'යුද්ධයෙන් 12 වසරකට පසුවත් සංක්‍රාන්ති යුක්තිය තවමත් වලංගුද?' මැයෙන් මාර්ගගත සංවාදයක් පසුගිය 08 දා පැවැත්විණි.


 'ශ්‍රී ලංකා බැරෝමීටර්' සමීක්ෂණ වැඩසටහන සංවිධානය කළ එම සංවාදයේ සම්පත්දායකයින් ලෙස හිටපු ආරක්ෂක ලේකම් හා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සහ ප්‍රවීණ සාහිත්‍යවේදී/ දේශපාලන විචාරක ගාමිණී වියන්ගොඩ සහභාගී වූ අතර සංවාදය මෙහෙයවන ලද්දේ ජනමාධ්‍යවේදී ජයසිරි ජයසේකර විසිනි.

amma 2
එම සංවාදයට පාදක වූ, නතාෂා පලන්සූරිය විසින් රචිත Transitional Justice: Deconstructing the Misconceptions යන ලිපියෙහි සිංහල පරිවර්තනය මෙහි පළ වේ. සංක්‍රාන්ති යුක්තිය යන සංකල්පය ශ්‍රී ලංකාව තුළ වැරදි ලෙස නිර්වචනය වී ඇති ආකාරයත්, සංක්‍රාන්ති යුක්තිය සපුරාලීම කවර ආණ්ඩුවකට වුව මඟහැර යා නොහැකි අභියෝගයක් බවත් එමගින් අවධාරණය කෙරේ.

සංක්‍රාන්ති යුක්තිය:
වැරදියට අර්ථකථනය කළ, මඟහැර යා නොහැකි කඩඉම

නතාෂා පලන්සූරිය
-දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය



සංක්‍රාන්තික යුක්තිය – මෙම පාරිභාෂිත යෙදුම, ක්‍රියාවලිය, සංකල්පය- ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද සමය තුළ සැම විටම විවාදයට තුඩු දුන් මාතෘකාවක් විය.

එයට පදනම් වූ හේතුව නම්, සාමාන්‍ය ජනතාව අතර සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ පොදු වැරදි වැටහීම් ඇති කරමින් තම තමන්ගේ න්‍යාය පත්‍ර ඉදිරියට ගෙන යාම සඳහා බලයට පත් වූ රජයන් සහ දේශපාලනඥයින් විසින් එය තමන්ට අවශ්‍ය පරිදි අර්ථකථනය/ නිර්මාණය කර ඇති ආකාරය පමණක් නොව, මාධ්‍ය විසින් එය සන්නිවේදනය කර ඇති ආකාරය ද වේ.

මෙම වැරදි වැටහීම්/සංකල්පවලින් කිහිපයක් නම්:

(1) එය අපේ සන්නද්ධ හමුදාවන්ට එරෙහි ප්‍රහාරයකි;
(2) ශ්‍රී ලංකාව අඩපණ කිරීම සඳහා බටහිර රටවල් විසින් ගෙනෙනා ලද උපායමාර්ගික සංකල්පයකි;
(3) අපේ රටේ ස්වෛරීභාවයට එය තර්ජනයක් ඇති කරයි;
(4) අපට සංක්‍රාන්ති යුක්තිය අවශ්‍ය නැත - යුද්ධය අවසන් වී අපට ඉදිරියට යා හැකිය.


ශ්‍රී ලංකාව වැනි දුර්වල පශ්චාත් යුද සන්දර්භයක් තුළ යුක්තියේ අවශ්‍යතාවය ඉතා වැදගත් හා අත්‍යවශ්‍ය වූවත්, සෑම විටම එයට සම්බන්ධ සියලු පාර්ශවකරුවන්ගෙන් එක හා සමාන ඉක්මන් සහ/හෝ ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී නොමැත.


# විශේෂයෙන් සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ අදහසට සහ ඒ සමඟ එන 'අන්තර්ජාතික ඇඟිලි ගැසීම්' යන සංකල්පයන්ට රාජ්‍ය හා අන්ත ජාතිකවාදී කණ්ඩායම්  විරුද්ධ වන බවට පෙනී ගොස් තිබේ.  

# ඔවුන්ට අනුව, එය ශ්‍රී ලංකාවට අයිති නොවන ක්‍රියාවලියකි, එය ශ්‍රී ලංකාව මත බලහත්කාරයෙන් පටවනු ලබන අතර එමඟින් ජාතියේ ස්වෛරීභාවයට  බලපෑමක් ඇති වේ.

# සංක්‍රාන්ති යුක්තියට එරෙහි තවත් තර්කයක් නම් පැරණි තුවාල ඉවත් කිරීමට එය උපකාරී නොවන බවත්, අප අතීතය අමතක කර ඉදිරියට යා යුතු බවත් ය.


මෙම ලිපිය මගින් මෙම තර්කවල ඇති සත්‍ය අසත්‍යතාවය පෙන්වා දෙන අතර, "සංක්‍රාන්ති යුක්තිය" සමග බද්ධ වී තිබෙන දේශපාලනය එයින් වෙන් කර, ප්‍රචණ්ඩ සන්නද්ධ ගැටුමකින් පසු අපට යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය අවශ්‍ය වන්නේ ඇයි ද යන්න සාකච්ඡා කරනු ලබයි.



සංක්‍රාන්ති යුක්තිය සහ සංහිඳියාව සමානද?


සංක්‍රාන්ති යුක්තිය යන මෙම යෙදුම දේශපාලන විවාදවලදී සමහර විට 'සංහිඳියාව' යන වචනය සමග එකිනෙක සමග හුවමාරුවෙමින් භාවිතා කරන බව අපට අසන්නට ලැබේ. ඇත්තෙන්ම එයින් අදහස් කරන්නේ කුමක්ද සහ එම යෙදුම් එකිනෙකට සමානද?

සරලවම පැවසුවහොත් සංක්‍රාන්ති යුක්තිය යනු සිවිල් යුද්ධයකින් පසු ශේෂ වන ප්‍රචණ්ඩකාරී හා වේදනාකාරී උරුමයන් සමඟ එකඟතාවයකට ඒමට සමාජයක් උදවු කිරීම අරමුණු කරගත් ක්‍රියාවලියක් සහ පුළුල් යාන්ත්‍රණයකි.

අපරාධ සඳහා වගවීම තහවුරුකරගත් විට සහ යුක්තිය ඉටු වන විට සමාජයකට අදාළ තත්වයන්ට එකඟ වී ඉදිරියට යා හැකිය. සංහිඳියාව සාක්ෂාත් කරගත හැකි වන්නේ එවිට සහ එමගින් පමණි.

සංක්‍රාන්ති යුක්තිය සහ සංහිඳියාව එකම දෙයක් ද යන ප්‍රශ්නයට මෙය අර්ධ වශයෙන් පිළිතුරු දෙයි - නියත වශයෙන්ම එම යෙදුම්  එකක් නොවේ.

සංක්‍රාන්ති යුක්තියේ වැදගත් අංගයක් වන්නේ ගැටුම් තත්වයන්ගෙන් මිදෙන බොහෝ ජාතීන් විසින් සාක්ෂාත් කර ගැනීම අරමුණු කරගත් සංහිඳියාවයි.

සංහිඳියාව ඇති වන්නේ ගැටුම් ඇති කරගත් පාර්ශවයන් එකිනෙකාට ගෞරව කිරීම, එකඟවීම, යුද්ධයේදී ඇති වූ අසාධාරණකම් පිළිබඳ සියලු පාර්ශවයන්ගෙන් පොදු අවබෝධයක් ලබා ගැනීමට එකඟ වීමෙන් සහ ගැටුමෙන් පීඩාවට පත් සියලු ජන කොටස් අතර සාමකාමීත්වය හා සුහද සබඳතා නැවත ස්ථාපිත කිරීමෙනි.


එම නිසා, මූලධර්මයක් වශයෙන් සංක්‍රාන්ති යුක්තිය යනු ඔබව සංහිඳියාව, කරා ගෙන යන වාහනයයි - ගමනාන්තයයි.


මෙම ලිපිය අවධානය යොමු කරන්නේ - සංක්‍රාන්ති යුක්තිය කෙරෙහි පමණක් වන අතර, ශ්‍රී ලංකාවේ අනුක්‍රමික දේශපාලන බලවේග සහ ජනමාධ්‍ය මඟින් වෙරගන්වා තිබෙන වැරදි වැටහීම් දුරලා සත්‍ය අවබෝධ කිරීම කෙරෙහි පමණක් අවධානය යොමු කෙරේ.


(1) එය අපේ සන්නද්ධ හමුදාවන්ට එරෙහි ප්‍රහාරයකි;


amma6

සංක්‍රාන්ති යුක්තියේ අරමුණ වන්නේ ගැටුමකදී බරපතල ලෙස අසාධාරණයට ලක් වූ වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීමයි.

ගැටුමකදී ඇති වන සමහර අසාධාරණකම් නම් වෙනස්කොට සැලකීම, වෛරී සහගත අපරාධ, ඉලක්ක කරගත් ස්ත්‍රී දූෂණ, ජනවාර්ගික සංහාර, ස්වේඡචාවෙන් සිදුනොවූ අවතැන් වීම්, බලහත්කාරයෙන් සන්නද්ධ හමුදාවට බඳවා ගැනීම, සාගින්න සහ රෝග, නිවාස සහ ජීවනෝපාය අහිමි වීම, ආර්ථික අවස්ථා සහ නීතිමය ප්‍රතිකර්ම/සහන ලබාගැනීම  සඳහා ප්‍රවේශය නොමැතිවීම යනාදිය වේ.

යුක්තිය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පදනම් කරගත් මූලික ප්‍රතිපත්ති මාලාවක් පිළිගන්නා ව්‍යවස්ථාවකින් බැඳී සිටින අපි ශිෂ්ට සම්පන්න නීතිගරුක ජාතියක් වන බැවින් එවැනි අපරාධ සිදු වූ විට යුක්තිය අනුගමනය කළ යුතුය.

සන්නද්ධ හමුදාවන්ද එකම නීතිරීති අනුව පාලනය වේ. එපමණක් නොව, මෙම උල්ලංඝනය කිරීම් සිදු කළේ සන්නද්ධ හමුදාවලින් පමණක් නොව කැරලිකාර කණ්ඩායම් විසින් ද එවැනි උල්ලංඝනය කිරීම් සිදු කළ බව පැහැදිලිව තේරුම් ගත හැකිය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් මෑතකදී කළ ප්‍රකාශයේ පවා ඇය එහි වැදගත්කම අවධාරණය කළාය.

"දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය විසින් සිදු කරන ලද අපයෝජනයන් ඇතුළු සියලුම පාර්ශවයන් විසින් ශ්‍රී ලංකාවේ සිදු කරන ලද මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සම්බන්ධව පුළුල් වගවීමේ ක්‍රියාවලියක්"

මෙයින් පැහැදිලිව පෙන්නුම් කෙරෙන්නේ සංක්‍රාන්ති යුක්තිය යනු සන්නද්ධ හමුදාවන්ට එරෙහි ප්‍රහාරයක් නොව යුද්ධයේදී උල්ලංඝනය කිරීම් සිදු කළ අපරාධකරුවන් සියලු දෙනා කෙරෙහිම අවධානය යොමුකරන යාන්ත්‍රණයක් බවයි.


එසේම සන්නද්ධ හමුදාවන්හි ඇතැම් පුද්ගලයින් මෙම අපරාධ සිදුකළත් එය ත්‍රිවිධ හමුදාවේ සුළුතරයක් පමණක් වන අතර සෑම සාමාජිකයකුම අපරාධකරුවන් නොවන බව එයින් අදහස් කරනු ලබයි.  


යුද්ධය අවසන් කිරීම සඳහා සන්නද්ධ හමුදාවන් සිදු කළ සේවය එමගින් කිසිසේත් බැහැර කරන්නේ නැත. අහිංසක සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට සහ හිටපු එල්ටීටීඊ සටන්කරුවන් පුනරුත්ථාපනය කිරීමට සහ අවතැන්වූවන් නැවත පදිංචි කිරීමට සන්නද්ධ හමුදාවන් විසින් ගත් උත්සාහයන් එමගින් කිසිසේත් අවතක්සේරු නොකරයි.

ඇත්ත වශයෙන්ම, අහිංසක සිවිල් වැසියන් බේරා ගැනීම සඳහා සන්නද්ධ හමුදා සිය ජීවිත පරිත්‍යාග කළ බව එය පිළිගන්නා අතර එය කිසිසේත් අමතක කළ නොහැක.


කෙසේ වෙතත්, සෑම පාර්ශ්වයක් විසින්ම එවැනි උල්ලංඝනයන් සිදුකර ඇති බව සහ ඒවාට ප්‍රතිකර්ම/ වන්දි ලබා දිය යුතු බව මෙමගින්  බැහැර නොකරනු ලබයි. මෙය අතීතය ආමන්ත්‍රණය කිරීමේ කොටසක් වන අතර අතීතය පිළිබඳව විමසා බැලීමේ වැදගත්කම නම් මෙවැනි උල්ලංඝනයන්/ගැටුම් නැවත කිසිවිටෙක ඇති නොවීමට වග බලා ගැනීමයි.


එපමණක් නොව, යුද කාලයේ ප්‍රචණ්ඩත්වයන්ට ලක්වූවන්ට යුක්තිය ඉටු කිරීම හැරුණු විට, අපරාධකරුවන්ට ඒවාට වගවීම තහවුරු කිරීම තුළින් එමගින් ත්‍රිවිධ හමුදාවේ සහ විශේෂයෙන් රටේ ගෞරවය හා ප්‍රතිරුපය ආරක්ෂා කරනු ඇත.

නීතියේ ආධිපත්‍යය රකින රජයක් ලෙස ගෞරවයට පාත්‍ රවීමට අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රමුඛස්ථානයක් දිය යුතුයි. දණ්ඩමුක්තිය පවතින රටක, එවැනි දෙයක් නැවත ඇති නොවීම සහතික කළ හැකි එකම ක්‍රමය පූර්ණ හා සාධාරණ යුක්තිය ක්‍රියාවට නැංවීමයි.



(2) ශ්‍රී ලංකාව අඩපණ කිරීම සඳහා බටහිර රටවල් විසින් ගෙනෙනා ලද උපායමාර්ගික සංකල්පයකි;

amma3


ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියට මගපෙන්වනු ලබන්නේ රජය විසින් සම අනුග්‍රහය දැක්වූ එක්සත් ජාතීන්ගේ යෝජනාව 30/1 මගින් වන අතර එය මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයින් විසින් ඒකමතිකව සම්මත කරන ලදී.

පසුගිය යුධ සමයේදී සිදුකරන ලද මානව හිමිකම් උල්ලංඝනයන්හි වගඋත්තර කරුවන් සෙවීම සඳහා එක්සත් ජාතීන්ගේ සහයෝගය ඇතිව රජය සහ සිවිල් සංවිධාන සම්පුර්ණ සංක්‍රාන්ති යුක්ති උපාය මාර්ගයක් අපේක්ෂා කළහ.

මෙම අරමුණ සඳහා සංක්‍රාන්ති යුක්තියේ කුලුණු හතර පදනම් කරගෙන සාමය ගොඩනැගීමේ ප්‍රමුඛතා සැලැස්ම සකස් කරන ලදී.

සංහිඳියාව; යහපාලනය; නැවත පදිංචි කිරීම සහ කල් පවත්නා විසඳුම්


'සම අනුග්‍රහය' යන්නෙන් මූලික වශයෙන් අදහස් කරන්නේ, ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා පියවර ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාව විසින් මෙම යෝජනාව කෙටුම්පත් කළ බවයි. එම නිසා එය කිසිසේත් බටහිරජාතීන්  විසින් සකස් කරන ලද්දක් නොවන අතර, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, මොන්ටිනිග්‍රෝ සහ මැසිඩෝනියාව යන රටවල් සමඟ යෝජනාව සකස් කිරීමේදී ශ්‍රී ලංකාව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය.


මෙය වැදගත් වන්නේ එම ක්‍රියාවලිය පාලනය කිරීමේ බලය ශ්‍රී ලංකාවට ඇති අතර රටට ගැළපෙන කොන්දේසි සකස් කිරීමටද එයට හැකි වූ බැවිනි.

සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව ඉතා වගකීමෙන් කටයුතු කරන බව ජාත්‍යන්තර ප්‍රජාවටද එය පෙන්වා දුන් අතර ඊටත් වඩා වැදගත් වන්නේ එමගින් රජය දෙමළ ප්‍රජාවට ඔවුන්ගේ දුක් ගැනවිලි පිළිබඳව සලකා බලන බවට සංඥා කිරිමත් අවසානයේ යුක්තිය ඉටු වන බවට හා යුද්ධයේදී අහිමි වූ ගෞරවය නැවත ලබා දෙන බවට බලාපොරොත්තුවක් ඇති කිරීමයි.

මෙය රජයේ ප්‍රබල ඉදිරි පියවරක් විය.

 මේ යටතේ ඉඩම් නිදහස් කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවා සිටි සමහර දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ  (OMP) මෙහයුම් ආරම්භ කිරීම, සහ වන්දි ගෙවීමේ කාර්යාලය සඳහා වූ පනත සම්මත කිරීම යන ක්‍රියාමාර්ගයන් ගනු ලැබූවද  යෝජනා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම හා එහි ප්‍රගතිය මන්දගාමී විය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ  (UNHRC)  සාමාජික රටක් වශයෙන් ශ්‍රී ලංකාව සම්මත වූ යෝජනාව අනුව ක්‍රියා කිරීමට බැඳී සිටී.

මෙය ක්‍රියාවට නැංවීම අර්ධ වශයෙන් පමණක් සිදු කළත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට වැඩි කාලයක් ලබා දුන්නේ යෝජනා දෙකක් සම්මත කර ගනිමිනි:


2017 දී 34/1 යෝජනාව සහ 2019 දී 40/1 යෝජනාව, එමගින් ,බටහිර , ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය පෙන්නුම් කෙරේ. එපමණක් නොව, ශ්‍රී ලංකාව තුළ සංක්‍රාන්ති යුක්තිය සහ සංහිඳියාව තහවුරු කිරීම සඳහා එක්සත් ජාතීන් විසින් ලබා දුන් තාක්ෂණික සහයෝගය සහ අරමුදල් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය තහවුරු කරන අතර එමඟින් සංක්‍රාන්ති යුක්තිය බටහිර ලංකාව අඩපණ කිරීමේ ක්‍රියාමාර්ගයක් යන වැරදි අදහස නිෂ්ප්‍රභ කරයි.



(3) අපේ රටේ ස්වෛරීභාවයට එය තර්ජනයක් ඇති කරයි;


 ස්වෛරීභාවය යන්නේ මූලික හරය වන්නේ ස්වකීය රාජ්‍යය පාලනය කිරීමට රජයට පවත්නා අධිකාරියයි. ස්වෛරී රාජ්‍යයක් වීම යන්නෙන් අදහස් කරන්නේ රාජ්‍යයන්ට තමන්ගේම නීති සෑදීමට හා ක්‍රියාත්මක කිරීමටත්, එයට භෞමික දේශසීමා නිර්වචනය කිරීමටත්, ආර්ථික ක්‍රියාකාරිත්වය හැඩගැස්වීමට හැකි වීමයි.

නමුත් තමන්ගේම පුරවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ ප්‍රතිවිපාකවලට මුහුණ දීමෙන් රාජ්‍යයන් ආරක්ෂා වී ඇති බව කිසිඳු ආකාරයකින් මෙයින් අදහස් නොවේ. න්‍යායානුකූලව ස්වෛරීභාවය සරල හා පැහැදිලි බවක් පෙනීගියත් ප්‍රායෝගිකව කළු සුදු වශයෙන් පැහැදිලිව හඳුනාගත නොහැක.

ගෝලීය වෙළෙඳපොළ ආර්ථිකයක් මතුවීමත් සමඟ රාජ්‍යයන් වැඩි වැඩියෙන් සෙසු රාජ්‍යයන් මත රඳාපැවතීමත් /එකිනෙකා මත යැපීමක් දක්නට ලැබෙන අතර එමගින් 'සත්‍ය' ස්වෛරීභාවය පිළිබඳ සීමාමායිම් බිඳදමමින් එම සංකල්පය ප්‍රශ්න කරනු ලබයි.

  - දකින්නට තිබෙන හෝ එසේ තිබෙනවායැයි සංකල්පනය කරනු ලබන බාහිර ක්‍රියාකාරීන්ගේ ඇඟිලි ගැසීම් ඇතිව හෝ නැතිව එනම් මෙම අවස්ථාවේදී එක්සත් ජාතීන් වැනි ජාතික සීමාවන් ඉක්මවා යන ආයතනවල බලපෑම හමුවේ මෙම තත්ත්වය විද්‍යමාන වේ.

සංක්‍රාන්ති යුක්තිය සම්බන්ධයෙන්  "අපේ ස්වෛරීභාවයට තර්ජනයක්" යන හැඟීම පැමිණෙන්නේ මෙතැනිනි. එය ජාතියක ස්වෛරීභාවයට තර්ජනයක් සේ පෙනේ. මන්දයත් එක්සත් ජාතීන්ගේ යෝජනාවක් මගින් බාහිරව මෙම උපදෙස් එන බැවිනි. එම නිසා මෙම ගැටලුව සම්බන්ධයෙන් ගත් විට තමන්ගේම තීරණ ගැනීමේ බලයක් ශ්‍රී ලංකාවට නැති බව පෙනේ.

මෙය ශ්‍රී ලංකාව සඳහා නිවැරදි ක්‍රියාමාර්ගය නොවන බව ජනතාවට ඒත්තු ගැන්වීම සඳහා දේශපාලනඥයින් විසින් මෙම නොමග යවන සුළු කථාව ඉතා සියුම් ලෙස වෙනතකට යොමු කරවා ඇත. උදාහරණයක් වශයෙන්, යෝජනාවෙන් ඉවත් වීමට අදහස් කරන බව ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දුන් අවස්ථාවේදී  විදේශ ඇමතිවරයා සඳහන් කළේ යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම "අද දක්වාම ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සහ අභිමානයට  කැළලක්" බවයි.


කෙසේ වෙතත්, මීට ඉහතදී පැහැදිලි කළ පරිදි, සංක්‍රාන්ති යුක්ති යාන්ත්‍රණයට මග පෙන්වන යෝජනාවට ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දැක්වූ අතර, එයින් අදහස් කරන්නේ, සැලසුම් ක්‍රියාවලියේ කොටසක් ලෙස ශ්‍රී ලංකාව සිටි බවයි, එමඟින් මේ සම්බන්ධයෙන් ගනු ලැබූ  තීරණ කෙරෙහි ශ්‍රී ලංකාවට බලයක් නැත යන කාරණය ප්‍රතික්ෂේප කරයි.


මෙම තර්කය ද ප්‍රධාන වශයෙන් මතු වන්නේ සංක්‍රාන්ති යුක්ති යාන්ත්‍රණයේ එක් මුහුණුවරක් රටේ නීතිය සහ නීති පද්ධතිය සමඟ සම්බන්ධ වන අංගයක් වන බැවිනි.

මෙය සම්බන්ධ වන්නේ ශ්‍රී ලංකා රජය විසින් යෝජනා කරන ලද, විශේෂ අධිකරණ හෝ විශේෂ අධිකරණ යාන්ත්‍රණය සමඟ ය.

 "මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම සඳහා විශේෂ මාර්ගෝපදේශ" සමඟ මෙම යාන්ත්‍රණය පිහිටුවීමට යෝජනා විය. (එක්සත් ජාතීන්ගේ යෝජනාව 30/1 වගන්තිය 6).

මෙහි ඇති වැදගත්කම නම් රටේ සුපුරුදු අධිකරණ යාන්ත්‍රණයෙන් පරිබාහිරව විශ්වසනීය හා ස්වාධීන යුක්ති ක්‍රියාවලියක අවශ්‍යතාව ශ්‍රී ලංකාව විසින් හඳුනා ගැනීමයි.

සංක්‍රාන්ති යුක්තිය සම්බන්ධයෙන් මෙවැනි ක්‍රියාමාර්ගයන් සාමාන්‍යයෙන් සිදු කෙරෙන්නේ, යුද්ධය පැවැති සමයේ සිදු වූ උල්ලංඝනය කිරීම් සම්බන්ධ නඩු පැවරීම මගින් රටේ සාමාන්‍ය අධිකරණයට දැරිය නොහැකි පරිදි වඩා අධික බරක් පැටවෙන බැවිනි.

එසේම, මෙවැනි මහා පරිමාණ නීති කඩකිරීම් සමඟ කටයුතු කිරීමට සිදු වන පළමු අවස්ථාව මෙය වන අතර එම නිසා මෙවැනි අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරීමට නීතිමය රාමුවක් එයට නැත. එම නිසා යුද අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරීමට ඉඩ සලසන නීති සකස් කිරීම සඳහා විශේෂ තාක්ෂණික සහාය අවශ්‍ය වේ.



එපමණක් නොව, ස්වෛරීභාවයට ඇති තර්ජනය සම්බන්ධව මෙම තර්කයට තුඩු දුන් තවත් ප්‍රධාන විවාදාත්මක කරුණක් නම් විදේශීය විනිසුරුවන් ගැන සඳහන් කිරීම ය. කෙසේ වෙතත්, සඳහන් නොවන සහ මහජනතාව අතර එතරම් ප්‍රචලිත නොවන කරුණ නම්, බාහිර පුද්ගලයින්ගෙන් තාක්ෂණික දැනුමක් සහ කුසලතා ලබාගත හැකිව තිබෙන නමුත්, සමස්ත ක්‍රියාවලියම පාලනය කිරීමේ බලය සහ එවැනි අධිකරණයක් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ කොන්දේසි සැකසීමේ බලය ශ්‍රී ලංකාව සතුව පැවතීමයි.  


 ශ්‍රී ලංකාවේ සන්දර්භය තුළ විදේශීය විනිසුරුවන්හට වැඩ කළ හැකිද නැද්ද යන්නට අභියෝග කළ හැකිය. කෙසේ හෝ, අපි ක්‍රියාවලියට සම්බන්ධවීම  ප්‍රතික්ෂේප කරන තරමට සහ එහි අයිතිය ලබා ගැනීමට අපොහොසත් වන තරමට අපට අපගේ පාලනය අහිමි වේ.

 එම නිසා මෙම මිථ්‍යාවෙන් ඉවත් වීම වැදගත් වන්නේ එය තිරසාර සාමය පිළිබඳ බලාපොරොත්තුවට සහ එම ක්‍රියාවලියේ සෑම මට්ටමකම හිමිකාරිත්වය ගැනීමට බාධා පමුණුවන බැවිනි.  දිනෙන්දින ඉහළ යමින් පවත්නා අන්තර් සම්බන්ධිත ගෝලීය පාලන ක්‍රමයක් තුළ, ශ්‍රී ලංකාව පිළිබඳ සිදුකරන්නාවූ සංවාදයේදී ශ්‍රී ලංකාව එහි අසුන් ගැනීම අත්‍යවශ්‍ය ය.


(4) අපට සංක්‍රාන්ති යුක්තිය අවශ්‍ය නැත - යුද්ධය අවසන් වී ඇත. අපට ඉදිරියට යා හැකිය.


මෙය විශේෂයෙන් සිංහල අධි-ජාතිකවාදී කඳවුරු විසින් නගන ප්‍රබල  තර්කයකි. අපට අතීතය තුළ ජීවත් වීමට (එල්බී සිටීමට) කිරීමට අවශ්‍ය ඇයි, අපි ත්‍රස්තවාදය පරාජය කළෙමු, අපි යුද්ධය ජයග්‍රහණය කළෙමු, දැන් සියල්ල සුරක්ෂිත වන අතර සාමකාමීය, අපි පැරණි තුවාල පාරා නොගෙන ඉදිරියට යමුද?

අවාසනාවට එය මේ ආකාරයෙන් සිදු නොවේ.  

ගැටුම් චක්‍රයක් ආකාරයෙන් පැනනගී, අපි ඒවායෙහි මූලික හේතුවලට විසඳුම් ලබා නොදුනහොත් ගැටුම නැවත ඇති වීමට බොහෝ දුරට ඉඩ ඇත. එය සමහර විට එකම ආකාරයකින් නොව විවිධ ස්වරූපයන්ගෙන් සහ විවිධ කාලවලදී, සමහර විට මෙතැන් සිට අවුරුදු 10, 20, 30 තුළ ඇති වනු ඇත.

අපේ ඉතිහාසයේ මෙය සිදු වන ආකාරය අපි දුටුවෙමු, 1971 කැරැල්ල - නැවත 1987 දී ආරම්භ වී 1989 දක්වා පැවති ජනතා විමුක්ති පෙරමුණ  (JVP) විසින් මෙහෙයවනු ලැබූ සන්නද්ධ කැරැල්ල උදාහරණ වේ.


amma4
1980 දශකයේදී ආරම්භ වූ එල්ටීටීඊ කැරැල්ල 1983 සිට සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය විය. 2009 දී එල්ටීටීඊ පරාජයත් සමඟ යුද්ධය අවසන් වූ අතර, දශකයකටත් වැඩි කාලයකට පසුවත්, ජාතීන් අතර සහ ආගමික කණ්ඩායම් අතර ගැටුම් ව්‍යාප්ත වීමත් සමඟ ව්‍යුහාත්මක ප්‍රචණ්ඩත්වය වෙනත් ආකාරවලින් ක්‍රියාත්මක වන අයුරු අපිට තවමත් දැකිය හැකිය.

එසේ නම්, යුද්ධය ජයග්‍රහණය කළත් ගැටුම සැබවින්ම අවසන් වී ඇත්දැයි අප අපගෙන්ම විමසා බැලිය යුතුයි. ගැටුමට මූලික හේතු පෙන්වා දෙන දුක්ගැනවිලි විසඳීමේ වැදගත්කම සහ ඒවා අවසන් කිරීමේ වැදගත්කම සහ නැවත අවධාරණය කරයි.


යුක්තිය ඉටු නොවන්නේ නම් මෙම ගැටුම් නැවත නැවතත් උත්තේජනය/ හිස ඔසවනු ඇත - එයින් ඇඟවෙන්නේ යුද්ධය වසර 12 කට පෙර අවසන් වුවද සංක්‍රාන්ති යුක්තිය අවශ්‍ය වන්නේ ඇයිද යන්නයි. අතීත වැරදි නැවත සිදු නොකිරීමට ඉදිරියේදී වග බලා ගැනීම සඳහා රටක් වශයෙන් අප සිටි තැන/ පසුබිම් වූ හේතු පිළිබඳව සොයා බැලීම වැදගත් ය.


එක්සත් ජාතීන්ගේ යෝජනාව 30/1 මගින් යෝජනා කරන ලද සංක්‍රාන්ති යුක්ති යාන්ත්‍රණයෙහි යුද්ධයේදී අසාධාරණයන්ට ලක් වූ පාර්ශවයන්ට සර්ව සම්පූර්ණ විසඳුමක් ලබා ගත හැකි විවිධ පැතිකඩයන් ආමන්ත්‍රණය කළ හැකි තීරණාත්මක වැදගත් යාන්ත්‍රණයන් අඩංගුවී ඇත.

උදාහරණයක් වශයෙන් සත්‍ය සෙවීමේ කොමිසමට යුද්ධයේදී සිදු වූයේ කුමක්ද යන  සත්‍ය හෙළි කළ හැකිය. යුද්ධය පිළිබඳ කෙනෙකුගේ දැක්ම/අදහස්  අනුව සත්‍යය යන්න විවිධ පුද්ගලයින්ට වෙනස් විය හැකි නමුත් විවිධ සත්‍යයන් පිළිගැනීමෙන් එනම් යුද්ධයේ විවිධ වෘත්තාන්ත හෙළිකිරීම මගින්, සහනයක් ලබාගැනීම/සුව කිරීම සහ නිමා කිරීම සිදු කළ හැකිය.


මෙහිදී සඳහක් කළ යුතු වැදගත් කරුණක් වන්නේ සත්‍ය කොමිසමට සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීම පමණක් සිදු කළ හැකි අතර අපරාධකරුවන්ට එරෙහිව නඩු පැවරිය නොහැකි වීමයි.


එය වැදගත් වන්නේ වින්දිතයින්ට පමණක් නොව අපරාධකරුවන්ටද යුද්ධයේ ඔවුන්ගේ අනුවාදය පැවසීමේ හැකියාව ඇති අතර එය ප්‍රසිද්ධියේ පිළිගැනීමට ලක් කළ හැකි  බැවිනි.

දකුණු අප්‍රිකාව වැනි රටවල සත්‍ය කොමිසම සතුරන් අතර සබඳතා ගැඹුරින් ගොඩනැගීමට සහ ප්‍රතිෂ්ඨාපනය කිරීමට හේතු වී ඇත - සංහිඳියාව සඳහා තවත් ඉදිරි පියවරක් තැබීමට මෙමගින් හැකි විය.

සත්‍ය කොමිෂන් සභාවේ වාර්තාවලින් යුද්ධයේදී නැති වී හෝ අතුරුදහන් වූ අය පිළිබඳව තොරතුරු සොයාගැනීමට හැකි වේ.

මෙය අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ  (OMP)  වැඩකටයුතුවලට උපකාරවන අතර එමගින් නැතිවූ හෝ අතුරුදහන් වූවන්ට සිදු වූ දේ සොයා ගැනීමට සහ එම සොයා ගැනීම් මත පදනම්ව පවුල්වලට පිළියම් ලබා දේ.

 අතුරුදහන් වූවන්ගේ කාර්යාලය 2017 දී සිය වැඩ කටයුතු ආරම්භ කළ අතර නැති වූ හෝ අතුරුදහන්වූවන්ගේ නමින් ලියාපදිංචි වූ ඉඩම් හෝ වෙනත් වත්කම් හෝ මූල්‍යමය හිමිකම් සඳහා පවුල්වලට භාවිත කළ හැකි නීතිමය ලියකියවිලි ලෙස  'නොමැති බවට සහතික' ලබා දීමට හැකි වී තිබේ.


amma5

තම දරුවන් සිටින්නේ කොහේදැයි නොදැන මව්වරුන් තවමත් විරෝධතාවයේ යෙදී සිය දුක් වේදනා විඳිමින් සිටින බැවින් අතුරුදහන් වූවන්ගේ කාර්යාලය විසින් කළ යුතු තවත් බොහෝ දේ ඇත.

වන්දි ගෙවීමේ කාර්යාලය යුද්ධයේදී පීඩාවට පත් වූවන්ට සහ පීඩාවට පත් වූවන්ට මූල්‍යමය සහනයක් ලබා දිය හැකි තවත් යාන්ත්‍රණයකි - වන්දි ලබා දීමට හා ඉදිරියට යාම සඳහා එය ප්‍රමාණවත් නොවිය හැකිය - නමුත් විශේෂයෙන් යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස සමස්ත ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින් සඳහා.වෙනත් යාන්ත්‍රණ සමඟ ඒකාබද්ධ වීමෙන් පවුල්වලට විශාල සහනයක් ලබා දිය හැකිය -


අවසාන වශයෙන්, ඉහත කොටසේ විස්තර කර ඇති අනෙක් යාන්ත්‍රණය වන විශේෂ අධිකරණයට, යුද්ධයේදී දරුණුතම අපරාධ සිදු කළ පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමෙන් දඬුවම් ලබා දිය හැකිය. මෙවන් අපරාධ සිදුකිරීමේ ප්‍රතිවිපාක පිළිබඳව පණිවිඩයක් ලබාදීමෙන් අනාගතය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර අනාගතයේදී එවැනි ගැටුම් සිදු වීම වැළැක්වීමට සහ වළක්වා ගැනීමට හැකි වේ.


මෙහි දී වඩාත්ම වැදගත් කරුණක් වන්නේ මිනිසුන් තම දුක් වේදනා අන් අය විසින් පිළිගැනීම දැකීමට කැමැත්තක් දැක්වීමයි. සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලිය, පරිපූර්ණ ලෙස භාවිතා කළහොත් ගැටුමේ සෑම පැත්තක් පිළිබඳවම එහි වින්දිතයින්ට අවබෝධයක් ලබා දිය හැකියි.

නැගෙනහිර මාන්තෙයි හි අතුරුදහන් වූ එක් මවක් පැවසූ කරුණු පිළිබඳව සීටීඑෆ් වාර්තාවෙන් මෙය පැහැදිලිව නිරුපනය වේ :


"මිනිසුන් නිකන් මැරුණේ නැහැ, කවුරුන්හරි ඔවුන්ව මැරුවා. ඔවුන් අතුරුදහන් වූයේ නැහැ. කවුරුහරි ඔවුන්  අතුරුදහන් කළා" එමගින් අදහස්වන්නේ සත්‍ය හා යුක්තිය නොමැති වූවිට මිනිසුන් අඛණ්ඩව දුක් විඳිමින් අතීතය සොයා බලන බවයි.


ඉදිරි මාවතක් නොමැතිව මඩේ සිර වී සිටීම:



මෙම කොටස ලියන ලද්දේ සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ සංකල්පයක් වශයෙන් ඇති ප්‍රධාන වැරදි වැටහීම් සමහරක් ඉවත් කිරීමේ අරමුණින් පමණක් නොව, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සංක්‍රාන්ති යුක්තිය ද වෙනස් කිරීමේ අරමුණින් ය.

ඇත්තෙන්ම රටට ඉදිරියට යාමට සහ සංහිඳියාව ඇති තැනකට ළඟාවීමට හැකි වීම සඳහා එවැනි යාන්ත්‍රණයක අවශ්‍යතාව පිළිගැනීමට අපව සමීප කරවන ලෙස අපගේ  මානසිකත්වයන් වෙනස් කිරීමේ බලාපොරොත්තුවෙනි.

යුක්තිය නොමැතිව සාමයක් පැවතිය නොහැකි අතර, ජාතියක් වශයෙන් අපි මෙය බැරෑරුම් ලෙස සලකන තුරු ගැටුම් විවිධ ස්වරූපවලින් සිදුවන බව අපට දැකිය හැකිය. මෙය රටේ ආරක්ෂාව සහ සමගියට පමණක් නොව, රටේ ආර්ථික තත්වයන්ට දැඩි ලෙස බලපෑම් කරනු ලබයි.

මෙම ලිපිය මඟින් එක්සත් ජාතීන්ගේ යෝජනාව පදනම් කරගත් සංක්‍රාන්ති යුක්තිය ගවේෂණය කළේ ලංකාව සඳහා යෝජිත යාන්ත්‍රණයේ පදනම මෙය වූ බැවිනි.

කෙසේ වෙතත්, එහි අඩුපාඩු නොමැති බව මින් අදහස් නොවේ.

අවසාන වශයෙන්, ඕනෑම යාන්ත්‍රණයකින් ජනතාවට එයින් අවශ්‍ය කුමක්දැයි බැරෑරුම් ලෙස සලකා බැලිය යුතුය.

CTF හි සොයා ගැනීම් ආරම්භක ලක්ෂ්‍යයක්/ස්ථානයක් වන අතර එමගින් සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලිය තුළින් මිනිසුන් සිතන්නේ කුමක්ද සහ අවශ්‍ය වන්නේ මොනවාද යන්න හොඳින් විමසා බලයි. කුමන ආණ්ඩුව බලයේ සිටියත් මෙම හඬට කන් දී ඒවා සම්බන්ධයෙන් සැලකිල්ල යොමු කිරීම අවශ්‍ය වේ.


අවසානයේදී, එක්සත් ජාතීන්ගේ යෝජනාව සමඟ හෝ නැතිව යුක්තිය ඉටුකිරීම අවශ්‍ය වේ. යුක්තිය ඉටු නොවන්නේ නම් සහ වින්දිතයින්ගේ දුක් ගැනවිලිවලට නිසි පිළියම් යෙදුවේ නැත්නම් - අතීතය නැවත හොල්මන් කරනු ඇත.


(මෙම ලිපිය ඉංග්රීසි භාෂාවෙන් සිංහල භාෂාවට පරිවර්තනය කළේ OLEECO SOLUTIONS පුද්ගලික සමාගම විසිනි) 

@Theleader.lk

නවතම ලිපි