මේ දින වල ප්‍රදර්ශනය වන ලක් ඉතිහාසයට කවුලුවක් මැයෙන් කොළඹ විශ්වවිද්‍යාල ඉතිහාස අධ්‍යනංශය විසින් පවත්වාගෙන යන

ප්‍රදර්ශනය නැරඹීමේ අවස්තාවක් ලැබුන මුත් ඒ පිළිබදව ඇතිවූ ප්‍රශ්නකාරී තත්වය ඉදිරිපත් කිරීමට විවිධ හේතු නිසාම දින කිහිපයක් ගත විය. එය විමසීමට පෙර ඉතිහාසය පිළිබද "හෙගල්ගේ" අදහසකින් ආරම්භ කිරීමට කැමැත්තෙමු.

 

"බොහෝ දෙනා ඊජීප්තු වාසීන්ගේ රහස් සෙවීමට වෑයම් කරයි. නමුත් සත්‍ය වන්නේ ඊජීප්තු වාසීන්ද එම රහස නොදන්නා බවයි".

(Georg Wilhelm Friedrich Hegel)

ඉහත හෙගල්ගේ කියවීමට අනුව ගතහොත් යම් ඇරඹුමක සිට වර්තමානය දක්වා ඉතිහාසය ගලා එනවා නොව වර්තමානයේ සිට යම් ඇරඹුමක් දක්වා ඉතිහාසය ගලා යැවීමකි. මෙය හුදෙක්ම ඉතිහාසය පැවැති තත්වය පිළිබද වර්තමාන අද්දැකීම, දැනුම් පද්දතීන් හා අපගේ අභ්‍යන්තර උවමනාවන් මත සිටිමින් කරන අර්තකතනයකි. බොහෝ අය මෙය ඉතිහාසය සොයා ගැනීමක් ලෙස හැදින් වුවද ඇත්තෙන්ම ඉතිහාසය යනු නිර්මාණය කිරීමකි. ඒ අනුව ඇත්ත ඉතිහාසය අන්තරස්‍ ය. ඉතිහාසය නමින් හමුවන සියල්ල කතන්දරය.

මෙලෙස ගත් විට Nirmal Dewasiri විසින් ගෙන එන ඉතිහාසයද මීට වඩා වෙනස් වන්නේ කිසේදැයි විමසිය යුතුය. මෙම විමසීම සදහා නිර්මාල්ට අභිමුක වීමට අවස්තාවක් සැපයීම සදහා ඔහුගේ ඉදිරිපත් කිරීම ප්‍රශ්න කිරීම ප්‍රායෝගික වනු ඇතැයි සිතමු.

1. මින් පෙර ඉතිහාසය නිර්මාණය කල ඉතිහාසාඥයින්ගේ ඉදිරිපත්කිරීම් වලට වෙනස් වූ කවුළුවක් ලෙස මෙම කවුළුව සලකන්නේද? සලකන්නේනම් එම වෙනස්කම් මොනවාද? (සියලු ඉතිහාසාඥයින් ඔවුන්ට ඉතිහාසය ගැන වර්තමාණයේ ඇති අද්දැකීම්, දැනුම් පද්දතීන් සහ ඔවුන්ගේ අභ්‍යන්තර වුවමනාවන් මත සිටිමින් කරන පරිකල්පනයක්නම්, මෙම පරිකල්පනය එකී පරිකල්පනයෙන් වෙනස් යැයි ඔබ පවසන්නේ කෙසේද?)

2. මෙම ප්‍රදර්ශනය තුල 13 වන සියවසෙන් පසු කාලය පිළිබදව ගෙනහැර දැක්වීමට විශේෂිත වූ හේතුවක් තිබේද? (මේ කාරණය සම්බන්දයෙන් ප්‍රදර්ශනය පිළිබදව පැහැදිළි කිරීමට සිටි අයගෙන් විමසුවද ඔවුනට පුද්ගලිකව ඔවුන්ගේ අදහසක් හෝ ඔබ විසින් ඉදිරිපත් කල අදහසක් නොමැති බව ඔවුන් පවසා සිටීම ගැටළුසහගත විය.)

3. මිනිසුන්ගේ ජීවන පැවැත්ම යනු යම් ක්‍රියාකාරීත්වයකි. එම ක්‍රියාකාරීත්වය එකී මොහොතට අදාලව හැර පසුව දැනුමකින් වටහා ගත නොහැක. එවැනි තත්වයක් තුල මිනිසුන්ගේ ජීවන ක්‍රියාකාරීත්වය ඛන්ඩනය කර දක්වන්නේ කෙසේද? උදාහරණයක් ලෙස - අනුරාධපුර - පොලොන්නරුව යුගය, දඹදෙනිය සිට කෝට්ටේ යුගය දක්වා, කෝට්ටේ බුද්ධිවර්දන යුගය සහ ඉන් පසු ආක්‍රමණ ආදී ලෙස.එකී ඛන්ඩනය ඔබගේ පරිකල්පනයට අනුව කල ගොඩනැංවීමක් නොවේද?.

4. උතුරු ප්‍රදේශයේ ජනාවාස කරණය නිරිතදිග ප්‍රදේශයන්ගේ ජනාවාස කරනයට වඩා අඩු සැලකිල්ලක් තිබූ බවත් එය ඉතිහාසයේ වැඩි කතා බහට ලක් නොවූ බවත් ඔබ පවසයි. ඔබගේ දැනුමට සහ ගොඩනැංවීමට අනුව උතුරු ප්‍රදේශයේ ජනාවාස කරණය සිදුවූ බව පවසද්දී ඊට ප්‍රතිවිරුද්ධ මතය නිවැරදි නොවන බව ඔබ පවසන්නේද? මෙය ඔබ නියෝජනය කරන අබ්භ්‍යන්තර උවමනාව ඊට ප්‍රතිවිරුද්ධ වුවමනාවට වඩා ප්‍රබල වන්නේද? උදාහරණයක් ලෙස මෙය මහින්ද පතිරණ ගේ ලිපියක් මගින් පෙන්වාදෙන කදුරුගොඩ විහාරය බැහැර කිරීම හා එහි වූ සෙල්ලිපි මගින් ගොඩනගන ඉතිහාස දැනුමට වඩා ඔබගේ ගොඩනැංවීමේ දැනුම ප්‍රබල වන්නේ කෙසේද?

5. ඔබ කොළඹ යුගය බුද්ධිවර්ධනීය යුගයක් ලෙස නම් කරන්නේ, ඊට පෙර යුග වල එවැනි බුද්ධිමත් මිනිසුන් නොසිටී යුග නිසාද? එසේනම් ඊට පෙර සිටි මිනිසුන්ගේ බුද්ධිය කොළඹ යුගයේ මිනිසුන්ගේ බුද්ධියට වඩා අඩු බව සනාත කිරීමට ඔබ ඉදිරිපත් කරන අර්තකතනයන් මොනවාද?

6. ඔබ ඉදිරිපත් කරන වීඩියෝවක එක් තැනක ඔබ උදාහරණයක් ලෙස කිමිදුම් කරුවකු වතුරකට පනින්නේ යම් නිශ්චිත අරමුනකට බවත් ඒ ලෙසම ඉතිහාසය නැමැති ජලාශයට යමෙක් පනින්නේ එවැනිම අරමුණක් සහිතව බවත් ඔබ පවසයි. එම ප්‍රකාශයට අනුව,

අ) ඔබගේ මෙම ඉදිරිපත් කිරීම බුද්ධිමය මැදිහත් වීමේ උවමනාව ඉතිහාස කාරනා හරහා තහවුරු කිරීමට

ආ) සමාජ සංවර්දනයේ දිසානතිය බුද්ධි වර්ධනයේ දිසානතිය දක්වා සිදු වූ බව ගෙනහැර දැක්වීමට

ඇ) ඉතිහාසය විසින් අපට අත්පත්කොට දී ඇති මාවත නූතනත්වය භාරගැනීමේ මාවත බව තහවුරු කිරීමට. ( නූතනත්වය භාරගැනීම යනුම ප්‍රජාතන්ත්‍රවාදය භාරගැනීම අනිවාර්‍යකි)

දරන උත්සහයක් ලෙස යෝජනා කරන්නේනම් ඒ සදහා ඔබගේ අදහස කුමක්ද?

මෙම ප්‍රදර්ශනය සම්බන්දයෙන් අපට පැන නැගුන ගැටලු සහගත තැන් අපගේ අදහසට අනුව මතුකරන බැවින් මේ සදහා ඔබ පැහැදිළි පිළිතුරු ලබාදීමක් කරනු ඇතැයි අප විශ්වාස කරමු. පිළිතුරු දැක්වීමට තරම් නොවේනම් නොසලකා හැරීමටද හැකි බව සලකන්න.

නවතම ලිපි