අපගේ ලේඛන කියවන බොහෝ දෙනෙකු පදනම් වන දෘෂ්ටිවාදී ආස්ථාන කිහිපයක් ඇත.

* මානව පරිනාමය (පරිනාමවාදය, සමාජ පරිනාමය)

* ශිෂ්ටාචාරය

* ගල් යුගය

* මිනිස් ආයුෂ (එකල අඩු ආයුෂක් විඳි මිනිසා දැන් වැඩි ආයුෂක් විඳී)

* මානව සංහතිය සහ මිනිස් වර්ගයා

* ඉතිහාසය

* විද්‍යාව සහ ලෙඩ රෝග

* දියුණුව සහ සංවර්ධනය

* සොබාදහම

ඉහත සඳහන් වන දෘෂ්ටිවාදී පදනම් කෙනෙකු වෙත පැමිණෙන්නේ මූලික වශයෙන්ම අධ්‍යාපනය තුලිනි. එසේ නොමැති නම් අධ්‍යාපනය තුලින් ස්ථාපිත කතිකාවන් හරහාය. තවත් ආකාරයකට පවසන්නේ නම් එම දෘෂ්ටිවාදී පදනම් යනු යම් පුද්ගලයෙකු විසින් හෝ කිහිප දෙනෙකු විසින් ආරම්භකොට, ආයතනගතව, අනුයාත සියවස් කිහිපයක සන්තතිකත්වයකින් (අද දක්වාම සහ ඉදිරියටත්) ඉදිරියට වර්ධනය කරමින් ගෙන යන දෘෂ්ටිවාදී ආස්තානයන්ය. නමුත් දැන් ඒවා සමාජ ගතව ඇත (විශ්ව විද්‍යාල කතිකාව).

ඉහත සඳහන් කොට ඇති අර්ථකතනීය ගොඩනැංවීම් කිසිසේත්ම අපගේ දේශපාලනයට අදාල නැත. නමුත් යමෙකු ඒවා දේශපාලනයේ පදනම් ලෙස සලකන්නේ නම් හෝ පදනම් ලෙස නොසලකවනවා වුවද ඒවා සැලකිල්ලට ගත යුතු බවක් පවසන්නේ නම් (සැලකිල්ලට ගැනීම යනුම පදනම් වීමයි) ඒ ඕනෑම අයෙකු පහත සඳහන් කාරනා පිළිගත යුතුය යන්නයි.

wote1

 

1. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ, සියලු පුරවැසියන් හට ඡන්ද අයිතිය වැනි දෑ සහ සියලුම පුරවැසියන් ඡන්දය ප්‍රකාශ කිරීම යනුම ව්‍යාජයක් ලෙස පිළිගත යුතුය. එසේ පිළිගනිමින් ඡන්ද අයිතිය තිබීමේ අවම සුදුසුකම උපාධියක් තිබීම ලෙස අනීවාර්ය කිරීම.

2. දේශපාලනයට පැමිණීමේ අවම අධ්‍යාපන සුදුසුකම ලෙස පශ්චාත් උපාධියක් තිබීම.

එනම් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම හෝ කල හැක්කේ ඒ ඒ ක්ෂේත්‍රයන්ට අදාළ පශ්චාත් උපාධිදාරීන්, උපාධිදාරීන් සිටින කණ්ඩායමකට පමණක් වන අතර එවැනි කණ්ඩායමට අදාළ පශ්චාත් උපාධිදාරීන්ගේ ඝනපූර්නයක් පැවතිය යුතුම වීම. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කොට එසේ නොවන සියලුම දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් තහනම් කල යුතුය. ඊට අදාළ නීති සම්පාදනය කල යුතුය.

3. එසේම පවතින ආණ්ඩුවකට එරෙහිව අදහස් දැක්වීම, විරෝධතා දැක්වීම, අදහස්-යෝජනා ඉදිරිපත් කිරීම කල හැකි අවම සුදුසු කම පිළිගත් විශ්ව විද්‍යාලයකින් පශ්චාත් උපාධියක් ලබා තිබීම විය යුතුය. ඉන් අනවශ්‍ය උද්ඝෝෂණ ආදිය ඇති වීම වැලකී යන අතර වැඩකට නැති කේවට්ට කතා අවසන් වනු ඇත. එසේම දේශපාලන විරෝධයන්ට අදාලව වඩාත් "ශිෂ්ඨ සම්පන්න", ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියක් බිහිවනු ඇත.

4. ඒ ඒ ක්ෂේත්‍රයන්ට අදාළව පශ්චාත් උපාධිදරයින් ආණ්ඩුකරණයේදී දේශපාලන අධිකාරීත්වය තුල ක්‍රියාත්මක විය යුතුය යන්න (උදාහරණයකට, රාජ්‍ය පරිපාලනය අමාත්‍යවරයා දේශපාලන විද්‍යා පශ්චාත් උපාධිදරයෙකු වීම, සෞඛ්‍ය අමාත්‍යවරයා රෝහල් පරිපාලනයේ ඉහලම සුදුසුකම් ඇති වෛද්‍යවරයෙකු වීම, පරිසර අමාත්‍යවරයා පරිසර විද්‍යාව සම්බන්ධයෙන් මහාචාර්ය වරයෙකු වැනි ලෙස...).

5. ඉහත 1,2,3,4, යන පදනම් වලට අනුව, එවිට විශ්ව විද්‍යාලයක් යනු එහි සුපිරිසිදුම අර්ථයෙන් දේශපාලනය සඳහා තෝතැන්නක් වනු ඇත (පෙ.ස.පෙ. සහ ජ.වි.පෙ. යන පක්ෂ දෙකෙහි සිහිනය). ඒ අනුව එකී පදනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත්කොට නීතියෙන්ද තහවුරු කල යුතුය.

jana bala 01

ඉහත සඳහන් සියලු කාරනා ස්ථාපිත කිරීම සඳහා සුදුසුම දේශපාලන ව්‍යාපාර දෙක වනුයේ උගතුන්ගේ සංවිධාන වන 'ජාතික ජන බලවේගය'සහ '43 සේනාංකය' යි.

එසේ කිරීමට 'ජාතික ජන බලවේගය' ට හෝ '43 සේනාංකය' ට හැකි වුවහොත්, ඉහත කී යෝජනා එසේ ස්ථාපිත කිරීමෙන් පසුව ආණ්ඩු තීරණය කිරීම සඳහා වන නූගත් මෝඩ ජනතාවගේ සහභාගිත්වය (නූගත් ඡන්ද තුලින් දේශපාලනය තීරණය වීම) සහ දේශපාලන අධිකාරීත්වය සඳහා නූගත් මෝඩයින් පත්වීම වැළකී යාම හේතුවෙන් තවදුරටත් නූගත්, මෝඩ දේශපාලන අධිකාරීත්වයන්ගෙන් යුතු ආණ්ඩු පත්වීම සහ ඒවා පත්කොට ගන්නා නූගත්, මෝඩ ජනතාව අහෝසි වී යනු ඇත.

43

එසේම නූගත් මෝඩ ජනතාව දැනුවත් කිරීමේ රැස්වීම්, මහජන හමු, සංවාද වැනි අතාර්කික, ව්‍යාජ කාලය කා දමන සියලු කටයුතු අවසන් වනු ඇත. ඒ අවිට සංවාදය පවත්වාගත යුත්තේ උගතුන් අතර පමණක් බැවිනි. නමුත් ඊළඟට ද ප්‍රශ්නයක් ද ඉතිරි වනු ඇත. ඒ ලෝකයේ "දැනුම" නිපදවන රටවල් සහ එවැනි රටවල් වෙතින් "දැනුම" ලබා ගන්න රටවල් යන දල බෙදුමක් සහිත අනුක්‍රමිකත්වයයි. ඒ අනුව හොඳම උගතුන් දිගින් දිගටම සිටිනු ඇත්තේ එවැනි දැනුම නිපදවන රටවලය.

කෙසේ වෙතත් 'ජාතික ජන බලවේගය', '43 සේනාංකය' හෝ වෙනත් ඕනෑම දේශපාලන පක්ෂයක් ඉහත සඳහන් කල ආකාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මතකොට ගැනීමට එකඟ වන්නේ නම් අපි ද ඒ සඳහා වන සහයෝගය කොන්දේසි විරහිතව පළකරන්නෙමු. ඒ, එවිට "විශ්ව විද්‍යාල කතිකාව" ට අදාළ ක්‍රියාකාරීත්වයේ හරය එහි ශුද්ධ වූ ආකාරයෙන්ම පිහිටුවිය හැකි බැවිනි.

Gradu

අප එසේ කරනුයේ මෝඩයින්ට සහ නූගතුන්ට දේශපාලනය තහනම් වන තත්වය යටතේ අපේ දේශපාලනය ද එහි ශුද්ධ වූ ආකාරයෙන්ම ක්‍රියාත්මක කල හැකි වනු ඇති බැවිනි.

වර්තමානයේ පවතින පොදු ජන මතය නියෝජනය වීම, ඕනෑම කෙනෙකුට දේශපාලනයේ නිරත වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද අයිතිය, සමානාත්මතාවය, නිදහස, භාෂණයේ නිදහස වැනි අපැහැදිලි, ව්‍යාජ විද්‍යාමාන වීම් වලට ඉඩහැර ඇති තත්වයක් තුල පැහැදිලිවම (ඇත්තටම ගතහොත් අපැහැදිලිය), සත්තකින්ම පවතින්නේ ඉහත සඳහන් කල "විශ්ව විද්‍යාල කතිකාව" නොහොත් ලෝකයේ දිශානතිය උගතුන් විසින් තීරණය කිරීමයි.

නමුත් උගතුන් වූ පලියට ඔවුනට එසේ කිරීමට අයිතියක් නොමැති බව පෙන්නුම් කරන කතිකාවන් එකට පැටලී ඇති වර්ණ දහරාවන් රැසකින් වර්ණවත් කෙරී ඇත (දෘෂ්ටිවාදය). මහා ජන ඡන්දයෙන් ආණ්ඩු තීරණය කරනුයේ පොදු ජනතාව විසින් බව සියලු දෙනා සිතනුයේ එබැවිනි.

ඉහත සඳහන් අපගේ යෝජනා වලට 'ජාතික ජන බලවේගය' ට, හෝ '43 සේනාංකය'ට විරුද්ධ විය හැකිද? විරුද්ධ වන්නේ නම් ඒ කුමන පදනමකින්ද ?

ශුද්ධ උගතුන්ගේ පාලනයක් ඉල්ලා සිටින ජ.වි.පෙ. සාමාජිකයා වුවද මේ යෝජනා වෙතට සතුට පලකරනු ඇත. එපමණක් නොව "ජනතාව" ද මෙයට කිසිසේත්ම විරුද්ධ නොවනු ඇත. ජනතාවට අවශ්‍යව ඇත්තේද සුදුසුම උගතුන්ගෙන් පාලනය වීමය. ඒ අනුව උගතුන්ගේ පාලනයක් පොදු ජනතාවගේ ඡන්දයෙන් පත්කොට හෝ වෙනස්කොට ගැනීමට වඩා එය තෝරාගැනීම සඳහා උගතුන්ටම භාරදීම වඩා සුදුසු නොවන්නේ කෙසේද?

273204795 2160686167427491 4873623869321938148 n

නූගත් දේශපාලනඥයින් බලයට පත් වුවද රටේ සියලු කටයුතු සිදු වනුයේ උගතුන්ට අවශ්‍ය විධියටය (ලෝකයේම එසේය). රට කෙසේ විය යුතුද යන්න සහ එහි ගමන් දිශාව තීරණය කරනුයේ ඔවුන්ය. කොටින්ම අපි උදේ නැගිට්ට වෙලේ සිට හුස්ම ගැනීම, කන, බොන, රෙන, අකාරයන් පවා තීරණය වී ඇත්තේ උගතුන්ට අවශ්‍ය අකාරයටය. අපගේ සියලු "මිනිස් හැඟීම්" ද එසේය. අප පිළිබඳව සියල්ල එසේය.

ඒ ඒ විෂයන්ට අදාලව ගත්ත ද කල යුතු දේ තීරණය කරනුයේ උගතුන්ය. මුළු ලෝකයේම වැඩ කටයුතු සිදුවන්නේ එලෙසය. නමුත් දල බෙදීමක් තුලින් පෙන්වා දිය හැක්කේ "නොදියුණු" රටවල උගතුන් සරල ලෙසම අනුගමනය කරනුයේ "දියුණු" රටවල් සහ එවැනි රටවල උගතුන් (ආයතනික අන්තර් සම්බන්ධතාවය) පමණක්ම බවය.

කොටින්ම කිවහොත් ලෝකය පුරා මේ වන විට සංස්ථාපිත අධ්‍යාපනය යනුම යුරෝපයේ රටවල් කිහිපයක බුද්ධිප්‍රබෝධි යුගයේ ආරම්භ වී, ක්‍රමයෙන් වර්ධන වී ආයතනගත වී ඇති විද්‍යා අධ්‍යාපනයයි. අනෙකුත් විෂයන් යනු විද්‍යාව තුලින් සංස්ථාපිත තත්වයට ඍජුවම අදාළ හෝ එම තත්වය තහවුරු කරන පරිපාලන, කළමනාකරණ, නීතිය, සෞන්දර්ය වැනි විෂයන්ය.

ඒවා එසේ නම් දැන් කෙනෙකුට ඇසිය හැක්කේ සිංහල භාෂාව, ඉතිහාසය වැනි විෂයන් මොනවාද යන්නයි. උදාහරණයකට, අපේ රට තුල සිංහල භාෂාව ගතහොත් සිංහල භාෂාව ආයතනිකව විධිමත්ව හැදෑරීමට අවශ්‍ය වන්නේ මූලික වශයෙන්ම නීතිමය සහ රාජ්‍යය පරිපාලනමය කටයුතු පවත්වාගෙන යාම සඳහාය. එහි ඇති අනෙකුත් අවශ්‍යතාවයන් වන්නේ සාහිත්‍යමය (කලාව සහ සෞන්දර්යමය කටයුතු ධනවාදයේ පැවැත්මට වර්ධනයට අනීවාර්ය වේ) කටයුතුය.

colombo uni

ඉතිහාසය ගතහොත් එය සේවයේ පවතිනුයේ චාල්ස් ඩාවින්ගේ පරිනාමවාදයට සහ බුද්ධිවාදය වෙනුවෙනි (කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාස ප්‍රදර්ශනය නැරඹීමෙන් මෙය වටහා ගත හැකිය). ආර්ථික විද්‍යාව වැනි විෂයක කාර්යභාරය වන්නේ විද්‍යාව සහ තාක්ෂණය පදනම්ව සංස්ථාපිත ආර්ථිකයේ සංකීර්ණතා කළමනාකරණය සහ ඒ තුලින් නිෂ්පාදනය සහ වෙළඳපොල අර්බුධයන් ජයගන්නේ කෙසේද යන්නයි. 1960 දශකයේ බිහි වූ කළමනාකරණය නමැති විෂයද එවැන්නකි. එහි මූලික අරමුණ ව්‍යාපාරික ආයතනයන් අතර තරඟය තුල වැඩි කොටස අත්පත්කොට ගන්නේ කෙසේද යන්නයි. අවශ්‍ය නම් තව තව විෂයන්ට අදාළ කාර්යභාරයන් එසේ දැක්විය හැකිය. නමුත් ඒ සියල්ලට ඉහලින් පවතින්නේ විද්‍යාවයි. දර්ශනයේ සහ ආගමේ කාර්යභාරය ද විද්‍යාව විසින් අත්පත්කොට ගනිමින් එය විසින් ලෝක දැක්මක් නිර්මාණය කොට ඇත (දෘෂ්ටිවාදය). එවිට අධ්‍යාපනය යනුම විද්‍යාවයි.

ගැලීලියෝගෙන් ආරම්භ වූ බව කිව හැකි නූතන විද්‍යාව ලොව පුරා ව්‍යාප්ත වීම සහ ආයතන ගත වීම වර්තමාන අධ්‍යාපනයේ පදනමයි. ඊට පෙර එකම ආකාරයේ අධ්‍යාපනයක්, එකම ආකාරයේ ලෝක දැක්මක් මේ ආකාරයෙන් ලොව පුරා පැවතියේ නැත. ඒ අනුව අධ්‍යාපනය යනු විද්‍යාවයි. අනෙකුත් සියලු විෂයන් ඊට අනුයාත සහ එය මත පරායත්ත විෂයන් පමණි.

එසේ නම් දේශපාලන අධිකාරීත්වය උගතුන්ටම පමණක් භාරදීම යන්න කල යුතුම කාර්ය නොවේ ද?

ප්‍රජාතන්ත්‍රවාදය එහි සුපිරිසිදුම ආකාරයෙන් පවතිනු ඇත්තේ එවිට නොවේද (තාර්කික සබුද්ධික මිනිසා)?

උගතුන්ට රට භාරදිය යුතු බව කියන කිසිවෙකුට අපගේ යෝජනා ප්‍රතික්ෂේප කල හැකිද ?

ඔවුනට කල හැකි එකම දෙය වන්නේ කුහකත්වයෙන් යුතුව තම ඊගොමය ආස්ථානය රැකගැනීම සඳහා මේවා නොදැක්කා සේ සිටීම ය.

@Spartacus.lk

නවතම ලිපි