තුප්පහි වැලන්ටයින් ඩේ=මානව හිතවාදී නෙරූඩා...?- අනෝමා ජනාදරී

මම ඒකිට වෛර කරනවා...

නැහැ. ඔයා එයාට තාමත් ආදරය කරනවා...!- අශෝක හඳගම

-----------------------------------------------

Reenactment of the St. Valentine's Day Massacre, which occurred when reputed members of the Al Capone gang disguised themselves as policemen and murdered members of the George "Bugs" Moran gang in a garage, located at 2122 North Clark Street in the Lake View community, being held by Cook County Coroner Dr. Herman N. Bundesen and investigators, Chicago, Illinois, 1929.

 

dulik 1

වැලන්ටයින් දිනය කිව්වම ලොව පුරාම සමරන්නෙ ආදරය, ප්‍රේමය වගේ අතිශය සුන්දර දේවල් උනාට 1929 පෙබරවාරි 14 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නගරය වැලන්ටයින් දිනය සැමරුවෙ ලේ වලින්. මීට වසර අනූ තුනකට පෙර පෙබරවාරි 14 වැලන්ටයින් දිනය උදාවෙන්නෙ එක්සත් ජනපද ඉතිහාසයේ වඩාත් කුප්‍රකටම සමූල ඝාතනයක් ලෙස සැලකෙන “ශාන්ත වැලන්ටයින් දින සමූල ඝාතනය” සමඟින්. චිකාගෝ නගරයේ අඳුරු සීතල උදෑසනක මාෆියා කල්ලි සාමාජිකයින් හත් දෙනෙකු තමයි මෙලෙස ඝාතනයට ලක්වෙන්නෙ. පොලිස් නිලධාරීන් ලෙස සැරසුන පුද්ගලයින් සිව්දෙනෙකු විසින් මාෆියා කල්ලි නායකයෙකු ලෙස කටයුතු කළ බග්ස් මොරාන්ගේ මූලස්ථානය ලෙස ක්‍රියාත්මක වූ චිකාගෝ නගරයේ උතුරු ක්ලාක් වීදියේ ගරාජයකට ඇතුලුවී ඔහුගේ සහචරයින් හත් දෙනෙකු මෙලෙස වෙඩි තබා මරා දමනව. මෙම සිදුවීම සැලකෙන්නෙ පරම ප්‍රතිවාදීන් වන අල් කැපෝන්ගෙ ඉතාලි මාෆියා කල්ලිය සහ බග්ස් මොරාන්ගෙ අයිරිෂ් මාෆියා කල්ලිය අතර ඇතිවූ යුද්ධයේ කූටප්‍රාප්තිය ලෙසයි.


dulik 2

අල් කැපෝන්

     අල්ෆොන්ස් ගේබ්‍රියල් කැපෝන් එහෙමත් නැත්නම් “ස්කාෆේස්” කියන නික්නේම් එකෙන් හඳුන්වන්නෙ ඇමෙරිකා එක්සත් ජනපද ඉතිහාසයේ බිහිවුනු කුප්‍රකටම පාතල නායකයින් කිහිපදෙනා අතරින් කෙනෙක් කිව්වොත් හරි. 1899 දි නිව්යෝර්ක් නගරයේ බෘක්ලින්හි සංක්‍රමණික ඉතාලි ජාතික දෙමව්පිය යුවලකට දාව උපත ලබන මොහු යොවුන් වයසේදීම පාතාල කල්ලි සමග එක්ව කටයුතු කර ක්‍රම ක්‍රමයෙන් තමන්ගේම බලයක් ගොඩනගා ගත් අයෙක්. හයවන ශ්‍රේණියෙන් පස්සෙ පාසල් අධ්‍යාපනයට නැවතීමේ තිත තබන කුඩා අල්ෆොන්ස් ජොනී ටොරියෝගේ නායකත්වයෙන් යුතු වීදී කල්ලියකට සම්බන්ධ වෙනව. “ෆයිව් පොයින්ට්ස් ගැන්ග්” නමින් හඳුන්වපු මෙම කල්ලියෙන් තමයි චාල්ස් “ලකී” ලුසියානෝ වැනි පසුකාලීනව ඇමෙරිකානු පාතාලයේ නම ගිය චරිත බිහිවෙන්නෙත්. මෙම කල්ලියේ එවකට නායකයාව සිටි ජොනී ටොරියෝ චිකාගෝ වෙත සංක්‍රමණය වීමත් සමඟ ඔහු වයස අවුරුදු විසි ගනන්වල සිටි අල් කැපෝන්ව චිකාගෝ වෙතට කැඳවාගනු ලබනව. එතැන් පටන් අල් කැපෝන් කටයුතු කරන්නෙ ජොනී ටොරියෝගේ ප්‍රධාන අංගාරක්ෂකයෙකු ලෙස වගේම එම මාෆියා කල්ලියේ දෙවෙනියා ලෙස. 

     මේ වෙද්දි ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වූ ව්‍යාපාරයක් වන නීතිවිරෝධී මත්පැන් පෙරීම සහ බෙදාහැරීම තමයි මේ පාතාල කල්ලියෙත් ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්වෙන්නෙ. හැබැයි තමන්ගෙ නීතිවිරෝධී ආදායම් සැඟවීම සඳහා මේ කල්ලිය වෙනත් නීත්‍යානුකූල ව්‍යාපාර වලත් නිරතවෙනව වගේම ඉහළ මට්ටමේ රාජ්‍ය නිලධාරීන්, කම්කරු සංගම් සහ නායකයින් සමඟ එක්ව කටයුතු කරනව. මේ කාල සීමාව තුළ “නෝත් සයිඩ් ගැන්ග්” නමින් හඳුන්වපු තවත් මාෆියා සංවිධානයක් චිකාගෝව තුළ ප්‍රබලව ක්‍රියාත්මක වුනා. මෙම මාෆියා සංවිධාන අතර ඇතිවුන ගැටුම් හේතුවෙන් 1925 දි එක් වතාවක ජොනී ටොරියෝ දිවි ගලවගන්නෙත් නූලෙන්. වෙඩි තැබීමක් හේතුවෙන් බරපතල තුවාල ලබන ජොනී ටොරියෝ මේ සිද්ධියෙන් පස්සෙ තමන්ගෙ මාෆියා සංවිධානයෙ කටයුතු තරුණ අල් කැපෝන් වෙත පවරල නැවතත් බෘක්ලින් වෙත යන්නෙ විශ්‍රාම ජීවිතයක් ගතකරන්න. මේ තමයි අල් කැපෝන්ගෙ නැගීම සිද්දවෙන තැන. 


dulik 3

     නීතිවිරෝධී මත්පැන් ජාවාරම හේතුවෙන් පාතාල කල්ලි අතර බලය උදෙසා සහ තමන්ගෙ ආධිපත්‍යය පැතිරවූ ප්‍රදේශ වෙනුවෙන් බරපතල අරගල නිර්මාණය වෙනව. මෙතෙන්දි අල් කැපෝන් කියන නම අනිත් පාතාල කල්ලි අතර ප්‍රකට වෙන්න ගත්තෙ තමන්ගෙ විරුද්ධවාදීන්ව තමන් ක්‍රීඩා කළ චෙස් බෝඩ් එකෙන් අනුකම්පා විරහිතව තුරන් කළ භයානක චරිතයක් ලෙසයි. ඔහුට තිබූ මේ බියජනක කීර්තිය කැපෝන් කල්ලියේ ක්ෂණික නැගීමට මග පාදනව. කැපෝන් වැඩි වැඩියෙන් ප්‍රචණ්ඩකාරී ක්‍රම මගින් තම ව්‍යාපාරය පුළුල් කළ නමුත් නගරාධිපති විලියම් හේල් තොම්සන් සහ  පොලිසිය සමඟ තිබූ අන්‍යෝන්‍ය වශයෙන් ලාභදායී සබඳතා නිසා ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමෙන් ආරක්ෂිත වූ බවක් පෙනෙන්නට තිබුණි.

ඒ වගේම පුණ්‍යායතන වලට නිරන්තරයෙන් පරිත්‍යාග සිදු කිරීම නිසා මේ කාලයෙදි ඔහුව සමහරු හැඳින්නුවෙ නූතන රොබින්හුඩ් ලෙස. නමුත් 1929 පෙබරවාරි මස 14 වන දින සිදුවූ ශාන්ත වැලන්ටයින් දින සංහාරය ඔහුට තිබූ මෙම මහජන ප්‍රතිරූපය විනාශ කරන්න හේතුවක් වෙනව. මෙය චිකාගෝ කල්ලි යුගයේ ප්‍රචණ්ඩත්වය පැතිරවූ උච්චතම අවස්ථාව ලෙස සැලකිය හැකියි. මෙම සිදුවීමත් සමඟ සමාජයේ බලවත් පුරවැසියන් කැපෝන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස රජයට බල කරනු ලැබුව විතරක් නෙමෙයි පුවත්පත්වලින් කැපෝන්ව “අංක එකේ මහජන සතුරා” ලෙස නම් කරනු ලැබුවා. 

dulik 4

බග්ස් මොරාන්

     ප්‍රංශ ජාතික සංක්‍රමණිකයෙකු වූ යූල්ස් ඇඩෙලාඩ් කුනින් සහ කැනේඩියානු ජාතික මාරි ඩයනා ගොබෙයිල් හට දාව මිනසෝටා ප්‍රාන්තයේ ශාන්ත පෝල් හිදී වර්ෂ 1893 දි ඇඩෙලාඩ් කුනින් යන නමින් තමයි ජෝර්ජ් ක්ලැරන්ස් බග්ස් මොරාන් උපත ලබන්නෙ. නව යොවුන් වියේදිම පාසල් අධ්‍යාපනය හමාර කරන බග්ස් මොරාන් වෙළඳසැලක් මංකොල්ල කෑමේ වරදට අසුව බාල වයස්කරුවන් සඳහාවන පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යොමු කරනු ලබනව. එතැන් සිට ඔහුට වයස අවුරුදු විසි එක වන තෙක් තුන්වතාවක් සිරගත වන මෙම තරුණ මංකොල්ලකරුවා ඉන්පසුව චිකාගෝ වෙත පලාගොස් එහිදී තවත් කොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ වෙනව. 

     බග්ස් මොරාන්ගෙ පාතාල ජීවිතයෙ හැරවුම් ලක්ෂ්‍යය තමයි ඩීන් ඔ’බැනියන් විසින් මෙහෙයවපු නෝත් සයිඩ් ගැන්ග් එකට සම්බන්ධවීම. මේ වෙද්දි එක්සත් ජනපද රජය මගින් මත්පැන් බෙදාහැරීම තහනම් කිරීම නිසා නීතිවිරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය හා බෙදාහැරීම ජයටම කරගෙන ගිය කාලයක්. මේ හේතුවෙන් මුලින් සඳහන් කළා වගේ පාතාල කල්ලි අතර තරඟයක් නිර්මාණය වෙනව. මේ උතුරු කල්ලියට සිටි ප්‍රධාන ප්‍රතිවාදිය තමයි දකුණු කල්ලිය. එහෙමත් නැත්නම් අල් කැපෝන්. මෙහිදී උතුරු කල්ලියේ හයිමී වයිස් සහ බග්ස් මොරාන් එක්ව අල් කැපෝන් වෙත ප්‍රබල අභියෝගයක් එල්ල කරනව. අල් කැපෝන් සහ මොරාන් අතර මෙම ගැටුම දිගින් දිගටම ඇදී යන්නෙ දෙපාර්ශවයටම හානි සිදුකරමින්. මොරාන් තුළ කැපෝන් කෙරෙහි පැවති වෛරය ඔහු ප්‍රසිද්ධියේම පෙන්වනව. 

     මේ අතර තමයි ජොනී ටොරියෝ විසින් උතුරු කල්ලියෙ නායකයා ලෙස කටයුතු කළ ඩීන් ඔ’බැනියන්ව ඝාතනය කරන්නෙ. මේකට පළිගන්න තමයි මොරාන් සහ හයිමි වයිස් විසින් ජොනී ටොරියෝව ඝාතනය කරන්න අසාර්ථක උත්සහයක නිරතවෙන්නෙ. ඒ වගේම තමයි ඔවුන් අල් කැපෝන්ව ඝාතනය කිරීමටත් උත්සහ කරනව. මෙහි ප්‍රතිඵලය තමයි ජොනී ටොරියෝ විශ්‍රාම ගෙන නැවත බෘක්ලින් වෙත යාමත් කැපෝන් විසින් හයිමී වයිස් ඝාතනය කිරීමත්, කැපෝන් දකුණු කල්ලියේ නායකත්වයට පත්වීමත්. නැවත වරක් මොරාන් පලිගැනීමට උත්සහ කරන අතර ඒ සඳහා කැපෝන්ගෙන් ලැබුන පිළිතුර තමයි  වැලන්ටයින් දින සංහාරය. මෙතෙන්දි මොරාන් බේරෙන්නෙ අනූ නමයෙන්. ඝාතනය සිදුවූ තැනට යමින් සිටියදී ඔහු දකිනව පොලිස් ඇඳුමින් සැරසුන මෙම ඝාතකයින් පිරිස ඒ දෙසට යන ආකාරය. මෙය පොලිස් වැටලීමක් ලෙස සිතූ මොරාන් එම ස්ථානයෙන් පසු බසින්නෙ නොදැනුවත්වම ඔහුගේ ජීවිතය ගලවගෙන. මෙම සිදුවීමෙන් පස්සෙ බග්ස් මොරාන්ගෙ බලය ක්‍රමයෙන් දියවෙලා යන අතර අවසානයේ ඔහු කුඩා කුඩා මංකොල්ලකෑම්වලට වරදකරුවී සිරගත වී අවසානයේ පෙනහලු පිළිකාවක් වැළඳී මිය යනව.

සංහාරය

dulik 5

     1929 පෙබරවාරි 14 දින උදෑසන චිකාගෝ නගරයේ උතුරු ක්ලාක් වීදියේ ගරාජයක පුද්ගලයින් හත්දෙනෙකු රැඳී සිටිනව. මෙම ගරාජය ජෝර්ජ් “බග්ස්” මොරාන්ගේ කල්ලිය විසින් කුලියට ගෙන තිබූ අතර මෙම ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් ජාවාරම පාලනය කළේත් එහි තිබූ බොහෝ ගණිකා මඩම් සහ කැසිනෝ පවත්වාගෙන ගියේත් මෙම කල්ලිය විසිනි. මෙම ගරාජය භාවිතා කළේ ගබඩා කිරීම් සහ අලුත්වැඩියා කිරීම් සඳහා මිස සැඟවී සිටීමට හෝ රැඳී සිටීමට නොවේ. එහෙමනම් බොහෝ මිනිසුන් නිදා සිටින මොහොතක පාතාල කල්ලියක සාමාජිකයින් හත් දෙනෙකු ගරාජයක් අස්සෙ මොන හත්ඉලව්වක්ද කළේ?

සරල පැහැදිලි කිරීමනම් ඔවුන්ට පැවරුණු රාජකාරියක් තිබුන.  හැබැයි ඒ වැලන්ටයින් දිනය සමරන එකනම් නෙමෙයි. කාර්මිකයා හැරුණු විට මෙම පිරිමි සියල්ලෝම ඉතා හොඳින් ඇඳ පැළඳගෙන සිටි අය. ඔවුන් රැඳී සිටියෙ නීතිවිරෝධී මත්පැන් බෙදාහැරීමක් සිදුකිරීමට බලාපොරොත්තුවෙන්. හැබැයි මේ කවුරුත් දැනගෙන හිටියෙ නෑ තවත් සුළු මොහොතකින් ඔවුන් එක්සත් ජනපද ඉතිහාසයේ වඩාත්ම කුප්‍රකට නොවිසඳුණු අපරාධය වන ශාන්ත වැලන්ටයින් දින සංහාරයේ ගොදුරු බවට පත්වෙන බව.

     ඇසින් දුටු සාක්ෂි අනුව පෙබරවාරි මස 14 වන දින උදෑසන 10.30 ට පමණ වෙබ්ස්ටර් මාවතේ සිට පැමිණ ක්ලාක් වීදියෙන් දකුණට හැරී ඉදිරියට ගමන් කළ කළු පැහැති කැඩිලැක් මෝටර් රථයක් SMC Cartage සමාගම ඉදිරිපිට නතරවෙනව. මේකෙන් බැහැපු මිනිසුන් හතරදෙනාගෙන් දෙදෙනෙක් පොලිස් නිල ඇඳුමින් සැරසුන අය. මොවුන් පදික වේදිකාව හරහා ගොස් ඉදිරිපස දොරෙන් ගරාජයට ඇතුල්වෙනව. ගරාජය තුළ බලාසිටි මිනිසුන් හත්දෙනා තමයි බග්ස් මොරාන් විසින් මෝටර් රථ කාර්මිකයෙකු ලෙස සේවයට බඳවාගත් සේප්පු බිඳින්නෙකු ලෙස ප්‍රකට ජොනී මේ, නගරයේ සිටි වඩාත්ම කරදරකාරී මැරයන් දෙදෙනෙකු ලෙස ප්‍රකට ෆ්‍රෑන්ක් සහ පීටර් ගුසෙන්බර්ග්, සන්නද්ධ මංකොල්ලකෑම් සඳහා වරදකරුවකු වූ සහ මිනිමැරීම් සඳහා කිර්තියක් අත්කරගෙන සිටි ජේම්ස් ක්ලාක්, ගනකාධිකාරීවරයෙකු ලෙස කටයුතු කළ ඇඩම් හේයර්, රාත්‍රී සමාජශාලා හිමිකරුවෙකු වූ ඇල්බට් වෙයින්ෂාන්ක් සහ අක්ෂි වෛද්‍යවරයකු වූ නමුත් පාතාල සබඳතා ගැන පුරසාරම් දෙඩවීමට ඇති කැමත්ත නිසා මොරාන්ගෙ කල්ලිය සමඟ නිතර ගැවසුණු රයින්හාට් එච්. ෂ්විමර්.


dulik 6

     අලුතෙන් ගරාජයට ඇතුල්වුන සිව්දෙනා නිසා මොරාන්ගෙ මිනිස්සු බයවුනා වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. මොකද මොරාන්ගෙ මිනිස්සුත් සිටියෙ ආයුධ සන්නද්ධව. හැබැයි ඔවුන්ට ඒව පාවිච්චි කරන්නවත් කාලයක් ලැබෙන්නෙ නැහැ. සමහරවිට පොලිස් නිල ඇඳුම් නිසා ඔවුන් රැවටීමට ලක්වුනා වෙන්නත් පුලුවන්. මොකද පොලිස් නිලධාරීන්ව සල්ලිවලට ගන්න එක ඔවුන් නිතරම කරපු දෙයක් නිසා. එහෙමත් නැත්නම් ඔවුන් ගනුදෙනුවක් අපේක්ෂාවෙන් සිටි නිසා මෙවැන්නක් බලාපොරොත්තු නොවුනා වෙන්නත් පුලුවන්. නමුත් මෙය මුදල් ගැන කතාවක් නෙමෙයි. අනවසර අමුත්තන් සතුව පැවති තොම්සන් මැෂින්ගන් සහ ෂොට් ගන් වල බලයෙන් මොරාන්ගෙ මිනිස්සුන්ව ජනෙල් දොරවල් අසලින් ඉවත් කර බිත්තියට මුහුණ යොමුවන සේ පෙළගස්වනව. මැෂින් තුවක්කු ක්‍රියාත්මක වෙනව. වෙඩි වරුසාවක් මධ්‍යයේ මොරාන්ගෙ මිනිසුන් හත්දෙනා බිම ඇද වැටෙනව. ෆ්‍රෑන්ක් ගුසෙන්බර්ග් හැර අනෙක් හය දෙනාම ගරාජය තූළ මිය යන අතර ෆ්‍රෑන්ක් රෝහල්ගත කිරීමෙන් පසුව මිය යනව.

     බග්ස් මොරාන් මෙම සමූල ඝාතනය සම්බන්ධයෙන් අල් කැපෝන් සහ දකුණු කල්ලිය වෙත ඇඟිල්ල දිගු කලත් කැපෝන් කියා සිටියේ මෙම සිදුවීම වන විට ඔහු ෆ්ලොරිඩාවේ සිය නිවසෙහි සිටි බවයි. 

ඊළඟට මොකද උනේ?

     ලස්සනම වැඩේ තමයි මෙච්චර හරියක් වෙලත් මිනීමැරුම් සම්බන්ධයෙන් කිසිවකු හෝ නඩු විභාගයට ඉදිරිපත් නොකළ අතර ශාන්ත වැලන්ටයින් දින සමූල ඝාතනය ඉතිහාසයේ විශාලතම නොවිසඳුණු අපරාධවලින් එකක් ලෙස පැවතීම. මෙම චිකාගෝ පාතාල කල්ලි දෙක අතර පැවති ගැටුම් මාලාව මෙයත් සමඟම අවසන් වෙනව. ඊට වසර දෙකකට පසුව අල් කැපෝන් බදු පැහැර හැරීමක් සම්බන්ධයෙන් සිරගත කරන ලද අතර, මොරාන්ට තවදුරටත් චිකාගෝ භූමිය පාලනය කිරීමට තරම් බලයක් ගොඩනගාගන්න නොහැකිවෙනව. නමුත් ඉන් වසර හතකට පසුව 1936 වර්ෂයේදි මෙම සමූල ඝාතනයෙහි ඝාතකයෙකු ලෙස කටයුතු කළ බවට සැලකෙන ජැක් මැක්ගර්න් මැෂින්ගන් ප්‍රහාරයකට ලක්ව මිය යනව. මැක්ගර්න්ගෙ ඝාතකයා කවුද යන්න අදටත් නොදන්නා නමුත් බොහෝ දෙනෙක් විශ්වාස කරන්නෙ එය මොරාන් විසින් සිදුකළ බවයි. 

අල් කැපෝන්ගේ අවසානය

     බදු වංචාවක් සම්බන්ධයෙන් වසර 11ක සිර දඬුවමක් විඳිමින් සිටියදී අල් කැපෝන්ට ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් වන සිෆිලිස් වැළඳී ඇති බව හඳුනා ගන්නව. 1934 දී ඔහු ඇල්කට්‍රාස් සිරගෙදර වෙත මාරුකර යැවීමෙන් පසුව මානසික ව්‍යාකූලත්වයේ සලකුණු පෙන්වීමට පටන් ගත් අතර මධ්‍යම ස්නායු පද්ධතියේ ආසාදනයක් වන neurosyphilis රෝගයෙන් පෙළෙන බව හඳුනා ගනු ලැබීම නිසා ඔහුව බන්ධනාගාර රෝහලට ඇතුලත් කරන අතර ඔහුගේ මානසික තත්ත්වය හේතුවෙන් 1939 දී ඔහුට සමාව ලබාදෙනව. සිරගෙදරින් නිදහස්වීමෙන් පසුව ෆ්ලොරිඩාවේ පාම් අයිලන්ඩ් වෙත යන කැපෝන් සිය ජීවිතයේ අවසන් කාලය ගතකරන්නෙ එහි සිටයි. 

     ඔහුගේ මොළයට සිදුවූ හානිය කොතරම්ද යත් වෛද්‍යවරුන් ඔහුව සැලකුවෙ වයස අවුරුදු දොළහක මානසික තත්ත්වයක් ඇති අයෙකුගේ මට්ටමින්. 1947 ජනවාරි මාසයේදී කැපෝන්ට ආඝාතයක් ඇති වූ අතර, නියුමෝනියාවද වැළඳී පසුව හෘදයාබාධයකට ලක් විය. ඉන් දින කිහිපයකට පසු ජනවාරි 25 වන දින වයස අවුරුදු 48 දී අල්ෆොන්ස් ගේබ්‍රියල් කැපෝන් අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් මිය යනව. නමුත් ශාන්ත වැලන්ටයින් දිනය රුධිරයෙන් තෙමීගිය කුප්‍රකට සමූල ඝාතනය නොවිසඳුණු අපරාධයක් ලෙස ඉතිහාසයට එක්වෙන්නෙ ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින්.

@manthrana.lk

නවතම ලිපි