රාජපක්ෂ රෙජීමය එජාපය එක්ක සන්දාන ගැහුවම අර්බූධයට යන ප්‍රධාන පාර්ශ්වකරුවෙක් වෙන්නෙ

සිංහල බෞද්ධ ජාතික චින්තනයේ පියා නලින්ද සිල්වා ය. ඔහුගේ සිංහල බෞද්ධ සංස්කෘතිය රැකගැනීමට සිටි එකම ගැලවුම්කාර නායකයා වුයේ මහින්ද රාජපක්ෂය. ඉනුත් නොනැවතී සියළුම රාජපක්ෂවරුන් සිංහල බෞද්ධ ජාතික රාජ්‍යය ගොඩනගනවා ඇතැයි තැබු අප්‍රමාණ බලාපොරොත්තුව හා විශ්වාසය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපය සමග සන්දානගත වීමත් සමග අර්බූධයට ගොස් ඇත. එකී අර්බූධය තුළින් නලින් ද සිල්වා මහාචාර්යවරයා මේ හඹා යන්නෙ හෙලිකොප්ටරයේ සිංහල බෞද්ධ ජාතිකවාදය හා එක්වීමට ද?

 

නිදහස් ජනතා සන්ධානය - නලින් ද සිල්වා

හෙලිකොප්ටරය පණ ගන්වල. නිදහස් ජනතා පෙරමුණ නමින් නව සංධානයක් පිහිටුවල. එහි සමසමාජ කොමියුනිස්ට් පක්‍ෂ වගේ ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් තියෙනවා. තවත් පක්‍ෂ තියෙනවා. මේ පිරිස අලු‍ත් පිරිසක් නො වෙයි. කලකට ඉහත සියල්ලන් ම වගේ බුලත් කොළයෙ හිටි අය. අද බුලත් කොලය දෙපිළකට බෙදිල. පිරිසක් පොහොට්ටුවෙ. අනෙක් පිරිස හෙලිකොප්ටරයෙ. මේ දෙපිළෙම ජාතිකත්වයෙ අය ඉන්නවා. ඒත් ඒ එක පිළක්වත් සම්පූර්ණ වශයෙන් ජාතිකත්වයෙ කියන්න බැහැ.

පොහොට්ටුව දේශපාලන සංවිධානයක් නො වෙයි. ගෝඨාභය රාජපක්‍ෂ පොහොට්ටුවෙ නායකයා වුණෙ නැහැ. පොහොට්ටුව එක් පුද්ගලයකුගේ පෞද්ගලික දේපොළක් හැටියට යොදාගත් පෞද්ගලික සංවිධානයක්.

2019 ජනාධිපතිවරණයේ දී ගෝඨාභයට ඡන්ද හැටනව ලක්‍ෂයක් ලැබුණා. ඒ පොහොට්ටුව නිසා නො වෙයි. ඒ ජාතිකත්වය නිසා. හැටනව ලක්‍ෂය ම ජාතිකත්වයේ කියා මා කියන්නේ නැහැ. ඒත් විශාල පිරිසක් ඡන්දය දුන්නේ ජාතිකත්වය වෙනුවෙන්. ගෝඨාභයට සිංහල ඡන්දවලින් පමණක් දිනන්න හැකි වුණා. ඒ බව අප කලින් ම දැක්කා.

ජාතිකත්වය පනස්හයේ සිට නව දේශපාලන ගමනක් අරඹලා. අද හෙලිකොප්ටරයෙ ඉන්නෙත් පොහොට්ටුවෙ ඉන්නෙත් සමස්තයක් ලෙස ගත්තොත් පනස්හයේ දරුවන්. ජාතිකත්වයෙ ගමන අඩාල වුණෙ හැට පහේ ඩඩ්ලි සේනානායක බලයට පත්වීමත් සමග නොව හැත්තැහතේ ජේ ආර් බලයට පත්වීමත් සමග. එහෙත් එය ආපසු හරවා ගමන ශක්තිමත් කිරීමට 2005 දි හැකි වුණා. ඒ කාලෙ වන විට විවිධ සිංහල බෞද්ධ විරෝධී පිරිස් මතුවෙන්න පටන් අරන් තිබුණා. එහෙත් ඔවුන් පරිධියටත් එහා සිටියෙ. කේන්ද්‍රයට කිට්ටු කරල තියා එවැන්නක් හිතලවත් තිබුණෙ නැහැ. මංගල සමරවීර වැන්නන් ජාතිකත්වයට එරෙහි ව විවිධ දේ කළත් කිසිවක් කර ගන්න බැරි වුණා. කොහොමත් ජාතිකත්වයට විරුද්ධ අය ඔවුන් කොහේ ජීවත් වුණත් දකුණු කොළඹට හා බටහිර කොළඹට සීමා වුණා.

ජාතිකත්වය ලැබූ විශාල ම ජයග්‍රහණය තමයි නන්දිකඩාල් ජයග්‍රහණය. එය සුළු පටු එකක් නො වෙයි. දෙමළ ත්‍රස්තවාදයට බටහිරයන් වගේ ම ඉන්දියාවත් සහාය දුන්න. දෙමළ කොටි සංවිධානය අවසාන වශයෙන් ගත්ත ම එංගලන්තය ප්‍රමුඛ ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටවලත් ඉන්දියාවෙත් දුරස්ථ ප්‍රහාරක යාන්ත්‍රණයක් පමණයි. ප්‍රභාකරන් රජිව් ගාන්ධි ඝාතනය කිරීමෙන් බරපතල වරදක් කර ගත් නමුත් ඉන්දියාව තමිල්නාඩුව වෙනුවෙන් හා බෞද්ධ විරෝධය වෙනුවෙන් එය ඉවසුවා. අදටත් ඇංග්ලිකන් හා වෙනත් ක්‍රිස්තියානි රටවල් මහින්දටත් ගෝඨාභයටත් රණ විරුවන්ටවත් කිසිම සමාවක් දෙන්න සූදානමක් නැහැ. ඊයෙ පෙරේදා කැනඩාව මහින්දටත් ගෝඨාභයටත් රණ විරුවන් දෙදෙනකුටත් අර ඊනියා මානව හිමිකම් කඩ කිරීම් වෙනුවෙන්  කියා සම්බාධක පැනෙවුවෙ ඒ පළිගැනීමට ඇති අවශ්‍යතාව නිසයි. අදත් දෙමළ විසුරුණු ජනයා (ඊනියා ඩයස්පෝරාව) නඩත්තු කෙරෙන්නෙ මූලික වශයෙන් එංගලන්තයෙන් හා වෙනත් ක්‍රිස්තියානි රටවලින්. යුරෝපයේ හා දකුණු අමෙරිකාවේ කතෝලික රටවල් දෙමළ ජාතිවාදය පෝෂණය නොකරන බව සඳහන් කරන්න ඕන. ඒ රටවල දෙමළ ජාතිවාදීන් නැති බවක් නොවෙයි ඉන් කියන්නේ.

2015 ජාතිකත්වයෙ පරාජයක් නො වෙයි. එය ඇතැම් රාජපක්‍ෂලගෙ පරාජයක්. නිශ්චිතව ම කිවුවොත් බැසිල්ගෙ හා නාමල් ප්‍රමුඛ මහින්ද පුත්‍රයන්ගෙ. ඔවුන්ට ජාතිකත්වයක් තිබුණෙ නැහැ.  ඔවුන් ජාතිකත්වය කර පිටින් තම පෞද්ගලිකත්වය ඉස්මතු කරගන්න හදපු අය. මෛත්‍රිපාලට 2010 ආණ්ඩුවෙන් යන්න පාර කැපුවෙ බැසිල්. ඒ බව මීට කලිනුත් කියා ඇති. මා කියන්නෙ මෛත්‍රිපාල රනිල් සමග එකතු වීම හරි කියන එක නො වෙයි. ඔහු එතැනට තල්ලු‍ කිරීමයි සිදු වුණෙ.

එහෙත් වැඩිකල් යන්න පෙර එය නිවැරදි කර ගන්න ජාතිකත්වයට හැකි වුණා. ව්‍යවස්ථානුකූල ව ම දින පනස් දෙකේ ආණ්ඩුව පිහිටුවල රනිල් අගමැති කමෙන් දොට්ට දැම්ම. එදා ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දුව දුන්නේ මහින්ද අගමැති කිරීම සම්බන්ධයෙන් නොවන බවත් දින පනස්දෙකේ ආණ්ඩුව කඩා වැටුණු විට බටහිර තානාපතිවරුන් පාර්ලිමේන්තුවේ අත් පොළොසන් දුන් බවත් අමතක කළ යුතු නැහැ. දින පනස්දෙක වැඩි කල් යන්න පෙර හැටනව ලක්‍ෂයකට පෙරළන්න ජාතිකත්වයට හැකි වුණා.

එහෙත් නැවතත් අර උද්ධච්ඡකම් මතු වුණා. කොවිඩ් වසංගතය පැමිණියා. බටහිරයන්ගේ හා ඉන්දියාවේ අවශ්‍යතාව වූ සිංහල බෞද්ධ සංස්කෘතිය දිය කිරීම ක්‍රියාත්මක කිරීමට ඒ නිසා ඉඩකඩ ලැබුණා. පරගලය සම්පූර්ණයෙන් ම ක්‍රිස්තියානි රටවල හා ඉන්දියාවෙ වැඩක්. ඔවුන් යොදා ගත්තේ ඉතා සරල තර්කයක්. ඔව් ඊනියා තර්කයක්. රට අර්බුදයට ගියේ ගෝඨාභයගෙ කාලෙ. ඒ නිසා ඔහු එයට වග කියන්න ඕනෙ. රාජපක්‍ෂලා හොරකම් කළ නිසයි රට අර්බුදයට ගියෙ. ඒ නිසා ගෝඨාභය හා මහින්ද ගෙදර යවන්න ඕන. 1950 පමණ සිට ණයට කාපු බව අමතක කළා.

මෙහි දී මහා සෙනගක් ආතල්ගමට ආවෙ නැහැ. දුම්රිය සීයක් ආවත් ගේන්න පුළුවන් සෙනග කොපමණ ද? එහෙත් මෙහි දී ද අර උද්ධච්ඡකම් බලපෑවා. අද හෙලිකොප්ටරයට ගොඩ වෙලා ඉන්න වැඩි පිරිසක් ඒ උද්ධච්ඡකම් නිසා ආණ්ඩුවෙන් ගිය පිරිස්. මා එසේ යෑම හරි කියා කියන්නෙ නැහැ.  එසේ යෑම බටහිරයන්ට හා ඉන්දියාවට රුකුළත් වුණා.

මෙහි දී තවත් කරුණක් කියන්න ඕන. මෙතෙක් රටේ දේශපාලනයේ කුල පීඩනය ද බල පෑවා. පරගලයේ දී අප මෙය දුටුවා. පරගලය සිංහල බෞද්ධ ගොවිගම විරෝධී සටනක් බවට පත්කිරීම ප්‍රශ්නයක් වුණෙ නැහැ. අප තේරුම් ගත යුත්තක් නම් ජාතිකත්වය සිංහල බෞද්ධ ගොවිගම කතාවක් නොවන බවයි. අනුරාධපුර යුගයේ තිබුණු කුල ක්‍රමය පොළොන්නරු යුගයේදී කුල භේදයක් බවට පත් වුණේ හින්දු  ආභාසය නිසා. එහෙත් ලන්දේසීන් හා ඉංගිරිසින් එය කුල පීඩනයක් බවට පත් කළා.

හෙලිකොප්ටරය මුළුමනින් ම ජාතිකත්ව සංධානයක් නොවුණත් අප එයට සුබ පතනවා. එමෙන් ම නව සංධානය ජාතිකත්වය අලු‍ත් මගකට ගන්න ඕන. එහි සිංහල බෞද්ධ ගොවිගම කතාවක් නොතිබිය යුතුයි. එමෙන් ම ජාතිකත්වයට සිංහල බෞද්ධ සංස්කෘතිය පදනම් කරගෙන සිංහල කතෝලිකයන් මෙන් ම දෙමළ හින්දූන් ද ඔවුන්ගේ අනන්‍යතා රකිමින් ඇතුළත් කර ගත යුතුයි. ජාතිකත්වයකට එරෙහි නොවන සුෆි මුස්ලිම්වරුන් ද හෙලිකොප්ටරයේ සිටිනු දැකීම අපේ අභිලාෂයයි. එමෙන් ම අද පොහොට්ටුවේ ඉන්න ජාතිකත්වය අගයන පිරිස් ද වැඩි කල් නොගොස් හෙලිකොප්ටරයට ගොඩ වෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

 

@Nalin De Silva

KALAYA Megazine

නවතම ලිපි