ශ්‍රී ලංකාවේ ඖෂධ සැපයීමේ තත්ත්වය සම්බන්ධව සිදු කළ විද්‍යාත්මක විශ්ලේෂණයකට අනුව,

දැනට මිලදී ගන්නා ඖෂධ ප්‍රමාණය 1/3 කින් අඩු කරගත හැකි බව පෙන්වා දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

එමෙන්ම ඖෂධ ප්‍රසම්පාදනයේ දී සිදු කෙරෙන මහා පරිමාණ වංචාවන් සම්බන්ධයෙන් 2020 වසරේ දී KPMG ආයතනය විශේෂ විශ්ලේෂණයක් සිදු කොට ඇති බව ද මන්ත්‍රීවරයා විසින් අනාවරණය කළේය.

එවන් වංචාවන් දැනට ද සිදුවන බවට විශාල සැකයක් පවතින බව ද ඔහු පවසයි.  

දැනට අමාරුවෙන් උපයාගෙන තිබෙන ඩොලර් ප්‍රමාණය ජනතාවගේ ජීවිත බේරාගැනීම සඳහා භාවිතා කරන ලෙස ද රණවක මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලා සිටියි.

සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අද (29) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් හැකියාව සහ අවංකත්වය සහිත, විද්‍යාත්මක පසුබිමක් තිබෙන, ඖෂධවේදීන් සහ වෛද්‍යවරුන්ගෙන් සමන්විත ඉහළ ගණයේ කමිටුවක් පත් කොට විද්‍යාත්මකව එම කටයුත්ත සිදු කළ යුතු බවය.


වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මන්ත්‍රීවරයා මෙසේද පැවසිය.

“රටේ ආර්ථික කඩා වැටීමෙන් පස්සේ ඉතාමත්ම භයානක ආකාරයට අභියෝගයට ලක්වෙන ක්ෂේත්‍රයක් තමයි අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රය. විදේශ මූල්‍ය හිඟයත් සමග, අතිශයින්ම අර්බුදයට ගිය ක්ෂේත්‍රයක් වගේම රටක් හැටියට අපි පසුගිය දශක කිහිපය තුළ, ඔය කියන අවුරුදු හැත්තෑව ඇතුලේ විශාල වශයෙන් ජයග්‍රහණ ලබා ගත් ක්ෂේත්‍රයක්.



මනුෂ්‍යයා නැමැති ජීවියා ඔහුගේ ඇඟේ පරිමාව අනුව, ආසන්නයෙන් අවු.30-32ක පමණ ආයු කාලයක් තමයි හිමි වෙලා තියෙන්නේ. නමුත් සෞඛ්‍ය විද්‍යාවේ කුසලතාවය නිසා, අද මේක අවුරුදු අසූව දක්වා වගේ අපට වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙනවා.



විශේෂයෙන්ම මේ රටේ විවාදයක් ගියා නිදහසෙන් පස්සේ. අපි නිදහස් සෞඛ්‍ය සේවයකට යනවද? නැත්නම් සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයකට යනවද? එහෙමත් නැත්නම් ගෙවීමේ ක්‍රමයකට යනවද කියලා මේ රට තීරණය කළා අපි නිදහස් සෞඛ්‍ය සේවයක් පවත්වා ගත යුතුයි කියලා. එහි විශිෂ්ට ප්‍රතිඵලය හැටියට අපේ ආයු අපේක්ෂාව ඇමරිකා එක්සත් ජනපදයේ ආයු අපේක්ෂාවට සමාන වෙලා තියෙනවා. මාතෘ මරණ ප්‍රමාණය අපි ඉතාමත්ම අවම දියුණු රටක මට්ටමකට ගෙනල්ලා තියෙනවා.. ඒ වගේම ළදරු මරණ ප්‍රතිශතයත් දියුණු රටක මට්ටමට ගෙනල්ලා තියෙනවා. සුවිශේෂීම ජයග්‍රහණය් තමයි වෙනත් කිසිම මැදි ආදායම් රටක් නොකරන ආකාරයෙන් අඩු වියදමකින් වැඩි සෞඛ්‍ය දර්ශක ශක්තියක් ළඟා කරගන්න ලංකාව සමත්වීම.

අනෙක් පැත්තෙන් අපේ දත්ත අපට සතුටු වෙන්න පුලුවන්ද? 1999-2019 අතරේ සෞඛ්‍යයට වියදම් හතර ගුණයකින් වැඩි කරලා තියෙනවා. නමුත් සෞඛ්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන සමාජ දර්ශක ඒ ආකාරයටම දියුණු වෙලා නෑ. එහෙමනම් අපේ වියදම කොහාටද ගියේ? ඇයි ඒ සෞඛ්‍ය සාක්ෂරතාවයේ තත්ත්වයන් අපිට අත්පත් කරගන්න බැරි වුණේ කියන එක අපි දැන් සොයා බැලිය යුතු කාරණයක් වෙනවා.

විශේෂයෙන්ම මේ වසරේ අයවැය ගැන කියනවා නම්  2023, 2019 ට සාපේක්ෂව පුනරාවර්තන වියදම් බිලියන 143 සිට 264 ට වැඩි වෙලා තියෙනවා. මේ වෙලාවේ ගොඩනැගිලි හදන වෙලාව නෙමෙයි. රෝගීන්ගේ සහ ජනතාවගේ ජීවිත බේරා ගන්න වෙලාවක්. පුනරාවර්තන වියදම් ගැන තමයි අපි අවධානය යොමු කරගත යුත්තේ. හැබැයි ඖෂධ සැපයීම සඳහා වෙන් කරලා තියෙන මුදල් ප්‍රමාණය 2019 බිලියන 45 ක් නම් ලබන වසරේ ඒක බිලියන 74 ක්. නමුත් පසුගිය කාලය තුළ 2019 ඩොලරය තිබුණේ රු. 170ට. දැන් ඒක තියෙන්නේ 363 ට. ඒ අනුව රුපියලේ අවප්‍රමාණයට කිසිසේත්ම ගැලපෙන ප්‍රමාණයකින් නෙවෙයි මේ ඖෂධ පිළිබඳ වැය ශීර්ෂය ලං වෙලා තියෙන්නේ. ඒ වගේ වැය ශීර්ෂය අඩුවෙන්න යම්කිසි විද්‍යාත්මක දර්ශකයකට, ක්‍රමවේදයකට අනුවද, ඒ ඖෂධ බිල අඩු කළේ කියන එක අපි දැනගත යුතුයි.



ඒ වගේම මේ ඖෂධ සැපයීමේ තත්ත්වය මොකක්ද? අපිට වාර්තා වෙලා තියෙන ආකාරයට, අපගේ NMRA ආයතනය ඖෂධ 14,000 ක් නියාමනය කරනවා. මේ පිළිබඳව විද්‍යාත්මක විශ්ලේෂණයක් කරලා තියෙනවා කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රිකා ගලප්පත්ති මැතිණිය. එතුමිය පෙන්නලා දීලා තියෙනවා මේ ඖෂධ ප්‍රමාණය 1/3 කින් අඩු කර ගන්න හැකිය කියලා. ඒ පිළිබඳව විද්‍යාත්මක ක්‍රමවේදය පිළිබඳව අපගේ ආර්ථික ස්ථායිකරණ කමිටුවේ අනු කමිටුවේ තිබෙනවා. මං හිතන්නේ ගරු ඇමතිතුමා අපේ දේශීය වෛද්‍ය ඇමතිතුමා ඇතුළු කණ්ඩායම ඒ ගැන අවධානය යොමු කරලා කටයුතු කළොත් හොඳයි. අපට වර්ෂයකට වැයවෙන ඩොලර් මිලියන 300 කට අධික බිල අපිට අඩු කරගන්න හැකියාවක් තියෙනවා නම් යම් ආකාරයක එකක් මගින් හැබැයි ඒක කළ යුත්තේ විද්‍යාත්මක ක්‍රමවේදයකට.


ඒ පිළිබඳව හැකියා පූර්ණ, අවංක පිරිසක් පත් කරලා මේ තියෙන අර්බුදකාරී සමයේ කෝවිඩ් යුගය වගේම මේ පිළිබඳ හැකියාව තියෙන අවංකත්වය, විද්‍යාත්මක පසුබිමක් තියෙන, ඖෂධවේදීන් සහ වෛද්‍යවරුන්ගේ ඉහළ ගණයේ කමිටුවක් පත් කරලා, මේ ඖෂධ අපිට ඇත්ත වශයෙන්ම අවශ්‍යද? මේවා ජීවිත බේරාගැනීමේ Vital Medicine  Drugs ද?  මේවා Essential ද? මේවා Food Suppliments ද? මේ ආකාරයට මේ තියෙන තත්ත්වයන් ගැන බලලා මේ ඉතාමත්ම අමාරුවෙන් උපයාගත් ඩොලර් ප්‍රමාණය ජනතාවගේ ජීවිත ගලවා ගැනීමට වැය කිරීමට කටයුතු කරන හැටියට.

අපි දැකපු දෙයක් මේ ඖෂධ සපයන ආයතන වල තිබෙන සම්බන්ධීකරණයේ අඩුපාඩු. අපි දන්නවා කොම්පැනියක් රජයට අයිති ඖෂධ අධිකාරිය SPC එක. ඒකෙන් තමයි ඖෂධ ගෙන්වන්නේ. ඖෂධ බෙදා හැරීම සඳහා රජයට අයිති MSD එක තියෙනවා. ඒ වගේම ඖෂධ නිපදවීම සඳහා රජයට අයිති ආයතනයක් තියෙනවා. ඒ වගේම ඖෂධ නියාමනය සඳහා NMRA එක තියෙනවා. තව පුද්ගලික අංශය ගෙන්වනවා. නිදහස් සෞඛ්‍යය කිව්වට අද 55% ක් සෞඛ්‍යයට වියදම් කරන සල්ලි යන්නේ පුද්ගලයින්ගේ පොකැට් එකෙන්. රජයේ ආයෝජනය 45% යි. එම නිසා මේ තත්වයත් එක්ක අපි බලන්න ඕනේ මේ ආයතන අතර මනා සම්බන්ධීකරණය තියෙනවද කියලා.



වාර්තා වූ ආකාරයට හදිසි මිලදී ගැනීම් කරන්න වර්ෂයකට වෛද්‍ය අධිකාරිවරු රුපියල් බිලියන 15 ක් වැය කරනවා. ඒ විශාල සංඛ්‍යාවක්. මේක වෙලා තියෙන්නේ කවර අඩුපාඩුවක් නිසාද? MSD එකට රටේ ඖෂධ පිළිබඳව ගණන් හිලව් නැද්ද? පරිගණක පද්ධතියක් ක්‍රියාත්මක වෙනවයි කියලා කෝප් එකට වාර්තා වුණා. එහෙම පරිගණක පද්ධතියකටත් ආයෝජනය කරලා තියෙද්දි මේ ආකාරයේ හිඟයන් අවට කලාපයේ රෝහල්වල පවතින්න පුළුවන්ද? NMRA ආයතනය පෙන්වලා දීලා තිබුණා ඖෂධ 14,000 ම ආරම්භය නියාමනය කළාට ගෙන්නන තොගවල සාම්පල් කිසිම ආකාරයකට පරීක්ෂාවට ලක් කරන්නේ නැහැ. 5% කටත් අඩු ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කරන්නේ. ඒ නිසා එක ඖෂධයක් අනුමත කරගෙන වෙනත් ප්‍රමිතියක් තියෙන ඖෂධ ගෙන්වීමේ ඉඩකඩක් තියෙනවා. මේක වහන්න, වහාම සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක විය යුතුයි.



ඖෂධ ප්‍රසම්පාදනය සිදුකරන දැවැන්ත වංචාව පිළිබඳව, තාක්ෂණික වංචාව පිළිබඳව, KPMG ආයතනය 2020 දී විශේෂ විශ්ලේෂණයක් කරලා තියෙනවා, ඒ වගේම කෝප් කමිටුව, ජනාධිපති කොමිෂන් වල කරලා තියෙනවා. ඖෂධ ප්‍රසම්පාදනය ඉතාම භයානක ආකාරයේ වංචනික පිරිසක් අතින් පරිහරණය කරනවාද කියන සැකය පවතිනවා, එය වැලැක්වීමට අපි පියවර ගත යුතුයි. උපකරණ ගෙන්වීමේදීත් ඒ ගැටලුව එහෙම්මම තියෙනවා. දැනට දේශීය වශයෙන් 15% යි ඖෂධ නිෂ්පාදනය කරන්නේ. ඒ දේශීය වශයෙන් නිෂ්පාදනය කරන 15% නුත්, 70% ක්ම ආනයනය කරලා තමයි,  රට ඇතුලේ අගය එකතු කිරීම් කරන්නේ. ඒ නිසා මේක 30% දක්වා වර්ධනය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් රටට අවශ්‍යයි.

රටට සල්ලි නැහැ. ඖෂධ ගෙන්නන්න. මේ ඖෂධ ගෙන්වීම සඳහා ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ලබාදුන් මුදල් නිසියාකාරව SPC එක පාවිච්චි කරලා නැති බව, කෝප් කමිටුවේ දී ඉතාම පැහැදිලිව ඔප්පු වුණා. මොකද ඒ අයට ඒ අවස්ථාවෙදි, පහුගිය ජූනි මාසෙදි ලබා දීපු ඒ සියලුම නිර්දේශයන් ප්‍රතික්ෂේප කරලා, අපි දන්නවා මේ වෙන කොටත් ඒ ගැටළු ඒ විදියටම තිබෙන බව. ඒ අවස්ථාවේදී ඉන්දියානු ණය යෝජනා ක්‍රමයෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන්, ලෝක බැංකුවෙන් ලැබුණු මුදල්, මේ සියල්ල එකතු කළාම අපේ අවශ්‍යතාව තිබුණේ  214 යි.. ඒක කරගන්න නොහැකි වීම බරපතල අඩුපාඩුවක් හැටියට අපි දකිනවා.



මමත් හිතුවේ, පැරසිටමෝල් තමයි වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ කියලා. නමුත් ඇත්ත වශයෙන්ම කොලොස්ට්‍රෝල්, දියවැඩියාව වැනි බෝ නොවෙන රෝගවලට පාවිච්චි වෙන ඖෂධ තමයි ලංකාවේ ඉහලම ඖෂධ තුන ඇතුලේ තියෙන්නේ. එහෙනම් මේක වලක්වා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් වැඩ කරන්න පුළුවන් තැනක් තමයි අපේ දේශීය වෙදකම. ඒ දෙසට යොමු වූ ප්‍රතිපත්තියක් කරනවා නම් මේ අධික ලෙස භාවිතා වන ඖෂධ පාලනය කරන්න පුළුවන්. ''

අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේ දී වෛද්‍ය විශේෂඥයින් එක්කත් මේ පිළිබඳව සාකච්ඡා කරන්න. එහි වාර්තාවත් රජයටත්, සෞඛ්‍ය අමාත්‍යාංශයටත් යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා.”

@Theleader.lk

නවතම ලිපි