ගෝලීය ශ්‍රේණිගතකිරීම් සමාගමක් වූ S&P සමාගම ශ්‍රී ලංකාවේ බැඳුම්කරවල ශ්‍රේණිගතකිරීම

“ඩී” දක්වා පහත දමල තියෙනවා. එම ශ්‍රේණිගත කිරීමෙන් අදහස් වෙන්නෙ ලංකාව බැඳුම්කර සඳහා මුදල සහ පොලිය ගෙවීම පැහැර හරින බවයි.

මේ ගැන මහින්ද පතිරණ බුකියෙ  ලියල තිබුණෙ මෙහෙම කතාවක්.

mahinda pathirana

 “ශ්‍රේණිගත කිරීම් ආයතනවලින් ලංකාව Restricted Default තත්වයෙන්   ඩිෆෝල්ට් තත්වයට දාලා. මේක අපේක්ෂා කරපු තත්වයක්. ණය Default කර ඉතිරි වන මුදලින් කන්න ගෙනත් දෙන ලෙස ඉල්ලා සිටි අරගලය ඇතුළු මෙරට උගත් නූගත් බොහෝ අයගේ ඉල්ලීම පිට වත්මන් මහබැංකු අධිපති, මුදල් ඇමති අලි සබ්‍රි හා විපක්ෂ මන්ත්‍රී හර්ෂ ද සිල්වා යන අයගේ දායකත්වයෙන් මේ තීරණය ගනු ලැබුවා. කවුරු ගත්තත් ඒක මේ ඉතිහාසය අදුරදර්ශීම තීරණය.

ගෝඨාභය ආණ්ඩුවේ අරමුණ වුනේ විදේශ ණය ගෙවා දමමින්, රට තුළ ආදායම් උපයන මාර්ග නිර්මාණය කරන අතර තුර හිග මුදල් ඉන්දියාවෙන් හා චීනයෙන් ගෙන අමතර මුදල් IMF වෙතින් ලබා ගන්නා ඉතා තිරසාර විසඳුමක්. 2020 ඉඳල අපි ඩොලර් බිලියන 8කට වඩා ගෙවල අපේ ණය බර ඩො. බිලියන 59 ඉඳල 47 අඩු කර ගත්තා. ඒ තත්වය ඉදිරියට ගියා නම් අපේ ශ්‍රේණිගත කිරීම් නැවත ඉහළ යනවා. අඩු පොළියට නැවත ණය ගන්න හැකි වෙනවා. ණය sustainable කරන්නෙ එහෙම. හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙම බහුවිධ පෙරමුණු සහිත මාර්ග සිතියම නිර්මාණය කළ අතර එය ක්‍රියාත්මක වූයේ නම් අප මේ වන විට අර්බුදය සැලකියයුතු ලෙස කළමනාකරණය කරගෙන. ලෝක බැංකුව පවා මේක අනුමත කර දුන්නා. ඒ නිසා තමයි අද අපට ගෑස් ගන්න මුදල් ලැබෙන ලෙස ඔවුන්ගෙ ව්‍යාපෘති ණය repurpose කරල මිලියන 340ක් ලබා දුන්නෙ. හැබැයි අරගලය විසින් මේ මාහැඟි ශක්තිමත් විසඳුම පරාජය කළ අතර, ජනාධිපති ගෝඨාභයට පවා මේ ගැන දැනුමක් තිබුනේ නැහැ. අපට IMF සාකච්ඡා තියන්න තිබුනෙ අප්‍රේල් මාසේ. එදා මුදල් ඇමතිවරයා එහි ගියේ නම් අද එතනිනුත් බිලියන 4ක් අනුමත වෙලා ඉවරයි.

දැන් ඒ සියල්ල හීන. විදේශ ව්‍යාපෘති පවා දැන් ඇන හිටලා. ඒ ඩොලර් එන්නෙත් නැහැ. ඇත්තටම කණගාටුයි ඒ ගැන. දැන් තියෙන තත්වයට අනුව, ණය ප්‍රතිව්‍යුහගත කිරීම පවා සැක සහිතයි. චීනය මොන පියවරක් ගන්න ඉන්නවද දන්නෙ නැහැ. මේ ගැන ආණ්ඩුව මීට වඩා උනන්දුවෙන් කටයුතු කළ යුතුයි. හැබැයි කොහොම කටයුතු කළත් දැන් අපට තෝරන්න බැහැ. අපි ඉන්නෙ අනිත් අයගෙ අතේ. මේ තත්වය උදාකිරීම ගැන අරගලය නම් වූ විනාශකාරි ක්‍රියාදාමය වග කියන්න ඕන. දැන් අපට මේ වැටිච්ච වළෙන් ම ගොඩ එන්න වෙලා. ඒක පහසු නැ. හැබැයි පුළුවන්. කැප කිරීම් කරන්න ඕන”

 

පහුගියදා අභිනව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රාජාසන කතාව තුළ ලංකාව ඉදිරියේදී ආර්ථික අභියෝගයන්ට මුහුණ දීමේ වැඩපිලිවෙල ගැන කළ කතාව සංජීව විජේසිංහ එයාගෙ විග්‍රහය බුකියෙ ලියල තිබුණෙ මෙහෙමයි.

sanjeewa

 “මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ විසින් මෑත දී කරන ලද ප්‍රකාශයට අනුව අපි   ආනයනයන් දැඩිලෙස සීමා කරන්න ඔිනෑ. ඔහු කියනවා ආනයනයන් සඳහා අපි   මාසයකට කරන වියදම ඩොලර් බිලියන 1.3 ට සීමා කරන්න අවශ්‍ය යි කියලා. (ඒ කියන්නේ අවුරුද්දක ආනයන වියදම ඩොලර් බිලියන 15 ට පමණ සීමා කරන්න වෙනවා.) එහෙම කලොත් ඉතිරි ටික කලමනාකරනය කරගෙන යන්න පුළුවන් කියලා ඔහු කියනවා. ඔහු එහෙම කියන්නේ අපනයන වලින් මාසිකව ඩොලර් බිලියනයක ආදයමකුත් විදේශ ශ්‍රමිකයන්ගෙන් තවත් ඩොලර් මිලියන 300-400ක ප්‍රමානයකුත් පසුගිය කාලයේ රටට ලැබී ඇතිබව පදනම්ව කර ගෙනයි.

ඒ් පදනම මත බැලුවොත් 2019 වියදම් වලට සාපේක්ෂව අපට මාසයකට ඩොලර් මිලියන 300ක් පමණ ආනයන වියදම් අඩුකරන්න වෙනවා. අදට සාපේකෂව නම් (ආනයන භාණ්ඩ වල මිල ඉහල යාම් සලකා බැලූවිට) ඩොලර් මිලියන 400කින් පමණ මාසික ආනයන වියදම් කපා හරින්න වෙනවා.

ඒත් මේ ආනයන වියදම් ඉදිරියේ දී මීට වඩා වැඩියෙන් සීමා කිරීමට සිදුවිය හැකි යි. එයට එක හේතුවක් නම් ඉදිරියේ දී ද අපගේ අපනයන ආදායම ඒ ආකාරයෙන්ම ලැබෙනු ඇතැයි යන්න කිව නොහැකි වීමයි. අනෙක අපනයන වලින් ලැබෙන ප්‍රකාශිත සම්පූර්ණ ආදායමම රට තුලට නොපැමිණීම යි. තුන්වැනි කරුණ නම් ගත් ණය (දැනට ඩොලර් බිලියන 55ක් පමණවන) සහ ඉදිරියේ දී ගැනීමට නියමිත ණය සහ ඒ ණයමත පොලිය ගෙවීම සදහා විදේශ විනිමය සංචිතයක් රට තුල ගොඩනගා ගත යුතු වීම යි. වසර 30කින් හෝ මේ ගත් ණය පමණක් වුව ගෙවා දැමීමට නම් අප වසරකට ඩොලර් බිලියන 2ක බැගින්වත් ඉතිරිකළ යුතු වෙනවා. ඒ අනුව කපා හැරීමට සිදුවන ආනයන වියදම් ප්‍රමානය තවත් වැඩිවනු ඇත.

මෙහි දී මතුකළ යුතු තවත් කරුණක් නම් විදේශ ශ්‍රමිකයන් උපයන විදේශ විනිමය (අදවන විට ‌ඩොලර් මිලියන 300-400කට අඩුවී ඇති) අපගේ ආපනයන ආදායමක් ලෙස සලකා කටයුතු කිරීම නිවැරදි ද යන්න යි. එය රටේ වත්කමක් ලෙස සලකා ගොඩ නැගෙන්නට හරිනවා මිසක ආනයන අපනයන අතර පරතරය පියවා ගැනීම සදහා යොදා ගැනීම නොකළ යුත්තක්ව තිබුනා. පසුගිය කාලය පුරාවටම කිසිම රජයක් යටතේ වුව ඔවුන් උපයන ලද මුදලේ වටිනාකම ද ඔවුනට ගෙවා නැත. ඒ වෙනුවට ඉතා අඩු වටිනාකමකි ඔවුනට ගෙවා ඇත්තේ. රජයකට විනිමය අනුපාතය නොයෙකුත් හේතූන්මත පාලනය කිරීමට සිදු වෙනවා. එහෙත් එය අනවශ්‍ය ලෙස කෘතිමව පාලනය කිරීමට යාමෙන් විදේශ ශ්‍රමිකයන් උපයන විදේශ විනිමය විශාල ප්‍රමානයක් රටට අහිමිව අතරමැදියන් අතට පත්වුනා.

දැන් මේසා විශාල ප්‍රමානයකින් ආනයන වියදම් කපා හරින්නේ කෙසේ ද ? කුමකින් ද? එසේ ආනයන වියදම් කපා හැරීම අපගේ ජන ජීවිතයට/ මෙතෙක් ගතකළ ජිවන රටාවට බලපාන්නේ කෙසේ ද? අපගේ ජීවන රටාව කුමන නම් විපර්යාසයන්ට ඒ අනුව භාජනය වන්නේ ද? ඒ සදහා ජනතාව සූදානම් විය යුත්තේ කෙසේ ද? මේ සම්බන්ධයෙන් දේශපාලන නායකත්වය විසින් සෘජු ප්‍රකාශයක් මේවන තුරුත් කර ඇත් ද? ඒ සදහා පිළිතුර නැත යන්න යි.

ඒ වෙනුවට QR කේතය හදුන්වා දීමත් සමග ඇතිවුන සහනය (පෝලිම් අඩුවීමේ) මත “ දැන් ඔක්කොම හරි සිකුරාදා දිනයත් දැන් වැඩට යන්න” යැයි කීමෙන් කියැවෙන්නේ කුමක් ද? මේ අභියෝගයට මුහුණ දෙන බව ද?

ආනයන වියදම් කපා හැරීමේ දී ඉන්ධන (තෙල්) සදහා යන වියදම තීරණාත්මක ලෙස අඩු කිරීමට සිදු වෙනවා. එය පොදු ප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනය හා අත්‍යවශ්‍ය කර්මාන්ත සදහා වන ලෙස අඩුකිරීම දක්වා යාමට සිදුවනු ඇත. ඒ තත්වයට මුහුණ දෙන්නේ කෙසේ ද?

ඩොලර් මිලියන 400කින් පමණ ආනයන වියදම් කපා දැමීමේ දී ඉන්ධන වලින්ම පමණක් එය කළ නොහැකි යි. තිරිඟු පිටි සදහා යන වියදම (2019 දී ඩොලර් මිලියන 350ක් ඒ සදහා වියදම් කර ඇත) අඩු කළ හැකි ද?

ඉදිකිරීම් ක්ෂේත්‍රය සදහා අවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සදහා 2019 දී ඩොලර් මිලියන 1500ක් වියදම් කර ඇත. නිසැකවම එම වියදම් තීරණාත්මකව කපා දැිය යුතුව ඇත. පසුගිය කාලය පුරාවට කරන ලද තිරසාර නොවන සංවර්ධනය ගැන කියාපන වියදමකි මේ නම්.

ඖෂධ ආනයනය සදහා එම අවුරුද්දේ ඩොලර් මිලියන 560ක් වියදම් කර ඇත. එම වියදම් අඩුකළ හැකි ද? දේශීය වෙදකමට මීට වඩා ජනතාවට නැඹුරු වන්න කියනවා ද? දිගටම ඉන්ජෙක්ෂන් (කල් ඉකුත්වුන) ගහන්න කියනවා ද?

කෘෂි රසායන සදහා-$ මිලියන 410, කිරිපිටි සදහා-$ මිලියන 350, අල ලූණු අර්තාපල් සදහා -$ මිලියන 310, නිමි ඇඟළුම් සදහා- $ මිලියන275, ඉලෙක්ට්‍රොනික උපකරණ සදහා-$ මිලියන 200, ගෘහ භාණ්ඩ සදහා $ මිලියන 175 සහ මාළු ආනයනය සදහා $ මිලියන 200ක් ලෙස 2019 වසරේ දී අප වියදම් කර ඇත. මේ වියදම් ද ක්‍රමයෙන් කපා හැරීමට සිදුවනු ඇත.

IMF කථාව හරියන මඟුලක් ද? ඔවුන්ගේ යෝජනා ක්‍රියාත්මක කරන්නට ගොස් රටතුල කැරලිකෝලාහල ඇති නොවේ ද? වෙනත් රටවල එහෙම වෙලා තියෙනවා නේද? අපේ රටේත් “IMF Riots” ඇති නොවෙයි ද?

නැතහොත් IMF යෝජනා/කොන්දේසි දේශීය රාමුවක් තුල ජීවන ක්‍රමයේ වෙනසක් ඇතිවන ආකාරයට (අපගේ සංවර්ධන රාමුවක් තුල) නිර්මාණාත්මකව ක්‍රියාත්මක කිරීමට අපට හැකිවේ ද? තෙල් පරිභෝජනය අඩුකරගෙන ජීවත් විය හැකි ජීවන ක්‍රමයක් ඇති කර ගැනීම එහි දී වැදගත්. එවැනි උත්සහයක් දැරීමට නම් අපගේ ජීවන රටාවේ ඇති කරගත යුතු වෙනස්කම් අවබෝධ කරගෙන කටයුතු කිරීම සදහා අධ්‍යනයක්/සංවාදයක් ඇති කරගත යුතු වෙනවා. ඒ සදහා ඉඩකඩක් තිබෙනවා ද?

ජනාධිපති රනිල් යන්නේ කොතැනට ද? ඔහුගේ කථාවෙන් පැහැදිලි වනුයේ වියදම් කපාහැරීම, IMF යාම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම, නැවත පුළුල් මධ්‍යම පංතියක් බිහිකිරීම (නැවත සුපුරුදු ජීවන රටාවට යාම...!). ඔහු අනවශ්‍ය වියදම් කපා හරිමින් අධිපරිභෝජනයෙන් මිදෙමින් ජීවන මග වෙනස් කර ගැනීමක් ගැන කථා නොකර යි. ඔහු ඒ මග වෙත පිවිසෙයි ද?

ආර්ථික අර්බුදයට විසදුමක් ලැබෙයි ද?”

ඒ අතර ඊයේ (15) කොළඹදී ආර්ථික විශේෂඥයින්ගේ සහ විද්වතුන්ගේ කතිකාවක් පැවැත්වුනෙත් ලංකාවෙ ආර්ථික කඩාවැටීම සහ ඉන් ගොඩඒමේ ක්‍රියාමාර්ග ගැන කියන්නමයි. මෙතැනදි ඇඩ්වකාටා සංවිධානයේ ධනනාත් ප්‍රනාන්දුගේ අදහස වුනේ ලංකාව බරපතල තත්ත්වයටම පත්ව ඇති බවත් මින් අසීරුවෙන් හෝ ගොඩඒමට නොපමාව ආර්ථිකයේ වෙනස්කම් කළයුතු බවත්ය.

ධනනාතලා මේ කියන්නෙ ආර්ථික විද්‍යා න්‍යායන් ඇතුලත වෙනස්කම් පිලිබඳවයි. එහෙත් මේ මොහොත ආර්ථික විද්‍යාවේ උපමානයන් විධික්‍රම ශක්තිමත් කිරීමේ සහ පවත්වාගෙන යෑමේ වැනි තත්වයකින් මෙකී තත්වයට පිලියම් සෙවීමට සුදුසු මොහොතක් නොවන බව ආර්ථික විද්‍යාඥයින්ට නොවැටහේ. මන්ද ඔවුන්ගේ සීමාව ඇත්තේ ඒ විද්‍යාව ඇතුලතය. උගත් බුද්ධිමත් ආචාර්ය හර්ෂ ද සිල්වාගේ තත්වයද එලෙසමය.

එහෙත් රට පත්ව ඇති තත්වයට වගකිවයුතු වන්නේද ආර්ථික විද්‍යා විශේෂඥ නිළධාරීන්ගේ මගපෙන්වීමම බව මොවුනට නොවැටහේ.

මෙය රට Reset කිරීමට අනගි අවස්ථාවක් බව දිගින් දිගටම මුහුණු පොත හරහා සංවාද ගොඩනැගුනද බහුතර පුරවැසි මතය ද විද්‍යාව මත විශ්වාසය තැබීම නිසා ආර්ථික විද්‍යාව ද ලංකාව තුළ මේ මොහොතේ බරපතල අර්බූධයකට එහි විශේෂඥයින් සේම පත්ව ඇත.

එනිසාම ආර්ථිකය කඩා වැටුනු සැබෑ හේතූන් පිලිගැනීමට ණය වී හෝ ගිතෙල් අනුභව කරන ජනතාව මෙන්ම බලය වෙනුවෙන් රටේ ඔිනෑම සම්පතක් විකුණා දැමීමට විනාශ කිරීමට සමත් අධම පාලකයින්ද සූදානම් නැති සන්දර්භයක නිවැරදි පිලියමක් පිළිතුරක් ලැබේවි යන්න හුදෙක් මායාවක් පමණකි.

රටේ අර්බූධයේ හේතුව සහ රජය ඇතුළු රටවැසියා විශ්වාස කරන හේතුව අතර වෙනස ස්පාර්ටකස් සාමූහිකයේ පහත ලිපියෙන් නිරාවරණය වේ. (වගු ප්‍රස්ථාර සහිත සම්පූර්ණ ලිපිය - https://ladyleader.lk/social/7003-2022-04-10-06-02-08)

ආර්ථිකය වැටුනේ ඇයි? කවද ඉඳලද?

 ස්පාර්ටකස්

ආර්ථිකය කඩා වැටුනේ කොරෝනා වසංගතය හේතුවෙන් බව පෙන්වීමට බොහෝ දෙනෙකු උත්සාහ දරමින් සිටී. ඇත්තටම මෙය කොරෝනා නිසා සිදුවූවක් ද? එසේම, ආර්ථිකය කඩා වැටුනේ රාජපක්ෂලා හොරා කෑ නිසා බව අතිශය බහුතර මතයයි.

ආර්ථිකය කඩා වැටීමට නියමිතව තිබූයේ යහපාලන ආණ්ඩුව සමයේය. නමුත් එය එසේ නොවූයේ ණය වාරික ගෙවීම අවුරුදු පහකට කල්දමා ගැනීමට රනිල් සමත් වූ බැවිනි.

එහෙත් ආර්ථිකය කඩා වැටීම ආරම්භ වන්නේ රනිල්ගේ පාලනයේ අවසන් කාර්තුවේ සිටය.

රනිල් විසින් ලබා දුන් ප්‍රධාන සහන පහතින් දක්වා ඇත.

* අත්‍යවශ්‍ය භාණ්ඩ වල බදු අඩු කොට ඒවා ලාභ කළේය. එබැවින් ජීවන වියදම සැලකිය යුතු ලෙස අඩු විය.

* ඉන්ධන මිල අඩු කළේය.

* රජයේ සේවකයින්ට රුපියල් 10000ක් පඩි වැඩි කළේය.

* මහින්ද පාලන සමයේ ලබාගත් ණය ප්‍රමාණයට වඩා තවත් ණය ලබාගත්තේය (එසේ ලබාගෙන අධිවේගී මාර්ග ඉදි කරන ලදී. මාර්ග සංවර්ධනය ඇතුළු අනෙකුත් සංවර්ධන කටයුතුද නොනවත්වා සිදු කෙරුණි. රාජපක්ෂ යුගයේ වර්ධනය කරන ලද ඉදිකිරීම් ක්ෂේස්ත්‍රය තව තවත් පුළුල් විය. එසේම ආයනයන ඉහල ගියේය).

“වැගන් ආර් වසන්තය” පැමිණියේ රනිල්ගේ සමයේය. එසේම අනෙකුත් වාහන ද සෑහෙන ප්‍රමාණයක් අලවි විය. වැඩිම වාහන සංඛ්‍යාවක් රටට ආනයනය කොට ඇත්තේ රනිල්ගේ කාලෙයේදීය. ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු වීම හේතුවෙන් එතෙක් තිබූ වියදමද ඉතිරි වී මසකට තවත් 10000ක් අමතරව ලැබෙන තත්වයක් යටතේ රෝද හතරේ වාහන සිහිනය වෙත බොහෝ රජයේ සේවකයින් ගමන් කරන ලදී. එසේම ඉන්ධන මිල අඩු වීම හේතුවෙන් සහ රැල්ලට වාහන ගැනීම සඳහා තවත් බොහෝ දෙනෙක් පෙළඹුණි. රටේ ඉන්ධන පාරිභෝජනය අතිශය ඉහල ගියේද 2015-2020 අතර තුරය.

මේ සියල්ල සිදු කරන ලද්දේ ණය ලබා ගැනීමෙනි.

2005 වසරේ රාජපක්ෂ වරුන් බලයට පත්වීමෙන් පසුව ඊනියා ජනතාව විශාල පාරිභෝජනවාදයකට තල්ලු වී ඇති බව සංඛ්‍යා දත්ත වලින් පෙන්නුම් කෙරේ. එසේම විශාල සමාජීය වෙනසක් ද සිදුව ඇත. ඉහත දත්ත තුල අධ්‍යාපනය සඳහා වන විදේශ වියදම් ඇතුලත්ව නොමැත. 2005 වසරින් පසුව ඒවාද ක්‍රමයෙන් සීග්‍ර ලෙස ඉහල ගියේය. 

ඒ සියල්ල එකවර එසේ ඉහල ගියේ විශාල වශයෙන් ණය ලබා ගැනීමෙන් සහ ලංකාව තුල පරිසරය සූරාකෑමෙනි (ගල්, වැලි, පස්, මැටි, බොරළු, ගස්). එසේම පාරිසරික හානි නොසලකා විදේශ ආයෝජන ගෙන්වා ගැනීමෙනි. කෙසේ වෙතත් විදේශ ආනයන සහ වියදම් සමග සැසඳීමේදී ලංකාව තුල ආයෝජන වලින් හෝ සංචාරක කර්මාන්තයෙන් උපයා ගත හැක්කේ සොච්චමකි. කර්මාන්ත වලට වැය වන බලශක්තිය සහ සංචාරක කර්මාන්තයේදී වැයවන විදේශ විනිමිය සැලකීමේදී වක්‍රව බැලූ කල ඒවායේ සත්‍ය ආදායම් සංඛ්‍යා ලේඛන වල හරියාකාරව සටහන් වන්නේ නැත. එනම් එම ආදායම් වල සත්‍ය වටිනාකම මූර්තිමත්ව ඇති වටිනාකම නොවේ. ඒ අනුව ඉහත ප්‍රධාන දත්ත වලට අදාළ පාරිභෝජන ඉහල නැගීමට අදාළ ප්‍රධාන සාධකය ණය ලබා ගැනීමය. ණය පිළිබඳව ප්‍රස්ථාරයේ ණය ප්‍රමාණය ඉහල යාමට අනෙකුත් ප්‍රස්තාර අනුලෝම වශයෙන් සමානුපාතික වීම තුල එය පැහැදිලිව දැකගත හැකිය.

2015 වසරේ රාජපක්ෂලා පරාජය වූ පසුව රනිල් වික්‍රමසිංහ ඇතුළු ලිබරල් නඩය උත්සාහ දරනුයේ රාජපක්ෂලා විසින් ලබාදුන් පාරිභෝජන තත්වයට වඩා උසස් පාරිභෝජන තත්වයක් ලබා දීමටය. ඉහත ප්‍රස්තාර තුලින් එය පැහැදිලි වේ. නමුත් 2018 වසරේ සිදු වූ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඇති වූ ආර්ථික පසු බෑම හේතුවෙන් නැවතත් රාජපක්ෂලා බලයට පත්විය. 69 ලක්ෂයක් ඊනියා ජනතාව රාජපක්ෂලා හට බලය ලබා දෙන්නේ තම සිංහල බෞද්ධ ප්‍රමෝදය සොරා ගන්නා (ඔවුනට දැනෙන පරිදි) මුසොල්මානුවා අනෙකා කරගනිමිනි. නමුත් රනිල් වික්‍රමසිංහ විසින් කල්දමා ගත් ණය වාරික ද සහිතව ණය ගෙවීමට ඔවුනට සිදු වී ඇත. එපමණක්ද නොව, රනිල්ගේ පාලන සමයේ විශාල ලෙස එකවර ඉහල ගිය වාහන ආනයනය, එලෙක්ට්‍රොනික සහ එලෙක්ට්‍රිකල් උපකරණ ආනයනය, තුල ඒවාට අදාලව බලශක්ති අවශ්‍යතාවය ඉහල යාම වැනි බොහෝ කාරනා ඉස්මතුව ඇත.

රනිල් වික්‍රමසිංහ, හර්ෂ ද සිල්වා සහ රොහාන් සමරජීව වැනි අය දැන් මහා ආර්ථික විශ්ලේෂකයින් ලෙස පෙනී සිටියද ඔවුන් විසින් 2015 වසරේ සිට සිදු කොට ඇති හරිය ඉහත ප්‍රස්තාර තුලින් බලාගත හැකිය. ඒවා බැසිල් රාජපක්ෂගේ ක්‍රියාවන්ට එහා ගිය ක්‍රියාවන්ය.

රනිල්ගේ උත්සාහය වූයේ බලය රැකගැනීමයි (සංවර්ධනයට එරෙහි වෙමින් ඊට හරස්ව සිටියේ සිරිසේනයි). ඒ සඳහා රාජපක්ෂලාට වඩා එහා ගිය පාරිභෝජනවාදයක් ලබා දිය යුතුව තිබූ බව ඔහු දනී. UNP ඡන්ද පොරොන්දුවක් වූයේ සියලු දෙනාට කාර් රථයක් යන්නයි.

ඒ අකාරයෙන් බලන කල මේ උද්ගෝෂණය කරනා ඊනියා ජනතාව මේ යථාර්තයෙන් ස්වායත්ත පිරිසක්ද ? ඔවුන් විසින් ඉල්ලා සිටිනුයේ ගෝඨාභය ගෙදර යවා මේ පාරිභෝජනය දිය හැකි කෙනෙකි.

2005 වසරින් පසුව, විශේෂයෙන්ම යුද්ධය අවසන් වීමෙන් පසුව රාජපක්ෂ ආණ්ඩුව යටතේ විශාල ලෙසම වර්ධනය වූ ක්ෂේස්ත්‍රය වන්නේ ඉදිකිරීම් සහ මහාමාර්ග ක්ෂේස්ත්රයයි. එය රට තුල විශාලතම ආර්ථිකයකි. ඊට අමතරව වර්ධනය වූයේ ආනයනික භාණ්ඩ වෙළඳපොලයි. ඒ තුල අලුතෙන්ම විශාල වශයෙන්ම වර්ධනය වූ ක්ෂේස්ත්‍ර වූ එලෙක්ට්‍රොනික, එලෙක්ට්‍රිකල්, කොස්මටික්, නිමි ඇඳුම්, සපත්තු, වැනි භාණ්ඩ පාරිභෝජනය ඉතාම ඉහල ගිය අතර ඊට අදාළ සමාජීය සාධකද වර්ධනය විය.

ප්‍රස්ථාර වගු සටහන් සහිත සම්පූර්ණ ලිපිය -

https://ladyleader.lk/social/7003-2022-04-10-06-02-08

ආශ්‍රිත වෙනත් ලිපි -

https://ladyleader.lk/social/7138-reset

නවතම ලිපි