ජනාධිපති ධුර අර්බුදය - නීතිපති මතය මෙන්න

ජනාධිපති ධුරය පුරප්පාඩු වුවහොත් ගත යුතු  ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව

නීතිපති මතය අග්‍රාමාත්‍ය ලේකම්වරයා වෙත දන්වා ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

අදාළ කාරණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම්වරයා නීතිපතිවරයාගෙන් කළ විමසීමකට අනුව නීතිපතිවරයා සිය මතය දන්වා එවා ඇත.

ජනාධිපති ධුරය පුරප්පාඩු වුවහොත් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම් වරයාට දන්වන ලද නීතිපති මතය මෙසේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(1)ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා මියගියහොත්, කතානායකවරයා වෙත තමාගේ අත්සනින් යවනු ලබන ලිපියකින් ජනාධිපතිවරයා තම ධුරයෙන් අස් වුවහොත්, ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ පුරවැසියකු ව සිටීම නතර වුවහොත් ජනාධිපති ධුරය හිස් වේ.

එසේම ජනාධිපති ධුරයේ හිස් වන තවත් අවස්ථා තුනක් ද එම අනු ව්‍යවස්ථාව  යටතේ දැක්වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන ව්‍යවස්ථාවේ හිස් වූ ජනාධිපති ධුරය අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත් කරගන්නා ආකාරය සඳහන් කර ඇත.


ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට ප්‍රථම ජනාධිපති ධූරය හිස් වුවහොත් පාර්ලිමේන්තුව විසින් එහි මන්ත්‍රීවරුන් අතරින් ජනාධිපති ධුරයට තෝරා පත් කර ගැනීමට සුදුසුකම් ඇති යම් මන්ත්‍රීවරයෙක් ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කළ යුතුය. එසේ පත්වන  ජනාධිපතිවරයා ධුර කාලයෙන් ඉතිරි කාලය සඳහා පමණක් ධුරය දැරිය යුතුය.


# එම තෝරා ගැනීම ජනාධිපති ධුරය හිස් වී මාසයකි ගතවීමට ප්‍රථම සිදුකළ යුතුය. ඒ සඳහා රහස් ඡන්දයක් පවත්වා වැඩි ඡන්දයෙන් තෝරා පත් කළ යුතුය.

# ජනාධිපති ධුරය පුරප්පාඩු වූ දා සිට නව ජනාධිපතිවරයකු පත් වන තාක් අතරතුර වූ කාලය තුළ අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ධුරයේ වැඩ බලනු ඇත.

# පත්වූ නව ජනාධිපතිවරයා එවිට අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයකු වන කෙනෙකු අග්‍රාමාත්‍ය ධුරයට පත් කළ යුතුය.

මෙම කාරණයේදී 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ විධි විධාන පනත ද අදාළ වන බව නීතිපතිවරයා විසින් පෙන්වා දී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(1) අනු ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධූරය හිස් වූ වහාම ජනාධිපතිවරණ පනතේ තෙවන වන වගන්තිය ක්‍රියාත්මක වේ. ඒ අනුව ජනාධිපති ධූරය හිස් වූ පසු දින තුනක් ඇතුළත පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් පාර්ලිමේන්තුව රැස් කළ යුතුය.

එසේ පාර්ලිමේන්තුව රැස්වූ විට දී ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව මහලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවට දන්වා සිටිය යුතුය.

ඒ රැස්වීම් දිනයේ සිට පැය 48කට කලින් නොවන්නාවූ සහ දින හතකට පසු නොවන්නා වූ දිනයක තමා විසින් නාමයෝජනා බාර ගනු ලබන දිනයක් හා වේලාවක් නියම කළ යුතුය.

එසේම මෙම  කාරණයේ දී ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම යන අංක 7 දරණ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයටද නීතිපතිවරයා විසින් අවධානය යොමු කරන ලද බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

ක්‍රම වෙනස කෙසේ වෙතත් ක්‍රමයෙහිම සිරවීම!

මේ අතර අරගලකරුවන්ගේ පාර්ශ්වයෙන් විවිධ අදහස් ඉදිරිපත් වන අතර, ඔවුන් විසින් යෝජනාවලියක්ද හඳුන්වා දී තිබිනි.

කෙසේ වුවත්, ක්‍රම වෙනසක් අපේක්ෂා කළ ගෝල්ෆේස් අරගලය යළිත් වතාවක් වසර 74ක් පුරාවට තට්ටු මාරු ක්‍රමයට ඔළුගෙඩි මාරුකළ පවත්නා ආණ්ඩුකරණ ක්‍රියාවලිය තුළටම ගාල්වී තීන්දු තීරණ ගැනීමට සිදුවීමත් සමග ප්‍රජාතන්ත්‍රවාදය, ලිබරල්වාදය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සුපුරුදු ප්‍රහසනයට එක්වන්නට සිදුවීම නොවැලැක්විය හැක්කක් බව බොහෝ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ කතාබහට ලක්ව ඇත.

ඒනිසා මෙම නීතිමය රාමුව තුළ සිදුවන ක්‍රියාවලිය හෙට දවසේ කොතෙක් ක්‍රමය වෙනස්කිරීමේ යථාර්තයක් වේද යන්න මේ මොහොතේ කිව නොහැකි තරම් අස්ථිර කරුණක් වී ඇත.

නවතම ලිපි