අද උදේ මම ගෝල්ෆේස් ගියා සෙනඟ එතරම් හිටිය නැති ක්‍රියාකාරිකයන් වික්ෂිප්තභාවයට හෙළලා තිබුණ උදෑසනක් ඒක.

බොහෝ දෙනෙක් මම වගේම අපේක්ෂාභංගත්වයෙන් ඔහේ පාවෙමින් හිටියා. මුලින්ම හම්බවුණේ Sanjaya Epa Senevirathna බදාගෙන වෙලීගෙන මොහොතක් ඉඳලා එහෙම්මම සුජියා Sujith Rathnayake හමුවෙන්න ආට් ගැලරියට ගියා. යනකොට මිනිහා හිටියේ නෑ. ගැලරිය ගලවමින් තමයි තිබුණේ. සුජියා වන්ගෝල්ෆේස් ගිහිං. මාත් ඉතිං ඒ පැත්තට ගියා. කොහොමහරි වන්ගෝල්ෆේස් එක ඇතුලෙදි සුජියා හමුවුණා. ඊටපස්සේ ඌ එක්ක උගේ කුටියට ආවා. සුජියා හිටියේ කුටිය ගලවලා අරගලය වෙනත් මානයක් වෙත ඔසවලා තියෙන්න ඕනී කියන මතයේ. ඒක හදවතට අමාරු තීරණයක් වුණත් ඒක මේවෙලාවේ කරන්න ඕනී දෙයක්. මටත් තියෙන්නේ ඒවගේ අදහසක්.

සුජියගෙ තැනදී Don Maya වගේම Janith Weerasinghe හමුවුණා. අරගලය කියන්නේ අපේ ජීවිත අස්සට කිඳාබැහැපු යකඩ මූනිස්සම් අහුරක් වගෙයි. බඳාවැළඳගෙන ඉස්සරහා ගැන කතාකරනවා හැර වෙන කරන්න දෙයක් නෑ. අවසානයේ පොඩි කාලකණ්ණිමය මත්ගතියක් අස්සේ මම ආයෙත් දෙමටගොඩට පාවුණා.

අරගලයේ වර්තමාන මේ මොහොත ගැන මේ නිමේශය ගැන මගේ අදහස මේකයි...

ගොඩක් අය මේකට එකඟ නැතිවෙන්න පුලුවන්. ඒත් මම නම් හිතන්නේ දැන් ගෝල්ෆේස් අරගල භූමියේ කිසිඳු අදාළත්වයක් තවත් මේ අරගලයට නෑ කියන දේයි. ඒනිසා මම හිතන්නේ ගෝල්ෆේස් අරගල අවකාශය ගලවලා දාලා අරගලකරුවන් දැන් විසිර යන්න ඕනී. ඇයි අපි එහෙම විසිර යන්න ඕනී?

පළවෙනි දේ තමයි මේ භූමියේ අරගලය මේ තත්ත්වය අස්සේ තවත් ඉස්සරහට ගියොත් මේකටත් වෙන්නේ පරණ වෘත්තීය සමිති ව්‍යාපාරයට උන දේ.

දෙක තමයි ඒක එහෙම වුණොත් දැන් මේ මොහොතේ පුරවැසියාගේ රුධිරයට මුහුවෙලා තියෙන අරගලයේ ආශ්වාදය දිය වෙලා යන්න පුලුවන්. ඒක එහෙම වුණොත් ජනතාව අතරේ තවමත් අරගලය ගැන තිබෙන ජනප්‍රියතාවය බිංදුවට බහින්න පුලුවන්.

අනික තමයි අපි තවදුරටත් මේ භූමියේ රැඳිලා කේඩෑරිවුණ අරගලයක් කළොත් ඒකෙන් අරගලය ගැන තිබෙන ජනතා විශ්වාසය නැතිවෙන්න පුලුවන්.

ඉතිං දැන් අපි රනිල්ට රට භාරදීලා අත් පිහදාගෙන ගෙවල්වලට යන්න ඕනීද? නෑ. ඒ වෙනුවට කරන්න ඕනී හැම ගෝල්ෆේස් අරගලකරුවෙක්ම අරගල නියමුවෙක් විදිහට ගමට ගිහිං මේ අරගලයේ ඊළඟ අවකාශය ඒ හරහා හදන්න දායක වෙන එක. ඒක ඇවිත් චින්තනමය අරගලයක්.

එන එන හැම ජනාධිපතිම මාසෙන් දෙකෙන් එලවන්න ගියොත් පුරවැසියෝ ඉක්මනින්ම අරගලයේ නායකයෝ අරගලයෙන් එලවන්න තීරණය කරයි. ඒනිසා දැන් කරන්න තියෙන එකම දේ තමයි මේ පාලනයට නිදහසේ පවතින්න ඉඩදීලා අපි අත්‍යාවශ්‍ය සමාජ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදී සහ ආර්තික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් බලපෑම් කණ්ඩායමක් වෙන්න ඕනී.

ඒ එක්කම ඉක්මන් මැතිවරණයක් වෙනුවෙන් සටන දියත් කරන්න ඕනී.. මේ පාර්ලිමේන්තුව කුඩු කරන්න පුලුවන් වෙන්නේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ දී පුරවැසියෝ අලුත් පාර්ලිමේන්තුවක් හැදුවොත් විතරයි. හැබැයි ඒක ලේසි අරගලයක් නෙවෙයි. ඒත් ඒක කරන්නම ඕනී අරගලයක්.

ඉක්මන් මැතිවරණයක් වෙනුවෙන් සටන් කරන ගමන් අරගලකරුවන්ට පුලුවන්නම් අරගලයේ අපේක්ෂා දිනවන්න පක්ෂයක් හදන්න ඒ පක්ෂය සමග ඉදිරි මැතිවරණයේදී ජනතාව ඉස්සරහට යන්න පුලුවන්. ඒ හරහා අරගලකරුවන්ට පුලුවන් අවශ්‍යනම් පවත්නා ක්‍රමය පෙරළලා වෙනත් ක්‍රමයක් පාර්ලිමේන්තුව හරහා ගේන්න. ඒකට අවශ්‍ය සංවිධාන වැඩ තමයි මේ වර්තමාන මොහොතේ අරගල නායකයන්ට කරන්න තියෙන්නේ. ඒක නොකළොත් මේ අරගලයේ ආශ්වාදය අපරාදෙ නිකංම දියවෙලා යාවි.

අනෙක් පැත්තෙන් දැන් අපිට තියෙන්නේ අපි එක්ක අරගලයක්. අපේ සමීපතම මිනිසුන් සමග අරගලයක්. අල්ලපු ගෙදර සමග අරගලයක්. යාළු හිත මිතුරන් සමග අරගලයක්. ගම එක්ක අරගලයක්. ස්කෝලේ එක්ක අරගලයක්. කොටින්ම අපිව වෙනස් කරගැනීම සඳහා අපි එක්කම අරගලයක්.

ඒ අරගලය මොහොත උඩට ගත්තොත් ඒ එක්කම අපිට රටේ තිබෙන මූලික ආර්ථික වැඩපිළිවෙල ගැන ඒවා වෙනස් වෙන්න ඕනී කොහොමද? රාජ්‍ය සේවය කොහොමද වෙන්න ඕනී? සෞඛ්‍ය සේවය මොන මට්ටමකට ගේන්න අවශ්‍යද? අධිකරණය පාර්ලිමේන්තුව වෙනස් කරන්නේ කොහොමද වගේ දේවල් ගැන අරගල කරන්න පුලුවන් වෙයි. අපිට දැන් සටන් කරන්න අරගල කරන්න තිබෙන්නේ මෙන්න මේ දේවල් වෙනුවෙන්.

රනිල් වික්‍රමසිංහ අසාර්ථක වුණොත් ඔහුත් එලවන්න ඕනී. ඒක නෑ කියන දේ නෙවෙයි මේ කියන්නේ. දැන් අපි කරන්න ඕනී අපි ඇතුලතින් කාලා දාන අපි අස්සේ ඉන්න දඟලන පණුවා අයින්කරලා දාන එක. ඒකත් විශාල අරගලයක්. මේ අරගලය අපිට දීපු ශක්තිය අපි හරියට ඉදිරියේදී භාවිතා කළොත් අපිට මේ කිසි දෙයක් වෙනස් කරන්න බැරි අමාරු දේවල් නෙවෙයි.

ඒ නිසා මම නම් කියන්නේ දැන් අපි ගෝල්ෆේස් අරගල භූමියෙන් ඉවත්වෙලා මේ අරගලය පුලුල් ලංකාව වෙනස් කරන මහා ඓතිහාසික අරගලයක් කරමු කියලා. ඒක නොකළොත් ජූලි 09 කියන්නේ නිකං මතක හිටින දවසක් විතරක් වේවි...!

@ මුහුණු පොතෙන්

නවතම ලිපි