ආණ්ඩුව ගෙදර යැවීම සඳහා "ඔබ සූදානම් නම් අපි සූදානම්" යැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක හරියටම මීට මාස තුනකට පෙර කිව්වා. කලින් යවන්න නම් පාරට එන ලෙසත් ඉල්ලීමක් කළා.

ඔහු ඉල්ලූ දෙය ජනතාවගේ පැත්තෙන් ඕනවටත් වඩා මේ වන විට සිදුව තිබෙනවා. එහෙත් ජවිපෙ ප්‍රමුඛ ජන බලවේගයට මෙතෙක් එහෙම දෙයක් කර ගන්න බැරි බවයි පේන්නේ.

මේකට හේතු විය හැක්කේ කුමක්ද?

පළමු කාරණය තමයි මුළු රටම ආණ්ඩුවට එරෙහිව පාරට බැස ඇතත් ඔවුන් සියලු දෙනා තමන් ඉල්ලා නොසිටින බව ජවිපෙ තේරුම් ගෙන සිටීම සහ ඔවුන්ට එවැනි ශක්‍යතාවක් මෙතෙක් නොමැතිකම. අනෙක් අතට ආණ්ඩු පෙරළියක් අපේක්ෂා කළත් ජවිපෙ විසින්ම අදාළ රික්තකය පිරවිය යුතු බවට රට වැසියන් කෙරෙන් ප්‍රමාණවත් උද්යෝගයක් හෝ ඉල්ලීමක් නොමැති වීම.

අනුර කුමාර දිසානායක ප්‍රමුඛ කණ්ඩායම කෙරෙහි පුළුල් ජනතා විශ්වාසයක් සහ ආණ්ඩු පෙරළියක් කළ හැකි මට්ටමේ විභවයක් තිබෙන්නේ නම් මේ වන විට දියත් වන විරෝධතා ඔවුන් කේන්ද්‍රගතව සිදුවන්න තිබුණා. එහෙත් එය එලෙස සිදුවන්නේ නැහැ.

ගෝල්ෆේස් පිටියේ අඛණඩ අරගලය කරන බහුතරය වන්නේ තරුණ ප්‍රජාවයි. රැඩිකල් අදහස් ඇති තරුණයන් ජවිපෙට වැඩි වශයෙන් ආකර්ෂණය වන බවට මෙතෙක් කලක් පැවති සාමාන්‍ය පිළිගැනීම වුණා. එහෙත් වෙනත් කිසිදු මුල් පෙළේ දේශපාලකයෙකුට හෝ අනුර කුමාර දිසානායකට හෝ ගෝල්ෆේස් පිටියට ගොස් එහි සිටින තරුණයන්ට සම්මුඛ වන එකත් අද පහසු නැහැ. ඔවුන් ඉල්ලන දේශපාලනය දැන් වෙනත් දිශාවකට විතැන්ව තිබෙනවා. එනයින්ම තමන් පමණක්ම නිවරදි යැයි සිතන ජවිපෙටත් ඇත්තම දේශපාලනය කුමක්දැයි අළුතින් වටහා ගැනීමට සිද්ධ වනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව පන්නා දැමීමට තරුණයන් අප්‍රේල් 03 වැනිදා කොළඹට එනවා යැයි කියූ පසු ජවිපෙ ප්‍රමුඛ ජන බලවේගය කිව්වේ නායකත්වයක් හෝ අයිතියක් නැති එවැනි අරගලවලට තමන්ගේ සම්බන්ධයක් නොමැති බවයි. එය තමන් කරන විරෝධතා පමණක් "නියම විරෝධතා" ලෙස දැකීම සහ එවැනි විරෝධතාවයකින් වෙනත් පිරිසක් වාසි අත්කර ගනු ඇතැයි ඔවුන් සිතූ නිසා විය යුතුයි.

ඒවගේම එවැනකින් ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට එතරම් දැනවිය නොහැකි බව ජන බලවේගයේ එදා අදහස වන්නට ඇති. මෙය ජනවාරි මාසයේ "කලින් යවන්න නම් පාරට එන්න" යැයි අනුර කුමාර දිසානායක කියූ කතාව අමතක කිරීමක්ද වන්නේය.

එහෙත් සාමාන්‍ය ජනතාව අප්‍රේල් පළමු වන දා ජනාධිපතිවරයාගේ මිරිහානේ නිවස වැටලීමත් එමගින් ලැබුණු කොළ සංඥාවත් සමග ජවිපෙ තම ආස්ථානය යම් පමණකින් වෙනස් කරමින් පසු දිනම ජන අරගලයට තමන්ගේ සහාය ලබා දෙන බව ඉතා ඕනෑකමින් යුතුව පැවසුවා. (මුල් අවස්ථාවේද තම ආශිර්වාදය ඇති බව කිව්වා) ඒ අනුව යමින් ජන බලවේගයේ ප්‍රමුඛ සාමාජිකයන් දැන් දැන් ගෝල්ෆේස් පිටියේ දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත් අයිතියක්, හිමිකාරත්වයක් රහිත විරෝධතාවල එතරම් ප්‍රතිඵලයක් නොවන බවට ජවිපෙ දැක්වූ අදහසද බැහැර කළ නොහැක්කක්. එය අර්ධ සත්‍යයක් බව ගෝල්ෆේස්හි කඳවුරු බැඳ සිටින අදේශපාලනික තරුණයන්ගෙන් මෙන්ම රටපුරා පැවැත්වෙන විරෝධතාවලින් ප්‍රකට කෙරෙනවා. එක පැත්තකින් එය දැනෙන විරෝධතාවක්. අරගලයක්. අනෙක් අතට නායකත්වයක් නොමැතිව ඉදිරියට යාමක්.

ජරාජීර්ණ වූ දේශපාලනය හේතුවෙන් පක්ෂ, පාට එපා කියා අළුත් මාවතක් ඉල්ලා සිටින තරුණයන් ඇතුළු ජනතාව අන්තගාමීව ඩැහැ ගැනීමෙන් තොරව ඔවුන් දිනා ගැනීමට දේශපාලන පක්ෂයක් හෝ කඳවුරකට හැකියාවක්ද ඇති බව අවිවාදිතය.

පාර්ලිමේන්තුවේ 225 එපා යැයි ඇත්තට හෝ බොරුවට නැගෙන හඬට ප්‍රතිචාර ලෙස "අපේ තුන් දෙනා ඒකට අයිති නැහැ" යැයි කියමින් අනෙක් 222 ම නරක යැයි කියන ජවිපෙට එම තැන හදා දිය හැකිද? ජවිපෙ කියන පරිදිම තමන් "ඇත්ත මිනිස්සු" නම් එකී අවංක ජව සම්පන්න තරුණයන් දිනාගෙන ඔවුන්ට අනෙක් අයගෙන් ඇත්තටම සුවිශේෂී විය හැකි වනු ඇත.

මිනිස්සු මේ නපුරු, භයංකාර මොහොතේ ඉල්ලා සිටින්නේ වෙන කිසිවක් නොවේ අවංකභාවයයි.

ජවිපෙ ගැන ලිවේ එකී ගුණාංගය සාපේක්ෂව යම් පමණකට ඔවුන් සතු යැයි සිතන බැවිනි. එහෙත් අවශ්‍ය අවස්ථාවල එය ගිලිහී යාමද කනගාටුවට කරුණකි.

නවතම ලිපි