අද අපිත් එක්ක එකතු වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්න මහත්මිය.

? ඇත්තටම පාර්ලිමේන්තුවෙ කාන්තා නියෝජනය සම්බන්ධයෙන් පහුගිය කාලයේ තියෙන්නේ හරි උදාසීන සංකල්පයක්. ඒකට හේතුව තමයි දැන් පහුගිය යහපාලන ආණ්ඩුවේදි පාර්ලිමේන්තු නියෝජනය කරපු කාන්තා ප්‍රමාණයටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි වර්තමානයේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. හැබැයි මේක මේ විදියට යද්දි පහුගිය කාලයේදි පොඩි කතා බහක් ගියා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ එකතු වෙලා පක්ෂ පාට භේදයකින් තොරව එකතු වෙලා මොකක්දෝ වැඩක් කරනවා වගේ එකක්. මොකක්ද මේ වැඩේ? ඇත්තටම ඒකෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ?

ඔව්. ඇත්තටම කිව්වොතින් දැන් ඔය පාර්ලිමේන්තු නියෝජනය ගත්තම පහුගිය 8 වෙනි පාර්ලිමේන්තුවේ 13දෙනෙක් හිටියා. ගීතා කුමාරසිංහ මහත්මියට විරෝධතාවක් ඇවිල්ලා එතුමිය ඉවත් වුණාට පස්සේ ආයෙත් 12ට බැස්සා. මේ සැරේත් අපි 12යි. එතකොට 225න් 12යි. ඇත්තටම මේ රටේ ජනගහණය ගත්තොත් 52%යි කාන්තාවෝ, කාන්තාවෝ නියෝජනය ඊට ඉක්ම වෙනවා. ඡන්ද දායකයෝ ගත්තොත් 56% ක් කාන්තා ඡන්ද දායිකාවෝ. එතකොට 50%ක් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය එන්න ඕන නම් 112ක් ඉන්න ‌ඕන. 100ක් අත් ඇරලා 12දෙනයි ඉන්නේ. එතකොට එහෙම තත්වයක් තමයි තියෙන්නේ.

ඒ නිසා අපි විශේෂයෙන්ම කාන්තා සංසදය කියන එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදය කියන එක දැන් වසර ගණනාවක් තිස්සේ එන එකක්. අපි පහුගිය කාලයේදිත් ඔය යහපාලන රජය යටතේ 25%ක කෝටාව ලබා ගන්න කාන්තා සංසදයෙන් ලොකු බලපෑමක් කළා. ඒ වගේ අපි මේ සැරෙත් කාන්තා සංසදය එකතු වෙලා විශේෂයෙන්ම වැඩබිමේ නැත්නම් වැඩලෝකේ කාන්තාවන්ට සිදුවන හිංසනය සහ වෙනස් කොට සැලකීම කියන එක තේමා කරගෙන, මම සතුටුයි කියන්න සංසදය වෙනුවෙන් මට තමයි ඉදිරිපත් කරන්න හම්බවුණේ. අපි කාන්තා දිනය නිමිති කොට ගෙන පහුගිය 9 වෙනිදා වැඩබිමේ කාන්තාවට සිදුවන සියලු ආකාරයේ හිංසනය සහ වෙනස් කොට සැලකීමෙන් තොර ජාත්‍යන්තර කම්කරු සම්මේලනයට ඉදිරිපත් කරලා තියෙනවා සම්මුතියන් 8ක්. ඒකෙන් ඔය මම කිව්ව සම්මුතිය තමයි සී 190 කියන්නේ. මෙන්න මේ 190 මේ රටේ බලාත්මක කරන්න කියන එක අපි පාර්ලිමේන්තුවට යෝජනාවක් හැටියට ගෙනාවා. මම සතුටු වෙනවා අද කම්කරු ඇමතිතුමා හම්බවුණා මට, ඊට කළින් තිබුණු යම් සභාවකදි එතුමා ප්‍රකාශයට පත් කළා එතුමා අද තිබුණු කැබිනට් රැස්වීමකට එතුමා ඉදිරිපත් කළා කියලා කැබිනට් පත්‍රිකාව එය බලාත්මක කරන්න කියලා. ඒකට අනුමැතිය ලැබුණු බවත් කිව්වා. ඒ අනුව එය පාර්ලිමේන්තුවට පණතක් හැටියට ඉදීරිපත් වේවි. සී 190 ඒ කියන්නේ වැඩ ලෝකයේ සිදුවන හිංසනය වෙනස් කොට සැලකීම යනාදියෙන් තොර වැඩ ලෝකයක් උදා කරලා දෙන දිනයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

? මේ කතා බහ අපි තව තලයකට ගෙනියමු. දැන් කාන්තාව සම්බන්ධයෙන් නීති අනපණත් ගොඩාක් දේවල් හැදෙන්න පුළුවන්. මම හිතන්නේ ඇත්තටම ලංකාවේ කාන්තාවට අයිතිවාසිකම් ඉල්ලන්න දෙයක් නැති තරමටම නීතිය පැත්තෙන් ඉතාම හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා සියලු දෙනාම සමාන පුරවැසියෝ කියන තත්වයට. හැබැයි සමාජ මතවාදය එහෙම වෙලා නෑ. මොකද මම දැක්කා ඔබතුමියන් ලා මේ ආරම්භ කරපු ඒ අවස්ථාවට සහභාගි වුණු වෙලාවේ ඇති වෙච්ච යම් සිදුවීමක් සම්බන්දයෙන් සමාජ මාධ්‍ය ජාලාවල බොහොමයක් කසු කුසු කුන්තයක් ගැන පැතිර ගියා. ඒකෙදි මේ කාන්තාව ගැන සමාජයේ මතවාදයක් හැදිලා තියෙනවා කාන්තාව අපවිත්‍රයි, කිළියි කියන එක. මේක සම්බන්ධයෙන් ඔබතුමියගේ අදහස මොකක්ද?

ඔව්. ඇත්තටම කිව්වොතින් මුලින්ම ඔබතුමිය පටන් ගත්ත එකෙන්ම පටන් ගත්තොතින් නීතිරීති නම් කොච්චරක්දෝ තියෙනවා. අපි දන්නවා 1948 මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයටත් අපි එකඟ වෙච්ච රටක්. ඒකෙ තියෙනවා නිදහස්ව උපදිණ සියලු දෙනාට මේ සියලු අයිතින් සමානව ලැබෙන්න ඕන කියලා. අපි ඒක පිළිගෙනත් තියෙනවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් තියෙනවා, ස්ත්‍රී පුරුෂභාවයකින් තොරව සියලු දෙනාට අයිතිවාසිකම් හා ගරුත්වය ලැබෙන්න ඕන කියන එක අපි පිළිගෙන තියෙනවා. ඒ වගේම නීතිරීිති ගත්තොත් ව්‍යවස්ථාවේ තියෙනවා, දණ්ඩ නීති සංග්‍ර‌හයේ තියෙනවා. ඔය වගේ ගෘහස්ථ හිංසනය පිළිබඳ නීතිය තියෙනවා, අල්ලස් නීතිය තියෙනවා. නීති නම් කොච්චරදෝ තියෙනවා. නමුත් ඔය නීතිවලින්ම බොහෝ දේවල් සමතයකට පත් කරගන්න බැහැ. එහෙම නම් ඒක මේ රටේ මතවාදයක් වෙන්න ඕන. ආකල්පයම වෙනසක් ඇති වෙන්න ඕන. ඒක ඇති වෙන තාක් කල් ඔය බොහෝ දේවල් කරන්න බැහැ. ඇත්තටම සමාජ මතයක් තියෙනවා මේ කාන්තාව කියන කෙනා කිල්ලයි කියලා, කිළිටියි කියලා, අපවිත්‍රයි කියලා. ඉතින් ඒක එකඑක්කෙනාගේ මනෝ ස්වභාවයන් අනුව කියලා තමයි මම දකින්නේ. මොකද අපි ඉතිහාසයේ ඉඳන් අරන් බැලුවොත් අපි දකිනවා දළදා වහන්සේ කොණ්ඩ‍ෙ අස්සෙ තියාගෙන තමයි හේමමාලා කුමරිය අරන් ආවේ. එතකොට ප්ලේන් එකේ ආවේ නෑනේ. මාස ගාණක් පයින් එන්න ඇතිනේ. කාලිංග දේශයේ ඉඳන් එනකොට මේ කාන්තාවට ඔය අනිත් කාන්තාවන්ට සිද්ධ වෙන ඔය කියන මාස් ශුද්ධිය සිද්ධ වෙන්න ඇති. එතකොට කිල්ලට අහු වුණේ නැද්ද? ඊළඟට සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ජය ශ්‍රී මහා බෝධි ශාඛාව අරගෙන නැව් නැගලා මෙහෙට වඩින කොට එක දවසින් වඩින්න නැතුව ඇති. එතකොට එතුමිය කිල්ලට අහු වුණාද නැද්ද කියන එක පිළිබඳව අපිට කතා කරන්න වෙනවා. නමුත් පත්තිරුප්පුව තහනම් කළාපයක්. ශ්‍රී මහ බෝධිය උඩ මලුව තහනම් කළාපයක්, මේවා මම දකින්නේ ඇත්තටම බමුණු මත හැටියට. අද ඊට එහා ගියපු 21වැනි ශත වර්ශයේ ජීවත් වෙන්නේ. කාන්තාව නොමැති වුණා නම් අපි දන්නවා විහාර මහ දේවිය කියන චරිතය දුටු ගැමුණු රජතුමා එක්ක යුද්ධෙට ගියපු ගෑනියෙක්. තමන්ගේ පුතා එක්ක. එහෙම ඉතිහාසයේ තැන් වල ඉන්නවා. දුටු ගැමුණු රජතුමා නොගියපු තැන් වල පවා විහාර මහා දේවි වෙස් වළා ගෙන ගියා කියළා ඉතිහාසයේ කතාවල තියෙනවා. ඒ වගේ හැමදේකටම කාන්තාවට පුළුවන් නම් පිරිමිත් එක්ක කරට කර, උරට උර ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා මේ මතවාදයක් ගෙනැල්ලා කිල්ලයි, කිළිටියි, අපවිත්‍රයි කියලා කාන්තාව දෙවැනි කොට සැලකීම මම හිතනවා ඒක මිලෙච්ඡ්‍යත්වය කියලා. ඒක මිලේචඡ්‍යත්වය. ඒ වගේම යම් තැන් වල තියෙනවා අපි දකිනවා. සමහර සේවාවන් වල කාන්තාවන්ට එතැන හිමි නැහැ. යම් සේවාවල්වලට එනකොට වෘත්තින් වලට එනකොට ඒ කාන්තාවන්ට එතැනින් එහාට යන්න බැහැ. සීලින් එකක් තියෙනවා ග්ලාස් සීලින් එකක්. ඒක පේන්නේ නැහැ කාටත්. කකුළෙන් අදිනවා. දැන් ඔය ඕනම සේවාවක්, ව්‍යවස්ථාවෙන් කියනවා නම් සමාන කොට සැලකිය යුතුයි කියලා, ඒ වගේම විශ්ව ප්‍රඥප්තියෙත් තියෙනවා නම් මානව හිමිකම් පිළිබඳව මේ හැමෝටම සමානයි කියලා. එයා එතකොට කාන්තාවක් නම් එයාට කියන්න ඕන ඔයාට අතනින් එහාට යන්න බැහැ. එහෙම නම් ඒ කාන්තාව ඒකට ඉල්ලන්නේ නැහැ. එහෙනම් එයා වෙනතැනකට ගිහින් ඉහළ තනතුරට යනවා. මේ ලෝකේ පළමු අගමැතිනිය දීපු රට අපි. ලොකුවට උදම් අනනවා. පළවෙනි විධායක ජනාධිපතිතුමිය දීපු රට අපි. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉහළම පුටුවට ගියපු කාන්තාවක් අපේ ඉන්නවා. ශිරානි බණ්ඩාරනායක මැතිණිය, ඒ වගේම ඔලිම්පික්වලට ගිය සුසන්තිකා අනෙක් පිරිමිත් එක්කමත් ගිහිල්ලා, ඒ පිරිමි එක්කෙනෙක් වත් පදක්කමක් ගේන්නැති වෙනකොට සුසන්තිකා පදක්කමක් අරන් එනවා. එතකොට කාන්තාව මෙහෙම කොන් කරලා තියන්න ඕන නම්, තියන්න ඕන අර ගල් යුගය එඬේර යුගයේ හිටපු මිනිස්සුන්ගේ අදහස් තිබුණු මිනිස්සු වගේ තමයි. 21 වෙනි ශතවර්ශයට අද අපි ඇවිත් තියෙන්නේ. අද අපි අභ්‍යවකාශ තරණය කරන කාලයක ඉන්නේ ලෝකයේ. එහෙව් කාලයක මේ කාන්තාව හා පුරුෂයා කියන දෙන්නා වෙනස් කොට සැල‌කෙන, අද කතා කරන්නේ අපි ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සමානත්මතාවය කතා කරන ලෝකයක අපි ඉන්නේ. ලෝකයේ රටවල් අරන් බලන්න බොහෝ පාර්ලිමේන්තුවල හොඳට කරගෙන යන රටවල් වල ඉහළ පුටුවල ඉන්නේ කාන්තාවෝ. ඒ උපතින්ම කාන්තාවන්ට තියෙනවා හොඳ කළමණාකරන ශක්තියක්. ඉවසීමක්, ලැජ්ජාව සහ භය, මෙන්න මේ දේවල්වලින් මම හිතන්නේ උපතින්ම එන ගති වලින් ඒගොල්ලෝ හොඳ තැන් වලට යනවා. ඒ නිසා අර ‘කිල්ල’ නැත්නම් ‘අපවිත්‍රයි’ කියන එක මම හිතන්නේ ම්ලේච්ඡ්‍යත්වයේ එක සංකේතයක්. හැබැයි ඒකට අනික් දේවල් වලට ඔය කිල්ල බලපාන්නේ නැහැ. ඒකත් අවශ්‍ය තැන් වල‌ට තමයි පාවිච්චි කරන්නේ?

? මේ කියන මතවාදය-සමාජ මතවාදය එක්කම එන කාරණයක් තමයි ‘මිත්‍යාව’ කියන එක. දැන් ලෝකය විතරක් නෙවෙයි අපිත්, රටක් විදිහට විද්‍යාව තාක්ෂණය එක්ක යම්කිසි දියුණුවකට පත් වෙලා තියෙනවා. එතකොට ඒ කියන්නේ සමාජය දියුණුවට යනවා කියන එක. නමුත් මිත්‍යාව කියන එක මම හිතන්නේ එන්න එන්නම මිනිස්සු තුළ ආකර්ශණය ඇති වෙන දෙයක් බවට පත් වෙලා තියෙනවා. මේ මිත්‍යාවට දැන් සාමාන්‍ය පොදු ජන සමාජයේ ඉන්න සාමාන්‍ය මනුෂ්‍යයා විතරක් නෙවෙයි, ඇත්තටම දේශපාලන නායකයෝ සිවිල් සමාජයේ සාමාජිකයෝ, ලොකුවට ඉන්න ගොඩාක් ඉහළට ඉගෙන ගනිපු, විද්‍යාත්මකව ඉගෙන ගනිපු පුද්ගලයන් පවා මිත්‍යාව එක්ක සම්බන්ධ වෙලා ඒ මිත්‍යාවෙන් තමයි ගුරුහරුකම් ගන්නේ. ඒ මිත්‍යාවට අනුව තමයි සමහර අවස්ථාවල රට පාලනය වෙන්නේ. මිත්‍යාව ඒ වගේ මට්ටමකට ඇවිත් තියෙනවා. ඔබ මොකක්ද දකින්නේ‌ මේ මිත්‍යාව ගැන?

ඔව්. දැන් පැහැදිළිවම ගත්තොතින් මේ පහුගිය වකවානුව ඇතුළත මිත්‍යාව ගැන කියන එක මේ ලංකාව තුළ කොච්චර පැතිරිලා ගිහින් තියෙනවාද කියන එකට හොඳම අවස්ථාව තමයි මම දකිනවා මෑතම සිද්ධිය ලෙස අර ධම්මික පැණිය.අපි කවදාවත් හෙළ වෙදකම හෙළා දකින්නේ නැහැ. ආයුර්වේදය කවදාවත් අපි හෙළා දකින්නේ නැහැ. නමුත් යම්කිසි ඖෂධයක් එනවානම් ඒකේ ප්‍රමිතියක් තියෙන්න ඕන. නමුත් මෙතැන තිබුණු ප්‍රමිතිය මොකක්ද? ක්‍රමවේදයක් තියෙන්න ඕන. ආයුර්වේද වෛද්‍යවරයෙක් නම් එයාට ලියාපදිංචියක් තියෙන්න ඕන. හෙළ වෙදකම පාරම්පරිකව ආවා නම් ඒක අපිට දැනෙන්න, දකින්න තියෙන්න ඕන. එහෙම කිසි දෙයක් නැති මිත්‍යාවෙන්, අපි දන්නවා හින්දු ආගමේ බොහෝ දෙවිවරු ඉන්නවා. ඒ ගොල්ලන් ඒවා අදහනවා. ඒත් මේ වගේ ලෝකයේ වසංගතයක් පවතින වෙලාවක මිත්‍යාව පාවිච්චි කරපු හැටි අපි දැක්කා. මිත්‍යාවක් බව අපිට ඇස් පනාපිට ඔප්පු කරලත් පෙන්නුවා. මේ පැණිය හොඳයි කියලා බීලා පෙන්නපු, මේ මම අපහාස කරනවා නෙවෙයි. සෞඛ්‍ය ඇමතිනියටත් ඒ පැණිය බිව්වට පස්සෙත් මේ කොවිඩ් ආසාදනය වුණා. ඒ වගේම තව බීපු බොහෝ ඇමතිවරුන්ටත් ආසාදනය වුණා. එතකොට ඒක මිත්‍යාවක් කියලා පැහැදිලියි. ඊට කලින් සිද්ධය මම කියනවා නම් මේ මිනිස්සු මොන තරම් මිත්‍යාවට අන්ධවෙලා තියෙනවද කියලා කියන්න මට ලැජ්ජාවක් තියෙන්නේ. මේකට ස්වාමින් වහන්සේලත් එකතු වෙලා ඉන්නේ. අපි දැක්කා කැළණි විහාරයෙන් කැළණි ගඟෙන් නාගයෙක් මතුවුණා ශබ්දයකුත් එක්ක. ධාතු දාගෙන ආවේ චීනයේ හදපු මේඩ් ඉන් චයිනා කියලා දාපු කරඬුවක. ඊළඟට නාගයා දාගෙන ආවේ ඇමරිකන් වෝටර් බොට්ල් එකක. අර ලොකු බෝතලයක. එතකොට මේවා පෙනී පෙනී ස්වාමීන් වහන්සේලා එන අයට මලක් දීලා මේ පොහොට්ටුව පූජා කරන්න, පොහොට්ටුව අමතක කරන්න එපා. ඒ වගේ ඡන්ද ව්‍යාපාරය සඳහාත් මිත්‍යාව පාවිච්චි කරපු රටක් මේක. ඒ වගේම අපි දන්න ප්‍රසිද්ධ දේවලුත් තියෙනවා. අත්වල තියාගෙන ඉන්න ඒවා එහෙම, කරේ බෙල්ලේ එල්ලගෙන ඉන්න දේවලුත් එක්ක. මේ රටේ ශාන්ති කර්ම බොහොමයක් තියෙනවා. අපි ඒවා අමතක කරන්න නරකයි. ශාන්ති කර්මවල තියෙනවා මනෝ විද්‍යාත්මක පසුබිමක්. අපේ රටේ තියෙන සියලුම ශාන්ති කර්ම, බලි තොයිල් ඒ වගේ අර ගත්තහමත් මනෝ විද්‍යාත්මක පැත්තක් තියෙනවා. ඒක පසෙක දාලා මිත්‍යාවම මතු කර ගැනීම මම දන්නේ නැහැ මේ රට කොතනටද යන්නේ කියලා. ඉහළ පෙළේ නායකයන් පවා මේ මිත්‍යාවට අද යට වෙලා තියෙනවා.

? ඉහළ පෙලේ නායකයින් ඒ විදියට ඒවට ආකර්ෂණය වෙච්ච හින්දම දැන් සාමාන්‍ය ජනතාව මම දැක්කා මෑතකදි අර පොඩි ළමයි වේවැලෙන් ගහලා, පැය 9ක් තිස්සේ වේවැලෙන් ගහපු නිසා මිය ගියපු ළමයින් හිටියා. ඒ වගේ සිදුවීම් කිහිපයක්ම වාර්තා වුණා. දැන් මේ මිත්‍යාව කියන එක දෙමව්පියන් තුළට ඇවිල්ල තියෙනවා. මොකද ඉහළම කොටසින් මේකට සහයෝගයක්, සපෝට් එකක් දෙනකොට පහළ ජන කොටස ගැන කවර නම් කතාද. ඇත්තටම මේක ඉවත් කළ යුතු මතවාදයක් නේද?

අත්තටම ඉවත් කළ යුතු මතවාදයක්. අපි පාරේ දකිනවා කිලෝමීටර් එකක් යන්න. ඒ යන කොට දෙපැත්තේ අද රූපලාවන්‍යගාර තියෙන තරමට ම දේවාලත් තියෙනවා. ඒක වෙනම බිස්නස් එකක්. එතකොට මේවා ගැන හොයන්න නියාමනය කරන්න මේ රටේ ක්‍රමවේදයක් නැද්ද? මේවා තුළ කොයි තරම් සමාජයට අහිතකර දේවල් සිද්ධ වෙනවද? අර දැරිවියගේ මරණය, ඒ වගේම ඇතැම් තැන්වල කාන්තාවන්ව දූෂණයට ලක් වෙලා තියෙනවා. ඒව අපි දකිනවා, අපි අහනවා. එහෙම තියෙද්දිත් මේ දේව ආරුඪයක් තියනවා කියමින් ඒවායෙන් ජනතාව ගසාකමින් ඒවායෙන් මුදල් හොයමින් මේ රටට කරන විනාසය. ඇත්තටම මට කියන්න තියෙන්නේ නායකයෝ එහෙම දේවල් කරන කොට ඒ අනුගමනය කරන්නන් ඊට එහා ගිහිල්ලා. මොකද ඔය ඉන්නවානේ මේ සැරේ පාර්ලිමේන්තුවට ආපු, අපි දන්නවා මේ ආණ්ඩුවට විශේෂයෙන්ම ඡන්දය දුන්නේ උගත් කියන පිරිසලුනේ. ඒකට ඡන්දය දෙනවා නම් අපි වියත්තු කියලා කියා ගත්තු පොඩි ට්‍රෙන්ඩ් එකක් අපි දැක්කා ඒ දවස්වල. ඉගෙනගත්තු පිරිස හැටියට අපි ඡන්දය දෙන්න ඕන. එතකොට ඒ ගොල්ලෝ දැක්කේ නැද්ද කියලා අපිට අහන්න හිතෙනවා නාගයා මතු වෙච්ච එකේ තිබුණ මිත්‍යාව. ඒකෙන් පස්සෙනේ ධම්මික පැණිය එන්නේ. එතකොට වැඩේ වරද්දගෙන ඉවරයිනේ. ඒ හින්ද අරක දැක්කනම් මේ මිත්‍යාව කියන එක පස්සේ යන එක මේ රටේ උගත් පිරිස දැක්කානම් එදා මේක වෙනස් කරන්න තිබුණා. එහෙම වුණා නම් අද අපේ රට මුහුණ දීලා තියෙන බොහෝ ව්‍යසනයන්ගෙන් රට ගලව ගන්න තිබුණා. අද මිත්‍යාවට රට ඇදිලා යන එක වගේම බොහෝ දේවල් වලින්, 20වන ආණුඩුක්‍රම ව්‍යවස්තාව එහෙම වුණා නම් මේ උගත් කියන පිරිස නිවැරදි තින්දුවක් එදා අරන් තිබුණා නම් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුමත වෙන්නේ නැහැ. ඒක තුල අද මොන තරම් මේ රටට හානියක් වෙලා තියෙනවද? වෙන්න හෝ නොවෙන්න මෝදිගෙ පක්ෂයෙන් අපේ රටේ පක්ෂ කාර්යාල දාන තැනට කියන ප්‍රකාශය ප්‍රකාශ කරන තැනට පාර හදල දුන්නේ මෙන්න මේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්.
ඒවා මේ රටේ මිනිස්සු වරද්දගත්ත දේවල්. කවදා හරි දවසක පාර්මේන්තුවට චීනයෙන් පුරවැසිභාවය තියෙන කෙනෙක් හෝ පිරිසක් ඇවිල්ලා තියෙන සල්ලිත් එක්ක මේ රටේ තියෙන මැතිවරණ ක්‍රමයත් එක්ක මුදල් විසිකරලා සල්ලි තියෙන අය පාර්ලිමේන්තුවට චීනයෙන් කියලා ඉඳගත්තොත් අපේ රට චීන කොළනියක් වෙනවා ඒක වෙනම කතාවක්. පාර්ලිමේන්තුවත්, චීනයේ තවත් එක කොටසක් හැටියට පාර්ලිමේන්තුවේ නියෝජනය වෙන්න පුළුවන්. මෙන්න මේව මේ මිත්‍යාවෙන් ගෙනාපු අතුරුඵල මේ තියෙන්නේ. ඒ නිසා අද මේ වගේ ව්‍යසනයකට අපේ රට මුහුණ දීල ඉන්නවා.

නවතම ලිපි