උගතුන් විසින් රට පාලනය කල යුතුය යන්න පිළිබඳව පොදු ජන මතයක් තිබේ.

නමුත් උගතුන් ඌ පලියටම එසේ කල නොහැකිය යන්නද ඒ සමගම ඇති සංවාදයකි. නමුත් කවුරුන් දේශපාලන අධිකාරීත්වය හෙබවුවද ලොව පුරා සියලු දේ තීරණය වන්නේ උගතුන් වෙතිනි.

u2

ජාතික ජනබලවේගයේ හරිණි අමරසූරිය ද පවසන්නේ උගතුන් වූ පලියට දේශපාලනය කල නොහැකිය යන්නයි.

නමුත් හරිනි හට ජවිපෙ දේශපාලනය සමග සම්මුතිගත වීමට හැකිවන්නෙම ඇය උගතියක් නිසාවෙනි. ජවිපෙට අනුව සැබවින්ම ඉහලම උගතුන් වන්නේ විද්‍යා ක්ෂේස්ත්‍රයේ උගතුන්ය. හරිනි වැනි කලා විෂයන් තුලින් අචාර්ය උපාධිය ලබාගත් උගතියකට ජවිපෙ තුල සැලකිය යුතු ස්ථානයක් හිමිවන්නේ අචාර්ය උපාධි ඇති විද්‍යා උගතුන් ජවිපෙ සතුව නොමැති හෝ හිඟ බැවිනි. නමුත් 'වියත් මග' සතුව විවිධත්වයෙන් යුතු විද්‍යා ක්ෂේස්ත්‍රයන්ට අදාළ උගතුන් විශාල සංඛ්‍යාවක් ඒකරාශී විය. වියත්මගෙහි ජාතික ලැයිස්තුව ගත්තද එසේය. ඒ අනුව ජවිපෙ විසින් ස්ථාපිත කල උගතුන්ගේ දේශපාලනය වඩා හොඳින් වැළඳ ගත්තේ පොහොට්ටුවයි.

හරිනිගේ ප්‍රකාශය තුලම විරුද්ධාභාශයක් ඇත. ඇයගේ තර්කය වන්නේ උගතුන් වූ පලියට දේශපාලනය කල නොහැකිය යන්නත්, දේශපාලන අත්දැකීම් තිබීමද අවශ්‍ය බවත් ය. ජවිපෙ විසින් ඇයව මුලින්ම භාරගන්නේ දේශපාලන අත්දැකීම් තිබෙන නිසාද ? නොඑසේ නම් ඇය ජවිපෙ හා සම්බන්ධ වීමට පෙර ඇයට තිබූ දේශපාලන අත්දැකීම් මොනවාද ?

කෙසේ වෙතත් ඇයගේ තර්කය හොඳින් විමසා බැලුවහොත් පෙනී යන්නේ උගත්කම සහ දේශපාලන අත්දැකීම යන දෙකම එක විට තිබිය යුතුය යන්න ඇයගේ ස්ථාවරය බවය. අයගේ ප්‍රකාශය අමු ව්‍යාජ, නූගත් හීනමානය වෙනුවෙන් කරනා ප්‍රකාශයක් බව ඇයම එහිදී ඔප්පු කරයි. එනම් ඇයගේ එම ව්‍යාජ ප්‍රකාශයේ සැබෑ ප්‍රකාශනය වන්නේ උගතුන්ම පමණක් දේශපාලනයට පැමිණිය යුතු බව නිසාය. එනම් ඇය ප්‍රකාශ කරනුයේ උගත්කම සහ දේශපාලන අත්දැකීම් යන දෙකම තිබිය යුතු බවය. ඒ අනුව ඇය කලාක් මෙන්ම දේශපාලන අත්දැකීම් ලබා ගත හැකි වන්නේ උගතුන් වීමෙන් පසුවය. ඇය පවසන උගත් සහ දේශපාලන නියම ප්‍රවීණයා බිහිවන්නේ එවිටය. කෙතරම් කෙකරභාමින් ජවිපෙ නූගත් සාමාජිකයා ද වැදගත් බව ප්‍රකාශ කිරීමට ගියද ඇය තුලින් සත්‍ය ප්‍රකාශ වේ. සත්‍ය යනු අවිඥානයයි (ලකාන්: "හරියටම භාෂාවක් මෙන් ව්‍යුහගත වී ඇති අවිඥානය සත්‍යය පිළිබඳ සත්‍යය පවසයි.") ඒ අනුව අගේ උච්ඡාරණය තහවරු කොට සිටින්නේ ඇයට අදාළ සත්‍යයි.

උගතෙකු වූ පලියට දේශපාලනය කල නොහැකිය යන්න ජවිපෙ නූගත් සාමාජිකත්වය රැවටීම සඳහා කියන කතාවක් පමණි. එනම් නූගත් වුවද ඔබේ අත්දැකීම්, දක්ෂතාවය වටිනවා ය යන ව්‍යාජ ප්‍රකාශනය හරහාය. ඇය ජී එල් පීරිස් උදාහරනයට ගනී. ඔහුට වඩා උගතෙකු මෙරට නොමැති බවද පවසයි. ඇයට අනුව ජී එල් පීරිස්ගේ උගත්කමෙන් වැඩක් ගත නොහැක්කේ ඔහුට දේශපාලන අත්දැකීම් නොමැති නිසාය. නමුත් අයගේ තර්කය තුලම ඇය ගිලී යන්නේ මේ වන විට ජී එල් පීරිස් යනු වසර 40ක පමණ කාලයක් දේශපාලනයේ සිටින අයෙකු (ජී එල් පීරිස් දේශපාලනයට ප්‍රවේශ වනුයේ ජේ ආර් ජයවර්ධන සමයේදීය) නිසාවෙනි. ඔහුගේ පාර්ලිමේන්තු දේශපාලනය මේ වන විට වසර 28කි. ඉතින් මොනවාද මේ කතා? අහන ප්‍රශ්න වලට නිකන් ඔහේ මොනවා හරි කියල දානවා...

u7

ඉන් පසුව හරිනි විසින් ඊළඟ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් 'ජනතාවගේ' ප්‍රශ්නයක් ඇති බව ඍජුව පිළිගනී. එහෙත් ඇය පවසන්නේ එය නිවැරදි කල යුත්තේ ඡන්ද දායකයා වෙත අධ්‍යාපනික සීමා පැනවීමෙන් නොවන බවය (එසේ කියන විට ඡන්ද දායකයා අධ්‍යාපනිකව ඉහල මට්ටමක සිටී නම් යහපත් බව හැඟවේ). ඒ සඳහා ජනතාව සමග සංවාදයක් අවශ්‍ය බවය. ඇය එසේ අධ්‍යාපන සීමා පැනවීමට එරෙහි වන්නේ එය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම මූලධර්මය උල්ලංඝනය (ඇත්තටම නොපවතින සහ තාර්කිකව සාධාරණිකරණය කල නොහැකි) කරන බැවිනි. ඒ අනුව ඇය විසින් දේශපාලනිකව 'සවිඥානික ජනතාවක්' ගොඩනැගීම කල යුතු බව පවසයි (එම වචන වලින්ම නොපවසුවද එහි අන්තර්ගතය එයයි). 'සවිඥානික මිනිසා' යනු 'දැනුවත්' මිනිසාය. ඒ තුල තවත් ප්‍රශ්නයක් පැනනැගී. එනම් 'දැනුවත් මිනිසා' යන තත්වය එක සමානව සංස්ථාපනය වන්නේ කෙසේද යන්නයි. එය තවත් පැහැදිලිව ප්‍රකාශ කරන්නේ නම් සියලු දෙනා එක සමානව දැනුවත් වේද සහ විය හැකිද යන්නයි. එසේම එක සමානව සවිඥානික ක්‍රියාකාරීත්වයකට ගමන් කරනවාද යන්නයි. කෙසේවත් එය එසේ නොවන බව අප සියලු දෙනා දනී (පාසල් අධ්‍යාපනයේදී වත් එය එසේ සිදු නොවේ. එහිදී එය මැනගන්නා ක්‍රමය විභාගයයි). එසේ නම් මෙම දැනුවත්භාවයේ සප්‍රමානිකත්වය, එසේ නොමැති නම් මාත්‍රාව කොපමණද යන්න මැන ගත නොහැක. නමුත් සැමදාම මැතිවරණ වලදී පෙන්නුම් කරනුයේ ජනතාවට උගන්වන්න යන ජවිපෙ ගුරුවරුන් අසමත් වී ඇති බව පමණි. ජවිපෙ මාක්ස්වාදය තවමත් පිළිගන්නා පක්ෂයකි. ඊට අනුව ලොව පුරා තත්වය මින් වෙනස් ද ? එනම් 'සමාජවාදය' පිළිගන්නා මිනිසුන් ඉතාම විරලව ඇත්තේ ඇයි ? ජවිපෙ තම අනන්‍යතා සංකේත තුලින් මාක්ස්වාදය දරා සිටින බව පෙන්නුවද සමාජවාදය ගැන කතා කිරීමට අකමැති පක්ෂයක් බවට පත්ව ඇත. එසේම ලංකාවේ ජවිපෙ තරම් විශාල සමාජවාදය පතන පක්ෂයක් ලොව 'දියුණු' රටවල් ලෙස ඔවුන් දකින රටවල් තුලින් සොයා ගත නොහැක. එය නැවතත් උවුන් තුලම විරුද්ධභාශයකි.

හරිනි තම නියම දේශපාලන ස්ථාවරය ප්‍රකාශ කරනුයේ අවසානයේදීය. ඒ ලංකාවේ පවතින්නේ සුපිරිසිදු අර්ථයෙන් ධනේශ්වර ක්‍රමය නොවන බව පවසමිනි. ඇය පවසනුයේ ධනේශ්වර ක්‍රමය මෙතරම් අවුල් නැති බවය. ඒ අනුව ජවිපෙ මෙම උත්සාහය වන්නේ හොඳ ධනේශ්වර ක්‍රමයක් හදා ගැනීම බව ට හරිනිගේ කටින් එලියට පනී.

හොඳ ධනේශ්වර රටවල්, මුලින්ම ලංකාවේ ධනවාදය හදා ගත යුතුය යන්න සංවාදයේ උපරිමය සලකුණු වූවේ X කණ්ඩායම වෙතිනි. අදටත් දීප්ති කුමාර කියමින් සිටිනුයේ එම කතාවය.

හොඳ ධනේෂ්වර රටවල් යනු අතිශය ඉහල පාරිභෝජන මට්ටමක් (වෙනත් අකාරයකින් පවසන්නේ නම් ප්‍රමෝදය) හොඳින් සංවිධානය කොට ඇති රටවල්ය. නමුත් ඒ තත්වය තුල මෙහෙට වඩා එහේ කෙලවී ඇති බවක් කිසිවෙකුට නොපෙනේ.

හරිනි ට අනුව කලින් පැවතී සමාජ ක්‍රමයන්ට වඩා ධනේශ්වර ක්‍රමය හොඳය (සමාජ සංවර්ධනය අවිඥානික වීම). ඇයට අනුව එය කෙසේවත් මෙතරම් අප්සෙට් විය නොහැකිය.

u 8

උගතුන් පිළිබඳව ධම්ම දිසානායකගේ අදහස ඔහුට උරුම වන්නේ දීප්ති කුමාර වෙතිනි. එනම් "එහේ" මරු "මෙහේ" ෆුල්ම අප්සෙට් න්‍යාය තුලය. ධම්මට අනුව උගතුන් පිළිබඳව සංස්කෘතිය ලංකාව ට අදාළ ප්‍රශ්නයකි. ධම්මට අනුව "එහේ" අයට සමාජ අරමුණු තියනවා "මෙහේ" අයට එහෙම නැහැ... එහේ උගතුන් ගොඩනැගිල තියෙන්නේ සමාජ ව්‍යාපාර හරහා... නමුත් මෙහේ එහෙම නෙවෙයි... X කන්ඩායමේ සිටි බහුතරය තවමත් සිටින්නේ X එහිමය. ඔවුන් තුලින් දැකිය හැකි සුවිශේෂීම ලක්ෂණය වන්නේ දීප්තිට මෙන්ම "එහේ" සහ "මෙහේ" යන සහ සම්බන්ධ ප්‍රතිපක්ෂයන් දෙක තුල හැරෙන්නට වචන දහයක් හෝ කතා කිරීමට නොහැකි වීමයි.

ධම්ම ජවිපෙ පිළිබඳව සුභවාදීව සිතමින් කියා සිටිනුයේ ජවිපෙ මූලිකත්වය ගනිමින් උගතුන් රොත්ත යම්කිසි ජාතික වැඩපිළිවෙලක් යටතේ මෙහෙයවිය හැකි නම් ඒක ලොකු දෙයක් යනුවෙනි. ධම්මට අනුව උගතුන්ට ඇත්තේ පුද්ගලික අරමුණු වන අතර ජවිපෙ වැනි පක්ෂ වලට දේශපාලන අරමුණු ඇත. ඒ අනුව ජවිපෙ සමත්විය යුත්තේ එම පුද්ගලික අරමුණු ඇති උගතුන් දේශපාලන අරමුණු වෙනුවෙන් මෙහෙයවීමයි. මේ අය මෙවැනි කතා කීමේදී මේවායේ යම් සත්‍යතාවයක් ඇති බව අසන්නාට ඒත්තු යයි. නමුත් පරස්පරතා හැරුනුකොට මෙවැනි කතා වල ඇති මගුලක් නැත. ඒවා නිකන් මෙන්න මේ වගේ කතාය "මම නරක පුද්ගලයෙක් වෙන්න ඇති. හැබැයි මම දැක්ක මට වඩා නරක අය ඕඩියන්ස් එකේ ඉන්නවා"...

කවුරු කෙසේ පැවසුවද මුළු ලෝකයේම සියලු දේ තීරණය වන්නේ උගතුන්ට අවශ්‍ය පරිදිය. කල යුතු දේවල්, විය යුතු දේවල් සියල්ල තීරණය කරනුයේ උගතුන්ය. එය සියලු දෙනාම ද දන්නා කරුණකි. සියලු දෙනා කැමති වන්නේ රටේ පාලනය උගතුන් අතට යන්නේ නම්ය. ජවිපෙ සහ 43 උගතුන් පිරිවරා ගන්නේ ද එබැවිනි. එසේ තිබියදී ඔවුන් කුහකත්වයෙන් යුතුව අදහස් ප්‍රකාශ කරයි.

u6

බොහෝ උගතුන්ගේ පැතුම බුද්ධිමය සංවාදය තුලින් නිවැරදි මාවත තීරණය කොට ගත යුතුය යන්නයි.

බුද්ධිමය සංවාදය සිදු කල හැක්කේ බුද්ධිමතුන් (උගතුන්) අතර පමණි. එනම් එය බුද්ධිමය අදහස් අතර සංවාදයකි. බුද්ධිමය අදහස් යනු මෙතෙක් ගොඩනැගී ඇති දැනුම හෝ දාර්ශනික කතිකාවන් (මේවායේ පදනම බොහෝ දුරට පොත් පත් ය) මත පදනම් වී ඉදිරපත් වන අදහස්ය. ඒවා ඉදිරිපත් කිරීමේ දිශානතිය වන්නේ එම අදහස් අතර ගට්ටනය සහ සමෝධානය තුලින් වඩාත් හොඳ සමාජයක් නිර්මාණය කරගැනීම දෙසටයි. එනම් ගොඩනැංවීමක් දෙසටයි. එසේම දේශපාලන අධිකරීත්වයේදී විද්‍යා, ආර්ථික විද්‍යාව, සෞඛ්‍ය වැනි විවිධ ක්ෂේස්ත්‍ර ආවරණය වන පරිදි සප්‍රමානික උගතුන්ගේ මැදිහත් වීම පොදු ජනතාව ප්‍රතික්ෂේප නොකරනු ඇත. ඔවුන් ඉල්ලා සිටිනුයේ එයයි.

u1

ඒ අනුව ඒ සඳහා වන දැනුම මූලික වශයෙන්ම ඇත්තේ ඊශ්ව විද්‍යාල වැනි ආයතන තුල සහ මෙතක් ලිය වී ඇති පොත් පත් වලය. එවැනි පිළිගත් ආයතන තුලින් සහ පොත් පත් කියවා ඒවා තුලින් අලුතින් දැනුම නිර්මාණය කර ගැනීම ද කල හැකිය. එසේ කල හැකි වන්නේ විධිමත් අධ්‍යාපනය තුලින් සහ පොත් පත් විධිමත්ව කියවා ඒවා මත පදනම්වය. ඒ අනුව එම මෘත දැනුම් පද්ධතීන් වල විධිමත්භාවය පරීක්ෂා වන සහ නිර්මාණය කරනා දැනුමේ ප්‍රමිතිය සහතික වන ආයතන ව්‍යුහය විශ්ව විද්‍යාල ලෙස හැඳින්වේ.

u4

එසේ නම් බුද්ධිමය සංවාදයේ පදනම එයයි. නැවතත් තවත් ආකාරයකින් ප්‍රකාශ කරන්නේ නම් විවිධ ක්ෂේස්ත්‍ර වලට අදාලව සියලු දේ කල හැක්කේ ඒ ඒ ක්ෂේස්ත්‍ර වලට අදාළ එම දැනුම මත පදනම්ව වන අතර ඉන් පිටතට පැනීම වලකා ගැනීමද බුද්ධිමය සංවාදයේම කොටසකි (උදාහරණයකට Covid-19 සඳහා එකම විසඳුම එන්නත පමණක් බව විද්‍යාව තුලින් සහ නීතියෙන් සහතික කිරීම).

අනෙක් සියලුම ක්ෂේස්ත්‍ර වලට වඩා දේශපාලනයේදී ප්‍රමුඛ වන්නේ ආර්ථික විද්‍යාවය. එනම් දේශපාලනයේදී සියලු ප්‍රශ්න විමසා බැලෙනුයේ ආර්ථික වර්ධනය තුල සහ ආර්ථිකයට සිදු වන හානි වලකා ගැනීම තුලය.

ඒවා එසේ තිබියදී හරිනි සහ ධම්ම යන දෙදෙනා ව්‍යාජ රඟපෑමක යෙදුනුයේ ප්‍රජාතන්ත්‍රවාදී ලෝකචාරය ආරක්ෂා කිරීම සඳහාය. නමුත් ඔවුන්ද ඇත්තටම පිළිගන්නා කාරණය වන්නේ උගත් බවේ බල මහිමයයි.

බොහෝ දෙනෙකු අපෙන් ද විමසා සිටින්නේ අපද මේ සිදු කරමින් සිටිනුයේ බුද්ධිමය සංවාදයක් නොවේද යන්නයි. අප කිසි විටකත් දැනුම මත පදනම්ව සමාජ ගොඩනැංවීම්වාදයක් තුල කටයුතු නොකරයි (අපගේ ස්ථාවරය සමාජ ගොඩනැංවීම්වාදය ප්‍රතික්ෂේප කිරීමයි). අප යම් දැනුමක් තුල කටයුතු කරන්නේ නම් ඒ සමාජ ගොඩනැංවීම්වාදයට එරෙහිවය. තවත් පැහැදිලිව පවසන්නේ නම් පොත් පත් කියවා හෝ වෙන යම් ආකාරයකින් ලබා ගන්න දැනුම "වඩා යහපත් සමාජයක්" ගොඩනැංවීම සඳහා අප විසින් පාවිච්චි නොකරන අතර "වඩා යහපත් සමාජයක්" අප ප්‍රාර්ථනා කරන්නේද නැත. කෙටියෙන් පවසන්නේ නම් වඩා යහපත් සමාජයක් තබා මොනයම් සමාජයක් හෝ දැනුමකින් ගොඩනැගීමේ වෑයමක් අපට නොමැත. ඒ අනුව අපගේ ස්ථාවරය වන්නේ අපගේ ජීවිතයේ සියලු දේ තීරණය කරන (හුස්ම ගැනීම, කෑම, බීම, රීම, ලිංගිකත්වය ඇතුළු අනෙකුත් සියල්ල) දැනුමේ දූරාවලීන්ට එරෙහි වීමයි. ඒ අර්ථයෙන් අප නිර්ධනීන්ය. එනම් දැනුම ඇති, දැනුම නඩත්තු කරන, දැනුමට කැමති සියලු දෙනාට එරෙහි දැනුම නොමැති (දැනුමට එරෙහි) නිර්ධනීයභාවයයි.

අපගේ කාර්ය වන්නේ දෘෂ්ටිවාදී විචාරය සහ අප පෙලන දූරවලීන්ට එරෙහි අරගලයයි. එහි මුදුනෙහිම සිටිනුයේ හොඳම උගතුන්ය (නූතන අර්ථයෙන් ධනපතියා). ඒ අනුව නූතන පන්ති අරගලයේ එක් ප්‍රධාන ස්වභාවයක් වන්නේ එයයි.

@Spartacus.lk

නවතම ලිපි