• යුක්රේන ජනතාවට මානුෂීය ආධාර ලබාදීමට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුතරෙස් සහතික වේ.
  • රුසියාව ආරක්ෂක මණ්ඩලයෙන් ඉවත් කළ යුතු යැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි මහලේකම් ගුතරෙස්ට කියයි.
  • සෙලෙන්ස්කිට රටින් පිට වන්නට ආධාර කිරීමට බයිඩන් කළ යෝජනාවට, “මට අවශ්‍ය සංචාරයක් නෙවෙයි. මට අවශ්‍ය අවි ආයුධ” යැයි සෙලෙන්ස්කි කියයි.
  • ස්වීඩනය ලෝක කුසලාන පූර්ව වටයේ පාපන්දු තරගාවලියෙහි රුසියාව හා ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරයි.

මෙය ලියන්නට පටන් ගත් පෙබරවාරි 24 වන බ්‍රහස්පතින්දා අපේ රටේ සවස් කාලය වන විට රුසියානු ජනාධිපති පුටින් ඔහුගේ හමුදාවන්ට යුක්රේන ආක්‍රමණය සඳහා නියෝග දී දවසක් පමණ විය. පසු දින සිකුරාදා අළුයම කියෙව් නගරයේ බොහෝ වැසියන් අවදි වූයේ ඉහළ අහසේ පුපුරණ බෝම්බ හඬට ය. දහවල් වනවිට බොහෝ දෙනා නගරය අතහැර ආරක්ෂිත ප්‍රදේශ බලා ගමන් අරඹා තිබිණ. විශාල වාහන ප්‍රමාණයක් සහ බඩු මුට්ටු කර තබා ගෙන ඇවිද එන දහස් ගණන් යුක්රේනුවන් පෝලන්ත සහ ස්ලෝවාකියානු මායිම් වෙතට ඇදෙන්නේ යැයි අන්තර්ජාල පුවත් සිකුරාදා සවස් වන විට වාර්තා කළහ. කෝවිඩ් නිරෝධායන නීති රීති නොතකා මේ අනාථවූවන් බාර ගැනීමට පෝලන්තය හා ස්ලෝවාකියාව පියවර ගෙන තිබිණ. ඒ අතර, තවත් පිරිස් රුසියානු හමුදාවන්ට එරෙහිව සටන් වැදීම සඳහා යුක්රේන හමුදාවන්ට බැඳීමට ස්වේච්ඡා හමුදා කඳවුරු වලට රොක් වෙමින් සිටියහ.

rusia7

එසේ වූවත් සිකුරාදා දහවල් වනවිට යුක්රේන හමුදා මූලස්ථාන කඳවුරු, අවි ගබඩා සහ ගුවන් තොටුපල ගණනාවක් රුසියානු ගුවන් ප්‍රහාර විසින් විනාශකර තිබිණ. ඊශ්‍රායලය 1967 ජුනි අරාබි යුද්ධයේදී ඊජිප්තු ගුවන් ශක්තිය ක්ෂණික ප්‍රහාර සමූහයකින් විනාශකර දින 06 ක් ඇතුළත සිනායි අර්ධඅද්වීපයේත් ගෝලාන් උස්බිම් වලත් බටහිර ඉවුරේත් අරාබි ප්‍රදේශ අත්පත් කරගත් අයුරු රුසියානු පළමු ප්‍රහාර ඉලක්ක කෙරුනේ යුක්රේන හමුදා ශක්තිය බිඳීමට ය. අනතුරුව ඔවුන් වයඹින් හා ඊසානයෙන් කියෙව් නගරයට ආසන්න වෙමින් ඇතැයි වාර්තා විය. රුසියාව විසින් 2014 දී ක්‍රිමියානු අර්ධ ද්වීපය අත්පත් කරගත් පසු ඩොබෙන්ස්ක් හා ලුහාන්ස්ක් ඇතුලු ගිණිකොන යුක්රේනයේ ඩොන්බාස් ප්‍රදේශයේ රුසියානු සම්භවයක් ඇති රුසියානු බස වහරණ යුක්රේනුවන් අතර කියෙව් පාලනයට එරෙහිව ගෙන යන සන්නද්ධ කැරැල්ල සමග ඒ ප්‍රදේශය කල් තබා පුටින්ගේ දුරස්ථ පාලනයට යටත්ව තිබිණ.

පුටින්ට අනුව යුක්රේනය ඓතිහාසිකව රුසියාවට අයත් දේශයකි. එහෙත් ඉතිහාසයට අනුව 09 වන සියවසේ “කියෙවියන්රූස්” යැයි හැඳින්වුනු මේ ප්‍රදේශය රුසියාවට වඩා බලසම්පන්න රාජ්‍යයක් විය. එහි විසුවෝ ස්ලෝවාක් ජනතාවකි. ඉතිහාසයට අනුව යුක්රේනුවන් සහ බෙලාරුසියානුවන් පමණක් නොව, රුසියානුවන්ද ඔවුන්ගේ පරම්පරාගත මූලයන් මේ කියෙවියන්රූස් ස්ලෝවාක් රාජ්‍යයෙන් ආරම්භ කරති. එහෙත් සෝවියට් රුසියානු යුගයේ රුසියාවට පසු දෙවන බලසම්පන්න සෝවියට් ප්‍රාන්තය වූයේ යුක්රේනය ය. ඔවුන්ට විශාල සාර්ථක කෘෂිකර්මයක් තිබුණි. යුරෝපයේ “තිරිඟු මල්ල” යැයි කියනු ලැබුවේ යුක්රේනයට ය. ඔවුන්ගේ කාර්මික වර්ධනයද සාපේක්ෂ දියුණුවක් ලැබූවකි. සෝවියට් දේශයන්හි වැඩි න්‍යෂ්ඨික බලයක් ඔවුන් අත තිබීමත් විශේෂ විය.

rusia8

සෝවියට් දේශය 1991 බිඳ වැටී, යුක්රේනය ඇතුළු එතෙක් වූ සෝවියට් ප්‍රාන්ත 15 ම ස්වාධීන රාජ්‍ය ලෙස වෙන්වූ පසු ඇමෙරිකාව ප්‍රධානව බටහිර බලවතුන් සමග වූ සීතල යුද්ධයද නිමා විය. ඒ සමග රුසියානු බලපෑම් හමුවේ යුක්රේන ආණ්ඩුව ඔවුන් සතුව තිබූ න්‍යෂ්ඨික යුධ අවි බහුතරය රුසියාවට ලබා දීමට 1994 දී එකඟ විය. ඒ වෙනුවෙන් ඔවුහු බෙලාරුසියාව, කසාක්ස්ථානය, බ්රිතාන්‍ය හා ඇමෙරිකාව සමග බුඩාපෙස්ට් ගිවිසුම අත්සන් කළේය. යුක්රේන රාජ්‍යයෙහි ස්වාධීනත්වය හා ආරක්ෂාව පිළිගැනීමටත් එයට ගරු කරන්නටත් රුසියාව එකඟ විය. ඒ අතරතුර බෙලාරුසියාව අලෙක්සාන්ඩ ලුහෂෙන්කෝ යටතේ පුටින්වාදී ඒකාධිකාරී පාලනයකට පත් විය.

මේ යුක්රේන ආක්‍රමණයට රුසියාව හේතු දක්වන්නේ ඓතිහාසිකව යුක්රේනය රුසියාවට අයත් යැයි කීම පමණක්ම නොවේ. එය තමන්ගේ මහ රුසියානු ආධිපත්‍ය සඳහාවන ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට ව්ලැඩිමිය පුටින් ඉදිරිපත් කරන සටන් පාඨයකි. එය ක්‍රිමියානු අර්ධ ද්වීපය ආක්‍රමණය කිරීමෙන් සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ මහා රුසියානු ආධිපත්‍ය තහවුරු කර ගැනීමේ අභ්‍යන්තර දේශපාලනයට අයත් තවත් වෑයමකි. එහෙත් ඔහුගේ කලාපීය දේශපාලනය වන්නේ බටහිර බලවතුන්ට හිතවත් වාගේම බටහිර බලවතුන් හා ආරක්ෂක සබඳතා ඇති කරගන්නා රාජ්‍යන් රුසියාව මායිම් කර පැවතීමට ඉඩ නොදීමය. ඇමෙරිකානු මැදිහත්වීම් හේතුවෙන් 1979 දී ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කර සෝවියට් රුසියාවට හිතවත් බබ්රාක් කර්මාල් ගේ ප්‍රධානවත්වයෙන් ආණ්ඩුවක් පිහිටවූ ආක්‍රමණික දේශපාලන තර්කයම අද පුටින් විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමටද අදාල කෙරෙන්නකි.

rusia4

පුටින්ගේ යුක්රේන භිතිකාව අසාද්‍ය වන්නේ රුසියානු ගැති යුක්රේන ජනාධිපති වික්ටොර් යනුකෝවිච්ට ජනතා විරෝධය හමුවේ 2014 පෙබරවාරියේ රටින් පැන ගොස් රුසියාවේ රැකවරණය ලබා ගැනීමට සිදුවීමෙන් පසුවය. යුක්රේනය ඒ වන විට මුහුණ දෙමින් සිටි ආර්ථික අර්බූදයට ආධාර වශයෙන් යූරෝපියානු වෙළඳ ගිවිසුමක් සඳහා වූ යෝජනාව ඉවත දමන්නට තීන්දු කළ යනුකෝවිච්, ඒ වෙනුවට ඩොලර බිලියන 15 ක රුසියානු ණයකරයක් සඳහා අත්සන් කළේය. ඊට විරුද්ධව එදා පාරට පැමිණි ජනතා විරෝධය යනුකෝවිච් බලයෙන් පහ කෙරුවා පමණක් නොව, අනතුරුව සියයට 79 ක අතිශය විශාල ඡන්දයක් ලබා දී වත්මන් ජනාධිපති වොලොඩිමෙය සෙලෙන්ස්කි පත්කර ගත්හ. ඔහු ආරම්භයේ සිටම යුරෝපාලැදි නායකයෙකු විය. අමෙරිකානු හා යුරෝපා බලවතුන් ඔහු මගින් යුක්රේනය උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට (NATO) හවුල් කර ගැනීමට උත්සාහ කළහ. සෙලෙන්ස්කිද NATO සංවිධානයට පමණක් නොව, යුරෝපා ආර්ථිකයට හවුල් වන්නටද සාකච්ඡා කළේය.

යුක්රේනයට NATO සංවිධානය හා කිසිදු ආකාරයක සම්බන්ධයක් තබා ගන්නට ඉඩ නොදෙන ලෙස ඇමෙරිකාව ඇතුළු බටහිර බලවතුනට වසර ගණනාවක් පුරා රුසියාව බලකරමින් සිටියේ ය. සෙලෙන්ස්කි ඉතා විවෘත පුටින් විරෝධියෙකු විය. එබැවින් ඓතිහාසිකව රුසියාවට අයත් යැයි පුටින් දැඩිව පෙනී සිටින යුක්රේනය ආක්‍රමණය සඳහා වසරකට පෙර සිට සූදානම්වූ පුටින් කීවේ යුක්රේනය නාසිවාදයෙන් නිදහස් කර ගැනීමත් ඒ වෙනුවෙන් ඔවුන්ගේ හමුදා බලය බිඳිම නැතිනම් යුක්රේනය නිර්හමුදාකරණය කිරීමත් ඩොන්බාස් ප්‍රදේශයේ රුසියානු සම්භවයක් ඇති රුසියානු බස වහරණ ජනතා සංහාරය නවතා ගැනීමටත් ඔහු සතු වගකීමක් ඇතැයි කියා ය.

rusia9

යුක්රේන ආක්‍රමණය වෙනුවෙන් පුටින්ගේ හේතු දැක්වීම් සඳහා කිසිදු පදනමක් නොවුනි. එහෙත් එම කරුණු දැක්වීම් සඳහා විශේෂයෙන් රුසියානු සමාජයෙහි විශ්වාසයක් ඇති කිරීමට පුටින්ගේ මාධ්‍ය වෙහෙසක් දැරූහ. රුසියානු සමාජයේ යුක්රේන ආක්‍රමණය සාධාරණය කර ගැනීමටත් ඔහුගේ ප්‍රතිරූපය ඔසවා තබා ගැනීමටත් පුටින්ට එවැනි සමාජ මතයක් අව්‍යශ විය. එහෙත් යුක්රේන ආක්‍රමණයට එරෙහිව බටහිර බලවතුන් දක්වන ප්‍රතිචාරය කිසිසේත් ප්‍රමාණවත් නොවන බව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි 25 වන සිකුරාදා යුක්රේන ජනතාවට කීවේය. යුරෝපා සංගමය හා ඇමෙරිකාව රුසියාවට එරෙහිව පනවන සම්බාධක කිසිවක් යුක්රේනයේ ආරක්ෂාවට වැදගත් නොවන බවද ඔහු එදින අවධාරණය කෙරුවේ තමන් පුටින්ගේ පළමු ඉලක්කය වුවද රුසියානු ආක්‍රමණයට එරෙහිව නායකත්වය දෙන බවට පොරොන්දුවක් සමගය.

මෙය කෙළවර වනු ඇත්තේ බටහිර බලවතුන්ගේ සම්බාධක හේතුවෙන් හෝ එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමෙන් හෝ නොවන බව කිසිදු සැකයකින් තොරව කිව හැක්කකි. මෙය කෙළවරකට පැමිණෙනු ඇත්තේ පුටින්ගේ ගණන් හැදීම සහ යුක්රේන ජනතාව සෙලෙන්ස්කි ගැන තබණ විශ්වාසය අනුව පමණි.

ඔහුගේ මේ හමුදාමය මැදිහත්වීමට කිසිවකු හරස් නොවිය යුතුයැයිද එසේ හරස්වන්නන්ට ඉතිහාසයේ කවමදාවත් අත් නොවිඳි බරපතල ප්‍රතිචාරයකට වහා මුහුණු දෙන්නට සිදුවිය හැකි යැයිද පුටින් කීවේ, ඔහු බටහිර බලවතුන් පිළිබඳව ඉතා නිවැරදිව කළ කියවීම අනුවය. ඒ හැර ඔහු සතු සුවිශේෂි ප්‍රතිප්‍රහාරක ශක්තියක් නැත. අවුරුද්දක් පුරා යුක්රේනයට එරෙහිව ඔහු ගත් හමුදාමය පියවර සම්බන්ධව බටහිර බලවතුන් හා එක්සත් ජාතීන් දැක්වූ නිවට ප්‍රතිචාරය ඔහුගේ චණ්ඩි කතාවට හේතු වන්නට ඇත.

rusia3

යුක්රේන මායිමේ සහ ඩොන්බාස් ප්‍රදේශයෙහි රුසියානු හමුදා ශක්තිය පසුගිය වසරේ මාර්තුවේ පමණ සිට සැළසුම් සහිතව වර්ධනය කිරීම ඇමෙරිකාව ඇතුළු බටහිර බලවතුන් දැන සිටියකි. යුධ හා බුද්ධි තොරතුරු ගවේශනය කරන අන්තර්ජාල මාධ්‍ය අඩවියක්වන “ස්පයි-ටෝක්” හි පසුගිය දෙසැම්බර 21 වන දින වාර්තා කර තිබූ අයුරු, “මෑත සති කිහිපයේ යුක්රේනය සමගවන ඔවුන්ගේ දේශසීමා මායිමේ ලක්ෂයකට වැඩි හමුදාවක් මොස්කව් පාලනය විසින් පෙළ ගස්වා තිබිණ.” ඇමෙරිකානු බුද්ධි වාර්තා අනුව “බොහෝවිට එය ලබන මස වනවිට දියත් කෙරෙන ආක්‍රමණයක් සඳහා විය හැක. ඒ වෙනුවෙන් යුධ ටැංකි සහ ජංගම රොකට් ප්‍රහාරක අවි රැගත් වාහන සහිත 1,75,000 ක පමණ හමුදාවක් යොදා ගැනීමට ඉඩ ඇත.” යැයි එකී වාර්තාවේ තිබූ විස්තරයකි.

එයට ඇමෙරිකානු ජනාධිපති බයිඩන්ගේ ප්‍රතිචාරයවී තිබූයේ ආක්‍රමණයක් වුවහොත් දැනටත් ගැටළු සහිතවන රුසියානු ආර්ථිකය බහුපාර්ශවීය දැඩි සම්බාධක පැනවීම මගින් අඩාල කිරීමට හේතු විය හැකි බවය. දෙසැම්බර 21 වන දින ස්පයි-ටෝක් වාර්තාව වැඩි දුරටත් සඳහන්කර තිබූයේ, “යුක්රේනයේ ආරක්ෂාවට ඇමෙරිකානු හමුදා ලබා නොදෙන බවට බයිඩන් ඉතා නිරවුල්ව සඳහන් කළ අතර, රුසියානු ආක්‍රමණයක් වෙතොත් එය ඉතා වේදනාකාරී මිල අධික ව්‍යායාමයක් වන්නට, කුඩා ප්‍රහාරක අවි සහ වෙඩි උණ්ඩ ඇති පමණ ඇතුළත් ඩොලර මිලියන 650 ක ආරක්ෂක සහන මල්ලක් ඉතා මෑතකදී ඔහු යුක්රේනයට ලබා දුන්නේය” යනුවෙනි.

ගෙවුනු කාල පරාසය තුල බ්රිතාන්‍ය අගමැති බෝරිස් ජොන්සන්ගේ සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන්ගේ කතාද හිස් වාග් ප්‍රහාර පමණක් විය. මේ ගැටළුව විසඳා ගැනීමට දෙපාර්ශවය සාකච්ඡා කළ යුතු යැයි ජර්මානු විදේශ කටයුතු ඇමතිවරිය වන ඇනාලීනා බෙයබොක් පවසා තිබුණි යැයි වරක් වාර්තා විය.

rusia6

දෙවන ලෝක යුද්ධයෙන් පසු නැවත වරක් මේ මිහිතලයේ විනාශකාරී යුද්ධ ඇති නොවන්නට, ලෝක සාමය ස්ථාපිත කිරීම සඳහා පිහිටුවා ගත් එක්සත් ජාතීන්ගේ අවුරුදු 75 ක ඉතිහාසය පුරා ඔවුන්ගේම ප්‍රඥප්තිය මේ බලවතුන් අප්‍රමාණ වාරයක් නිරුවතින්ම උල්ලංඝණය කර ඇත. එහෙත් ලෝක සාමය වෙනුවෙන් සියල්ලන් කටයුතු කළ යුතුයැයි ඔවුහු අනෙකුන්ට දේශනා කරති.

යුක්රේනය ආක්‍රමණය කිරීමේ රුසියානු සැළසුම පසුගිය අවුරුද්දක කාලයේ ප්‍රසිද්ධියේ කතා බහ කළ ඔවුහු එය වළකා ගැනීමට එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය වෙනුවෙන් එහි ආරක්ෂක මණ්ඩලය වෙත නොගියහ. යුක්රේන දේශ සීමා ආසන්නයේ රුසියානු හමුදා ශක්තිය තර කිරීම ආක්‍රමණයකට හේතු විය හැකි බවත් එය දෙරට අතර සන්නද්ධ ගැටුමකට මුල පුරන්නට ඉඩ ඇති බැවින් ඒ ගැන තමා සැළකිය යුතු කණස්සලකින් ඉන්නා බවත් පෙබරවාරි 14 වන දින මාධ්‍යයට පැවසූ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුතරෙස් එය වළකා ගැනීමට එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ගුරු කොට පියවර ගත්තේ නැත. ඒ වෙනුවට ඔහු දින 10 ට පසු පෙබරවාරි 24 වන දින රුසියානු ආක්‍රමණය හෙළා දකිමින් මාධ්‍යයට පවසා තිබූයේ යුක්රේනු සිවිල් වැසියන් වෙනුවෙන් උපරිසම මානුෂික සහන හා ආධාර ලබා දීමට එක්සත් ජාතීන් සූදානම් බවය.

rusia5

රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කර කියෙව් නගරයටද ඇතුළු වූවාට පසුව, 26 වන සෙනසුරාදා ඇමෙරිකාව හා ඇල්බේනියාව ඒකාබද්ධව රුසියානු ආක්‍රමණය හෙළා දකිමින් රුසියානු හමුදා වහා යුක්රේනයෙන් ඉවත් කරගත යුතු යැයි යෝජනාවක් ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළහ. එය යුක්රේනු ජනතාවට කළ බරපතලම අපහාසය විය. ආරක්ෂක මණ්ඩලයේදී එය රුසියාව විසින් අනිවාර්යෙන් නිශේද කරන බව කවුරුත් දැන සිටියකි. එළෙසින්ම එය සිදුවූයෙන් යෝජනාව අත හැරිණ. ඉතිරි නිත්‍ය සාමාජිකයින් සතර දෙනාගෙන් චීනය හැර අනෙක් තිදෙනා (ඇමෙරිකාව, ප්‍රංශය හා බ්රිතාන්‍ය) සමග තාවකාලික සාමාජිකයින් දස දෙනාගෙන් 08 කු (ඇල්බේනියා, බ්‍රසීල්, ගැබොන්, ඝානා, අයර්ලන්තය, කෙන්යාව, මෙක්සිකෝව හා නෝර්වේ) යෝජනාවට පක්ෂ වූහ.

නිත්‍ය සාමාජික චීනය සිය නිශේද බලය දිගු කාලීන සගයෙකු වන පුටින්ගේ රුසියාව සමගින් භාවිත නොකර ඡන්දය දීමෙන් වැළකී සිටීම උපායික මග හැරීමක් විය. යුක්රේනය ආක්‍රමණය කිරීම හෙළා දැකීමට සූදානම් නොවුනු චීනය, එහි වරද පැටවූයේ බටහිර බලවතුන්ට ය. රුසියාවට විරුද්ධ ස්ථාවරයක් ගැනීමට චීනයට නොහැක්කේ 1992 සිට දෙරට ක්‍රමානුකූලව හා ප්‍රවේසමෙන් වගා කරගත් රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා 2001 දී යහපත් අස්ලවැසි හා සහයෝගිතා ගිවිසුමක් අත්සන් කිරීම දක්වා දියුණුකර ගෙන ඇති බැවිනි. ආරක්ෂක, වෙළඳ, හා ජාත්‍යන්තර සහයෝගිතා සම්බන්ධ ද්වි පාර්ශවීය ගිවිසුමක් වූ එය වසර 10 ට පසු ඔවුහු 2021 දී නැවත අලුත් කර ගත්හ.

rusiaa11

අනෙක් පැත්තෙන් යුක්රේනය සමග පසුගිය වසර කිහිපයේ චීනය ආර්ථික ගනුදෙනු වර්ධනය කරගෙන ඇත. විශේෂයෙන් යුක්රේනයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ චීන ආර්ථික මැදිහත්වීම් සැළකිය යුතු අන්දමින් සිදු වන්නේය. ඔවුන්ට යුක්රේනයට එරෙහිව රුසියාව වෙනුවෙන් පූර්ණ ලෙස පෙනී සිටීමටද එබැවින් නොහැක. චීනය ඡන්දය දීමෙන් වැළකී සිටින්නට තීන්දු කරන්නේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මත පිහිටා සිටිමින් ය. ඉන්දියාවද එළෙසින්ම යෝජනාවට පක්ෂව ඡන්දය දීමෙන් වැළකී සිටියේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව අන්‍යෝන්‍ය ගරුත්වය හා ස්වෛරිත්වය රැකීම සැමගේ වගකීම යැයි කියමින්ය.

මේ රාජ්‍ය නායකයින්ගේ තීන්දු වලට පටහැනිව බොහෝ බටහිර රටවල ජනතාව යුක්රේන ආක්‍රමණය හෙළා දකිමින් රුසියාවට විරුද්ධව දැඩි පියවර ගන්නට යැයි ඔවුන්ගේ ආණ්ඩු වලට බල කිරීමට පාරට පැමිණ සිටියහ. වොෂිංටන් ඩී.සී, චිකාගෝ, නිව්යෝක්, ලන්ඩනය, පැරිසිය, බර්ලිනය වැනි මහ නගරවල සහ ස්පාඤ්ඤය, පෝලන්ත, ලෙබනන, ඕස්ත්‍රේලියාව වැනි රටවලද විශාල උද්ඝෝෂණ තිබිණැයි සෙනසුරාදා මාධ්‍ය වාර්තා කෙරිණ. ඊට අමතරව මොස්කව් නගරයේ විශේෂයෙන් තරුණන් සහභාගිවූ දහස් ගණනක පුටින් විරෝධී උද්ගෝෂණ පැවති බවද වාර්තා විය.

rusia12

යුක්රේන නගර ගණනාවකට බරපතල ප්‍රහාර එල්ල කරමින් රුසියානු හමුදා කියෙව් නගරය කොටු කිරීමට සූදානම්වන අතරතුර, මහ බලවතුන් රුසියාවට එරෙහිව දැඩි ආර්ථික පියවර ගත්තේ යැයි කියූ කිසිවක් ආක්‍රමණය ආපසු හැරවීමට තරම් මොනයම්ම බලපෑමක් ඇති පියවර නොවන්නේය. බටහිර මාධ්‍ය සෙනසුරාදා දිනයේ ප්‍රධාන ප්‍රවෘත්ති ලෙස වාර්තාකර තිබූයේ “යූරෝ විෂන්” තරගයෙන් රුසියාව ඉවත් කිරීමත් කැනඩාවේ රටබීම හල් වලින් රුසියානු වොඩ්කා බෝතල් ඉවත් කිරීමත් ය.

එක්සත් ජාතීන් හා ඔවුන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් මේ අර්බූදය නොවිසඳනු ඇත. එක්සත් ජාතීන්ගේ මෙතෙක් ඉතිහාසයේ 1951 කොරියානු යුද්ධයේ සිට ඉන්දු චීන, ඊශ්‍රායෙල් හා අරාබි-පලස්තීන, වියට්නාම්, හා මෑතක ඇෆ්ගනිස්ථාන, ඉරාක, ලිබියානු හා සිරියානු යුද්ධ දක්වා කිසිවක් එක්සත් ජාතීන්ට විසඳිය නොහැකි විය. එවගේම ඒ හැම යුධ ගැටුමකම එක් පාර්ශවයක් වූයේද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයෙකු හෝ දෙන්නෙකි. අනෙක් බලවතුන් ඒවාට හවුල්කර ගනු ලැබූයේ ඇමෙරිකානු ඉල්ලීම් අනුව NATO සංවිධානය ඔස්සේය.

rusia10

මීට ඉහතින් කිහිප වර මා පෙන්වා දුන් අයුරු එක්සත් ජාතීන්ට හා ඔවුන්ගේ ආරක්ෂක මණ්ඩලයට යුධ ගැටුම් කෙළවරක් කිරීමේ වුවමනාවක් නොමැත්තේ ආරක්ෂ මණ්ඩලයේ නිශේද බලය ඇති ස්ථිර සාමාජිකයින් 05 දෙනාම ගෝලීය අවි ගනුදෙනුවල ඉහළින්ම ඉන්නා වෙළඳුන් 05 දෙනා වන හෙයිනි. එබැවින් වැදගැම්මකට නැති සම්බාධක පැනවීමෙන් පසු ඔවුන් යුක්රේනයට අවි ආයුද ලබා ගැනීම සඳහා ආධාර සපයති. බයිඩන්ගේ පාලනය යුධ ආධාර වශයෙන් ඩොලර මිලියන 350 ක් යුක්රේනයට ලබා දෙන්නට සිකුරාදා තීන්දු කළේය. යුධ ගැටුම් ඇති රටවලට අවි ආයුධ සැපයීමට ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධ ජර්මනිය තෙවන පාර්ශවයක් හරහා යුක්රේනයට රොකට් ප්‍රහාරක අවි සැපයීමට තීන්දු කර ඇත.

පසුගිය මාස කිහිපයේ රුසියානු ආක්‍රමණයකට ඉඩ ඇහිරීමට මැදිහත් නොවුනු මහ බලවතුන් දැන් යුද්ධය දිගු ඇදීමට අවශ්‍ය අවි ආයුද සැපයීමට ඉදිරිපත් වෙති. බලාපොරොත්තු නොවුනු ප්‍රතිප්‍රහාරයකට දැන් රුසියාවද හසුව ඇත. ජනාධිපති සෙලෙන්ස්කිගේ අධිශ්ඨානසහගත මැදිහත්වීම සමග යුක්රේනු ජනතාව තම රට වෙනුවෙන් අලුත් ප්‍රබෝධයකින් යුද වදිති. එනිසා පුටින් සිතු පහසුවෙන් මෙය කෙළවර වන්නේ නැත.

rusia13

හමුදාවට එකතු වූ යුක්රේනු ජනාධිපති සෙලෙන්ස්කි

මේ දෙරට ගැටුම එනමුත් අප දැනට විදේශ විනිමය නොමැතිව මුහුණ දෙන යාචක තත්ත්වයෙන් තව පහළට වැටෙන්නට තරම් විශේෂ අවහිරතා ඉදිරි කාලයේ ඇති කරන්නට හේතු වන්නේ නැත. එසේ වූවත් මෙය නැවත නැවතත් උගන්වන පාඩම වන්නේ එක්සත් ජාතීන්ගේ හවුල ප්‍රායෝගිකව වාසි වන්නේ ආරක්ෂක මණ්ඩලයේ ඉන්නා අවි ගනුදෙනු කරුවන්ට පමණක් බවය. භූ-දේශපාලනික බල අරගලයකට නතුව ඉන්නා අපට එනිසා වැදගත් වන්නේ එක්සත් ජාතීන්ගේ හවුල් නොව, දකුණු ආසියානු කලාපයේ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයකි. ඒ සඳහා අප මැදිහත් විය යුතු යැයි යුක්රේනය කියා දෙන පාඩම ය.

2022 පෙබරවාරි 27 වන දින

 

නවතම ලිපි