මිනිසුන් එකතුවී සාමූහිකව ක්‍රියාකිරීමෙන් ජයග්‍රහණ ලැබු අවස්ථාවන් තමයි ලෝකෙ පුරාම දකින්නට තියෙන්නෙ.

එහෙත් ඒ බව ටික දවසකින් අමතක කර එම ලැබු ජයග්‍රහණ වෙනුවෙන් තනි වීරයෙකු තෝරා ගෙන ඔහුව පමණක් උත්කර්ෂයට නැංවීම සිදුවෙයි. 30 අවුරුදු යුද්ධයක් ජයගත්තා යයි කියන සාංසිද්ධිය තුළත් එම ජයග්‍රහණවල ගිණුම බැරවූයේ සාමූහික යුධ හා වෙනත් සාධක වලට වඩා දේශපාලන නායකයන්ටය.

මෑත දේශපාලනය තුළ මතුවූ ප්‍රධාන කරුණක් වූයේ හැම විටම අසම සම නායකයෙක්, නැතහොත් සියල්ල ඉටුකරවා ගත හැකි දියසේන වර්ගයේ කුමාරයෙක්  පිළිබඳ වූ කාරණාවයි. පුද්ගලයන් වෙනුවට ආයතන ව්‍යූහ ශක්තිමත් නම් මේ ප්‍රශ්නය පැන නඟින්නෙ නැත. එහෙත් එසේ නොවන විට හැමවිටම සාමූහික ආණ්ඩු, පක්ෂ, සංවිධාන වලට වඩා පුද්ගලයා ඉස්මතු වීම බලවත් වේ. රාජ්‍ය පාලනය සඳහා පුද්ගල රජෙක් වෙනුවට ආයතන ව්‍යූහයන් සෑදූ සුද්දන්ගෙන් පසු ආණ්ඩු පාලනය අප අතටපත් වූ දා සිටම මෙය ක්‍රමයෙන් නැඟී විත් අද වනවිට ඉතා දරුණු අත්දැකීමක්  අප හමුවේ දකින්නට ලැබී ඇත.

ලංකාවේ පවතින විධායක  ජනාධිපති ක්‍රමය දේශපාලන තනතුරක් ලෙස පාවිච්චි වෙනවාට වඩා සිදුවන්නේ එම තනතුරට පත්වන්නාගේ පුද්ගල සිතැඟි හා වුවමනාවන් සඳහා එම තනතුර පාවිච්චි කිරීමයි. මෑතකාලීන එයට අදාළ හොඳම උදාහරණය නම් කාබනික ගොවිතැන එක කන්නයකින් කිරීමට විධායක බලය තම මනෝභ්‍රාන්තිය සමඟ ගලපා රටේ ආහාර සුරක්ෂිතභාවය මෙන්ම මුළු මහත් ජනතාවම විපතට හෙළීමයි.

වර්තමානයේ අප අද මුහුණ දෙන බොහෝ ගැටලුවලට, ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය නොකිරීමේ ප්‍රශ්නය, හොරකම්, වංචා, දූෂණ වලට අමතරව ප්‍රධාන කරුණක් වී ඇත්තේ පුද්ගල  අත්තනෝමතිකත්වයයි. තමන් ගන්නා තීරණය නිවැරදිම සහ හොඳම එක බව පෙන්වා තම පක්ෂයේ හෝ සංවිධානයේ වෙනත් කිසිදු අදහසකට මොනයම් හෝ ඉඩක් නොදීමට කටයුතු කිරීමේ මමත්වයෙන් පාලකයා පෙළීමයි. මේ කාරණා සැලකිල්ලට ගත්විට අනාගත ජනාධිපති  බලය වෙනුවෙන් දැන් සිට සූදානම්වන අයගේ මනෝභාවයන් සහ අත්තනෝමතිකත්වයන් අද දින ඔවුනගේ හැසීරීම් තුළ නිරීක්ෂණය කළ හැකිය. විපක්ෂයේ පක්ෂයක් ලෙස මෙම මමත්වය හා  අත්තනෝමතිකත්වය හොඳින්ම පෙන්නුම් කරමින් සිටින්නෙ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසය. තමන් ගේ පුරාජේරුව තමන්ම වයමින් සිටින ඔහුගේ මෙම විශාදී ගතියෙන් අවැඩක් වන්නේ ඔහුගේ පක්ෂයට පමණක් නොවේ. ආණ්ඩුවෙ අද පවතින මේ දුර්දාන්ත පාලනයට තැලී පොඩිවී මිරිකී සිටින සමස්ත ජනතාවගේ බලාපොරොත්තුද,  එමඟින් බිඳවැටීම සිදුවෙයි.

පැවති යහපාලන ආණ්ඩුවේ මුල් දින 100 තුළ සිදුවූ මහ බැංකු මුදල් වංචාව ගැන පමණක්, විපක්ෂයක් ලෙස එවකට පැවති රාජපක්ෂලා ආණ්ඩුව වෙනස් කරන තුරුම එක දිගටත්, ආණ්ඩුව වෙනස් වූ පසු අද දක්වාමත් පහර දෙමින් සිටියි. ආණ්ඩුවේ වර්තමාන අදූරදර්ශී ක්‍රියාකලාපයේ අවුල වෙනුවට තව දුරටත් ඔවුන් පැවති ආණ්ඩුවේ වැරදි නිසා මේ දේවල් සිදුවූ බවට  ජනතාවට අඟවමින් සිටියි. වර්තමාන ආණ්ඩුවේ ඒ හා සමාන වැරදි කප්පරක් තිබුණද, විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස සමගි ජන බලවේගයේ නායකයාගේ හඬ වී ඇත්තේ ජනතා ක්‍රියාකාරිත්වයක් ඇතිකිරීම නොව, තමන්ගේ පක්ෂයේ තමන්ට අභියෝගයක් වෙතැයි සිතන නායකයන්ට ඇනෙන්න වේදිකාවල් වල පොර ටෝක් දීමයි.

එම පොර ටෝක් වල බොල් සද්ද එළියට පනින්නෙ, ‘මට වඩා කෙනෙක් නෑ, මං තමයි ජගතා, දාර්ශනිකයා, චින්තකයා, වැඩකරු, මම මම, මම’ ගාමින් නඟන පූච්චානම් කතාන්දරයයි. ජේ ආර් ජයවර්ධනගෙන් පසු විවිධත්වය සහිත පෞරුෂ නායකත්වයන් පසුගිය කාලය පුරා එජාපය තුළින් ගොඩනැඟුනේ නැත. ඒ වෙනුවට  නායකයකයාගේ අනුගාමික, එහෙයි නායකයන් පමණක් බිහිවිය. සිරිමා බණ්ඩාරනායක ගේ ප්‍රජා අයිතිය නැතිකිරීමට කටයුතු කළ ජේආර් ට, එදා ගාමිණී දිසානායක විරුද්ධ වීමට තරම් පෞරුෂත්වයක් ඔහුට තිබුණි. හරි හෝ වැරදි ලෙස ලලිත් ඇතුලත්මුදලි ජේආර් අත්සන් කළ ඉන්දුලංකා ගිවිසුමට පිටුපාන ලදී.

අද ඇත්තේ ආණ්ඩුවේ රාජපක්ෂලාගේ විදිහට, අනුව යන විපක්ෂය නායක භූමිකාවයි. එය ජනතාවට විකල්පයක් ලෙස පෙනෙනවාට වඩා පෙනෙන්නේ ආණ්ඩුවෙන් සාදා දුන් සීමා සහිත විපක්ෂ නායක රංගනයක් බවයි. බලයේ සිටින්නන්ගේ මමතවය හා අත්තනෝමතික භූමිකා රොටියේ අනිත් පැත්ත විපක්ෂ නායකගේ රොටියම නම්, එවන්  නායකයෙක් සැබෑ විපක්ෂ නායකයෙක් වනු ඇත්ද?

@Sathiya Newspaper

නවතම ලිපි