2023 සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන ලද අයවැය මගින් රාජ්‍ය වියදම රුපියල් බිලියන 7,879 ක් ලෙස යෝජනා කොට, භාණ්ඩාගාර

බිල්පත්වල ඇති රුපියල් බිලියන 3,800 ක වියදම සඟවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.


ඊයේ (16) දින පැවති පාර්ලිමේන්තු අයවැය විවාද අවස්ථාවේදී මෙම අදහස් පලකළ රණවක තවදුරටත් පවසා සිටියේ, ලෝක බැංකු නියෝජිතයන් පවසන පරිදි, තම සංචිත බින්දුව (0) වනතෙක් බලා සිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ගිය ලෝකයේ එකම රට ලංකාව බවයි.


එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මෙසේ සඳහන් කළේය.

''ජනාධිපතිතුමා අවසන් කතාවේදී හෝ රටේ ඇත්ත තත්වය කියන්න ඕනේ''


“අපේ ආදායම රුපියල් බිලියන 3,456 යි. වියදම රුපියල් බිලියන 7,879 ක් යෝජනා කරලා තියෙනවා. අයවැය යෝජනා මගින් තවත් බිලියන 40 - 50ක් එකතු වුණාම, බිලියන 8,000 පමණ වියදමක් එනවා. නමුත් අපි මතක තියාගන්න ඕන අයවැයට එකතු නොවෙන දැවැන්ත රාජ්‍ය වගවීමක් ආණ්ඩුවට තියෙනවා. ඒ තමයි, භාණ්ඩාගාර බිල්පත්. ඒ භාණ්ඩාගාර බිල්පත්වල වටිනාකම බිලියන 3,800 යි. ඒක මේ අයවැය ලේඛනයේ හෝ ජනධිපතිතුමාගේ කතාවේ හෝ කිසිම තැනක සඳහන් වෙලා නෑ. ඒ අනුව ලබන වර්ෂයට ආණ්ඩුවේ ඇත්තම වගවීම බිලියන 8,000 නෙවෙයි. බිලියන 11,800 සමානයි. ඇත්තම වගවීම රුපියලක ආදායමකින් රුපියල් 3.40 ගෙවන්න වෙන තත්වයක තමයි රට තියෙන්නේ.


ගණකාධිකරණ මූලධර්ම මත අයවැය භාණ්ඩාගාර බිල් ඉදිරිපත් නොකළට ඒක අපේ වගවීමක්. අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමා අවසන් කතාවේදී හෝ රටේ ඇත්ත තත්වය කියන්න ඕනේ. ස්වෛරී බැඳුම්කර, ස්වෛරීත්වය පෙන්නලා ගත්ත ණය ආදිය පෙන්නන්න ඕන. සාමාන්‍යයෙන් අයවැයක වියදම් යෝජනාත් එක්ක ආදායම් යෝජනාවත් එනවා. මෙහි එවැනි ආදායම් යෝජනාවක් සඳහන් කරලා නෑ. නමුත් අයවැය යෝජනාවේ සඳහන් වෙනවා පෙට්‍රල්, ඩීසල් සහ බොරතෙල් මත බදු අයකරන බව. මේවායෙන් එන්නේ රුපියල් බිලියන 100 පමණ ආදායමක්. මෙය අයවැයේ කොතනකවත් ලබන වසරේ ආදායමක් ලෙස සටහන් කරලා නෑ. කොලේ වහලා ගහනවට වඩා විවෘතව කතාව කිරීම ඉතාම වැදගත්.

ගිය වසරේ බිලියන 1,072 වියදම් කළා සංවර්ධනයට. හැබැයි වියදම් කරලා තියෙන්නේ බිලියන 300 මදක් වැඩි ගාණක්. මේ වසරේ යෝජනා කරලා තියෙනවා බිලියන 1,220 ක්. මේවා කොහෙන්ද හොයන්නේ? ව්‍යාපෘති 200 අධික ප්‍රමාණයක් නතර වෙලා. ඉංජිනේරුවන් 3000 කට, සේවකයින් ලක්ෂ 6 කට රැකියා අහිමි වෙලා. එවැනි තත්වයක් තුළරාජ්‍ය වියදම බිලියන 1,220 ක් කියන්නේ කිසිසේත්ම යථාර්ථවාදී වියදමක් නෙමෙයි. රජයේ වර්තන වියදම රුපියල් බිලියන 4,609 යි. මේකෙන් වැටුප් හා පොලී ඉවත් කලාම රුපියල් බිලියන 1,414 ක් වෙනවා. මේවා තමයි රජයේ ආයතනික තෙල්, විදුලි, ජල ගාස්තු. රාජ්‍ය අංශයේ දේපළ විකිණීමෙන් බලාපොරොත්තු වෙන ආදායමක් ලැබෙන්නේ නෑ.

අපේ අමාත්‍යංශය යටතේ ඕනම පෞද්ගලික හෝටලයකට වඩා හොඳින් වෝටර්ස් එජ් ආයතනය කළමනාකරණය කරලා පෙන්නුවා. රාජ්‍ය දේපල විකුණනවට වෙනුවට, විධිමත් ආකාරයට කළමනාකරණය කළ යුතුයි. අපේ ආර්ථික ස්ථායිකරණ අනුකමිටුවෙන් රාජ්‍ය ආයතන කාර්යක්ෂමකරණය කිරීමට ගතයුතු ප්‍රතිපත්ති පිළිබඳ විධිමත් යෝජනාවලියක් අන්තර්ගත කරලා තියෙනවා.


තවත් ඉතාම වැදගත් කාරණයක් තමයි වර්ෂයකට ග්‍රොස් ෆයිනැන්සින් නීඩ් එක (Gross Financing Need). මෙය ආණ්ඩුවට ඉතාම සුළු ගාණක් වුවත් භාණ්ඩාගාර බිල්පතුත් එකතු වූ පසු  මුල්‍ය අරමුදලට අනුව 28% ක් වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මෙය15% විය යුතුයි. මේ අයවැයෙන් කළ යුතුව තිබුණේ ඊළඟ අවුරුදු තුනේවත් මේ 15% සීමාවට ඒම සඳහා රාජ්‍ය වියදම් කප්පාදුවක්.


දැන් අපේ දුප්පත්කම තියෙන්නේ 2005 වර්ෂයේ තත්වේ. 2025 වෙනකොට මේක 1990 වර්ෂයට යනවා. ඒ වගේම ලෝක ආහාර සංවිධානයට අනුව ලක්ෂ 29 ක් අලුත් දුප්පතුන්බිහිවෙලා. අද දුප්පත්කම රටේ 26% යි. වතුකරයේ පමණක් 52% යි. ලබන වසර වෙනකොට ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව repurpose කරපු සල්ලි වලින් ඒ මුදල් ලැබෙන්නේ නැතුව යනවා.

''එදා ලෝක බැංකු නියෝජිතයෝ කිව්වා. ලෝකයේ එකම රට ලංකාව, තමන්ගේ සංචිත බින්දුව (0) වුණාට පස්සේ මුල්‍ය අරමුදල ගාවට ගිය. අද පකිස්ථානය මුල්‍ය අරමුදල ගාවට ගිහින් තියෙනවා සංචිත බින්දුව නෙමෙයි. බංගලිදේශයේ අපිටත් ණය දීලා මුල්‍ය අරමුදල වෙත ගිහින් තියෙනවා, සංචිත බින්දුව නෙමෙයි. අපි ලෝකයේ එකම රට සංචිත බිංදුව උනාට පස්සේ මුල්‍ය අරමුදල ගාවට ගිය.” 

@Theleader.lk

නවතම ලිපි