අන්නාසි සහ කඩලගොටු සාහිත්‍ය උත්සවය AK Lit Fest මුලින්ම තිබ්බේ 2015 දී. එදා තමයි මම මුලින්ම ඉංග්‍රීසියෙන් නිවේදන කටයුත්තක් කරේ. ඒ මට ඉංග්‍රීසි පුළුවන් නිසා නෙවෙයි.

ඉංග්‍රීසියෙන් තියා සිංහලෙන්වත් වැඩේ කරන්න වෙන කවුරුත් හිටපු නැති නිසා. ඉංග්‍රීසි සාහිත්‍යයේ වගේම සිංහල සාහිත්‍යයෙත් නම් දරාපු පතාකයින් දැන් බලං ඉන්නව වැඩේ පටන් ගන්නකං. මහාචාර්ය ජේ. බී දිසානායක, අශෝක් ෆෙරී, ශෙහාන් කරුණාතිලක, මහාචාර්ය ලියනගේ අමරකීර්ති, මාලින්ද සෙනවිරත්න වගේම දීපාල් සූරියාරච්චි, දිලිත් ජයවීර, අරුන් ඩයස් බණ්ඩාරණායක ඉන්නව මට පේනව. සංවිධායක මණ්ඩලේ ඔක්කොම කඩියො වගේ වැඩ.

සාහිත්‍ය උත්සවය පටන් ගනකන් බලන්න ඇවිල්ල ඉන්න මිනිස්සු කඩුවෙන් වනනවා හතර අතට. දන්නවනෙ ඉතිං කඩුව කියන්නෙ මොකක්ද කියල. සාමාන්‍ය ඉංග්‍රීසි කතා කරන්න අමාරුවෙන් ඉන්න අපිට සාහිත්‍ය කඩුවෙන් කොටද්දි නිකං පිස්සු වගේ. මාත් සංවිධායක මණ්ඩලයේ සාමාජිකයෙක්. අපේ ලොක්ක තමයි කැප්ටන් එල්මො ජයවර්ධන. එයත් රාජ්‍ය සාහිත්‍යයෙන් ඉංග්‍රීසි වලින් කප් ගහපු කැප්ටන් කෙනෙක් තමයි. එයාට උදේ 10 කිව්වොත් ඉතිං 9.59 වැඩේ පටං ගන්න ඕන.

  1. 59 වෙද්දි මට කිව්ව "උබ මොකද මගේ මූණ දිහා බලං ඉන්නෙ ගිහිං වැඩේ පටං ගනිං කියල" වැඩේ කිව්වෙ නිවේදන වැඩ ටික. මං මේකට ලෑස්ති වෙලා හිටියෙ නෑ. මං ඇහුව "ඉංග්‍රීසියෙන්ද සිංහලෙන්ද?" කියල. "උබට පේනවනෙ ඇවිල්ල ඉන්න මිනිස්සු. ගැලපෙන විදියට කරන්න" කිව්වා. මං හිතුවා “මේ කඩුවෙන් කොටන කෙටිල්ලට සිංහලෙන් පටන් ගත්තොන් ලැජ්ජාවෙ පන යයි. එක වාක්‍ය ඉංග්‍රීසියෙන් කියල පොඩ්ඩක් පුලුවන් බව පෙන්නල සිංහලට මාරු වෙනව” කියල.


මට ලේසියෙන්ම ඉංග්‍රීසියෙන් කියන්න පුලුවං වාක්‍ය තමයි “Good evening ladies and gentlemen කියන වාක්‍ය. මොකක් හරි හේතුවකට මට ඒක posh විදියට කියන්න පුලුවන්. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ මේක තියෙන්නෙ උදේනෙ. ඉතිං ලේසියෙන්ම “Evening” කියන වචනෙට “Morning” කියන වචනෙ දාල වැඩේ පටං ගන්නව කියල හිත හදාගෙන ගත්ත මයික් එක අතට. මං ඔය Morning කියන වචනය ශබ්ද කරද්දි හරියට කියවෙන්නෙ නෑ කියල කීප දෙනෙක්ම කියල තිබ්බා.

"ඕ" ශබ්දය වෙනුවට මො"ර්"නිං වගේ ශබ්දයක් එනව, පොඩි ගොඩේ ගතියක් තියනව posh ගතියක් නෑ කියල ඔය වචනෙ කියද්දි. වැඩේ පටං ගන්න යද්දි "Good" කියල කියද්දිම ඕක ඔලුවට ආව. කරන්න දෙයක් නැහැනෙ. මාත් එක පිම්මෙම කියල දැම්ම. කියපු ගමං මිනිස්සු හිනා වුණා. එතකොටයි මට තේරුණේ මං කියල තියෙන්නෙ Good MORNING ladies and gentleman වෙනුවට "Good EVENING ladies and gentlemen " කියල උදේ 10ට. ඕක මතක් වෙලා තමයි මේ සටහන ලිව්වෙ.

පත්තරේ මගේ සති අන්ත තීරු ලිපිය කියවන අයයි, රූපවාහිනියේ මගේ වැඩසටහන් බලපු අයයි ගොඩක් අහල තිබ්බා කොහොමද ඉංග්‍රීසි කතා කරන්න, ලියන්න ඉගෙන ගත්තෙ කියල. මගේ ඉංග්‍රීසි ආදර්ශයට ගත්තොත් ඔක්කොම අමාරුවෙ වැටෙන නිසා කලින්ම මේ කතාව ප්‍රසිද්ධියේම ලියන්න හිතුවා.

ඇත්තම කතාව තමයි මට අර අන්නාසි සහ කඩලගොටු එකේ නිවේදන කරද්දි දන්න ඉංග්‍රීසිම තමයි තාම පුලුවන්. සරලව කිව්වොත් මට එදත් ඉංග්‍රීසි බැහැ. අදත් බැහැ. හැබැයි වෙනසකට වුණේ එදා මිනිස්සු ගොඩක් ඉස්සරහ වචනෙ වැරදුනාට පස්සෙ ඉංග්‍රීසි කතා කරන්න පුලුවන් මිනිස්සු, මගේ ඉංග්‍රීසි ගැන මොනව හිතයිද කියන එක ගැන හිතන එක මං නැවැත්තුවා. මං හිතා ගත්ත good morning evening වැරදිච්ච එකේ තව මොනව වරදින්නද මේක මං ආතල් එකට කතා කරනව කියල.

ඊට පස්සෙ මං ඉංග්‍රීසි ගැන ටිකක් ගැඔුරෙන් හිතන්න ගත්තා. ඒ කියන්නෙ නිකං ගඟේ වැවේ ගැඔුරු දියේ නාන වෙලාවෙ වගේ නෙවෙයි, ඉංග්‍රීසි වරදින්නෙ මොන වෙලාවටද, මොනවද වරදින්නෙ, තේරෙන්නෙ නැත්තෙ ඇයි, වචනද, කතා කරන ඇක්සන්ට් එකද වගේ ඒව ඔහේ හිතන්න ගත්ත.

මට තේරුණ දෙයක් තමයි මං කාත් එක්ක හරි ඉංග්‍රීසියෙන් කතා කරද්දි ඒ මං කතා කරන අනිත් කෙනාට මට වඩා ඉංග්‍රීසි හොදට පුලුවන් කියල හිතුනොත් මට ඉංග්‍රීසි වරදින ප්‍රමාණය වැඩියි කියල. එහෙම වෙන්නෙ අපේ insecurity නිසා. අනිත් මිනිස්සු මාව විනිශ්චය කරයි කියල හිතං ඉන්න එක තමයි ඒකට හේතුව කියලයි මට හිතෙන්නෙ. ඇත්තටම මිනිස්සු වැරදුනාම හිනා වෙයි කියල හිතං ඉන්න එක මිත්‍යාවක්. එහෙම වෙනව ඇති හැබැයි අපිම තමයි ඔය හිනා වෙනව කියල හිතං ඉන්නෙ.
දැනුත් මට ගොඩක් අය කතා කරල මට ඉංග්‍රීසි වරදින තැන් කියනවා. මගේ ලඟම යාලුවො වැඩසටහනකට ගියාම කොන්ඩෙ ඉඳල ඇඳන් හිටපු ඇඳුමෙ ඉඳල ඔක්කොම ගුණ දොස් කියනවා. ඒක පුදුම හයියක්. ඒක හයියක් කියල තේරුම් ගන්න බැරි වුනොත් මුලින්ම වරදිනවා. අපිට ඉංග්‍රීසි වැරදුනාම අනිත් මිනිස්සු හිනා වෙයි කියල හිතං ඉන්න එක තමයි අපි කරගන්න මුල්ම වැරදි විනිශ්චය. කාලයක් කැප්ටන් එල්මො මට කියල තිබ්බ ගහන email පුලුවන් ඒව ඔක්කොම එයාට copy කරන්න කියල. හැම email එකකටම පස්සෙ මගේ වැරදි රතු පාටින් හදල පෙන්නල එවනව. අදටත් මං ටිකක් serious email එකක් ගහනවනං office එකේ කාට හරි පෙන්නල අහනව මං කියන්න හදන අදහස එනවද කියල. සමහර වෙලාවට කැප්ටන් එල්මො මට email යවන්න කලින් අහල එවනව මේකෙ එන අදහස හරිද කියල. එතකොටයි මට තේරුනේ අපේ මාන්නය පැත්තකට තිබ්බ නං ගොඩක් දුර යන්න පුලුවන් කියල.
මං පත්තරේට ලියන තීරු ලිපියත් මං ලිව්වට පස්සෙ තව 3 දෙනෙක් බලනවා. ඊට පස්සෙ පත්තරේ sub editor සහ editor ඕක බලල තමයි පත්තරේ පළ කරන්නෙ. සමහර වෙලාවට 5 දෙනෙක් බලලත් ඕකෙ ඉංග්‍රීසි වැරදි තියනවා. ඒක එහෙම තමයි. ඒක බොහෝ තීරු ලිපි වලට පොදු දෙයක්. ඉංග්‍රීසි හොදට පුලුවන් අයටත් ඕන තරම් වරදිනව. මගේ ඔය Interview බැලුවොත් ඕන තරං වැරදි තියනවා. ඒකෙ තේරුම අපිට භාෂාවෙ ඕන තරං වැරදි කරන්න පුලුවන් කියන එක නෙවෙයි. වැරදි වෙයි කියන බයට භාෂාවෙ පාවිච්චි නොකර ඉන්න එපා කියන එක.

මට හිතුන අනික් දේ තමයි තව කෙනෙක් අපිව විනිශ්චය කරයි කියල හිතුනම අපි අනිත් කෙනාගෙ විනිශ්චය වෙනුවෙන් රඟපාන්න උත්සහ කරනව මිසක් අපේ යතා ස්වරූපයට එන්නෙ නැහැ. එතකොට අපේ අදහස ගැන හිතන්නෙ නැතුව ඉංග්‍රීසි ව්‍යාකරණ හරිද කියල හිතන්න ගිහිල්ල දෙකම වරදිනව. සාමාන්‍යයෙන් කතා කරගෙන යද්දි Have ද has ද was ද were එන්නෙ කියල හිතන්න ගත්තොත් අදහස් කියන්න බැහැ. ඒක හරියට පොතක් කියවද්දි කලින් වාක්‍ය මතක තියා ගන්න ගියොත් කියවන වාක්‍ය කියවන්න හම්බ වෙන්න්නෙ නැහැ. හැබැයි දැන් කියවන වාක්‍ය කියවන්න කලිං වාක්‍යයේ අදහස දැනගෙන ඉන්න ඕන.

ඊට පස්සෙ මං කල්පනා කරා ඇත්තටම අවුරුදු 12ක් 13ක් ඉස්කෝලෙ ඉංග්‍රීසි උගන්නලත් " Spoken English” පංති ගිහිල්ලත් ඇයි අපිට ඉංග්‍රීසි බැරි කියල. මං කාලයක් සක්විති රණසිංහ මහතා ගාවටත් පංති ගියා.

මං පිටරටවල් වල කිහිප දෙනෙකුගෙනුත් ඇහුවා කොහොමද ඒ රටවල්වල ඉංග්‍රීසි උගන්වන්නෙ කියල. අපි වගේම ඉංග්‍රීසි  කතා නොකරන රටවල්වල අයගෙනුත් ඇහුවා. එහේ ඉංග්‍රීසි උගන්වන්නෙ සම්පූර්ණයෙන්ම වෙනස් ක්‍රමයකට. එහේ මාස 6න් ඉංග්‍රීසි ඉගෙන ගෙන හොදට කතා කරනවා.

ඉංග්‍රීසි විතරක් නෙවෙයි,French, Spanish වගේ අනිත් භාෂාත් මාස 6න් අවුරුද්දෙන් උගන්නනවා. එහෙම කරන්නෙ ඔවුන් උගන්නන්නෙ භාෂා උගන්වන ක්‍රමවේද පාවිච්චි කරල. මොලේට ඕනම භාෂාවක් ගමන් කරන විදියක් තියනවා. ඒක හරියට computer එකකට programme එකක් ලියනව වගේ තමයි. ඒ ක්‍රමේට තමයි ඒ රට්වල්වල හැම භාෂාවක්ම උගන්වන්නෙ. අපේ ඉංග්‍රීසි උගන්වන්නෙ සමාජ ක්‍රමයක් විදියට කියලයි මට හිතන්නෙ. උගැන්වීම කෙසේ වෙතත් ඉගෙන ගන්න අය ඉගෙන ගන්නෙ සමාජ ක්‍රමයක් විදියට.

අපේ ඉංග්‍රීසි උගන්වන ක්‍රමය අන්තිම පසුගාමියි. ඇත්තටම අපේ ඉංග්‍රීසි ටීචර්ලටත් ඉංග්‍රීසි බැහැ. ඊටත් වඩා ප්‍රශ්නයක් ඉංග්‍රීසි බැරි බව දන්නෙත් නැහැ. Simple present tense, present continuous tense වලින් තමයි පාඩම පටං ගන්නෙ. ඉතිං එහෙම ඉගෙන ගෙන ඉංග්‍රීසි මේ තරමිං පුලුවන් වුනාට ලංකාවෙ එවුන්ට වෙනම තෑග්ගක් දෙන්න ඕන. හිතන්නකො නිකමට අපිට සිංහල උක්ත, ආක්යාත, කර්මය, කර්ම කාරක, කතෘ කාරක වාක්‍යවලින් උගන්නන්න ගත්ත නං මොකක් වෙයිද කියල.
ඉංග්‍රීසි බැරිවෙන්න මං දකින ඊලග හේතුව තමයි ඉංග්‍රීසි එක්ක තියෙන තරහ. මං ඉස්කොලෙ යන කාලෙදි එහෙම ඇත්තටම ඉංග්‍රීසිවලට පොඩි තරහක් තිබ්බා. “අපේ සිංහල භාෂාව පුදුම භාෂාවක්. ඒකෙ තියන ශබ්ද ඉංග්‍රීසි භාෂාවේ ඇත්තෙ නැහැ. ඇපිට ඉංග්‍රීසි නැතුව ජීවත් වෙන්න පුලුවන්. ඉංග්‍රීසි කියන්නෙ සංස්කෘතික ආක්‍රමණයක්” කියල ඉංග්‍රීසි පුලුවන් යාලුවොත් එක්ක තර්ක කරනව මට මතකයි. මට සිංහල ගැන කොච්චර පිස්සුවක් තිබ්බද කිව්වොත් මම කොළඹ සරසවියෙ ඉන්න කාලෙ ටී ෂර්ට්වල කනපිට හරවල ෆැබ්රික් පේන්ට්වලින් සිංහලෙන් කණපිට කියල ඇදන් යනවා. මට හිතුනෙ සිංහල ගැන කැක්කුමක් ආවෙම ඉංග්‍රීසි එක්ක තියන තරහට කියල. තාම මං අත්සන් කරන්නෙත් සිංහලෙන්. ඉංග්‍රීසි අත්සනක්වත් නැහැ. හිතා ගන්න පුලුවන්නෙ කොල්ලගෙ තරම
බොහෝ වෙලාවට ඕක අපිට වෙනවා. බොහෝ අයට රට ගැන මාර කැක්කුමක් වගේ දෙයක් එන්නෙ රට ගැන කැක්කුමට වඩා වෙනත් රටවල් එක්ක තියන තරහ නිසා. ආගම්වලදිත් ඕකම වෙනවා. අනෙක් ආගම් වලට වෛර කිරීම තමන්ගේ ආගමට ආදරයක් විදියට වැරදි විදියට පේනවා. භාෂාවකට, ජාතියකට ඕනම දේකට ඔය දේ වෙන්න පුලුවන් කියලයි මට හිතෙන්නේ. ඉංග්‍රීසි බැරි වීම දරා ගන්න බැරි වුණාම මානසික ආතතියට වුණත් එන්න පුලුවන්. කොළඹ විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ තිබ්බ දේශණයකදි කිව්ව ලංකාවෙ මේ තත්වය බහුලව තියනව කියල. සමහර විශ්වවිද්‍යාල ළමයි සමහර සම්මුක පරීක්ෂණවලදි “tell me a little bit about yourself” කිව්වම තරහෙන් කාමරයෙන් එළියට දුවපු අවස්ථා හමුවෙලා තිබ්බා. එහෙම හමුවෙලා තිබ්බෙ දකුණු ආසියාවෙන්ම ලංකාවෙ විතරයි මට මතක විදියට.

ඔය ඉංග්‍රීසි එක්ක තියන “තරහ” තේරුම් ගන්න ටිකක් කල් ගියා කියල ආපස්ස හැරිල බලද්දි හිතෙනවා. අදත් සිංහලවලට පුදුම ආදරක් තියෙන්නෙ. ඒත් දිගටම කල්පනා කරද්දි මට හිතුනා ඉංග්‍රීසි නොදැන සිංහල දැන ගෙන කිසිම තේරුමක් නැහැ කියල. ඒක නිකං බැට් එකක් නැතුව ක්‍රිකට් ගහගන්න පුලුවං වගේ වැඩක්. මොකද සිංහල හොඳ භාෂාවක් කියල සිංහල නොතේරෙන මනුස්සයෙක්ට කියන්න වෙන්නෙ ඉංග්‍රීසියෙන් නිසා.
ඔය අතරෙදි මට The Island පත්තරේ කර්තෘ ප්‍රභාත් සහබන්දු මහත්තයව හම්බවුණු වෙලාවක ඇහුවා ඇත්තටම කොහොමද ඉංග්‍රීසි කතා කරන්නෙ කියල. මට කිව්ව "පුතා එක රහසයි තියෙන්නෙ ඉංග්‍රීසි කතා කරන්න ඕන නං ඉංග්‍රීසි අහන්න ඕන. ඉංග්‍රීසි ලියන්නනං කියවන්න ඕන. කියල." [To speak → Listen, To wrie → Read] එතුනම, ඒක උදාහරණයකුත් දීල කිව්ව “ඔබට ගොලු වෙන්න ඕන නං මුලින්ම කරන්න ඕන බිහිරි වෙන එක” කියල.

එතකොට තමයි මටත් ක්‍රමේ හොඳට තේරුණේ. ඒ අතරෙදි මගේ කලින් වැඩ කරපු තැනෙන් මාව ඉංග්‍රීසි පංතියකට යැව්වා. එතනදි ටිකක් වෙනස් විදියට කතා කරන්න, සංකීර්ණ වාක්‍ය වගේ දේවල් ඉගැන්නුවා. ඒක ලොකු උදව්වක් වුණා. ඒ අතරෙදි හැමදාම ඉංග්‍රීසි පත්තරවල කතුවැකිය සහ ලිපි කියවන ගමං අමාරු වචන ඔක්කොම CR පොතක ලියල ශබ්ද කරන විදිය Google එකෙන් අහල තේරුම ඉග්‍රීසියෙන් සහ සිංහලෙන් දෙකෙන්ම ලියනවා තේරෙණ ප්‍රමාණය අනුව. ඒවගේ පොත් 3 ක් 4ක් තියනව මං ගාව. ලස්සන වාක්‍ය කෑල්ල්ක් හම්බවුනොත් ලියනව ඒකෙ. We are not even a dot in the map කියල මං නිතරම යොදා ගන්නෙ එහෙම අහුල ගත්ත කෑල්ලක්” ඒක ටිකක් අමාරු වැඩක්.

කියවගෙන යද්දි ඔක්කොම නවත්තල තේරුම බලල ලියන එකෙන් ඉවසීමත් පුරුදු වුණා. ඇත්තටම ඉංග්‍රීසිවලට ගොඩක් මහන්සි වුනා. ගොඩක් මහන්සි වුනේ ඉංග්‍රීසිවලට කියල හිතුනට ඇත්තටම මහන්සි වෙන්න වුනේ හිතේ තිබ්බ මනස්ගාත සහ වැරදි මත අයින් කරන්න. එතකොට ඉංග්‍රීසි වෙනදට වඩා ඇඟට ඇල්ලුවා.

දැන් තමයි මාතෘකාවට එන්නෙ. ශ්‍රී ලංකාවෙ ආර්ථිකය හදන්න අපිට තනි තනියම මොකක්ද කරන්න පුලුවන් කියල ඇහුවොත් මං කියන මුල්ම දේ තමයි ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගමු කියන එක හරි ඉංග්‍රීසි පුලුවන්න නං බැරි කෙනෙක්ට ඉංග්‍රීසි කියල දෙමු කියන එකයි.

ඉංග්‍රීසියෙන් තියෙන පොත් පත්තර කියෙව්වම සහ සංවාද ඇහුවහම දැනුමේ වුණු වෙනස මට සෑහෙන්න තේරුණා. සිංහල හොඳ භාෂාවක් වුණාට නවීන දැනුම ගොඩක් දේවල් තියෙන්නෙ ඉංග්‍රීසිවලින්. සිංහලෙන් හොද පොත් ලියන මිනිස්සුත් එහෙම ලියන්නෙ ඉංග්‍රීසි පාවිච්චි කරල දැනුම උඩ යට මෙහෙයවල. ඔය අපේ තියන දේශීය දේවල් ලංකාවෙන් එළියට යන්නෙ නැත්තෙත් ඕව හරියට ඉංග්‍රීසියෙන් ලියන්න කියන්න මනුස්සයයෙක් නැති නිසා කියලයි මට හිතෙන්නෙ.

ඒ වගේම සිංහල භාෂාවෙන් තියන මාධ්‍යවල මිනිස්සුන්ව අන්ඳන ඇන්ඳිල්ල දැක්කම මේ රට මෙහෙම තියන එක ලෝක පුදුමවලට එකතු කරන්න ඕන. මං කාලයක් උදේ ඉංග්‍රීසි සහ සිංහල පත්තර කියවන රූපවාහිනි වැඩසටහනක් කරානෙ. එකම පත්තර සමාගමෙන් ගහන සිංහල පත්තරෙයි ඉංග්‍රීසි පත්තරෙයි අහසට පොලොව වගේ. සිංහල පත්තරේ ගොඩක් පුවත් ලිපි ඇත්තටම අමු බොරු. ඉංග්‍රීසි පත්තරවලත් බොරු තියනවා හැබැයි සිංහල පත්තර වල බොරු වෙනම level එකක තියෙන්නෙ.
(Comment එකේ දාල තියනව එකක් විතරක්)
ලංකාවෙ බොහෝ අයට ඉංග්‍රීසි දැනුම අඩු නිසා දැනුම ආර්ථිකයට දායක වෙන්න පුලුවන් ප්‍රමාණයට දායක වෙන්න බැහැ. ඉංග්‍රීසි කියන්නෙ හරියට හොඳ පුස්තකාලයක membership එකක් වගේ. හොඳ දැනුමකට accses එකක් එනවා. ඒකෙන් ජීවිතය වෙනස් වෙනවා. ඒකෙ තේරුම ඉංග්‍රීසි පුලුවන් හැමෝගෙම ජීවිතය වෙනස් වෙනව කියන එක නෙවෙයි. වැඩි දැනුමක් ලබාගෙන ජීවිතය වෙනස් වෙන්න වැඩි අවස්ථාවක් තියනව කියන එකයි. ඉංග්‍රීසි තිබුණනං මීට වඩා යාවත්කාලීන දැනුම අපිට උරා ගන්න පුලුවන් වෙනවා. වැඩිය දුර දිග යන්න ඕන නැහැ. IELTS කර ගන්න අමාරු නිසා රට යන්න බැරුව කොච්ච්චර පිරිසක් ඉන්නවද කියල හිතන්නකො. ඔය යන්න පුලුවන් අය ගිහිල්ල ඩොලර් ටිකක් හරි එව්වනං මීට වඩා අපි ගොඩක් ඉස්සරහ. ඩොලර්වලට වඩා දැනුම ලැබුණට පස්සෙ දේවල් ඉගෙන ගත්තම ආදායම වැඩි වෙනවා. ඒකෙන් රටේ ලොකු වෙනසක් කරන්න පුලුවන්.
බෞද්ධාගම ගැන උනත් ඉංග්‍රීසියෙන් ලියල තියන සමහර පොත් සහ අපේ දැන් ලංකාවෙ බුද්ධාගම කියල වෙන දේවල් දැක්කම හිනා වෙනවද අඬනවද කියල හිතා ගන්න බැහැ.
ඉංග්‍රීසි සමාජ ක්‍රමයක් නෙවෙයි. ඒක මිනිස්සුන්ගේ තරම මනින කෝදුවක්වත් තවත් මිනිස්සුන්ව විනිශ්චය කරන තරාදියක්වත් නෙවෙයි. ඒක අනිත් භාෂා වගේම අපේ අදහස් පළ කරන්න තියන මාධ්‍යයක් විතරයි. ඒක ගොඩක් දොරවල් ඇරෙන access card එකක්. ඒක වැරදුනාම අපි අපිටම හිනා වෙනව මිසක් අපිට හිනා වෙන මිනිස්සු දිහා බල බල ශෝක කරන්න ඕන දෙයක් නෙවෙයි.

ඇත්තටම අපි හිතන තරං ඉංග්‍රීසි වරදිනවට මිනිස්සු හිනා වෙන්නෙත් නැහැ. ඒක අපේ ඇතුලෙ තියන හීන මානයක් විතරයි. මටත් ඒක තේරුණේ අන්නාසි සහ කඩලගොටු එකේ Good Morning වෙනුවට Good evening කියල වරද්දල කැප්ටන් එල්මො ගාවට ගියාම. කැප්ටන් මට හිනා වෙවී කිව්ව “උබ හිතුවෙ උබට ඉංග්‍රීසි වැරදුනා කියල නේද?” කියල. මං කිව්ව “ඔව් වැරදුනානෙ” කියල. මට කිව්ව “උබට වැරදුනේ ඉංග්‍රීසි නෙවෙයි. උබට වැරදුනේ උදේ හවස” කියල. “මිනිස්සුන්ට හිනා ගියේ උඹේ ඉංග්‍රීසි වැරදි නිසා නෙවෙයි උඹට උදේ හවස පැටළුනාට. උබ Morning වෙනුවට Evening කිව්ව කියල මෙතන ඉන්න එවුං Breakfast වෙනුවට Dinner ගන්නෙ නැහැ. Festival එකේ “Broken English” කියල සාකච්චාවක් තියනව. අන්න ඒක ගිහිල්ල බලන්න” කිව්වා. එතන හිටපු කාටවත් මට ඔය වැරදිච්ච එක අද මතක ඇති කියල මං හිතන්නෙ නැහැ. කැප්ටන්ටත් මතක නැතුව ඇති. අපේ ඉංග්‍රීසි වැරදි ඉක්මනටම මිනිස්සුන්ට අමතක වෙනවනං වරදියි කියල බයේ අපි  ඉංග්‍රීසියෙන් කතා නොකර ඉන්න ඕනද?

මේ නත්තලේදිත් අලුත් 2021 අවුරුද්දෙදිත් අපි අපිටමත්, අපේ දරුවන්ටත්, අපේ රටටත් දෙන්න පුලුවන් ලොකුම තෑග්ග තමයි “ඉංග්‍රීසි”.
+නාත්
Dhananath Fernando ධනා
Kohomada Machan Podcast

නවතම ලිපි