපන ප්‍රතිව්‍යුහ කාරණයකි. එය කතා කරන තරම් ලෙහෙසි පහසු ක්‍රියාදාමයක් නොවේ, එහෙත් අප එය කෙසේ හෝ කල යුතුය. අපේ අක්මුල් සිඳ දමන ලද මෙමෙ අධ්‍යාපන ක්‍රමය වෙනුවට රටට ආදරය කරන, ශක්තිමත් , ගුණවත්, නැණවත් දරුවන් බිහි කරන, ගොලීය අභියෝග ජයගත හැකි එහෙත් දේශීය පදනමක් ඇති දරුවන් බිහි කරන අධ්‍යාපනයක් නිර්මාණය කල යුතුය.


වර්තමානයෙදී “අධ්‍යාපනය” ජාතිය වනසන “නිහඩ ත්‍රස්තවාදයක්” වෙමින් පවතී. මේ බව දැන දැන අපට නිහඩව සිටිය නොහැක. මෙම තත්වය පිලිබඳ පුළුල් කතිකාවතක් ඇති කර මෙම තත්වයේ ඇති භයානක කම ජනතාවට තේරුම් කර දීම අපගේ වගකීම බව අප විශ්වාශ කරමු.

 

එබැවින් මෙම තත්වයට හේතු සොයා මෙම ජාතිය වනසන අධ්‍යාපනයේ තුවාලයන් සුව කර ජාතිය වනසන අධ්‍යාපන ක්‍රමයක් වෙනුවට ජාතිය ගොඩ නගන අධ්‍යාපනයක් බිහි කල යුතුය. එසේ නොකළහොත් කොතරම් ආයෝජන ගෙනවිත් ආර්ථිකය දියුණු කිරීමට කටයුතු කලද ඉන් නිසි ඵල ප්‍රයෝජන ලබාගත නොහැක. ඒ අනුව මේ අධ්‍යාපන ක්‍රමයේ අර්බුධ පිලිබඳව ජනතාව රට පුරා දැනුවත් කිරීමටත්,මේ පිලිබඳ වඩාත් පුළුල් සමාජ කතිකාවතක් ඇති කිරීමටත් , ඒ තුලින් රටට හිතකර වඩාත් මානුෂීය අධ්‍යාපනයක් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කොට ක්‍රියාත්මක කිරීමට රජයට බල කිරීමට පුළුල් සමාජ බලවේගයක් බිහි කිරීම වගකීමක් ඇති සියලු දෙනාගේ වගකීමය.

කථිකාචාර්ය දිලන්ත විතානගේ

“රටට හිතකර මිනිසුන්ට හිතකර ඉගෙනුමක්” වෙනුවෙන් සමාජ කතිකාවතක් වෙනුවෙන්  2013 දී පලකරන ලද්දකි.

නවතම ලිපි