එක්තරා විදියකට මෙහෙම වලකට වැටිය යුතුමය.

කිසිදු නිෂ්පාදන ආර්ථිකයකට දායක නොවන, තනිකරම අහිංසකයන්ගේ බදු මුදලින් පිණුම් ගැසූ ලංකාවේ 'බහුතර' මධ්‍යම පංතිය දැන් යන්නේ රිම් එකෙනි. එහි අඳෝනා ලතෝනි මේ අවකාශය පුරා දෛනිකව ඇසේ. ඊටත් වඩා දුප්පත් මිනිසුන්ට හඬක් නැත.

ඒ අස්සේ වුවද තම සුඛ විහරණයන් අත හැරීමට කිසිවකු කැමති නැත. කට ඇරියොත් රට බේරාගැනීමේ මෙහෙයුම් ය. ආර්ථිකය මෙහෙයවීමේ මහාචාර්‍ය දේශනාය. ඒවත් හරියට කපුටාස් හිට් ද ප්ලේන් වර්ගයේම ඒවාය.

ලංකාව හතරගාතේ රිම් එකෙන් යන රටක් වුවද එහි වැසියන්ගේ අවශ්‍යතා ඇමෙරිකන් උන්ටවත් නැත. ඒක උගතාද, නූගතාද, පුරවැසියාද, දේශපාලුවාද, පූජකයාද, පාලකයාද, පාලිතයාද කියා වෙනසක් නැතුවම හැමෝටම අදාලය.

ගන්නවා නම් ගන්න ඕනේ පතම සයිස් වාහනයකි. හදනවානම් හදන්න ඕනේ හෙනම සයිස් ගෙයකි. පන්සලක් වුවද පල්ලියක් වුවද පිළිමයක් වුවද ඔය තියරියමය. එහි ප්‍රායෝගික උපයෝගීතාවයන් අභිබවා පුහු රඟදැක්වීම්, පිම්බීම්, තරඟය මුඛ්‍යාර්ථ වී ඇත. අද තියෙන මේ ප්‍රශ්න රැසක මුල මේ පුද්ගලගත වී ඇති, ආයතනගත වී ඇති බොරුව නිසා ඇතිවූ අධිපරිභෝජන මායාවේම දිගුවකි. ඒ මායා ලෝකය සඳහා හැමෝම ගේමකය. එහි හොඳ නරක, පුරුෂාර්ථ, වගවීම්, යුතුකම් නැත. කොහෙන් හෝ කඩාගැනීම, හොරකම් කිරීම, ගොට්ට ඇල්ලීම, බොරුකීම, කොමිස් මගඩි වැනි අවරක්‍රියා සාමාන්‍යකරණය වී ඇත.

මේ නිසාම විධිමත් ක්‍රමෝපායන් සඳහා ලංකාවේ උන් කැමතිම නැත. හැම එකටම ෂෝට් කට් හදාගෙන ඒවා රීතීන් බවට පත්ව ඇත. දූෂණය ඉහල සිට පහලටද, පහල සිට ඉහලටද ඉහවහා ගොස්ය. දේශපාලන බල ව්‍යුහය ගැන කතා කිරීමද ඩේටා අපතේ යැවීමකි.

මේක හදන්න නම් කළ යුත්තේ කුමක්දැයි අපි අපිම කල්පනා කළ යුතුය.

@Manora Gamage fb page

නවතම ලිපි